පරිච්ඡේදය 18
ස්වාමීන්ගේ දවස තුළ සිදු වන භූමිකම්පා
1, 2. (අ) දරුණු භූමිකම්පාවකට මුහුණ දීම මොන වගේ අද්දැකීමක්ද? (ආ) හයවන මුද්‍රාව කඩද්දී යොහන් දකින්නේ කුමක්ද?
ඔබ කවදා හෝ දවසක භූමිකම්පාවකට මුහුණ දී තිබෙනවාද? එය බියගන්වනසුලු අද්දැකීමක්. මුලින්ම සිදු වන භූ චලනයේ ප්‍රතිඵලයක් හැටියට මහත් ශබ්දයක් ඇතුව විශාල කම්පනයක් ඇති වෙනවා. සෑම දෙයක්ම හෙල්ලෙන්න පටන්ගන්නවා. එවිට කලබල වන ඔබ ආරක්ෂාව සඳහා යම් තැනකට, ඇතැම්විට මේසයක් යටට රිංගනවා. ඒ කම්පනය එන්න එන්නම වැඩි වෙනවා. සමහරවිට ඉතා ප්‍රබල කම්පනයක් එකවර ඇති වී පිඟන් බඩු හා ගෘහ භාණ්ඩ කැඩී බිඳී විසිරී යා හැකියි. සමහරවිට මුළු ගොඩනැඟිල්ලම කඩා වැටෙන්නත් ඉඩ තිබෙනවා. මොන තරම් විනාශයක්ද! එහෙත් එය ප්‍රධාන භූමිකම්පාවෙන් නතර වෙන්නේ නැහැ. තවත් අමතර කම්පන ඇති වී සිදු වූ හානිය තවත් වැඩි කරනවා.
2 එම සිද්ධිය සිතේ මවාගෙන හයවන මුද්‍රාව කඩද්දී යොහන් කියන දේ සලකා බලන්න. “ඔහු හයවන මුද්‍රාව කඩනවා මම දුටිමි. එවිට මහත් භූමිකම්පාවක් සිදු විය.” (එළිදරව් 6:12අ) මේ සිද්ධියත් සිදු වෙන්නේ අනිකුත් මුද්‍රා කඩන කාලයේදීමයි. එනම් ස්වාමීන්ගේ දවස තුළයි. නමුත් ඒ භූමිකම්පාව සිදු වෙන්නේ ස්වාමීන්ගේ දවසේ කොයි කාලයේදීද? එය මොන වගේ එකක්ද?—එළිදරව් 1:10.
3. (අ) තමා පැමිණ සිටින කාලය තුළදී යේසුස් පැවසුවේ කුමන දේවල් සිදු වන බවද? (ආ) ස්වාභාවික භූමිකම්පා එළිදරව් 6:12හි සඳහන් සංකේතවත් මහා භූමිකම්පාවට සම්බන්ධ වෙන්නේ කෙසේද?
3 ස්වාභාවික භූමිකම්පා සහ සංකේතවත් භූමිකම්පා යන දෙවර්ගය ගැනම බයිබලයේ කිහිප වතාවක්ම සඳහන් වෙනවා. තමා රජු ලෙස පැමිණ සිටින කාලයේදී සිදු වන ලකුණු ගැන කියද්දී, “එක් තැනක් පාසා තවත් තැනක . . . භූමිකම්පා සිදු වෙනවා” කියා යේසුස් පැවසුවා. ඔහු මේවා හැඳින්වූයේ “විපත්ති නිසා ඇති වන වේදනාවල පටන්ගැන්ම” ලෙසයි. වර්ෂ 1914 සිට සිදු වූ භූමිකම්පාවල හානිය තවත් වැඩි කිරීමට ලෝක ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය අනිවාර්යයෙන්ම බලපා තිබෙනවා. (මතෙව් 24:3, 7, 8) යේසුස් පැවසූ අනාවැකියේ සඳහන් වුණු මෙම ස්වාභාවික භූමිකම්පා ඇති වෙන්නේ එළිදරව් 6:12හි සඳහන් සංකේතවත් මහා භූමිකම්පාවට කලිනුයි. මේ සංකේතවත් මහා භූමිකම්පාවට කලින් ස්වාභාවික භූමිකම්පා හා සමානව මිහිපිට පවතින සාතන්ගේ මුළු දුෂ්ට ලෝකයම සොලවන කම්පිත සිද්ධීන් මාලාවක්ද දකින්න ලැබෙනවා.a අපි දැන් ඒවා සලකා බලමු.
මිනිස් සමාජය තුළ සිදු වන කම්පන
4. (අ) වර්ෂ 1914 සිට ඉතා කම්පිත කරවන කාලයක් උදා වන බව දෙවිගේ සේවකයන් අපේක්ෂා කළේ කවදා සිටද? (ආ) වර්ෂ 1914න් අවසන් වුණේ කුමන කාල පරිච්ඡේදයද?
4 වර්ෂ 1914 සිට ඉතා කම්පිත කරවන කාලයක් උදා වන බවත් එම වර්ෂයේදී ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් අවසන් වන බවත් දෙවිගේ සේවකයන් 1870 ගණන්වල මැදභාගයේ සිටම අපේක්ෂා කරමින් සිටියා. ජාතීන් සඳහා නියම කරන ලද මෙම කාලවල්වලට “කාලවල් සතක්” (එනම් අවුරුදු 2,520ක්) ඇතුළත් බව ඔබට මතක ඇති. එම කාලවල් ආරම්භ වුණේ දාවිත් රජුගේ පෙළපතින් පැමිණි යෙරුසලමේ පිහිටි පාලනය ක්‍රි.පූ. 607දී අවසන් වීමත් සමඟයි. එය අවසන් වුණේ ක්‍රි.ව. 1914දී යේසුස් ස්වර්ගයේ පිහිටි යෙරුසලමේ රජ වීමත් සමඟයි.—දානියෙල් 4:24, 25; ලූක් 21:24.b
5. (අ) වර්ෂ 1914 ඔක්තෝබර් 2වන දින සී.ටී. රසල් කළ නිවේදනය කුමක්ද? (ආ) වර්ෂ 1914 සිට ලෝකයේ පාලන ක්‍රම තුළ දකින්න ලැබී තිබෙන්නේ කුමන නොසන්සුන්කාරී වාතාවරණයක්ද?
5 සහෝදර සී.ටී. රසල් 1914 ඔක්තෝබර් 2වනදා උදෑසන නිව් යෝක් නුවරේ බෘක්ලින්වල සිටි බෙතෙල් පවුල සමඟ දිනපද සාකච්ඡාවට හවුල් වෙමින් සිටියා. ඔහු එහිදී ඉතා වැදගත් නිවේදනයක් කළා. ඔහු පැවසුවේ “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් දැන් අවසන් වෙලා. ලෝක පාලකයන්ට හිමි වූ කාලය දැන් ඉකුත් වෙලා” කියායි. ඇත්තෙන්ම 1914 සිට ලොව පුරා ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය කොතරම් ප්‍රබල වුණාද කියනවා නම් යුග ගණනාවක් පුරා පැවති රාජකීය පෙළපත් බොහොමයක පාලනයන් අවසන් වුණා. නිදසුනකට 1917දී රුසියාවේ හටගත් විප්ලවය නිසා එහි රාජකීය පාලනය පෙරළා දමනු ලැබූ අතර, මාක්ස්වාදය හා ධනවාදි සංකල්ප අතර දිගු කාලීන අරගලයක් පටන්ගත්තා. අද දිනත් විවිධ රටවල්වල දේශපාලනය තුළ දකින්නේ ඉතා නොසන්සුන්කාරී වාතාවරණයක්. ඒ නිසා මුළු සමාජයම කැලඹී සිටිනවා. බොහෝ ආණ්ඩු අවුරුද්දක් හෝ දෙකකට වඩා පවතින්නේ නැහැ. මීට කැපීපෙනෙන උදාහරණයක් වන්නේ ඉතාලියයි. දෙවන ලෝක මහා යුද්ධයේ සිට අවුරුදු 42ක කාලයක් තුළ ඉතාලියේ ආණ්ඩුව 47 වරක් වෙනස් වී තිබෙනවා. නමුත් ඉදිරියේදී මුළු ලෝකයේම පාලනය දේවරාජ්‍යයේ අතට පත් වෙද්දී සිදු වන පෙරළිය හා සසඳන කල අද පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය කිසිත් නැති තරම්.—යෙසායා 9:6, 7.
6. (අ) වර්ෂ 1914 සිට ආරම්භ වූ අඳුරු යුගය ගැන එච්. ජී. වෙල්ස් පැවසුවේ කුමක්ද? (ආ) ඒ යුගය ගැන දාර්ශනිකයෙක් සහ රාජ්‍ය නායකයෙක් පළ කළ අදහස් මොනවාද?
6 වර්ෂ 1914 සිට අඳුරු යුගයක් ආරම්භ වූ බව ඉතිහාසඥයන්, දාර්ශනිකයන් සහ දේශපාලන නායකයන් පවා පිළිගෙන තිබෙනවා. ඒ අවුරුද්දෙන් වසර 17කට පමණ පසු ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් කිව්වේ මෙසේයි. “හොඳ කාලයක් ඉදිරියට උදා වෙයි කියා කියන්න කවුරුත් කැමතියි. නමුත් දකින දෙයින් නම් එවැනි දෙයක් වෙයි කියා කොහොමටවත් කියන්න බැහැ. මොනවාද අපි දකින්නේ? අද මුළු ලෝකයම යුද භටයන්ගේ, දේශප්‍රේමීන්ගේ, මුදල් පොලියට දෙන අයගේ සහ තම මඩිය කෙසේ හෝ තර කරගැනීමට උත්සාහ කරන අයගේ ග්‍රහණයට හසු වෙලා. විශ්වාසය වෙනුවට මුළු ලොවම සැකයෙන් හා වෛරයෙන් වෙළී පවතිනවා. මානව හිමිකම්වලට ගරු කිරීමක් නැහැ. පන්ති භේද ඉතා ප්රබලව දකින්න පුළුවන්. ඒ වගේම තවත් යුද්ධයකට සැරසෙන ලකුණුද පෙනෙනවා.” වර්ෂ 1953දී බර්ට්‍රන්ඩ් රසල් නම් දාර්ශනිකයා මෙසේ ලිව්වා. “වර්ෂ 1914 පටන් ලෝකයේ සිදු වෙමින් තිබෙන දේවල් ගැන අවධානයෙන් සිටින සෑම කෙනෙකුටම පෙනෙන්නේ මේ ලෝකය මහා විපතකට ගොදුරු වීමට යන බවයි. . . . මිනිස් සංහතිය හරියටම ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධ කථාවල සඳහන් වෙන කෝපාවිෂ්ට දෙවිවරුන්ගේ ග්‍රහණයට හසු වී සිටින චරිතයක් වගෙයි. ඔවුන් කිසිවක් කරකියාගත නොහැකිව අසරණවයි සිටින්නේ.” විසිවන සියවස ආරම්භයේදී පැවති සාමකාමී කාලය ගැන කතා කරමින් හැරල්ඩ් මැක්මිලන් නම් රාජ්‍ය නායකයා 1980දී මෙසේ පැවසුවා. “හැම දෙයක්ම හොඳ අතට හැරෙමින් තිබුණා. මා ඉපදුණේ ඒ වගේ ලෝකයකයි. . . නමුත් අභාග්‍යයකට මෙන් 1914 වසරේ එක් උදෑසනක සියලු දේම අවසන් වුණේ කිසිම කෙනෙකු අපේක්ෂා නොකළ ලෙසටයි.”
7-9. (අ) වර්ෂ 1914 පටන් මිනිස් සමාජය කැලඹී තිබෙන්නේ කවර සිදුවීම් නිසාද? (ආ) යේසුස් පැමිණ සිටින මෙම කාලයේ මිනිස් සමාජය තුළ සිදු වී ඇති කැලඹීම්වල ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී කුමන තත්වයක් උදා වේවිද?
7 දෙවෙනි ලෝක මහා යුද්ධයත් සමඟ තත්වය තවත් දරුණු අතට හැරුණා. ඉන් අනතුරුවත් රටවල් බොහොමයක යුද්ධ පවතින අතර ත්‍රස්තවාදය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙලා. ත්රස්තවාදීන් හෝ යම් රටක් විසින් න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ තර්ජනයක් දැන් පවතින නිසා ජනයා සිටින්නේ මහත් බියකින්.
8 වර්ෂ 1914දී මිනිස් සමාජය දෙදරා ගියේ යුද්ධ නිසා පමණක් නෙවෙයි. මහත් කැලඹීමක් ඇති කළ සිද්ධියක් වූයේ 1929 ඔක්තෝබර් 29වනදා එක්සත් ජනපදයේ කොටස් වෙළඳපොළේ බිඳවැටීමයි. මෙය ආර්ථිකයට ප්‍රබල පහරක් වූ අතර එය වැඩියෙන්ම බලපෑවේ ලෝකයේ සියලු ධනවාදී රටවලටයි. ලෝකය 1932 සහ 1934 අතරතුර කාලයේදී මෙම පරිහානියෙන් යම් තරමකට ගොඩ ආවත්, එහි බලපෑම් අපට තවමත් දැනෙනවා. වර්ෂ 1929 පටන් ලෝකයේ ආර්ථිකය ඉදිරියට ගෙන ගොස් ඇත්තේ දිගු කාලීන විසඳුම් ගෙන දෙන ආකාරයට නෙවෙයි. ඔවුන්ට තිබෙන්නේ කෙටි කාලීන පිළියම් පමණයි. ආණ්ඩු තම අයවැය පියවන්නේ මුදල් ණයට ගෙනයි. වර්ෂ 1973දී ඇති වූ තෙල් අර්බුදය සහ 1987දී කොටස් වෙළඳපොළ බිඳවැටීම නිසාත් ලෝකයේ ආර්ථිකය තවත් දුර්වල වුණා. දැන් මිනිසුන් මිලියන ගණනක් තමන්ට අවශ්‍ය දේ මිල දී ගන්නේ ණයටයි. නොයෙකුත් වංචනික දේවල් නිසා, පිරමිඩ ක්‍රම, ලොතරැයි සහ සූදුව නිසා බොහෝදෙනෙකුට මුදල් කන්දරාවක්ම අහිමි වෙනවා. ඒ මදිවට ක්‍රිස්තියානියයි කියාගන්නා නායකයනුත් තම බැතිමතුන්ගෙන් ඩොලර් මිලියන ගණනක් සූක්ෂ්ම ක්‍රමවලින් සූරා කනවා.—යෙරෙමියා 5:26-31ද බලන්න.
9 එක්දහස් නවසිය විසි ගණන්වල හා තිස් ගණන්වල හිට්ලර් සහ මුසොලීනි බලයට පත් වුණේ ඔවුන්ගේ රටවල්වල ආර්ථික අර්බුදයක් තිබුණු නිසයි. මෙය දුටු මහා බැබිලෝනියත් ඉතා විගසින් ඔවුන්ගේ ප්‍රසාදය දිනාගන්න පියවර ගත්තා. ප්‍රතිඵලයක් ලෙස වතිකානුව ඉතාලිය සමඟ 1929දී හා ජර්මනිය සමඟ 1933දී ගිවිසුම් ඇති කරගත්තා. (එළිදරව් 17:5) වර්ෂ 1914 සිට මිනිස් සමාජය කම්පා කළ මෙවැනි සිද්ධීන් තවමත් ලෝකයට දැඩි සේ බලපානවා. එතුළින් යේසුස් තමන් පැමිණ සිටින කාලය ගැන පැවසූ බොහෝ දේවල ඉටුවීම අපි දැක තිබෙනවා. එදායින් පටන්ගත් ඒ දරුණු යුගය ගැන කල්පනා කරද්දී යේසුස්ගේ මෙම වචනවල ඉටුවීමත් අපට ඉදිරියේදී අපේක්ෂා කළ හැකියි. “ගැලවෙන මාර්ගය නොදන්නා හෙයින් පොළොවේ ජාතීන්ට මහත් වේදනාවක් වන්නේය. ඒ අතරතුරේදී මිනිස්සු භයෙන්ද ලොවට සිදුවීමට යන දේ ගැන සිතීමෙන්ද ක්ලාන්ත වන්නෝය.”—ලූක් 21:7-9, 25-31.c
යෙහෝවා දෙවි කරන සෙලවීම්
10. (අ) මිනිස් සමාජයේ මෙතරම් කැලඹීම් තිබෙන්නේ ඇයි? (ආ) යෙහෝවා දෙවි දැන් කරමින් සිටින්නේ කුමක්ද? ඒ කුමක් සඳහාද?
10 සමාජයේ ඇති වී තිබෙන මෙම කැලඹීම්වලට හේතුව මිනිසාට තම ගමන නියම කිරීමට බැරි නිසයි. (යෙරෙමියා 10:23) මීට අමතරව පැරණි සර්පයා වූ “මුළු පොළොවම නොමඟ යවන” සාතන් තමාට ඇත්තේ ඉතා කෙටි කාලයක් බව දන්න නිසා යෙහෝවා දෙවිට කරන නමස්කාරයෙන් මුළු මිනිස් වර්ගයාව ඈත් කිරීමට ඔහු දැඩි වෑයමක් දරමින් සිටිනවා. නවීන තාක්ෂණය මගින් මුළු පොළොවම එකම ගම්මානයක් වී ඇති නිසා එක් තැනක ඇති වන වෛරය හා අගතිසහගත හැඟීම් මුළු ලොවටම ක්ෂණිකව බලපානවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මෙයට විසඳුමක් දෙන්න බැරි වෙලා. ඔවුන් අතරවත් එක්සත්කමක් දකින්න නැහැ. වෙන කිසිදාකටත් වඩා මිනිස් පාලනයෙන් මිනිසාට අනතුරු සිදු වෙනවා. (එළිදරව් 12:9, 12; දේශනාකාරයා 8:9) මෙම කැලඹීම්වලට අමතරව අහසෙත් පොළොවෙත් නිර්මාතෘ වන විශ්වයේ අධිපති යෙහෝවා දෙවිත් පසුගිය අවුරුදු 90 පුරාම යම් සෙලවීමක් කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ මිනිසාගේ සියලු ගැටලු සදහටම විසඳීමේ අරමුණෙනුයි. ඒ කොහොමද?
11. (අ) හග්ගයි 2:6, 7හි විස්තර කර ඇත්තේ කිනම් සෙලවීම ගැනද? (ආ) හග්ගයිගේ අනාවැකිය ඉටු වෙන්නේ කෙසේද?
11 හග්ගයි 2:6, 7හි අපට මෙසේ කියවන්න තිබෙනවා. “ස්වර්ගීය සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙහෙම කියනවා: ‘තව ටික කලකින් මම අහසත් පොළොවත් මුහුදත් ගොඩබිමත් නැවත වරක් සොලවනවා. මම සියලු ජාතීන්ව සොලවා, ඒ ජාතීන්ගේ වස්තුව මෙතැනට රැස් කරගන්නවා. එවිට මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වනවා’ කියා ස්වර්ගීය සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියනවා.” (නව ලොව පරිවර්තනය) මෙම වදන් ඉටු වී තිබෙන්නේ කෙසේද? වර්ෂ 1919 පටන් යෙහෝවා දෙවි සිය සාක්ෂිකරුවන් ලවා මුළු මිනිස් සමාජයටම විරුද්ධව තමන් නියම කර ඇති විනිශ්චය ප්‍රකාශ කිරීමට සලස්වා තිබෙනවා. කාටවත් එය දැනගන්න ලැබුණේ නැහැයි කියා කියන්න බැහැ.d මෙම අනතුරු ඇඟවීම තවත් ප්රබලව සිදු කරද්දී “ජාතීන්ගේ වස්තුව” එනම් දේවගරුබියෙන් ක්‍රියා කරන මිනිසුන් සාතන්ගේ සමාජයෙන් වෙන් වී දෙවිට නමස්කාර කරන්න පටන්ගෙන තිබෙනවා. ඔවුන් එසේ වෙන් වෙන්නේ සාතන්ගේ ලෝකයේ සිදු වන කම්පිත කරවන සිදුවීම්වලින් ඔවුන් කම්පනයට පත් වන නිසාම නෙවෙයි. නමුත් ඔවුන් අභිෂේක ලත් යොහන් පන්තිය සමඟ යෙහෝවා දෙවිගේ ගෘහය තේජසින් පිරවීමට පෞද්ගලික තීරණයක් ගෙන ඇති නිසයි. එම තීරණය ගැනීමට ඔවුන්ට උපකාර කළේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයි. මෙම කාර්යය ලොව පුරාම ඉතා උද්යෝගයෙන් සිදු වෙනවා. (මතෙව් 24:14) යේසුස් සහ ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ගෙන් සෑදෙන මෙම දේවරාජ්‍යය “සෙලවිය නොහැකි රාජ්‍යයක්” ලෙස සදහටම දෙවිගේ මහිමය වෙනුවෙන් ක්‍රියා කරනවා.—හෙබ්‍රෙව් 12:26-29.
12. මතෙව් 24:14හි පවසා ඇති දේශනා කිරීමේ කාර්යයට ඔබ දැනටමත් ප්‍රතිචාරය දක්වා ඇත්නම්, එළිදරව් 6:12හි සඳහන් මහා භූමිකම්පාවට කලින් ඔබ කුමක් කළ යුතුද?
12 දේවරාජ්‍යය පිළිබඳ මෙම ශුභාරංචියට ඔබ ප්‍රතිචාරය දැක්වූ කෙනෙක්ද? සමහරවිට ඔබ පසුගිය වසරවල යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වූ මිලියන ගණනක් දෙනා අතර සිටින කෙනෙක් විය හැකියි. ඔබ දිගටම බයිබල් සත්‍යයන් අධ්‍යයනය කර අවශ්‍ය පියවර ගත යුතුයි. (2 තිමෝති 2:15; 3:16, 17) විනාශයට නියමිත සාතන්ගේ දුෂ්ට සමාජයේ දූෂිත ජීවන රටාව ඔබ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉන්පසුව ඔබට යෙහෝවා දෙවිගේ සෙනඟට සම්බන්ධ වෙන්න පුළුවන්. සාතන්ගේ මුළු ලෝකය සංකේතවත් මහා භූමිකම්පාවෙන් විනාශ වෙන්න කලින් ඒ සෙනඟ සමඟ එක් වී ඔවුන්ට පැවරී ඇති කාර්යයේ උද්යෝගයෙන් හවුල් වෙන්නත් ඔබට පුළුවන්. නමුත් අපි කතා කළ මේ මහා භූමිකම්පාව කුමක්ද?
මහා භූමිකම්පාව!
13. මෙම මහා භූමිකම්පාව මිනිසා පෙර කිසිදාකවත් අත් නොදුටු දෙයක් වෙන්නේ ඇයි?
13 මෙම අන්තරාදයක අන්තිම දවස්වල සැබෑ භූමිකම්පා මෙන්ම ලෝකයේ ඇති වූ කම්පිත කරවන සිදුවීම් අපි සලකා බැලුවා. (2 තිමෝති 3:1) නමුත් මේ කිසිවක් හයවන මුද්‍රාව කඩද්දී යොහන් දකින අවසාන භූමිකම්පාවට සම්බන්ධ නැහැ. මේ මහා භූමිකම්පාව මිනිසා පෙර කිසිදාකවත් අත් නොදුටු තරමේ එකක්. එය කොතරම් දරුණු එකක්ද කියනවා නම් එහි ප්‍රබලත්වය රික්ටර් මාපකය ඇතුළු මිනිසාගේ කිසිම මිනුම් ක්රමයකින්වත් මනින්න බැහැ. මෙය ලෝකයේ යම් ප්‍රදේශයකට සීමා වූ එකක්ද නෙවෙයි. එයින් මුළු “පොළොවම” එනම් සාතන්ගේ මුළු දුෂ්ට සමාජයම සහමුලින්ම විනාශ වී යනවා.
14. (අ) මහත් භූමිකම්පාවක් සහ එහි ප්‍රතිඵල ගැන සඳහන් වුණේ කුමන අනාවැකියේද? (ආ) යෝවෙල් සහ යොහන් සඳහන් කරන මෙම භූමිකම්පාව කුමක් විය යුතුද?
14 මීට කලින් යෙහෝවා දෙවිගේ වෙනත් අනාගතවක්තෘවරුන්ද එවන් භූමිකම්පාවක් ගැන සහ එහි භයානක ප්‍රතිඵල ගැන පවසා තිබුණා. නිදසුනක් වශයෙන් ක්‍රි.පූ. 820දී යෝවෙල් නම් අනාගතවක්තෘවරයා, ‘යෙහෝවා දෙවිගේ මහත්, භය උපදවන දවසේ පැමිණීම’ ගැන කතා කළා. ඒ කාලයේදී ‘හිරු අඳුරු වන බවත් සඳ ලේ වෙන බවත්’ ඔහු පැවසුවා. ඔහු මේ වචනද එකතු කළා. “තීන්දු දීමේ මිටියාවතේ විශාල සමූහයක් රැස්ව සිටියි. මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. හිරුත් සඳත් අඳුරු වී තාරකාවල ආලෝකය නිවී යයි. යෙහෝවා දෙවි සියොන්හි සිට සිංහයෙකු වගේ ගර්ජනා කරයි. යෙරුසලමේ සිට ඔහු මහ ශබ්දයෙන් කතා කරයි. අහසත් පොළොවත් දෙදරා යයි. නමුත් යෙහෝවා දෙවි තම සෙනඟට රැකවරණයක්ද ඊශ්‍රායෙල්වරුන්ට රක්ෂස්ථානයක්ද වෙයි.” (යෝවෙල් 2:31; 3:14-16; NW) අහස පොළොව මෙසේ දෙදරා යන්නේ යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක වන මහත් පීඩාවේදීයි. (මතෙව් 24:21) යොහන් එළිදරව් 6:12, 13හි සඳහන් කරන මහා භූමිකම්පාව අදාළ වෙන්නෙත් මහත් පීඩාවටයි.—යෙරෙමියා 10:10ද, ශෙපනියා 1:14, 15ද බලන්න.
15. අනාගතවක්තෘ හබක්කුක් කතා කළේ කුමන ප්‍රබල දෙදරුම්කෑම ගැනද?
15 යෝවෙල්ගේ කාලයෙන් වසර 200කට පමණ පසුව හබක්කුක් නම් වූ අනාගතවක්තෘවරයා දෙවිට යාච්ඤාවෙන් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවියනි, ඔබ කර තිබෙන පුදුම දනවන දේවල් මම අසා තිබෙනවා. යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා අසද්දී මා තුළ ගරුබියක් ඇති වුණා. මේ අවුරුදු කිහිපය ගෙවී යන්න කලින්, නැවතත් ඒ වගේ ක්‍රියා සිදු කරන්න. මේ අවුරුදු කිහිපය ගෙවී යන්න කලින්, නැවතත් ඔබේ පුදුම දනවන දේවල් පෙන්වන්න. ඒත් දෙවියනි, ඔබේ කෝපය ප්‍රකාශ කරද්දී, දයාව පෙන්වන්නත් අමතක නොකරන්න.” දෙවි තම “කෝපය” ප්‍රකාශ කරන්නේ කෙසේද? ඒ ගැන ප්‍රබල විස්තරයක් දෙමින් හබක්කුක් යෙහෝවා දෙවි ගැන මෙසේ පවසනවා. “ඔහු නැවතෙද්දී පොළොව දෙදරුම් කනවා. ඔබ බලද්දී ජාතීන් භයෙන් වෙව්ලනවා. . . . ඔබ උදහස් වී පොළොව හරහා ගමන් කළා. කෝපයෙන් ජාතීන්ට පහර දුන්නා. මම නම් යෙහෝවා දෙවි නිසා සතුටින් ඉපිල යනවා. මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වෙනවා.” (හබක්කුක් 3:1, 2, 6, 12, 18, NW) යෙහෝවා දෙවි මහත් පීඩාවේදී තම කෝපය ප්‍රකාශ කරමින් සියලු ජාතීන්ට පහර දෙද්දී මුළු පොළොවම ප්‍රබල ආකාරයකින් දෙදරුම්කන බවට නම් සැකයක් නැහැ.
16. (අ) දෙවිගේ සෙනඟට විරුද්ධව සාතන් අවසන් වරට පහර දෙද්දී සිදු වන දේ ගැන එසකියෙල් පැවසුවේ කුමක්ද? (ආ) එළිදරව් 6:12හි සඳහන් මහා භූමිකම්පාවේ ප්‍රතිඵලය කුමක්ද?
16 දෙවිගේ සෙනඟට විරුද්ධව සාතන් නමැති යක්ෂයා අවසන් වරට පහර දෙද්දී සිදු වන දේ ගැන එසකියෙල් පැවසුවේ දෙවි “ඊශ්‍රායෙල් රටේ මහා කම්පාවක්” සිදු කරන බවයි. (එසකියෙල් 38:18, 19, නව අනුවාදය) මෙම අවස්ථාවේදී ස්වාභාවික භූමිකම්පා ඇති විය හැකියි. නමුත් එළිදරව් පොතේ තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ සංකේතවලින් බව අප මතක තබාගත යුතුයි. මෙම අනාවැකිය හා ඉහත සඳහන් අනිකුත් ඒවා කතා කරන්නේ හයවන මුද්‍රාව කඩන විට සිදු වන සංකේතවත් මහා භූමිකම්පාව ගැනයි. මෙම සංකේතවත් මහා භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස සාතන්ගේ මුළු දුෂ්ට ලෝකයම දෙදරා යනවා. ඒ කියන්නේ යෙහෝවා දෙවිගේ පාලනයට විරුද්ධව සිටින සියලුම මිනිසුන් විනාශ වී යන බවයි.
අන්ධකාර කාලයක්
17. මහත් භූමිකම්පාව ඉර, සඳ හා තාරකාවලට බලපාන්නේ කෙසේද?
17 යොහන් පෙන්වන ආකාරයට මේ මහත් භූමිකම්පාව සමඟම අහසේ පවා මහත් භයංකර සිද්ධීන් රාශියක් සිදුවීමට නියමිතයි. යොහන් මෙසේ කියනවා. “ඉර, සත්ව රෝමවලින් සෑදූ ගෝණි රෙදි මෙන් කලු පැහැති විය. මුළු හඳම ලේ මෙන් විය. අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අමු අත්තික්කා ගෙඩි වැටෙන්නාක් මෙන්, අහසේ තාරකා පොළොවට වැටුණේය.” (එළිදරව් 6:12ආ, 13) මොන තරම් භයානක දර්ශනයක්ද! මේ දේවල් ඇත්තටම සිදු වුණොත් කොතරම් ඝනාන්ධකාරයකින් පොළොව වෙළී යයිද කියා අපට සිතාගන්නවත් බැරි තරම්. දිවා කාලයේදී හිරුගෙන් කිසිම උණුසුමක්වත් ආලෝකයක්වත් දකින්න නැහැ. රාත්‍රියේ දකින අලංකාර සඳවත් බැබළෙන තරුවත් තවත් නැහැ. සෑම දෙයක්ම තද අන්ධකාරයෙන් වෙළී පවතියි.—මතෙව් 24:29ද බලන්න.
18. ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලමේ ‘අහස අඳුරු වුණේ’ කොයි ආකාරයෙන්ද?
18 ඉපැරණි ඊශ්‍රායෙලය එවැනි අන්ධකාරයක් අද්දකින බව යෙරෙමියා පුරෝකථනය කළා. ඔහු පැවසුවේ මෙසේයි. “මම මේ දේශය සම්පූර්ණයෙන්ම විනාශ කරන නිසා එය මුළුමනින්ම පාලු වී යයි. ඒ නිසා දේශයම වැළපෙයි. අහසද අඳුරු වෙයි.” (යෙරෙමියා 4:27, 28, NW ) මේ අනාවැකිය ඉටු වුණේ ක්‍රි.පූ. 607දීයි. ඒ කාලය දෙවිගේ සෙනඟට ඉතා අන්ධකාර කාලයක් වුණා. ඒ ඔවුන්ගේ අගනුවර වූ යෙරුසලම බැබිලෝනිවරුන් අතට පත් වූ නිසයි. ඔවුන්ගේ දේවමාලිගාව විනාශ වුණා. ඔවුන්ගේ දේශයත් පාළුවට ගියා. සිදු වූ දේ යෙරෙමියා යෙහෝවා දෙවිට පැවසූ මේ වචනවලින් විස්තර වෙනවා. “ඔබ අප උදහසින් වැසුවේය. ලුහුබැඳ මැරුවේය. අපට කරුණා නොකළේය. අපේ යාච්ඤාව නොපැමිණෙන පිණිස ඔබ වලාකුළකින් තමන් වසාගත්තේය.” (විලාප ගී 3:43, 44) අහසින් කිසි ආලෝකයක් නොලැබෙනවා වගේ ඔවුන්ට දෙවිගේ කිසිම පිහිටක් ලැබුණේ නැහැ. ඒ අන්ධකාරයෙන් යෙරුසලමේ වැසියන්ට අදහස් වුණේ ඔවුන්ගෙන් විශාල පිරිසක් මරණය හා විනාශය අද්දකින බවයි.
19. (අ) පුරාණ බැබිලෝනියට අහස අඳුරු වූ ආකාරය දෙවිගේ අනාගතවක්තෘ යෙසායා විස්තර කරන්නේ කෙසේද? (ආ) ඒ අනාවැකිය ඉටු වූයේ කවදාද? කෙසේද?
19 පසුව පුරාණ බැබිලෝනියටත් අහස අඳුරු වුණා. මේ ගැන දෙවිගේ අනාගතවක්තෘ යෙසායා මෙසේ ලිව්වා. “යෙහෝවා දෙවිගේ දවස ළඟයි. එය උදහස හා කෝපය පිරි කෲර දවසක්. ඔහු ඒ දේශයේ පව්කාරයන්ව සහමුලින්ම විනාශ කර දමයි. දේශයට සිදු වූ විපත ගැන සෙනඟ පුදුමයට පත් වෙයි. එදාට අහසේ තාරකාවත් කේසිල් තාරකා මණ්ඩලයවත් බැබළෙන්නේ නැහැ. ඉර පායද්දීම එය අඳුරු වෙයි. සඳද එළිය නොදෙයි. දේශයේ වැසියන් කළ දුෂ්ටකම්වලට මම ප්‍රතිඵල දෙමි. අහංකාර අයගේ උඩඟුකමත් කුරිරු පාලකයන්ගේ පුහුමාන්නයත් මම පහ කරමි.” (යෙසායා 13:9-11, NW) මෙම අනාවැකිය ඉටු වුණේ ක්‍රි.පූ. 539දී බැබිලෝනිය මේද පර්සියාවේ අතට පත් වූ විටයි. ලෝක බලවේගයක් හැටියට වැජඹුණු බැබිලෝනිය එදා සදහටම වැටී ගියා. ඒ තුළ හටගත් අන්ධකාරය මේ අනාවැකියෙන් කදිමට කියා පානවා. එනම් නැවතත් හිස ඔසවන්න බැරි ආකාරයට සිදු වූ ඔවුන්ගේ වැටීයෑමයි.
20. මහා භූමිකම්පාව සිදු වන මේ දුෂ්ට සමාජයට අද්දකින්න සිදු වන භයංකර ප්‍රතිඵල මොනවාද?
20 මෙයාකාරයට මහා භූමිකම්පාව සාතන්ගේ ලෝකයට පහර දෙන විට මුළු දුෂ්ට සමාජයම අසරණ වී තද අන්ධකාරයෙන් වෙළී යනවා. බැබළෙන තරු මෙන් සාතන්ගේ ලෝකයේ සිටි නායකයන්ගෙන් කිසිම සරණක් ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී මෙවැනි දෙයක් සිදු වන බවට දැන් පවා ලකුණු තිබෙනවා. ලෝකයේ නායකයන් විශේෂයෙන් ක්‍රිස්තියානියයි කියන රටවල නායකයන් අල්ලස් දූෂණ, බොරු කීම් හා දුරාචාරයට ප්‍රසිද්ධයි. (යෙසායා 28:14-19) ඒ නිසා ඔවුන්ව විශ්වාස කරන්න බැහැ. දැනටමත් නිවි නිවී දැල්වෙන පහන් හා සමාන ඔවුන්ගේ ආලෝකය යෙහෝවා දෙවි විනිශ්චය ඉටු කරන විට සදහටම නිවී යාවි. සඳ ලේ වන්නාක් මෙන් මෙතෙක් වගුරුවා ඇති අහිංසක ලේවලට ඔවුන් කොතරම් වග කිව යුතුද යන්නත් හෙළි වෙනවා. දැඩි චණ්ඩ මාරුතයක් නිසා බිමට වැටෙන අමු අත්තික්කා ගෙඩිවලට සමානව මේ ලෝකයේ සිටින සුපිරි තරු උල්කාපාත මෙන් බිමට කඩා වැටෙනවා. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක්” නිසා මුළු ලෝකයම දෙදරා යනවා. (මතෙව් 24:21) මෙය මොන තරම් භයානක කාලයක් වේවිද!
“අහස” පහව යයි
21. යොහන් දකින දර්ශනයේ ‘අහසට’ හා ‘සෑම කන්දකටම හා දූපතකටම’ සිදු වෙන්නේ කුමක්ද?
21 යොහන් ඊළඟට දකින්නේ මෙයයි. “ලියවිල්ලක් අකුළන්නාක් මෙන් අහස පහව ගියේය. සෑම කන්දක්ම හා දූපතක්ම ඒවා තිබෙන තැන්වලින් ඉවත් කරන ලදි.” (එළිදරව් 6:14) මෙයින් ඇත්ත අහසවත්, කඳු හෝ දූපත්වත් අදහස් කරන්නේ නැති බව නම් පැහැදිලියි. එසේනම් ඒවායින් සංකේතවත් කරන්නේ මොනවාද?
22. ඒදොම්හි ‘පොතක් අකුළන්නාක් මෙන් අකුළනු ලැබූ අහස’ කුමක්ද?
22 “අහස” යන්නෙන් අදහස් කරන දේ තේරුම්ගැනීමට සියලු ජාතීන්ට එරෙහිව යෙහෝවා දෙවිගේ උදහස ගැන කතා කරන මීට සමාන අනාවැකියක් ගැන සලකා බැලීම අපට උපකාරවත් වෙනවා. එය නම් “අහසේ මුළු සේනාව ක්ෂය වී අහස අකුළන පොතක් මෙන් ඇකිළෙන්නේය” යන්නයි. (යෙසායා 34:4) මෙය පැවසුවේ ඒදොම්ට විරුද්ධවයි. ඒ ජාතිය විනාශයට සුදුසුයි. බැබිලෝනිය ජාතිකයන් ඒදොම්ව විනාශ කළේ ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කිරීමෙන් අනතුරුවයි. ඒ කාලයේදී ස්වාභාවික අහසේ කිසිම විශේෂ සිද්ධියක් සිදු වූ බවට වාර්තා වෙන්නේ නැහැ. නමුත් ඒදොම්ගේ “අහස” එනම් ඇයව පාලනය කළ ආණ්ඩු කඩා වැටුණා.e (යෙසායා 34:5) හරියටම පරණ ලියවිල්ලක් අකුළා ඉවත දමන්නාක් සේ ඒ පාලනය ‘අකුළා’ ඉවත් කරනු ලැබුවා.
23. ‘ලියවිල්ලක් අකුළන්නාක් මෙන් පහව යන අහස’ කුමක්ද? පේතෘස්ගේ වචනවලින් මෙය සනාථ වෙන්නේ කෙසේද?
23 මේ අනුව ‘ලියවිල්ලක් අකුළන්නාක් මෙන් පහව යන අහස’ කියන්නේ දෙවිට එරෙහිව සිටින මේ පොළොවේ ආණ්ඩු බව පැහැදිලියි. මේ සියලු ආණ්ඩු සදහටම ඉවත් කරනු ලබන්නේ සුදු අශ්වයා පිට සිටින ජයග්‍රාහී අසරුවා විසිනුයි. (එළිදරව් 19:11-16, 19-21) ඒ කාරණය පේතෘස් සනාථ කරන්නේ මෙලෙසයි. “දැන් තිබෙන අහසත් පොළොවත්, ගින්නෙන් දවාලීම සඳහාත් විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස සඳහාත් තබා තිබේ.” (2 පේතෘස් 3:7) පේතෘස් කී දේ හයවන මුද්‍රාව කැඩීමෙන් පසුව සිදු වන දේටත් සමානයි. නමුත් “සෑම කන්දක්ම හා දූපතක්ම ඒවා තිබෙන තැන්වලින් ඉවත් කරන ලදි” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
24. (අ) බයිබල් අනාවැකිවලට අනුව කඳු සහ දූපත් සෙලවෙන්නේ කිනම් අවස්ථාවේදීද? (ආ) නිනිවය වැටෙන විට, ‘කඳු කම්පා’ වුණේ කෙසේද?
24 බයිබල් අනාවැකිවලට අනුව කඳු සහ දූපත් සෙලවෙන බව සඳහන් වෙන්නේ දේශපාලනික වශයෙන් විශාල පෙරළියක් සිදු වන අවස්ථාවලදීයි. නිදසුනක් වශයෙන් නිනිවය නගරයට එරෙහිව යෙහෝවා දෙවි ගෙනෙන්නට යන විනිශ්චය ගැන කියද්දී අනාගතවක්තෘ නාහුම් ලිව්වේ මෙසේයි. “කඳු ඔහුට භයින් කම්පා වෙති. හෙල් දිය වෙති. ඔහු ඉදිරියෙහි පොළොව එසේය, ලෝකයද එහි වසන සියල්ලෝද කම්පා වෙති.” (නාහුම් 1:5) නිනිවය ක්‍රි.පූ. 632දී බිඳවැටුණු විට සැබෑ කඳු කඩා වැටුණු බවට කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඒ අවස්ථාවේ කන්දක් හා සමානව ශක්තිමත්ව සිටි ලෝක බලයක් වූ නිනිවය හදිසියේම කඩා වැටුණා.—යෙරෙමියා 4:24ද බලන්න.
25. මේ දුෂ්ට සමාජයේ අවසානයේදී “සෑම කන්දක්ම හා දූපතක්ම” ඒවා තිබෙන තැන්වලින් ඉවත් කරනු ලබන්නේ කෙසේද?
25 හයවෙනි මුද්‍රාව කඩන විට යොහන් දකින ‘සෑම කන්දකින්ම හා දූපතකින්ම’ අදහස් වෙන්නේ මිනිස් වර්ගයාට ඉතා ස්ථාවරයයි පෙනෙන දේශපාලන ආණ්ඩු හා ඒවාට සම්බන්ධ සංවිධානයි. ඒවා තිබුණු තැන්වලින් ඉවත් කිරීමට නියමිතයි. එය සිදු වෙද්දී ඒවා කෙරෙහි විශ්වාසය තැබූ අයට මොන තරම් බියක් හා පුදුමයක් ඇති වේවිද! සාතන්ගේ මේ දුෂ්ට ලෝකය සහමුලින්ම ඉවත් කිරීමට මහා භූමිකම්පාව වන යෙහෝවා දෙවිගේ සහ ඔහුගේ පුත්‍රයාගේ උදහසේ මහත් දවස පැමිණ ඇති බවට කොයි කාටත් පැහැදිලි වේවි.
‘අප පිට වැටී අපව සඟවාගන්න’
26. දෙවිගේ පාලනයට විරුද්ධ වන මිනිසුන් භයෙන් ක්‍රියා කරන්නේ කෙසේද? අධික භයෙන් සිටින ඔවුන්ගේ මුවින් පිට වන වචන මොනවාද?
26 යොහන් තවදුරටත් මෙසේ කියනවා. “පොළොවේ රජවරුද උසස් නිලධාරීහුද සේනාධිපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද සියලු නිර්දාසයෝද ගුහාවලත් කඳුවල පර්වතවලත් සැඟවුණෝය. ඔවුහු කඳුවලටත් පර්වතවලටත් මෙසේ කීවෝය: ‘අප පිට වැටී, සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ මුහුණ ඉදිරියෙන්ද බැටළු පැටවාගේ උදහසින්ද අපව සඟවාගන්න. මන්ද ඔවුන්ගේ උදහසේ මහත් දවස ඇවිත් තිබේ. ඊට මුහුණ දිය හැක්කේ කාටද?’”—එළිදරව් 6:15-17.
27. සමාරියේ අකීකරු වූ ඊශ්‍රායෙල්වරුන් මොරගැසුවේ කුමක් කියමින්ද? මෙම වචන ඉටු වුණේ කෙසේද?
27 උතුරු ඊශ්‍රායෙල් රාජ්‍යයේ අගනුවර වූ සමාරියට එරෙහිව යෙහෝවා දෙවිගේ විනිශ්චය ගැන අනාවැකි පළ කරන විට හොෂෙයා මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල්ගේ පාපය වූ ආවෙන්හි උස් තැන්ද නාස්ති කරනු ලබන්නේය. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසන පිට හටගන්නේය. ඔවුහු කඳුවලට කතා කොට: අප වසාගන්න. හෙල්වලට: අප පිට වැටෙන්නයයි කියන්නෝය.” (හොෂෙයා 10:8) මේ අනාවැකිය ඉටු වුණේ ක්‍රි.පූ. 740දී සමාරිය නුවර කෲර ඇසිරියානුවන් අතට පත් වූ විටයි. එවිට ඊශ්‍රායෙල්වරුන්ට පලා දුවන්න කිසිම තැනක් තිබුණේ නැහැ. හොෂෙයාගේ වචනවලින් මනාව විස්තර කරන්නේ පරාජය වන සෙනඟක් කොතරම් භය වෙනවාද කොතරම් අන්ත අසරණ තත්වයකට පත් වෙනවාද කියායි. අතීතයේදී තමන් සුරක්ෂිතයයි සිතුවත් මේ අවස්ථාවේදී සමාරියේ වැසියන්ගේ සරණ සඳහා සැබෑ කඳුවත් කඳු හා සමාන වූ මිනිස් බලවතුන්වත් සිටියේ නැහැ.
28. (අ) යෙරුසලමේ කාන්තාවන්ට යේසුස් දුන් අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) එය ඉටු වුණේ කෙසේද?
28 යේසුස්ව මරණයට පත් කිරීම සඳහා රෝම සොල්දාදුවන් ඔහුව ගෙන යමින් සිටිද්දී ඔහු යෙරුසලමේ කාන්තාවන්ට මෙසේ පැවසුවා. “‘වඳ ස්ත්‍රීන්ද දරුවන් බිහි නොකළ කුසද කිරි නොදුන් පියයුරුද සන්තෝෂවත්ය!’ කියා මිනිසුන් පවසන දවස් පැමිණෙන්නේය. එකල ඔවුහු කඳුවලට කතා කර, ‘අප පිට වැටෙන්න!’ කියාද, හෙල්වලට, ‘අපව වසාගන්න!’ කියාද පවසන්නෝය.” (ලූක් 23:29, 30) යේසුස් පැවසූ ඒ වචන හොෂෙයා පැවසූ දේට සමාන බව අපි දකිනවා. මෙය ඉටු වුණේ ක්‍රි.ව. 70දීයි. එදා යෙරුසලම රෝමවරුන් විසින් විනාශ කළ බවට ඉතිහාසයේ පැහැදිලිව වාර්තා වී තිබෙනවා. එදා යූදා දේශයේ සිටි යුදෙව්වන්ට සැඟවෙන්න කිසිම තැනක් තිබුණේ නැහැ. යෙරුසලමේ කොහේ සැඟවීමට උත්සාහ කළත්, මසාඩා කඳු මුදුනේ පිහිටි බලකොටුවට පලා ගියත් යෙහෝවා දෙවි ගෙනා ඒ විනිශ්චයෙන් බේරීමට ඔවුන්ට හැකිකම ලැබුණේ නැහැ.
29. (අ) යෙහෝවා දෙවිගේ උදහස් දවස පැමිණෙන විට, මේ දුෂ්ට සමාජයට ළැදිව සිටින අයට සිදු වෙන්නේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවි සිය උදහස ප්‍රකාශ කරන විට යේසුස් දුන් කිනම් අනාවැකිය ඉටු වේවිද?
29 යෙහෝවා දෙවිගේ උදහස් දවසේදී ඒ හා සමාන දෙයක් සිදු වෙනවා. හයවන මුද්‍රාව කඩද්දී අප දකින්නේ එයයි. සාතන්ගේ මුළු දුෂ්ට ලෝකයම අවසන් වරට දෙදරා යද්දී එයට ළැදිව සිටින අය සැඟවෙන්න කොතරම් හෙව්වත් ඔවුන්ට සැඟවෙන්න කිසිම තැනක් සම්බ වෙන්නේ නැහැ. මහා බැබිලෝනිය ඒ වන විටත් විනාශ වී අවසන්. පොළොවේ ඇති සැබෑ කඳුවලටවත්, ගල් ගුහාවලටවත් මේ ලෝකයේ කඳු මෙන් තිබෙන දේශපාලනික හා ව්‍යාපාරික සංවිධානවලටවත් කිසිම ආකාරයක ආරක්ෂාවක් සපයන්න බැරි වෙනවා. යෙහෝවා දෙවිගේ උදහසින් සැඟවෙන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ට දැනෙන භීතිය ගැන යේසුස් විස්තර කළේ මේ විදිහටයි. “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් පපුවට ගසාගන්නෝය. බලයෙන්ද මහත් තේජසින්ද යුක්තව අහසේ වලාකුළු පිට මනුෂ්‍ය පුත්‍රයා එනවා ඔවුහු දකින්නෝය.”—මතෙව් 24:30.
30. (අ) “ඊට මුහුණ දිය හැක්කේ කාටද” යන ප්‍රශ්නයෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවිගේ විනිශ්චයට මුහුණ දෙන්න කිසිම කෙනෙකුට බැරි වෙයිද?
30 සුදු අශ්වයා පිට සිටින ජයග්‍රාහී අසරුවාගේ බලතල හා අධිකාරය පිළි නොගන්නා අයට මහත් භීතියකට මුහුණ දෙන්න සිදු වෙනවා. තමන්ගේම කැමැත්තෙන් සාතන්ගේ වංශයට අයත් කෙනෙක් වෙන්න තීරණය කළ සෑම කෙනෙකුම සාතන්ගේ දුෂ්ට ලෝකය සමඟම විනාශ වී යනවා. (උත්පත්ති 3:15; 1 යොහන් 2:17) ඒ කාලයේ සිදු වන විනාශය කොතරම් දරුණුද කියනවා නම් “ඊට මුහුණ දිය හැක්කේ කාටද” යන ප්රශ්නය බොහෝදෙනෙකුගේ සිත්වල ඉස්මතු වෙනවා. ඔවුන් සිතන්නේ කිසිම කෙනෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්න බැරි වෙන බවයි. නමුත් ඔවුන් සිතන දේ වැරදියි. එළිදරව් පොත අපට ඊළඟට පැහැදිලි කරන්නේ මේ කාරණයයි.
[පාදසටහන්වල]
a ස්වාභාවික භූමිකම්පා සිදුවීමට පෙර, බොහෝවිට ඇති වන භූ කම්පන නිසා බල්ලන් බුරනවා, නැත්නම් උන් අමුතු විදිහට හැසිරෙනවා. වෙනත් සතුන් හා මත්ස්‍යයන්ද කලබල වෙනවා. නමුත් සතුන්ට දැනෙන දේ මිනිසුන්ට දැනෙන්නේ නැහැ.—Awake! July 8, 1982, page 14.
b වැඩි විස්තර සඳහා 22 සහ 24වන පිටු බලන්න.
c වර්ෂ 1895 සිට 1931 දක්වා වසර 35කට වඩා වැඩි කාලයක් පුරා ඉංග්‍රීසි මුරටැඹ සඟරාවේ පිට කවරයෙහි ලූක් 21:25, 28, 31හි වචන උපුටා දක්වා තිබුණා. එහි පසුබිම වශයෙන් ප්රචණ්ඩ මුහුදක් ඉහළින් නැඟෙන කුණාටු සහිත අහස ආලෝකවත් කරන ප්රදීපාගාරයක චිත්‍රයක් තිබුණා.
d උදාහරණයකට 1931දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය පිළිබඳව පළ කළ පොත් පිංචයක පිටපත් දහස් ගණනක් ලොව පුරා සිටින පූජකයන්ට, දේශපාලනඥයන්ට හා ව්‍යාපාරිකයන්ට බෙදාහැරියා. එහි මාතෘකාව ලෝකයේ එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය යන්නයි.—සිංහලෙන් නැත.
e “අහස” යන වචනය ඒ හා සමාන අර්ථයකින් යෙසායා 65:17, 18හි සඳහන් වෙනවා. (පැරණි අනුවාදය) යුදෙව්වරුන් බැබිලෝනියේ වහල්කමින් නිදහස් වී පොරොන්දු දේශයේ නැවත පදිංචි වූ විට ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් සහ උත්තම පූජක යෙෂුවා ඇතුළත් අලුත් පාලනය විස්තර කිරීමට “අහස” භාවිත කළා. මෙම බයිබල් පදය ඉදිරියේ පැමිණෙන දේවපාලනයටත් අදාළ වෙනවා.—2 ලේකම් 36:23; එස්රා 5:1, 2; යෙසායා 44:28.
[105වන පිටුවේ කොටුව⁄පින්තූරය]
1914 පිළිබඳව පළ වූ අනාවැකි
“පොළොව මත දෙවිගේ පාලනය අවසන් වූයේ ක්‍රි.පූ. 606දීයි. කිරීටය ගලවා දමනු ලැබූ අතර, මුළු පොළොවම අන්‍යජාතීන්ට දෙනු ලැබුවා. ක්‍රිස්තු පූර්ව 606 සිට අවුරුදු 2,520 අවසන් වෙන්නේ ක්‍රි.ව. 1914දීයි.”f—The Three Worlds 83වන පිටුව; පළ කළේ 1877දීයි.
“‘ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්’ අවුරුදු 2,520ක් බවත්, ඒවා ක්‍රි.පූ. 606 සිට ක්‍රි.ව. 1914 දක්වා දිවෙන බවත් බයිබලයෙන් පැහැදිලි සාක්ෂි සොයාගන්න පුළුවන්.”—Studies in the Scriptures, Volume 2, 79වන පිටුව; සී.ටී. රසල් විසින් 1889හි ලියනු ලැබුවා.
ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් 1914දී අවසන් වන බව චාල්ස් ටේස් රසල් සහ ඔහු සමඟ බයිබලය අධ්‍යයනය කළ අය දශක ගණනාවකට කලින් තේරුම්ගත්තා. (ලූක් 21:24) වර්ෂ 1914දී හරියටම සිදු වන දේ ඔවුන් සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන නොසිටියත්, මේ වසර ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් වසරක් වන බව නම් ඔවුන් නිවැරදිව වටහාගත්තා. මේ පිළිබඳව පුවත්පතක පළ වූ දේ සලකා බලන්න:
“යුරෝපයේ හටගෙන ඇති භයානක යුදමය වාතාවරණය මගින් ඉතා පුදුම දනවන අනාවැකියක් ඉටු වී තිබෙනවා. පසුගිය වසර 25 පුරා ‘ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්’ තම දේශනා සේවය තුළින් සහ පළ කර ඇති පොත් පත් තුළින් පවසා සිටියේ බයිබලයේ සඳහන් කර තිබූ උදහස් දවස 1914දී උදා වන බවයි. දසත පුරා මෙම පණිවුඩය දේශනා කළ දහස් ගණනක් පවසමින් සිටියේ ‘1914 ගැන සෝදිසියෙන් සිටින්න’ කියායි.—The World, 1914 අගෝස්තු 30, නිව් යෝක් නුවරේ පළ වූ පුවත්පතක්.
[පාදසටහන]
f බයිබල් ශිෂ්‍යයන් සිතුවේ ක්‍රි.පූ. 1 සහ ක්‍රි.ව. 1 අතර අතරමැදි “බින්දුවේ” වර්ෂයක් තිබෙන බවයි. ඒ වගේම ඔවුන් කාලවල් සතේ ආරම්භක වසර ලෙස තෝරාගත්තේ ක්‍රි.පූ. 606යි. නමුත් පසුව ඔවුන් අමතර පර්යේෂණ කළ නිසා ආරම්භක වසර ක්‍රි.පූ. 606 නොව ක්‍රි.පූ. 607 බව වටහාගත් අතර අතරමැදි වර්ෂයක් නැති බවත් තේරුම්ගත්තා. ඒ වුණත් අවසන් වසර වන ක්‍රි.ව. 1914හි කිසි වෙනසක් වුණේ නැහැ.—යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොතක් වන “සත්‍යය ඔබ නිදහස් කෙරේ” වබයන පොතේ 246වන පිටුව බලන්න.
[106වන පිටුවේ කොටුව]
1914—ලොව වෙනස් කළ වසර
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරේ 1987දී පළ වූ පොතක 40වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා:
“ලෝකය දියුණු වන බවට 19වන සියවසේ විසූ පරම්පරාවේ විශ්වාසයට 1914දී ප්‍රබල පහරක් එල්ල වුණා. පළමු ලෝක මහා යුද්ධය ආරම්භ වෙන්න කලින් වසරේදී ඩෙන්මාර්කයේ ඉතිහාසඥයෙකු හා දේශපාලනඥයෙකු වූ පේටර් මුන්ච් මෙසේ අදහස් පළ කළා. ‘යුරෝපයේ බලවත් රාජ්‍යවල් අතර යුද්ධයක් ඇති වෙයි කියා කොහොමටවත් හිතන්න බැහැ. “යුද්ධ බියත්” නැති වෙලාම යයි. මේ බවට සාක්ෂි අප 1871 සිට නැවත නැවතත් දැක තිබෙනවා.’
“නමුත් පසුව ඔහු ලියූ දේවල අපි මෙවැනි අදහස් දකිනවා. ‘වර්ෂ 1914න් පටන්ගත් යුද්ධය නිසා මුළු ලෝකයම දෙදරා ගියා. කලින් මිනිසුන් ගමන් කරමින් සිටියේ ප්‍රගතියක් හා සුරක්ෂිතභාවයක් අපේක්ෂා කරන්න පුළුවන් යුගයක් කරායි. නමුත් ඔවුන් එක් වරම ඇතුල් වුණේ මහා විපත්ති, භීෂණ, වෛරය හා අනාරක්ෂිතබව හාත්පසින්ම පැතිර ඇති යුගයකටයි. එදා අපව වෙළාගත් අන්ධකාරය නිසා අවුරුදු දහස් ගණනක් පුරා අප ගොඩනඟාගත් සමාජීය සැලැස්ම සදහටම බිඳ වැටී ඇද්ද කියා කිසිවෙකුට කියන්න බැහැ. අප මෙයින් ගොඩ එයිද කියා තවමත් කියන්න බැහැ.’”—Politikens Verdenshistorie—Historiens Magt og Mening (පොලිටිකෙන්ගේ ලෝක ඉතිහාසය—ඉතිහාසය අපට බලපාන අයුරු)
[110වන පිටුවේ පින්තූරය]
‘සෑම කන්දක්ම ඒවා තිබෙන තැන්වලින් ඉවත් කරන ලදි’
[111වන පිටුවේ පින්තූරය]
ඔවුහු ගුහාවල සැඟවුණෝය