ඔබට ඔබේ රැකියාව නිරස වී තිබේද?
පෙනෙන විදිහට ඔබ දවසකට පැය අටක් වැඩ කරනවා. එය, නිරසභාවය සඳහා කාලය සහ ජීවිතය ඕනෑවට වඩා කැප කිරීමක්! එහෙත්, 20වන ශතවර්ෂයේ ඇති බොහෝ වැඩ ඒකාකාරියි; වැඩකරුවාට ඉන් ලැබෙන පෞද්ගලික අභිමානය අල්පයි.
ඉතින් ඔබගේ වැඩය උනන්දුව ඇති කරවන එකක් කරගැනීමෙන් ප්‍රයෝජන රැසක් අත් කරගන්න පුළුවන්. වැඩ කිරීමෙන් ඔබට මහත් ප්‍රීතියක් ලැබෙන අතර, අනාගතයේදී ඔබ කරන ඕනෑම වැඩක් සාරවත් කරගැනීමේ රහස ඔබ ඉගෙනගන්න යනවා. එමනිසා, මෙය ඉටු කරගත හැකි මාර්ග කිහිපයක් අපි සෝදිසි කර බලමු.
උද්යෝගිමත්ව ක්‍රියා කිරීම
ඔබ ආස්වාදයක් ලබන්නාක් මෙන් වැඩ කිරීමට සමහර අධිකාරීන් නිර්දේශ කරනවා. ඔබ එසේ කරනවා නම්, එම ආකල්පය ඇත්තෙන්ම ඔබේ වැඩයෙන් ඔබට ආස්වාදයක් ලබා දෙන්න ඉඩ තියෙනවා.
‘ඒත් මගේ රස්සාවත් එක්ක කවදාක්වත් උද්යෝගිමත් වෙන්න බැහැ!’ කියා ඔබ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. ඔබේ රැකියාව, අවසානය දක්වා දම්වැලක් සේ කෙරෙන්නාවූ, දැඩි ස්වරූපයක් ගන්නාවූ එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්, අවුරුදු ගණනාවක් ඔබ ඔබේ රැකියාවේ යෙදී සිට ඇති නිසා උනන්දුව අලුත් කරගන්න බැරුව සිටිනවා වෙන්න පුළුවන්. කෙසේවෙතත්, සිනහව සහ කෙළින් සිටගැනීම වැනි සරල උපක්රමවලට, ඔබේ රැකියාව ගැන වඩා උද්යෝගිමත් හැඟීමක් ඇති කරගන්න උපකාර කිරීමට පුළුවන් විය හැකියි.
ඔබ කරන දෙය කෙරෙහි සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා නම්, එයත් උපකාරවත් වෙන්න පුළුවන්. නිකම්ම යාන්ත්‍රික වීමට ඉඩහරින්න එපා. ඒ වගේම දහවල් කෑම පැය, සති අන්තය හෝ කිරීමට ඇති වෙනත් වැඩක් ගැන සිතමින් ඔබේ රැකියාව කරන්න එපා. ඔබ කරමින් සිටින වැඩය කෙරෙහි සම්පූර්ණයෙන්ම සිත යොමු කිරීම සාමාන්‍යයෙන් ඥානවන්තම දෙයයි. ප්‍රතිඵලය? වැඩයෙන් ඔබ ආස්වාදයක් ලබන බවත්, එවිට වේලාව ඉක්මනින් යන බවත් පෙනේවි.
ඔබ වැඩියෙන් කිරීමට ලැදියාවක් දක්වන ක්‍රියාවක නිමග්න වී සිටින විට, ස්වභාවිකව සිදු වන්නේ මෙයයි. ඔබ සාමාන්‍යයෙන් ආස්වාදයක් නොලබනවා කියා සොයාගන්නාවූ වැඩයට සම්පූර්ණ අවධානය යෙදවීමට බල කළොත්, එම බලපෑමම අත් කරගන්න පුළුවන් වේවි.
ඔබේ උපරිමය කරන්න
ඔබේ උපරිමය කිරීම, රැකියාවේ තෘප්තිය තේරුම්ගැනීමට උපකාර කරන්න පුළුවන්. වැඩක් උනන්දුවෙන් කරන්න බැරි බව පෙනෙනවා නම්, ඒකෙන් බේරෙන්න ඉක්මනින් කරල දාන්න කියන ජනප්‍රිය අදහසට එය ඇත්තෙන්ම පරස්පරවිරෝධීයි. නමුත් නොසලකා හැරීම, කල්දැමීම සහ අලස වෑයම ඔබේ ශක්තිය හීන කළ හැකි අතර, කාන්සාව සහ අධික වෙහෙස ඊට එක් කරන්න පුළුවන්. සමහර අවස්ථාවල, දැඩි පීඩනයකින්, කනස්සල්ලෙන් සහ මුළුමනින්ම විඩාවට පත් වී ගෙදර එන කෙනෙක්, සමහරවිට උනන්දුවෙන් වැඩ කරන්න අසමත් වීම නිසා දුක් විඳිනවා වෙන්න පුළුවන්.
බයිබලයට එකඟව, ව්‍යාපෘතියක වෙහෙස වී වැඩ කිරීම විවේකී කාලයන් වඩා ආස්වාදජනක කරනවා. “කා බී තමාගේ [වෙහෙසකර, NW] වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත.” (දේශනාකාරයා 2:24) මෙය යල් පිනූ ආදර්ශ වාක්‍යයක් ලෙස සමහරෙකුට හැඟුණත්, අනිත් අය මෙම නොමියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්නවා. ඔවුන්ගේ වෙහෙසකර වැඩයෙහි පලදාවෙන් ආස්වාදයක් ලබනවාට වඩා “හොඳ යසසක්” ඇත්තෙන්ම නැති බවට ඔවුන් එකඟ වෙනවා. ද ජෝයි ඔෆ් වර්කිං (වැඩ කිරීමෙහි ප්‍රීතිය) මෙසේ පිළිගන්නවා: “හොඳින් කළ වැඩක් අභ්‍යන්තර තෘප්තියේ හැඟීම් ඇති කරවනවා.”
ඉතින්, ඔබට කරන්න පුළුවන් හොඳම වැඩය කරන්න, එවිට සමහරවිට ඔබට ප්‍රාණවත්බවක් දැනේවි. කළ හැකි අවම ප්‍රමාණයට වඩා වැඩියෙන් කරන්න, එවිට ඔබට සන්තෝෂවත්බවක් හැඟෙන්න ඉඩ තිබෙනවා. ඉතා වැදගත් වැඩ මුලින්ම කරන්න, එවිට වැඩ කල් දමන තැනැත්තන් මෙන් වෙහෙසට පත්වනවාට වඩා, ඔබ ඔබේ දිවා ආහාර විවේකයන් සහ සති අන්තවලින් වැඩි ආස්වාදයක් ලබාගනීවි.—සසඳන්න එස්තර් 10:2; රෝම 12:11; 2 තිමෝති 2:15.
එකිනෙකා සමඟ තරඟකාරි වනවා වෙනුවට, ඔබවම ඉක්මවා යන්න උත්සාහ කරන්න. (ගලාති 6:4) අලුත් ප්රමිතීන්, අලුත් ඉලක්ක තබාගන්න. වඩා හොඳින් කරන්න වීර්යය කරන්න. එක්තරා ස්ත්‍රියකගේ රැකියාව ඒකාකාරි මැසීම වූ අතර, යමෙක් එය උදාසීන දෙයක් හැටියට සලකන්න ඉඩ තිබුණත්, කාලය සමඟ කරන ක්‍රීඩාවක් ලෙස ඇය එය සකස් කරගත්තා. පැයෙන් පැයට ඇගේ නිෂ්පාදනය පිළිබඳව සාවධානීව සිටිමින් එය වැඩි කිරීමට උත්සාහ කළා. ඇයට කරන්න පුළුවන් උපරිමය කරන්න ඇය උත්සාහ කරන නිසා ඇය ඇගේ වැඩයෙන් ඇත්තෙන්ම ආස්වාදයක් ලබනවා.—හිතෝපදේශ 31:31.
ඔබේ රැකියාව “සරසන්න”
ඩෙනස් ටී. ජැෆි සහ සින්තියා ඩී. ස්කොට් යන වෛද්‍යවරුන් මෙසේ නිර්දේශ කරනවා: “ඔබේ රැකියාව හිස් නිවසක් කියා සිතන්න. ඔබ ඊට ඇතුල් වී එහි ස්වරූපය සහ ව්‍යූහය පරීක්ෂා කරනවා. ඉන්පසු ඔබේම නිර්මාණශීලීත්වය මුල් අදින්න පටන්ගන්නවා. ඉඩ කඩ පාවිච්චි කරන්නේ, එය සරසන්න යන්නේ කෙසේද කියා ඔබ නිශ්චය කරන අතර, එම නිවස ඔබේ ගෙය බවට පත් වෙනවා. ඔබේම ශෛලිය එයට දීමෙන් ඔබ එය ඔබේම කරගන්නවා.”
ඔබට බොහෝ වැඩ දෙන්නේ, නීති සහ මාර්ගදර්ශක සමඟයි. නිකම් බලාපොරොත්තු වන දේ කිරීම හරියට හිස් නිවසක් උරුම කරගන්නවා වගෙයි. කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. නමුත් ඔබ ඔබේම පෞද්ගලික ශෛලිය ඊට එකතු කළොත්, ඔබේ රැකියාව වඩා උනන්දුව දනවන එකක් බවට පත් වෙන්න පුළුවන්. පුද්ගලයන් දෙදෙනෙක් එකම විදිහට රැකියාවක් “සරසන්න” යන්නේ නැහැ. එක් වේටර්වරයෙක් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ ඇණවුම් මතක තබාගන්නවා. තවත් කෙනෙක් විශේෂයෙන්ම කරුණාවන්තයි එමෙන්ම ආචාරශීලීයි. ඔවුන් කරන්නාවූ දෙයෙහි ඔවුන්වම යෙදවීමෙන් දෙදෙනාම තමන්ගේ කොටස කරන නිසා, දෙදෙනාම තමන්ගේ වැඩයෙන් ආස්වාදයක් ලබනවා.
ඉගෙනගනිමින් සිටින්න
රැකියාවෙන් ප්‍රීතිය ලබන්න පුළුවන් තවත් ක්‍රමයක් වන්නේ ඉගෙනගැනීමයි. ටෙන්ෂන් ට’නරවුන්ඩ් (පීඩනය හැරවීම) යන පොත පැහැදිලි කරන්නේ, අප වැඩෙනවාත් සමඟම, අපේ මොළයට තොරතුරු සකස් කිරීමට ඇති ධාරිතාව වැඩි වන බවයි. අතීතයේදී අපව වින්දනය කළ දේවල් දැන් අපව නිරස කරවීම මගින් මෙම කාරණය පැහැදිලි කරනවා. අලුත් තොරතුරු සඳහා මොළයේ රුචිය, අලුත් දේවල් ඉගෙනගැනීම මගින් තෘප්තිමත් කිරීමයි විසඳුම.
ඔබේ වැඩය ගැන වැඩියෙන් ඉගෙනගැනීම, ඉදිරියේදී වඩා උනන්දුව ගෙන දෙන වැඩ ලැබීමට හේතු වෙන්න යනවා. නමුත් එය සිදු නොවුණත්, ඉගෙනගැනීමේ ක්‍රියාවලියම ඔබේ වැඩය වඩා උනන්දුමත් සහ තෘප්තිමත් කරන්න යනවා. චාර්ල්ස් කැමරන් සහ සුසැන් එලුසො යන කර්තෘවරු මෙසේ කරුණු දක්වනවා: “ඉගෙනගැනීම, ඔබේ හැකියාවන් වැඩිවර්ධනය කිරීමෙන් ඔබේ විශ්වාසය වැඩි කරනවා පමණක් නොව, ජීවිතයට බලපෑමක් ඇති කරන්නත් එයට පුළුවන්: ගැටලු විසඳාගැනීමට පුළුවන් වන අතර, දුෂ්කරතා ජයගන්නත් පුළුවන්; භය තුරන් වන අතර, ඔබ හිතුවාට වඩා දේවල් කරන්න පුළුවන්.”
ඔබ මෙලෙස විරුද්ධ වෙන්න පුළුවන්, ‘නමුත්, මම මේ දේවල් කරන්න ඉගෙනගන්න පටන්ගත්තේ හුඟක් කාලයකට කලින්!’ එහෙමනම්, ඔබේ වැඩයට වක්‍රාකාරව සම්බන්ධ වන දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයිද? උදාහරණයකට, මිනිස් සබඳතා ගැන හෝ ඔබේ උපකරණ ගැන වැඩියෙන් ඉගෙනගන්න තීරණය කරන්න ඔබට පුළුවන් විය හැකියි. සමහරවිට වඩා හොඳ කාර්යාලීය ලිපියක් ලියන්න හෝ රැස්වීමක් වඩා හොඳින් පවත්වන්නේ කොහොමද කියා ඉගෙනගන්න ඔබට පුළුවන් විය හැකියි. අධීක්ෂකයන් සමඟ හොඳ බලපෑමෙන් යුක්තව කටයුතු කළ හැකි ක්‍රම ඉගෙනගැනීමට ඔබට පුළුවන්.
ඔබ මේ දේවල් ඉගෙනගන්නේ කොහොමද? සමහරවිට ඔබේ සමාගම ඔබට ප්‍රයෝජනදායක පාඨමාලා ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, ඔබටම අවශ්‍ය කරන පොත් පුස්තකාලයක තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ලෙහෙසියෙන් ලබාගන්න පුළුවන් මූලාශ්‍ර අතපසු කරන්න එපා. මිනිසුන් වැඩ කරන හැටි බැලීම සහ ඔවුන්ගේ ශක්තීන් මෙන්ම දුර්වලකම් නිරීක්ෂණය කිරීම අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. ඔබට ඔබේ වැරදීම්වලින් ඉගෙනගන්න පුළුවන් එමෙන්ම ඔබේ සාර්ථකත්වයන්ගෙනුත් ඉගෙනගන්න පුළුවන්; ඒ ඔබ නිවැරදි ලෙස විශ්ලේෂණය කළ දේවල්වලින්. ඔබට පොතක් කියවීමෙන් හෝ පාඨමාලාවක උපදෙස්වලට ඇහුම්කන් දීමෙන් කවදාවත් ඉගෙනගන්න බැරි දෙයක්, ඔබේම අද්දැකීමෙන් සහ අන් අයව නිරීක්ෂණය කිරීමෙන් ඔබ ඉගෙනගන්නවා වෙන්න පුළුවන්.
අවසාන යෝජනා කිහිපයක්
ඔබේ වැඩය සලකා බැලීමට තවත් එළඹීමක් තියෙනවා. ඔබ දේවල් ලබන්න වටිනවා කියා ඔබ තීරණය කරන්න පුළුවන්—අනිත් අයට හැම ප්‍රස්තාවක්ම ලැබුණත් ඔබට කරන්න ඕනෑ දේවල් කරන්න කිසිම අවස්ථාවක් ලබා දී නැහැ කියා තීරණය කරන්න පුළුවන්. ඔබ සමඟ එකඟ වන අය සමඟ මේ ගැන ඔබ තොරක් නැතුව කතා කළ හැකි අතර, කතා කළ සියල්ල ඇත්ත බව ඔබ අවබෝධ කරගන්නත් ඉඩ තියෙනවා.
නමුත් එය ඇත්තක් නොවන්න ඉඩ තියෙනවා. තමන්ගේ වැඩයෙන් ආස්වාදයක් ලබන බොහෝදෙනා එසේ කරන්න ඉගෙනගත්තා. ගෙවල් නිර්මාණය කිරීමෙන් ආස්වාදයක් ලබන පුද්ගලයා බස් රථයක් පැදවීමෙන් ආස්වාදයක් ලැබීමට පැමිණෙන්නත් ඉඩ තියෙනවා. ඇයි? ඊට හේතුව, ඔහුගේ වැඩය සඳහා වන නිර්මාණශීලී එළඹීම ඔහුට ප්‍රීතියත් තෘප්තියත් ලබා දීමයි.
ඉතින් ඔබ නිෂේධාත්මක සිතුවිලි ඇතුව සිටීමෙන් නිදහස් වන්න; එය ඔබේ වැඩ සතිය අඳුරු කරන අතර, සති අන්තයටත් එසේම කරයි. පරණ අසාර්ථකත්වයන් පුනරීක්ෂණය කර කර, ඊළඟට වරදින්නේ මොකක්ද, අනිත් අය ඔබ ගැන හිතන්නේ මොනවද කියා සිත සිතා කාලය නාස්ති කරන්න එපා. ඔබ ඉදිරියේ තිබෙන වැඩය දෙස බලන්න. ඊට ඔබේ පූර්ණ අවධානය දෙන්න. ඔබේ ප්‍රියතම විනෝදාංශය කරන්නාක් මෙන් එහි නිමග්න වීමට උත්සාහ කරන්න. ඔබේ උපරිමයෙන් එය කරන්න, හොඳින් කළ වැඩයෙන් ප්‍රීතිය ලබාගන්න.
[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබේ වැඩය නොසලකා නොහරින්න
බයිබලයේ හිතෝපදේශ 27:23, 24 [NW] මෙහෙම කියනවා: “ඔබේ බැටළු රැළවල පෙනුම ඒකාන්ත ලෙස දැනගන්න; ඔබේ රංචුව කෙරෙහි හෘදය යොමු කරන්න. මන්ද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?” එයින් අදහස් කරන්නේ කුමක්ද?
ඉන් අදහස් කරන්නේ ධනය (වස්තුව) සහ ප්‍රසිද්ධ තනතුරු (ඔටුන්නක්) ලබාගත්තත්, එය බොහෝවිට තාවකාලික බව ඔප්පු වන බවයි. එමනිසා, බයිබල් කාලවල එඬේරෙක් ඔහුගේ බැටළුවන් බලාගැනීම සඳහා උත්සාහවන්ත අවධානයක් දීමෙන් ‘ඔහුගේ රංචුව කෙරෙහි හෘදය යොමු’ කිරීම මගින්, වඩා ප්‍රඥාවක් පෙන්නුවා. ඊළඟ ඡේද තුනෙහි පෙන්වන අන්දමට, ප්‍රතිඵලය වැඩකරුවාටත් ඔහුගේ පවුලේ අයටත් ද්‍රව්‍යමය සුරක්ෂිතභාවයයි.—හිතෝපදේශ 27:25-27.
අද ගැන කුමක්ද? මිනිස්සු බොහෝවිට වාසනාවක් හෝ ප්‍රසිද්ධ තනතුරක් පෑදෙන තුරු, බලාපොරොත්තුවෙන්, ඒ කෙරෙහි තමන්ගේ හෘද යොමු කරගෙන සිටින අතර, එය ඔවුන්ගේ වර්තමාන රැකියාව නවතා දැමීමට හේතු වෙනවා. සමහරුන්ට යථාර්ථානුරූපී සැලසුම් තියෙනවා; අනිත් අය නිකම් සිහින මවමින් සිටිනවා. මේ දෙකෙන් කොයික වෙතත්, කෙනෙකුගේ වර්තමාන රැකියා මාර්ගය නොසලකා හැරීම හෝ සුළු කිරීම ඥානවන්ත වෙන්න යන්නේ නැහැ. එය ඉතාමත්ම විශ්වාසදායක ආදායම් උල්පත ලෙස දිගටම පවතින්න ඉඩ ඇති අතර, දැනටත් එසේම පවතී. පුද්ගලයෙකුට ඔහුගේ හෘදය ඔහුගේ “රංචුව” කෙරෙහි යොමු කිරීම, ඒ කියන්නේ රැකියාව පිළිබඳ රඳාපැවතිය හැකි ක්ෂේත්රය කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම ඉතාම ඥානවන්ත දෙයයි. එබැවින් ඔහු මෙසේ කිරීම වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් ද්‍රව්‍යමය සුරක්ෂිතභාවය ප්‍රතිඵලය වීමට බොහෝ ඉඩ කඩ සලසනවා.