අප්‍රිකාවේ විශිෂ්ට කේශර සිංහයෝ
කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
අප්‍රිකාවේ සෙරෙංගෙටි තැනිතලාවේ දැන් හිරු නැඟෙන වෙලාවයි. සිසිල් සුළං රැල්ලක පහස විඳිමින් මෙම හිමිදිරියේ අප අපේ ලෑන්ඩ් රෝවර් රථයේ සිටින්නේ සිංහදෙනුන් සහ පැටවුන් රංචුවක් නරඹමිනි. කහ මිශ්‍ර දුඹුරු පැහැයෙන් යුත් උන්ගේ සිනිඳු ලෝම වැස්මෙහි රන්වන් දිස්නයක් ඇති අතර, අවට ඇති උසට වැඩුණු වියළි තණකොළ හා කදිමට ගැළපේ. සෙල්ලක්කාර සිංහ පැටවුන්ගේ හපන්කම්වලට නිමක් නොමැති තරම්ය. විශාල සිංහදෙනුන් වටා උන් උඩ පැන පැන සෙල්ලම් කළත්, සිංහදෙනුන් උන්ගේ දඟකාරකම් ගණන් නොගන්නාක් මෙනි.
හදිස්සියේම ඒ රංචුව ගල් ගැසෙයි. සියලුම ඇස් යොමු වෙන්නේ ඈත එක් ස්ථානයක් වෙතටයි. අවට පරිසරය දැකීමට පහසු අප සිටින ස්ථානයේ සිට, උන් බලන දෙසට යොමු වන අප, උන්ගේ අවධානය ඇදීගොස් ඇත්තේ කුමක් දෙසටදැයි දකිනවා. එතැන සිටින්නේ අරුණාලෝකයෙන් නැහැවී ගිය විශිෂ්ට පෙනුමකින් යුත් සිංහයෙකි. අප දෙස රවා බලන උගේ ඇස් අප නෙත් හා ගැටෙද්දී, මොහොතකට අපේ සිරුරු ගැහෙන්නේ අලුයම් සිසිල නිසා නොව, නමුත් උගේ බැල්මට අප හසු වී ඇති බවට වූ අවබෝධය නිසාවෙනි. බිහිසුණු වුවත් ඌට ඇත්තේ ශෝභමාන පෙනුමක්. උගේ විශාල හිස වටා ඇති රන්වන් කේශර කළුවන් වයිරම්වලින් යුක්තයි. ඇස් කහ පාටට හුරුයි, සුපරීක්ෂාකාරියි. කෙසේවෙතත්, උගේ අවධානය අපෙන් ඉවත් වී උගේ පවුල දෙසට යොමු වෙයි. ඌ දැන් උන් දෙසට කෙමෙන් කෙමෙන් පියමං කරයි.
උගේ ගමන තේජාන්විතයි. රාජකීයයි. ඌ අපේ වාහනය ඉදිරියෙන්ම සිංහදෙනුන් සහ උන්ගේ පැටවුන් සිටින ස්ථානයට ගමන් කරන්නේ කිසිදු චකිතයකින් තොරවයි. ඌ ළඟා වෙත්ම, උන් ඔක්කොම නැඟිට ළඟට ගොස් එක්කෙනා එක්කෙනා ගානේ උගේ ගොරෝසු හොම්බට උන්ගේ මුහුණ හේත්තු කර යයි. සිංහ වංශය එකිනෙකාට ආචාර කරන්නේ එලෙසයි. ඊළඟට ඒ සිංහයා රංචුවේ මැදට ගොස් තම ගමනින් විඩාවට පත් වී ඇත්තාක් මෙන් බිම දිගා වී මුණින් අතට පෙරළෙයි. උගේ අලසකම අනික් අයටද බෝවී, වැඩි වෙලාවක් යන්න මත්තෙන්, හිරු රැස්වල පහස විඳිමින් මුළු රංචුවම කෙටි නින්දක පසු වෙයි. එළිමහන් තැනිතලාවේ සුළඟට ලෙළ දෙන රන්වන් තණකොළින් වට වී ඇති මෙම තෘප්තිමත් රංචුව දකින අපට මොනතරම් ශාන්ත දර්ශනයක්ද මැවෙන්නේ.
මනබන්ධනීය, කුතුහලය දනවන සත්වයෙක්
සිංහයා තරම් මිනිසාගේ හැඟීම් පුබුදුවා ඇති වෙනත් සතෙකු නොමැති තරම්ය. ඈත අතීතයේ, අප්‍රිකානු කලාකරුවන් සිංහයන් තම ගොදුර ඩැහැගන්නා ආකාරය බිතුසිතුවම් කළා. පුරාණ මාළිගා සහ දේවස්ථාන ගලින් නෙළූ විශාල කේශර සිංහ රූපවලින් සරසනු ලැබුවා. වර්තමානයේ, මනබන්ධනීය වූ මෙම සත්වයන් නැරඹීමට ජනයා සත්වෝද්‍යානවලට එක්රොක් වෙයි. පොත්වලින් සහ චිත්‍රපටවලින් සිංහයා සෑහෙන දුරට මහජන අවධානයට හසු වී තිබේ. මීට එක් උදාහරණයකි, මිනිසුන් විසින් ඇති දැඩි කොට පසුව නිදහස් කළ, අනාථ වූ සිංහ පැටියෙකුගේ ඇත්ත කතාවක් වන බෝන් ෆ්‍රී. එපමණක්ද නොව, ඒකාන්තයෙන්ම ඇත්ත නැත්ත නිශ්චය කළ නොහැකි ජනප්‍රවාද තුළින් සිංහයාව සිත් පිත් නැති මිනී මස් කන්නෙකු හැටියටද දුෂ්ටයෙකු ලෙසද දක්වා ඇත. සිංහයාව මනබන්ධනීය, කුතුහලය දනවන සත්වයෙකු ලෙස සැලකීම පුදුමයක්ද!
සිංහයන් ඉතා රෞද්‍ර ගතියක්ද, ඉඳහිට පූසන් තරම් හීලෑ, නිවුණු ගතියක්ද පෙන්නුම් කළ හැකියි. ඇතැම් අවස්ථාවලදී උන් සතුටින් පුරු පුරු ගෑවත්, කිලෝමීටර් අටක දුරකට ඇසෙන සේ ගර්ජනා කිරීමටද පුළුවන්. සමහරවිට, උන් කම්මැළියි, අලසයි. එනමුත් පුදුම දනවන වේගයකින් ගමන් කිරීමටද පුළුවන්. එඩිතරකම සම්බන්ධයෙන් සිංහයා මිනිසාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇති අතර, එඩිතර පුද්ගලයෙකු කේශර සිංහයෙකුගේ ගණයෙහිලා සැලකේ.
සිම්බාa—සමාජශීලී සිංහයෙකි
සිංහයන් තමයි බළල් පවුලේ වඩාත්ම සමාජශීලී සත්වයන් වන්නේ. සාමාජිකයන් කිහිපදෙනෙකුගේ සිට 30කට වැඩි ගණනකින් යුත් රංචුවල උන් හොඳින් පෑහී ජීවත් වෙයි. එම රංචුවට ඇතැම්විට කිට්ටු නෑකමක් ඇති සිංහදෙනුන් කණ්ඩායමක්ද ඇතුළත් වෙයි. උන් ජීවත් වන්නෙත්, දඩයම් කරන්නෙත්, පැටවුන් බිහි කරන්නෙත් එකටය. ජීවිත කාලයක් පුරා පැවතිය හැකි මෙම කිට්ටු බැඳීම, සිංහ පවුල් ඒකකයට අත්තිවාරමක් සපයන අතර, එහි අඛණ්ඩ පැවැත්ම තහවුරු කරයි.
හැම රංචුවකටම සම්පූර්ණයෙන්ම වැඩුණු සිංහයන් එකෙකු හෝ ඊට වැඩි ගණනක් සිටියි. වසම පුරා මුර සංචාරය කිරීමත්, මළ මූත්‍රා, දේහ ගන්ධය ආදිය යොදාගෙන වසම සලකුණු කිරීමත් උන්ගේ කාර්යයට ඇතුළත්. මෙම විශිෂ්ට සතුන් කළුවන් හොම්බේ සිට කෙස්රොදක් සහිත උන්ගේ වලිගයේ කෙළවර දක්වා, දිගින් මීටර් තුනකට වඩා වැඩි විය හැකියි. තවද බරින් කිලෝග්‍රෑම් 225කටත් වඩා වැඩි විය හැකියි. රංචුවෙහි බලය පාන්නේ පිරිමි සතාය. එනමුත් නායකත්වය ගෙන කටයුතු කරන්නේ සිංහදෙනුන්ය. සෙවණැති ස්ථානයකට ගමන් කිරීමට හෝ දඩයමක් ඇරඹීම වැනි යමක් දියත් කිරීමට සාමාන්‍යයෙන් මුලපුරන්නේ සිංහදෙනුන්ය.
සිංහදෙනුන් සාමාන්‍යයෙන් සෑම දෙවසරකටම වතාවක් පැටවුන් බිහි කරයි. සිංහ පැටව් ඉපදෙන විට, උන් සම්පූර්ණයෙන්ම අසරණව සිටී. පැටවුන් ලොකු මහත් කිරීමට මුළු රංචුවම සහයෝගය දෙන අතර, රංචුවේ සිටින පැටවුන් රැකබලා ගැනීමටත් කිරි දීමටත් සියලුම සිංහදෙනුන් හවුල් වෙයි. පැටවුන්ගේ වර්ධනය වේගවත්ය; මාස දෙකක් වෙද්දී, උන් දුවමින් පනිමින් කෙළිලොල් ජීවිතයක් ගත කරයි. පූස් පැටවුන් මෙන් එකිනෙකා සමඟ පොර අල්ලමින්, උන් උසට වැඩුණු තණකොළ අතරින් පනිමින්, එකිනෙකා මතට කඩා පනියි. චලනය වන ඕනෑම දෙයක් වහාම උන්ගේ අවධානයට ලක් වෙයි. සමනළයන් දැක්කොත්, උන් පනිනවා. කෘමියෙකුට වුණත් බේරිය නොහැකියි. කෝටු හෝ වැල් පවා පේන්න බැහැ. හැබැයි, උන්ගෙන් බේරගන්නම බැරි දේ තමයි මවගේ වලිගය. ඇය එය හිතාමතා එහා මෙහා සොලවන්නේ, උන්ගේ අවධානය ගෙන සෙල්ලම් කිරීමට ආරාධනා කරන්නාක් මෙනි.
හැම රංචුවක්ම හෙක්ටයාර් බොහොමයක්ම විහිදී යා හැකි හොඳින් සලකුණු කරගත් වසමක් තුළ වෙසෙනවා. හොඳ ජල සැපයුමක් ඇති උස් බිම් සහ දහවලේ දැඩි හිරු රශ්මියෙන් සෙවණක් ලැබෙන ප්‍රදේශවලට සිංහයන් වැඩි මනාපයක් දක්වනවා. එහිදී උන් අලි ඇතුන්, ජිරාෆයන්, මී හරක් සහ තැනිතලාවේ වෙසෙන වෙනත් සතුන් සමඟ ජීවත් වනවා. සිංහයෙකුගේ ජීවිතය කොටස් දෙකකට බෙදිය හැකියි: එනම්, නින්ද සඳහා සෑහෙන කාලපරිච්ඡේදයක් සහ දඩයම් කිරීම මෙන්ම සංවාසයෙහි යෙදීම සඳහා කෙටි කාලයක් වශයෙන්. ඇත්තටම සිංහයන් විවේක ගැනීමට, නිදාගැනීමට හෝ නිකම්ම ඔහේ පස්සාගාතෙන් වාඩිගෙන සිටීමට දිනකට පැය 20ක තරම් කාලයක් ගත කරනවා. නිදාගනිද්දී, හරිම අහිංසක හීලෑ පෙනුමකුයි තිබෙන්නේ. හැබැයි, එයට රැවටෙන්න එපා! සිංහයා කියන්නේ වනමෘගයන්ගෙන් දරුණුම සතුන් අතුරින් එකෙක්.
දඩයම් කරන්නා
සවස් වෙද්දී, රත් වූ තණබිම් සිසිල් වීමට පටන්ගනී. අපේ නිරීක්ෂණයට භාජන වී ඇති රංචුවට අයත් සිංහදෙනුන් තිදෙනෙක් තම දහවල් නින්දෙන් අවදි වෙයි. දැඩි බඩගින්නකින් පෙළෙන උන්, එහෙ මෙහෙ යමින් තණබිම් සිසාරා තියුණු බැල්මක් හෙළමින් යම් සතෙකුගේ ඉව ඇල්ලීමට ආයාසයක් දරනවා. දැන් විල්ඩබීස්ට් ගෝනාගේ සංක්‍රමණ සමයයි. අපෙන් දකුණු දෙසට වෙන්න දැකීමට එතරම් ප්‍රිය නැති මෙම ගෝන වර්ගය දස දහසක්ම නිවිසැනසිල්ලේ තණ බුදිමින් සිටී. සිංහදෙනුන් තිදෙනා දැන් ඇදෙන්නේ ඒ දෙසටයි. එකිනෙකාගෙන් ඈත් වී, උන් රළු භූමි ප්‍රදේශය ඔස්සේ එම රංචුවේ ආසන්නයට හොරෙන්ම වාගේ පියමං කරයි. උසට වැඩුණු තණකොළින් ප්‍රයෝජන ගන්නා මෙම කහ පාටට හුරු සිංහදෙනුන්, නිසොල්මනේ තණ බුදිමින් සිටින රංචුව සමීපයට පැමිණේ. දැන් උන් සහ රංචුව අතර ඇති දුර මීටර් 30ක් පමණි. සිංහදෙනුන් ක්‍රියාත්මක වීමට තීරණයක් ගන්නේ එවිටයි. සිංහ ප්‍රහාරයෙන් කම්පනයට පත් විල්ඩබීස්ට් රංචුව අතරට එම සිංහදෙනුන් කඩා පනින්නේ විදුලි වේගයකිනුයි. කුලප්පු වූ විල්ඩබීස්ට් රංචුව සීසීකඩ විසිර යයි. ත්‍රාසයෙන් වෙළුණු මෙම වනමෘගයන් පලා යන්නේ තම පණ බේරාගැනීමටයි. කුර සියදහස් ගණනක දැඩි ප්‍රහාරයෙන් දෙදරුම් කන පොළෝතළයෙන් රතු දූවිලි වලාවක් නැඟෙයි. දූවිලි වලාව කෙමෙන් කෙමෙන් පහව යද්දී, අප දකින්නේ හොඳින් හෙම්බත් වූ සිංහදෙනුන් තිදෙනා එක තැන සිටිගෙන සිටිනවා පමණි. ගොදුර උන්ගේ අතින් ගිලිහී ගොසින්. දඩයම් කිරීමට තවත් අවස්ථාවක් රාත්‍රියෙහිදී පැමිණේවිද? සමහරවිට. සිංහයන් කඩිසර, ජවසම්පන්න සතුන් වුවද, දඩයම් කරන විට සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට උන් සමත් වන්නේ, දරන හැම ප්රයත්නයන් තුනෙන් එකකදී පමණි. එමනිසා, සිංහයන්ට එල්ල වන ප්‍රබලම තර්ජනය හාමතයි.
සම්පූර්ණයෙන්ම වැඩුණු සිංහයෙකුට තිබෙන ශක්තිය විශිෂ්ටයි. කණ්ඩායමක් වශයෙන් එකට දඩයම් කරමින්, කිලෝග්‍රෑම් 1,300කට වැඩි බරකින් යුත් සතුන් බිමට ඇද දමා මරා දැමීමට උන් සමත්. මුලින් ගොදුර පසුපස එළවද්දී, සිංහයන්ට පැයකට කිලෝමීටර් 59ක වේගයකට ළඟා විය හැකි වුවද, එය එතරම්ම වේලාවකට රඳවාගැනීමට උන්ට නොහැකියි. එමනිසා, උන්ගේ ගොදුර ඩැහැගැනීමට, සෙමින් ළං වී, රැක සිටීමේ ක්‍රමය අනුගමනය කරනවා. දඩයම් කටයුතුවලින් සියයට 90ක්ම කරන්නේ සිංහදෙනුන්. හැබැයි, ගොදුර අනුභව කිරීමේදී වැඩිම පංගුව ලැබෙන්නේ හැඩි දැඩි සිංහයන්ටයි. දඩයමට සතුන් හිඟව පවතින විට, සිංහයන්ට සමහරවිට දැනෙන්නේ පුදුම බඩගින්නක්. ඒ කොතරම්ද කිවහොත් අමාරුවෙන් දඩයම් කළ සතා ළඟින් උන් තම පැටවුන්ව පවා පලවාහරිනවා.
දඩයමට ලක්වූවෙක්
ඈත අතීතයෙහි මහානුභාවසම්පන්න සිංහයාගේ ගර්ජනාව අප්‍රිකානු මහද්වීපය පුරාද, ආසියාවේ ඇතැම් ප්රදේශවලද, යුරෝපයේ, ඉන්දියාවේ සහ පලස්තීනයෙහිද කාගේ කාගෙත් සවනට වැකුණා. කෙසේවෙතත්, ඌ දඩයම්කාරයෙක් නිසා මිනිසා සමඟ තරඟ වැදීමට ඌට සිදු වී තිබෙනවා. ඇති කරන සතුන්ට සහ මිනිසාටත් තර්ජනයක් එල්ල වීම හේතුවෙන්, සිංහයා දුටු පමණින් වෙඩි තබා මැරිය යුතු සතෙකු බවට පත් වුණා. ශීඝ්‍රයෙන් වැඩි වන ජනගහනයද සිංහයාගේ රාජධානිය බෙහෙවින් සීමා කර තිබෙනවා. අප්‍රිකාවෙන් පිට, වනයේ සැරිසරන සිංහයන් ඇත්තේ සිය ගණනක් පමණි. මිනිසාගේ ග්රහණයෙන් සිංහයන්ට දැන් මිදී සිටිය හැක්කේ අභය භූමිවල හෝ වනසත්වෝද්යානවල සීමාවන් තුළ විතරයි.
මෙම විශිෂ්ට සත්වයාට ඉදිරියෙහි වඩාත් සුවදායී ඉරණමක් අත් වනවායයි දැනගැනීම සතුටට කරුණක්. සිංහයා මනුෂ්‍යයා සමඟ සමාදානයෙන් වාසය කරන කාලයක් මතුවට පැමිණෙන ආකාරය බයිබලයෙහි විස්තර කර ඇත. (යෙසායා 11:6-9) මෙය ළඟදීම යථාර්ථයක් කිරීමට අපේ ප්‍රේමනීය මැවුම්කරු පියවර ගනී. එදාට අප්‍රිකාවේ විශිෂ්ට කේශර සිංහයා සෙසු මැවිල්ල සමඟ සාමයෙන් සහ සමඟියෙන් ජීවත් වනවාට කිසිම සැකයක් නැහැ.
[පාදසටහන]
a සිම්බා යනු ස්වහීලී බසින් “සිංහයා.”
[27වන පිටුවේ කොටුව]
සිංහ ගර්ජනාව
කිලෝමීටර් ගණනාවක් ඈතට ඇසිය හැකි තරම් ප්‍රබල ගර්ජනාවක් කිරීම සම්බන්ධයෙන් සිංහයන් නම් දරා සිටිනවා. සිංහයාගේ ගර්ජනාව “අද්විතීයව කැපීපෙනෙන ස්වාභාවික ශබ්දයක්” ලෙස සලකා තිබෙනවා. සිංහයන් සාමාන්‍යයෙන් ගර්ජනා කරන්නේ රාත්‍රි කාලයේදී හෝ හිමිදිරි උදෑසනදී පමණයි. ගැහැනු පිරිමි දෙපිරිසම ගර්ජනා කරන අතර, ඇතැම් අවස්ථාවලදී, මහත් සාමූහික ගර්ජනාවකට පංගුකාරයන් වෙමින් මුළු රංචුවම එකට ගර්ජනා කරයි.
සිංහයන් අධ්‍යයනය කරන විද්‍යාඥයන්ට අනුව, ගර්ජනා කිරීමෙන් දේවල් කිහිපයක්ම ඉටු වෙයි. පිරිමි සතුන් ගර්ජනා කරන්නේ තම වසමේ සීමාවන් මොනවාදැයි දැන්වීමට සහ එයට ඇතුල් විය හැකි වෙන සිංහයෙකුට අනතුරු ඇඟවීමක් වශයෙන්, තමා රජ බව ප්‍රකාශ කිරීමටයි. එසේ නම්, කලහකාරි, උඩඟු මෙන්ම ගිජු අෂූරිය සහ බබිලෝනීය පාලකයන්, දෙවිගේ සේවකයන්ට දරුණු ලෙස පීඩා කළ, ඔවුන්ව ගොදුරු කරගත්, ගර්ජනා කරන “තරුණ සිංහයන්” හැටියට බයිබලය හඳුන්වන්නේ හොඳ හේතු ඇතුවයි.—යෙසායා 5:29; යෙරෙමියා 50:17.
තනි වූ විට හෝ අන්ධකාරය නිසා එකිනෙකාව සොයාගැනීමට අපහසු වන විට, එකිනෙකාව සොයාගැනීමටද ගර්ජනා කිරීම සිංහ රංචුවකට උපකාරවත් වෙනවා. ගොදුරක් ඩැහැගත්තායින් පසු, ඒ ස්ථානය කොතැනදැයි රංචුවේ සෙස්සන්ට දැන්වීම සඳහා ගර්ජනාවක් මහෝපකාරි වෙයි. මෙම ගතිලක්ෂණයට යොමු දක්වමින් බයිබලය මෙසේ නිරීක්ෂණය කරයි: “සිංහයෙකුට ගොදුරු නැතිවිට ඌ කැලෑවේ ගොරවනවා ඇද්ද? ගොදුරක් අල්වා නොගෙන සිටිද්දී තරුණ සිංහයා උගේ ගුහාවේ සිට නාදකරනවා ඇද්ද?”—ආමොස් 3:4.
වනසතුන් දඩයම් කරද්දී, තම ගොදුර බියගැන්වීමට උපායක් වශයෙන් සිංහයන් ගර්ජනා කිරීම යොදා නොගැනීම පුදුමයට හේතුවක්. අප්‍රිකානු ක්ෂීරපායී සතුන්ගේ චර්යා රටා අත්පොත (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි, රිචඩ් එස්ටිස් මෙසේ නිරීක්ෂණය කරයි: “ගොදුරක් කොටු කිරීමට සිංහයන් ඕනෑකමින්ම ගර්ජනා කරන බවට කිසිම ඉඟියක් නැහැ (මගේ අද්දැකීමට අනුව නම්, ගොදුරු වන සතුන් සාමාන්‍යයෙන් සිංහ ගර්ජනා නොසලකා හරිනවා).”
එසේ නම්, සාතන්ව ‘කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් සිටින ගොරවන සිංහයෙකු’ ලෙස බයිබලයෙහි විස්තර කර ඇත්තේ මන්ද? (1 පේතෘස් 5:8) පෙනෙන ප්‍රකාරයට, සිංහ ගර්ජනාවෙන් වනයේ සතුන් භයගන්වනු නොලැබුවද, මිනිසා සහ ඔහුගේ හීලෑ සත්ව රැළවල් සම්බන්ධයෙන් එය සැබෑවක් බව පැවසිය නොහැකියි. අන්ධකාරයෙහි දෙදරුම් කන බිහිසුණු සිංහ ගර්ජනාව අගුල් දැමූ දොරක් පිටුපස නොව, නමුත් අනාරක්ෂිතව එළිමහනේ සිටින ඕනෑම කෙනෙකුව බියගන්වයි. එසේ නම්, ඈත අතීතයෙහි කළ මෙම නිරීක්ෂණය නිවැරදියි: “සිංහයා ගර්ජනාකෙළේය, භය නොවෙන්නේ කවුද?”—ආමොස් 3:8.
මනුෂ්‍යයන්ව බියගන්වා යටත් කිරීමට සාතන් භය කියන දෙය දක්ෂව යොදාගන්නවා. කෙසේවෙතත්, දෙවිගේ සෙනඟට නම්, ප්‍රබල මිතුරෙක් සිටී. යෙහෝවා සපයා දෙන ආරක්ෂාව කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව, මෙම බලසම්පන්න ‘ගොරවන සිංහයාගේ’ ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දිය හැකියි. “ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න” කියා ක්‍රිස්තියානීන්ට දිරිගන්වා ඇත්තේ එනිසයි.—1 පේතෘස් 5:9.