නික්මයාම
32 මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වූ බැවින්+ මුළු සෙනඟම ආරොන් ළඟට ගොස් මෙසේ කීවෝය. “ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට+ මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට මඟ පෙන්වන්න දෙවි කෙනෙක්ව සාදා දෙන්න.”+ 2 එහෙයින් ආරොන් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන්ගේ හා දරුදැරියන්ගේ කන්වල තිබෙන රත්තරන් කරාබු+ ගලවා මට ගෙනැවිත් දෙන්න.” 3 එවිට ඔවුහු තම කන්වල දමාගෙන සිටි රන් ආභරණ ගලවා ආරොන්ට ගෙනැවිත් දුන්නෝය. 4 ආරොන්ද ඔවුන් ගෙනා රන් ආභරණ උණු කර ඒවායින් වස්සෙකුගේ+ රූපයක් සෑදුවේය.+ ඉන්පසු ඔවුන් අතරින් සමහරෙක් රූපය පෙන්වමින්, “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි” කියා කීවෝය.+
5 ආරොන් රූපය ඉදිරියේ පූජාසනයක්ද ගොඩනැඟුවේය. ඉන්පසු ඔහු, “හෙට යෙහෝවා දෙවි වෙනුවෙන් අපි උත්සවයක් පවත්වමු” කියා සෙනඟට කීවේය. 6 සෙනඟ පසුවදා පාන්දරින්ම නැඟිට රූපය ඉදිරියේ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළෝය. ඉන්පසු ඔවුහු ඒ අවට ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.+
7 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ දැන් කන්දෙන් බැස යන්න. ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා සෙනඟ හැසිරෙන්නේ ඉතාමත් දුෂ්ට ලෙසයි!+ 8 ඔවුන් යා යුතු මාර්ගය මම ඔවුන්ට කියා දුනිමි. නමුත් ඔවුහු ඉක්මනින්ම ඒ මාර්ගයෙන් ඉවත්ව ගියෝය.+ ඔවුහු වස්සෙකුගේ රූපයක් සාදාගෙන එය ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරති. ඔවුහු එයට පුදපූජා ඔප්පු කරමින්, ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි’ කියා කියති.”+ 9 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මේ සෙනඟ මුරණ්ඩුය!+ 10 ඒ නිසා ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබෙන මාගේ උදහස මම ඔවුන් පිට වගුරුවන්නෙමි. ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ ඔවුන් වෙනුවට ඔබෙන් මහත් ජාතියක් බිහි කරන්න මට ඉඩ දෙන්න.”+
11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි. 12 ඔබ ඔවුන්ව විනාශ කළොත් ඊජිප්තුවරුන්+ මෙසේ කියයි. ‘දෙවි ඊශ්‍රායෙල්වරුන්ව අපේ අතින් ගලවාගත්තේ හොඳ චේතනාවකින් නොවෙයි. ඔහු ඔවුන්ව ගලවාගත්තේ කඳුකරයට ගෙන ගොස් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්නයි!’+ ඒ නිසා ඔබේ උදහස පහ කර+ ඔබේ සෙනඟට දඬුවම් කිරීමට ඔබ ගත් තීරණය වෙනස් කරන්න.+ 13 ඔබේ සේවකයන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට හා ඊශ්‍රායෙල්ට ඔබේම නාමයෙන් දිවුරා+ ඔබ දුන් මේ පොරොන්දුව සිහි කරන්න. ‘මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ මා තෝරාගත් මේ මුළු දේශයම ඔබෙන් පැවතෙන්නන්ට+ මම දෙන්නෙමි. බොහෝ කාලයකට ඔබෙන් පැවතෙන්නන්ට එම දේශය උරුම වන්නේය.’+ අනේ දෙවියනි, ඒ පොරොන්දුව අමතක කරන්න එපා.”
14 එහෙයින් යෙහෝවා දෙවි තම සෙනඟට දඬුවම් කිරීමට ගත් තීරණය වෙනස් කළේය.+
15 ඉන්පසු මෝසෙස්, දෙවි සාක්ෂියක් පිණිස තමාට දුන් ගල් පුවරු දෙකත්+ රැගෙන කන්දෙන් පහළට බැස ගියේය.+ එම ගල් පුවරු දෙකේ දෙපැත්තේම ලියා තිබිණ. 16 එම පුවරු දෙක සාදා තිබුණේ දෙවි විසින්මය. ඒවායේ ලියා තිබුණු දේද දෙවිගේම අතින් කොටා තිබිණ.+ 17 ඔවුන් කන්දෙන් බැස එද්දී මහත් හඬින් කෑගසමින් සිටි සෙනඟගේ ඝෝෂාව යෝෂුවාට ඇසී ඔහු මෝසෙස්ට මෙසේ කීවේය. “කඳවුර පැත්තෙන් යුධ ඝෝෂාවක්+ ඇසෙනවා.” 18 නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය.
“මට ඇසෙන්නේ ජය නාදයක්වත්+
පරාජය නිසා නඟන ඝෝෂාවක්වත් නොවෙයි.
මට ඇසෙන්නේ ගී නාදයක්.”
19 කඳවුරට ළං වූ විට මෝසෙස් වස්සාවද+ නටමින් සිටි සෙනඟවද දුටුවේය. එය දුටු විගස ඔහු මහත් කෝපයකින් තම අතේ තිබූ ගල් පුවරු දෙක වීසි කළේය. ඒවා කන්ද පාමුල වැටී කෑලි කෑලිවලට කැඩී ගියේය.+ 20 ඉන්පසු මෝසෙස් සෙනඟ සෑදූ වස්සාව ගෙන ගින්නෙන් දවා දැමුවේය. ඉතුරු වූ කොටස් කුඩු කර දමා+ එම කුඩු වතුර මත ඉස+ ඊශ්‍රායෙල් සෙනඟට බොන්න දුන්නේය.+ 21 පසුව මෝසෙස් ආරොන්ගෙන් මෙසේ ඇසුවේය. “මේ තරම් බරපතළ පාපයක් කරන්න මේ සෙනඟ ඔබව පෙලඹුවේ කොහොමද?” 22 එවිට ආරොන් ඔහුට මෙසේ කීවේය. “මාගේ ස්වාමීනි, කේන්ති ගන්න එපා. මේ සෙනඟ හැම වෙලේම කරන්නේ දුෂ්ට ක්‍රියා බව ඔබ හොඳ හැටි දන්නවා.+ 23 ඔවුන් මට මෙසේ පැවසුවා. ‘ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට මොනවා වුණාද කියා අපි දන්නේ නැහැ. අපිට මඟ පෙන්වන්න දෙවි කෙනෙක්ව සාදා දෙන්න.’+ 24 ඒ නිසා ඔවුන්ගේ, ‘රන් ආභරණ ගලවා මට දෙන්න’ කියා මම ඔවුන්ට පැවසුවා. මම ඒ ආභරණ රැගෙන ගින්නට වීසි කළා. එවිට මේ වස්සාගේ රූපය ගින්නෙන් මතු වුණා.”
25 සෙනඟ නොහික්මුණු ආකාරයෙන් හැසිරුණේ ආරොන් ඔවුන්ට එසේ කරන්න ඉඩහැරිය නිසා බව මෝසෙස්ට පෙනී ගියේය.+ සෙනඟ එලෙස හැසිරුණ නිසා ඔවුහු තම සතුරන් ඉදිරියේ නින්දාවට පත් වූහ.+ 26 මෝසෙස් කඳවුරේ දොරටුව අසල සිටගෙන, “යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න සියලුදෙනාම දැන් මා ළඟට එන්න”+ කියා කීවේය. එවිට ලෙවී ගෝත්‍රයේ පුරුෂයෝ මෝසෙස්ගේ පැත්තට ගියෝය. 27 මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘ඔබ සියලුදෙනාම තම තමාගේ කඩුව ඉණේ බැඳගන්න. කඳවුරේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා* ගොස් තම තමන්ගේ සහෝදරයන්වත් අසල්වැසියන්වත් මිත්‍රයන්වත් මරා දමන්න.’”+ 28 ලෙවී ගෝත්‍රයේ පුරුෂයෝ+ මෝසෙස් පැවසූ ලෙසම කළෝය. එදින සෙනඟ අතරේ සිටි පුරුෂයෝ තුන්දාහක් පමණ මැරුම් කෑවෝය. 29 ලෙවී ගෝත්‍රයේ පුරුෂයන්ට මෝසෙස් මෙසේ කීවේය. “අද ඔබෙන් කිසිවෙකු තම තමාගේ පුත්‍රයාගේ හෝ සහෝදරයාගේ හෝ පැත්ත ගත්තේ නැහැ.+ ඔබ ඔබේ අත් සවිමත් කරගෙන+ යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කළ නිසා දෙවි ඔබට ආශීර්වාද කරයි.”+
30 පසුවදා මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා කළේ බරපතළ පාපයක්.+ දැන් මම යෙහෝවා දෙවි වෙතට ගොස් ඔබේ පව් වෙනුවෙන් සමාව අයැදින්නම්. සමහරවිට දෙවි ඔබට සමාව දෙයි.”+ 31 ඉන්පසු මෝසෙස් නැවත යෙහෝවා දෙවි වෙතට ගොස් මෙසේ කීවේය. “දෙවියනි, මේ සෙනඟ ඔබට විරුද්ධව කර තිබෙන්නේ බරපතළ පාපයක්. ඔවුන් රන් රූපයක් සාදා එයට නමස්කාර කළා.+ 32 අනේ දෙවියනි, ඔවුන් කළ පාපයට සමාව දෙන්න.+ නැත්නම් ඔබේ ලියවිල්ලෙන්+ මගේ නම මකා දමන්න.”+ 33 නමුත් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මාගේ ලියවිල්ලෙන් මකා දමන්නේ මට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් පමණයි.+ 34 දැන් මා ඔබට පෙන්වන තැනට මේ සෙනඟව ගෙන යන්න. මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගමන් කරයි.+ සෙනඟ කළ පාපයට දඬුවම මම නියම කළ දවසේදී ඔවුන්ට දෙන්නෙමි.”+ 35 සෙනඟ ආරොන් ලවා වස්සාගේ රූපය සෑදූ බැවින් යෙහෝවා දෙවි ඔවුන්ට පහර දුන්නේය.+