පරිච්ඡේදය 10
“සාතන්ගේ ගැඹුරු දේ” ප්‍රතික්ෂේප කිරීම
තියතීරා
1. තියතීරාව පිහිටා තිබුණේ කොහේද? එහි තිබුණේ කිනම් ආගමික වාතාවරණයක්ද?
බර්ගමා ලෙස හඳුන්වන පර්ගමම් නුවරට සැතපුම් 40ක් පමණ ගිනිකොන දෙසින් අකිසාර් නම් සමෘද්ධිමත් තුර්කි නගරය පිහිටා තිබෙනවා. මීට වසර 1,900කට පමණ පෙර තියතීරා නගරය පිහිටා තිබුණේ ඒ ප්‍රදේශයේයි. පර්ගමම්හි සිට රට අභ්‍යන්තරය තුළට යන මාර්ගයකින් සංචාරක අවේක්ෂකයෙකුට පහසුවෙන්ම තියතීරාවට පැමිණිය හැකි වූ අතර, එතැන් සිට එළිදරව් 3වන පරිච්ඡේදයේ සඳහන් අනෙක් සභාවලට එනම් සර්දිස්, ෆිලදෙල්ෆියා සහ ලවොදිසීයට පහසුවෙන්ම ගමන් කළ හැකි වුණා. පර්ගමම්හි මෙන් තියතීරාවේ අධිරාජ්‍යයාට නමස්කාර කිරීම එතරම් සිදු නොවුණත්, මිථ්‍යා දෙවියන්ට කැප කළ පිළිම ගෙවල් සහ දේවාල එහි බහුලව තිබුණා. ඒ වගේම වෙළඳ නගරයක් හැටියටත් තියතීරාව ප්‍රසිද්ධ වී තිබුණා.
2, 3. (අ) ක්‍රිස්තියානියෙකු බවට පත් වූ තියතීරා කාන්තාවක් ගැන මීට පෙර සඳහන් වී තිබුණේ කුමක්ද? (ආ) යේසුස්ට “දෙවිගේ පුත්‍රයා” කියා කීමත්, “ගිනි දැල්ලක් වැනි ඇස්” ඔහුට තිබෙනවා කියා කීමත් තියතීරා ක්‍රිස්තියානීන්ට වැදගත් දෙයක් වුණේ ඇයි?
2 පාවුල් මැසිඩෝනියාවේ දේශනා කරද්දී ඔහුට ලිදියා නම් වූ රත්නිල් රෙදිපිළි විකුණන කාන්තාවක් හමු වුණා. ඇය තියතීරාවේ වාසය කරන්නියක්. පාවුල් දේශනා කරමින් සිටි පණිවුඩය ඉතා සතුටින් පිළිගත් ලිදියා සහ ඇගේ පවුලේ අය ඔහුට ඉතා කාරුණික ලෙස ආගන්තුක සත්කාරය පෙන්නුවා. (ක්‍රියා 16:14, 15) තියතීරාවේ ක්‍රිස්තියානි ඇදහිල්ල වැලඳගත් පළමු තැනැත්තිය වූයේ ඇයයි. කල් යත්ම මේ නගරයේ ක්‍රිස්තියානි සභාවක්ද ඇති වුණා. යේසුස් තම දීර්ඝතම පණිවුඩය යොමු කරන්නේ මේ සභාවටයි. “තියතීරාහි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ගිනි දැල්ලක් වැනි ඇස් හා ඉස්තරම් තඹ වැනි පාද ඇති තැනැත්තා වන දෙවිගේ පුත්‍රයා මේ කාරණා කියන්නේය.”—එළිදරව් 2:18.
3 එළිදරව් පොතේ යේසුස් යෙහෝවා දෙවිට “මාගේ පියාණන්” කියා කිහිප වතාවක්ම පැවසුවත්, යේසුස්ට “දෙවිගේ පුත්‍රයා” කියා පවසන එකම අවස්ථාව මෙයයි. (එළිදරව් 2:27; 3:5, 21) මෙසේ පැවසීමෙන් යෙහෝවා දෙවි සමඟ යේසුස්ට ඇති කිට්ටු බැඳීම ගැන තියතීරාවේ ක්‍රිස්තියානීන්ට මතක් කර දෙන්න ඇති. දෙවිගේ පුත්‍රයාට “ගිනි දැල්ලක් වැනි ඇස්” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ සභාව තුළ යම් දූෂිත දෙයක් තිබෙනවා නම් ඔහු ඉතා ඉක්මනින් ඊට විරුද්ධව දැඩි පියවර ගන්නා බවයි. ඇත්තෙන්ම මෙය තියතීරාවේ ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීමක්. තමාට ඉස්තරම් තඹ වැනි පාද තිබෙනවා කියා දෙවෙනි වතාවටත් සඳහන් කිරීමෙන් යේසුස් අවධාරණය කරන්නේ තමා පොළොවේ ජීවත් වූ කාලයේ දැක්වූ විශ්වාසවන්තකමේ අනගි ආදර්ශයයි. තියතීරාවේ ක්‍රිස්තියානීන් මෙම උපදෙස සිතට ගත් බවට නම් සැකයක් නැහැ. අපිත් යේසුස්ගේ මේ උපදෙස හොඳින් සිතට ගනිමු!—1 පේතෘස් 2:21.
4, 5. (අ) තියතීරාවේ ක්‍රිස්තියානීන්ට ප්‍රශංසා කිරීමට යේසුස්ට හැකි වූයේ ඇයි? (ආ) තියතීරාවේ සභාව අද දින තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්ට සමාන වන්නේ කෙසේද?
4 යේසුස් තියතීරා සභාවට ප්‍රශංසා කරමින් මෙසේ පවසනවා. “ඔබේ ක්‍රියාද, ඔබේ ප්‍රේමයද ඇදහිල්ලද සේවය සහ විඳදරාගැනීමද දනිමි. එසේම මෑත කාලයේදී ඔබ කළ ක්‍රියා ඔබේ මුල් ක්‍රියාවලට වඩා වැඩි බවද මම දනිමි.” (එළිදරව් 2:19) එෆීසයේ ක්‍රිස්තියානීන් මෙන් නොව මෙහි සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවි සඳහා ඔවුන්ට මුලින් තිබූ ප්‍රේමය නැති කරගෙන තිබුණේ නැහැ. ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්. මීට අමතරව පෙරට වඩා වැඩි සේවයක් ඔවුන් දැන් කරනවා. ඒ වගේම මීට කලින් සඳහන් කළ සභාවල ක්‍රිස්තියානීන් වගේම තියතීරා ක්‍රිස්තියානීනුත් විඳදරාගනිමින් සිටියා. අදත් ලොව පුරා 1,00,000කට ආසන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්වල සිටින අයත් ඒ වගේම විඳදරාගනිමින් සිටිනවා. සමස්තයක් ලෙස යෙහෝවා දෙවිගේ සංවිධානයේ සිටින බාල මහලු සැමදෙනාම දේවසේවයට දැඩි උද්යෝගයක් දක්වන්නේ යෙහෝවා දෙවි ගැන ඔවුන්ට ඇති ප්‍රේමය නිසයි. පුරෝගාමීන්ගේ සංඛ්‍යාවත් එන්න එන්නම වැඩි වෙනවා. ඉතිරි වී තිබෙන ස්වල්ප කාලයේදී දෙවිගේ රාජ්‍යය පිළිබඳ ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන ප්‍රකාශ කිරීමට ඔවුන් තම කාලය ඥානවන්තව යොදවනවා.—මතෙව් 24:14; මාක් 13:10.
5 පසුගිය දශක ගණනාව පුරාම ලෝකයේ මිනිසුන් කිසිම බලාපොරොත්තුවක් නැතුව කලකිරී සිටියත් අභිෂේක ලත් ඉතිරි අය සහ මහත් සමූහයට අයත් බොහෝ ඇදහිලිවන්තයන් දෙවිගේ සේවයෙහි විඳදරාගෙන අන් අයට ආදර්ශයක් වී තිබෙනවා. අපිත් කිසිවිටෙකත් අධෛර්යය නොවෙමු! මන්ද පුරාණයේ දෙවිට සේවය කළ අනාගතවක්තෘවරුන් පැවසූ ලෙස “යෙහෝවාගේ මහත් දවස ළඟය, ඒක, එනම් යෙහෝවාගේ දවසේ ශබ්දය ළං වී වහාම එන්නේය.” මේ වචන එළිදරව් පොතේ සහතික කර තිබීම මොන තරම් සහනයක්ද!—ශෙපනියා 1:14; යෝවෙල් 2:1; හබක්කුක් 2:3; එළිදරව් 7:9; 22:12, 13.
“යෙසබෙල් නම් ඒ ස්ත්‍රිය”
6. (අ) තියතීරා සභාවේ ප්‍රශංසා කළ හැකි පැති තිබුණත් ඔවුන් වහාම පියවර ගත යුතු ගැටලුව ලෙස යේසුස් දකින්නේ කුමක්ද? (ආ) යෙසබෙල් යනු කවුද? අනාගතවක්තෘවරියක් ලෙස සේවය කිරීමට යෙසබෙල්ට යම් අයිතියක් තිබුණාද?
6 යේසුස්ගේ ගිනි දැල්ලක් වැනි ඇස්වලට වහාම විසඳිය යුතු ගැටලුවක් දකින්න ලැබෙනවා. තියතීරාවේ ක්‍රිස්තියානීන්ට ඔහු දැන් පවසන්නේ මෙයයි. “එහෙත්, ඔබට විරුද්ධව මේ කාරණාව මට ඇත. අනාගතවක්තෘවරියකැයි තමන් විසින්ම කියාගන්නා යෙසබෙල් නම් ඒ ස්ත්‍රියට ඔබ ඉඩ දෙන්නෙහිය. වේශ්‍යාකම් කරන්නත්, දේවතා රූපවලට පූජා කළ දේවල් කන්නත් මාගේ දාසයන්ට උගන්වමින් ඈ ඔවුන්ව නොමඟ යවන්නීය.” (එළිදරව් 2:20) ක්‍රිස්තු පූර්ව දහවෙනි සියවසේදී ඊශ්‍රායෙලයේ රජ වූ ආහබ්ගේ බිරිඳ වන යෙසබෙල් බිසව බාල්ට වන්දනාමාන කළ මිනීමරු, දුරාචාර ජීවිතයක් ගත කළ, අනුන්ව තම අල්ලේ නැටවූ තැනැත්තියක් ලෙස ප්‍රසිද්ධ වී සිටියා. යෙහෝවා දෙවි අනාගත රජු ලෙස අභිෂේක කළ යේහු ඇයව මරණයට පත් කිරීමට පියවර ගත්තා. (1 රාජාවලිය 16:31; 18:4; 21:1-16; 2 රාජාවලිය 9:1-7, 22, 30, 33) රූප වන්දනාව කළ යෙසබෙල්ට තමන් අනාගතවක්තෘවරියක්යයි කියාගන්න කිසිම අයිතියක් තිබුණේ නැහැ. ඊශ්‍රායෙලයේ විශ්වාසවන්ත අනාගතවක්තෘවරියන් ලෙස සේවය කළ මිරියාම් සහ දෙබොරාට ඇයව සමාන කරන්න කොහෙත්ම බැහැ. (නික්මයාම 15:20, 21; විනිශ්චයකාරයෝ 4:4; 5:1-31) ඒ වගේම යෙහෝවා දෙවිගේ බලය මගින් ආනා සහ ෆිලිප්ගේ දූවරුන් හතරදෙනා අනාවැකි කිව්වත් අනාවැකි කීමට යෙහෝවා දෙවිගෙන් කිසිම බලයක් යෙසබෙල්ට ලැබුණේ නැහැ.—ලූක් 2:36-38; ක්‍රියා 21:9.
7. (අ) “යෙසබෙල් නම් ඒ ස්ත්‍රියට” ඉඩ දීම කියා කීමෙන් යේසුස් අදහස් කරන්නට ඇත්තේ සභාව තුළ පවතින කවර බලපෑමක් ගැනද? (ආ) සභාව සමඟ ඇසුරු කළ ඇතැම් ස්ත්‍රීන් තම හිතුවක්කාරකම සාධාරණීකරණය කරන්නට ඇත්තේ කෙසේද?
7 පුරාණයේ සිටි යෙසබෙල්ට සමානව තියතීරාවේ අනාගතවක්තෘවරියක්යයි කියා සිටි ‘යෙසබෙල් නම් ඒ ස්ත්‍රියද’ වංචාකාරියක්. ඇයට දෙවිගේ බලය කිසිසේත්ම තිබුණේ නැහැ. ඇය කවුද? පෙනෙන විදිහට ඇය කිසිම ලැජ්ජාවක් බියක් නැතුව සභාවට දූෂිත බලපෑමක් කළ ස්ත්‍රියක් විය හැකියි. එසේ නැත්නම් ස්ත්‍රීන් කණ්ඩායමක් විය හැකියි. සභාව සමඟ ඇසුරු කරමින් සිටි ඇතැම් ස්ත්‍රීන් කිසිම ලැජ්ජාවක් බියක් නැතුව සභාවේ සාමාජිකයන්ව දුරාචාරයට සම්බන්ධ කරගනිමින්, තම හිතුවක්කාර ක්‍රියා සාධාරණීකරණය කිරීමට බයිබල් පද වැරදි විදිහට අදාළ කරමින් සිටියා විය හැකියි. ඇත්තෙන්ම මෙය බොරු අනාගතවාක්‍ය කීමකට සමානයි! මොවුන් වෙනත් අයව “වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි” දේවලට හසු කරගැනීම සඳහා බලපෑම් කළා. (කොලොස්සි 3:5) ඔවුන් කැමති වුණේ සභාවේ අය දුරාචාරයේ යෙදෙනවා දකින්න හා හිතුමතේ තම ආශාවන් පසුපස යනවා දකින්නයි. අද ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලත් එවැනි දූෂිත ක්‍රියාවලට අනුබල දෙනවා එසේ නැතහොත් ඒවා ගණන් නොගෙන සිටිනවා.
8. (අ) තියතීරාවේ “යෙසබෙල්” ගැන යේසුස් පැවසුවේ කුමක්ද? (ආ) අද දිනත් ස්ත්‍රීන්ගෙන් ඇති වන නුසුදුසු බලපෑම් ගැන කියන්න පුළුවන් කුමක්ද?
8 යේසුස් තියතීරාවේ වැඩිමහල්ලන්ට මෙහෙම කියනවා. “පසුතැවිලි වීමට මා ඇයට කාලය දුන් නමුත්, ඇගේ වේශ්‍යාකම ගැන පසුතැවිලි වීමට ඇය කැමති නැත. බලන්න! මම ඇයව ලෙඩ ඇඳකට දමමි. එමෙන්ම, ඇය සමඟ පරදාර සේවනයේ යෙදෙන්නන් ඇගේ බලපෑම හේතුවෙන් කළ ක්‍රියා ගැන පසුතැවිලි නූණොත්, ඔවුන්වද මහත් පීඩාවකට හෙළමි.” (එළිදරව් 2:21, 22) පුරාණයේ සිටි යෙසබෙල් බිසව තම සැමියා වූ ආහබ්ව තම අල්ලේ නටවමින් දෙවි පත් කළ යේහුට එරෙහිව ක්‍රියා කළා. ඒ වගේම මේ ස්ත්‍රීන්ද තම ස්වාමිපුරුෂයන් සහ සභා වැඩිමහල්ලන්ව තම අල්ලේ නැටවීමට උත්සාහ කළා විය හැකියි. තියතීරාවේ වැඩිමහල්ලන් මේ නින්දිත යෙසබෙල් බලපෑමට ඉඩහරිමින් සිටි බව පෙනෙන්ට තිබෙනවා. නමුත් යේසුස් ඔවුන්ට දෙන ප්‍රබල අනතුරු ඇඟවීම අද දිනත් යෙහෝවා දෙවිගේ ජනයාගේ සියලු සභාවලට අදාළයි. අදත් මෙවැනි ස්ත්රීන්ගේ බලපෑම් තිබෙනවා. ඒ කොහොමද? හිතුවක්කාරව ක්‍රියා කරන සමහරක් ස්ත්‍රීන්, සත්‍ය නමස්කාරයට විරුද්ධව කැරලි ගැසීමට තමන්ගේ ස්වාමි පුරුෂයන්ව පොලඹවා ඇති අතර, යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට එරෙහිව නඩු කීමට පවා ඔවුන්ව පොලඹවා තිබෙනවා.—යූද් 5-8ද බලන්න.
9. (අ) යෙසබෙල් ගැන යේසුස් කී වචන සභාවේ සියලු කාන්තාවන්ට අදාළ නොවන්නේ ඇයි? (ආ) යෙසබෙල් බලපෑමක් ඉස්මතු වෙන්නේ කොහොමද?
9 ක්‍රිස්තියානි සභාවේ සිටින ඇදහිලිවන්ත කාන්තාවන් නම් යෙසබෙල්ගේ ගණයට වැටෙන්නේ නැහැ. ඇත්තටම අද දින සාක්ෂි දැරීමේ කාර්යයේ වැඩි හරියක් නියැලෙන්නේ ඇදහිලිවන්ත සහෝදරියන්. ඒ වගේම බයිබල් පාඩම් පවත්වා නවකයන්ව සභාවට යොමු කිරීමෙන් ඔවුන් ඉටු කරන්නේ මහත් සේවයක්. මේ සැලැස්මට ආශීර්වාද කර ඇත්තේද දෙවිමයි. මේ ගැන ගීතාවලිය 68:11හි සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා වචනය දෙන්නේය. ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රියෝ මහත් සේනාවක්ය.” භාර්යාවන් මෘදු ලෙස හා ගෞරවණීයව හැසිරීම මගින් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට සිදු වන්නේ මහත් යහපතක්. ඒ හැසිරීම ‘දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සෙයින් වටිනවා.’ (1 පේතෘස් 3:1-4) ඇත්තෙන්ම, දක්ෂ, කඩිසර භාර්යාවකගේ වටිනාකම ලෙමුවෙල් නම් රජගේ ප්‍රශංසාවටත් ලක් වුණා. (හිතෝපදේශ 31:10-31) නමුත් ස්ත්‍රීන් තමන්ට ඇති තැන අමතක කර දමමින් පුරුෂයන්ව තමන් කැමති විදිහට නටවනවා නම්, හෝ ඔවුන්ගේ මූලිකත්වයට කෙළින්ම අභියෝග කරනවා නම් හෝ එය සැහැල්ලුවට ගනිමින් ක්‍රියා කරනවා නම් යෙසබෙල් බලපෑමක් ඉස්මතු වී ඇති බව කියන්න පුළුවන්.—එෆීස 5:22, 23; 1 කොරින්ති 11:3.
10. (අ) යෙසබෙල් සහ ඇගේ දරුවන් විනිශ්චයට ලක් වෙන්නේ ඇයි? (ආ) යෙසබෙල්ගේ දරුවන් බවට පත් වෙන අය සිටින්නේ මොන වගේ භයානක තත්වයකද? ඔවුන් කුමක් කළ යුතුද?
10 “යෙසබෙල් නම් ඒ ස්ත්‍රිය” ගැන කතා කරමින් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “ඇගේ දරුවන්වද මාරාන්තික වසංගතයෙන් මම මරණයට පත් කරන්නෙමි. එමගින්, යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි විමසන තැනැත්තා මා බව සියලු සභාවන් දැනගන්නවා ඇත. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.” (එළිදරව් 2:23) සභාවේ සිටින මෙම යෙසබෙල්ට හා ඇගේ දරුවන්ට පසුතැවිලි වීමට යේසුස් යම් කාලයක් දී තිබුණා. නමුත් ඔවුන් හිතුවක්කාර ලෙස තම දුෂ්ට ක්‍රියා දිගින් දිගටම කළා. ඒ නිසා ඔවුන්ට ලැබිය යුත්තේ ඉතා දරුණු විනිශ්චයක්. මෙය අද දින ක්‍රිස්තියානීන්ටත් ප්‍රබල අනතුරු ඇඟවීමක්. යම් කෙනෙක් මූලිකත්වය හා සදාචාරය පිළිබඳ බයිබල් ප්‍රතිපත්ති කඩ කරනවා නම්, එසේත් නැත්නම් සභාවේ සැලැස්ම නොසලකාහරිමින් හිතුවක්කාර ලෙස හැසිරෙනවා නම්, ඔහු හෝ ඇය යෙසබෙල්ගේ දරුවෙක් බවට පත් වෙනවා. මේ අය සිටින්නේ ඉතාමත් අන්තරාදායක තත්වයකයි. නමුත් එවැනි කෙනෙක් සභාවේ වැඩිමහල්ලන්ගේ උපකාරය පතා තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා ඉල්ලා සිටිනවා නම්, ඔවුන් ඒ “ඇදහිල්ලේ යාච්ඤාව මගින් සනීප වන්නේය. යෙහෝවා ඔහුව [හෝ ඇයව] නැඟිටුවන්නේය.” නමුත් එම සුවවීම සිදු වෙන්නේ ඔහු හෝ ඇය එම යාච්ඤාවලට එකඟව නිහතමානීව තම වරද හදාගත්තොත් විතරයි. නමුත් දුරාචාර ජීවිතයක් ගත කරන අතරතුර සැමට පෙනෙන සේ උද්යෝගයෙන් දේවසේවය කරමින් එම වැරදි සඟවා දෙවිව හෝ ක්‍රිස්තුස්ව රැවටීමට තමාට හැකි වේයයි කිසිම කෙනෙක් මොහොතකටවත් නොසිතිය යුතුයි.—යාකොබ් 5:14, 15.
11. සභාව තුළ ස්ත්රීන්ගේ යම් නුසුදුසු බලපෑමක් ඇති නොවෙන්න සභාවට උපකාර ලැබෙන්නේ කෙසේද?
11 අද දින තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් බොහොමයක්ම මේ අන්තරාය ගැන අවදියෙන් සිටිනවා. දෙවිගේ සංවිධානය පවසන දේවලට පිටින් ගොස් වැරදි කිරීමට නැඹුරුවාවක් දක්වන අය ගැන වැඩිමහල්ලන් සිටින්නේ සුපරීක්ෂාකාරීවයි. එවන් අන්තරායක සිටින ස්ත්‍රී පුරුෂ සැමෝටම උපකාර කිරීමට උත්සාහ කරන වැඩිමහල්ලන් වහාම ඔවුන්ව නිවැරදි කර ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. (ගලාති 5:16; 6:1) සභාවේ යම් ස්ත්‍රීන් කල්ලි ගැසී කාන්තා සමිතිවල කරනවා හා සමානව තමන්ට වැඩි අයිතිවාසිකම් ලබාගන්න උත්සාහ කරනවා නම් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ප්‍රේමණීයව නමුත් ස්ථිරව ඔවුන්ව නිවැරදි කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. මීට අමතරව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සඟරා පොත් පත්වල කලින් කලට මෙවැනි කාරණා ගැන කාලෝචිත උපදෙස් පළ වෙනවා.a
12. අද දින යොහන් පන්තිය යේහුට සමාන උද්යෝගයක් පෙන්වන්නේ කිනම් අන්දමින්ද?
12 සභාවේ ඇතැම් අය දුරාචාරයේ යෙදී සිටීමට පුරුදු වී සිටිනවා. ඔවුන් පසුතැවිලි වෙන්නේ නැත්නම් ඔවුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතුයි. යේහු ඊශ්‍රායෙල් දේශයෙන් යෙසබෙල්ගේ බලපෑමේ අබමල් රේණුවක තරම් දෙයක්වත් ඉතුරු කළේ නැහැ. යෙහෝනාදාබ් මීට සහාය වුණා. ඒ හා සමානව අද දින සිටින යොහන් පන්තිය මේ සම්බන්ධයෙන් ස්ථිර පියවර ගනිමින් “යෙහෝනාදාබ්” පන්තියට අයත් වෙනත් බැටළුවන්ට කදිම ආදර්ශයක් සපයනවා. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල සාමාජිකයන්ගේ වැරදිවලට ඔහේ ඉඩහරින පූජකයන්ට වඩා ඔවුන් කොතරම් වෙනස්ද!—2 රාජාවලිය 9:22, 30-37; 10:12-17.
13. ස්ත්රීන්ගේ අනිසි බලපෑම්වලට හසු වන අයට සිදු වෙන්නේ කුමක්ද?
13 දෙවිගේ පුත්‍රයා යෙහෝවා දෙවිගේ පණිවුඩකරු මෙන්ම විනිශ්චයකරුයි. ඒ නිසා ඔහු අද දින යෙසබෙල් බලපෑම හරි හැටි හඳුනාගෙන ඇයව ලෙඩ ඇඳට විසි කර තිබෙන්නේ ඇගේ රෝගයෙන් ඇයට සුවයක් නොලැබෙන නිසයි. (මලාකි 3:1, 5) මෙම ස්ත්රීන්ගේ අනිසි බලපෑමට හසු වූ අයත් මහත් පීඩාවක් අද්දකින්නේ ඔවුන්ව ක්‍රිස්තියානි සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලබන නිසයි. එය හරියට ඔවුන් මරණය අද්දකිනවා වගේයි. නමුත් ඔවුන් පසුතැවිලි වී, තම පිළිකුල්සහගත දුරාචාර ජීවිතයෙන් ඉවතට හැරී එන්නේ නැත්නම් “මාරාන්තික වසංගතයෙන්” ඔවුන්ට සැබෑ මරණයක් පවා ලැබෙන්න පුළුවන්. එසේ සිදු නොවුවත් මහත් පීඩාවේදී හෝ ඔවුන්ට මරණය අද්දකින්න සිදු වෙනවා. ඊට වෙනස්ව තමන්ගේ වැරදි ක්‍රියා ගැන සම්පූර්ණයෙන්ම පසුතැවිලි වෙන කෙනෙකුව නැවතත් සභාවට පිළිගනු ලබනවා.—මතෙව් 24:21, 22; 2 කොරින්ති 7:10.
14. (අ) යෙසබෙල් බලපෑම ඇතුළු යම් ගැටලු හැසිරවීමට යේසුස් වැඩිමහල්ලන්ව යොදාගන්නේ කෙසේද? (ආ) එවන් ගැටලු හසුරුවන වැඩිමහල්ලන්ට සභාවේ අය සහයෝගය දැක්විය යුත්තේ කෙසේද?
14 යේසුස් ‘යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් තේරුම්ගෙන සිතිවිලි විමසන’ බව “සියලු සභාවන්” දැනගත යුතුයි. මේ නිසා යෙසබෙල් බලපෑම් වැනි යම් ගැටලු හැසිරවීමේදී තම අතේ තිබෙන තාරකා වන විශ්වාසවන්ත වැඩිමහල්ලන්ව යේසුස් යොදාගන්නවා. (එළිදරව් 1:20) මෙම වැඩිමහල්ලන් මෙවැනි කාරණයක් හොඳින් සෝදිසි කර බලා යම් තීරණයක් ගත් විට, එම තීරණය ගැනීමට හේතුව සහ වෙනත් කාරණා ගැන හාරා අවුස්සා බැලීම වෙනත් අයට සුදුසු දෙයක් නෙවෙයි. වැඩිමහල්ලන් කාරණා හසුරුවන අන්දම සියලුදෙනාම නිහතමානීව පිළිගත යුතු අතර, ඒ මගින් සභාවේ සේවය කරන මෙම තාරකාවන්ට සහයෝගය දැක්විය යුතුයි. මෙසේ යමෙක් යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධාන සැලැස්මටත් පක්ෂපාතකම දක්වද්දී මහත් ආශීර්වාද ලැබෙනවා. (ගීතාවලිය 37:27-29; හෙබ්‍රෙව් 13:7, 17) යේසුස් එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට හැටියට ප්‍රතිඵල දෙන විට, ඔබ කළ දේවල් ගැන ඔබටත් ආශීර්වාද ලැබේවා!—ගලාති 5:19-24; 6:7-9.
“ඔබට තිබෙන දේහි ස්ථිරව සිටින්න”
15. (අ) යෙසබෙල් බලපෑමට හසු නොවූ අයට යේසුස් කීවේ කුමක්ද? (ආ) වර්ෂ 1918දී ක්‍රිස්තියානියයි කියාගත් හැම කෙනෙක්ම ක්‍රිස්තියානි පල්ලිවල ඉගැන්වීම් මගින් දූෂිත නොවූ බව පෙනී යන්නේ කුමකින්ද?
15 යේසුස්ගේ ඊළඟ වචනවලින් ලැබෙන්නේ මහත් සැනසීමක්. “එහෙත්, ‘සාතන්ගේ ගැඹුරු දේ’ ලෙස හඳුන්වනු ලබන දේවල් නොදන්නාවූද, මේ ඉගැන්වීම නැත්තාවූද තියතීරාහි සිටින ඉතිරි අය වන ඔබට මම මෙසේ කියමි: වෙන කිසි බරක් මම ඔබ පිට නොතබමි. කෙසේවෙතත් මා එන තුරු ඔබට තිබෙන දේහි ස්ථිරව සිටින්න.” (එළිදරව් 2:24, 25) තියතීරාවේ සිටින ඇදහිලිවන්තයන් හැමෝම යෙසබෙල් බලපෑමට හසු වී සිටියේ නැහැ. ඒ හා සමානව 1918ට පෙර වසර 40ක් පුරා සහ ඉන්පසුවටත් සිටි කුඩා ක්‍රිස්තියානි පිරිසක්, ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල හාත්පස පැතිරී ඇති දුරාචාරයට හා දූෂණයට දිගටම විරුද්ධ වී සිටියා. මෙම කුඩා බයිබල් ශිෂ්‍ය කණ්ඩායම දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස හැඳින්වෙන බව අපි දන්නවා. පල්ලියේ උගන්වන මූලධර්ම බොහොමයක් සැබෑ ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට පටහැනි වෙනත් අසත්‍යය උගන්වන ආගම්වලින් පැමිණ ඇති ඒවා බව පල්ලි සාමාජිකයන්ට තේරුම් කර දෙන්න ඔවුන් උත්සාහ කළා. ඒ වගේම ඔවුනුත් එවැනි විශ්වාසයන් හා චාරිත්‍ර ක්‍රමානුකූලව එකිනෙක අත්හැර දැමුවා. මෙයට හැම දේටම ඉඩ දෙන ප්‍රතිපත්තියක් නැති “යෙසබෙල් නම් වූ ඒ ස්ත්‍රිය” උගන්වන දේවලුත් ඇතුළත්.
16. යේසුස් සහ පළමු සියවසේ ක්‍රිස්තියානි පාලක මණ්ඩලය අමතර බරක් සභාවට එකතු නොකළත් අප වැළකිය යුතු දේවල් මොනවාද?
16 ඒ හා සමානව අදත් යොහන් පන්තිය, මහත් සමූහයට අයිති තම මිත්‍රයන්ට දිරිගන්වා ඇත්තේ දුරාචාර බලපෑම්වලට හසු නොවන ලෙසයි. විශේෂයෙන්ම මේවා දකින්නට ලැබෙන්නේ පහත් විනෝදාංශ තුළයි. දූෂිත දේවලට ඇති කුතුහලය නිසාවත්, වැළකිය යුත්තේ මොන වගේ දේවලින්ද කියා දැනගැනීම සඳහාවත් ඒවා නැරඹීමෙන් හෝ අත්හදා බැලීමෙන් අප වැළකිය යුතුයි. “සාතන්ගේ ගැඹුරු දේවලින්” සම්පූර්ණයෙන්ම ඈත්ව සිටීමයි ඥානවන්තම දේ. “වෙන කිසි බරක් මම ඔබ පිට නොතබමි” කියා යේසුස් පැවසුවා. මෙයින් අපට මතක් වෙන්නේ පළමු සියවසේ ක්‍රිස්තියානි පාලක මණ්ඩලය ගත් තීරණයයි. “අත්‍යවශ්‍ය කාරණා හැරෙන්නට වෙන කිසි බරක් ඔබට එකතු නොකිරීම යහපතැයි ශුද්ධාත්මයටත් අපටත් පෙනී ගියේය. ඒවා නම්, දේවතා රූපවලට පූජා කළ දේවලින්ද ලෙයින්ද බෙල්ල මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැළකී සිටීමය. ඔබ මේ දේවලින් පරෙස්සමින් වැළකී සිටින්නේ නම්, ඔබ සපල වන්නහුය.” (ක්‍රියා 15:28, 29) මේ අනුව, ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම්, අසත්‍යය උගන්වන ආගම්වලින්, (ලේ ගැනීම ඇතුළුව) රුධිරය අනිසි භාවිතයෙන් සහ දුරාචාරයෙන් ඔබ වැළකී සිටිය යුතුයි. ඔබේ සෞඛ්‍යයද ඒ මගින් බොහෝදුරට ආරක්ෂා විය හැකියි.
17. (අ) සාතන් අද දින ජනයාව ‘ගැඹුරු දේවල්වලින්’ හසු කරගෙන තිබෙන්නේ කෙසේද? (ආ) සාතන්ගේ මේ නූතන ලෝකයේ ඇති “ගැඹුරු දේවල්” ගැන අප දැරිය යුතු ආකල්පය කුමක්ද?
17 සාතන් වෙනත් ආකාරයෙනුත් “ගැඹුරු දේ” ඉදිරිපත් කරනවා. මේ ලෝකයේ බුද්ධිමතුන්යයි කියාගන්නා අය ඉදිරිපත් කරන සංකීර්ණ මතිමතාන්තර හා දර්ශන ඒවාට ඇතුළත්. මේවාට භූතවාදය හා පරිණාමවාදයත් ඇතුළත්. සැබෑ ප්‍රඥාවේ උල්පත වන මැවුම්කරුවාණන් මේ “ගැඹුරු දේවල්” දකින්නේ කොහොමද? දෙවි මේ ගැන කියන දේ පාවුල් මෙසේ උපුටා දක්වනවා. “මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව විනාශ වීමට සලස්වමි.” මීට වෙනස්ව බයිබලයේ සඳහන් “දෙවිගේ ගැඹුරු දේ” සරලයි, පැහැදිලියි. තර්කානුකූලයි. ඒවා තේරුම්ගන්නා අයට දැනෙන්නේ ඉමහත් සතුටක්. මේ නිසා ඥානවන්තම දේ නම් ක්‍රිස්තියානීන් සාතන්ගේ මේ නූතන ලෝකයේ “ගැඹුරු දේවල්” එපා කිරීමයි. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය” යන්න අමතක නොකරමු.—1 කොරින්ති 1:19; 2:10; 1 යොහන් 2:17.
18. අවසානය දක්වාම විශ්වාසවන්තව සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට යේසුස් පොරොන්දු වන ආශීර්වාද මොනවාද? නැවත නැඟිටුවනු ලබන මේ අයට මෙම දුෂ්ට සමාජය විනාශ කරද්දී ලැබෙන වරප්‍රසාදය කුමක්ද?
18 තියතීරාවේ ක්‍රිස්තියානීන්ට දැන් යේසුස් පවසන වචන ඔවුන්ට මහත් දිරිගැන්වීමක්. අද දින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් එය දිරිගැන්වීමක්. “ජයගන්නාවූ, අවසානය දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට, මම ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. මාගේ පියාණන්ගෙන් මා ලැබූ ලෙසම ඔහුට එය දෙන්නෙමි. මැටි භාජන කැබලිවලට සුනුවිසුනු කරන්නාක් මෙන් සෙනඟව කැබලිවලට බිඳ දමනු ලබන පිණිස, ඔහු යකඩ දණ්ඩකින් ඔවුන්ව පාලනය කරන්නේය.” (එළිදරව් 2:26, 27) නැවත නැඟිටින මෙම ජයග්‍රාහී අභිෂේක ලත් අයට යේසුස්ගෙන් ලැබෙන බලය කුමක්ද? එනම් මෙම කැරලිකාර දුෂ්ට සමාජය “යකඩ දණ්ඩකින්” යේසුස් විනාශ කරන විට එයට හවුල් වීමට ඔවුන්ට ලැබෙන ප්රස්තාවයි. ක්‍රිස්තුස් සිය සතුරන්ව මැටි භාජන මෙන් බිඳ සුනුවිසුනු කරන විට, එම ජාතීන් සතු න්‍යෂ්ටික බලය, තෙත් වූ රතිඤ්ඤා කරලක් පිපිරෙන්නාක් මෙන් පුස් හඬකින් පිපිරී යනවා. මෙම කාර්යයට යේසුස් සමඟ හවුල් වෙන්න ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!—ගීතාවලිය 2:8, 9; එළිදරව් 16:14, 16; 19:11-13, 15.
19. (අ) “දීප්තිමත් පහන් තාරකාව” කවුද? ජයගන්නා අයට ඒ පහන් තාරකාව දෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) මහත් සමූහයට ලැබෙන දිරිගැන්වීම කුමක්ද?
19 යේසුස් මෙසේද පවසනවා. “මම ඔහුට පහන් තාරකාවද දෙන්නෙමි.” (එළිදරව් 2:28) මෙම “තාරකාව” කුමක්දැයි යේසුස්ම පසුව විස්තර කරන්නේ මෙසේයි. “මම දාවිත්ගේ මුලද වංශයද, දීප්තිමත් පහන් තාරකාවද වෙමි.” (එළිදරව් 22:16) “යාකොබ් කෙරෙන් තාරකාවක් නික්මෙන්නේය. ඊශ්‍රායෙල් කෙරෙන් ජයකොන්තයක් නැඟෙන්නේය” යනුවෙන් යෙහෝවා දෙවි බාලාම් ලවා පැවසූ අනාවැකිය ඉටු වන්නේ යේසුස් තුළිනුයි. (ගණන් කතාව 24:17) යේසුස් ජයගන්නා අයට “දීප්තිමත් පහන් තාරකාව” දෙන්නේ කෙසේද? මින් අදහස් කරන්නේ ඔහු තමාවම දෙනවා කියායි. එනම් ඔහු ඔවුන් සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නා බවයි. (යොහන් 14:2, 3) කෙනෙකුට විඳදරාගැනීමට මෙයින් මොන තරම් පෙලඹීමක් ඇති වෙනවාද! ඒ වගේම මෙම “දීප්තිමත් පහන් තාරකාව” වන යේසුස් ඉතා ළඟදීම පාරාදීසයක් බවට පත් කරන මෙම පොළොවේ පාලනය තම අතට ගන්නා බව දැනගැනීමත් මහත් සමූහයට ප්‍රබල දිරිගැන්වීමක් වෙනවා.
දිගටම විශ්වාසවන්තව සිටින්න
20. තියතීරා සභාවට සමානව අද දින ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල දකින්න ලැබෙන්නේ කුමක්ද?
20 මෙම පණිවුඩය තියතීරාවේ ක්‍රිස්තියානීන්ට මහත් දිරිගැන්වීමක් වූ බවට කිසිම සැකයක් නැහැ. දෙවිගේ තේජාන්විත පුත්‍රයා ස්වර්ගයේ සිට තියතීරාවේ ක්‍රිස්තියානීන්ව අමතා ඔවුන්ට තිබෙන ගැටලු කිහිපයක් ගැන කතා කළා. යේසුස් එසේ දුන් ප්‍රේමණීය උපදෙස්වලට එම සභාවේ කිහිපදෙනෙක්වත් ප්‍රතිචාරය දැක්වූ බව නම් නිසැකයි. පණිවුඩ හතෙන් දිගම පණිවුඩය වන මෙය අපට අද දින සැබෑ ක්‍රිස්තියානි සභාව හඳුනාගන්න උපකාර වෙනවා. වර්ෂ 1918දී යේසුස් විනිශ්චය කිරීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට පැමිණි අවස්ථාවේදී ක්‍රිස්තියානියයි කියාගන්නාවූ සංවිධාන බොහොමයක් රූප වන්දනාවෙන් සහ දුරාචාරයෙන් දූෂිත වී සිටියා. (යාකොබ් 4:4) සමහර අය 19වන සියවසේදී ඉතා දැඩි මත දැරූ ස්ත්රීන්ගේ ඉගැන්වීම්වලට කොටු වුණා. සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් සභාවේ එලන් වයිට් සහ ක්‍රිස්ටියන් සයන්ටිස්ට්ස් සභාවේ මේරී බේකර් එඩී එවැනි ස්ත්‍රීන්. මෑතකදී බොහෝ ස්ත්‍රීන් පල්ලිවල දේශනා කූඩුවේ සිට දේශනා කරන්නත් පටන්ගෙන තිබෙනවා. (1 තිමෝති 2:11, 12ද බලන්න.) කතෝලික පල්ලිය තුළම විවිධාකාර ඇදහිලි තිබෙන අතර, දෙවිට සහ ක්‍රිස්තුස්ට ඉහළින් ඔවුන් මරියාට ගෞරව කරනවා. යේසුස් තම මවට නිසි ලෙස ගරු කළත් ඇයව දේවත්වයෙන් සැලකුවේ නැහැ. (යොහන් 2:4; 19:26) දෙවිගේ සැලැස්මට විරුද්ධව යන එවන් ස්ත්‍රී බලපෑම්වලට යට වූ සංවිධානයක් හෝ ආගමක්, සැබෑ ක්‍රිස්තියානි ආගම කියා ඇත්තටම පිළිගත හැකිද?
21. තියතීරා සභාවට යේසුස් දුන් පණිවුඩයෙන් අපට ගත හැකි පාඩම් මොනවාද?
21 යොහන් පන්තියට හෝ වෙනත් බැටළුවන්ට අයිති සෑම ක්‍රිස්තියානියෙක්ම මේ පණිවුඩය හොඳින් සලකා බැලිය යුතුයි. (යොහන් 10:16) තියතීරාහි යෙසබෙල් බලපෑමට හසුවූවන් මෙන් ඇතමුන් සභාවේ කාරණා සැහැල්ලුවට ගන්නවා විය හැකියි. ඒ වගේම යම් හේතු නිසා තම ඇදහිලිවන්ත ස්ථාවරය අත්හැරීමට පෙලඹීමක් ඇති විය හැකියි. උදාහරණයකට අද දින ලේ සහිත ආහාර ගැනීමට හෝ සැත්කමකදී ලේ ගැනීමට හෝ පීඩනයක් එල්ල විය හැකියි. මීට අමතරව සමහරුන් හිතන්නේ තමන් දේවසේවයේ ඉතා උද්යෝගයෙන් නිරත වෙනවා නම් හෝ සභාවේ කතා දෙනවා නම්, ප්‍රචණ්ඩකාරී හෝ අශික්ෂිත චිත්‍රපටි හා වීඩියෝ දර්ශන නැරඹුවාට කමක් නැහැ කියායි. එසේ නැතහොත් බියර් වයින් ඇතුළුව මත්පැන් වැඩිපුර ගත්තාට කමක් නැහැයි කියාත් ඔවුන් සිතන්න පුළුවන්. මෙවැනි කාරණා සුළුවට නොගෙන ඉන් පරෙස්සම් විය යුතු බව තියතීරාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් දුන් අනතුරු ඇඟවීම මගින් අප සිතට ගත යුතුයි. තියතීරාවේ ක්‍රිස්තියානීන් වැඩිදෙනෙක් කළාක් මෙන් බෙදුණු සිතකින් කරන සේවයකට දෙවි කැමති නැහැ. යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහුට මුළු හදින් කරන පිරිසිදු සේවයක්.
22. හොඳින් සවන් දීමේ වැදගත්කම යේසුස් කාවද්දන්නේ කෙසේද?
22 අවසන් වශයෙන් යේසුස් මෙසේ ප්‍රකාශ කරනවා. “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා.” (එළිදරව් 2:29) හතරවෙනි වතාවටත් යේසුස් මේ දේ පවසනවා. ඉදිරියට තිබෙන පණිවුඩ තුනද අවසන් වන්නෙත් මේ වචනවලිනුයි. ඔබත් හොඳින් සවන් දෙන කෙනෙක්ද? දෙවි තම බලය යොදාගෙන ඔහුගේ සංවිධානය තුළින් අපට උපදෙස් සපයන විට අපි ඒවාට ඉතා ඕනෑකමින් නොකඩවා සවන් දෙමු.
[පාදසටහන]
a උදාහරණයකට 2003 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ “දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය” යන ලිපිය බලන්න.
[51වන පිටුවේ පින්තූර]
අද දින සාක්ෂි දැරීමේ වැඩි කොටසක් ඉටු කරන්නේ සභා සැලැස්මට නිහතමානීව සහාය දෙන ඇදහිලිවන්ත සහෝදරියන් විසින්