ඔබේ බර සැමවිටම යෙහෝවඃවහන්සේ මත තබන්න
බොහෝදෙනෙකුට අද තමුන් බරින් මිරිකී සිටින බව හැඟේ. ආර්ථික අපහසුතා, ඛේදජනක පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ගැටලු, තාඩන පීඩන සහ කෲරකම් හේතුවෙන් ඇති වන වේදනාවන්, පීඩා සහ අනිකුත් විපත් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා තබන්නාක් මෙනි. මෙම බාහිර පීඩනයන්ට අමතරව, පෞද්ගලිකව නොවටිනාකමේ හැඟීමකින් සහ ඔවුන්ගේම අසම්පූර්ණකම නිසා වන අසමත් වීමේ හැඟීමකින් ඔවුන් බර වී සිටින බව සමහරු සිතති. සමහරු මුළුමනින්ම සටන අත්හැරීමට පෙලඹෙති. පීඩාකාරි බර විඳදරාගත නොහැකියයි පෙනෙන විටදී ඔබට සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?
ඉශ්රායෙලයේ රජු වූ දාවිත්ට, එක් කලකදී පීඩනය මුළුමනින්ම පාහේ දරාගත නොහැකි බව හැඟිණ. ගීතාවලිය 55ට අනුව, තම විරුද්ධකාරයන්ගෙන් වූ පීඩන සහ එදිරිවාදිකම් නිසා, කාන්සාවෙන් ඔහුගේ සිත වෙනතකට යොමු විය. බලවත් හෘද වේදනාවක් සහ බියක් ඔහුට දැනිණ. ඔහුට හැකි වූයේ තම ශෝකයෙන් කෙඳිරිගෑමට පමණි. (ගීතාවලිය 55:2, 5, 17) කෙසේවෙතත්, සියලුම විපත්ති තිබියදීත්, සාර්ථකව කටයුතු කිරීමට මාර්ගයක් ඔහු සොයාගත්තේය. කෙසේද? උපකාරය සඳහා ඔහු තම දෙවියන්වහන්සේ වෙත නෙත් යොමු කළේය. ඔහුට මෙන් හැඟිය හැකි අන් අයටද ඔහු දුන් අවවාදය මෙයයි: “ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න.”—ගීතාවලිය 55:22, නව අනුවාදය.
“ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න,” යනුවෙන් පැවසීමෙන් ඔහු අදහස් කළේ කුමක්ද? එය නිකම්ම යාච්ඤාව තුළින් යෙහෝවඃවහන්සේ වෙතට ගොස් අපගේ කාන්සාවන් ප්‍රකාශ කිරීමද? නැතහොත් තත්වයෙන් සහනයක් ලබාගැනීමට උපකාරයක් වශයෙන් අපට අප සඳහාම යමක් කළ හැකිද? යෙහෝවඃවහන්සේ වෙත ළඟාවීමට ඉතා නොවටිනා බව හැඟුණොත් කුමක්ද? දාවිත් එම වචන ලියන විට ඔහු පැහැදිලිව මතක් කළ සමහර අද්දැකීම් දෙස බලමින්, ඔහු අදහස් කළේ කුමක්ද කියා අපට සොයාගත හැකිය.
යෙහෝවඃවහන්සේගේ ශක්තියෙන් දේවල් කරන්න
ගොලියත් ඉශ්රායෙලයේ සටන් වදින මිනිසුන්ගේ හෘදයන්හි බිය ජනිත කළේ කෙසේද කියා ඔබට මතක් කළ හැකිද? මීටර 2.7කට වඩා උසින් යුත් යෝධයෙකු මෙන් වූ මෙම මිනිසා ඔවුන්ව බියට පත් කළේය. (1 සාමුවෙල් 17:4-11, 24) එහෙත් දාවිත් බිය නොවීය. මන්ද? ඔහු ඔහුගේම ශක්තියෙන් ගොලියත් සමඟ කටයුතු කිරීමට උත්සාහ නොකළ බැවිනි. ඉශ්රායෙලයේ අනාගත රජ ලෙස ඔහුව ආලේප කළ දා පටන් ඔහු කළ සියලුම දේවලට මඟ පෙන්වීමට හා ශක්තිමත් කිරීමට ඔහු දෙවියන්වහන්සේගේ ආත්මය කෙරෙහි බලා සිට තිබිණ. (1 සාමුවෙල් 16:13) ඔහු ගොලියත්ට මෙසේ පැවසුවේය: “මම වනාහි තා නින්දාකළ ඉශ්රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක.” (1 සාමුවෙල් 17:45, 46) දාවිත් ගල් පටි විදීමෙහි නිපුණයෙකු විය, නමුත් ඔහු ගොලියත් වෙත එල්ල කළ ගල යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්ම බලයේ මඟ පෙන්වීමෙන් වඩාත් මාරාන්තික වූ බවට අපට නිසැක විය හැක.—1 සාමුවෙල් 17:48-51.
දෙවියන්වහන්සේ ඔහුට උපකාර කර ශක්තිමත් කරයි කියා නිසැකකමින් යුතුව, දාවිත් මෙම මහත් තර්ජනය සමඟ සාර්ථකව කටයුතු කර ජය අත් කරගත්තේය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හොඳ විශ්වාස කටයුතු සබඳතාවක් ගොඩනඟාගෙන තිබිණ. මීට පෙර යෙහෝවඃවහන්සේ ඔහුව ගළවා තිබූ ආකාරය නිසා ශක්තිමත් වූ බවට කිසිදු සැකයක් නැත. (1 සාමුවෙල් 17:34-37) දාවිත් මෙන්, ඔබටත් යෙහෝවඃවහන්සේ සමඟ ශක්තිමත් පෞද්ගලික සබඳතාවක් පවත්වාගත හැකි අතර, ස්වකීය හැකියාව සහ කැමැත්ත මගින් ඔබගේ සියලුම තත්වයන්වලදී ඔබව ශක්තිමත් කර ඉසිලිය හැකි බවට සම්පූර්ණ විශ්වාසය තබන්න.—ගීතාවලිය 34:7, 8.
ප්රශ්නය විසඳීමට ඔබට හැකි දේ කරන්න
කෙසේවෙතත්, ගීතාවලිය 55 පැහැදිලිව පෙන්වන පරිදි නිරන්තර වේදනාව, කාන්සාව හා බිය පවා ඇති අවස්ථාවන් කිසිදාක නොතිබෙන බව මින් අදහස් නොකෙරේ. එක් උදාහරණයකට, යෙහෝවඃවහන්සේ කෙරෙහි වූ මෙම නිර්භීත විදහාපෙන්වීමෙන් වසර කිහිපයකට පසුව, දාවිත් සිය සතුරන් ඉදිරියේ බලවත් බියක් අද්දුටුවේය. සාවුල් රජ සමඟ තිබූ අනුග්‍රහය අහිමි කරගත් අතර, තම ජීවිතය සඳහා පලා යෑමට ඔහුට සිදු විය. දාවිත්ට බලපෑ මේ චිත්තවේගීය වියවුල සහ එමගින් යෙහෝවඃවහන්සේගේ අරමුණේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඔහුගේ මනසේ පැන නැඟුණු ප්‍රශ්න පිළිබඳව උපකල්පනය කිරීමට උත්සාහ කර බලන්න. ඉශ්රායෙලයේ අනාගත රජු වශයෙන් අභිෂේක කළාට පසුවත් මෙහිදී වනයේ සතෙකු ලෙස ලුහුබඳිනු ලබමින් පලායන්නෙකු ලෙස කාන්තාරයේ ජීවත්වීමට ඔහුට සිදු විය. ගොලියත්ගේ ගම වන ගාත් නගරයේ ආරක්ෂාව සෙවීමට උත්සාහ කළ විට, ඔහුව හඳුනාගන්නා ලදි. කුමන ප්‍රතිඵලයක් ඇතුවද? ඔහු “බොහෝ සෙයින් භයවුණේය,” යයි වාර්තාව පවසයි.—1 සාමුවෙල් 21:10-12.
එහෙත් උපකාරය සඳහා යෙහෝවඃවහන්සේ දෙස බැලීම නතර කිරීමට බියට හා දැඩි කාන්සාවට ඔහු ඉඩ දුන්නේ නැත. ගීතාවලිය 34ට අනුව, (ඔහුගේ අද්දැකීමේ ප්‍රතිඵලයක් ලෙස ලියන ලදි) දාවිත් මෙසේ පැවසුවේය: “ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක. මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.”—ගීතාවලිය 34:4, 6.
ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේ ඔහුට අනුබල දුන්සේක. එහෙත් යෙහෝවඃවහන්සේ ඔහුව ගළවාගන්නා තෙක් දාවිත් නිකම්ම ඉඳගෙන බලා සිටියේ නැති බව සැලකිල්ලට ගන්න. දුෂ්කර තත්වයන්ගෙන් තමාව ඉවතට ගැනීමට තමාට හැකි සියල්ල කිරීමේ අවශ්‍යතාව ඔහු හඳුනාගත්තේය. ගළවාගත්තාවූ යෙහෝවඃවහන්සේගේ හස්තය ඔහු පිළිගත් නමුත්, ගාත්හි රජු විසින් ඔහුව නොමරණ පිණිස පිස්සෙකු මෙන් මවාපෑම ඔහු විසින්ම ගත් ක්‍රියාමාර්ගයක් විය. (1 සාමුවෙල් 21:14–22:1) අපව ගළවාගන්නා පිණිස නිකම්ම යෙහෝවඃවහන්සේ දෙස බලා සිටිනවාට වඩා, පීඩාකාරි බරවල් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට හැකි සියල්ලම අප විසින් කිරීම අවශ්‍යය.—යාකොබ් 1:5, 6; 2:26.
ඔබේ පීඩාකාරි බරට එකතු නොකරන්න
දාවිත් තම ජීවිතයේ පසු කාලයේදී තවත් පාඩමක් ඉගෙනගත්තේය, එය වේදනාකාරි එකක් විය. එය කුමක්වීද? එනම් සමහරවිට අප අපේම බරවලට අමතරව යමක් එකතු කරන බවය. පිලිස්තිවරුන්ගෙන් ලද ජයග්‍රහණයත් සමඟම ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන යෑමට දාවිත් තීරණය කළ විට කාරණා වරදින්ට විය. ඓතිහාසික වාර්තාව අපට මෙසේ පවසයි: “දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව . . . දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය. ඔවුහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය . . . අලුත් ගැළක තබා ගෙනාවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයෝවූ උස්සාද අහියෝද අලුත් ගැළ දැක්කුවෝය.”—2 සාමුවෙල් 6:2, 3.
ගිවිසුම් පෙට්ටිය ප්‍රවාහනය කිරීම සඳහා ගැලක් පාවිච්චි කිරීම මගින්, ඒ සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ දුන්නාවූ සියලුම උපදෙස් කඩ විය. බලය ලත් උසුලායන්නන් වන කොහොත්ගේ පුත්‍රයන් වන ලෙවීවරුන් පමණක්, විශේෂයෙන්ම ගිවිසුම් පෙට්ටියෙහි සවි කරන ලද වළලු හරහා තබා තිබෙන පොලු පාවිච්චි කරමින් ගිවිසුම් පෙට්ටිය ඔවුන්ගේ උරහිස් මත තබාගෙන යායුතු බව පැහැදිලිව සඳහන් කර තිබිණ. (නික්මයාම 25:13, 14; ගණන් කථාව 4:15, 19; 7:7-9) මෙම උපදෙස් නොසලකා හැරීම විපත්ති ගෙන දුන්නේය. හරකුන් ගැල ගෙන යද්දී එය පෙරලෙන්ට ආසන්න වූ විට, ලෙවීවරයෙකු වන මුත් නිශ්චිතවම පූජකවරයෙකු නොවූ උස්සා, ගිවිසුම් පෙට්ටිය නොවැටෙන පිණිස ඇල්ලීමට ළඟාවීමෙන්, ඔහුගේ අගෞරවනීයත්වය හේතුවෙන් යෙහෝවඃවහන්සේගෙන් පහර ලැබුවේය.—2 සාමුවෙල් 6:6, 7.
දාවිත්, රජු වශයෙන් මේ සම්බන්ධයෙන් යම් වගකීමක් දැරිය යුතුව තිබිණ. යෙහෝවඃවහන්සේ සමඟ හොඳ සබඳතාවක් ඇති අය පවා සමහර විට පරීක්ෂණාත්මක අවස්ථාවන්හිදී වැරදි ලෙස ප්‍රතික්‍රියා කරන්ට හැකි බව ඔහුගේ ප්‍රතික්‍රියාව පෙන්නුම් කරයි. මුලින්ම දාවිත් කෝපයට පත් වූයේය. පසුව ඔහු භය විය. (2 සාමුවෙල් 6:8, 9) යෙහෝවඃවහන්සේ සමඟ තිබූ ඔහුගේ විශ්වාස කටයුතු සබඳතාව බරපතළ ලෙස පරීක්ෂාවට ලක් විය. පෙනෙන ලෙසට මෙය යෙහෝවඃවහන්සේගේ ආඥා නොපවත්වා, තම බර උන්වහන්සේ මත තබන්ට අපොහොසත් වූ අවස්ථාවක් විය. සමහරවිට අපටත් එවන් තත්වයක් ඇති විය නොහැකිද? ස්වකීය උපදෙස් නොසලකා හැරීමෙන් ප්‍රතිඵල වන ගැටලුවලට කිසිදාක අපි යෙහෝවඃවහන්සේ පිට වරද තබන්නෙමුද?—හිතෝපදේශ 19:3.
වරදසහගතභාවයේ බර සමඟ කටයුතු කිරීම
පසුව, යෙහෝවඃවහන්සේගේ සදාචාර ප්‍රමිතිවලට විරුද්ධව බරපතළ ලෙස පව් කිරීමෙන්, දාවිත් තමා මතම වරදසහගතභාවයේ විශාල බරක් පටවාගත්තේය. මෙම අවස්ථාවේදී යුද්ධයේදී තම සේනාවේ පෙරමුණ ගැනීමේ වගකීම දාවිත් අත්හැරියේය. ඔවුන් යුද්ධයට පිටත්ව යන අතරේදී ඔහු යෙරුසලමේ නැවතී සිටියේය. මෙය බරපතළ කරදරවලට මඟ පෑදුවේය.—2 සාමුවෙල් 11:1.
ශෝභමාන බැත්ෂෙබා ස්නානය කරනවා දාවිත් රජු දුටුවේය. ඔහු ඇය සමඟ දුරාචාරයේ යෙදුණේය, තවද ඈ ගර්භිණී වූවාය. (2 සාමුවෙල් 11:2-5) අයුතු හැසිරීම වසාලීමේ උත්සාහයෙන්, ඇගේ පුරුෂයා වන උරියාව යුද බිමෙන් නැවත යෙරුසලමට ගෙන්වීමට ඔහු කටයුතු පිළියෙළ කළේය. ඉශ්රායෙලය යුද්ධයක සම්බන්ධ වී සිටින අතරේදී තම බිරිඳ සමඟ විවාහ සබඳතා පැවැත්වීමට උරියා ප්‍රතික්ෂේප කළේය. (2 සාමුවෙල් 11:6-11) දාවිත් තම පාපය වසාලීමේ අදහසින් දැන් දුෂ්ට සහ ප්රයෝගකාරි මාර්ගයක නිරත වූයේය. උරියා මරුමුවට පත් වන ලෙස, යුද්ධයේදී උරියාගේ සහකාර සෙබළුන් විසින් ඔහුව පහරට ලක් විය හැකි තැනක තැබීමට ඔහු කටයුතු පිළියෙළ කළේය. අති දුෂ්ට, ප්රයෝගකාරී පාපයකි!—2 සාමුවෙල් 11:12-17.
ඇත්තෙන්ම පසුකාලයේදී, දාවිත්ට සිය පාපය සම්බන්ධයෙන් ගණන් දීමට සිදු වූ අතර, ඔහුගේ වරදසහගතභාවය හෙළි විය. (2 සාමුවෙල් 12:7-12) ඔහු තුළ පහළ වූ රාගය හේතුකොටගෙන ඔහු සිදු කළ දෙයෙහි බරපතළකම ඔහුට තේරී ගිය විට දාවිත්ට හැඟුණාවූ ශෝකයේ හා වරදසහගතභාවයේ බර මනසේ මවාගැනීමට වෑයම් කරන්න. පෙනෙන ලෙසට විශේෂයෙන්ම ඔහු චිත්තවේගීයව සංවේදී කෙනෙක් වූ බැවින්, තමා වරදක නියැලී තිබුණා යන හැඟීම ඔහු තුළ මහත් කලකිරීමක් ඇති කරන්ට ඇත. ඔහුට සම්පූර්ණයෙන්ම නොවටිනාබවක් හැඟෙන්ට ඇත!
කෙසේවෙතත්, දාවිත් ඉක්මනින්ම තමාගේ වරද පිළිගත් අතර, අනාගතවක්තෘ නාතාන්ට මෙසේ ඒත්තුගැන්වීය: “මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි.” (2 සාමුවෙල් 12:13) ඔහුට හැඟුණේ කෙසේද කියාත්, ඔහුව පිරිසිදු කිරීමට හා සමාව දීමට යෙහෝවඃ දෙවියන්වහන්සේට කන්නලව් කළේ කෙසේද කියාත් ගීතාවලිය 51 අපට පවසයි. ඔහු මෙසේ යාච්ඤා කළේය: “මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව. මක්නිසාද මාගේ අපරාධය මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.” (ගීතාවලිය 51:2, 3) ඔහු සැබවින්ම පසුතැවිලි වූ බැවින්, යෙහෝවඃවහන්සේ සමඟ වූ තම ශක්තිමත් කිට්ටු සබඳතාව නැවත ගොඩනඟාගැනීමට ඔහුට හැකි විය. පසුතැවිල්ලේ සහ නොවටිනාබවේ හැඟීම් මත දාවිත් අනවශ්‍ය ලෙස මෙනෙහි කළේ නැත. යටහත් පහත් ලෙස තම වරදසහගතභාවය පිළිගෙන, අව්‍යාජ පසුතැවිලි වීම පෙන්වමින්, යෙහෝවඃවහන්සේගේ කමාව සඳහා නිරන්තරව යාච්ඤා කරමින් ඔහු තම බර යෙහෝවඃවහන්සේ මත තැබීය. ඔහු දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නැවත ලබාගත්තේය.—ගීතාවලිය 51:7-12, 15-19.
ද්‍රෝහිවීම සමඟ කටයුතු කිරීම
ගීතාවලිය 55 ලිවීමට දාවිත්ව පෙළඹෙවූ සිද්ධියට මෙය අපව ගෙනයයි. ඔහු දැඩි චිත්තවේගීය විඩාවකට යටත්ව සිටියේය. ඔහු මෙසේ ලීවේය: “මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ.” (ගීතාවලිය 55:4) මෙම වේදනාවට හේතු වූයේ කුමක්ද? දාවිත්ගේ පුත්‍රයා වන අබ්සලොම්, දාවිත්ගෙන් රජකම පැහැර ගැනීමට කූට උපක්‍රමයක් යොදා තිබීමය. (2 සාමුවෙල් 15:1-6) තමාගේම පුත්‍රයාගේ මෙම ද්‍රෝහිවීම ඔහුට දරාගත නොහැකි විය, නමුත් එය වඩාත් දැඩි කළේ දාවිත්ගේ ඉතාමත් විශ්වාසවන්ත උපදේශකවරයා වන, අහිතොපෙල් නම් පුද්ගලයා දාවිත්ට විරුද්ධව කුමන්ත්‍රණයට සම්බන්ධ වීමයි. දාවිත් ගීතාවලිය 55:12-14හි විස්තර කරන්නේ අහිතොපෙල් පිළිබඳවය. කුමන්ත්රණයේ හා ද්‍රෝහිවීමේ ප්‍රතිඵලයක් ලෙස දාවිත්ට යෙරුසලමෙන් පලායන්ට සිදු විය. (2 සාමුවෙල් 15:13, 14) මෙය ඔහුට මොනතරම් දුකක් ඇති කළා විය හැකිද!
කෙසේවෙතත්, තම දැඩි චිත්තවේගය සහ ශෝකය මගින් යෙහෝවඃවහන්සේ මත තිබෙන විශ්වාසය හා නිසැකකම දුර්වල කිරීමට ඔහු ඉඩහැරියේ නැත. කුමන්ත්‍රණකාරයන්ගේ සැලසුම් නිෂ්ඵල කරන මෙන් ඔහු යෙහෝවඃවහන්සේට යාච්ඤා කළේය. (2 සාමුවෙල් 15:30, 31) සියලු දේ ඉටු කරගැනීම සඳහා දාවිත් නිකම්ම අක්‍රියාශීලීව යෙහෝවඃවහන්සේ දෙස බලා නොසිටි බව නැවතත් අපට දැකගත හැක. අවස්ථාව ඉදිරිපත් වූ විගසම ඔහුට විරුද්ධව වූ කුමන්ත්‍රණයට එරෙහිව සටන් කිරීමට ඔහුට හැකි සියල්ලම ඔහු කළේය. ඇත්තවශයෙන්ම කුමන්ත්‍රණය බෙලහීන කිරීමට ගියද, එයට සම්බන්ධ බව බොරුවට අඟවන පිණිස තම උපදේශකවරුන්ගෙන් තවත් කෙනෙකු වන හූෂයිව ඔහු නැවත යෙරුසලමට යැවීය. (2 සාමුවෙල් 15:32-34) යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව මෙම සැලසුම ක්‍රියාත්මක විය. දාවිත්ට ආරක්ෂාව සලසා ගැනීම පිණිස නැවත එක්වී කණ්ඩායමක් සේ කටයුතු කිරීමට හා සංවිධානය වීමට, හූෂයි දාවිත් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගත්තේය.—2 සාමුවෙල් 17:14.
දාවිත් තම ජීවිත කාලය මුළුල්ලේම, යෙහෝවඃවහන්සේගේ ආරක්ෂාකාරි සැලකිල්ල මෙන්ම ඉවසීම සහ සමාව දීමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් කෙතරම් අගය කරන්ට ඇද්ද! (ගීතාවලිය 34:18, 19; 51:17) අපගේ පීඩාකාරි අවස්ථාවලදී උපකාරය සඳහා යෙහෝවඃවහන්සේ වෙත හැරීමටත්, ‘යෙහෝවඃවහන්සේ පිට අපගේ බර තැබීමටත්’ දාවිත් නිසැකකමින් යුතුව අපව දිරිගන්වන්නේ මෙම පසුබිම පෙරදැරි කරගෙනය.—1 පේතෘස් 5:6, 7, සසඳන්න.
යෙහෝවඃවහන්සේ සමඟ ශක්තිමත්, විශ්වසනීය සබඳතාවක් ගොඩනඟා පවත්වාගන්න
දැඩි පරීක්ෂා සහ පීඩා තිබූ කාලයේදී ඔහුව ඉසිලූ අන්දමේ සබඳතාවක්, එනම් යෙහෝවඃවහන්සේ සමඟ දාවිත්ට තිබූ ආකාරයේම සබඳතාවක් අප ඇති කරගන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලයේ උත්සාහවන්ත ශිෂ්‍යයන් වීමෙන් අපි එවන් සබඳතාවක් ගොඩනඟන්නෙමු. ස්වකීය නීති, ප්‍රතිපත්ති සහ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් අපව පුහුණු කිරීමට අපි උන්වහන්සේට ඉඩහරින්නෙමු. (ගීතාවලිය 19:7-11) දෙවියන්වහන්සේ වචනය මත අප මෙනෙහි කරනවාත් සමඟම, අපි කවරදාකටත් වඩා උන්වහන්සේට සමීප වන අතර, උන්වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමටත් අපි ඉගෙනගන්නෙමු. (ගීතාවලිය 143:1-5) තවදුරටත් යෙහෝවඃවහන්සේගෙන් පුහුණුව ලැබීමට අපි සහකාර නමස්කාරකයන් සමඟ ආශ්‍රය කිරීමේදී එම සබඳතාව තව තවත් ගැඹුරු හා ශක්තිමත් කරගන්නෙමු. (ගීතාවලිය 122:1-4) හෘදයාංගම යාච්ඤා තුළින් යෙහෝවඃවහන්සේ සමඟ තිබෙන අපේ සබඳතාව අපි වැඩි කරන්නෙමු.—ගීතාවලිය 55:1.
යෙහෝවඃවහන්සේ සමඟ තිබෙන සබඳතාව තිබිය යුතු අන්දමින් ශක්තිමත් නොවූ විට, අපට මෙන් දාවිත්ටත් දුර්වල අවස්ථා තිබූ බව සැබෑවකි. තාඩන පීඩන අපව “අනුවණයෙක්” බවට පත් කළ හැකිය. (දේශනාකාරයා 7:7, නව අනුවාදය) එහෙත් සිදු වන්නේ කුමක්ද කියාත්, අපගේ හෘදයේ තිබෙන්නේ මොනවාද කියාත් යෙහෝවඃවහන්සේට දැකගත හැකිය. (දේශනාකාරයා 4:1; 5:8) යෙහෝවඃවහන්සේ සමඟ තිබෙන අපගේ සබඳතාව ශක්තිමත්ව තබාගැනීමට අප වෙහෙස වී ක්‍රියා කළ යුතුය. එවිට, අපට කුමනාකාරයේ බර උසුලන්ට තිබුණත්, පීඩනයෙන් සහනය හෝ අපගේ තත්වය සමඟ කටයුතු කිරීමට ශක්තිය ලබාගැනීමට අපට යෙහෝවඃවහන්සේ මත රඳා සිටිය හැකිය. (පිලිප්පි 4:6, 7, 13) එය යෙහෝවඃවහන්සේ සමඟ අපගේ සමීපතාව හා සම්බන්ධ ප්රශ්නයකි. දාවිත් මෙය කළ විට, ඔහු සම්පූර්ණයෙන්ම සුරක්ෂිත විය.
එබැවින්, ඔබගේ තත්වයන් කුමක් වුවත් ඔබේ බර සැමවිටම යෙහෝවඃවහන්සේ මත තබන්නයයි දාවිත් පවසයි. එවිට අපි පොරොන්දුවේ සත්‍යතාව අද්දකින්නෙමු: “උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.”—ගීතාවලිය 55:22.