නික්මයාම
29 “ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පූජකයන් විදිහට මට කැප කරද්දී මේ දේ කරන්න. වස්සෙක්ව සහ කිසිම කැළලක් නැති බැටළුවන් දෙන්නෙක්ව ගේන්න.+ 2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කරලා මුද්දක හැඩේට හදාගත්ත මුහුන් නොදැමූ රොටි සහ තෙල් තවරපු මුහුන් නොදැමූ සිහින් රොටි ගේන්න.+ ඒවා හදන්න ඕනෙ සිහින්ව කොටාගත්ත තිරිඟු පිටිවලින්. 3 ඒ රොටි කූඩයක දාලා+ වස්සා සහ බැටළුවන් දෙන්නා එක්ක ඔප්පු කරන්න.
4 “ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට එන්න+ කියලා ඔවුන්ට වතුරෙන් නාන්න කියන්න.*+ 5 ඊටපස්සේ ආරොන්ට මහපු කොටු මෝස්තර තියෙන ඇඳුම,+ ඒෆොද් ඇඳුමට යටින් අඳින අත් නැති ඇඳුම සහ ඒෆොද් ඇඳුම ඔහුට අන්දවන්න. ඊට උඩින් ළයවැස්ම පලඳවන්න. ඊටපස්සේ ඒෆොද් ඇඳුමේ ඉණපටිය තදින් බඳින්න.+ 6 විශේෂ හිස්වැස්ම ඔහුට පලඳවලා, ඒකට උඩින් ශුද්ධ රන් තහඩුව* බඳින්න.+ 7 ඊටපස්සේ ශුද්ධ තෛලය+ අරන් ආරොන්ගේ හිසට වක් කරලා ඔහුව අභිෂේක කරන්න.+
8 “ආරොන්ගේ පුතුන්ට එන්න කියලා ඔවුන්ට මහපු ඇඳුම් අන්දවන්න.+ 9 ආරොන්ට වගේම ඔහුගේ පුතුන්ටත් ඉණපටි බැඳලා හිස්වැසුම් පලඳවන්න. එහෙම කරලා පූජකයන් විදිහට සේවය කරන්න ඔවුන්ව පත් කරන්න.*+ පූජකයන් වීමේ අයිතිය තියෙන්නේ ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි. ඒ නීතිය ඔබේ හැම පරම්පරාවකටම වලංගුයි.+
10 “ඊටපස්සේ වස්සාව හමු වීමේ කූඩාරම ඉස්සරහට අරගෙන එන්න. ආරොන් සහ ඔහුගේ පුතුන් වස්සාගේ හිස මත අත් තැබිය යුතුයි.+ 11 හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී යෙහෝවා වන මං ඉස්සරහා ඔබ වස්සාව මැරිය යුතුයි.+ 12 ඔබේ ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් අරගෙන පූජාසනය වටේ තියෙන අංවල ගාන්න.+ වස්සාගේ ඉතුරු ලේ ටික පූජාසනයේ පාමුල වක් කරන්න.+ 13 උගේ බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව, අක්මාව වටේ තියෙන තෙල්, වකුගඩු දෙක සහ ඊට පිටින් තියෙන තෙල් තට්ටුව+ අරගෙන ඒවා පූජාසනය මත දවන්න. ඒකේ දුම ඉහළට නැඟිය යුතුයි.+ 14 ඒත් වස්සාගේ හම, මස් සහ ගොම කඳවුරෙන් එළියට අරගෙන ගිහින් ගින්නෙන් පුච්චලා දාන්න. ඒ වස්සා පාප පූජාවක්.
15 “ඊටපස්සේ බැටළුවන්ගෙන් එකෙක්ව එතනට අරගෙන එන්න. ආරොන් සහ ඔහුගේ පුතුන් බැටළුවාගේ හිස මත අත් තැබිය යුතුයි.+ 16 බැටළුවාව මරලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තකටම ඉහින්න.+ 17 බැටළුවාව කෑලිවලට කපලා උගේ බඩවැල් සහ කකුල් වතුරෙන් හෝදන්න.+ හිසේ ඉඳන් කකුල් දක්වා උගේ එක් එක් කොටස් එකකට එකක් ගැළපෙන විදිහට එක ළඟ තියන්න. 18 ඊටපස්සේ මුළු බැටළුවාවම පූජාසනය උඩ තියලා යෙහෝවා වන මට ගින්නෙන් ඔප්පු කරන්න. ඒකේ දුම ඉහළට නැඟිය යුතුයි. ඒක යෙහෝවා වන මට මිහිරි* සුවඳක්+ ගෙන දෙන දවන පූජාවක්.
19 “ඔබ අනිත් බැටළුවාවත් එතනට අරගෙන එන්න. ඒ බැටළුවාගේ හිස මතත් ආරොන් සහ ඔහුගේ පුතුන් අත් තැබිය යුතුයි.+ 20 ඊටපස්සේ ඌව මරලා උගේ ලේ ටිකක් අරගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තේ, දකුණු අතේ මාපටැඟිල්ලේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලේ ගාන්න. ඔහුගේ පුතුන්ටත් ඒ විදිහටම කරන්න. ඉතුරු ලේ ටික පූජාසනයේ හැම පැත්තකටම ඉහින්න. 21 ශුද්ධ තෛලයෙන්+ ටිකක් සහ පූජාසනයේ තියෙන ලේවලින් ටිකක් අරගෙන ආරොන්ටත් ඔහුගේ ඇඳුම්වලටත් ඉහින්න. ඔහුගේ පුතුන්ටත් ඔවුන්ගේ ඇඳුම්වලටත් ඒවා ඉහින්න. ඒ විදිහට ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පරිශුද්ධ සේවය වෙනුවෙන් කැප කරන්න. ඔවුන්ගේ ඇඳුමුත් ශුද්ධ දේවල් විදිහට වෙන් කරන්න.+
22 “ඊටපස්සේ බැටළුවාගේ තෙල් කොටස්, තෙලින් පිරුණු වලිගය, බඩවැල් වටේ තියෙන තෙල් කොටස්, අක්මාව වටේ තියෙන තෙල්, වකුගඩු දෙක, ඒවාවල තියෙන තෙල්+ සහ බැටළුවාගේ දකුණු ගාතය ගන්න. ඒ බැටළුවා, පූජකයන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන පූජාවයි.+ 23 යෙහෝවා වන මං ඉස්සරහට ගෙනාපු මුහුන් නොදැමූ රොටි කූඩයෙන් රොටියක්, තෙල් මිශ්‍ර කරලා මුද්දක හැඩේට හදාගත්ත රොටියක් සහ තෙල් තවරපු සිහින් රොටියක් ගන්න. 24 බැටළුවාගේ කොටස් සහ ඒ රොටි ආරොන්ගේ සහ ඔහුගේ පුතුන්ගේ අත් උඩ තියලා ඒවා යෙහෝවා දෙවියන් ඉස්සරහා ඒ මේ අත සොලවන්න කියලා ඔවුන්ට කියන්න.* ඒක දෙවියන්ට පිළිගන්වන සොලවන පූජාවක්. 25 ඊටපස්සේ ඒවා ඔවුන්ගේ අත්වලින් අරගෙන පූජාසනයේ තියෙන දවන පූජාව උඩ තියලා යෙහෝවා වන මට ගින්නෙන් ඔප්පු කරන්න. ඒක යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගෙන දෙන පූජාවක්.
26 “ආරොන්ව අභිෂේක කරන්න ඔප්පු කරපු බැටළුවාගේ පපු කොටස+ ඔබේ අතට අරගෙන ඒක යෙහෝවා වන මං ඉස්සරහා සොලවන පූජාවක් විදිහට ඒ මේ අත සොලවන්න. ඒ පපු කොටස අයිති ඔබටයි. 27 ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන බැටළුවාගේ පපු කොටස සහ ශුද්ධ කොටස විදිහට වෙන් කරපු ගාත, ඒ කියන්නේ දෙවියන් ඉස්සරහා සොලවපු කොටස් ශුද්ධ දේවල් විදිහට කැප කරන්න.+ 28 ඒ ශුද්ධ කොටස් අයිති ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි. ඒ කොටස් දෙක ඊශ්‍රායෙල් සෙනඟ දිගටම ඔවුන්ට දිය යුතුයි. සෙනඟ ඔප්පු කරන හැම හවුල් පූජාවකින්ම+ ඒ කොටස් දෙක යෙහෝවා වන මට ශුද්ධ දෙයක් විදිහට කැප කළ යුතුයි. ඊශ්‍රායෙල්වරු බොහෝ කාලයක් පුරා ඒ දේ පිළිපැදිය යුතුයි.+
29 “ආරොන්ට මහපු ශුද්ධ ඇඳුම්+ ඔහුගෙන් පස්සේ පූජකයන් විදිහට සේවය කරන ඔහුගේ පුතුන්ට අයිති වෙනවා.+ ඔවුන්ව පූජකයන් විදිහට අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් ඒ ඇඳුම් ඇඳිය යුතුයි. 30 ආරොන්ගෙන් පස්සේ පූජකයා වෙන ඔහුගේ පුතා ඒ ඇඳුම් ඇඳිය යුතුයි. ශුද්ධස්ථානයේ සේවය කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන ඔහු දවස් හතක් පුරා ඒ ඇඳුම් ඇඳ සිටිය යුතුයි.+
31 “පූජකයන්ව අභිෂේක කරද්දී ඔප්පු කරපු බැටළුවාගේ මස් ශුද්ධ තැනකදී තම්බගන්න.+ 32 තම්බගත්ත මස් සහ කූඩයේ තියෙන රොටි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී ආරොන් සහ ඔහුගේ පුතුන් කන්න ඕනේ.+ 33 ඒ පූජාවන් ඔප්පු කළේ දෙවියන්ගෙන් සමාව ලබාගෙන පූජකයන් විදිහට ඔවුන්ව කැප කරන්නයි. ඔවුන් ඒ පූජාවෙන් කෑ යුතුයි. ඒත් පූජක පවුලට අයිති නැති කිසි කෙනෙක්* එයින් නොකෑ යුතුයි. මොකද ඒවා ශුද්ධයි.+ 34 පූජකයන්ව අභිෂේක කරන්න ඔප්පු කරපු සතාගේ මස් හෝ රොටි පහුවෙනිදා උදේ වෙන කල් ඉතුරු වුණොත් ඒවා ගින්නෙන් පුච්චන්න.+ ඒවා ශුද්ධ නිසා ඒවා කන්න එපා.
35 “මං ඔබට කියපු ඒ හැම දෙයක්ම කරලා ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව අභිෂේක කරන්න. පූජකයන් විදිහට ඔවුන්ව පත් කරන්න දවස් හතක් ගත වෙයි.+ 36 දෙවියන්ගෙන් සමාව ලබාගන්නත් පූජාසනය පවිත්‍ර කරන්නත් ඒ හැම දවසකම පාප පූජාවක් විදිහට ගොනෙක්ව ඔප්පු කරන්න. පූජාසනය මත තෙල් වක් කරලා ඒක ශුද්ධ දෙයක් විදිහට කැප කළ යුතුයි.+ 37 පූජාසනය පවිත්‍ර කරන්න දවස් හතක් පුරා පූජා ඔප්පු කරන්න. ඒක ඉතා ශුද්ධ පූජාසනයක් විදිහට කැප කරන්න.+ පූජාසනය අල්ලන හැමෝම ශුද්ධ තත්වයක සිටිය යුතුයි.
38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයස බැටළුවන් දෙන්නෙක්ව හැම දවසකම ඔප්පු කරන්න.+ 39 එකෙක්ව උදේටත් අනිත් එකාව හවසටත්* ඔප්පු කරන්න.+ 40 පළවෙනි බැටළු පැටියා එක්ක සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින්* දහයෙන් කොටසක් ඔප්පු කරන්න. ඒ පිටි ඔප්පු කළ යුත්තේ ඔලීව ගෙඩි කොටලා හදාගත්ත තෙල් හින මිනුමෙන්* හතරෙන් කොටසක් එක්ක මිශ්‍ර කරලයි. ඒවාත් එක්ක පාන පූජාවක් විදිහට වයින් හින මිනුමෙන් හතරෙන් කොටසකුත් ඔප්පු කරන්න. 41 අනිත් බැටළු පැටියාව හවස් වරුවේ* ඔප්පු කළ යුතුයි. උදේ කරපු විදිහටම ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කළ යුතුයි. ඒ හැම දෙයක්ම ගින්නෙන් ඔප්පු කරන්න. ඒක යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගෙන දෙන පූජාවක්. 42 ඒ දවන පූජාව මං ඔබත් එක්ක කතා කරන්න පෙනී ඉන්න,+ හමු වීමේ කූඩාරම ළඟ* හැම දවසකම දැවෙමින් තිබිය යුතුයි. ඔබේ හැම පරම්පරාවකදීම යෙහෝවා වන මං ඉස්සරහා ඒක දැවෙමින් තිබිය යුතුයි.
43 “මම ඒ තැනදී ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා පෙනී ඉන්නවා. මගේ තේජස නිසා ඒ තැන පවිත්‍ර වෙනවා.+ 44 ඒ විදිහට මම හමු වීමේ කූඩාරමත් පූජාසනයත් පවිත්‍ර කරනවා. පූජකයන් විදිහට මට සේවය කරන්න මං ආරොන්වත් ඔහුගේ පුතුන්වත් පරිශුද්ධ තත්වයකට ගේනවා.+ 45 මම ඊශ්‍රායෙල් සෙනඟ අතරට ඇවිත් ඉන්නවා.* මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.+ 46 මම ඊජිප්තු දේශයෙන් ඔවුන්ව පිටතට ගෙනාපු ඔවුන්ගේ දෙවි වන යෙහෝවා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම දැනගන්නවා. ඔවුන් අතරට ඇවිත් ඔවුන් එක්ක ඉන්නයි මං එහෙම කළේ.+ මං ඔවුන්ගේ දෙවි වන යෙහෝවායි.