2 රාජාවලිය
24 යෙහෝයාකිම් රජුගේ පාලන සමයේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්+ යෙරුසලම ආක්රමණය කළේය. අවුරුදු තුනක් යෙහෝයාකිම් රජ ඔහුට යටත් වී සිටියේය.+ නමුත් පසුව ඔහු නෙබුකද්නෙෂර් රජුට විරුද්ධව කැරලිගැසුවේය. 2 කල්දිවරුන්ගේද+ සිරියානුවන්ගේද මෝවබ් ජාතිකයන්ගේද+ අම්මොන් ජාතිකයන්ගේද කොල්ලකරුවෝ කලින් කලට යූදා දේශය ආක්රමණය කළෝය. එසේ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ යෙහෝවා දෙවිය. තම සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ දේ ඉටු වන පිණිස දෙවි එසේ කළේය.+ 3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+ 4 මනස්සේ රජු නිර්දෝෂ මිනිසුන්ව මරා+ මුළු යෙරුසලම ලේ විලක් කළ බැවින් යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.+
5 යෙහෝයාකිම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද+ ඔහු කළ ක්රියාද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 6 කලක් ගත වූ පසු යෙහෝයාකිම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුට පසුව ඔහුගේ පුත් යෙහෝයාකින් රජකමට පත් විය.
7 ඊජිප්තුවේ රජු යටත් කරගෙන තිබූ මුළු ප්රදේශය එනම්, ඊජිප්තු නිම්නයේ සිට+ යුප්රටීස් ගඟ දක්වා+ වූ ප්රදේශය බැබිලෝනියේ රජ යටත් කරගත්තේය.+ එබැවින් ඊජිප්තුවේ රජුට නැවත කිසි දිනක+ තම දේශ සීමාවලින් පිටතට පැමිණීමට ලැබුණේ නැත.+
8 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය.+ ඔහුගේ මව යෙරුසලමේ වැසියෙකු වූ එල්නාතාන්ගේ දියණිය වූ නෙහෂ්තාය. 9 ඔහුද තම පියා මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ 10 ඒ කාලයේදී බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ හමුදාව පැමිණ යෙරුසලම වැටලුවෝය.+ 11 තම හමුදාව යෙරුසලම වැටලූ පසු+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් නගරයට ඇතුල් විය.
12 එය දැනගත් යූදාහි රජු වූ යෙහෝයාකින් තම මවද+ සේවකයන්ද අධිපතීන්ද නිලධාරීන්ද සමඟ බැබිලෝනියේ රජුව මුණගැසීමට ගියේය.+ බැබිලෝනියේ රජු පාලනය කළ අටවන අවුරුද්දේදී+ ඔහු යෙහෝයාකින් රජුව සිරකරුවෙකු ලෙස ගෙන යන ලදි. 13 එමෙන්ම ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු සම්භාරයද රජමාලිගාවේ තිබූ වස්තු සම්භාරයද පැහැරගත්තේය.+ ඊශ්රායෙල්හි රජු වූ සලමොන්, යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා සෑදූ සියලු රන් භාණ්ඩ+ ඔහු කෑලිවලට කපා රැගෙන ගියේය. මේ සියල්ල සිදු වූයේ යෙහෝවා දෙවි පවසා තිබූ ලෙසය. 14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+ 15 ඔහු යෙහෝයාකින් රජුව+ බැබිලෝනියට රැගෙන ගියේය.+ එමෙන්ම යෙහෝයාකින් රජුගේ මවද+ ඔහුගේ භාර්යාවන්වද නිලධාරීන්වද+ දේශයේ උත්තමයන්වද ඔහු යෙරුසලමේ සිට බැබිලෝනියට රැගෙන ගියේය. 16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ. 17 බැබිලෝනියේ රජ+ යෙහෝයාකින් රජුගේ බාප්පා වූ මත්තනියාව+ යූදාහි රජකමට පත් කර, මත්තනියාගේ නම ශෙදකියා ලෙස වෙනස් කළේය.+
18 ශෙදකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිඑකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+ 19 ඔහුද යෙහෝයාකිම් රජු මෙන් යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ 20 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර+ ඔහු තම අනුමැතිය ඔවුන්ගෙන් ඉවත් කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+