යොෂුවා
4 මුළු ඊශ්‍රායෙල් සෙනඟ යොර්දාන් ගඟෙන් එගොඩ වූ පසු+ යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. 2 “ගෝත්‍ර දොළහ නියෝජනය වන ලෙස පුරුෂයන් දොළොස්දෙනෙකුව තෝරාගෙන+ 3 ඔවුන්ට මෙසේ පවසන්න. ‘යොර්දාන් ගඟ මැද පූජකයන් සිටගෙන සිටින+ ස්ථානයෙන් ගල් දොළහක් ගන්න.+ ඒවා අද රෑ ඔබ කූඩාරම් ගසාගන්නා ස්ථානයේ තබන්න.’”+
4 යොෂුවා, ඊශ්‍රායෙල්වරුන් අතරින් සෑම ගෝත්රයක්ම නියෝජනය වන ලෙස තමන් තෝරාගත් පුරුෂයන් දොළොස්දෙනාව+ කැඳවා 5 ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යොර්දාන් ගඟ මැද සිටින පූජකයන්ව පසු කරගෙන ගොස් ඔබ එක් එක් කෙනා යොර්දාන් ගඟ මැදින් ගලක් බැගින් ගෙන එය කරේ තබාගෙන එන්න. එම ගල් රැගෙන ආ යුත්තේ ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළහ නියෝජනය කිරීම සඳහායි. 6 ඒ ගල් සිහිවටනයක් ලෙස+ තබන්න. ඉදිරියේදී ඔබේ පුත්‍රයෝ, ‘මේ ගල් මෙසේ තබා තිබෙන්නේ ඇයි’ කියා ඇසුවොත්+ 7 ඔබ ඔවුන්ට මෙසේ කිව යුතුයි. ‘යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟ මැදින් ගෙන යද්දී දෙවි ගඟේ වතුර සිඳී යන්න සැලැස්සුවා.+ ඊශ්‍රායෙල්වරුන්ට මේ සිද්ධිය සදහටම මතක් වීම සඳහායි මේ ගල් මෙතැන ගොඩගසා තිබෙන්නේ.’”+
8 ඊශ්‍රායෙල්වරු, යොෂුවා පැවසූ සෑම දෙයක්ම කළෝය. යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ පරිදි ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළහ+ නියෝජනය කිරීම සඳහා යොර්දාන් ගඟ මැද්දෙන් ගල් දොළහක් ගත්තෝය. ඔවුහු ඒවා තමන් කූඩාරම් ගසාගත් ස්ථානයේ ගොඩගැසුවෝය.+
9 පූජකයන් ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන යොර්දාන් ගඟ මැද සිටගෙන සිටි ස්ථානයේ යොෂුවා තවත් ගල් දොළහක් තැබුවේය.+ අද දක්වාම ඒ ගල් එම ස්ථානයේ තිබේ.
10 යෙහෝවා දෙවි යොෂුවා මාර්ගයෙන් සෙනඟට අණ කළ දේ සහ මෝසෙස් යොෂුවාට පවසා තිබූ සියල්ල ඉටු කරන තෙක්+ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද සිටගෙන සිටියෝය.+ ඒ අතරතුර සෙනඟ හැකි ඉක්මනින් ගඟෙන් එගොඩ වූහ.+ 11 මුළු සෙනඟ ගඟෙන් එගොඩ වූ පසු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන සිටි පූජකයෝද සෙනඟ බලා සිටියදීම ගඟෙන් එගොඩ වූහ. 12 රූබෙන් ගෝත්‍රයද ගාද් ගෝත්‍රයද මනස්සේ ගෝත්‍රයේ එක් කොටසක්ද+ යුද්ධයට සැරසී,+ මෝසෙස් පවසා තිබූ ලෙසම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ගඟෙන් එගොඩ වූහ.+ 13 හතළිස්දහස්දෙනෙක් පමණ යුද්ධයට සූදානම් වී යෙරිකෝවේ තැනිතලා බිම් පෙදෙසට පිටත්ව ගියෝය. යෙහෝවා දෙවිද ඔවුන් සමඟ සිටියේය.
14 එදින යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ යොෂුවාව ගෞරවයට පත් කළේය.+ එදා සිට සෙනඟ මෝසෙස්ට ගෞරවය දැක්වූ ආකාරයටම යොෂුවාටද ගෞරව කරන්න පටන්ගත්තෝය. යොෂුවාගේ මුළු ජීවිත කාලය පුරාම සෙනඟ ඔහුට ඉතා ගෞරවයෙන් සැලකුවෝය.+
15 යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ පැවසුවේය. 16 “ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන සිටින පූජකයන්ට යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න කියන්න.” 17 එවිට යොෂුවා, “යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න” කියා පූජකයන්ට කීවේය. 18 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ ඔසවාගෙන ගිය පූජකයන් යොර්දාන් ගඟෙන් එගොඩ වූ විගස+ නතර වී තිබූ ගඟේ ජල පහර නැවත ගලා බසින්න පටන්ගත්තේය. කලින් මෙන් ගඟ පිටාර ගැලුවේය.+
19 පළමුවන මාසයේ දහවනදා යොර්දාන් ගඟෙන් එගොඩ වූ ඊශ්‍රායෙල්වරු යෙරිකෝවේ නැඟෙනහිර සීමාවේ පිහිටි ගිල්ගාල් නගරයේ+ කඳවුරු බැඳගත්තෝය.
20 යොර්දාන් ගඟෙන් ගත් ගල් දොළහ යොෂුවා ගිල්ගාල් නගරයේ යම් ස්ථානයක ගොඩගැසුවේය.+ 21 ඔහු ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ කීවේය. “‘මේ ගල් මෙසේ තබා තිබෙන්නේ ඇයි’ කියා අනාගතයේදී ඔබේ දරුවන් ඔබෙන් ඇසුවොත්+ 22 ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟ යොර්දාන් ගඟෙන් එගොඩ වන විට එහි ජලය සිඳී ගොස් තිබුණා.+ 23 ඊශ්‍රායෙල් ජාතිය රතු මුහුදෙන් එගොඩ වන අවස්ථාවේදී යෙහෝවා දෙවි එහි වතුර සිඳී යන්න සැලැස්වූ ලෙසම සෙනඟ යොර්දාන් ගඟෙන් එගොඩ වෙන අවස්ථාවේදීත් යෙහෝවා දෙවි ගඟේ වතුර සිඳී යන්න සැලැස්සුවා.+ 24 දෙවි එහෙම කළේ පොළොවේ සියලු වැසියන් යෙහෝවා දෙවි බලවත් බව තේරුම්ගන්නා පිණිසයි.+ ඒ වගේම ඔබත් ඔබේ දෙවි වන යෙහෝවාට සැමදා ගරුබිය ඇතුව සේවය කරන පිණිසයි.’”+