සූර්ය ග්‍රහණයක සහ තාරකාශාස්ත්රයේ චිත්තාකර්ෂණීයභාවය
උතුරු අමෙරිකාවේ ඇතැම් අයට 1994 මැයි 10දා අසහාය දිනක් විය. එය චන්ද්‍රයාගෙන් සූර්යයා වලයාකාරව ග්‍රහණය වූ (වැසුණු) අවස්ථාව විය. පැය ස්වල්පයකදී, මිලියන සංඛ්යාතදෙනෙකුට තාරකාශාස්ත්‍රය පිළිබඳ විද්‍යාවේ චිත්තාකර්ෂණීයභාවය දැනගන්ට සැලැස්වීය. එහෙත් ඇත්තෙන්ම සූර්යග්‍රහණය යනු කුමක්ද?
නිරීක්ෂකයා දකින ආකාරයට, සාපේක්ෂ වශයෙන් “එක ආකාශ වස්තුවකින් තවත් එකක් අඩක් හෝ සම්පූර්ණයෙන්ම වැසීයන” විට සූර්යග්‍රහණයක් හටගනී. (දි අමෙරිකන් හෙරිටේජ් ඩික්ෂනරි ඔෆ් ද ඉංග්ලිෂ් ලැංවේජ්) සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය හැක්කේ පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා එක කෙළින් පිහිටන විටදී පමණකි. සූර්යග්‍රහණයක්ද නැතහොත් චන්ද්‍රග්‍රහණයක්ද යන්න තීරණය වන්නේ ග්‍රහණය වන ආකාශ වස්තුව අනුවය. ඇතැම් අවස්ථාවලදී පෘථිවිය එහි සෙවනැල්ල චන්ද්‍රයා මත පතිත කිරීමෙන් චන්ද්‍රග්‍රහණයක් සිදු කරයි. අනික් අතට, ඉකුත් වසරේදී සඳ එහි සෙවනැල්ල පෘථිවිය මත පතිත කළේ, සැතපුම් 140හේ සිට 190 දක්වා පළලින් වෙනස් වන සිහින් තීරයක් ආකාරයකිනි. චන්ද්‍රයා ක්‍රමක්‍රමයෙන් පෘථිවිය සහ සූර්යයා අතරට පැමිණි විට, එය සම්පූර්ණයෙන්ම වාගේ සූර්යයා ග්‍රහණය කරයි. සෙවනැල්ලේ මාර්ගය පැසිපික් සාගරය හරහාද, ඉන්පසු උතුරු අමෙරිකාවේ නිරිතදිග සිට ඊසානදිග දක්වාද ගමන් කළේය. චන්ද්‍රයා සෙමින් සෙමින් සූර්යයා පසු කර යන බව පෙනෙන්ට තිබිණ. ඇත්තෙන්ම, සෙවනැල්ල පැයට සැතපුම් 2,000ක පමණ වේගයකින් පෘථිවිය හරහා ගමන් කළේය.
නෙත්වලට හානි නොකරගෙන සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීමට සෑම ආකාරයකම ක්‍රම යොදාගනු ලැබීය. ඇතැම්හු වෙල්ඩිංකරුවෙකු පළඳින කණ්ණාඩියකින් බැලූහ. වෙනත් අය ශක්තිමත් පෙරහනක් භාවිත කළහ. එහෙත් තවත් අය කුඩා සිදුරකින් සූර්යග්‍රහණයේ රූපය කඩදාසි කොළයක් මත දිස්වෙන්ට සැලසූහ. එක් ඡායාරූප ශිල්පිණියක්, කෙනෙකුට පෙරනයක් අල්ලාගෙන සිටීමට සැලැස්වූ අතර, සිදුරුවලින් ආලෝකය විහිදෙන විට එය භූමිය මත සූර්යග්‍රහණයේ විවිධ රූප මැවීය. ආලෝකය ගස්වල කොළ අතරින් විහිදී යන විට එවැනිම ප්‍රතිඵල දක්නට තිබිණ. තවත් ක්‍රමයක් වූයේ අඳුරු මතුපිටක් මත ද්වි රූපයක් ලබාගැනීමට ද්විනේත්රී කණ්ණාඩියකින් ආලෝකය විහිදෙන්ට සැලැස්වීමය.
වර්ෂයකදී සූර්යග්‍රහණ පහක්ද, චන්ද්‍රග්‍රහණ තුනක් දක්වාද සිදුවිය හැක. “සෑම වසරකම යම් ආකාරයක සූර්යග්‍රහණ දෙකක් අඩුම තරමින් සිදුවිය යුතුය,” යයි දි ඉන්ටර්නැෂනල් එන්සයික්ලොපීඩියා ඔෆ් ඇස්ට්රොනමි පවසයි. කෙසේවුවත්, වෙනස් වෙනස් ස්ථානවලින් සෑම එකක්ම පෙනෙන්ට තිබේ. එබැවින් එක්සත් ජනපදයට යාබද කවරෙකුට හෝ සූර්යග්‍රහණය දකින්ට නොලැබුණා නම්, තවත් අවස්ථාවක් එන තුරු 2012 වන තෙක් බලා සිටින්ට හෝ ඊට කලින් සූර්යග්‍රහණයක් දැකීමට නම් පේරූ, බ්‍රසීලය හෝ සයිබීරියාව වෙත ගමන් කිරීමට සිදුවනු ඇත.a
පූර්ණ සූර්යග්‍රහණයක අභිරහස
පූර්ණ සූර්යග්‍රහණයකදී, චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම සූර්යයා ග්‍රහණය කරන විට, පසුගිය ශතවර්ෂවලදී බියවීමට සහ සන්ත්‍රාසයට පත්වීමට සැලැස්වීය. ඒ මන්ද? දි ඉන්ටර්නැෂනල් එන්සයික්ලොපීඩියා ඔෆ් ඇස්ට්රොනමි මෙසේ සටහන් කරයි: “චන්ද්‍රයා සූර්යයා වෙත ළඟා වෙනවා දැකීමට නොහැකි වීමේ හේතුවෙන්, ළඟදී සිදුවන දර්ශනය පිළිබඳව උපදෙස් නොලද්දවුන්ට අනතුරු ඇඟවීමක් නොමැති නිසා, පූර්ණ සූර්යග්‍රහණයක් පිළිබඳ අභිරහස පුළුල් විය.” එම දර්ශනයට මෙම ලක්ෂණ ඇතුළත් වේ: “අහස අඳුරුවීමට පටන්ගනියි, බොහෝවිට විස්තර කිරීමට කොහෙත්ම නොහැකි තද කොළපැහැති වර්ණයක් ගැන්වුණු, වලාකුළු මගින් ඇති කරන අඳුරට සම්පූර්ණයෙන්ම වෙනස් අඳුරුභාවයකට අහස පත්වෙයි. . . . ස්වල්ප වශයෙන් දක්නට තිබෙන දර්ශනය තව තත්පර කීපයකින් ශීඝ්‍රයෙන් අඳුරුපැහැ ගැන්වේ, සිසිලක් දැනෙන්ට පටන්ගනියි, පක්ෂීහු ලැඟුම් ස්ථාන කරා යති, සමහර මල් පෙති වැසී යයි, එමෙන්ම සුළඟ අඩුවෙන්ට පටන්ගනියි. . . . පිටිසර පැතිවල අඳුර අඩු වී යයි.”
ජෝර්ජ් චේම්බර්ස්, ද ස්ටෝරි ඔෆ් එක්ලිප්සස් නමැති සිය පොතෙහි, වර්ෂ 1133 අගෝස්තු 2දා “ස්කොට්ලන්තයේ සිදුවූ පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දක්නට තිබූ . . . මධ්‍යකාලීන යුගවල ඉතා ප්‍රසිද්ධ සූර්යග්රහණවලින් එකක්” ගැන වාර්තා කරයි. මාමස්බරිහි විලියම් මෙසේ ලීවේය: “එදින 6වන පැයේදී සූර්යයා තම තේජස් වත සඟවාගත්තේ, . . . තැතිගන්වන අඳුරෙහි, සූර්යග්‍රහණයක් මගින් මිනිස් හෘද කලබලයට පත් කරමිනි.” පුරාණ ඇන්ග්ලෝ-සැක්සන් ක්‍රොනිකල් පැවසුවේ “මිනිසුන් ඉමහත් සේ පුදුමයට පත්වී, බියවී” සිටි බවය.
අප්‍රිකාවේ සංචාරකයන් දෙදෙනෙකු විසින් වාර්තා කළ, 1830 සැප්තැම්බර් 2දා සිදුවූ චන්ද්‍රග්‍රහණයක් පිළිබඳ පැහැදිලි විස්තරයක් චේම්බර්ස්ද වාර්තා කළේය: “චන්ද්‍රයා ක්‍රමක්‍රමයෙන් වැසී යද්දී, සෑම කෙනෙක්ම බියෙන් වෙළී ගියහ. ග්‍රහණය වැඩිවන්ට වැඩිවන්ට ඔවුහු වඩාත් බියට පත්වූහ. සියල්ලෝම තත්වය ගැන තම නායකයන්ට දැන්වීමට මහත් සිත්තැවුලෙන් දිව ගියෝය, මන්ද, එතරම් ඝන අඳුරක් ඇති කිරීමට එක වලාකුළක්වත් තිබුණේ නැති අතර, ග්‍රහණයක ස්වභාවය හෝ අදහස ඔවුන්ට තේරුම්ගත නොහැකි විය.”
බොහෝ මෑතකදී, තාරකාශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනය මගින් සූර්යග්‍රහණයක් පිළිබඳ බිය අඩු කර ඇත—සූර්යයා යළිත් දක්නට ලැබෙන බව අපි දනිමු.
ජේසු නිකායකයෝ සූර්යග්‍රහණයක් යොදාගත් අයුරු
වර්ෂ 1629දී, චීනයේ ජේසු නිකායක මිෂනාරිවරුන්ට සූර්යග්‍රහණයක මාර්ගයෙන් අධිරාජ්‍යයාගේ ප්‍රසාදය දිනාගැනීමට හැකි විය. ඔවුන් එය කළේ කෙසේද?
“චීන චන්ද්‍ර දිනදර්ශනයෙහි දෝෂ තිබූ බවත්, එය ශතවර්ෂ ගණනාවක් එසේ තිබී ඇති බවත්” ජේසු නිකායකයෝ දුටුවෝය. සූර්යග්‍රහණය කලින් කියා සිටීමේදී, අධිරාජ්‍යවාදී තාරකාශාස්ත්රඥයන් නැවත නැවත වරදවා තිබේ. . . . වර්ෂ 1629 ජූනි 21දා, උදෑසන ග්‍රහණයක් අපේක්ෂා කළ අවස්ථාවේදී ජේසු නිකායකයන්ට මහත් ප්‍රස්තාවක් විවෘත විය. අධිරාජ්‍යවාදී තාරකාශාස්ත්රඥයන් කලින් කියා සිටියේ ග්‍රහණය 10:30ට සිදුවන අතර, පැය දෙකකට පවතිනු ඇතැයි කියාය. ජේසු නිකායකයන් කියා සිටියේ ග්‍රහණය 11:30වන තෙක් සිදු නොවනු ඇති අතර එය පවතිනු ඇත්තේ විනාඩි දෙකක් පමණ බවය.” සිදුවූයේ කුමක්ද?
“තීරණාත්මක දවසේදී, 10:30 පැමිණ, පසුවී ගියා වුවද, සූර්යයා මුළුමනින්ම බැබළෙමින් තිබිණ. අධිරාජ්‍යවාදී තාරකාශාස්ත්රඥයන්ට වැරදී තිබිණ, නමුත් ජේසු නිකායකයෝ නිවැරදි වූවහුද? පසුව, හරියටම 11:30ට ග්‍රහණය පටන්ගත් අතර ජේසු නිකායකයන් පුරෝකථනය කර තිබූ පරිදි, එය පැවතුනේ විනාඩි දෙකකට පමණි. ඔවුන්ට දැන් අධිරාජ්‍යවාදියාගේ විශ්වාසය දිනාගැනීමට හැකිවිය.”—ඩෑනියෙල් ජේ. බෝස්ටින්ගේ ද ඩිස්කවර්ස්
බයිබලයේ තාරකාශාස්ත්‍රය
තාරකාශාස්ත්රීය තොරතුරු පවා බයිබලයේ සපයා තිබේ. තාරකා මණ්ඩල කීපයක් යෝබ් පොතෙහි සඳහන් කර තිබේ. තවදුරටත්, යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ට අහස පරීක්ෂා කර බැලීමට ආරාධනා කළේ, තාරකාශාස්ත්‍රය හෝ වෙනත් බොරු නමස්කාරය පිළිබඳව අධ්‍යයනය කිරීමට නොවන නමුත්, උන්වහන්සේගේ මැවිලිවල මහිමය අගය කිරීමටය. යෙසායා මෙසේ ලිවීමට ආනුභාවය ලැබීය: “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලාපල්ලා, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.”—යෙසායා 40:26.
මැවුම්කරුවාණන් යෝබ් ගැන පැවසූ විට ඔහු උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගත්තේය: “උන්වහන්සේ මහවලසාද [උර්ෂා මේජර් නැතහොත් මහ වලහා විය හැක] මුවසිරසද [ඔරයන් නැතහොත් ආකාශ දඩයක්කරු විය හැක] හත්දින්නද [ටෝරස් හෝ වෘෂභ රාශියේ ප්ලියාඩස් පොකුර විය හැක] දක්ෂිණ නිවාසද [දකුණු ධෘව තරු රාශි අදහස් කරන බව තේරුම්ගත හැක] සාදනසේක.”—යෝබ් 9:7-9.
තාරකාශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කෙතරම් චිත්තාකර්ෂණීයද යන්න දැනගන්ට ලැබෙන්නේ, යෙහෝවඃවහන්සේ කීකරු මිනිස්වර්ගයාට සදාකාල ජීවනය දානය කරන විටයි! දැවැන්ත විශ්වයට සම්බන්ධ දෙවියන්වහන්සේගේ අරමුණු අපට තේරුම්ගන්ට ලැබෙන විට විශ්වයේ ප්‍රහේළිකා හෙළිවනු ඇත. මෙබැවින්, වැඩි හැඟීමකින් යුක්තව පවා අපට දාවිත්ගේ වචන ප්රතිනාද කිරීමට හැකි වනු ඇත: “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?”—ගීතාවලිය 8:3, 4. g95 3/8
[පාදසටහන්වල]
a දකුණු අමෙරිකාවේ සමහර පැතිවලට දැකගත හැකි වූ පූර්ණ සූර්යග්‍රහණයක් 1994 නොවැම්බර් 3දා සිදුවිය.
[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photo courtesy of NASA/Finley-Holiday Film Corporation