නෙහෙමියා
6 මං පවුරේ කැඩිලා බිඳිලා ගිය තැන් අලුත්වැඩියා කරලා ඒක ආයෙත් ඉදි කළා+ කියලා සන්බලට්ට, ටොබියාට,+ අරාබි ජාතික ගෙෂෙම්ට+ සහ අපේ අනිත් සතුරන්ට ආරංචි වුණා. (ඒත් ඒ වෙද්දී පවුරේ දොරටුවල දොරවල් සවි කරලා තිබුණේ නැහැ.)+ 2 ඒ ගැන ආරංචි වුණ ගමන්ම සන්බලට් සහ ගෙෂෙම් මට මෙහෙම දන්වලා එව්වා. “අපි කැමතියි ඔයාව හම්බ වෙලා ටිකක් කතා කරන්න. ඒකට අපි වෙලාවක් දාගෙන ඕනෝ තැනිතලාව+ ළඟ තියෙන ගමකදී හම්බ වෙමු.” ඒත් එයාලා හිතන් හිටියේ මට අනතුරක් කරන්න. 3 ඒ නිසා මං පණිවිඩකරුවන් අතේ එයාලට මෙහෙම කියලා යැව්වා. “මං දැන් කරකර ඉන්නේ ගොඩක් වැදගත් වැඩක්. මං ඔයාලව හම්බ වෙන්න ආවොත් ඒ වැඩේ කරන්න පරක්කු වෙයි. ඒ නිසා මට ඔයාලව හම්බ වෙන්න එන්න බැහැ.” 4 එයාලා හතර වතාවක්ම මට එන්න කියලා පණිවිඩ එව්වා. ඒ හැම වතාවකම මට එන්න බැහැ කියලා මං එයාලට කිව්වා.
5 ඒත් සන්බලට් පස්වෙනි වතාවටත් සේවකයෙක් අතේ ඒ පණිවිඩයම දන්වලා එව්වා. එයා සේවකයාගේ අතේ මුද්‍රා කරපු නැති ලියුමකුත් එවලා තිබුණා. 6 ඒකේ මෙහෙම තිබුණා. “ඔයා යුදෙව්වන් එක්ක එකතු වෙලා රජුට විරුද්ධව කැරලිගහන්න හදනවා+ කියලා අවට ජාතීන් අතරේ ආරංචියක් පැතිරිලා යනවා. ගෙෂෙමුත්+ ඒක කියනවා. ඔයා පවුර ඉදි කරන්නේ ඒ නිසයි. අපිට ආරංචි වුණ විදිහට ඔයා හදන්නේ යුදෙව්වරුන්ගේ රජ වෙන්න. 7 ‘යූදා දේශයේ දැන් රජෙක් ඉන්නවා’ කියලා ඔයා ගැන යෙරුසලම පුරාම දන්වන්න ඔයා අනාගතවක්තෘවරුන්ව පත් කරලා තියෙනවා කියලත් අපිට අහන්න ලැබුණා. ඒ දේවල් අනිවාර්යයෙන්ම රජුටත් ආරංචි වෙයි. ඒ නිසා ඒ ගැන අපිත් එක්ක කතා කරන්න එන්න.”
8 ඒත් මං එයාට මෙහෙම කියලා යැව්වා. “ඔයා කියන එක දේකටවත් කිසිම පදනමක් නැහැ. ඒවා ඔයාම හිතින් මවාගෙන පතුරන කටකතා.” 9 එයාලා හැමෝටම ඕනෙ වුණේ අපිව බය කරන්න. එයාලා අපි ගැන මේ විදිහට කතා වුණා. “අපි එයාලව බය කළොත් එයාලා අධෛර්යය වෙලා වැඩ නවත්තලා දායි.”+ මේ හැම දේටම හොඳට මුහුණ දෙන්න මට ශක්තිය දෙන්න+ කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා.
10 මේ අතරේ මං මෙහේටබෙල්ගේ පුතෙක් වුණ දෙලායාගේ පුත් ෂෙමායාව හම්බ වෙන්න ගියා. ඒ දවස්වල එයා කොහෙවත් යන්නේ නැතුව ගේ ඇතුළටම වෙලයි හිටියේ. එයා මට මෙහෙම කිව්වා. “සතුරන් ඔයාව මරන්නයි හදන්නේ. එයාලා අද රෑම එනවා ඔයාව මරන්න. ඒ නිසා අපි ඉක්මනටම සැබෑ දෙවියන්ගේ ගෘහයේදී හම්බ වෙමු. ඊටපස්සේ දේවමාලිගාව ඇතුළට ගිහින් දොරවල් වහගෙන ඉමු.” 11 ඒත් මං එයාට මෙහෙම කිව්වා. “මං මොකටද පැනලා යන්නේ? අනික, මං වගේ කෙනෙක්ට පුළුවන්ද දේවමාලිගාව ඇතුළට යන්න? එහෙම ගියොත් මට මරණ දඬුවම ලැබෙයි.+ මට කොහොමටවත් එහෙම කරන්න බැහැ!” 12 ෂෙමායා කිව්වේ දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් නෙමෙයි කියලා මං තේරුම්ගත්තා. මට විරුද්ධව අනාවැකි කියන්න ටොබියායි, සන්බලටුයි+ එයාට සල්ලි ගෙවලා තිබුණා. 13 එයාලා එහෙම කළේ මාව බය කරලා දෙවියන්ට විරුද්ධව වරදක් කරන්න මාව පොලඹවන්නයි. මං එහෙම කළා නම් මට චෝදනාවක් එල්ල කරලා මගේ නමට කැළලක් ඇති කරන්න එයාලට පුළුවන් වෙනවා.
14 “මගේ දෙවියනි, ටොබියා+ සහ සන්බලට් කරපු දේවල් අමතක කරන්න එපා. නොවදියා කියන අනාගතවක්තෘවරියයි, නිතරම මාව බය කරන්න හදපු අනිත් අනාගතවක්තෘවරුනුයි කරපු දේවල් අමතක කරන්න එපා.”
15 ටික දවසකින් අපි පවුර ඉදි කරලා අවසන් කළා. දවස් 52කින් ඒ කියන්නේ එලුල්* මාසයේ 25වෙනිදා පවුරේ වැඩ ඉවර වුණා.
16 අපි පවුර හදලා ඉවර කළා කියලා දැනගත්තාම අපේ සතුරන්ටත් අවට ජාතීන්ටත් ලොකු ලැජ්ජාවක් ඇති වුණා.+ මොකද මේ වැඩේ කරන්න අපිට පුළුවන් වුණේ දෙවියන් උදව් කරපු නිසයි කියලා එයාලට තේරුණා. 17 ඒ කාලයේ යූදා දේශයේ හිටපු ප්‍රධානීන්+ සහ ටොබියා හුඟක් ලියුම් හුවමාරු කරගත්තා. 18 යූදා දේශයේ හිටපු හුඟදෙනෙක් ටොබියාට පක්ෂව ඉන්නවා කියලා දිවුරලා පොරොන්දු වෙලයි තිබුණේ. මොකද ටොබියා කියන්නේ ආරාහ්ගේ+ පුතා වුණ ෂෙකනියාගේ බෑනා. අනික ටොබියාගේ පුතා යෙහෝහානන් විවාහ වෙලා හිටියේ බෙරෙකියාගේ පුතා වුණ මෙෂල්ලම්ගේ+ දුව එක්කයි. 19 ඒ අය හැම වෙලේම වගේ මාත් එක්ක ටොබියාගේ හොඳ කිව්වා. ඒ විතරක් නෙමෙයි මං කියපු දේවල් එයාලා ටොබියාට දැන්නුවා. ඒ නිසා මාව බය කරන්න+ ටොබියා මට නිතරම ලියුම් එව්වා.