ඔබට ආබාධිත දරුවෙක් සිටී නම්
ෆින්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්
විසි-හැවිරිදි මාකස්ට (වමේ) අන් අයගේ උපකාරය නැතුව කිසිවක් කරගන්න බැහැ. ඔහුට හරියට නින්ද යන්නේ නැති නිසා මුළු රැය පුරාම ඔහුව බලාගන්න ඕන. නිතරම තුවාල කරගන්න නිසා බේත් හේත් කරන්නත් වෙනවා. ඒ වුණත් මාකස්ගේ දෙමාපියන් ඔහුට හුඟක් ආදරෙයි. ඔහුට ආබාධයන් තිබුණත් ඔහුගේ හොඳ ගති ගුණ නිසා ඔවුන් ඔහු ගැන ආඩම්බර වෙනවා.
කාර්මික රටවල ජනතාවගෙන් සියයට 3කට ආසන්න සෙනඟකට යම් ආකාරයක මානසික ආබාධයක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කර තිබෙනවා. සහජයෙන් උරුම වූ ගැටලු, උපදින විට සිදු වූ අනතුරු, බිලිඳු අවදියේදීම මොළයට බලපාන රෝග හටගැනීම හා නිසි ආහාර නොලැබීම මෙන්ම ඖෂධවලට, මත්පැන්වලට හෝ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මානසික ආබාධයක් ඇති වෙන්න පුළුවන්. වැඩිදෙනෙකුට එසේ වී තිබීමට හේතුව සොයාගත නොහැකියි. ආබාධිත දරුවෙක් සිටින දෙමාපියන්ගේ තත්වය කුමක්ද? එවැනි දෙමාපියන්ව දිරිගන්වන්නේ කොහොමද?
දරුවා ආබාධිත බව දැනගන්නා විට
දෙමාපියන් තම දරුවාට මානසික ආබාධයක් තිබෙන බව දැනගන්නා විට අසීරු තත්වයකටයි මුහුණ දෙන්නේ. “අපේ දුව මන්ද බුද්ධික බව මායි මගේ මහත්තයයි දැනගත් විට අපේ මුළු ජීවිතේම එකපාරටම කඩාවැටුණා වගේ දැනුණා” කියා සිර්ක්කා මතකයට නඟනවා. මාකස්ගේ මව වන ඈන් පවසන්නේ මෙවැනි දෙයක්. “මාකස්ට මානසික ආබාධයක් තියෙන බව මට කිව්ව ගමන් මම කල්පනා කළේ අනිත් අය එයා ගැන මොනවා හිතයිද කියලයි. ඒත් ඒ ගැන හිත හිත ඉන්න එක පැත්තකට දාලා පුතාට ඕන කරන දේ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න මම පටන්ගත්තා.” ඊම්ගාර්ඩ් කියා සිටියෙත් එවැනිම දෙයක්. “අපේ දුව, යූනයිකිට ආබාධයක් තියෙන බව දොස්තරවරු අපිට කිව්වහම මගේ රත්තරන් දුවට උදව් කරන්නේ කොහොමද කියන එක ගැන විතරයි මම හිතුවේ.” දරුවා ආබාධයකින් පෙළෙන බව දැනගත් පසු සිර්ක්කා, ඈන් හා ඊම්ගාර්ඩ් වැනි දෙමාපියන්ට කුමක් කළ හැකිද?
“ඔබට කළ හැකි මුල්ම දේ තමයි ඔබේ දරුවාගේ ආබාධිත තත්වය ගැන දැනුමක් ලබාගැනීම හා ප්‍රයෝජන ගත හැකි යම් සේවාවන් ගැනත්, හැකි උපරිමයෙන් දරුවාට අත දෙන්න කළ හැකි විශේෂ යමක් තිබෙනවාද කියාත් සොයා බැලීම” කියා එක්සත් ජනපදයේ ආබාධිත දරුවන් වෙනුවෙන් තොරතුරු සපයන මධ්‍යස්ථානයක් උපදෙස් දෙනවා. එම උපදෙස් අදාළ කරගැනීමෙන් ඔබේ දරුවා ගැන සැලකිලිමත් වීම ඇත්තෙන්ම අර්ථවත් දෙයක් බව ඔබට හැඟේවි. එය ඔබ කොතරම් දුරක් ගොස් ඇද්ද, කුමන මඟ සලකුණු පසු කළාද කියා සිතියමක සටහන් කරනවා වගේ දෙයක්.
බලාපොරොත්තුවේ මල් පීදේ
ළමා වියේදී මානසික ආබාධිත තත්වයක් ඇති වුණත් යම් සහනයක් ලැබීමටද මඟක් තිබෙනවා. ඒ කොහොමද?
ප්‍රථමයෙන්ම එවැනි දරුවන්ගෙන් වැඩිදෙනෙක් මෙම ආබාධිත තත්වය නිසා වේදනා විඳින්නේ නැහැ. ඒ ගැන දැනගැනීමෙන් දෙමාපියන්ට සැනසීමක් ලැබිය හැකියි. වෛද්‍ය රොබට් අයිසෙක්සන් විසින් ආබාධිත දරුවා (සිංහලෙන් නැහැ) යන තේමාව පාදක කරගෙන ලියූ පොතක මෙවැන්නක් සඳහන් වෙයි. “ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට සතුටෙන් සිටින්නත්, අන් අයගේ ඇසුර, සංගීතය හා ආහාරවල රසය භුක්ති විඳින්නත්, යම් ක්‍රීඩාවල නියැලෙන්න මෙන්ම මිතුරන්ව ඇති කරගන්නත් හැකියාව තිබෙනවා.” සාමාන්‍ය දරුවන් වගේ ඔවුන්ට හැම දෙයක්ම කරන්න බැරි වුණත් ඔවුන්ගේ සීමාව තුළ යම් දේවල් කරමින් සාමාන්‍ය දරුවන්ට වඩා සතුටෙන් ඉන්න ඔවුන්ට පුළුවන්.
දෙවනුව, තම දරුවා මහත් වෑයමක් දරා යම් දේවල් කරනවා දැකීමෙන් දෙමාපියන්ට දරුවා ගැන ආඩම්බර විය හැකියි. නිදසුනකට, දරුවා ඉගෙනගන්න හැම අලුත් දෙයක්ම උස කන්දක් තරණය කරන්න දරුවා පියවර ඔසවනවා වගෙයි කියා සිතන්න. දරුවා සාර්ථක වූ විට දෙමාපියන්ට මෙන්ම දරුවාටත් ලොකු සතුටක් දැනෙයි. දැන් අපි බ්‍රයන් ගැන බලමු. අවයව තුළ සහ පිටත ගෙඩි සෑදීමේ රෝගයක් ඔහුට තිබෙන අතර මීමස්මොරය හැදෙනකොට ඇති වන රෝග ලක්ෂණ පහළ වෙනවා. අන් අය එක්ක සුහද ඇසුරක යෙදෙන්නත් ඔහුට අමාරුයි. බුද්ධිමත් වුණත් ඔහුට කතා කරන්නත් අත පය වාරු කර වැඩක් කරන්නත් බැහැ. ඒත් කිරි කෝප්ප භාගයක් හළන්නේ නැතුව බොන්න ඔහු ක්‍රම ක්‍රමයෙන් ඉගෙනගත්තා. මොළයේ සංඥා අනුව අත පය පාලනය කිරීමට දැරූ මහත් වෑයම නිසා කාගෙවත් උදව්වක් නැතුව තම ප්‍රියතම පානය වන කිරි බොන්න බ්‍රයන්ට පුළුවන්කම ලැබුණා.
ආබාධිත තත්වයෙන් බිඳක් හෝ ගොඩ ඒමට බ්‍රයන් ගත් වෑයම ඔහුගේ දෙමාපියන් දකින්නේ තවත් ජයග්‍රහණයක් හැටියටයි. ඔහුගේ මව වන ලෝරී පැවසුවේ මෙයයි. “අපේ පුතා හරියට කැලයක තියෙන අරටුවක් සහිත ගහක් වගෙයි. ඒ ගහ අනිත් පැළ වගේ ඉක්මනින් වැඩුණේ නැතත් ඒක හුඟක් වටිනා ලී ලබා දෙන ගහක්. ආබාධිත දරුවනුත් ඒ වගෙයි. ඔවුන් ඉක්මනින්ම වැඩුණේ නැතත් ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් තේක්ක හෝ බුරුත වැනි වටිනාකමකින් යුත් ගස් වගෙයි.”
තුන්වෙනුව, තම දරුවන් තුළ තිබෙන අහිංසකකම සහ ආදරය නිසා බොහෝ දෙමාපියන් ඔවුන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වනවා. ඊම්ගාර්ඩ් මෙසේ පවසනවා. “යූනයිකි ආසයි රෑ බෝ වෙන්න කලින් නිදාගන්න. ඊට ඉස්සෙල්ලා එයා හැමෝම ළඟට ගිහින් හාදුවක් දෙනවා. අපි ගෙදර එන්න පරක්කු වෙන දවස්වලට එයා කලින්ම ඇඳට යනවා නම් අපි එනකම් ඇහැරගෙන හිටියේ නැති එක ගැන සමා වෙන්න, මං ඕගොල්ලන්ට ආදරෙයි, අපි උදේට හම්බ වෙමු කියලා පුංචි ලියුම් කෑල්ලක ලියලා තමයි නිදාගන්නේ.”
මාකස්ට කතා කරන්න බැරි නිසා ඔහුගේ දෙමාපියන්ට ඔහු ආදරේ බව කියන්න සංඥා භාෂාවේ වචන කීපයක් ඔහු අමාරුවෙන් ඉගෙනගත්තා. එතරම් මොළය වර්ධනය වී නැති ටියාගේ දෙමාපියන් කියන්නේ “ඇය අඩුවක් නැතුව අපිට ආදරය, ලැදියාව, ස්නේහය පෙන්වනවා වගේම අපිව වැලඳගෙන හාදු දෙනවා” කියලයි. එවැනි දරුවන් ආදරය දක්වනවා වගේම ඔවුන්ටත් දෙමාපියන්ගේ ඉමහත් ආදරය, වචනයෙන් හා ක්‍රියාවෙන් ලැබිය යුතුයි.
හතරවනුව, තම දරුවා දෙවි කෙරෙහි විශ්වාසය දක්වන බව පෙන්වද්දී ක්‍රිස්තියානි දෙමාපියන් බොහෝ සෙයින් සෑහීමට පත් වෙයි. යූහාත් ඒ වගේ කෙනෙක්. ඔහුට යම් මානසික ආබාධයක් තිබුණත් ඔහුගේ පියාගේ අවමංගල්‍ය කටයුතු සිදු කරද්දී ඔහුටත් යාච්ඤාවක් කියන්න දෙනවාද කියලා ඔහු ඇහැව්වා. ඔහුගේ කෙටි යාච්ඤාවේදී ඔහු සඳහන් කළේ දෙවිගේ මතකයේ තාත්තා ඉන්න නිසා කවදාහරි දවසක දෙවි තාත්තාව මරණයෙන් නැඟිටුවන බව ඔහු විශ්වාස කරනවා කියායි. ඉන්පසු ඔහු තම පවුලේ හැම සාමාජිකයෙකුගේම නම සඳහන් කරමින් ඔවුන්ට උපකාර කරන මෙන් දෙවිගෙන් ඉල්ලා සිටියා.
යූනයිකි දෙවි කෙරෙහි දැක්වූ විශ්වාසය ගැන ඇගේ දෙමාපියන් සතුටු වුණා. තමන් ඉගෙනගන්න හැම දෙයක්ම තේරුම්ගන්න යූනයිකිට බැහැ. බයිබලයේ සඳහන් හුඟදෙනෙකුගේ නම් ඇයට මතක තිබුණත් ඒ එක් එක්කෙනා ගැන විස්තර කරන්න ඇයට හැකියාවක් නැහැ. කෙසේවෙතත්, සර්වබලධාරි දෙවි කවදාහරි මේ පොළොවේ තිබෙන ගැටලු විසඳන බව ඇයට වැටහෙනවා. යූනයිකි ආසාවෙන් ඉන්නේ දෙවිගේ පොරොන්දුවේ හැටියට ඇගේ මානසික ආබාධිත තත්වය සම්පූර්ණයෙන්ම පහ වෙන පාරාදීස පොළොවේ ජීවත්වීමටයි.
තනියෙන් වැඩ කරගැනීමට උදව් කරමු
මානසික ආබාධයක් තිබෙන දරුවන් හැමදාම පුංචියට ඉන්නේ නැහැ. ඔවුනුත් වැඩිහිටියන් බවට පත් වෙනවා. නමුත් ඒ ආබාධිත තත්වය වෙනස් වෙන්නේ නැහැ. එමනිසා එවැනි දරුවන්ට අනුන් මතම රඳා නොසිට ඔවුන්ගේ හැකියාව අනුව ඔවුන්ගේ වැඩ කරගැනීමට දෙමාපියන් උපකාර කළ යුතුයි. “මාකස්ට හැම දෙයක්ම කරලා දෙන එක අපට පහසුවක් වගේම කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. හැබැයි අපි වෑයමක් දැරුවේ එයාටම එයාගේ වැඩ කරගන්න උපකාර කරන්නයි” කියා මාකස්ගේ මව වන ඈන් පවසනවා. යූනයිකිගේ අම්මාත් මෙහෙම කියනවා. “යූනයිකිට හුඟක් හොඳ ගතිගුණ තියෙනවා. ඒත් සමහර වෙලාවට එයා ටිකක් මුරණ්ඩුයි. ඇය යමක් කරන්න අදි මදි කරද්දී අපිට සිද්ධ වෙනවා අපිව සතුටු කරන්න ඇයට තිබෙන ආශාව ගැන මතක් කරලා දෙන්න. ඒ වගේම යම් වැඩක් කරන්න ඇය භාර ගත්තහමත් වැඩේ සම්පූර්ණ කරන තුරුම ඇයට අවධානය දීලා ඇයව දිරිගන්වන්න අපිට සිද්ධ වෙනවා.”
බ්‍රයන්ගේ මව වන ලෝරී නිතරම උත්සාහ කරන්නේ ඔහුව යම් වැඩක නිරත කරවන්නයි. වසර තුනකට වැඩි කාලයක් පුරා ලෝරී හා ඇගේ සැමියා බ්‍රයන්ට පරිගණකයෙන් අකුරු ලියන්න උපකාර කළා. දැන් තම මිතුරන්ට හා පවුලේ අයට ඊ-මේල් පණිවිඩ යවන්න බ්‍රයන්ට හැකි වී තිබීම ඔවුන්ට ඉමහත් සතුටක්. ඒත් එයාගේ ස්නායු ආබාධය නිසා කවුරුහරි ළඟ ඉඳලා ඔහුගේ මැණික් කටුව ළඟින් අල්ලලා උපකාර කළ යුතු වෙනවා. ඔහුගේ දෙමාපියන් ඔහුට උපකාර කරමින් ඉන්නේ කෙසේ හෝ වැලමිටෙන් අත වාරු කරගන්න තරමට ඔහුව දියුණු කිරීමටයි. මැණික් කටුව ඇල්ලුවත්, වැලමිට ඇල්ලුවත් ඒ තරම් වෙනසක් නැති බව පෙනෙන්න පුළුවන්. ඒත් ඔවුන් දන්නවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා.
කෙසේනමුත් දෙමාපියන් දරුවාගෙන් ඕනෑවට වඩා බලාපොරොත්තු නොවිය යුතු අතර ඔහුට හෝ ඇයට ඉක්මනින් දියුණු වීමට බල නොකළ යුතුයි. හැම දරුවෙකුගේම හැකියාවන් වෙනස්. “කළ යුතු හොඳම දෙය වන්නේ තනිවම දේවල් කරගැනීමට දිරිගන්වන අතරේම දරුවාව කලනොකිරෙන ලෙස ප්‍රමාණවත් උපකාරයක් සැපයීමයි. දෙමාපියන් සමබර විය යුතුයි” කියා පොතක උපදෙස් දී තිබෙනවා.—එම පොත The Special Child.
ඔබ තනි වී නැහැ
ආබාධිත දරුවන් සිටින දෙමාපියන් මහත් ඉවසීමකින් හා විඳදරාගැනීමකින් යුතුව කටයුතු කිරීම අවශ්‍යයි. එක පිට එක ගැටලු වැඩි වෙද්දී හුඟක් දෙමාපියන් වෙහෙසට පත් වන අතර ඔවුන්ට කලකිරීමකුත් ඇති වෙනවා. අපේක්ෂා භංග වෙන අවස්ථාවලදී අඬන්න දොඩන්නත් තමන් ගැන හිත හිතා දුක් වෙන්නත් පෙලඹිය හැකියි. මේ වගේ අවස්ථාවල දෙමාපියන්ට සහනයක් තිබෙනවාද?
දෙවිට කන්නලව් කරන්න දෙමාපියන්ට පුළුවන්. ඔහු ‘යාච්ඤා අසන’ දෙවි කෙනෙක් සිටියි. (ගීතාවලිය 65:2) ඔහු විඳදරාගැනීමට අවශ්‍ය ධෛර්යය, බලාපොරොත්තුව හා ශක්තිය ලබා දෙනවා. (1 ලේකම් 29:12; ගීතාවලිය 27:14) වේදනාවෙන් මිරිකෙන අපව සනසන ඔහු අපට කියන්නේ බයිබලයේ සපයා ඇති “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න” කියායි. (රෝම 12:12; 15:4, 5; 2 කොරින්ති 1:3, 4) ‘අන්ධයන්ගේ ඇස් පැහැදෙන, බිහිරන්ගේ කන් ඇරෙන, කොරා මුවකු මෙන් පැන යන, ගොළුවාගේ දිව ගී කියන’ දවසක් අනාගතයේදී උදා වෙන බවට නිසැකකමක් තබාගන්න දෙවි කෙරෙහි විශ්වාස කරන දෙමාපියන්ට හැකියි. එදාට ඔවුන්ගේ රත්තරන් දරුවාටත් නිරෝගී මානසිකත්වයක් හා සෞඛ්‍යයක් භුක්ති විඳීමට හැකි වෙනවා.—යෙසායා 35:5, 6; ගීතාවලිය 103:2, 3.
දෙමාපියන්ට කළ හැකි දේ
◼ දරුවාගේ ආබාධය ගැන තමන්ම දැනුවත් වන්න
◼ ධන ආකල්පයක් තියාගන්න උත්සාහ කරන්න.
◼ දරුවාගේ හැකියාවට අනුව ඔවුන්ටම දේවල් කරගන්න උපකාර කරන්න.
◼ දෙවිගෙන් ධෛර්යය, බලාපොරොත්තුව හා ශක්තිය අයැද සිටින්න.
අන් අයට කළ හැකි දේ
◼ බබෙකුට වගේ නොව දරුවාගේ වයසට ගැළපෙන ආකාරයෙන් කතා කරන්න.
◼ දෙමාපියන් තම දරුවා ගැන දරන වෑයමට පසසන්න.
◼ දෙමාපියන්ගේ හැඟීම් ගැන සංවේදී වන්න; සැලකිලිමත් වන්න.
◼ එවැනි දෙමාපියන්ගේ වැඩ කටයුතුවලට සහය වෙන්න.
[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඔබටත් හැකියි අත්වැලක් වන්න
මැරතන් ධාවකයන් විඳදරාගනිමින් දුවන දෙස බලා ප්‍රේක්ෂකයන් පුදුම වන්නාක් මෙන්, ආබාධිත දරුවෙකුව පැය 24 පුරාම බලාගන්නාවූ දෙමාපියන්ගේ අධිෂ්ඨාන ශක්තිය දැක ඔබත් පුදුම විය හැකියි. ධාවන පථයේ සිටින ධාවකයන්ව ප්‍රාණවත් කිරීමට වතුර දීම නරඹන්නන්ගේ සිරිතක්. ඒ වගේම ආබාධිත දරුවෙකුව ඔහුගේ ජීවිත කාලය පුරාම රැකබලා ගන්නාවූ දෙමාපියන්ට ශක්තියක් වීමට ඔබට හැකිද?
ඔවුන්ගේ පුතා හෝ දියණිය සමඟ කතා කිරීම පමණක්ම ඔවුන්ට උපකාරයක් විය හැකියි. එවැනි පියවරක් ගනිද්දී දරුවා ඔබ සමඟ වැඩිය කතා නොකිරීමට හෝ කොහෙත්ම කතා නොකිරීමට ඉඩ ඇති නිසා මුලින් ඔබට අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මතක තබාගන්න සමහරෙකුගේ සිත් හා අදහස් හරියට මුහුදේ පාවෙන අයිස් කඳු වගෙයි කියන එක. ඒවාවලින් වැඩිහරියක් තිබෙන්නේ ජලය යටයි. එලෙසම මේ දරුවන්ගේ මුහුණේ ඉරියව්වලින් බොහෝ දේ නොදැක්කත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් හොඳින් සවන් දෙන්නත් ඔබ කියන දේ ගැන ගැඹුරින් සිතන්නත් කැමතියි.a
ඔබේ සංවාදය පහසු කරවිය හැකි අන්දම ගැන ළමා ස්නායු රෝග විශේෂඥ ආන්නයිකි කොයිස්ටිනෙන් මෙවැන්නක් පවසනවා. “මුලින්ම ඔවුන්ගේ පවුලේ විස්තර හෝ ඔවුන්ගේ විනෝදාංශ ගැන අහන්න පුළුවන්. සිඟිත්තන්ට කතා කරන්නාක් මෙන් නොව ඔවුන්ගේ වයසට ගැළපෙන අන්දමින් ඔවුන් සමඟ කතා කරන්න. එක වතාවකට එක විෂයක් ගැන කෙටි වාක්‍යවලින් කතා කරන්න. ඔබ පවසන දේ ගැන හිතන්න ඔවුන්ට කාලය දෙන්න.”
එවැනි දරුවන් මෙන්ම දෙමාපියන් සමඟත් ඔබ කතා කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ දුක්බර හැඟීම් දැනගත් විට ඔවුන් කෙරෙහි ඔබේ දයානුකම්පාව වැඩි වෙයි. උදාහරණයකට මාකස්ගේ මව වන ඈන් ආසයි ඇගේ පුතා එක්ක කතා කරන්න. ඒත් ඔහුගේ හිතේ තියෙන දේ ඔහුට කියාගන්න බැරි එක ගැන ඇයට කනගාටුයි. පුතාට කලින් තමා මිය ගියොත් පුතාව බලාගන්න අම්මා කෙනෙක් නැති වෙයි කියන බයත් ඇයට තිබෙනවා.
තම මානසික ආබාධිත දරුවා වෙනුවෙන් මොන තරම් ඇප කැප වී වැඩ කළත් දෙමාපියන්ට බොහෝවිට හැඟෙන්නේ මීට වඩා දෙයක් කළ යුතු බවයි. බ්‍රයන්ගේ අම්මා වන ලෝරීට හැඟෙන්නෙත් එහෙමයි. පුතාව බලාගනිද්දී සුළුවෙන් හෝ අතපසු වීමක් සිදු වුණා නම් ඇය තමා පිට වරද පටවගන්නවා. අනිත් දරුවන් කෙරෙහි වැඩි අවධානයක් දීමට නොහැකි වීමත් තමාගේ වරදක් හැටියටයි ඇය සිතන්නේ. ඔබ එවැනි දෙමාපියන් ගැන හා ඔවුන්ගේ හැඟීම් ගැන දක්වන උනන්දුව මෙන්ම ගෞරවය නිසා දරුවන්වත් දෙමාපියන්වත් ගොඩ නැංවෙනවා. මේ සම්බන්ධයෙන් ඊම්ගාර්ඩ් පවසන්නේ මෙයයි. “මගේ දුව ගැන කවුරුහරි කතා කරනවාට මං ආසයි. යූනයිකිව බලාගනිද්දී මං අද්දකින දුක සැප දෙකම මාත් එක්ක බෙදාගන්න අයට මං ආදරෙයි.”
ඔබට හැකියි අත්වැලක් වන්න. විශාල ලෙස හෝ සුළුවෙන් උපකාර කළ හැකි තවත් ක්‍රම බොහොමයක් තිබෙනවා. එම දෙමාපියන්ට තම දරුවන් සමඟ ඔබේ නිවසට ආරාධනා කරන්නත්, ඔබේ පවුලේ අය එකතු වී කරන යමකට ඔවුන්ව හවුල් කරගන්නත් ඔබට හැකියි. එමෙන්ම දෙමාපියන්ට විවේක ගන්න ඉඩ දී දරුවා සමඟ යම් කාලයක් ගත කරන්නත් ඔබට පුළුවන්.
[පාදසටහන]
a “ලොයිඩාගේ නිහඬ ගමන” යන තේමාවෙන් යුත් ලිපිය 2000 මැයි 8 පිබිදෙව්! කලාපයෙන් බලන්න. (සිංහලෙන් නැහැ.)
[26වන පිටුවේ පින්තූරය]
අවංක සැලකිල්ලක් දැක්වීමෙන් දෙමාපියන්ට හා දරුවාට නිසි ගෞරවය ලැබෙයි
[27වන පිටුවේ පින්තූරය]
යූනයිකි මෙන් මානසික ආබාධයක් තිබෙන දරුවන් වැඩෙද්දී නිරතුරුවම ආදරය ලැබිය යුතුයි
[28වන පිටුවේ පින්තූරය]
පරිගණකයෙන් අකුරු ලියන්නත් තනිවම දේවල් කරගන්නත් ලෝරී බ්‍රයන්ට ඉගැන්නුවා