පරිච්ඡේදය 14
යෙහෝවා දෙවිගේ අතිඋතුම් සිංහාසනයේ අලංකාරය
දර්ශනය 2—එළිදරව් 4:1–5:14
සිදූ වන දේ: දෙවිගේ විනිශ්චයාසනය ඉදිරියේ සිදු වන අතිඋත්කෘෂ්ට සිදුවීම්
ඉටු වන කාලය: 1914 පටන් දහස් අවුරුදු පාලනයේ අවසානය දක්වාද ස්වර්ගයේ හා පොළොවේ සියලුදෙනා යෙහෝවා දෙවිට පමණක් ප්‍රශංසා කරන ඉන්පසුව පැමිණෙන කාලයද මේ දර්ශනයට ඇතුළත්.—එළිදරව් 5:13
1. යොහන් අපට විස්තර කරන දර්ශන ගැන අප බොහෝ සෙයින් උනන්දු විය යුත්තේ ඇයි?
යොහන් දැන් ලියන්නේ ස්වාමීන්ගේ දවසේ සිදු වන මනස්කාන්ත දර්ශන ගැනයි. ඒ දර්ශන දකින ඔහුට හැඟුණේ හරියට ඔහුත් ඒ දවසේ සිටිනවා හා සමානවයි. අපිත් ස්වාමීන්ගේ දවසේ ජීවත් වන නිසා ඔහු විස්තර කරන දේවල් අපේ ජීවිතවලට බොහෝ සෙයින් සම්බන්ධයි. මේ දර්ශනය හරහා යෙහෝවා දෙවි අපට ස්වර්ගයේ සිදු වන දේවල් ගැන පැහැදිලි අවබෝධයක් දෙනවා වගේම පොළොව සඳහා ඔහු තීන්දු කර ඇති දේවල් ගැන ඔහුට තිබෙන ස්ථාවරයද ඉන් පැහැදිලි කරනවා. අපගේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම හෝ පොළොවේ ජීවත් වීම වුණත්, යෙහෝවා දෙවිගේ අරමුණ අපට සම්බන්ධ වන ආකාරය දැකගැනීමටත් මෙම දර්ශන අපට උපකාර වෙනවා. ඒ නිසා යොහන් එළිදරව් පොතේ මුලදීම කී දේ මතක් කරගනිමු. එනම් “මේ අනාවැකියේ වචන ශබ්ද නඟා කියවන්නාද, ඒවා අසන අයද, එහි ලියා තිබෙන දේවල් පවත්වන අයද සන්තෝෂවත්ය.”—එළිදරව් 1:3.
2. යොහන් දැන් දකින්නේ කුමක්ද?
2 යොහන් ඊළඟට දකින්නේ අද කාලයේ මිනිසෙක්ට කිසිම වීඩියෝ දර්ශනයකින් නරඹන්න බැරි තරම් දෙයක්. ඔහු මෙසේ ලියනවා. “මේ දේවල්වලට පසු, බලන්න! ස්වර්ගයෙහි දොරක් විවෘත වී තිබෙනවා මම දුටිමි. මට ඇසුණු පළමු කටහඬ, හොරණෑවක හඬ මෙන් විය. එය මා අමතමින්, ‘මෙතැනට නැඟී එන්න. සිදු විය යුතු දේවල් මම ඔබට පෙන්වන්නෙමි’ යි කීවේය.” (එළිදරව් 4:1) යොහන් දකින මේ දර්ශනය විස්තර කිරීමට වචන නැති තරම්. ඔහු දකින්නේ ස්වර්ගයේ තේජසින් වැජඹෙන යෙහෝවා දෙවිවයි. හරියට විවෘත වූ දොරකින් ඇතුළු වීමට ඉඩ ලැබුණා සේ යොහන්ට දැන් ආරාධනා කර ඇත්තේ යෙහෝවා දෙවි සිංහාසනාරූඪ වී සිටින දර්ශනය දැකීමටයි. මෙය ගගනගාමීන් අභ්‍යවකාශයේ දකින ඕනෑම අලංකාර දර්ශනයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද! අසංඛ්‍යාත මන්දාකිනිවලින් පිරි භෞතික විශ්වයේ සෑම දර්ශනයකටම වඩා එය ශ්‍රේෂ්ඨයි. (ගීතාවලිය 11:4; යෙසායා 66:1) යොහන්ට ලැබෙන්නේ මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!
3. “හොරණෑවක හඬ” කීමෙන් අපට මතක් වෙන්නේ කුමක්ද? මෙය කාගේ හඬ විය යුතුද?
3 මේ “පළමු කටහඬ” කාගේද කියා බයිබලයේ හෙළි කර නැහැ. මීට කලින් අසන්න ලැබූ යේසුස්ගේ ප්‍රබල කටහඬට සමානව මේ කටහඬටද ඇත්තේ ප්‍රබල හොරණෑ ශබ්දයක්. (එළිදරව් 1:10, 11) මෙහිදී අපට මතක් වෙන්නේ මේ හා සමාන හොරණෑ ශබ්දයක් සීනයි කන්දේදී අසන්න ලැබූ අවස්ථාවයි. එයින් යෙහෝවා දෙවි එහි සිටින බවට අඟවනු ලැබුවා. (නික්මයාම 19:18-20) මේ අනුව මෙම ප්‍රබල හොරණෑ ශබ්දයට මුල් වෙන්නේ යෙහෝවා දෙවි බව පැහැදිලියි. (එළිදරව් 1:1) මෙම දර්ශනය තුළින් ස්වර්ගය තුළට පිවිසීමේ දොර යොහන්ට විවෘත කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා විශ්වයේ අධිපති යෙහෝවා දෙවිගේ තේජශ්‍රීය දැකබලා ගැනීමේ ප්‍රස්තාව ඔහුට උදා වෙනවා.
යෙහෝවා දෙවිගේ තේජස්ශ්‍රීය
4. (අ) යොහන් දකින දේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට වැදගත් වෙන්නේ කෙසේද? (ආ) මේ දර්ශනය පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වන අයට වැදගත් වෙන්නේ කොහොමද?
4 යොහන් දකින්නේ මොනවාද? ඔහු ඊළඟට පවසන්නේ මෙසේයි. “ඉන්පසු එකෙණෙහිම මම ආත්මයේ බලය යටතේ සිටියෙමි. බලන්න! ස්වර්ගයෙහි සිංහාසනයක් ඊට නියමිත ස්ථානයේ තිබිණ. ඒ සිංහාසනය මත කෙනෙක් ඉඳගෙන සිටියේය.” (එළිදරව් 4:2) යොහන්ව දෙවිගේ බලයෙන් නිමේෂයකින් යෙහෝවා දෙවිගේ සිංහාසනය ඉදිරිපිටට ගෙන යනු ලබනවා. ඇත්තෙන්ම ඔහුද වෙනත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද ලබන “දිරාපත් නොවන, දූෂ්‍ය නොවූ, නොමැලවෙන උරුමය” ඔහුට කලින්ම දැකගන්න ලැබුණා. මෙය යොහන්ට ලැබුණු මොන තරම් සුවිශේෂී අද්දැකීමක්ද! (1 පේතෘස් 1:3-5; ෆිලිප්පි 3:20) යොහන් දකින මේ දර්ශනය පොළොවේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් වැදගත් වෙනවා. මෙය අධ්‍යයනය කිරීමෙන් යෙහෝවා දෙවිගේ මහිමය වටහාගැනීමට උපකාරවත් වෙනවා. මීට අමතරව ජාතීන්ව විනිශ්චය කිරීමටත් ඉන්පසුව පොළොව පාලනය කිරීමටත් යෙහෝවා දෙවි යොදාගන්නා ස්වර්ගික පාලන ක්‍රමය ගැන අවබෝධයක් ලැබීමටද මෙම දර්ශනය උපකාරවත් වෙනවා. යෙහෝවා දෙවි කොතරම් ශ්‍රේෂ්ඨ ලෙස සෑම දෙයක්ම සංවිධානය කර තිබෙනවාද!
5. යොහන් දැන් දකින්නේ ගිවිසුම් පෙට්ටියේ ආවරණයෙන් සංකේතවත් කළ කුමන දේද?
5 ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ ගමන් කරන විට නමස්කාරය සඳහා භාවිත කළ මණ්ඩපයේ තිබූ බොහෝ දේවලින් නියෝජනය කරන දේ යොහන් දැන් ස්වර්ගයේ දකිනවා. ඊශ්‍රායෙල්වරුන් දෙවිට කළ නමස්කාරයේ ශුද්ධස්ථානයක් වූ මෙම මණ්ඩපය සාදනු ලැබුවේ යොහන් මේ දර්ශනය දැකීමට වසර 1,600කට පෙරයි. මෙම මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයේ ගිවිසුම් පෙට්ටිය තබා තිබුණා. යෙහෝවා දෙවි කතා කළේ එම පෙට්ටියේ ඝන රන් ආවරණයට ඉහළින් සිටයි. (නික්මයාම 25:17-22; හෙබ්‍රෙව් 9:5) මේ නිසා ගිවිසුම් පෙට්ටියේ රන් ආවරණය තුළින් යෙහෝවා දෙවිගේ සිංහාසනය සංකේතවත් කළා. යොහන් දැන් දකින්නේ එම සංකේතය නියෝජනය කළ දෙයෙහි යථාර්ථයයි. එනම් විශ්වයේ අධිපති යෙහෝවා දෙවි තම සිංහාසනයේ තේජශ්‍රීයෙන් ඉඳගෙන සිටින අන්දමයි.
6. යොහන් යෙහෝවා දෙවිව විස්තර කරන්නේ කෙසේද? මෙම විස්තරය උචිත වෙන්නේ ඇයි?
6 මීට කලින් යෙහෝවා දෙවිගේ සිංහාසනය දර්ශනවලින් දුටු අනාගතවක්තෘවරුන් ඒ සිංහාසනයේ ඉඳගෙන සිටින ශුද්ධ තැනැත්තා ගැන විස්තර කර තිබුණත් යොහන් එසේ කරන්නේ නැහැ. (එසකියෙල් 1:26, 27; දානියෙල් 7:9, 10) සිංහාසනයේ සිටින තැනැත්තා ගැන යොහන් විස්තර කරන්නේ මෙයයි. “ඉඳගෙන සිටි තැනැත්තා, පෙනුමෙන් ජැස්පර් ගලක් මෙන්ද, අනර්ඝ රතු පැහැති ගලක් මෙන්ද විය. සිංහාසනය වටා, පෙනුමෙන් මරකත මෙන් වූ දේදුන්නක්ද තිබිණ.” (එළිදරව් 4:3) මොන තරම් අලංකාර දර්ශනයක්ද! යොහන් මේ දර්ශනය තුළ දකින්නේ මැණික් ගල්වල දීප්තියට සමාන කළ හැකි නෙතට ප්‍රිය හා සිතට ශාන්ත බවක් ගෙන දෙන අලංකාරයක්. යෙහෝවා දෙවි “අහසෙහි ආලෝකවල පියාණන්” බව සඳහන් කළ යාකොබ්ගේ වචන කොතරම් සැබෑද! (යාකොබ් 1:17) එළිදරව් පොත ලියා ටික කලකින් යොහන්ම ‘දෙවි ආලෝකයය. ඔහු තුළ කිසිම අන්ධකාරයක් නැත’ කියා ලිව්වා. (1 යොහන් 1:5) ඇත්තටම යෙහෝවා දෙවි කොතරම් තේජවත් දෙවි කෙනෙක්ද!
7. යෙහෝවා දෙවිගේ සිංහාසනය වටේට දේදුන්නක් තිබීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
7 සිංහාසනය වටා දේදුන්නක් තිබෙන බව යොහන් දකිනවා. එය මරකත නම් වූ මැණිකේ ඇති කොළ පැහැයෙන් යුක්තයි. මෙහි දේදුන්න ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් (අයිරිස්) අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම චක්‍රයක්. දේදුන්නක් ගැන බයිබලයේ පළමුව සඳහන් වෙන්නේ නෝවාගේ කාලයේදීයි. ඇති වූ මහා ජලගැල්මේ වතුර බැස ගිය පසුව යෙහෝවා දෙවි වලාකුළු අතරින් දේදුන්නක් පායන්න සැලැස්සුවා. එයින් සංකේතවත් කළ දෙය ගැන දෙවි පැවසුවේ මෙසේයි. “මගේ දේදුන්න වලාකුළෙහි තබමි. එය පොළොව සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වේ. එවිට ඔබ සමඟත් ජීවත් වන සියල්ලන් සමඟත් පිහිටුවා ඇති මගේ ගිවිසුම මම සැබවින්ම සිහි කරන්නෙමි. මින්පසු කවදාවත් ජීවත් වන සියල්ලන් ජලගැල්මක් නිසා විනාශ වන්නේ නැත.” (උත්පත්ති 9:13, 15, නව ලොව පරිවර්තනය, NW) එසේනම් මෙම දර්ශනයෙන් යොහන්ට කාවදින්නේ යෙහෝවා දෙවි සමඟ සාමකාමී මිත්‍රත්වයක් ඇතිව සිටීමේ අවශ්‍යතාවයි. අද දින යොහන් පන්තියටත් එවැනි මිත්‍රත්වයක් තිබෙනවා. ඒ වගේම ඒ දර්ශනය තුළින් අපට කාවද්දන්නේ යෙහෝවා දෙවි ඉදිරියේ ශාන්ත බවක් හා සමාදානයක් ඇති බවයි. දැන් ස්වර්ගයේ සිටින අය භුක්ති විඳින මෙම ශාන්ත බව ඉදිරියේදී පාරාදීස පොළොවේ ජීවත් වන කීකරු මිනිසාටද භුක්ති විඳින්න හැකි වෙයි. මන්ද එදාට දෙවි තම කූඩාරම ඔවුන් සියල්ලන්ට ඉහළින් විදහන නිසයි.—ගීතාවලිය 119:165; ෆිලිප්පි 4:7; එළිදරව් 21:1-4.
වැඩිමහල්ලන් 24දෙනාව හඳුනාගැනීම
8. යොහන් දකින්නේ සිංහාසනය වටේ කවුරුන් සිටින බවද? ඔවුන්ගෙන් නියෝජනය කරන්නේ කාවද?
8 පුරාණ මණ්ඩපයේ සේවය කිරීම සඳහා පූජකයන්ව පත් කරනු ලැබූ බව යොහන් හොඳින් දැන සිටියා. නමුත් ඔහු ඊළඟට දකින්නේ මෙයයි. “මේ සිංහාසනය වටේට තව සිංහාසන විසිහතරක් තිබිණ. ඒ සිංහාසන මත වැඩිමහල්ලන් විසිහතරදෙනෙකු සුදු පිටත වස්ත්‍ර ඇඳ, තම හිස් මත රන් ඔටුනු පැළඳ වාඩි වී සිටිනවා දුටිමි.” (එළිදරව් 4:4) පූජකයන් වෙනුවට වැඩිමහල්ලන් 24දෙනෙක් රජවරුන් ලෙස ඔටුනු පැළඳ සිංහාසනවල ඉඳගෙන සිටිනවා. මෙම වැඩිමහල්ලන් කවුරුන්ද? මෙම වැඩිමහල්ලන්ගෙන් නියෝජනය වෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව නැවත නැඟිටුවීමෙන් පසු යෙහෝවා දෙවි ඔවුන්ට පොරොන්දු වූ ස්වර්ගික තනතුරේ ඔවුන් සිටින ආකාරයයි. අපි ඒ බව දන්නේ කෙසේද?
9, 10. වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය වෙන්නේ තම ස්වර්ගික තනතුරේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බව අප දන්නේ කෙසේද?
9 ඒ අය ඔටුනු පැළඳ සිටින බව සඳහන් වෙනවා. බයිබලයේ පවසන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘දිරාපත් නොවන ඔටුන්නක්,’ එනම් අමරණීය ජීවිතයක් ලබන බවයි. (1 කොරින්ති 9:25; 15:53, 54) නමුත් මෙම වැඩිමහල්ලන් 24දෙනා සිංහාසනවල ඉඳගෙන සිටින බවත් සඳහන් වෙනවා. ඒ නිසා ඔවුන් පැළඳ සිටින රන් ඔටුනුවලින් මෙහිදී නියෝජනය වෙන්නේ ඔවුන් රජවරුන් ලෙස පත් වී සිටින බවයි. (එළිදරව් 6:2; 14:14ද බලන්න.) යේසුස් රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කළේ තම අභිෂේක ලත් අනුගාමිකයන් සමඟයි. ඔවුන් ඔහු සමඟ සිංහාසන පිට ඉඳගන්න බවටත් පොරොන්දු වුණා. ඒ නිසා මෙහි සිටින වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය වෙන්නේ තමන්ගේ ස්වර්ගික තනතුරේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. (ලූක් 22:28-30) යෙහෝවා දෙවි ඉදිරියේ ස්වර්ගයේ සිට මෙවැනි පාලනයක් කරන්නේ යේසුස් සහ මෙම වැඩිමහල්ලන් 24දෙනා පමණයි. දේවදූතයන්ටවත් මෙවැනි වරප්‍රසාදයක් හිමි වෙන්නේ නැහැ.
10 යේසුස් ලවොදිසීය සභාවට දුන් පොරොන්දුවට මෙය එකඟයි. ඔහු පැවසුවේ “ජයගන්නාට මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට දෙන්නෙමි” කියායි. (එළිදරව් 3:21) නමුත් මෙම වැඩිමහල්ලන් 24දෙනාගේ වගකීම රජවරුන් ලෙස පාලනයට පමණක් සීමා වී නැහැ. එළිදරව් පොතේ ආරම්භයේදීම යොහන් යේසුස් ගැන පැවසුවේ ඔහු “අපව රාජ්‍යයක්ද, තම දෙවි සහ පියාණන් වන තැනැත්තා උදෙසා පූජකයන් වීමටද සැලැස්සූ” බවයි. (එළිදරව් 1:5, 6) එසේනම් මේ අය රජවරුන් මෙන්ම පූජකවරුන් ලෙසත් ක්‍රියා කරනවා. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය. අවුරුදු දහස පුරා ඔහු සමඟ රජකම් කරන්නෝය.”—එළිදරව් 20:6.
11. වැඩිමහල්ලන්ගේ සංඛ්‍යාව 24ක් වීම උචිත වෙන්නේ ඇයි? ඒ සංඛ්‍යාවෙන් අර්ථවත් වෙන්නේ කුමක්ද?
11 යොහන් සිංහාසනයේ වටේට දකින්නේ වැඩිමහල්ලන් 24දෙනෙක් වන නිසා මෙම අංකයේ ඇති විශේෂත්වය කුමක්ද? මෙම වැඩිමහල්ලන් 24දෙනා බොහෝ පැතිවලින් ඉපැරණි ඊශ්‍රායෙල් ජාතියේ විශ්වාසවන්ත පූජකයන්ට සමාන වෙනවා. පේතෘස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට “‘ඔබ තෝරාගත් ජනතාවක්ද, රාජකීය පූජක පන්තියක්ද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවිට අයත් විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් සෙනඟක්ද’ වන්නහුය” කියා පැවසුවේ එනිසයි. (1 පේතෘස් 2:9) ඊශ්‍රායෙල් පූජකයන්වත් කොටස් 24කට බෙදා තිබුණා. මේ සෑම කොටසක්ම යෙහෝවා දෙවි ඉදිරියේ සතියක් බැගින් සේවය කිරීමට නියම වී තිබුණා. මෙයාකාරයට දේවමාලිගාවේ කළ යුතු සේවය අවුරුද්ද පුරාම නොනවත්වා සිදු වුණා. (1 ලේකම් 24:5-19) යොහන් දකින මෙම දර්ශනයේ ස්වර්ගයේ පූජකයන් ලෙස කටයුතු කරන අභිෂේක ලත් අයව වැඩිමහල්ලන් 24දෙනෙක් ලෙස දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන් ස්වර්ගයේ නොනවත්වාම යෙහෝවා දෙවිට පූජකයන් ලෙස සේවය කරන බවයි. ඇත්තටම එය කොතරම් උචිත දර්ශනයක්ද! සියලුම අභිෂේක ලත් අය ස්වර්ගයට ගිය විට එක් කණ්ඩායමකට 6,000 බැගින් කණ්ඩායම් 24ක් ලෙස සේවය කරයි. එළිදරව් 14:1-4හි කියන ආකාරයට බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිටීමට ‘මිනිසුන් අතරින් මිල දී’ ගෙන ඇත්තේ 1,44,000දෙනෙක් (එනම් 6,000 x 24). සාමාන්‍යයෙන් 12 යන අංකයෙන් දෙවි විසින් පිහිටුවන ලද පරිපූර්ණ සංවිධානාත්මක සැලැස්මක් නියෝජනය වන නිසා එම අංකය දෙගුණ (24) කිරීමෙන් එම සැලැස්ම තවත් ශක්තිමත් බව පැහැදිලි වෙනවා.
විදුලි කෙටීම්, කටහඬවල් සහ ගිගුරුම්
12. යොහන් ඊළඟට දකින්නේ සහ අසන්නේ කුමක්ද? ‘විදුලි කෙටීම්, කටහඬවල් සහ ගිගුරුම්වලින්’ අපට මතක් වෙන්නේ කුමක්ද?
12 යොහන් ඊළඟට දකින්නේ සහ අසන්නේ මොනවාද? “ඒ සිංහාසනයෙන් විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද නික්මුණේය.” (එළිදරව් 4:5අ) මෙම විස්තරය කියවද්දී යෙහෝවා දෙවි මීට කලින් තම ශ්‍රේෂ්ඨ බලය පෑ වෙනත් අවස්ථා අපට මතක් වෙනවා. උදාහරණයකට යෙහෝවා දෙවි සීනයි කන්දට ‘බැස්ස විට’ සිදු වූ දේ ගැන මෝසෙස් මෙසේ විස්තර කළා. “තුන්වන දවසේ උදෑසන ඝන වලාකුළක් කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය. මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයක්ද ඇසුණේය. . . . හොරණෑ ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි වූ විට මෝසෙස් සැබෑ දෙවිට කතා කළේය. දෙවිද සියල්ලන්ට ඇසෙන සේ ඔහුට පිළිතුරු දුන්නේය.”—නික්මයාම 19:16-19, NW.
13. යෙහෝවා දෙවිගේ සිංහාසනයෙන් නිකුත් වන විදුලි කෙටීම්වලින් සංකේතවත් කරන්නේ කුමක්ද?
13 ස්වාමීන්ගේ දවසේදී යෙහෝවා දෙවි තම බලය ඉතා උත්කෘෂ්ට ලෙස දකින්න සලස්වනවා. මෙහි කතා කරන්නේ ස්වාභාවික විදුලි කෙටීම් ගැන නෙවෙයි. යොහන් දකින්නේ යම් දෙයක සංකේතයක්. මෙම විදුලි කෙටීම්වලින් සංකේතවත් වෙන්නේ කුමක්ද? විදුලි කෙටීම්වලින් බලවත් ආලෝකයක් නිපදවෙනවා වගේම ඒවා වැදීමෙන් කෙනෙක් මිය යන්නටත් පුළුවන්. එමනිසා යෙහෝවා දෙවිගේ සිංහාසනයෙන් පැමිණෙන මෙම විදුලි කෙටීම්වලින් සංකේතවත් කරන්නේ දෙවි සිය සෙනඟව ආලෝකවත් කරමින් නොකඩවා ඔවුන්ට ගැඹුරු සත්‍යයන් ගැන ලබා දෙන අවබෝධයයි. වඩා වැදගත් ලෙස දෙවි දුෂ්ටයන්ට එරෙහිව ප්‍රකාශ කරන ප්‍රබල පණිවුඩද ඊට ඇතුළත්.—ගීතාවලිය 18:14ද, ගීතා 144:5, 6ද, මතෙව් 4:14-17ද, මතෙ 24:27ද බලන්න.
14. නවීන කාලවලදී කටහඬවල් අසන්න ලැබුණේ කෙසේද?
14 කටහඬවල්වලින් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා දෙවි සීනයි කන්දට බැස්ස විට දෙවිගේ කටහඬ ඔහුට ඇසුණා. (නික්මයාම 19:19) එළිදරව් පොතේ සඳහන් වී ඇති ආඥා සහ ප්‍රකාශයන් බොහොමයක් අසන්න ලැබුණේ කටහඬවල් මාර්ගයෙනුයි. (එළිදරව් 4:1; 10:4, 8; 11:12; 12:10; 14:13; 16:1, 17; 18:4; 19:5; 21:3) අදත් යෙහෝවා දෙවි සිය ජනයාට ආඥා සහ ප්‍රකාශයන් නිකුත් කර තිබෙනවා. ඒ මගින් බයිබල් අනාවැකි සහ ප්‍රතිපත්ති ගැන ඔවුන්ගේ අවබෝධය වැඩි වෙලා. අවබෝධය වැඩි කර දෙන යම් තොරතුරු බොහෝවිට හෙළි කර තිබෙන්නේ ජාත්‍යන්තර සමුළුවලදීයි. ඉන් අනතුරුව මෙම තොරතුරු ලොව පුරාම ප්‍රකාශ කරනු ලබනවා. මෙයාකාරයට “ලොව පුරා ඔවුන්ගේ හඬ පැතිර ගියේය. ලෝකයේ කෙළවරවල් දක්වා ඔවුන්ගේ වචන පැතිර ගියේය” කියා ශුභාරංචිය දේශනා කරන ඇදහිලිවන්තයන් ගැන පාවුල් කී දේ ඉටු වෙනවා.—රෝම 10:18.
15. ස්වාමීන්ගේ දවස අතරතුර මේ කාලයේදී සිංහාසනයෙන් නිකුත් වී තිබෙන ගිගුරුම් මොනවාද?
15 සාමාන්‍යයෙන් විදුලි කෙටීමකට පසුව ගිගුරුම් හඬ ඇසෙනවා. දාවිත් මෙම ගිගුරුම් හඬ සමාන කළේ ‘යෙහෝවා දෙවිගේ ශබ්දයට’ එනම් කටහඬටයි. (ගීතාවලිය 29:3, 4) යෙහෝවා දාවිත් වෙනුවෙන් ඔහුගේ සතුරන්ට එරෙහිව සටන් කළ අවස්ථාවේදී ඔහුගෙන් ගිගුරුම් හඬ නිකුත් වූ බව කියැවෙනවා. (2 සාමුවෙල් 22:14; ගීතාවලිය 18:13) යෙහෝවා දෙවිගේ කටහඬ ගිගුරුම් ශබ්දයකට සමාන බවත් ඔහු ‘අපට තේරුම්ගන්ට බැරි මහත් දේ කරන’ බවත් එලීහු යෝබ්ට පැවසුවා. (යෝබ් 37:4, 5) ස්වාමීන්ගේ දවස අතරතුර මේ කාලයේදීත් යෙහෝවා දෙවිගේ ‘ගිගුරුම් හඬ’ ඇසෙනවා. ඒ ඔහු තම සතුරන්ට විරුද්ධව කරනු ඇති මහත් ක්‍රියා ගැන කරන අනතුරු ඇඟවීමයි. මෙම සංකේතමය ගිගුරුම් හඬ පොළොව පුරා රැව් පිළිරැව් දී තිබෙනවා. ගිගුරුම් හා සමාන මේ පණිවුඩවලට ඔබ සවන් දී ඇත්නම්, ඒවායේ හඬ තවත් ප්‍රබල කිරීමට ඔබේ දිව ඥානවන්තව පාවිච්චි කරනවා නම්, ඔබට ඒ ගැන සතුටු විය හැකියි.—යෙසායා 50:4, 5; 61:1, 2.
දැල්වෙන පහන් සහ වීදුරු මෙන් වූ මුහුදක්
16. ‘දැල්වෙන පහන් සතෙන්’ නියෝජනය වෙන්නේ කුමක්ද?
16 යොහන් තවදුරටත් දකින්නේ මොනවාද? “සිංහාසනය ඉදිරිපිට පහන් සතක් දැල්වෙමින්ද තිබිණ. ඒවායින් දෙවිගේ ආත්ම සත නියෝජනය වන්නේය. සිංහාසනය ඉදිරිපිට, පළිඟු මෙන් වූද වීදුරු මෙන් වූද මුහුදක් තිබිණ.” (එළිදරව් 4:5ආ, 6අ) යොහන් මෙම පහන් සතෙන් අදහස් වන දේ පැහැදිලි කරන්නේ “ඒවායින් දෙවිගේ ආත්ම හත නියෝජනය වන්නේය” කියා පවසමිනුයි. දෙවිගේ ආත්මය යනු ඔහුගේ බලයයි. සත යන අංකයෙන් නියෝජනය වෙන්නේ ස්වර්ගයේ දේවල් සම්බන්ධයෙන් කිසිම අඩුවක් නැති බව හා ඒවා පූර්ණව පවතින බවයි. එසේනම් පහන් සතෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ බලයේ පූර්ණ ක්‍රියාකාරිත්වයයි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සේවකයන්ට නොකඩවා අවබෝධය ලැබෙනවා. අද දින යොහන් පන්තියට මෙවැනි අවබෝධයක් තිබීම ගැනත්, සත්‍යය ගැන දැනගැනීමට කැමති අයට මෙම අවබෝධය ලබා දීමේ වගකීම ඔවුන්ට දී තිබීම ගැනත් අප කොතරම් අගය කළ යුතුද! සෑම වසරකම මුරටැඹ සඟරාව භාෂා 150කට වැඩියෙන් පිටපත් මිලියන සිය ගණනක් බෙදාහැරීම ගැන අපි කොතරම් සතුටු වෙනවාද!—ගීතාවලිය 43:3.
17. “පළිඟු මෙන් වූද වීදුරු මෙන් වූද මුහුදක්” කීමෙන් අදහස් කළේ කුමක්ද?
17 යොහන් “පළිඟු මෙන් වූද වීදුරු මෙන් වූද මුහුදක්” දකිනවා. යෙහෝවා දෙවි ඉදිරියට පැමිණෙන්න ආරාධනා ලබන අයට මින් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් සභාව පිරිසිදු කළ ආකාරය ගැන කතා කළ පාවුල් ‘යේසුස් එසේ කළේ වචනය නමැති වතුරෙන් සෝදා පිරිසිදු කර එය විශුද්ධ කරමින්’ බව පැවසුවා. (එෆීස 5:26) යේසුස් සිය මරණයට පෙර තම ගෝලයන්ටත් කීවේ මෙසේයි. “මා ඔබට පැවසූ වචනය නිසා ඔබ දැනටමත් පවිත්‍රය.” (යොහන් 15:3) මේ නිසා, පළිඟු මෙන් වූද වීදුරු මෙන් වූද මුහුදෙන් නියෝජනය වෙන්නේ අපව පවිත්‍ර කරන දෙවිගේ ලිඛිත වචනයයි. යෙහෝවා දෙවි ඉදිරියට පැමිණෙන සියලුම අභිෂේක ලත් පූජකයන් ඔහුගේ වචනයෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදු වී සිටිය යුතුයි.
“ජීවීන් හතරදෙනා” දෙස බලන්න!
18. සිංහාසනය වටාද ඒ අසලද යොහන් දකින්නේ කවුරුන්වද?
18 යොහන් ඊළඟට දකින දේ විස්තර කරන්නේ මෙසේයි. “බොහෝ ඇස් ඇති ජීවීන් සතරදෙනෙක් සිංහාසනය වටාද ඒ අසලද සිටියෝය.”—එළිදරව් 4:6ආ.
19. ජීවීන් සතරදෙනාගෙන් නියෝජනය වෙන්නේ කාවද? අප එය දන්නේ කෙසේද?
19 මෙම ජීවීන්ගෙන් නියෝජනය වෙන්නේ කාවද? තවත් අනාගතවක්තෘවරයෙකු වන එසකියෙල් දුටු දර්ශනයකින් මීට පිළිතුරු ලබාගත හැකියි. එසකියෙල් එම දර්ශනයේ දුටුවේ යෙහෝවා දෙවි ස්වර්ගික රථයක සිංහාසනයක ඉඳගෙන සිටින ආකාරයයි. දෙවි ජීවමාන සත්වයන් හතරදෙනෙකු සමඟ එහි සිටි බව එහි සඳහන් වන අතර, එම ජීවීන්ගේ ලක්ෂණ යොහන් විස්තර කරන දර්ශනයේ ජීවීන්ගේ ලක්ෂණවලට සමානයි. (එසකියෙල් 1:5-11, 22-28) පසුව එසකියෙල් නැවතත් මෙම දර්ශනය දුටු විට මෙම ජීවමාන සත්වයන් කෙරුබ්වරුන් බව ඔහු සඳහන් කරනවා. (එසකියෙල් 10:9-15) එසේනම්, යොහන් දකින ජීවීන් හතරදෙනාගෙන් නියෝජනය වෙන්නේ ස්වර්ගයේ පිහිටි දෙවිගේ සංවිධානයේ ඉතා ඉහළ තත්වයක සිටින කෙරුබ්වරුන් සමූහය විය යුතුයි. යෙහෝවා දෙවි අසලම කෙරුබ්වරුන් සිටිනවා දැකීම යොහන්ට අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මන්ද පුරාණ මණ්ඩපය තුළ යෙහෝවා දෙවි සිටින බවට පෙන්වූ ගිවිසුම් පෙට්ටියේ පියනට උඩින් රන් කෙරුබ්වරුන් දෙදෙනෙක් තබා තිබුණා. යෙහෝවා දෙවි සිය කටහඬින් ඊශ්‍රායෙල් ජාතියට යම් යම් ආඥා නිකුත් කළේ මෙම කෙරුබ්වරුන් අතර සිටයි.—නික්මයාම 25:22; ගීතාවලිය 80:1.
20. ජීවීන් හතරදෙනා “සිංහාසනය වටාද ඒ අසලද” සිටින බව කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
20 මෙම ජීවීන් හතරදෙනා සිටියේ ‘සිංහාසනය වටා සහ ඒ අසලයි.’ මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? ඔවුන් හතරදෙනා සිංහාසනය වටා සිටින ආකාරය මින් විස්තර කරනවා. එක් ඉංග්‍රීසි පරිවර්තනයක පවසන්නේ ඔවුන් “සිංහාසනයේ හැම පැත්තකින්ම වට කරමින්” සිටි බවයි. (Today’s English Version) වැදගත් දේ නම් මෙම ජීවීන් හතරදෙනා ස්වර්ගයේ වැදගත්ම ස්ථානය වන සිංහාසනය පිහිටි තැනට ඉතා සමීපව සිටීමයි. එසකියෙල් දුටු දර්ශනයේත් කෙරුබ්වරුන් සිටියේ යෙහෝවා දෙවිගේ රථයේ සෑම කොනක් අසලිනුයි. (එසකියෙල් 1:15-22) ඇත්තටම මෙම සියලු තොරතුරු ගීතාවලිය 99:1හි මෙම වචනවලට එකඟයි. “යෙහෝවා දෙවි රජ වී ඇත. . . . ඔහු කෙරුබ්වරුන්ට ඉහළින් සිටින්නේය.”—NW.
21, 22. (අ) යොහන් මෙම ජීවීන් හතරදෙනාව විස්තර කරන්නේ කෙසේද? (ආ) මේ ජීවීන් සතරදෙනාගේ පෙනුමෙන් නියෝජනය වෙන්නේ කුමක්ද?
21 යොහන් තවදුරටත් මෙසේ කියනවා. “පළමු ජීවියා සිංහයෙකු මෙන්ය. දෙවන ජීවියා වස්සෙකු මෙන්ය. තුන්වන ජීවියාට මිනිසෙකුගේ මෙන් මුහුණක් තිබිණ. හතරවන ජීවියා, පියාසර කරන රාජාලියෙකු මෙන්ය.” (එළිදරව් 4:7) මෙම ජීවීන් හතරදෙනාගේ පෙනුම එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ ඇයි? මොවුන් හතරදෙනාගෙන් දෙවිගේ ප්‍රධාන ලක්ෂණ නියෝජනය වෙනවා. පළමුව සිංහයා ගැන සලකා බලන්න. බයිබලයේ සිංහයාව භාවිත කරන්නේ එඩිතරකමේ සංකේතයක් හැටියටයි. විශේෂයෙන්ම යුක්තිය හා ධර්මිෂ්ඨකම ඉටු කිරීම ගැනයි. (2 සාමුවෙල් 17:10; හිතෝපදේශ 28:1) සිංහයාගෙන් නියෝජනය වෙන්නේ දෙවි එඩිතර ලෙස යුක්තිය ඉටු කරන ආකාරයයි. (ද්විතීය කතාව 32:4; ගීතාවලිය 89:14) දෙවෙනි ජීවියාට ඇත්තේ වස්සෙකුගේ පෙනුමයි. එම සතාගෙන් අපේ මතකයට එන්නේ කවර ලක්ෂණයද? වස්සෙකු සතු බලය නිසා ඊශ්‍රායෙල් ජනයාට වස්සා ඉතා වටිනා සතෙකු වුණා. (හිතෝපදේශ 14:4; යෝබ් 39:9-11ද බලන්න.) එසේනම්, වස්සෙකුගෙන් නියෝජනය වෙන්නේ බලයයි. එනම් යෙහෝවා දෙන ප්‍රබල ශක්තියයි.—ගීතාවලිය 62:11; යෙසායා 40:26.
22 තුන්වෙනි ජීවියාට තිබෙන්නේ මිනිසෙකුගේ පෙනුමක්. පොළොවේ ජීවීන් අතරින් දෙවි තම ස්වරූපයෙන් මවා තිබෙන්නේ මිනිසාව පමණයි. මිනිසා ප්‍රේමය දක්වන්නේ ඒ හේතුව නිසයි. එසේනම් එම කෙරුබ්වරයාට මිනිසෙකුගේ පෙනුම තිබීමෙන් දෙවි සතු ප්‍රේමය නියෝජනය වෙනවා. (උත්පත්ති 1:26-28; මතෙව් 22:36-40; 1 යොහන් 4:8, 16) යෙහෝවා දෙවිගේ සිංහාසනය වටා සේවය කරන කෙරුබ්වරුනුත් මෙම ගුණාංගය විදහාපාන බවට කිසිම සැකයක් නැහැ. හතරවෙනි ජීවියා ගැන කුමක් කිව හැකිද? මෙම ජීවියාගේ පෙනුම පියාසර කරන රාජාලියෙකුට සමානයි. රාජාලියා ගැන යෙහෝවා දෙවිම පවසන්නේ මෙයයි. “දුර තිබෙන දෙය ඇගේ ඇස්වලට පෙනෙයි.” (යෝබ් 39:29) මේ නිසා රාජාලියෙකුගෙන් කදිමට නියෝජනය වෙන්නේ දුර දක්නා නුවණ හෙවත් ප්රඥාවයි. ප්‍රඥාවේ උල්පත යෙහෝවා දෙවියි. යෙහෝවා දෙවිගේ අණට කීකරු වන ඔහුගේ කෙරුබ්වරුන් දිව්‍ය ප්‍රඥාවෙන් ක්‍රියා කරනවා.—හිතෝපදේශ 2:6; යාකොබ් 3:17.
යෙහෝවා දෙවිට නොකඩවා කරන ප්‍රශංසාව
23. ජීවීන් හතරදෙනා පුරා “ඇස් පිරී” තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔවුන්ට පියාපත් යුගළ තුනක් බැගින් තිබීමෙන් අවධාරණය කරන්නේ කුමක්ද?
23 යොහන් තවදුරටත් මෙසේ විස්තර කරනවා. “ජීවීන් සතරදෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණ. එම පියාපත් වටේද යටි පැත්තෙහිද ඇස් පිරී තිබිණ. රෑ දාවල් දෙකේ විවේක නොගෙන ඔවුහු මෙසේ කීවෝය: “සිටියාවූ, සිටින්නාවූ, මතු එන්නාවූ සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” (එළිදරව් 4:8) ඔවුන් ඇස්වලින් පිරී සිටීමෙන් අදහස් වෙන්නේ ඔවුන්ට හැම දෙයක්ම වගේ, දුර ඇති දේ පවා පැහැදිලිව පෙනෙන බවයි. ඔවුන් මෙම හැකියාව නොනවත්වා භාවිත කරනවා. ඔවුන්ට කිසිම නින්දක් හෝ විවේකයක් අවශ්‍ය නැහැ. “යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇති සියල්ලන් උදෙසා ඔහු බලවත් බව පෙන්වන පිණිස ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය” කියා පවසා තිබෙනවා. (2 ලේකම් 16:9) ඒ වගේම “යෙහෝවාගේ ඇස් නපුරන්ද යහපතුන්ද රැක බලමින් සැමතැනම තිබේ.” (හිතෝපදේශ 15:3) මෙම කෙරුබ්වරුන් අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි. මෙතරම් ඇස් ප්‍රමාණයක් තිබෙන ඔවුන්ට හැමතැනම පේනවා. කිසිම දෙයක් ඔවුන්ගෙන් සැඟවිලා නැහැ. මේ නිසා දෙවි සියල්ල විනිශ්චය කරද්දී දෙවිට සහාය වෙන්න ඔවුන් ඉතාමත් සුදුසු තත්වයකයි සිටින්නේ. මීට අමතරව ඔවුන්ට තටු යුගළ තුනක් තිබෙනවා. බයිබලයේ තුන නමැති අංකය භාවිත කරන්නේ යමක් අවධාරණය කිරීමටයි. ඒ නිසා ඔවුන් දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේ විදුලි වේගයෙන්.
24. කෙරුබ්වරුන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ කෙසේද? එම ප්රශංසාවේ විශේෂත්වය කුමක්ද?
24 කෙරුබ්වරුන් දෙවිට ප්‍රශංසා කරමින් ගායනා කරන මියුරු ගීතිකාවට අපි දැන් සවන් දෙමු. “සිටියාවූ, සිටින්නාවූ, මතු එන්නාවූ සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” නැවතත් තුන් වතාවක් ශුද්ධයි කියා ගායනා කිරීමෙන් පෙන්වන්නේ යෙහෝවා දෙවි කොතරම් ශුද්ධද යන්නයි. ශුද්ධකමට මුල් වෙන්නේ දෙවියි. ඒ වගේම ශුද්ධකමේ ඉහළම ප්‍රමිතිය තබන්නේ ඔහුයි. මීට අමතරව දෙවි “සදාකාල රජ වූද” සෑමවිටම “ඇල්ෆා සහ ඔමේගාද, පළමුවැන්නා සහ අන්තිමයාද පටන්ගැන්ම සහ අවසානයද” වෙයි. (1 තිමෝති 1:17; එළිදරව් 22:13) කෙරුබ්වරුන් කිසිම විවේකයක් නොගෙන සියලු මැවිලි ඉදිරියේ යෙහෝවා දෙවිගේ අසමසම ගුණාංග ගැන ප්‍රකාශ කරනවා.
25. ජීවීන් සතරදෙනා සහ වැඩිමහල්ලන් 24දෙනා එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ කෙසේද?
25 ඇත්තෙන්ම ස්වර්ගය පුරාම යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ප්රතිනාද වෙනවා. යොහන් දැන් මෙසේ පවසයි. “ඒ ජීවීන් සිංහාසනය මත ඉඳගෙන සිටින්නාවූ, සදාකාලයෙන් සදාකාලයට ජීවත් වන්නාවූ තැනැත්තාට මහිමයද ගෞරවයද ස්තුතියද ඔප්පු කරන හැමවිටම, වැඩිමහල්ලෝ විසිහතරදෙනාද, සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා ඉදිරියෙහි වැඳ වැටී, සදාකාලයෙන් සදාකාලයට ජීවත් වන්නාවූ තැනැත්තාට නමස්කාර කරති. තවද, ඔවුහු තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියට විසි කර මෙසේ කියති. ‘යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.’” (එළිදරව් 4:9-11) විශ්වයේ අධිපති වන අපගේ දෙවි යෙහෝවාට කරන මෙතරම් උසස් ප්‍රශංසාවක් බයිබලයේ වෙන කිසිම තැනක දකින්න නැහැ.
26. වැඩිමහල්ලන් 24දෙනා යෙහෝවා දෙවි ඉදිරිපිටට තමන්ගේ ඔටුනු විසි කරන්නේ ඇයි?
26 මෙම වැඩිමහල්ලන් 24දෙනාටද තිබෙන්නේ යේසුස් සතු යටහත් පහත් ආකල්පයමයි. ඒ නිසයි ඔවුන් තමන්ගේ ඔටුනු යෙහෝවා දෙවි ඉදිරිපිටට විසි කරන්නේ. යෙහෝවා දෙවි ඉදිරියේ තමන්වම උසස් කරගැනීම ගැන අබමල් රේණුවක තරම්වත් හැඟීමක් ඔවුන් තුළ නැහැ. තමන්ට රජකමක් ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවිට ගෞරවය ගෙන දී ඔහුව මහිමවත් කිරීමට බව යේසුස් මෙන් ඔවුන්ද ඉතා නිහතමානීව පිළිගන්නවා. (ෆිලිප්පි 2:5, 6, 9-11) යටහත් පහත් ලෙස ඔවුන් ප්‍රකාශ කරන දේ නම්, තමන්ට දී ඇති පාලන බලතල, විශ්වයේ අධිපති යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන දෙයක් බවයි. මෙසේ ඔවුන් කෙරුබ්වරුන් හා දෙවිට විශ්වාසවන්තව සිටින අනිකුත් සියලුම ජීවීන් සමඟ එක්සත්ව සියලු දේ මැවූ දෙවිට මුළු හදින්ම ප්‍රශංසාව සහ ගෞරවය පිරිනමනවා.—ගීතාවලිය 150:1-6.
27, 28. (අ) යොහන් දෙන මේ දර්ශනයේ විස්තර අපට බලපෑ යුත්තේ කෙසේද? (ආ) යොහන් ඊළඟට දකින හා අසන දේ ගැන කිනම් ප්‍රශ්න පැනනඟීද?
27 මෙම උත්කෘෂ්ට දර්ශනය ගැන යොහන් දී ඇති විස්තරය කියවන අප කාගෙත් සිතට එය ගැඹුරින්ම කාවදිනවා. ඇත්තටම ස්වර්ගයේ ශ්‍රේෂ්ඨත්වය විස්තර කරන්න වචන නැති තරම්. අපට දකින්න ලැබුණේ යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වයයි. ඔහු වටා සිටින ජීවීන් සතරදෙනා සහ වැඩිමහල්ලන් 24දෙනා දෙවිට ප්‍රශංසා කරනවා අපි දුටුවා. හද පිරි අගයකින් අපගේ යාච්ඤා තුළින් හා දෙවිගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් ඔවුන් සමඟ එකතුව ඔහුට ප්‍රශංසා කරන්න අපත් පෙලඹෙන්නේ නැද්ද? සැබෑ ක්‍රිස්තියානීන් සාක්ෂිකරුවන් වී සිටින්නේ මෙතරම් උත්කෘෂ්ට දෙවි කෙනෙකුටයි. (යෙසායා 43:10) යොහන්ගේ දර්ශනය අප ජීවත් වන ස්වාමීන්ගේ දවසට අදාළ වන බවත් අප මතක තබාගත යුතුයි. දෙවිගේ බලය එනම් “ආත්ම සත” අපට මඟ පෙන්වමින් අපව ශක්තිමත් කරනවා. (ගලාති 5:16-18) දෙවිගේ වචනයත් ශුද්ධ දෙවිට සේවය කරමින් ශුද්ධව සිටීමට අපට උදව් කරනවා. (1 පේතෘස් 1:14-16) මේ අනාවැකියේ වචන ශබ්ද නඟා කියවීමෙන් අප ලබන්නේ මොන තරම් සන්තෝෂයක්ද! (එළිදරව් 1:3) යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමටත් ලෝකයේ කිසිම දෙයකින් බාධාවට පත් නොවී, ඉතා උනන්දුවෙන් හා උද්යෝගයෙන් දෙවිට ප්‍රශංසා කිරීමටත් අප එයින් පෙලඹෙනවා නොඅනුමානයි.—1 යොහන් 2:15-17.
28 යොහන් මෙතෙක් වෙලා අපට විස්තර කළේ හරියට විවෘත වූ දොරකින් ඇතුළු වුණා සේ ඇතුල් වී ඔහුට දකින්න ලැබුණු ස්වර්ගයේ දර්ශනයයි. ඔහු ප්‍රධාන ලෙස දුටුවේ ස්වර්ගයේ තම සිංහාසනයේ තේජසින් වැජඹෙන යෙහෝවා දෙවිවයි. ඔහු වටා සිටින්නේ මුළු මහත් විශ්වයේම ශ්‍රේෂ්ඨතම සංවිධානය වන ඔහුගේ පක්ෂපාත ස්වර්ගික සංවිධානයයි. එහි සිදු වන අතිවිශේෂ වූ දෙයක් ඔහු ඊළඟට දකිනවා. (දානියෙල් 7:9, 10, 18) සියලුදෙනා සූදානම් වී සිටින්නේ ඒ සඳහායි. ඒ කුමක්ද? එය අද අපට බලපාන්නේ කෙසේද? අපි දැන් ඒ දර්ශනය නරඹමු.
[75වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[78වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]