ද්විතීය කතාව
27 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන් එක්ක එකතු වෙලා මෝසෙස් සෙනඟට මෙහෙම අණ කළා. “අද මං ඔයාලට කියලා දෙන හැම ආඥාවක්ම පිළිපදින්න. 2 ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගියාම විශාල ගල් කීපයක් තෝරගෙන ඒවා කපරාදු කරන්න.*+ 3 ඊටපස්සේ මේ නීතියට ඇතුළත් හැම දෙයක්ම ඒ ගල්වල ලියන්න. එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන ඒ දේශයට ඇතුල් වෙන්න ඔයාලට පුළුවන්. ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට පොරොන්දු වුණ ඒ දේශය ඇත්තටම කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක්.+ 4 ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වුණාට පස්සේ අද මං ඔයාලට අණ කරන විදිහටම ඒ ගල් කපරාදු කරලා ඒබාල්+ කන්දේ තියන්න. 5 තවත් ගල් ටිකක් අරගෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පූජාසනයක් හදන්න. ඒ ගල් යකඩ ආයුධවලින් කපන්න එපා.+ 6 ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් ඒ පූජාසනය හදන්න ඕනෙ ආයුධවලින් කපපු නැති ගල් පාවිච්චි කරලයි. ඊටපස්සේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඒක උඩ දවන පූජා ඔප්පු කරන්න. 7 හවුල් පූජාත්+ ඔප්පු කරලා එතනදීම ඒවායින් කන්න.+ ඒ විදිහට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සතුටු වෙන්න.+ 8 මේ නීතියේ තියෙන හැම දෙයක්ම ඒ ගල්වල පැහැදිලිව ලියන්න.”+
9 ඊටපස්සේ මෝසෙස් සහ ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, නිශ්ශබ්ද වෙලා හොඳට ඇහුම්කන් දෙන්න. අද ඉඳලා ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට අයිති සෙනඟ වෙනවා.+ 10 ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට ඇහුම්කන් දෙන්න ඕනේ. මම අද ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා+ සහ නියෝග පිළිපදින්න.”
11 එදා මෝසෙස් සෙනඟට මෙහෙම අණ කළා. 12 “ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වුණාට පස්සේ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර්, යෝසෙප් සහ බෙන්ජමින් කියන ගෝත්‍ර ගෙරිසීම්+ කන්ද ළඟ රැස් වෙන්න ඕනේ. එයාලා එතනට රැස් වෙන්නේ සෙනඟට ලැබෙන ආශීර්වාද ගැන කියන්නයි. 13 රූබෙන්, ගාද්, ආෂෙර්, සෙබ්‍යූලන්, දාන් සහ නෆ්තලී කියන ගෝත්‍ර ඒබාල්+ කන්ද ළඟ රැස් වෙන්න ඕනේ. එයාලා එතනට රැස් වෙන්නේ සෙනඟට ලැබෙන ශාප ගැන කියන්නයි. 14 රැස් වෙලා ඉන්න හැම ඊශ්රායෙල්වරයෙක්ටම ඇහෙන්න ලෙවීවරුන්* පැහැදිලිව මෙහෙම කියන්න ඕනේ.+
15 “‘ලීවලින් හරි ලෝහවලින්+ හරි මිනිස්සු හදන රූප+ යෙහෝවාට පිළිකුලක්.+ කෙනෙක් ඒ වගේ රූපයක් හදාගෙන කාටත් හොරෙන් ඒකට නමස්කාර කරනවා නම් ඒ කෙනාට ශාප වේවා!’ (ඒකට හැමෝම ‘ආමෙන්’* කියලා කියන්න ඕනේ.)
16 “‘තමන්ගේ අම්මාටයි, තාත්තාටයි ගෞරවයෙන් සලකන්නේ නැති කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
17 “‘තමන්ගේ අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
18 “‘අන්ධ කෙනෙක්ව නොමඟ යවන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
19 “‘ඔයාලා අතරේ ඉන්න විදේශිකයෙක්ට හරි තාත්තා නැති දරුවෙක්ට හරි වැන්දඹුවකට හරි+ මොනවා හරි අසාධාරණයක් කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
20 “‘තමන්ගේ තාත්තාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා තාත්තාට අගෞරව කරන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
21 “‘සතෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
22 “‘තමන්ගේ සහෝදරිය එක්ක ඒ කියන්නේ තාත්තාගේ දුව එක්ක හරි අම්මාගේ දුව එක්ක හරි ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
23 “‘නැන්දම්මා එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
24 “‘මඟ රැකගෙන ඉඳලා අසල්වැසියාව මරලා දාන කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
25 “‘අහිංසක කෙනෙක්ව මරලා දාන්න* අල්ලසක් ගන්න කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)
26 “‘මේ නීතියේ තියෙන හැම දෙයක්ම පිළිපදින්නේ නැති කෙනාට ශාප වේවා!’+ (ඒකට හැමෝම ‘ආමෙන්’ කියලා කියන්න ඕනේ.)