විනිශ්චයකරුවෝ
19 ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න රජ කෙනෙක් හිටපු නැති ඒ කාලේ+ එෆ්‍රායිම් කඳුකරයේ+ පිටිසර පැත්තක එක ලෙවීවරයෙක් තාවකාලිකව පදිංචි වෙලා හිටියා. එයා යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම්වල+ හිටපු තරුණ ස්ත්‍රියක්ව එයාගේ උපභාර්යාව විදිහට ගත්තා. 2 ඒත් ඒ තරුණිය එයාගේ සැමියාට ද්‍රෝහි වුණා. ඊටපස්සේ එයා සැමියාව අත්හැරලා යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම්වල හිටපු එයාගේ තාත්තා ළඟට ගියා. එයා එහේ මාස හතරක් හිටියා. 3 ඔහොම ඉද්දී එයාගේ සැමියාට ඕනෙ වුණා එයාව ආයේ ගෙදර එක්කගෙන එන්න. ඒකට ඒ තරුණ ස්ත්රියව කැමති කරවගන්න හිතාගෙන සැමියා ඒ ස්ත්‍රිය හිටපු තැනට ගියා. සැමියා ඒ ගමන ගියේ එයාගේ සේවකයෙක්වයි, බූරුවන් දෙන්නෙක්වයි අරගෙන. එයා එහෙට ආවාම තරුණ ස්ත්‍රිය එයාව තාත්තාගේ ගෙදරට පිළිගත්තා. එයාව දැක්කාම තාත්තාත් ගොඩක් සතුටු වුණා. 4 එයාගේ මාමණ්ඩි ඒ කියන්නේ තරුණ ස්ත්‍රියගේ තාත්තා දවස් තුනකට එහේ නතර වෙන්න එයාව කැමති කරවගත්තා. ඒ හැම දවසකම එයාලා කාලා බීලා සතුටු වුණා. එයා රෑට නතර වුණෙත් එහෙමයි.
5 හතරවෙනි දවසේදී එයාලා පාන්දරින්ම නැඟිටලා ආපහු ගෙදර යන්න ලෑස්ති වුණා. එතකොට මාමණ්ඩි එයාගේ බෑනාට මෙහෙම කිව්වා. “දුර යන්න තියෙන නිසා යන්න කලින් කෑම ටිකක් කාලාම යන්න.” 6 ඉතින් එයාලා කෑමට ඉඳගත්තා. කාලා බීලා ඉවර වුණාට පස්සේ තරුණ ස්ත්‍රියගේ තාත්තා බෑනාට මෙහෙම කිව්වා. “අනේ, අද රෑත් මෙහේ නතර වෙලා ටිකක් විනෝද වෙන්න.” 7 එයා ගමන යන්න නැඟිට්ටාම එයාගේ මාමණ්ඩි නතර වෙන්න කියලා ආයේ ආයේ කියපු නිසා එදා රෑත් එයා එහේ හිටියා.
8 පස්වෙනි දවසේ පාන්දරම එයා නැඟිටලා ගෙදර යන්න ලෑස්ති වෙද්දී තරුණ ස්ත්‍රියගේ තාත්තා එයාට මෙහෙම කිව්වා. “දුර යන්න තියෙන නිසා යන්න කලින් කෑම ටිකක් කාලාම යන්න.” එයාලා දවල් වෙන කල්ම කකා බිබී හිටියා. 9 ඊටපස්සේ එයා එයාගේ උපභාර්යාවයි, සේවකයායි එක්ක ගෙදර යන්න ලෑස්ති වෙද්දී එයාගේ මාමණ්ඩි එයාට මෙහෙම කිව්වා. “දැන් හවස් වෙන්නත් ඇවිල්ලා. අනේ අදත් ඉඳලා යන්න. තව ටිකකින් කළුවර වැටෙයි. ඉතින් අද රෑත් මෙහේ නතර වෙලා ටිකක් විනෝද වෙන්න. හෙට උදේම නැඟිටලා ගෙදර යන්න පුළුවන්.” 10 ඒත් තවත් රැයක් එහේ නතර වෙන්න එයා කැමති වුණේ නැහැ. ඉතින් එයා උපභාර්යාවයි, සේවකයායි, ගමනට ලෑස්ති කරලා හිටපු බූරුවන් දෙන්නායි එක්ක එහෙන් පිටත් වුණා. එයාලා යෙබූස කියලා හඳුන්වපු යෙරුසලම වෙන කල් ගියා.+
11 එයාලා යෙබූසවලට ළං වෙද්දී හවස් වෙලා තිබුණා. ඉතින් එයාගේ සේවකයා මෙහෙම කිව්වා. “අපි අර පේන යෙබූසිවරුන්ගේ නගරෙට ගිහින් අද රෑ එහේ ඉමුද?” 12 හැබැයි එයාගේ ස්වාමියා එයාට මෙහෙම කිව්වා. “අපි මොකටද ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති නගරෙකට යන්නේ? අපි ගිබෙයා වෙන කල්ම යමු.”+ 13 එයා මෙහෙමත් කිව්වා. “අපි කොහොමහරි ගිබෙයාවලට හරි රාමාවලට+ හරි යන්න බලමු. ඒ දෙකෙන් එකක රෑ නතර වෙමු.” 14 ඉතින් එයාලා දිගටම එයාලාගේ ගමන ගියා. එයාලා බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගිබෙයාවලට ළං වෙද්දී ඉර බහින්න පටන් අරන් තිබුණා.
15 ඉතින් එයාලා රෑට එහේ නතර වෙන්න හිතාගෙන ගිබෙයාවලට ගියා. එයාලා ඒ නගරය ඇතුළට ගිහිල්ලා ප්‍රධාන හන්දියේ ඉඳගත්තා. ඒත් කිසිම කෙනෙක් එයාලට නවතින්න තැනක් දෙන්න කැමති වුණේ නැහැ.+ 16 එයාලා ඔහොම ඉද්දී කෙතේ වැඩ ඉවර වෙලා එන වයසක මනුස්සයෙක් එතනින් ගියා. එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ+ කෙනෙක් වුණ එයා ගිබෙයාවල ටික කාලයක් පදිංචි වෙලා හිටියා. ඒත් ගිබෙයාවල ජීවත් වුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති අයයි.+ 17 නගරයේ ප්‍රධාන හන්දියේ හිටපු ලෙවීවරයාව දැක්කාම වයසක මනුස්සයා එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මේ කොහේ ඉඳන් එන කෙනෙක්ද? කොහේ යන ගමන්ද?” 18 එතකොට එයා මෙහෙම උත්තර දුන්නා. “අපි යූදා ගෝත්‍රයට අයිති බෙත්ලෙහෙම්වල ඉඳලයි මේ එන්නේ. අපේ ගෙවල් තියෙන්නේ එෆ්‍රායිම් කඳුකරයේ පිටිසර පැත්තක. මං බෙත්ලෙහෙම්වලට ගියා.+ දැන් මං මේ යෙහෝවාගේ ගෘහයට යන ගමන්.* අපි මෙහේ රෑ නවතින්න හිතුවත් අපිට නවතින්න තැනක් දෙන්න කවුරුත් කැමති වුණේ නැහැ. 19 බූරුවන් දෙන්නාට ඕනෙ කරන කෑමයි, පිදුරුයි අපි ළඟ තියෙනවා.+ මටයි, මගේ උපභාර්යාවටයි, මගේ සේවකයාටයි ඕනෙ කරන කෑමයි,+ වයිනුයි අපි ළඟ තියෙනවා. අපිට මුකුත් අඩුවක් නැහැ.” 20 එතකොට වයසක මනුස්සයා මෙහෙම කිව්වා. “අපේ ගෙදර එන්න.* මං ඔයාව බලාගන්නම්. මේ ප්‍රධාන හන්දියේ නම් රෑ නතර වෙන්න එපා.” 21 ඉතින් ඒ මනුස්සයා එයාලව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. එයා බූරුවන්ටත් කෑම දුන්නා. ඊටපස්සේ එයාලාගේ කකුල් හෝදලා එයාලට කෑම බීම දුන්නා.
22 එයාලා කාලා බීලා විනෝද වෙවී ඉද්දී නගරයේ හිටපු නැහැදිච්ච මිනිස්සු කට්ටියක් ඇවිත් ගේ වට කළා. එයාලා දොරට හයියෙන් ගගහා ගෙදර අයිතිකාරයා වුණ වයසක මනුස්සයාට මෙහෙම කිව්වා. “ඔයාගේ ගෙදරට ආපු මිනිහාව ගේනවා එළියට. අපිට ඕනෙ අද රෑ ඒ මිනිහා එක්ක එකට ඉන්න.”*+ 23 එතකොට වයසක මනුස්සයා එළියට ගිහින් එයාලට මෙහෙම කිව්වා. “අනේ මගේ සහෝදරයෙනි, මේ වගේ දුෂ්ට දෙයක් කරන්න එපා. එයා මගේ ගෙදරට ආපු අමුත්තෙක්. අනේ ඉතින් මේ වගේ පහත් දෙයක් කරන්න එපා. 24 මට බැඳලා නැති දුවෙක් ඉන්නවා. මේ මනුස්සයාගේ උපභාර්යාවත් ඉන්නවා. මම ඒ දෙන්නාවම එළියට ගේන්නම්. ඔයාලට කැමති දෙයක් එයාලට කරන්න.*+ ඒකනේ ඔයාලට කරන්න ඕනේ. හැබැයි මේ මනුස්සයාට නම් ඒ වගේ පහත් දෙයක් කරන්න එපා.”
25 ඒත් ඒ මිනිස්සු එයා කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. ඉතින් ලෙවීවරයා එයාගේ උපභාර්යාවව ඇදගෙන ඇවිල්ලා+ එළියට දැම්මා. එයාලා එකතු වෙලා එයාව දූෂණය කළා. මුළු රෑ පුරාම ඒ මිනිස්සු එයාට වධ දීලා එළිය වැටීගෙන එද්දී එයාට යන්න ඇරියා. 26 උදේ පාන්දරම ඒ ස්ත්‍රිය එයාගේ සැමියා* නතර වෙලා හිටපු වයසක මනුස්සයාගේ ගෙදර ළඟට ඇවිත් ඇදගෙන වැටුණා. එළිය වැටෙන කල් එයා ඒ විදිහටම හිටියා. 27 එයාගේ සැමියා උදේ නැඟිටලා ආපහු ගමන යන්න දොරවල් ඇරියා. එතකොට එයා දැක්කා එයාගේ උපභාර්යාව දොර පැත්තට අත තියාගෙන ගෙට ඇතුල් වෙන තැන වැටිලා ඉන්නවා. 28 ඉතින් එයා එයාගේ උපභාර්යාවට මෙහෙම කිව්වා. “නැඟිටින්න, අපි දැන් යමු.” ඒත් එයාගෙන් කිසිම උත්තරයක් හම්බ වුණේ නැහැ. ඉතින් ඒ මනුස්සයා එයාව බූරුවෙක්ගේ පිටේ තියලා ගෙදර යන්න පිටත් වුණා.
29 ගෙදර ගියාම එයා පිහියක් අරගෙන එයාගේ උපභාර්යාවගේ මළ සිරුර කෑලි 12කට කැපුවා. ඊටපස්සේ එයා ඒ එක කෑල්ල ගාණේ ඊශ්‍රායෙල් දේශයේ හැම ගෝත්රයකටම යැව්වා. 30 ඒක දැකපු හැමෝම මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳන් අද වෙන කල් මේ වගේ දෙයක් නම් වෙලා නැහැ. අපි මෙහෙම දෙයක් කවදාවත් දැකලත් නැහැ. මේ ගැන හොඳට හොයලා බලන්න ඕනේ. අපි මේ ගැන කතා කරන්න ඕනේ.+ එතකොට මොනවාද කරන්න පුළුවන් කියලා අපිට දැනගන්න පුළුවන්.”