යෙරෙමියා
මට දිවා රෑ දෙකේ අඬන්න තිබුණා.
මැරුම් කාපු මගේ සෙනඟ වෙනුවෙන් වැලපෙන්න තිබුණා.
2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්,
මං මගේ සෙනඟව අතහැරලා එතනට යනවා.
මොකද ඔවුන් හැමෝම අනාචාරයේ යෙදෙනවා.+
ඔවුන් ද්‍රෝහිකම් කරන පිරිසක්.
3 දුන්න නමලා විදින්න සූදානම් කරනවා වගේ ඔවුන් බොරු කියන්න ලෑස්ති පිට ඉන්නවා.
දේශයේ රජකම් කරන්නේ විශ්වාසවන්තකම නෙමෙයි බොරුව.+
“ඔවුන් කෙළවරක් නැතුව දුෂ්ටකම් කරනවා.
ඔවුන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.
4 “හැම කෙනෙක්ම තමන්ගේ අසල්වැසියාගෙන් පරෙස්සම් වෙන්න.
ඔබේ සහෝදරයාවවත් විශ්වාස කරන්න එපා.
5 හැම කෙනෙක්ම තම අසල්වැසියාට බොරු කරනවා.
කිසිම කෙනෙක් ඇත්ත කතා කරන්නේ නැහැ.
ඔවුන් බොරු කියන්න ඔවුන්ගේ දිව පුරුදු කරගෙන තියෙනවා.+
ඔවුන් හෙම්බත් වෙලා ඉන්නේ වැරදි දේවල් කරලයි.
6 ඔබ ජීවත් වෙන්නේ බොරුව වංචාව මැදයි.
බොරුවෙන් ජීවත් වෙන ඔවුන් මාව අඳුරගන්න කැමති වුණේ නැහැ” කියලා යෙහෝවා කියනවා.
7 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.
“මම ලෝහ උණු කරනවා වගේ ඔවුන්ව උණු කරලා පරීක්ෂා කරනවා.+
එහෙම නොකර මගේ දියණිය වන මගේ සෙනඟට මම වෙන මොනවා කරන්නද?
8 ඔවුන්ගේ දිව මාරාන්තික ඊතලයක් වගේ. කතා කරන්නෙම වංචනික දේවල්.
කෙනෙක් තමන්ගේ අසල්වැසියා එක්ක සමාදානයෙන් කතා කළත්
යටි හිතින් ඔහුට උගුල් අටවනවා.”
9 “ඔවුන් කරන ඒ දේවලට ඔවුන් මට වග කියන්න ඕනෙ නැද්ද” කියලා යෙහෝවා අහනවා.
“ඒ වගේ ජාතියකට මං දඬුවම් නොකර ඉන්නේ කොහොමද?+
10 මම කඳු ගැන අඬා වැලපෙනවා.
පාළුකරයේ තියෙන තණබිම් ගැන ශෝක ගීයක් ගායනා කරනවා.
මොකද ඒ හැම දෙයක්ම පිච්චිලා ගිහිල්ලා. ඒ නිසා කිසිම මිනිසෙක්ට ඒ හරහා යන්න බැහැ.
එළුවන්ගේ සහ බැටළුවන්ගේ හඬ එහෙන් ඇහෙන්නේ නැහැ.
කුරුල්ලනුත් සතුනුත් එහෙන් පැනලා ගිහින්. උන් ඔක්කොම පැනලා ගිහින්.+
11 මම යෙරුසලම නටබුන් ගොඩක් කරනවා.+ හිවලුන් ලගින තැනක් කරනවා.+
යූදාවල නගර කිසි මිනිසෙක් වාසය කරන්නේ නැති පාළු තැනක් කරනවා.+
12 ඒ දේවල් වෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න තරම් ප්‍රඥාවක් තියෙන්නේ කාටද?
ඒ දේවල් ගැන අනිත් අයට කියන්න පුළුවන් වෙන්න යෙහෝවා ඒ ගැන කිව්වේ කාටද?
දේශය විනාශ වුණේ ඇයි?
කාටවත් දේශය මැදින් යන්න බැරි වෙන විදිහට
ඒක පාළුකරයක් වගේ වේළිලා ගියේ ඇයි?”
13 යෙහෝවා මෙහෙම උත්තර දුන්නා. “එහෙම වුණේ මං ඔවුන්ට දුන්න නීතිය* ඔවුන් ප්‍රතික්ෂේප කරපු නිසයි. ඔවුන් ඒක පිළිපැද්දෙවත් මගේ හඬට ඇහුම්කන් දුන්නෙවත් නැති නිසයි. 14 ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට කියලා දුන්න විදිහට ඔවුන් බාල්ගේ රූප පස්සේ ගියා.+ 15 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ සෙනඟට තිත්ත පැල කන්න දෙනවා. ඔවුන්ට විෂ වතුර බොන්න දෙනවා.+ 16 ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දන්නේ නැති ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරිනවා.+ ඔවුන්ව නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන් පස්සේ එළවගෙන යන්න කඩුවක් එවනවා.’+
17 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.
‘සිද්ධ වෙන දේවල් ගැන හිතලා බලන්න.
ශෝක ගී ගායනා කරන ස්ත්‍රීන්ව ගෙන්නගන්න.+
අඬන්න දක්ෂ ස්ත්‍රීන්ව ගෙන්නගන්න.
18 එතකොට ඔවුන්ට පුළුවන් ඉක්මනින් ඇවිත් අපි වෙනුවෙන් ශෝක ගී ගයන්න.
එතකොට අපේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එයි.
ඇසිපියවලින් වතුර ගලාගෙන එයි.+
19 මොකද සියොන්වලින් ශෝක ගීයක් ඇහෙනවා.+
“අපි විනාශ වෙලා ගිය හැටි බලන්න!
අපි මොන තරම් ලැජ්ජාවට පත් වුණාද!
අපිට දේශය අතහැරලා යන්න වුණා. ඔවුන් අපේ ගෙවල් බිමටම සමතලා කළා.”+
20 කාන්තාවෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න.
ඔහුගේ මුවින් පිට වෙන වචන ඔබේ කනට ගන්න.
ඔබේ දූවරුන්ට මේ විලාප ගීය උගන්නන්න.
එකිනෙකාට මේ ශෝක ගීය කියලා දෙන්න.+
21 අපේ කවුළුවලින් මරණය ඇතුල් වෙලා.
අපේ බලකොටුවලට මරණය ඇතුල් වෙලා.
ඒ ඇවිත් ඉන්නේ පාරවල්වල ඉන්න අපේ දරුවන්වත්
මංසන්ධිවල ඉන්න අපේ තරුණයන්වත් අරන් යන්නයි.’+
22 ‘යෙහෝවා මෙහෙම දැනුම් දෙනවා’ කියලා කියන්න.
“මිනිස්සුන්ගේ මළ කඳන් පොළොවේ වැටිලා තියෙන ගොම වගේ වෙනවා.
ඒවා අස්වැන්න නෙළන්නා කපලා බිමට දාන ධාන්‍ය කරල් වගේ වෙනවා.
ඒවා එකතු කරන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.”’”+
23 යෙහෝවා මෙහෙම කියනවා.
“ප්‍රඥාවන්තයා තමන්ගේ ප්‍රඥාව ගැනවත්+
බලවත් කෙනා තමන්ගේ බලය ගැනවත්
පොහොසත් කෙනා තමන්ගේ ධනය ගැනවත් ආඩම්බරයෙන් කතා කරන එකෙන් වළකින්න.”+
24 “ආඩම්බරයෙන් කතා කරන කෙනා ආඩම්බර වෙන්න ඕනෙ මේ ගැනයි.
මාව හොඳින් අඳුරගෙන ඉන්න එක ගැනත් මං වැඩ කරන විදිහ තේරුම් අරන් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න.+
පොළොවේ ඉන්න අයට නොසැලෙන ආදරයක් පෙන්නන, යුක්තිය ඉටු කරන, හරි දේ කරන තැනැත්තා යෙහෝවා වන මමයි කියලා දැනගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්න.+
මොකද මම සතුටු වෙන්නේ ඒ දේවල් ගැනයි”+ කියලා යෙහෝවා කියනවා.
25 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! චර්මච්ඡේදනය වුණත් ඇත්තටම චර්මච්ඡේදනය වෙලා නැති හැමෝටම මට වග කියන්න වෙන කාලයක් එනවා.+ 26 ඒ කියන්නේ ඊජිප්තුවරුන්ටත්+ යූදා වැසියන්ටත්+ ඒදොම්වරුන්ටත්+ මෝවබ්වරුන්ටත්+ අම්මොන්වරුන්ටත්+ මට වග කියන්න වෙනවා. පාළුකරයේ ජීවත් වෙන කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත අයටත්+ මට වග කියන්න වෙනවා. මොකද ඒ ජාතීන් හැමෝමත් ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන හැමෝමත් ඔවුන්ගේ හිත් චර්මච්ඡේදනය කරගෙන නැහැ.”+