එසකියෙල්
20 සත්වන අවුරුද්දේ, පස්වන මාසයේ දහවන දින, ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙක් යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට+ මා ඉදිරියට පැමිණ හිඳගත්තෝය.+ 2 එවිට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 3 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ කතා කර මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ සියලුදෙනා පැමිණ සිටින්නේ මාගෙන් මඟ පෙන්වීම් පතන්නද?+ ඔබ මාගෙන් විමසුවත් මා ඔබට කිසි දෙයක් එළිදරව් නොකරන බව ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි.”+ මේ දේ කියන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.’
4 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔවුන්ව විනිශ්චය කරන්න සූදානම්ද?+ ඇත්තටම ඔබ සූදානම්ද? එසේනම් ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ට දන්වන්න.+ 5 ඔබ ඔවුන්ට මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මා ඊශ්‍රායෙල් ජාතිය තෝරාගත් දවසේදී+ මම අත ඔසවා දිවුරා,+ යාකොබ්ගේ පෙළපතට පොරොන්දුවක් වුණෙමි.+ ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදී මා කවුද කියා ඔවුන්ට පෙන්වා දුනිමි.+ ඔවුන් ඉදිරියේ මාගේ අත ඔසවා, ‘ඔබේ දෙවි වන යෙහෝවා මමය’ කියා ඔවුන්ට පැවසුවෙමි.+ 6 ඒ අවස්ථාවේදී මම ඔවුන්ට පොරොන්දුවක් වුණෙමි. ඔවුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කර ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම තෝරාගත් දේශයකට එනම්, කිරියෙන් පැණියෙන් ඉතිරී යන දේශයකට ගෙන යන බවට+ මම අත ඔසවා ඔවුන්ට පොරොන්දු වුණෙමි.+ මා ඔවුන් වෙනුවෙන් තෝරාගත් ඒ දේශය සැබවින්ම අන් සියලු දේශවලට වඩා අලංකාර දේශයකි.+ 7 මම ඒ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘ඔබ සියලුදෙනාම ඔබව වශී කරවන පිළිකුල්සහගත දේවල් අහක දමන්න.+ ඊජිප්තුවේ වැසියන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා මමය.’+
8 “‘“එහෙත් ඔවුහු මට විරුද්ධව කැරලිගසන්න පටන්ගත් නිසා+ මට සවන් දෙන්න කැමති වූයේ නැත. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් තමන් ඉදිරියේ තබා තිබූ පිළිකුල්සහගත දේවල් අහක දැමුවේ නැත. ඔවුහු ඊජිප්තුවරුන්ගේ පිළිකුල්සහගත රූපද ඉවත නොදැමුවෝය.+ එබැවින් ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදීම මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කර ඔවුන් පිටට මාගේ උදහස වැගිරවීමට මම සිතුවෙමි.+ 9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+ 10 එහෙයින් මම ඔවුන්ව ඊජිප්තු දේශයේ සිට පාළුකරයට ගෙනාවෙමි.+
11 “‘“මාගේ අණපනත්+ හා තීරණ මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.+ එසේ කළේ ඔවුන් ඒවා පිළිපැද දිගටම ජීවත් වන පිණිසය.+ 12 එමෙන්ම ඔවුන් සමඟ මා පිහිටෙවූ ගිවිසුමට සාක්ෂියක් වශයෙන්+ මම ඔවුන්ට සබත පැවැත්වීමට නියම කළෙමි.+ එසේ කළේ යෙහෝවා දෙවි වන මා ඔවුන්ව පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් කර තබා ඇති බව ඔවුන් තේරුම්ගන්නා පිණිසය.
13 “‘“එහෙත් ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයේදී මට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු මාගේ අණපනත් පිළිපැද්දේ නැත.+ මාගේ තීරණද කිසි ගණනකට ගත්තේ නැත.+ ඇත්තෙන්ම ඔවුන් ඒවා පැවැත්වූවා නම් ඔවුන්ගේ දිවි රැකෙනු ඇත.+ නමුත් ඔවුහු මා නියම කළ සබතද කඩ කළෝය.+ එමනිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ අදහසින් පාළුකරයේදීම ඔවුන් පිටට මාගේ උදහස වැගිරවීමට සිතුවෙමි.+ 14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+ 15 ඔවුන්ට හිමි කර දීමට සිටි, කිරියෙන් පැණියෙන් ඉතිරී යන දේශයට ඔවුන්ව රැගෙන නොයන බව+ මම පාළුකරයේදී ඔවුන්ට පැවසුවෙමි. සියලු දේශවලට වඩා අලංකාර වූ+ ඒ දේශයට ඔවුන්ව ගෙන නොයන බව මාගේ අත ඔසවා දිවුරා මම ප්‍රකාශ කළෙමි.+ 16 එසේ කළේ ඔවුන් මාගේ තීරණ ප්‍රතික්ෂේප කර මාගේ අණපනත් ගණනකට නොගෙන මාගේ සබත් දවස් කඩ කළ නිසාය. ඔවුන්ගේ සිත් නිතරම ඇදී ගියේ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලටය.+
17 “‘“එහෙත් මට ඔවුන් ගැන දුකක් ඇති වූ නිසා මම ඔවුන්ව විනාශ නොකළෙමි.+ පාළුකරයේදී ඔවුන් සියලුදෙනාවම නැති කර දැමීමට මම පියවර ගත්තේ නැත. 18 පාළුකරයේදී ඔවුන්ගේ පුතුන්ට මම මෙසේ පැවසුවෙමි.+ ‘ඔබේ පියවරුන් පැවැත්වූ වත්පිළිවෙත්වලින් ඈත් වී සිටින්න.+ ඔවුන් තීරණය කළ දේවලට අනුව ක්‍රියා නොකරන්න.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ 19 ඔබේ දෙවි වන යෙහෝවා මමය.+ එබැවින් මාගේ අණපනත්වලට එකඟව ජීවත් වන්න.+ මාගේ තීරණවලට+ කීකරු වන්න.+ 20 මා නියම කළ සබත් දවස් ශුද්ධ දවස් සේ සලකන්න.+ මා සබත් දවස් නියම කළේ ඔබේ දෙවි වන යෙහෝවා මා බව ඔබ තේරුම්ගන්නා පිණිසය. ඒවා මා ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුමට ලකුණකි.’+
21 “‘“එහෙත් ඔවුන්ගේ පුත්‍රයෝද මට විරුද්ධව කැරලිගසන්න පටන්ගත්තෝය.+ ඔවුහු මාගේ අණපනත්වලට එකඟව ජීවත් නොවූහ. ඔවුහු මාගේ තීරණවලට කීකරු වූයේ නැත. ඔවුන් ඒවා පැවැත්වූවා නම් ඇත්තෙන්ම ඔවුන්ගේ ජීවිත රැකෙනු ඇත.+ නමුත් ඔවුහු මාගේ සබත් දවස් කඩ කළෝය.+ එමනිසා ඔවුන් පාළුකරයේ සිටියදීම මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කර ඔවුන් පිටට මාගේ උදහස වැගිරවීමට මම සිතුවෙමි.+ 22 එහෙත් මම මාගේ නාමය නිසා එසේ කිරීමෙන් වැළකී සිටියෙමි.+ මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය නින්දාවට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+ 23 ඔවුන්ව ජාතීන් අතරේ විසුරුවාහරින බවත් වෙනත් දේශවලට පලවාහරින බවත් මම පාළුකරයේදී ඔවුන්ට කීවෙමි.+ මාගේ අත ඔසවා දිවුරා එසේ ප්‍රකාශ කළෙමි.+ 24 එසේ කළේ ඔවුන් මාගේ තීරණ ප්‍රතික්ෂේප කර+ මාගේ අණපනත් ගණනකට නොගෙන+ මාගේ සබත් දවස් සුළු කොට තැකූ නිසාය.+ ඔවුන්ගේ මුතුන්මිත්තන් නමස්කාර කළ පිළිකුල්සහගත රූපවලට ඔවුහු වශී වී සිටියෝය.+ 25 එමනිසා කිසි පලක් නැති ඔවුන්ගේම වත්පිළිවෙත්වලට අනුව ජීවත් වෙන්නත් ඔවුන්ගේ ජීවිතයට හානියක් ගෙන දෙන තීරණ ගන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+ 26 ඔවුහු තම කුලුඳුල් පුත්‍රයන්ව ගින්නෙන් පුලුස්සා* වෙනත් දෙවිවරුන්ට ඔප්පු කළෝය.+ මමද ඔවුන්ට එසේ අපවිත්‍ර වීමට ඉඩහැරියෙමි. මා එසේ කළේ ඔවුන්ව විනාශ කර දමන පිණිසය. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’+
27 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් ජනතාව අමතා ඔවුන්ට මෙසේ පවසන්න.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබේ මුතුන්මිත්තෝ මට ද්‍රෝහි වී මා ගැන අපහාසාත්මක ලෙස කතා කළෝය.+ 28 එහෙත් මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට දෙන්න පොරොන්දු වූ+ දේශයට මම ඔවුන්ව ගෙනාවෙමි.+ මා එසේ කළ පසුත් ඔවුහු උස් වූ හෙල් දුටු විටත්+ අතු විහිදී ඇති සරුසාර ගස් දුටු විටත් එම ස්ථානවලට ගොස් පූජා ඔප්පු කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ප්‍රසන්න සුවඳක් නැඟෙන පූජාද+ පාන පූජාද වෙනත් පිළිකුල්සහගත පූජාද එම ස්ථානවල ඔප්පු කළෝය.+ 29 එමනිසා මම ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘මේ වන තුරුත් පූජනීය ස්ථාන ලෙස හඳුන්වන මෙම ස්ථාන සාදා තිබෙන්නේ කුමකටද? ඔබ එම ස්ථානවලට යන්නේ මන්ද?’”’+
30 “ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබත් ඔබේ මුතුන්මිත්තන් මෙන් මට ද්‍රෝහිව කටයුතු කරමින්+ ඔවුන්ගේ පිළිකුල්සහගත දේවල් පසුපස ගොස් අපවිත්‍ර වෙනවාද?+ 31 ඔබේ පුත්‍රයන්ව ගින්නෙන් පුලුස්සා+ ඔබේ පිළිකුල්සහගත රූප ඉදිරියේ ඔප්පු කරනවාද?+ ඔබේ පිළිකුල්සහගත රූප වෙනුවෙන් ඔබ අද වන තුරු අපවිත්‍ර වී සිටින්නහුය. ඔබ මගෙන්ද මඟ පෙන්වීම් ලබාගැනීමට පැමිණෙන්නහුය. ඊශ්‍රායෙල් ජනයෙනි, මා කිසි ලෙසකින්වත් ඔබට පිළිතුරු දෙයි කියා ඔබ සිතනවාද?”’+
“‘මා ඔබට කිසි දෙයක් එළිදරව් නොකරන බව ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි.’+ මේ දේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 32 ‘“වෙනත් ජාතීන් හා අවට දේශවල වැසියන් මෙන්+ අපිත් ලීවලින් හා ගල්වලින් නෙළූ දෙවිවරුන්ට වන්දනාමාන කරමු”+ යයි ඔබ පවසන්නහුය. නමුත් ඔබ සිතන+ එම දේ කිසිසේත් ඉටු නොවන්නේය.’”+
33 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. මම මාගේ බලවත් හස්තය පෙන්වමින්+ මාගේ කෝපය වගුරුවන්නෙමි.+ ඔබ කෙරෙහි මා රජකම් කරන්නේ එලෙසයි. 34 විසිරී ගිය දේශවලින් මම ඔබව එකතු කරන්නෙමි. විවිධ ජාතීන් අතරෙන් ඔබව රැගෙන එන්නෙමි. මාගේ බලවත් හස්තය පෙන්වා මාගේ කෝපය වගුරුවමින් මම එසේ කරන්නෙමි.+ 35 එසේ කර මම ඔබව ජාතීන්ගේ පාළුකරයට ගෙන යන්නෙමි.+ එහිදී මුහුණට මුහුණ ලා මම ඔබ සමඟ වාද කරන්නෙමි.+
36 “‘ඊජිප්තු දේශයේ පාළුකරයේදී ඔබේ මුතුන්මිත්තන් මාගේ විනිශ්චයට ලක් වූවාක් මෙන්+ ඔබත් මාගේ විනිශ්චයට ලක් වනු ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 37 ‘එඬේරෙකු තම බැටළුවන්ව තම සැරයටියෙන් කීකරු කරවන්නාක් මෙන්+ මමද ඔබව මාගේ ගිවිසුම යටතට ගෙනෙන්නෙමි.+ 38 මම ඔබ අතරේ සිටින කැරලිකරුවන්වද පව්කාරයන්වද ඉවත් කරන්නෙමි.+ ඔවුන් විදේශිකයන් ලෙස සිටින දේශයෙන් ඔවුන්ව නිදහස් කරන්නෙමි. එහෙත් ඊශ්‍රායෙල් දේශයෙහි නම් ඔවුන්ට පය තබන්න ලැබෙන්නේ නැත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+
39 “ඊශ්‍රායෙල් ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට පවසන්නේ මෙයයි. ‘ඔබ සාදාගත් පිළිකුල්සහගත රූපවලට ඇති තරම් මෙහෙ කරන්න.+ නමුත් එහි ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වන බවත් මතක තබාගන්න. ඔබ පුදන දේවලින් හා ඔබ සාදාගත් පිළිකුල්සහගත රූපවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා කරන්න ඔබට තවදුරටත් හැකි වන්නේ නැත.’+
40 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඊශ්‍රායෙල් දේශයේ පිහිටි උස් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී+ ඔබ මට නමස්කාර කරනු ඇත. මුළු ඊශ්‍රායෙල් ජනතාවම තමන්ට හිමි දේශයෙහි මට සේවය කරනු ඇත.+ මමද ඔබ ගැන සතුටු වන්නෙමි. ඒ කාලයේදී සම්මාදම් හා ප්‍රථම ඵල ඇතුළුව පුදනු ලබන සියලුම ශුද්ධ දේවල් මම ඔබෙන් බලාපොරොත්තු වන්නෙමි.+ 41 ඒ පූජාවලින් නික්මෙන මිහිරි සුවඳ නිසා මම ඇත්තටම ඔබ ගැන සතුටු වන්නෙමි.+ ඒ දේ සිදු වන්නේ මා ඔබව ජාතීන් අතරින්ද ඔබ විසිර සිටින සියලු දේශයන් අතරින්ද එක් රැස් කර ඔබේ දේශයට ගෙනෙන කාලයේදීය.+ ඔබ නිසා සියලු ජාතීහු මා ශුද්ධ බව දැනගන්නවා ඇත.’+
42 “‘මාගේ අත ඔසවා ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය වන ඊශ්‍රායෙල් දේශයට මම ඔබව ගෙන යන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+ 43 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු දේවල්ද එමගින් ඔබ අපවිත්‍ර වූ ආකාරයද ඔබට අනිවාර්යයෙන්ම සිහි වනු ඇත.+ ඔබ කළ ඒ සියලු නපුරු දේවල් නිසා+ ඔබට ඇති වන පිළිකුල ඔබේ මුහුණුවලින් පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි.+ 44 ඊශ්‍රායෙල් ජනයෙනි, මම ඔබ කළ සියලු නපුරුකම්වලට හා දූෂිත ක්‍රියාවලට අනුව ඔබට විරුද්ධව පියවර නොගෙන ඔබ වෙනුවෙන් නැඟී සිටින්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
45 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය. 46 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දකුණු දෙසට හැරී+ කතා කරන්න. දකුණු පැත්තෙහි පිහිටා ඇති+ මුළු වනාන්තරයටම ඇසෙන සේ අනාවැකි කියන්න. 47 ඔබ දකුණු දෙසින් පිහිටි ඒ වනාන්තරයට මෙසේ පැවසිය යුතුය. ‘යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔබට විරුද්ධව ගින්නක් අවුළුවන්නෙමි.+ එමගින් ඔබ තුළ සරුවට වැඩෙන සෑම ගසක් වගේම සෑම වියළි ගසක්ද මම දවා දමන්නෙමි.+ බුරබුරා නැඟෙන ඒ ගින්න නිවී යන්නේ නැත.+ දකුණේ සිට උතුර දක්වා සිටින සියලුදෙනාගේ මුහුණු* එයින් පිලිස්සී යනවා ඇත.+ 48 සියල්ලට ගිනි අවුළුවා ඇත්තේ යෙහෝවා දෙවි වන මා බව සියලුම මනුෂ්‍යයෝ දකිනවා ඇත. ඒ ගින්න නම් කිසි ලෙසකින්වත් නිවී යන්නේ නැත.”’”+
49 එවිට මම මෙසේ පැවසුවෙමි. “අනේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි! ‘ඔහු නිතරම උපමා කතා කියනවා’+ යයි ඔවුහු මා ගැන පවසති.”