එස්රා
1 පර්සියාවේ රජ වුණ සයිරස්+ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී* යෙහෝවා දෙවියන් සයිරස් රජගේ හිත පෙලඹුවා යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා කියපු දේ+ ඉටු කරන්න. ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරාම පණිවිඩයක් යැව්වා. ලිඛිතවත් දැනුම් දුන්න ඒ පණිවිඩයේ+ මෙහෙම සඳහන් වුණා.
2 “පර්සියාවේ සයිරස් රජ මෙසේ දැනුම් දෙයි. ‘ස්වර්ගය පාලනය කරන දෙවි වන යෙහෝවා පොළොවේ සියලු රාජ්‍යයන් මට භාර දීලා තියෙනවා.+ ඔහු යූදා දේශයට අයිති යෙරුසලමේ ඔහු වෙනුවෙන් දේවමාලිගාවක් ගොඩනඟන්න මට අණ කළා.+ 3 ඔබ අතරේ ඉන්න ඒ දෙවියන්ට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ රැකවරණය ලැබේවා! සැබෑ දෙවියන් ඔහුයි. ඒ නිසා යූදා දේශයට ගිහිල්ලා යෙරුසලමේ තිබුණ* ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙනවා. 4 විදේශිකයන් විදිහට+ රාජධානියේ ඕනෙම තැනක ජීවත් වෙන යුදෙව්වන්ට ආයෙත් යෙරුසලමට යන්න පුළුවන්. අසල්වාසීන්ට* පුළුවන් ගමනට අවශ්‍ය උදව් එයාලට ලබා දෙන්න. යෙරුසලමේ තිබුණ සැබෑ දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්නත්+ රන්, රිදී, බඩු බාහිරාදිය සහ සතුන් එයාලට ලබා දෙන්නත් පුළුවන්.’”
5 යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවල ප්‍රධානියෝ, පූජකයෝ, ලෙවීවරු සහ තවත් බොහෝදෙනෙක් යෙරුසලමේ තිබුණ යෙහෝවාගේ මාලිගාව ආයෙත් හදන්න යන්න සූදානම් වුණා. මොකද සැබෑ දෙවියන් ඒ ගමන යන්න එයාලාගේ හිතේ ලොකු ආශාවක් ඇති කළා. 6 අවට ජීවත් වුණ හැමෝගෙන්ම එයාලට ලොකු සහයෝගයක් ලැබුණා.* එයාලා දෙවියන්ගේ මාලිගාව වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් පරිත්‍යාග කළා විතරක් නෙමෙයි රන් රිදී භාණ්ඩ, වෙනත් වටිනා දේවල්, බඩු බාහිරාදිය සහ සතුන් ලබා දුන්නා.
7 සයිරස් රජ යෙහෝවාගේ මාලිගාවට අයිති භාණ්ඩත් ආපහු භාර දුන්නා. නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳලා ගෙනාපු ඒ භාණ්ඩ තියලා තිබුණේ එයා අදහපු දෙවියන්ගේ දේවාලයේ.+ 8 ඒ භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පර්සියාවේ සයිරස් රජ පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ට. එයා ඒ භාණ්ඩවල ලේඛනයක් හදලා ඒවා යූදා ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුණ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නා.
9 ඒ ලේඛනයේ සඳහන් වුණ භාණ්ඩ මේවායි. රන් කූඩ 30යි. රිදී කූඩ 1,000යි. ඒ වගේ වෙනත් භාජන 29යි. 10 කුඩා රන් බඳුන් 30යි. කුඩා රිදී බඳුන් 410යි. වෙනත් භාණ්ඩ 1,000යි. 11 රන් සහ රිදී භාණ්ඩවල මුළු එකතුව 5,400යි. බැබිලෝනියේ වහලුන් විදිහට හිටපු අය+ යෙරුසලමට යද්දී ෂෙෂ්බෂර් ඒ හැම භාණ්ඩයක්ම අරගෙන ගියා.