තාරකාවෙන් තාරකාවට මං සොයමින්
නෙදර්ලන්තයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
අඳුරු රැයක ගුවන සිසාරා දිදුලන තරු දෙස ඔබ බලා ඇද්ද? එය ඔබව විස්මයට පත් කළේ නැද්ද? ඈත අතීතයේ සිට මිනිසාට හැඟුණේ එලෙසමයි. දියමන්ති බඳු දීප්තියකින් බබළන මෙම ආකාශ වස්තූන් සෑදූ තැනැත්තාට ඔවුහු හද පත්ලෙන්ම ප්‍රශංසා කළහ. අතීතයේ විසූ කවියෙක් තම හැඟීම් ප්‍රකාශ කළේ මෙලෙසයි. “අහස [දෙවිගේ] මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය [ඔහුගේ] හස්ත කර්මාන්තය දක්වයි.” (ගීතාවලිය 19:1) කොහොම වුණත්, ආකාශයේ දිස් වන ලස්සන වස්තූන්ට වඩා වැඩි යමක් පැරැන්නන්ට අවබෝධ විය.
ආකාශ වස්තු හඳුනාගැනීම
සියලුම ආකාශ වස්තූන් ක්රමානුකූල රටාවක් අනුව චලනය වන බව අතීතයේ විසූ තාරකා විද්‍යාඥයෝ අවබෝධ කරගත්හ. තාරකා සාමාන්‍යයෙන් නැඟෙනහිරෙන් බටහිර දෙසට ගමන් කළත්, තාරකාවෙන් තාරකාවට බලද්දී ඒවායේ සාපේක්ෂ පිහිටීම වෙනස් වූයේ නැත.a වෙනත් ආකාරයකින් පැවසුවොත්, ඔවුන් රාත්‍රියක් රාත්‍රියක් පාසා දුටු තරු පොකුරුවල ස්වරූපය කිසිවිටක වෙනස් නොවීය. නිමක් නොමැති මෙම වස්තූන් හඳුනාගැනීම සඳහා මිනිසා එකට පොකුරු ගැසුණු තාරකා විවිධ කණ්ඩායම්වලට බෙදුවේය. ඔවුහු මේ කණ්ඩායම් දෙස බලමින් සිතින් යම් රටා මවාගත්හ. මේවා සාමාන්‍යයෙන් සතෙකුගේ, මිනිසෙකුගේ හෝ අප්‍රාණික දෙයක හැඩරුවට අනුව සකස් කරගත්හ. කාලයාගේ ඇවෑමෙන්, නිශ්චිත තරු රටා තරු රාශි වශයෙන් හැඳින්වීමට පටන්ගැණිණ.
අපි අද හඳුනාගෙන තිබෙන ඇතැම් තරු රාශි පිළිබඳව මුලින්ම විස්තර සැපයුවේ පුරාණ බබිලෝනිවරුන්ය. රාශි චක්‍රයට අයත් තරු රාශි 12ත් මීට ඇතුළත් වේ. මිනිස් ජීවිතය ගැන අනාවැකි පළ කිරීමට ග්‍රහ වස්තූන්ගේ උපකාර පතන ජ්යොතිශාස්ත්රයේ මෙම රාශි, එදා මෙන්ම අදත් වැදගත්කමක් උසුලයි. නමුත් බයිබලය නිමිති බැලීම හෙළා දකී. (ද්විතීය කථාව 18:10-12) කොහොම වුණත්, තරු රාශීන්ගේ පැවැත්ම ගැන නම් යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් දැන සිටියා. නිදසුනක් වශයෙන් යෝබ් නමැති බයිබල් පොතෙහි යෙහෝවාව, “මහවලසාද මුවසිරසද හත්දින්නද [සෑදූ]” තැනැත්තා වශයෙන් හඳුන්වා දෙයි.—යෝබ් 9:9.
අද අප දන්නා බොහෝ තරු රාශි නම් කර ඇත්තේ ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධ ඇසුරෙනි. අදදින පවා අප තාරකාවල පිහිටීම සටහන් කරන සිතියම් දෙස බැලුවොත් සේපියූස්, කාසියෝපියා, ඇන්ඩ්රෝමීඩා සහ හර්ක්යූලීස් වැනි නම් දැකගත හැක.
තරු රටාවල ඉපැරණි සිතියම්
ක්‍රිස්තු වර්ෂ 150දී පමණ, ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වන ටොලමි ආකාශ වස්තූන් පිළිබඳ ඒ වන තෙක් රැස් කරගෙන තිබූ දැනුම එක්කොට කෘතියක් නිර්මාණය කළේය. ඇල්මගෙස්ට් නම් වූ එම කෘතියේ තරු රාශි 48ක් ලැයිස්තුගත කර තිබේ. ටොලමිගෙන් පසු ශතවර්ෂවලදීත් ආකාශ වස්තූන් සිතියම්ගත කළ නමුත් එම සිතියම්වල පවා සාමාන්‍යයෙන් දැකගන්ට ලැබුණේ මෙම රාශි 48 පමණය. ඇත්තෙන්ම 16වන සියවස වන තෙක්ම කිසිම වෙනසක් වූයේ නැත.b පසු කලක අලුත් රාශි 40ක් හඳුනාගත් අතර ඒවා සිතියම්වලට ඇතුළත් කරනු ලැබීය. වර්ෂ 1922දී ඉන්ටනැෂනල් ඇස්ට්රනොමිකල් යූනියන් (ජාත්‍යන්තර අජටාකාශ සංගමය) මෙම රාශි 88 සම්මත ලැයිස්තුවට ඇතුළත් කළහ.
රාශිවලට අමතරව ටොලමිගේ කෘතියේ තාරකා දහස් ගණන් ලැයිස්තුගත කර තිබිණ. එපමණක්ද නොව, ඒවායේ පිහිටීම හා දීප්තිය පිළිබඳවත් ඔහු තොරතුරු සැපයුවේය. ටොලමි තාරකාවල පිහිටීම අක්ෂාංශ හා දේශාංශ වශයෙන් සඳහන් කරනවා පමණක් නොවෙයි, ඔහු වැඩිමනත් විස්තරද සපයයි. නිදසුනකට, උර්ෂා මේජර් හෙවත් මහා වලසා නමැති රාශියෙහි එක් තාරකාවක් විස්තර කර තිබෙන්නේ “වල්ගයේ මුදුනේ ඇති තාරකාව” වශයෙනුයි. එමෙන්ම වල්ගා තරුවක පිහිටීම විස්තර කරද්දී එය “ඇන්ඩ්‍රෝමීඩාගේ දකුණු දණිසෙහි වම් පැත්තේ” පිහිටා ඇති බව සඳහන් කර ඇත. එමනිසා එක් අභ්‍යාස පොතකට අනුව, “සෑම දක්ෂ තාරකා විද්‍යාඥයෙකුටම ආකාශ වස්තූන්ගේ පිහිටීම පිළිබඳ හොඳ දැනුමක් අවශ්‍ය විය!”
නමුත් ඉපැරණි රාශි වැඩි හරියක් උත්තර ධෘව අහස් තලයේ පිහිටා ඇත්තේ මන්ද? තරු පොකුරු, තරු රාශි වශයෙන් හඳුනාගැනීමට පටන්ගත්තේ උත්තර ධෘව අහස් තලය හොඳින් පෙනෙන මධ්‍යධරණි ප්‍රදේශයේ වන නිසායයි එක් සිතියම් අඳින්නෙක් පැහැදිලි කළේය. අලුත් රාශි හඳුනාගැනීමට කාලයක් ගත විය. එසේ කිරීමට සමත් වූයේ දක්ෂිණ ධෘව අහස් තලය නිරීක්ෂණය කරන්න පටන්ගත්තායින් පසුවයි. වඩාත් මෑතකදී සොයාගත් මෙම රාශි අතුරින් කෙමිකල් ෆර්නස් (රසායනික උදුන), පෙන්ඩියූලම් ක්ලොක් (බට්ටා ඔරලෝසුව) හා ටෙලස්කෝප්ද (දූරේක්ෂය) වේ.
තාරකාවලට ක්‍රිස්තියානි මුහුණුවරක් දීම
වර්ෂ 1627දී ජර්මානු ජාතික විශාරදයෙක් වූ ජූලියස් ෂිලර් කොයිලුම් ස්ටෙලාටුම් ක්රිස්ටියානුම් (ක්‍රිස්තියානි තාරකා ලොව) යන නමින් හැඳින්වෙන තාරකා සිතියමක් නිකුත් කළේය. මිථ්‍යා ප්‍රබන්ධ ඇසුරෙන් ආකාශ වස්තූන් නම් කර තිබීම ගැන තම අකමැත්ත පළ කළ ඔහු තාරකාවලට ක්‍රිස්තියානි මුහුණුවරක් දීමට පියවර ගත්තේය! වැඩි කල් නොගොස් මිථ්‍යා චරිත දී තිබුණු තාරකාවලට ඔහු බයිබල් චරිත දුන්නේය. ද මැපිං ඔෆ් ද හෙවන්ස් (ආකාශ වස්තු සැලසුම් කිරීම) නම් කෘතියේ ඔහු “උත්තර ධෘව අහස් තලය නව ගිවිසුම හා දක්ෂිණ ධෘව අහස් තලය පරණ ගිවිසුම” වශයෙන් වෙන් කළ බව පැහැදිලි කර තිබුණේය. “දක්ෂිණ ධෘව අහස් තලය පරණ ගිවිසුමේ චරිත රඟන වේදිකාවක් බවට පත් කළ ෂිලර්, ඉන්ඩියන් (රතු ඉන්දියානුවා) හා පීකොක්ගේ (මොනරා) තැන යෝබ්ට දුන් අතර සෙන්ටවුරස් (ධනු) නමැති මිථ්‍යා සංකේතය ආබ්‍රහම් හා ඊසාක් යනුවෙන් නම් කළා.” උත්තර ධෘව අහස් තලයේ ඔහු සිදු කළ වෙනස්කම් මොනවාද? “මග්දලායේ මරියා කාසියෝපියාගේ තැනද, ශාන්ත පාවුල් පර්සියස්ගේ තැනද ගත් අතර රාශි චක්‍රයට ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නම් තැබුවා.”
එක කුඩා රාශියක් වන කොලොම්බා (පරෙවියා) මෙම ශෝධනයෙන් බේරුණේය. මෙයත් ජලගැල්ම සිඳී ඇද්දැයි දැනගැනීම සඳහා නෝවා නැවෙන් පිටතට යැවූ පරෙවියාව නියෝජනය කළ බව විශ්වාස කෙරිණ.
සිතියම් වෙනස් වේ
කල්යත්ම, මෙම තාරකා ශාස්ත්‍රීය සිතියම්වල සැකසුම වෙනස් විය. දහහත්වන සියවසේ දූරේක්ෂය නිපදවීමත් සමඟම, තාරකාවල පිහිටීම වඩාත් නිවැරදි ලෙස දක්වන සිතියම් ඇඳීමේ අවශ්‍යතාව පැනනැඟිණ. ඊට අමතරව, සිතියම්වල කලින් ඇඳ තිබූ නානාවිධ මෝස්තර එන්න එන්නම අඩු වූ අතර, කල්යත්ම ඒවා සිතියම්වලින් සම්පූර්ණයෙන්ම වාගේ ඉවත් විය. අදදින තාරකා සිතියම් බොහෝමයක දක්නට ලැබෙන්නේ තරු, තරු පොකුරු, නීහාරිකා, මන්දාකිනි හා රාත්‍රි අහස නිරීක්ෂණය කරන්නෙකුගේ උනන්දුවට ලක් වන වෙනත් වස්තූන් පමණය.
දහනවවන සියවසේ මැදභාගය වන විට සවිස්තරාත්මක නාමාවලි සකස් කිරීමට පටන්ගැණිණ. මෙයට මුලපිරූ එක් පුද්ගලයෙක් වූයේ ජර්මානු ජාතික තාරකා විද්‍යාඥ ෆ්රීඩ්රික් විල්හෙල්ම් ආග්ලාන්ඩර්ය. කිහිපදෙනෙකුගේ උපකාරය ඇතුව ඔහු උත්තර ධෘව අහස් තලයේ තාරකා පිළිබඳ තොරතුරු රැස් කරන්න පටන්ගත්තේය. දූරේක්ෂයක ආධාරයෙන් ඔවුහු තාරකා 3,25,000ක් සොයාගත් අතර, ඒවායේ පිහිටීම මෙන්ම දීප්තියද මැන බැලූහ. ඔවුන්ගේ පර්යේෂණ පැවැත්වූයේ ජර්මානු නගරයක් වන බොන්හිය. එමනිසා එම නාමාවලියට බොන’ ඩූර්ච්මුස්ටරුං (බොන් සමස්ත සමීක්ෂණය) යන නම තැබීය. එය 1863දී ප්‍රකාශයට පත් කළේය. ආග්ලාන්ඩර්ගේ මරණයෙන් පසු, ඔහු ආරම්භ කළ ව්‍යාපෘතිය ඔහුගේ සහායකයෙක් විසින් දිගටම කරගෙන ගියේය. ඔහු දක්ෂිණ ධෘව අහස් තලයේ තාරකා සිතියම්ගත කළ අතර ඔහුගේ සොයාගැනීම් සූට්ලීච් බොන’ ඩූර්ච්මුස්ටරුං (බොන් සමස්ත උතුරු සමීක්ෂණය) වශයෙන් නම් කළේය. එම සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේ 1930දීය. එය නිකුත් කළේ ආර්ජන්ටිනාවේ කොර්ඩෝබාවලදීයි. අද පවා මේවා වටිනා ග්රන්ථ වශයෙන් පිළිගැනේ.
අනාගතයේදී තත්වය කුමක් වේවිද?
ආග්ලාන්ඩර් හා ඔහුගේ සහායකයන් සකස් කළ නාමාවලිවලට වඩා සවිස්තරාත්මක ඒවා පසු කලකදී ප්‍රකාශයට පත් විය. කෙසේවෙතත්, වඩා මෑතකදී අභ්‍යවකාශ දූරේක්ෂය නිපදවීමත් සමඟම පෙර නොසිතූ විරූ ආකාරයේ සිතියම් සකස් කිරීමට හැකි වී තිබේ. හබල් අභ්‍යවකාශ දූරේක්ෂයේ උපකාරය ඇතුව තාරකා විද්‍යාඥයන් දැන් තාරකා මිලියන 15ක් පමණ ලැයිස්තුගත කර ඇත!
තාරකාවෙන් තාරකාවට මං සෙවීමේ අලුත්ම පියවර වශයෙන් යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය අලුත් නාමාවලි දෙකක් සකස් කර ඇත. මෙම නාමාවලි සඳහා දත්ත රැස් කරගත්තේ හිපාර්කොස් චන්ද්‍රිකාව සැපයූ තොරතුරු ඇසුරෙනි. මෙම නාමාවලි සපයන තොරතුරු මෙතෙක් සකස් කර ඇති සෑම නාමාවලියකටම වඩා නිවැරදියයි සැලකිය හැකිය. මෙම තොරතුරු ඇසුරෙන් අලුත් මුද්‍රිත සිතියම් සකස් කර ඇත. සවිස්තරාත්මකව සකස් කර ඇති එක් සිතියමක වෙළුම් තුනක් තිබෙන අතර එයට සහස්ර තරු සිතියම (ඉංග්‍රීසියෙන්) යන නම දී තිබේ.
ඔබ බයිබලය කියවනවා නම් මෙම සිතියමේ නම ඔබට යමක් මතක් කර දෙයි. එනම් බයිබලයෙහි සඳහන් වන ක්‍රිස්තුස්ගේ සාමකාමී දහස් අවුරුදු (සහස්ර) පාලනයයි. (එළිදරව් 20:4) අද තිබෙන හොඳම තාරකා සිතියමකින් පවා අපේ ගරුබිය දනවන විශ්වය පිළිබඳව අපට ඉගෙනගත හැක්කේ අංශු මාත්‍රයක් පමණයි. නමුත් ඒ කාලයේදී අපිට ඒ පිළිබඳව අසීමිත දැනුමක් ලබාගත හැකි බවට කිසිම සැකයක් නැත.
[පාදසටහන්වල]
a තාරකා මෙලෙස චලනය වන බව පෙනුණේ පෘථිවිය තම කක්ෂය වටා භ්‍රමණය වන නිසයි. මෙය පැරැන්නන් නොදැන සිටි කාරණයකි. අපට හිරු උදා වන බවත් බැස යන බවත් පෙනෙන්නේ එම හේතුව නිසාමයි.
b මෙසපොතේමියාවේ, මධ්‍යධරණි ප්‍රදේශයේ හා යුරෝපයේ විසූ ජනයා මෙම රාශි 48 හඳුනාගෙන තිබිණ. පසුව, උතුරු අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව වෙත ගිය මිනිස්සුද ඒවා හඳුනාගත්හ. කොහොම වුණත්, චීනයේ විසූ මිනිස්සු මෙන්ම උතුරු අමෙරිකානු ස්වදේශිකයන් තාරකා සැලසුම් කිරීමට වෙනත් ක්‍රම යොදාගත්හ.
[25වන පිටුවේ පින්තූරය]
ඒපියන්ගේ තරු සටහන, 1540
[හිමිකම් විස්තර]
British Library අවසර ඇතුව (Maps C.6.d.5.: Apian’s Star Chart)
[26වන පිටුවේ පින්තූරය]
දහනවවන සියවසේ සිතියම්ගත කළ දක්ෂිණ ධෘව තරු රාශි
[හිමිකම් විස්තර]
© 1998 Visual Language
[27වන පිටුවේ පින්තූරය]
නවීන දින සිතියමක් ඇසුරෙන් ඔරායන් රාශිය
[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පිටු 25-27 දක්වා ඇති පසුතලය: ROE/Anglo-Australian Observatory අනුග්‍රහයෙන්; ඡායාරූප ඩේවිඩ් මාලින් විසින්