සයිබීරියාවේ පිටුවහල් කර!
වසිල්යේ කල්යින්ගේ කතාව
ෂෙල් හඬ මැද්දේ මිනිසෙක් සන්සුන්ව බයිබලය කියවනවා ඔබේ නෙත ගැටුණොත්, ඔහුට එතරම් සන්සුන් ආකාරයකට සිටිය හැක්කේ කොහොමද කියා දැනගැනීමට ඔබ කැමති වන්නේ නැද්ද? අවුරුදු 56කට කලින් එවැනිම සිද්ධියක් මගේ පියා අද්දැක්කා.
දෙවන ලෝක යුද්ධය එහි උච්චාවස්ථාවටම පැමිණි 1942 ජූලි මාසයේදී, ජර්මානු ආක්‍රමණ භට පිරිස් යුක්රේනයේ පිහිටි මගේ පියාගේ ගම වන විල්ෂානීට්සාව පසු කර යද්දී, මගේ පියා වැඩිහිටියන් කිහිපදෙනෙක්ගේ නිවසකයි හිටියේ. ෂෙල් බෝම්බ දසත පිපුරුවත්, එක් තැනැත්තෙක් ගිනි උදුන ළඟ බඩ ඉරිඟු රත් කරමින් බයිබලය කියවමින් සිටියා.
ඒ සිද්ධියට අවුරුදු පහකට පසු, එකල සෝවියට් සංගමයේ කොටසක් වූ, අලංකාර යුක්රේනීය නගරය වන ඉවානෝ ෆ්රාන්කිව්සකවලට නුදුරින් පිහිටි පෙදෙසක මම ඉපදුණා. ඔහුට කවදාවත් අමතක නොවන සිද්ධියක් වන එම යෙහෝවාගේ සාක්ෂිකරුවාව මුණගැසීම සම්බන්ධයෙනුත්, බිහිසුණු යුද්ධය සම්බන්ධයෙනුත් මගේ පියා මට පසු කාලයේදී පැවසුවා. මිනිසුන් ඒ සෑම දෙයකින්ම හෙම්බත්ව, තත්වය නිසා කෝපාවිෂ්ටව සිටි අතර තමන්ගෙන්ම මෙසේ අසාගත්තා ‘මෙතරම් අයුක්තියක් තියෙන්නේ ඇයි? දහස් සංඛ්‍යාත මිනිසුන් සංඛ්‍යාවක් මැරෙන්නේ ඇයි? දෙවියන් ඒකට ඉඩ දෙන්නේ ඇයි? ඇයි? ඇයි? ඇයි?’
එම මහලු තැනැත්තා සමඟ මගේ පියා එවැනි ඍජු දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. දිගු කලක් පුරා තාත්තට ප්රහේලිකාවක්ව තිබූ ප්‍රශ්නවලට උත්තර එම මිනිසා බයිබලය ආධාරයෙන් සැපයුවා. දෙවිගේ නියමිත කාලයේදී යුද්ධවලට අවසානයක් ගෙන ඒමට යන බවත්, පොළොව මනහර පාරාදීසයක් බවට පත්වීමට යන බවත් ඔහු පැහැදිලි කළා.—ගීතාවලිය 46:9; යෙසායා 2:4; එළිදරව් 21:3, 4.
තාත්තා කඩි මුඩියේ ගෙදර ඇවිත් මෙහෙම විස්තර කළා: “මේක විශ්වාස කරන්න පුළුවන්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක එක සාකච්ඡාවයි කළේ, මගේ ඇස් දෙක දැන් ඇරිලා! මම සත්‍යය හොයාගත්තා!” තාත්තා කතෝලික පල්ලියට දිගටම ගියත්, ඔහුගේ ප්‍රශ්නවලට උත්තර සැපයීමට පූජකයන්ට පුළුවන් වුණේ නැහැයි කියලා ඔහු කිව්වා. ඉතින් තාත්තා බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඒ වගේම අම්මත් එයාට එකතු වුණා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ දරුවන් තුන්දෙනාටත් උගන්වන්න පටන්ගත්තා. මගේ අක්කට එතකොට අවුරුදු 2යි, මගේ අයියලගෙන් එක්කෙනෙක්ට 7යි, අනික් එක්කෙනාට 11යි. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා, බෝම්බයක් නිසා ඒගොල්ලන්ගේ ගෙදරට ගොඩක් හානි ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ එක කාමරයයි.
අම්මා සහෝදරියන් හයදෙනෙක් සහ එක සහෝදරයෙක් ඉන්න විශාල පවුලක කෙනෙක්. එයාගේ තාත්තා එම ප්‍රදේශයේ හිටි ධනවත් පුද්ගලයෙක් වූ අතර එයා එයාට තිබුණු බලයත් තත්වයත් අගය කළා. ඉතින් මුලදී, මගේ පවුලේ අය සොයාගත්ත අලුත් ඇදහිල්ලට නෑදෑයෝ පීඩන එල්ල කළා. කොහොම වුණත්, කාලයක් යද්දී, මේ විරුද්ධ වුණ අය ඒ අයගේ රූප අහක් කරලා, බයිබලයට පටහැනි ආගමික පුරුදු අයින් කර මගේ දෙමාපියන් සමඟ සැබෑ නමස්කාරයේ හවුල් වුණා.
පූජකයා සාක්ෂිකරුවන්ට විරුද්ධව විවෘතව මිනිසුන්ව උසිගැන්නුවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඒ ප්‍රදේශයේ මිනිස්සු මගේ දෙමාපියන්ගේ ගෙදර ජනෙල් කුඩු කරලා ඒගොල්ලන්ට තර්ජනය කළා. ඒත් ඒ තත්වය මැද, මම 1947 ඉපදෙන කොටත්, මගේ පවුලේ අය යෙහෝවාට ආත්මයෙන් හා සැබෑකමින් සේවය කරමින් සිටියා.—යොහන් 4:24.
වහල්භාවයට
මට ඒ කාලයේ අවුරුදු හතරක් වුණත්, වර්ෂ 1951 අප්‍රියෙල් 8වනදා අලුයම් හෝරාවන් මගේ මතකයේ ගැඹුරින් තැන්පත් වී තියෙනවා. බල්ලන් එක්ක හමුදාවේ මිනිසුන් අපේ ගෙදරට ආවා. පිටුවහල් කිරීම සම්බන්ධ ලියවිල්ලක් ඒ අය අපිට ඉදිරිපත් කර සෝදිසි මෙහෙයුමක නිරත වුණා. මැෂින් තුවක්කු හා බල්ලන් ඇතුව සිටි භටයන් අපේ දොරකොඩ සිටගෙන සිටි අතර, හමුදාවේ තවත් අය අපේ මේසයේ වාඩි වී අප ලැහැස්ති වන තුරු බලා සිටියා. අපිට දුන් පැය දෙකක කාලය ඇතුළත අප සූදානම් වීම අවශ්‍යව තිබුණා. වෙන්නේ මොකක්ද කියල මට තේරුණේ නැති නිසා මම ඇඬුවා.
මගේ දෙමාපියන් තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවන බවටත් මින් මත්තට ඔවුන් සමඟ කිසිම සම්බන්ධයක් නොපවත්වන බවටත් කියැවෙන ලිපියක් අත්සන් කිරීමට ඔවුන් අණ කර තිබුණා. ඔවුන් අත්සන් කළහොත්, ඔවුන්ට ඔවුන්ගේ නිවසේ හා මව් රටේ නැවතී සිටීමට හැකි වනු ඇත. නමුත් තාත්තා ස්ථිරව මෙහෙම ප්‍රකාශ කළා: “ඕගොල්ලන් අපිව කොහේ ගෙනිච්චත් අපේ යෙහෝවා දෙවි අපිත් එක්ක ඉඳීවි කියල මට සහතිකයි.”
“ඕගොල්ලන්ගේ පවුල, ඒ වගේම ඔයාලගේ ළමයින් ගැන ටිකක් හිතන්න” කියා නිලධාරියා ආයාචනා කළා. “මොකද ඕගොල්ලන්ව ගෙනියන්නේ නිකේතනයකට නෙවෙයි. ඕගොල්ලන්ව ඈත උතුරටයි ගෙනියන්නේ. එහේ හැමදාම හිම තියෙනවා, හිම වලස්සු ඉබාගාතේ පාරේ ඇවිදිනවා.”
ඒ කාලයේදී, “සයිබීරියාව” කියන වචනයේ භයානක අද්භූත යමක් අන්තර්ගත වෙලා තිබුණා. ඒත්, නොදන්නා දේ ගැන තිබුණ භයට වඩා යෙහෝවාට තිබුණ ඇදහිල්ල හා දැඩි ප්‍රේමය හුඟක් ශක්තිමත්ව තිබුණා. අපේ බඩු මුට්ටු කරත්තයකට දැමූ අතර අපිව නගරයට ගෙන ගොස්, කෝච්චි පෙට්ටියකට දැම්මා. ඒකේ තවත් පවුල් 20ක් 30ක් විතර හිටියා. ඉතින් අපි ටියිගා නැතිනම් සයිබීරියාවේ ඝන වන කතරට වූ ගමන ආරම්භ කළා.
අතරමැද තිබුණු දුම්රියපොළවල පිටුවහල් කරපු තවත් අය ගෙන ගිය කෝච්චි අප දුටු අතර ඒවායේ එල්ලලා තිබුණු පුවරු අපි දැක්කා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇතුළේ” කියායි එහි සඳහන්ව තිබුණේ. මෙයින්ම එක්තරා අන්දමක සාක්ෂියක් ලැබුණා. මොකද, දහස් ගණන් සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ පවුල් උතුරට හා ඈත පෙරදිගට යවා ඇති බව බොහෝදෙනෙක්ට දැනගන්න ලැබුණා.
වර්ෂ 1951 අප්‍රියෙල් මාසයේදී සිදු වූ මෙම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වටලෑම හා පිටුවහල් කිරීම පිළිබඳ විස්තර හොඳින් ප්‍රචලිත වුණා. සෝවියට් සංගමයේ ආගම යන තම පොතේ ඉතිහාසඥ වොල්ට කොලාර්ස් මෙසේ වාර්තා කළා: “මෙය රුසියාවේ ‘සාක්ෂිකරුවන්ගේ’ අවසානය වුණා නෙවෙයි, ඒ වෙනුවට එයින් ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ ක්‍රියාකාරම්වල අලුත් පිටුවක් පෙරළුණා විතරයි. පිටුවහල්භාවයට වූ ඔවුන්ගේ ගමනේදී, දුම්රියපොළක කෝච්චිය නැවැත්වූ විට පවා ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල පතුරුවාහැරීමට උත්සාහ කළා. ඔවුන්ගේ ඇදහිල්ල ව්‍යාප්ත කිරීම ගත් කල, ඔවුන්ව පිටුවහල් කිරීමෙන් සෝවියට් රජය ඇත්තෙන්ම ඔවුන්ට කළේ උදව්වක්. වධක කඳවුරු හෝ වහල් වැඩ සහිත කඳවුරුවලට ගෙනෙනු ලැබුවත්, තනිව සිටි ගම්මානයකින් ‘සාක්ෂිකරුවන්ව’ වඩා පුළුල් වූ ලෝකයකටයි ගෙනාවේ.”
පිටි, බඩ ඉරිඟු හා බෝංචි වැනි ආහාර අප සමඟ ගෙන යෑමට හැකි වූ නිසා අපේ පවුල එක්තරා අන්දමකින් වාසනාවන්තයයි කියන්න පුළුවන්. ඌරෙකුව මැරීමට පවා මගේ සීයාට ඉඩ දුන් අතර, එය අපටත් වෙනත් සාක්ෂිකරුවන්ටත් ආහාර හැටියට යොදාගැනීමට පුළුවන් වුණා. යන අතරතුරේදී, කෝච්චි පෙට්ටිවලින් හෘදයෙන්ම එන ගීතිකා කියනවා ඇසුණා. විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය යෙහෝවා අපිට සැපයුවා.—හිතෝපදේශ 18:10.
අපි සති තුනක පමණ කාලයක් රුසියාව හරහා ගමන් කළ අතර, අන්තිමේදී, සීතල, පාළු ඈත සයිබීරියාවට පැමිණියා. ඊර්කුට්ස්ක් දිස්ත්‍රික්කයේ චන්ක්ස්ක් ප්‍රදේශයේ ටොරේය දුම්රියපොළට අපව ගෙන ගියා. එතැන් සිට අපව ඝන වන කතරේ ඇති තවත් ගමකට ගෙන ගිය අතර, “සදාකාලික වාසස්ථානය” හැටියට අපේ වාර්තාවල සඳහන් කළේ එයයි. පවුල් 15කට අයත් බඩුබාහිරාදිය පහසුවෙන් හිමයානයක් මතට දැමූ අතර, එය ට්‍රැක්ටරයක ආධාරයෙන් වසන්ත කාලයේ මඩේ ඇදගෙන ගියා. වෙන් කර නොමැති දිග කොරිඩෝරවලින් යුත් බැරැක්කවලට පවුල් 20ක් දැමුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහ භයානක මිනිස්සු බව අධිකාරීන් විසින් කල් තියා ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබුණා. එහෙයින් මුලදී, මිනිස්සු අපිට භය වුණා වගේම අපිත් එක්ක කිසිම ඇයි හොඳයියක් තිබුණේ නැහැ.
පිටුවහල්භාවයේ වැඩ
යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් දුෂ්කර තත්වයන් යටතේ ගස් කැපීමේ නිරත වුණා. සෑම වැඩක්ම අතිනුයි කෙරුවේ. කොටන් කැපීම, කැබලි කිරීම, අශ්ව කරත්තවලට ඒවා පැටවීම වගේම කෝච්චි පෙට්ටිවලට ඒවා පැටවීමත් කළේ අතින්මයි. බේරීමට ඉතා අසීරු වූ හෝහපුටන් රංචුවක් නිසා වැඩ කිරීම ඉතා අසීරු වුණා. මගේ පියා පුදුමාකාර අන්දමින් දුක් වින්දා. ඔහුගේ මුළු ඇඟම වගේ ඉදිමී තිබුණු අතර, විඳදරාගැනීමට හැකි වන පිණිස ඔහු යෙහෝවාට තදින් යාච්ඤා කළා. නමුත් සියලුම අසීරුතාවන් මධ්‍යයේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් බහුතරයකගේ ඇදහිල්ල නොසැලී පැවතුණා.
වැඩි කල් යන්ට මත්තෙන් අපව ඊර්කුට්ස්ක් නගරයට ගෙන ගිය අතර, අපේ පවුල, කලින් සිර කඳවුරක්ව තිබූ තැනක ජීවත් වෙමින් ගඩොල් කර්මාන්තශාලාවක වැඩ කළා. විශාල, රස්නෙ උදුන්වලින් ගඩොල් කෙළින්ම බෑවා. මේ ඔක්කොම කළේ අතින්. ඉල්ලුම දිගටම වැඩි කරපු නිසා, අවශ්‍ය ප්‍රමාණයට සැපයීමට දෙමාපියන්ට පුළුවන් වෙන්න, දරුවන්ටත් වැඩ කරන්න සිද්ධ වුණා. පුරාණ මිසරයේ ඉශ්රායෙල්වරු කළ වහල් වැඩ අපිට මතක් වුණා.—නික්මයාම 5:9-16.
“මිනිසුන්ගේ හතුරෝ” කියා කළ ප්‍රකාශයට වෙනස්ව, සාක්ෂිකරුවන් අවංක වගේම මහන්සි වී වැඩ කරන අය බව තේරුම්ගියා. එක සාක්ෂිකරුවෙක්වත් අධිකාරීන්ට සමච්චල් කළේ නැති බවත්, ඔවුන් බලයේ සිටි අයට විරුද්ධව සටන් කළේ නැති බවත් තේරුම්ගියා. පසු කාලයේදී ඔවුන්ගේ ඇදහිල්ලට පවා බොහෝදෙනෙක් ගෞරව කළා.
අපේ ආත්මික ජීවිතය
පිටුවහල් කිරීමට පෙර, යන අතරමඟදී හා පිටුවහල් කළ ස්ථානවලදී සාක්ෂිකරුවන්ව නිරන්තර සෝදිසියකට ලක් කළත්, මුරටැඹ සඟරා හා බයිබල් පවා සැඟවීමට වැඩිදෙනෙකුට පුළුවන් වුණා. පසුව, මේවා අතින් හා වෙනත් ක්‍රමවලින් නැවත නිෂ්පාදනය කළා. ක්‍රිස්තියානි රැස්වීම් බැරැක්කවල නිතිපතා පවත්වනු ලැබුවා. බැරැක්ක භාරව සිටි තැනැත්තා එතැනට පැමිණ අප ගීතිකා කියනවා දැක්කාම ඔහු එය නවත්වන්න කියා අණ කළා. අපි එසේ කළා. නමුත් ඔහු වෙන බැරැක්කයකට ගියාම, අපි නැවතත් පටන්ගත්තා. අපිව කොහෙත්ම නැවැත්වීමට බැරි වුණා.
අපේ දේශනා වැඩයත් කවදාකවත් අවසානයකට පැමිණියේ නැහැ. සාක්ෂිකරුවන් හැම තැනකදීම, හැමදෙනාටම කතා කළා. මගේ අයියලා හා මගේ දෙමාපියන් නිතර නිතර මට පැවසුවා, කොහොමද ඒ අය වෙනත් අය සමඟ බයිබල් සත්‍යයන් බෙදාගත්තේ කියල. මෙයට ස්තූති වෙන්න, අවංක අයගේ හදවත් සත්‍යය මගින් ක්‍රමක්‍රමයෙන් ඇදගත්තා. එහෙයින්, 1950 ගණන්වල මුල් භාගය වන විට, ඊර්කුට්ස්ක්හි හා ඒ අවට, යෙහෝවාගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරනු ලැබුවා.
මුලදී නම් සාක්ෂිකරුවන්ව සැලකුවේ දේශපාලන සතුරන් හැටියටයි. නමුත් අපේ සංවිධානය ආගමික වශයෙන් නිදොස් සංවිධානයක්ය කියා පසු කාලයේදී තේරුම්ගත්තා. කෙසේ වුණත්, අපේ වැඩ නවත්වන්න අධිකාරීන් තැත් කළා. ඒ නිසා, අපිව හසු නොවන ආකාරයට, කුඩා පවුල් දෙක තුනක් එකතු වී බයිබල් පාඩම් පවත්වන්න අපි රැස් වුණා. වර්ෂ 1952 පෙබරවාරි මාසයේ එක් උදෑසනක දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කළා. පසුව, සාක්ෂිකරුවන් දසදෙනෙකුව අත්අඩංගුවට ගත් අතර, ඉතිරි අයව විවිධ තැන්වලට ගෙන ගියා. අපේ පවුල ඊස්ක්‍රා කියන ගමට ගෙන ගියා. එහි මිනිසුන් සියදෙනෙක්ගෙන් යුත් ජනගහනයක් හිටියා. ඒ ගම පිහිටලා තිබුණේ ඊර්කුට්ස්ක්වලට කිලෝමීටර් 30ක් ඈතින්.
තත්වයන් වෙනස් වීමත් සමඟ විඳදරාගැනීම
ගම්මානයේ මිනිස්සු අපිව අනපේක්ෂිත අයුරින් ආගන්තුක සත්කාරශීලීව පිළිගත්තා. ඒ මිනිස්සු සරල ජීවිතයක් ගත කරන හරිම මිත්‍රශීලී අය. අපිට උදව් කරන්න සමහර මිනිස්සු ඒ අයගේ ගෙවල්වලිනුත් එළියට ආවා. වර්ග මීටර් 17ක විතර වුණ එකම කුඩා කාමරයකට දමනු ලැබූ තුන්වෙනි පවුල අපියි. අපිට එළිය ලැබුණේ භූමිතෙල් ලාම්පුවලින් විතරයි.
ඊළඟ උදෑසන ඡන්දයක් තිබුණා. මගේ දෙමාපියන් කිව්වා ඒ අය දෙවිගේ රාජ්‍යයට ඡන්දේ දීල ඉවරයි කියල. ඉතින් ඒ අයට ඒක නොවැටහුණු බව අමුතුවෙන් කියන්නේ ඕනෙ නැහැනෙ. ඉතින් මගේ පවුලේ වැඩිහිටියන් සියලුදෙනාම දවසේ ඉතිරි ටික ගත කළේ සිරඅඩස්සියෙයි. පසුව, ඒ අයගේ විශ්වාසයන් ගැන බොහෝදෙනෙක් ප්‍රශ්න කළ අතර, මනුෂ්‍යවර්ගයාගේ එකම බලාපොරොත්තුව හැටියට දෙවිගේ රාජ්‍යය ගැන කතා කරන්න මේක මගේ පවුලේ අයට කදිම අවස්ථාවක් සැපයුවා.
ඊස්ක්රාවල අපි ජීවත් වුණ අවුරුදු හතර ඇතුළත, අපිට ආශ්‍රය කරන්න ළඟපාත සාක්ෂිකරුවන් හිටියේ නැහැ. ගමෙන් පිට වෙලා යන්න අපිට ඒ ප්‍රදේශයේ මුලාදෑනියාගෙන් අවසර ඉල්ලන්න සිද්ධ වුණා. හැබැයි එයා අපිට යන්න දුන්නේ කලාතුරකින්. මොකද, අපිව මෙහෙට එවන්න හේතුව අපිව අනිත් අයගෙන් වෙන් කරල තියන්න ඕන වුණ නිසායි. ඒත්, තමන්ට ලැබුණු ඕනෑම අලුත් ආත්මික ආහාරයක් බෙදාගන්න සාක්ෂිකරුවන් කෙසේ හෝ එකිනෙකාව හමු වුණා.
වර්ෂ 1953 ස්ටාලින්ගේ මරණයෙන් පසු, වරදට පත් කරනු ලැබූ සෑම සාක්ෂිකරුවෙකුගේම දණ්ඩනය අවුරුදු 25 සිට අවුරුදු 10 දක්වා අඩු කරනු ලැබුවා. සයිබීරියාවේ සිටි අයට, එහාට මෙහාට ගමන් කිරීමට විශේෂ ලියකියවිල්ලක් තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ. කොහොම වුණත්, අධිකාරීන් සෝදිසි මෙහෙයුම් කළ අතර, සාක්ෂිකරුවන් අත බයිබල් හෝ බයිබල් පොත් පත් තිබී හසු වුණොත් ඒ අයව අත්අඩංගුවට ගත්තා. සාක්ෂිකරුවන් සඳහා විශේෂ කඳවුරු පිහිටෙවූ අතර, ඊර්කුට්ස්ක් අවට පිහිටා තිබූ මේවාට සහෝදරයන් 400දෙනෙකුව හා සහෝදරියන් 200දෙනෙකුව දැම්මා.
සෝවියට් දේශයේ සහෝදරයන්ට සිදු කළ පීඩා ගැන ලොව වටා සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දැනගන්න ලැබුණා. එහෙයින්, 1956 මැද භාගය හා 1957 පෙබරවාරි මාසය අතර කාලයේදී, ලොව වටා පැවති දිස්ත්‍රික් සමුළු 199ක අප වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කළා. එවකට සිටි සෝවියට් පාලක න්යකලයි ඒ. බුල්ගනින්ට ඉදිරිපත් කළ පෙත්සම පැමිණ සිටි 4,62,936දෙනා අනුමත කළා. පෙත්සමේ ඉල්ලා සිටි වෙනත් දේවලට අමතරව, අපව නිදහස් කිරීමටත්, “මුරටැඹ සඟරාව හා ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් යොදාගන්නා වෙනත් ඕනෑම ප්රකාශනයක්, රුසියානු, යුක්රේනියානු හා අවශ්‍ය වෙනත් භාෂාවලින් ලබාගැනීමටත් ප්‍රකාශ කිරීමටත් අවසරය දෙන” හැටියටත් එහි සඳහන්ව තිබුණා.
ඒ අතරතුර කාලයේදී, ඊර්කුට්ස්ක්වලට කිලෝමීටර් 20ක් ඈතින් පිහිටි හුදෙකලා ගම්මානයක් වන හ්යූඩ්යාකොවොවලට අපිව ගෙන ගියා. අපි එහෙ අවුරුදු හතක් ජීවත් වුණා. වර්ෂ 1960දී මගේ අයියා වන ෆ්යොඩර්, ඊර්කුට්ස්ක්වලට ගිය අතර ඊළඟ අවුරුද්දේදී මගේ අනිත් අයියා විවාහ වුණා. ඒ වගේම මගේ අක්කත් ඒ අවුරුද්දේ වෙන තැනකට මාරු වුණා. ඊළඟට, 1962දී දේශනා කිරීම හේතුවෙන් ෆ්යොඩර්ව අත්අඩංගුවට ගෙන සිරගත කළා.
මගේ ආත්මික වර්ධනය
බයිබල් පාඩමක් කිරීම සඳහා හ්යූඩ්යාකොවො ගමේ සිට කිලෝමීටර් 20ක විතර ගමනක් පයින් හෝ බයිසිකලයෙන් යන්න මට සිද්ධ වුණා. ඒ නිසා අනික් සාක්ෂිකරුවන් සමඟ වඩා කිට්ටු සම්බන්ධකමක් පැවැත්වීම සඳහා අපි ඊර්කුට්ස්ක් වෙතට පදිංචිය මාරු කරන්න තැත් කළා. නමුත්, අපි ජීවත් වුණ ප්‍රදේශයේ නායකයා එම ක්‍රියාවට විරුද්ධ වූ අතර, එය වැළැක්වීම සඳහා හැකි සෑම දෙයක්ම කළා. ඒත්, යම් කාලයකට පස්සේ, මේ තැනැත්තා අපිත් එක්ක වඩාත් සුහද වෙන්න පටන්ගත් අතර, පිවොවාරිහ්හා කියන ගමට මාරුවීමට අපට හැකි වුණා. එය ඊර්කුට්ස්ක්හි සිට කිලෝමීටර් 10ක් ඈතිනුයි පිහිටා තිබුණේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් එහි තිබුණ අතර, මට ඒක අලුත් ජීවිතයකට ආරම්භයක් වුණා. පිවොවාරිහ්හාහි සංවිධානය කළ සභා පොත් පාඩම් තිබුණු අතර, ආත්මික ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා සහෝදරයන්ද සිටියා. මම කොතරම් සන්තෝෂ වුණාද!
මේ කාලය වන විට, මම බයිබල් සත්‍යයට බොහෝ සෙයින් ඇලුම් කළ අතර, බව්තීස්ම වීමට මට වුවමනා වුණා. වර්ෂ 1965 අගෝස්තු මාසයේදී, කුඩා ඔල්හා ගඟේ මම බව්තීස්ම වූ විට මගේ පැතුම ඉටු වුණා. අලුත් සාක්ෂිකරුවන් රැසක්ව ඒ කාලයේදී එහි බව්තීස්ම කළා. එතැනින් ගමන් කරන සාමාන්‍ය පුද්ගලයෙකුට එය දිස් වූයේ හරියට, සෑන්දෑවකට එකතු වී ගඟේ නානවා වගෙයි. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා, දිව්‍යාණ්ඩු සේවා පාසැල මෙහෙයවන්නා හැටියට මගේ පළමු පැවරුම ලැබුණා. ඉන්පසු, 1965 නොවැම්බර් මාසයේදී, ෆ්යොඩර්ව නිදහස් කිරීම නිසා ප්‍රීතිවීමට තවත් හේතුවක් ලැබුණා.
වැඩ දියුණු වූ අයුරු
වර්ෂ 1965දී පිටුවහල් කළ සියල්ලන්වම එකට රැස් කර, අපිට කැමති ඕනෑම තැනකට යෑමට හැකිය කියා නිවේදනය කරනු ලැබුවා. එමගින් “සදාකාලික වාසස්ථානය” අවසානයකට පැමිණියා. අපිට ඇති වූ ප්‍රීතිය ගැන ඔබට සිතාගත හැකිද? අපගෙන් බොහෝදෙනෙක් රටේ වෙනත් ප්‍රදේශවලට මාරු වුණත්, ආත්මික වර්ධනය හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් යෙහෝවා ආශීර්වාද කළ හා සහය වූ මේ ප්‍රදේශයේම ඉන්න වෙනත් අය තීරණය කළා. මේ අයගෙන් බොහෝදෙනෙක් දරුවන්, මුනුබුරන් හා ඒ අයගේ දරුවනුත් හදා වඩා ගත්තේ සයිබීරියාවේ වූ අතර, කාලයක් යද්දී එය එතරම් භයානක තැනක් කියා දැනුණේ නැහැ.
වර්ෂ 1967දී, යුක්රේනයේ සිට සයිබීරියාවට පිටුවහල් කළ පවුලක යෞවනියක් වන මර්යීයාව මට මුණගැසුණා. අපේ කුඩා කාලයේදී, අප දෙදෙනාම ජීවත් වූයේ යුක්රේනයේ විල්ෂානීට්සා කියන ගමෙයි. අපි 1968 විවාහ වූ අතර, කාලයත් සමඟ පුතෙක් හා දුවෙක් ලැබීමෙන් ආශීර්වාද ලැබුවා. පුතාගේ නම යාරොස්ලාෆ් වන අතර දුවගේ නම ඔක්සානායි.
ආත්මික ඇසුර සඳහා විශාල පිරිස් වශයෙන් එකතු වීමට අපි අවමඟුල් හා මඟුල් ගෙවල් යොදාගත්තා. පැමිණි සාක්ෂිකාර නොවන ඥාතීන්ට හා මිත්‍රයන්ට බයිබල් සත්‍යයන් පැහැදිලි කිරීමට අපි මේ අවස්ථා යොදාගත්තා. බොහෝ අවස්ථාවලදී ආරක්ෂක නිලධාරීන් මේවාට සහභාගි වූ අතර, නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හා යෙහෝවාගේ විවාහ විධිවිධානය මෙන්ම ඔහුගේ නව ලොවේ ආශීර්වාද ගැන අපි විවෘතව දේශනා කළා.
එක් අවස්ථාවකදී, අවමඟුල් ගෙයක කතාව දුන්නායින් පස්සේ, වාහනයක් නතර කළා. එහි දොරවල් ක්ෂණිකව ඇරුණු අතර, එක් මිනිසෙක් එළියට පැමිණ මට වාහනයට නැඟීමට අණ කළා. මම භය වූයේ නැහැ. මොකද අපි සොරුන් නෙවෙයි, අපි දෙවිව විශ්වාස කරන අය පමණයි. නමුත්, අපේ සභාවේ අයගේ සේවා වාර්තා මගේ සාක්කුවේ ඒ වෙලාවේ තිබුණා. මේ හේතුව නිසා මාව අත්අඩංගුවට ගන්න එය හේතුවක් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඒ අය එක්ක යන්න ඉස්සෙල්ලා මගේ භාර්යාවට මුදල් දී යන්න පුළුවන්ද කියල මම ඇහුවා. එහෙම අහල, ඒ අය ඉස්සරහම, මම සන්සුන්ව මගේ මුදල් පසුම්බියත්, සභාවේ වාර්තාත් ඇයට දුන්නා.
වර්ෂ 1974 සිට, අපේ නිවසේ රහස්‍යව බයිබල් ප්‍රකාශන සූදානම් කිරීමට මමත් මර්යීයාත් පටන්ගත්තා. අපිට පොඩි පුතෙක් හිටපු නිසා, එයාට දැනගන්න බැරි වෙන්න අපි මේක කළේ රෑ ජාමෙයි. කොහොම වුණත්, එයාගේ කුතුහලය නිසා, නිදියගෙන ඉන්නව වගේ ඉඳල අපි කරන දේ එයා හොරෙන් බැලුවා. පස්සේ දවසක එයා මෙහෙම කිව්වා: “දෙවි ගැන පොත් හදන්නේ කවුද කියල මම දන්නවා.” අපි ටිකක් භය වුණා. ඒත් මේ වැදගත් වැඩය සම්බන්ධයෙන් අපිව ආරක්ෂා කරන ලෙස, අපි නිතරම යෙහෝවාගෙන් ඉල්ලුවා.
අන්තිමේදී, අධිකාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන හොඳ ආකල්පයක් වර්ධනය කරගත්තා. ඒ වන විට අපි යුස්ල්යා සීබිර්ස්ක්යා නගරයේ මීර් නම් කලා හා විනෝද කේන්ද්‍රයේ විශාල එකතු වීමක් පැවැත්වීමට සැලසුම් යෙදුවා. බයිබල් අධ්‍යයනය හා ක්‍රිස්තියානි ආශ්‍රය සඳහා පමණක් මේ රැස්වීම් පවත්වන බව අපි නගරයේ නිලධාරීන්ට සහතික කළා. වර්ෂ 1990 ජනවාරි මාසයේ 700කට අධික පිරිසක් එකතු වුණා. මුළු ශාලාවේම ඇඟිල්ලක් ගහන්න බැරි වෙන තරමට සෙනඟ පිරී සිටි අතර, මිනිසුන්ගේ අවධානය ඊට ලැබුණා.
රැස්වීමෙන් පසුව එක් වාර්තාකරුවෙක් මෙසේ ඇසුවා: “ඕගොල්ලන්ගේ බාලයන්ව පුහුණු කරන්න ඕගොල්ලන්ට පුළුවන් වුණේ කොහොමද?” මෙම පළමු ප්‍රසිද්ධ රැස්වීමේ ඔවුන් අවධානය යොමු කරමින් පැය හතරක් අසුන් ගෙන සිටිනවා දැකීමෙන් ඔහු හා අනිත් අය පුදුම වුණා. වැඩි කල් යන්න මත්තෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් කදිම ලිපියක් පළ වුණා. එහි මෙසේ සඳහන් වුණා: “[යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන්] ඇත්තෙන්ම යමක් ඉගෙනගන්න පුළුවන්.”
පුළුල් ව්‍යාප්තිය ප්‍රීතියට හේතුවක්
වර්ෂ 1991දී, අපි සෝවියට් දේශයේ සමුළු හතක් පැවැත්වූ අතර 74,252ක් රැස්වූවා. පසුව, කලින් සෝවියට් දේශයේ යම් කොටස් ස්වාධීන වීමත් සමඟ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයෙන් මොස්කව්වලට යෑමට මට පැවරුමක් ලැබුණා. රාජ්‍ය වැඩයේ සහභාගි වීමට මට හැකි තත්වයක ඉන්නවාදැයි මගෙන් අසා තිබුණා. ඒ වන විට, යාරොස්ලාෆ් විවාහ වී දුවෙක් සිටි අතර, ඔක්සානා යෞවනියක්ව සිටියා. ඒ නිසා, මමත් මර්යීයාත්, 1993දී පූර්ණ කාලීන සේවය මොස්කව්හි ආරම්භ කළා. ඒ අවුරුද්දේම, රුසියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය ආගමික සංවිධානයේ අධ්‍යක්ෂක කේන්ද්‍රයේ සම්බන්ධීකාරක හැටියට මාව පත් කළා.
ශාන්ත පීට’ස්බ’ග්හි පිහිටා ඇති නව ශාඛා කාර්යාලයේ මමත් මර්යීයාත් වැඩ කරන අතර එහි ජීවත් වෙනවා. සෙසු ඇදහිලිවන්ත සහෝදරයන් සමඟ රුසියාවේ රාජ්‍ය ප්‍රකාශකයන්ගේ ශීඝ්‍ර වර්ධනය සම්බන්ධයෙන් බලාකියා ගැනීමට ලැබීම මහත් ගෞරවයක් හැටියට මං සලකනවා. කලින් සෝවියට් දේශයට අයිති පෙදෙස්වල දැන් සාක්ෂිකරුවන් 2,60,000කට වැඩිදෙනෙක් සිටින අතර, රුසියාවේ පමණක් 1,00,000කට වැඩිය ඉන්නවා!
අපේ සොඳුරු නිවහන බවට පත් වූ සයිබීරියාවේ, තවමත් ඇදහිලිවන්තව රාජ්‍ය සේවය කරගෙන යන අපේ හිතාදර ඥාතීන් හා මිත්‍රයන් මටත් මර්යීයාටත් නිතර මතක් වෙනවා. දැන් එහි විශාල සමුළු නිතර නිතර පවත්වන අතර ඊර්කුට්ස්ක්හි ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 2,000ක් පමණ සිටිනවා. යෙසායා 60:22හි සඳහන් අනාවැකිය ලෝකයේ ඒ ප්රදේශයෙත් ඇත්තෙන්ම ඉටු වෙනවා: “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය.”
[20වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1959දී, ඊර්කුට්ස්ක්හිදී, මගේ පියාත්, පවුලත් වෙනත් පිටුවහලුනුත් සමඟ
[23වන පිටුවේ පින්තූරය]
ඊස්ක්රාහි පිටුවහල් කළ දරුවන්
[25වන පිටුවේ පින්තූරය]
අප විවාහ වූ අවුරුද්ද
[25වන පිටුවේ පින්තූරය]
අද මර්යීයා සමඟ