1 සාමුවෙල්
8 සාමුවෙල් මහලු වූ විට ඔහු තම පුත්‍රයන්ව ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවන් ලෙස පත් කළේය.+ 2 ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය.+ ඔහුගේ දෙවන පුත්‍රයාගේ නම අබියාය.+ ඔවුහු බෙයර්-ෂෙබා නුවරේ සිට විනිශ්චයකරුවන් ලෙස සේවය කළෝය. 3 නමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ අඩිපාරේ ගමන් කළේ නැත.+ අයුතු ලෙස ලාභ උපයාගත්+ ඔවුහු අල්ලස් ගනිමින්+ යුක්තිය පෙරළුවෝය.+
4 කල් යත්ම ඊශ්‍රායෙල් දේශයේ වැඩිමහල්ලෝ+ එකතු වී රාමාහි ජීවත් වූ සාමුවෙල් හමු වීමට ගියෝය. 5 ඔවුහු සාමුවෙල්ට මෙසේ කීවෝය. “ඔබේ පුත්‍රයන් ඔබට වඩා ගොඩක් වෙනස්. ඔවුන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි. අනික ඔබත් දැන් වයසයි. ඒ නිසා වෙනත් ජාතීන්ට මෙන් අපිටත් රජෙක්+ හිටියා නම් හොඳයි. අපිව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න.” 6 එහෙත් සාමුවෙල් ඔවුන් කළ ඉල්ලීම ගැන කනගාටු වී යෙහෝවා දෙවිට ඒ ගැන යාච්ඤා කළේය.+ 7 එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය.+ “සෙනඟ පවසන දේට සවන් දෙන්න.+ මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබව නොව, ඔවුන්ගේ රජු වන මාවය.+ 8 මා ඊජිප්තු දේශයෙන් ඔවුන්ව පිටතට ගෙනා දවසේ සිට+ මේ දක්වා ඔවුහු මාව අත්හැර+ වෙනත් දෙවිවරුන් පසුපස ගියෝය.+ ඔවුන් දැන් ඔබව අත්හැර යන්නෙත් මාව අත්හැර ගිය ආකාරයටමයි. 9 ඒ නිසා දැන් ඔවුන් පවසන දේට සවන් දෙන්න. නමුත් ඔවුන්ව පාලනය කිරීමට පත් කරන රජුගේ අයිතිවාසිකම් ගැන ඔබ ඔවුන්ට කලින්ම දැන්විය යුතුයි.”+
10 එබැවින් සාමුවෙල්, රජෙකුව පත් කරන්න කියා තමන්ට පැවසූ අයට යෙහෝවා දෙවි කී සෑම දෙයක්ම පැවසුවේය. 11 ඔහු ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබව පාලනය කිරීමට පත් කරන රජුගේ අයිතිවාසිකම්+ මේවායි. රජුට දාසකම් කරන්න ඔබේ පුත්‍රයන්ට සිදු වෙයි.+ ඔවුන්ගෙන් සමහරෙකුට රජුගේ අශ්ව රථ පදවන්නන්+ හා අසරුවන්+ ලෙස සේවය කරන්න සිදු වෙයි. තවත් සමහරෙකුට රජුගේ අශ්ව රථවලට පෙරටුවෙන් දුවන්න සිදු වෙයි.+ 12 තවත් අයව රජු තම නිලධාරීන් ලෙස සේවය කරන්න තෝරාගනියි. දහසකින් යුත් කණ්ඩායම්+ හා පනහකින් යුත් කණ්ඩායම්+ බලාගැනීමට රජු ඔවුන්ව පත් කරයි. කෙත්වතු හාන්න,+ අස්වනු නෙළන්න,+ යුධායුධ සාදන්න,+ අශ්ව රථවලට අවශ්‍ය උපකරණ සාදන්න+ වැනි කාර්යයන්වලට රජු සමහරෙකුව යොදවයි. 13 සුවඳ ද්‍රව්‍ය සාදන්න, කෑම පිසින්න හා රොටි පුලුස්සන්න රජු ඔබේ දූවරුන්ව සේවයට ගනියි.+ 14 ඔබේ හොඳම කෙත්වතු, මිදිවතු+ හා ඔලීවවතු+ රජු ඔහුගේ සේවකයන්ට දෙයි. 15 රජු ඔබේ කෙත්වල පලදාවෙන්ද මිදිවතුවල පලදාවෙන්ද දහයෙන් කොටසක්+ ගෙන ඔහුගේ නිලධාරීන්ටද+ ඔහුගේ සේවකයන්ටද දෙයි. 16 රජු තමන්ගේ වැඩ කරගන්නා පිණිස ඔබේ දාසදාසීන්වද ඔබේ ගව රැළේ හොඳම සතුන්වද ඔබේ බූරුවන්වද ගනියි.+ 17 ඔබේ එළු බැටළු රැළවල් අතරින්+ රජු දහයෙන් කොටසක් ගනියි. රජුට සේවය කරන්න ඔබටත් සිදු වෙයි. 18 ඔබව පාලනය කරන්න ඔබ තෝරගන්න රජු නිසා ඔබ යම් දවසක හඬා වැලපුණත්+ යෙහෝවා දෙවි ඔබට සවන් නොදෙයි.”+
19 සාමුවෙල් පැවසූ දේවලට සවන් නොදුන් ජනයා+ ඔහුට මෙසේ කීවෝය. “ඔබ අපව පාලනය කරන්න රජෙක්ව පත් කළ යුතුමයි. 20 වෙනත් ජාතීන්ට මෙන්+ අපටත් රජෙක් අවශ්‍යයි. ඔහු අපේ ප්‍රශ්න ගැටලු විසඳයි. ඔහු යුද්ධවලදී පෙරමුණ ගෙන අප වෙනුවෙන් සටන් කරයි.” 21 සාමුවෙල් ඔවුන් පැවසූ සියල්ල ඇසූ පසු යෙහෝවා දෙවිට ඒ ගැන කීවේය.+ 22 එවිට යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔවුන් කියන දේට සවන් දී ඔවුන්ව පාලනය කිරීමට රජෙකුව පත් කරන්න.”+ දෙවි එසේ කී පසු සාමුවෙල් ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ට මෙසේ කීවේය. “දැන් එක් එක් කෙනා තම තමාගේ නුවරට හැරී යන්න.”