බයිබලයේ දෘෂ්ටිකෝණය
උඩඟුකමේ වරද කුමක්ද?
උඩඟුකම දරුණු පාප හතෙන් පළමු එක බවට පැරණි කියමනක් තිබෙනවා. එහෙත්, එවැනි අදහසක් ඇත්තෙන්ම යල් පැනපු එකක් බවයි අද වැඩිදෙනා විශ්වාස කරන්නේ. විසිඑක්වන සියවසේ එළිපත්තේ සිටිද්දී, උඩඟුකම පාපයක් නොව දායාදයක් හැටියටයි සලකන්නේ.
කෙසේවුවත්, බයිබලය උඩඟුකම ගැන කතා කරන විට, එය ඉදිරිපත් කරන්නේ නිෂේධාත්මක අදහසක්. බයිබලයේ හිතෝපදේශ පොතේ පමණක්ම උඩඟුකම හෙළා දකින ප්‍රකාශයන් කීපයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, හිතෝපදේශ 8:13 මෙසේ පවසනවා: “උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.” හිතෝපදේශ 16:5 ප්‍රකාශ කරන්නේ මෙයයි: “උඩඟු සිත් ඇති කවුරු නුමුත් [යෙහෝවාට] පිළිකුලක්ය.” එමෙන්ම 18වන පදය මෙසේ අනතුරු අඟවනවා: “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.”
උඩඟුකම හානිකරයි
බයිබලයේ හෙළා දැක තිබෙන උඩඟුකම, අන්තයට ගිය අහංකාරකම, කෙනෙකුගේ කුසලතා, ලස්සන, ධනය, අධ්‍යාපනය, තත්වය සහ තවත් එවැනි දෑ සම්බන්ධයෙන් අනවශ්‍ය ආඩම්බර වීමක් වශයෙන් නිර්වචනය කළ හැකියි. එය නිග්‍රහාත්මක ලෙස හැසිරීම, පුරසාරම් දෙඩීම, ගරුසරු නැතිකම හෝ මාන්නය පිළිබිඹු කළ හැකියි. තමන් ගැන වුවමනාවට වඩා සිතීම, කෙනෙකුට අවශ්‍ය නිවැරදි කිරීම පිළිගැනීම සඳහා අසමත් වීමකට මඟ පෑදිය හැකියි; වැරදි පිළිගැනීමට අකමැති වෙයි; සමාව ඉල්ලීමට ප්‍රතික්ෂේප කරයි; තනතුරකින් පහළට යෑමට හා අවනම්බුවට පත්වීමට අකමැති වෙයි. එහෙමත් නැත්නම් කෙනෙක් තමන්ට කළ හෝ පැවසූ දෙයක් සම්බන්ධයෙන් අසාධාරණ ලෙස අමනාප විය හැකියි.
උඩඟු අය නිතරම තමන්ටම වුවමනා ආකාරයට දේවල් කරගන්න බලනවා විය හැකි අතර, එසේ කිරීමට නොහැකි වූ විට එය කොහෙත්ම නොකරනවා වෙන්න පුළුවන්. එවැනි ආකල්පයක්, බොහෝවිට විවිධ ආකාරයේ පෞද්ගලික ගැටුම් ඇතිවීමට හේතු වන බව දැකීමට අපහසු නැහැ. වර්ගය හෝ ජාතිය සම්බන්ධයෙන් අභිමානය අසංඛ්‍යාත යුද්ධ හා ලේ වැගිරවීම්වලට මඟ පාදා තිබෙනවා. බයිබලයේ පවසන පරිදි, තමාවම සාතන් නමැති යක්ෂයා බවට පත් කරගනිමින් දෙවිට එරෙහිව කැරලිගැසීමට දෙවිගේ අදෘෂ්‍යමාන විෂයෙහි පුත්‍රයෙකුට මඟ පෑදූ ගැටලුව වුණේ උඩඟුකමයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සඳහා තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පාවුල් මෙසේ අවවාද කළා: “ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය.” (1 තිමෝති 3:6; සසඳන්න එසකියෙල් 28:13-17.) උඩඟුකමේ ප්‍රතිඵල මේවා නම්, දෙවි එය ප්‍රතික්ෂේප කිරීම අරුමයක් නොවෙයි. කෙසේවුවත්, ඔබ මෙසේ ඇසිය හැකියි, ‘හැබැයි, ආඩම්බර වීම සඳහා සාධාරණ හේතු නැද්ද?’
ආඩම්බරය ගැන කුමක් කිව හැකිද?
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල, කාඋ·කේʹඔ·මේ යන ක්‍රියා පදය “ආඩම්බර වීම, ප්‍රීතිවීම, පාරට්ටු කරගැනීම” ලෙස පරිවර්තනය කර ඇති අතර නිෂේධාත්මක හා ඒකාන්ත යන අර්ථ දෙකෙන්ම යොදාගැනෙනවා. උදාහරණයක් වශයෙන්, පාවුල් පවසන්නේ, අපි ‘දෙවිගේ මහිමයේ බලාපොරොත්තුවෙහි ප්‍රීතිමත් වෙමු’ කියායි. ඔහු මෙසේද නිර්දේශ කරනවා: ‘පාරට්ටුකරගන්නා ස්වාමීන් තුළ පාරට්ටු කරගනීවා.’ (රෝම 5:2; 2 කොරින්ති 10:17) මෙයින් අදහස් කරන්නේ, යෙහෝවා අපගේ දෙවි වීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වන බවයි. තවද මෙම හැඟීම ඔහුගේ හොඳ නාමය හා කීර්තිය සම්බන්ධයෙන් ප්‍රීතිවීමට අපව මඟ පෑදිය හැකියි.
නිදසුනක් වශයෙන්, හොඳ නමක් නින්දාවට ලක් කර තිබෙන විට එය ආරක්ෂා කිරීමට වුවමනා වීම වැරදි දෙයක්ද? ඇත්තෙන්ම නැහැ. ඔබ ප්‍රේම කරන හා ගෞරව කරන, ඔබේ පවුලේ සාමාජිකයන් ගැන හෝ වෙනත් අය ගැන ජනයා අසාධාරණ ලෙස කතා කළොත් ඔබට කෝපයක් දැනෙන්නේ නැද්ද? ඔවුන්ව ආරක්ෂා කිරීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද? ‘බොහෝ ධනයට වඩා හොඳ නමක් අගනේය’ කියා බයිබලය පවසනවා. (හිතෝපදේශ 22:1) එක් අවස්ථාවකදී, මිසරයේ උඩඟු ඵාරාවෝට සර්ව බලධාරි දෙවි මෙසේ පැවසුවා: “සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.” (නික්මයාම 9:16) මෙයින් පෙනී යන්නේ, දෙවි තමන්ගේම හොඳ නම හා කීර්තිය ගැන ප්‍රීති වන අතර එය වෙනුවෙන් ජ්වලිතව ක්‍රියා කරන බවයි. අපේම හොඳ නම හා කීර්තිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපටත් උනන්දු විය හැකි නමුත් එය පුහුමාන්නයෙන් හා ආත්මාර්ථකාමිත්වයෙන් පෙලඹුණු ආඩම්බරයකින් නොවිය යුතුයි.—හිතෝපදේශ 16:18.
ඕනෑම හිතකර සබඳතාවක් සඳහා එකිනෙකාට ගෞරවය කිරීම අතිවැදගත්. අපේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් විශ්වාසය නැති වන විට අපේ සමාජීය ජීවිතයට හා ව්‍යාපාර කටයුතුවලට එය බාධාවක් වෙනවා. එමෙන්ම, හවුල් ක්‍රියාකාරකමකට හෝ සබඳතාවකට ඇතුළත් එක් සාමාජිකයෙක් හෝ ඔහුගේ මිත්රයන්ව ප්‍රසිද්ධියේ අපකීර්තියට පත් කරන යමක් කළහොත්, එම ක්‍රියාකාරකම හෝ සබඳතාව බිඳ වැටෙයි. යම් අභිප්රායන් ඉටු කරගැනීම සඳහා කීර්ති නාමය පවත්වාගත යුතුයි. ක්‍රිස්තියානි සභාවේ අවේක්ෂකයන්, පිටත අයගෙන් “යහපත් සාක්ෂි” ඇතුව සිටිය යුතුවීමට මෙය එක් හේතුවක්. (1 තිමෝති 3:7) කීර්ති නාමයක් තබාගැනීමට ඔවුන්ගේ ආශාව, උඩඟුකමෙන් පෙලඹෙන ආඩම්බරය නොව, නමුත් යහපත්, ගෞරවනීය ආකාරයකින් දෙවිව නියෝජනය කිරීමේ අවශ්‍යතාවකින් වන පෙලඹීමයි. කෙසේවෙතත්, පිටත අයවලුන්ගෙන් අයහපත් සාක්ෂියක් ඇති අවේක්ෂකයෙක් කොතරම් විශ්වසනීය විය හැකිද?
පෞද්ගලික අත් කරගැනීම් සම්බන්ධයෙන් ආඩම්බර වීම ගැන කුමක් කිව හැකිද? උදාහරණයක් වශයෙන්, තම දරුවා හොඳින් පාසැල් කටයුතු කරන විට දෙමාපියන්ට දැනෙන ප්‍රීතිය ගැන සලකා බලන්න. එවැනි අත් කරගැනීමක් සෑහීමකට පත්වීම සඳහා යෝග්‍ය හේතුකාරකයක්. තෙසලෝනිකයේ සෙසු ක්‍රිස්තියානීන්ට ලියද්දී, පාවුල්ද අත් කරගැනීම් සම්බන්ධයෙන් සතුටු වූ බව මෙසේ හෙළි කරනවා: “නුඹලා ගැන [දෙවිට] නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩි වන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය; එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන [දෙවිගේ] සභාවලදී පාරට්ටුකරමුව.” (2 තෙසලෝනික 1:3, 4) ඔව්, සාමාන්‍ය පෙලඹීම ප්රේමනීයයන්ගේ අත් කරගැනීම්වලදී ප්‍රීතිමත් හැඟීමක් ඇතිවීමයි. එමනිසා, උඩඟුකම සහ ආඩම්බරය අතර වෙනස කුමක්ද?
අපේ පෞද්ගලික කීර්තිය පවත්වාගැනීමට, සාර්ථක වීමට හා එවැනි සාර්ථක වීම් සම්බන්ධයෙන් සතුටු වීමට වුවමනා වීම වැරදි දෙයක් නොවෙයි. කොහොමනමුත්, උඩඟුකමෙන් පෙලඹෙන ආඩම්බරය, අහංකාරකම හා තමන් ගැන හෝ අන්‍යයන් ගැන පාරට්ටු කිරීම දෙවි හෙළා දකින දේවල් වෙනවා. කෙනෙක් ආඩම්බරයෙන් ‘උඩඟු වීමට’ පටන්ගන්නවා නම් හෝ ‘සුදුසු තරමට වඩා තමා ගැන උතුම් කොට සිතනවා’ නම්, එය ඇත්තෙන්ම කනගාටුවට කරුණක් වනු ඇත. යෙහෝවා දෙවි හා ඔහු ක්‍රිස්තියානීන් වෙනුවෙන් කර ඇති දේ ගැන පාරට්ටු කරගැනීම මිසක, කිසිවෙක් ගැන හෝ යම් දෙයක් ගැන පාරට්ටු කිරීමට හෝ යම් අන්දමකින් උඩඟු වීමට ක්‍රිස්තියානීන්ට කිසිම පදනමක් නැහැ. (1 කොරින්ති 4:6, 7; රෝම 12:3) අනාගතවක්තෘ යෙරෙමියා අපට අනුගමනය කිරීමට කදිම ප්‍රතිපත්තියක් දෙනවා: “පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන [යෙහෝවා] මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි [යෙහෝවා කියන්නේය].”—යෙරෙමියා 9:24.
[24වන පිටුවේ පින්තූරය]
“දහවන ඉනසන්ට් පාප්” ඩොන් ඩියේගෝ රොඩ්රිගස් ඩි සිල්වා වෙලැස්ඛස් විසින්
[හිමිකම් විස්තර]
Scala/Art Resource, NY