දෙවෙනි සාමුවෙල්
6 දාවිත් ආයෙත් ඊශ්‍රායෙල් පුරුෂයන් අතරින් හොඳම සෙබළු 30,000ක් තෝරගත්තා. 2 ඊටපස්සේ දාවිත් ඒ සෙබළුන් එක්ක බායලෙයූදා නගරයට ගියා. එයාලා එහෙට ගියේ කෙරුබ්වරුන්ට+ ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්න සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය එතනින් අරන් එන්නයි.+ සාමාන්‍යයෙන් මිනිස්සු ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට ගිහිල්ලයි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ+ නම කියලා කන්නලව් කරන්නේ. 3 ඒ වෙනකොට සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තිබුණේ කන්දක් උඩ තිබුණ අබිනාදාබ්ගේ ගෙදර.+ ඒත් එතන ඉඳන් එයාලා ගිවිසුම් පෙට්ටිය අරන් ආවේ අලුත් කරත්තයක තියාගෙනයි.+ කරත්තය දක්කගෙන ආවේ අබිනාදාබ්ගේ පුතාලා දෙන්නා වුණ උස්සාහ් සහ අහියෝ.
4 ඔය විදිහට එයාලා අබිනාදාබ්ගේ ගෙදර ඉඳන් සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අරගෙන ආවා. ගිවිසුම් පෙට්ටියට ඉස්සරහින් ඇවිදගෙන ගියේ අහියෝ. 5 දාවිත් රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි ජුනිපර් ලීයෙන් හදපු සංගීත භාණ්ඩ, වීණා, කුඩා වීණා, රබන්,+ අත්තාළම්+ සහ වෙනත් සංගීත භාණ්ඩ+ වාදනය කරකර යෙහෝවා දෙවියන් ඉස්සරහා සතුට සැමරුවා. 6 එයාලා නාකොන් කියන කමත ළඟට ආවාම කරත්තය ඇදගෙන ආපු හරක් කුලප්පු වුණා. උස්සාහ් ඒක දැක්ක ගමන්ම සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය කරත්තයෙන් වැටෙයි කියලා හිතාගෙන ඒක අල්ලගත්තා.+ 7 ඒ වෙලාවේ යෙහෝවාට උස්සාහ් එක්ක හුඟක් කේන්ති ගියා. උස්සාහ් කරපු ඒ අගෞරවනීය දේ+ නිසා සැබෑ දෙවියන් එයාට පහර දුන්නා.+ සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ළඟම එයා මැරිලා වැටුණා. 8 යෙහෝවාට කේන්ති ගිහින් උස්සාහ්ට ඒ වෙලාවෙම පහර දුන්න නිසා දාවිත්ට හුඟක් කේන්ති ගියා. ඒ තැනට පෙරෙෂ්උස්සාහ්* කියන නම තිබ්බේ ඒ සිද්ධියෙන් පස්සෙයි. අද වෙන කල්ම ඒ තැන හඳුන්වන්නේ ඒ නමින්. 9 එදා දාවිත්ට යෙහෝවා ගැන ලොකු බයක් ඇති වුණා.+ “යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය මං ළඟට කොහොමටවත් ගෙන්නගන්න බැරි වෙයිද”+ කියලා එයා හිතුවා. 10 යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට+ අරන් යන්න එයා කැමති වුණේ නැහැ. ඒ වෙනුවට එයා ඒක ගාත්වල* පදිංචි වෙලා හිටපු ඕබෙද්ඒදොම්ගේ+ ගෙදරට අරන් යන්න කියලා අණ කළා.
11 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය ගාත්වල හිටපු ඕබෙද්ඒදොම්ගේ ගෙදර මාස තුනක් තිබුණා. යෙහෝවා ඕබෙද්ඒදොම්ටත් එයාගේ ගෙදර හිටපු හැමෝටමත් ආශීර්වාද කළා.+ 12 පස්සේ දාවිත් රජට ආරංචි වුණා “සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ඕබෙද්ඒදොම්ගේ ගෙදර තියෙන නිසා එයාටත් එයාට අයිති හැම දේකටමත් යෙහෝවා ආශීර්වාද කරලා” කියලා. ඒක ඇහුවාම දාවිත් හරිම සතුටින් සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට අරන් එන්න ඕබෙද්ඒදොම්ගේ ගෙදරට ගියා.+ 13 යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ගිය අය+ පියවර හයක් ඉස්සරහට ගියාට පස්සේ දාවිත් රජ ගවයෙක්ව සහ හොඳ මහත වස්සෙක්ව පූජා කළා.
14 ඊටපස්සේ දාවිත් යෙහෝවා ඉස්සරහා හුඟක් සතුටින් නටන්න පටන්ගත්තා. ඒ වෙලාවේ එයා ඇඳන් හිටියේ ලිනන් රෙදිවලින් මහලා තිබුණ ඒෆොද් ඇඳුමක්.+ 15 දාවිත් ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක හරිම සතුටින් කෑගගහා+ හොරණෑ හඬ මැද්දේ+ යෙහෝවා දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය අරන් ආවා.+ 16 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට අරන් එද්දී සාවුල්ගේ දුව වුණ මීකල්+ ජනේලයෙන් ඒ දිහා බලන් හිටියා. දාවිත් රජ යෙහෝවාට ගෞරවයක් ගේන්න උඩ පැනපැන නටන විදිහ දැක්කාම මීකල් හිතින් දාවිත්ව පිළිකුල් කරන්න පටන්ගත්තා.+ 17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා. 18 පූජා ඔප්පු කරලා ඉවර වෙලා දාවිත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නමින් සෙනඟට ආශීර්වාද කළා. 19 එයා මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඒ කියන්නේ එතන හිටපු ස්ත්‍රීන් සහ පුරුෂයන් හැමෝටම මුද්දක හැඩේට හදපු රොටියක්, රටඉඳි කුට්ටියක්* සහ වියළි මිදි කුට්ටියක් ගාණේ දුන්නා. ඊටපස්සේ හැමෝම තම තමන්ගේ ගෙවල්වලට ගියා.
20 දාවිත් එයාගේ ගෙදර ඉන්න අයට ආශීර්වාද කරන්න ආවාම සාවුල්ගේ දුව වුණ මීකල්+ එයා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “අද ඊශ්‍රායෙල්වරුන්ගේ රජ හැසිරුණු විදිහ නම් හරිම අපූරුයි! ඔයා ඔයාගේ සේවකයන්ගේ දාසියන් ඉස්සරහා ඇඳුම් ගලවලා හැසිරුණේ හරියට මෝඩයෙක් වගෙයි. ඔයාට කිසිම ලැජ්ජාවක් නැද්ද?”+ 21 ඒ වෙලාවේ දාවිත් මීකල්ට මෙහෙම කිව්වා. “මං ඒ විදිහට සතුටු වුණේ යෙහෝවාට ගෞරවය දෙන්න ඕනෙ නිසයි. ඔයාගේ තාත්තායි, එයාගේ පවුලේ අයයි වෙනුවට යෙහෝවා ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න තෝරගත්තේ මාවයි.+ ඒ නිසා මං දිගටම යෙහෝවා ඉස්සරහා සතුටු වෙනවා. 22 මං මීටත් වඩා මාවම පහත් කරගෙන අපහාස විඳින්න වුණත් ලෑස්තියි. ඒත් ඔයා කියපු ඒ දාසීන් අනිවාර්යයෙන්ම මාව ගෞරවයට පත් කරනවා කියලා මං දන්නවා.” 23 ඉතින් සාවුල්ගේ දුව වුණ මීකල්ට+ මැරෙන කල් දරුවෝ ලැබුණේ නැහැ.