පරිච්ඡේදය 29
ජයග්‍රාහී අලුත් ගීතිකාව ගායනා කිරීම
දර්ශනය 9—එළිදරව් 14:1-20
සිදු වන දේ: 1,44,000දෙනා බැටළු පැටවා සමඟ සියොන් කන්දේ සිටීම. දේවදූතයන් ලොව පුරා පණිවුඩ ප්‍රකාශ කිරීම. අස්වැන්න නෙළනු ලැබීම
ඉටු වන කාලය: 1914 සිට මහත් පීඩාව දක්වා
1. අපි දැනටමත් එළිදරව් 7, 12 සහ 13වන පරිච්ඡේදවලින් ඉගෙනගෙන තිබෙන්නේ මොනවාද? අපි දැන් සලකා බලන්න යන්නේ කුමක්ද?
යොහන් ඊළඟට දකින දර්ශනයට දැන් අපි අවධානය දෙමු. මෙම දර්ශනයෙන් අපි දකින්නේ මෘගයන් හා සමාන සාතන්ගේ යක්ෂාකාර සංවිධාන ගැන නම් නෙවෙයි. අප මෙහි දකින්නේ යෙහෝවා දෙවිගේ පක්ෂපාත සේවකයන් හා ස්වාමීන්ගේ දවසේදී ඔවුන් සේවය කරන ආකාරය ගැනයි. මොන තරම් සතුටක්ද! (එළිදරව් 1:10) මෙම අභිෂේක ලත් 1,44,000දෙනාට අයත් සියලුදෙනා මුද්‍රා කරන තෙක් සතරදිග සුළං අල්ලාගෙන සිටින බව අපි දැනටමත් එළිදරව් 7:1, 3න් තේරුම්ගත්තා. මේ කාලයේදී මෙම “[ස්ත්‍රියගේ] වංශයේ ඉතිරි අය” මකරා හෙවත් සාතන්ගේ විශේෂ ඉලක්කයක් වී තිබෙන බවත් එළිදරව් 12:17න් අප දුටුවා. මීට අමතරව යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට දරුණු පීඩා ඇති කිරීමට සාතන් තමන් යටතේ පවතින පොළොවේ පාලන ක්‍රම යොදාගන්නා ආකාරය එළිදරව් 13වන පරිච්ඡේදයෙහි විස්තර කර තිබුණා. සාතන් මොනවා කළත් දෙවි අරමුණු කර ඇති දේ නම් ඔහුට වෙනස් කරන්න බැහැ. අප දැන් සලකා බලන්න යන්නේ සාතන්ගේ මෙම දුෂ්ට ක්‍රියා මැද වුණත් 1,44,000දෙනාව සම්පූර්ණයෙන්ම එකතු කරනු ලබන ආකාරය ගැනයි.
2. එළිදරව් 14:1න් අපට දැනගන්න ලැබෙන්නේ ඉදිරියේ සිදු වන කුමන ප්‍රීතිමත් අවස්ථාව ගැනද? බැටළු පැටවා කියන්නේ කාටද?
2 ඉදිරියේදී සිදු වන ඒ ප්‍රීතිමත් අවස්ථාව කලින් දැකගන්න යොහන්ටත් දැන් සිටින යොහන් පන්තියටත් අවස්ථාව ලැබෙනවා. “බලන්න! බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටිනවා මම දුටිමි. එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙකු ඔහු සමඟ සිටිනවාත් මම දුටිමි. ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල් මත ලියා තිබුණේය.” (එළිදරව් 14:1) අප කලින් දුටු ආකාරයට මේ බැටළු පැටවා කියන්නේ සාතන්ව සහ භූතයන්ව ස්වර්ගයෙන් පලවාහැරිය මිකායෙල්ටයි. දානියෙල් පැහැදිලි කළේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට “නැඟී” සිටින්න සූදානම් වී සිටින මිකායෙල් දැන් “[දෙවිගේ] සෙනඟගේ පුත්‍රයන් වෙනුවෙන් නැඟී සිටින” බවයි. (දානියෙල් 12:1, NW; එළිදරව් 12:7, 9) වර්ෂ 1914 සිට දෙවිගේ මෙම බැටළු පැටවා දේවරාජ්‍යයේ රජු ලෙස සියොන් කන්දෙහි සිටගෙන සිටිනවා.
3. බැටළු පැටවා සහ 1,44,000දෙනා “සිටගෙන සිටින” ‘සියොන් කන්දෙන්’ නියෝජනය වෙන්නේ කුමක්ද?
3 මෙවැනි දෙයක් සිදු වන බව යෙහෝවා දෙවි මේ වචනවලින් පැහැදිලි කළා. “මාගේ ශුද්ධ කන්ද වන සියොන්හිදී මා තෝරාගත් තැනැත්තාව රජකමට පත් කළෙමි.” (ගීතාවලිය 2:6, NW; 110:2) මෙහි සඳහන් සියොන් කන්ද දාවිත් රජුගේ පෙළපතේ රජවරුන් පාලනය කළ පුරාණ යෙරුසලම් නුවර පිහිටා තිබුණු කන්ද නම් නෙවෙයි. (1 ලේකම් 11:4-7; 2 ලේකම් 5:2) අප දන්නා පරිදි ක්‍රි.ව. 33දී යේසුස්ගේ මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසු ස්වර්ගයේ පිහිටි ‘සියොන් කන්ද’ මත ‘ජීවමාන දෙවිගේ නුවර වන ස්වර්ගීය යෙරුසලමේ’ අත්තිවාරමේ ප්‍රධාන ගල ලෙස යේසුස්ව පිහිටුවනු ලැබුවා. ‘ස්වර්ගීය යෙරුසලම’ කියන්නේ දේවරාජ්‍යයටයි. එසේනම් ‘සියොන් කන්දෙන්’ නියෝජනය වෙන්නේ දේවරාජ්‍යයේ පාලකයන් වන යේසුස් සහ ඔහුගේ හවුල් උරුමක්කාරයන් ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් ලෙස භුක්ති විඳින උත්කෘෂ්ට තත්වයයි. (හෙබ්‍රෙව් 12:22, 28; එෆීස 3:6) ඔවුන්ට ඒ ප්‍රස්තාව ලබා දෙන්නේ යෙහෝවා දෙවියි. රජවරුන් ලෙස ඔවුන් මෙලෙස තේජසට පත් වෙන්නේ ස්වාමීන්ගේ දවසේදීයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයේ පිහිටි ඒ සියොන් කන්දේ ගොඩනඟන ස්වර්ගීය යෙරුසලමේ “ජීවමාන ගල්” හා සමානයි. ඒ නිසා ඒ කැඳවීම ලැබුණු දා සිට තේජසට පත් යේසුස් ක්‍රිස්තුස් සමඟ ඔහුගේ රාජ්‍යයට හවුල් වෙන්න ඔවුන් මහත් අපේක්ෂාවෙන් සිටිනවා.—1 පේතෘස් 2:4-6; ලූක් 22:28-30; යොහන් 14:2, 3.
4. මෙම 1,44,000දෙනාට අයත් සියලුදෙනා සියොන් කන්දේ සිටගෙන සිටින්නේ කෙසේද?
4 යොහන් මෙහිදී සියොන් කන්ද මත දකින්නේ යේසුස්ව පමණක් නෙවෙයි. ඔහු ස්වර්ගීය රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් 1,44,000දෙනාට අයත් සියලුදෙනාවත් දකිනවා. මෙම දර්ශනය අදාළ වන කාලයේදී 1,44,000දෙනාට අයත් සියලුදෙනාම ස්වර්ගයට ගොස් නැහැ. මන්ද ඒ දර්ශනයේම පසු කොටසක යොහන්ට පවසන්නේ ශුද්ධ තැනැත්තන් 1,44,000දෙනාට අයත් සමහරදෙනෙක් තවමත් පොළොව මත සිටින බවයි. ඔවුන්ට බොහෝ පීඩා විඳදරාගෙන අවසානය දක්වා විශ්වාසවන්තව සිටීමේ අවශ්‍යතාව යොහන්ට පෙන්වා දීමෙන් එය පැහැදිලි වෙනවා. (එළිදරව් 14:12, 13) එසේනම් ඔවුන් සියලුදෙනාම යේසුස් සමඟ සියොන් කන්දේ සිටිනවා යොහන් දකින්නේ කෙසේද?a එයින් අදහස් වෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවේ සාමාජිකයන් ‘සියොන් කන්දක් සහ ජීවමාන දෙවිගේ නුවරක් වන ස්වර්ගීය යෙරුසලමට ළඟා වී සිටින’ බවයි. (හෙබ්‍රෙව් 12:22) ඒ කියන්නේ ඔවුන් සංකේතවත් ආකාරයකින් දැනටමත් යේසුස් තුළ එකට නැඟිටුවා ස්වර්ගීය ස්ථානවල පිහිටුවා ඇති බවයි. පාවුල් පොළොවේ සිටිද්දී මෙම වචන ඔහුටත් අදාළ වුණේ ඒ ආකාරයටයි. (එෆීස 2:5, 6) මීට අමතරව, 1919දී පොළොවේ සිටි අභිෂේක ලත් අයට “මෙතැනට නැඟ එන්න” කියන ආරාධනාවත් ලැබුණා. ඒ අවස්ථාවේදීත් ඔවුන් ‘වලාකුළෙන් ස්වර්ගයට නැඟී ගියේ’ සංකේතවත් ආකාරයකිනුයි. (එළිදරව් 11:12) අප දැන් සලකා බැලූ බයිබල් පදවලින් පැහැදිලි වෙන්නේ 1,44,000දෙනාට අයත් සියලුදෙනාම යේසුස් ක්‍රිස්තුස් සමඟ සියොන් කන්දේ සංකේතවත් ආකාරයකින් සිටින බවයි.
5. මෙම 1,44,000දෙනාගේ නළල්වල ලියා තිබෙන්නේ කාගේ නාමයන්ද? මේ නාමයන්වල වැදගත්කම කුමක්ද?
5 මේ 1,44,000දෙනා අංක 666 නමැති සංකේතවත් සලකුණ ලබා ඇති වන මෘගයාට වන්දනාමාන කරන අයට කිසිම ආකාරයකින්වත් සම්බන්ධ නැහැ. (එළිදරව් 13:15-18) දෙවිට පක්ෂව සිටින මෙම අභිෂේක ලත් අයගේ නළල්වල තිබෙන්නේ දෙවිගේ හා බැටළු පැටවාගේ නාමයන්. යුදෙව්වෙකු වූ යොහන් ඔවුන්ගේ නළල් මත දෙවිගේ නාමය හෙබ්‍රෙව් අකුරුවලින් ( יהוה) දුටු බවට සැකයක් නැහැ.b යේසුස්ගේ පියාණන්ගේ නාමය තම නළල්වල තිබෙනවා කියද්දී මුද්‍රා කරනු ලැබූ මේ අය පැහැදිලිව පෙන්වන්නේ තමන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන බව හා ඔහුගේ සේවකයන් වන බවයි. (එළිදරව් 3:12) තම නළල්වල යේසුස්ගේ නාමය ලියා තිබීමෙන් පැහැදිලි වෙන්නේ තමන් යේසුස්ට අයිති බව ඔවුන් එකහෙළාම පිළිගන්නා බවයි. යේසුස් ඔවුන්ගේ අනාගත ‘ස්වාමිපුරුෂයායි.’ ඔවුන් ස්වර්ගයේ ජීවිතයක් අපේක්ෂාවෙන් දෙවිට සේවය කරන “අලුත් මැවිල්ලක්” වන ඔහුගේ අනාගත ‘මනාලියයි.’ (එෆීස 5:22-24; එළිදරව් 21:2, 9; 2 කොරින්ති 5:17) යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් සමඟ ඔවුන්ට ඇති ඉතා කිට්ටු බැඳීම නිසා ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාවන් හැඩගැසී තිබෙන්නේ දෙවිව හා යේසුස්ව සතුටු කරන ආකාරයටයි.
අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්
6. යොහන්ට ඇසෙන්නේ කුමක්ද? ඔහු ඇසෙන දේ විස්තර කරන්නේ කෙසේද?
6 මෙම තොරතුරුවලට එකඟව යොහන් මෙසේ පවසනවා. “තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක් මට ඇසුණේය. එය, බොහෝ ජල ධාරාවල හඬ මෙන්ද, මහත් ගිගුරුමක හඬ මෙන්ද විය. මට ඇසුණු හඬ, කුඩා වීණා වයන ගායනාකරුවන්ගේ හඬ මෙන් විය. ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද ජීවීන් සතරදෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක් ගායනා කරන්නෝය. නමුත්, පොළොවෙන් මිල දී ගනු ලැබූ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාට මිස වෙන කිසිවෙකුට ඒ ගීතිකාව ඉගෙනගන්න බැරි විය.” (එළිදරව් 14:2, 3) මේ 1,44,000දෙනා එක හඬින් ගයන ගීතයට සවන් දෙන යොහන්ට මහා හඬින් ගලා හැළෙන දියඇල්ලක් සහ ගිගුරුම් හඬ මතක් වීම ගැන අප පුදුම විය යුතු නැහැ. ගයන මේ ගීතය සමඟ ඉතා මියුරු වීණා නාදයක්ද ඇසෙනවා. (ගීතාවලිය 81:2) පොළොවේ සිටින කිසිම ගායක පිරිසකගෙන් මෙතරම් ප්‍රසන්න ගී හඬක් නම් බලාපොරොත්තු විය නොහැකියි.
7. (අ) එළිදරව් 14:3හි සඳහන් අලුත් ගීතිකාව කුමක්ද? (ආ) අපේ කාලයේදී ගීතාවලිය 149:1හි සඳහන් ගීතිකාව අලුත් එකක් වෙන්නේ කෙසේද?
7 මේ “අලුත් ගීතිකාව” කුමක්ද? කලින් එළිදරව් 5:9, 10හි තොරතුරු විස්තර කරද්දී මෙම අලුත් ගීතිකාවෙන් අදහස් කළ දේ පැහැදිලි කරනු ලැබුවා. මෙයට යෙහෝවා දෙවි තම රාජ්‍යය තුළින් කිරීමට අරමුණු කරන දේ හා යේසුස් ක්‍රිස්තුස් තුළින් ‘රාජ්‍යයක් මෙන්ම අපේ දෙවි සඳහා පූජකයන් වීමට’ ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ බිහි කළ ආකාරයද සම්බන්ධයි. එය යෙහෝවා දෙවිට කරන ප්‍රශංසා ගීයක්. එතුළින් යෙහෝවා දෙවි ස්වර්ගීය ඊශ්‍රායෙල් මාර්ගයෙන් කරන අලුත් දේවල් හා ඔවුන් වෙනුවෙන් සිදු කරන අලුත් දේවල් දැනුම් දෙනු ලබනවා. (ගලාති 6:16) මෙම සංකේතවත් ඊශ්‍රායෙල් ජාතියේ සාමාජිකයන් ගීතිකාකරුගේ මේ ආරාධනයට ප්‍රතිචාරය දක්වනවා. “යෙහෝවාට ප්‍රශංසා කරන්න. යෙහෝවාට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඔහුගේ ප්‍රශංසා ගීයද කියන්න. ඊශ්‍රායෙල් තමන් මැවූ දෙවි කෙරෙහි ප්‍රීතිමත් වේවා! සියොන්හි දරුවෝ තමන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත් වෙත්වා!” (ගීතාවලිය 149:1, 2) මේ වචන මීට සියවස් ගණනාවකට පෙර ලියනු ලැබුවත් ඒවා අපේ කාලයේදී ගායනා කරන්නේ එහි නියම අර්ථය තේරුම්ගෙනයි. විසිවන සියවසේ සිදු වූ දේවලින් මෙය පැහැදිලි වෙනවා. දේවරාජ්‍යය උපත ලැබුවේ 1914දීයි. (එළිදරව් 12:10) ඉන් අනතුරුව 1919දී පොළොවේ සිටි යෙහෝවා දෙවිගේ ජනයා ප්‍රාණවත් වී “රාජ්‍යයේ වචනය” නැවතත් උද්යෝගයෙන් දේශනා කරන්න පටන්ගත්තා. (මතෙව් 13:19) වර්ෂ 1919 සඳහා තෝරාගත් වාර්ෂික පදය ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වුණා. (යෙසායා 54:17) යෙහෝවා දෙවි ඔවුන්ට බොහෝ පැතිවලින් ආශීර්වාද කළ නිසා ඔවුන් සංකේතවත් ලෙස සිටියේ පාරාදීසයකයි. ඒ නිසා ඒ අවුරුද්දේ සිට ‘සංගීතය ඇතිව ඔවුන්ගේ හදවතින්ම යෙහෝවා දෙවිට ගී ගයන්න’ පටන්ගත්තා.—එෆීස 5:19.
8. එළිදරව් 14:3හි සඳහන් අලුත් ගීතිකාව ගායනා කරන්න 1,44,000දෙනාට පමණක් හැකි වෙන්නේ ඇයි?
8 එළිදරව් 14:3හි සඳහන් අලුත් ගීතිකාව ගායනා කරන්න 1,44,000දෙනාට පමණක් හැකි වෙන්නේ ඇයි? එයට හේතුව එම ගීතිකාවට ඇතුළත් වී ඇත්තේ දේවරාජ්‍යයේ තෝරාගත් උරුමක්කාරයන් ලෙස ඔවුන් පමණක් අද්දකින දෙයයි. දෙවිගේ පුත්‍රයන් හැටියට භාරගෙන දෙවිගේ බලයෙන් අභිෂේක කර ඇත්තේ ඔවුන්ව පමණයි. ස්වර්ගික රාජ්‍යයේ හවුල්කරුවන් වීමට පොළොවෙන් මිල දී ගෙන ඇත්තේ ඔවුන්ව පමණයි. ඒ වගේම මිනිස් වර්ගයාගේ පව්කාරකම දුරු කර ඔවුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒම සඳහා යේසුස් ක්‍රිස්තුස් හා සමඟ වසර දහසකට ‘පූජකයන් සහ රජවරුන් ලෙස රජකම් කරන්නේ’ ඔවුන් පමණයි. මීට අමතරව දර්ශනය තුළ යෙහෝවා දෙවි ඉදිරියේ “අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්” ගායනා කරන්නෙත් ඔවුන් පමණයි.c ඔවුන් පමණක් භුක්ති විඳින මේ දේවල් නිසාත්, ඔවුන්ට පමණක් තිබෙන අපේක්ෂා නිසාත් දේවරාජ්‍යය ගැන වෙනත් කිසිම කෙනෙකුට නැති අවබෝධයක් හා අගයක් ඔවුන්ට තිබෙනවා. එමනිසා වෙනත් කිසිම කෙනෙකුට ගායනා කරන්න බැරි ආකාරයකින් ඔවුන් මෙම ගීතය ගායනා කරනවා.—එළිදරව් 20:6; කොලොස්සි 1:13; 1 තෙසලෝනික 2:11, 12.
9. අභිෂේක ලත් අයගේ ගායනයට මහත් සමූහයේ අය ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද? ඔවුන් පිළිගෙන තිබෙන්නේ කුමන ඇරයුමද?
9 නමුත් මේ ගායනයට තවත් අය සවන් දී ප්‍රතිචාරය දක්වනවා. වර්ෂ 1935 සිට දිනෙන් දින වැඩි වන වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයක් අභිෂේක ලත් අය ගයන මෙම ජයග්‍රාහී ගීතිකාවට සවන් දී දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට හවුල් වී සිටිනවා. (යොහන් 10:16; එළිදරව් 7:9) දේවරාජ්‍යයේ අනාගත රජවරුන් ගායනා කරන විදිහටම මෙම අලුත් ගීතිකාව ගායනා කරන්න නම් මේ මහත් සමූහයට බැහැ. නමුත් ඔවුනුත් යෙහෝවා දෙවි තම අරමුණට එකඟව ඉටු කරන අලුත් දේවල් ගැන ප්‍රශංසා කරමින් මහත් හඬකින් දෙවිට ප්‍රශංසා ගී කියනවා. එමගින් ඔවුන් ගීතිකාකරු කළ මේ ඇරයුම පිළිගෙන තිබෙනවා. “යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න. පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න. යෙහෝවා දෙවිට ගී ගයන්න. ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න. ඔහු සලසා දෙන ගැලවීම පිළිබඳ ශුභාරංචිය සැමදා පවසන්න. ඔහුගේ මහිමය ගැන ජාතීන් අතරේද ඔහුගේ පුදුමාකාර ක්‍රියා සියලු මිනිසුන් අතරේද ප්‍රකාශ කරන්න. පොළොවේ සියලු ගෝත්‍රයෙනි, යෙහෝවා දෙවි ගැන කතා කරන්න. යෙහෝවා දෙවිගේ තේජසත් ශක්තියත් ගැන කතා කරන්න. සියලු ජාතීන් අතර මෙසේ පවසන්න: ‘යෙහෝවා දෙවි රජ වී ඇත.’”—ගීතාවලිය 96:1-3, 7, 10, NW; 98:1-9.
10. සංකේතවත් වැඩිමහල්ලන් 24දෙනා “ඉදිරියෙහි” 1,44,000දෙනා ගායනා කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
10 වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය වෙන්නේ 1,44,000දෙනා තමන්ගේ ස්වර්ගික තනතුරුවල සිටින ආකාරය බව ඔබට මතක ඇති. එමනිසා වැඩිමහල්ලන් 24දෙනා “ඉදිරියෙහි” 1,44,000දෙනා ගායනා කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ස්වාමීන්ගේ දවසේ මුලදීම වගේ “ක්‍රිස්තුස් සමඟ එක්සත්ව මැරී සිටින අය” ස්වර්ගයට නැවත නැඟිටුවනු ලැබුවා. මේ නිසා දැනට ජයගෙන සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිටින්නේ ස්වර්ගයේයි. මෙම 1,44,000දෙනාට අයත් සියලුදෙනාම දැනට ස්වර්ගයේ නොසිටියත් වැඩිමහල්ලන් 24දෙනා පූජකයන් වශයෙන් ඉටු කරන කාර්යය ස්වර්ගයේ සිටින අයගෙන් දැනටමත් ඉටු වෙනවා. මේ අනුව 1,44,000දෙනාගෙන් පොළොව මත තවමත් ඉතිරි වී සිටින අය ස්වර්ගයට දැනටමත් නැවත නැඟිටුවා සිටින තම සහෝදරයන් ඉදිරියේ අලුත් ගීතිකාව ගායනා කරනවා කියා පැවසිය හැකියි. එය ඊශ්‍රායෙල් ජාතියේ පූජකයන්ව කණ්ඩායම් 24කට බෙදා දේවමාලිගාවේ ඉටු කළ සේවයට සමානයි. යෙහෝවා දෙවිගේ ස්වර්ගික සංවිධානය පිළිබඳ දර්ශනයට 1,44,000දෙනාව ඇතුළත් කර තිබීමට හේතුව මෙයින් පැහැදිලි වෙනවා.—1 තෙසලෝනික 4:15, 16; 1 ලේකම් 24:1-18; එළිදරව් 4:4, 6:11.
11. අභිෂේක ලත් අයව වැඩිමහල්ලන් 24දෙනෙක් සහ 1,44,000දෙනෙක් යන දෙවිදිහටම විස්තර කර තිබෙන්නේ ඇයි?
11 ලෝකයෙන් ජයගෙන සිටින මේ අභිෂේක ලත් අයව වැඩිමහල්ලන් 24දෙනෙකු ලෙසත් 1,44,000ක් ලෙසත් විස්තර කර තිබෙන්නේ ඇයි? එයට හේතුව මෙම පිරිස එළිදරව් පොතේ පැති දෙකකින් විස්තර කර ඇති නිසයි. වැඩිමහල්ලන් 24දෙනෙක් ලෙස දැක්වීමෙන් යෙහෝවා දෙවිගේ සිංහාසනය වටා ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් ලෙස ඔවුන් හොබවන තනතුරු අවධාරණය කරනු ලබනවා. එයින් විස්තර කරනු ලබන්නේ සියලුම 1,44,000දෙනා ස්වර්ගයේ තමාට හිමි තනතුරු හොබවන ආකාරයයි. දැනට ඒ තනතුරුවල නැත්තේ පොළොව මත සිටින ඔවුන්ගෙන් ස්වල්පදෙනෙක් පමණයි. (එළිදරව් 4:4, 10; 5:5-14; 7:11-13; 11:16-18) නමුත් එළිදරව් 7වන පරිච්ඡේදයේ ඔවුන්ව 1,44,000දෙනෙක් ලෙස විස්තර කර තිබෙන්නේ වෙනම පැත්තක් පෙන්වන්නයි. මෙහිදී ඔවුන් මිනිස් වර්ගයා අතරින් මිලේට ගෙන ඇති ආකාරය කාවද්දනු ලබනවා. මීට අමතරව දෙවි අරමුණු කර ඇති දේ එනම් දෙවිගේ ඊශ්රායෙලයට අයත් අභිෂේක ලත් අය සියලුදෙනාම මුද්‍රා කර, දේවරාජ්‍යය තුළින් අසංඛ්‍යාත මහත් සමූහයකට ගැලවීම ලබා දීමත් එයින් අවධාරණය කරනු ලබනවා. මෙම 1,44,000දෙනා ගැන තවත් විස්තර එළිදරව් 14වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එහිදී ඔවුන්ව විස්තර කර තිබෙන්නේ බැටළු පැටවා සමඟ සියොන් කන්දේ සිටින පිරිසක් ලෙසයි. එයින් අවධාරණය කරන්නේ ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින ජයග්‍රාහී පුද්ගලයන් පිරිසක් බවයි. මෙම 1,44,000දෙනාට අයත් වන අයට තිබිය යුතු සුදුසුකම්ද පැහැදිලි කර තිබෙනවා. ඒවා ගැන දැන් සලකා බලමු.d
බැටළු පැටවාගේ අනුගාමිකයෝ
12. (අ) යොහන් 1,44,000දෙනා ගැන ලබා දෙන්නේ තවත් මොන වගේ විස්තරද? (ආ) මෙම 1,44,000දෙනා “ස්ත්‍රීන්ගෙන් තමුන්ව දූෂ්‍ය කර නොගත් අය” ලෙස පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
12 “පොළොවෙන් මිල දී ගනු ලැබූ” මෙම 1,44,000දෙනා ගැන තවත් විස්තර සපයමින් යොහන් මෙසේ පවසනවා. “මොවුහු, ස්ත්‍රීන්ගෙන් තමුන්ව දූෂ්‍ය කර නොගත් අයය. ඇත්තෙන්ම, ඔවුහු නිර්මලය. බැටළු පැටවා කොතැනකට ගියත් නොකඩවා ඔහු පසුපස යන්නෝ මොවුහුය. මිනිසුන් අතරින්, දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල වශයෙන් මොවුන්ව මිල දී ගන්නා ලදි. ඔවුන්ගේ මුඛයෙහි කිසි බොරුවක් සම්බ වුණේද නැත. ඔවුහු නිකැළැල්ව සිටිති.” (එළිදරව් 14:4, 5) මෙම 1,44,000දෙනා “ස්ත්‍රීන්ගෙන් තමුන්ව දූෂ්‍ය කර නොගත් අය” කියා කීමෙන් ඔවුන් විවාහ නොවූ අය විය යුතුයි කියා අදහස් වෙන්නේ නැහැ. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලියූ පාවුල් පැවසුවේ තනිකඩව සිටීමෙන් යම් වාසි තිබෙන බවයි. නමුත් ඔහු ඒ වගේම පැවසුවේ ඇතැම් අවස්ථාවලදී විවාහ වීම වඩාත් සුදුසු බවයි. (1 කොරින්ති 7:1, 2, 36, 37) මෙයින් පැහැදිලි වෙන්නේ ඔවුන් විවාහ නොවී සිටින්නේ සංකේතවත් ආකාරයකින් බවයි. ඔවුන් තමුන්ව දූෂ්‍ය කර නොගෙන සිටින්නේ දේශපාලනයට හා අසත්‍ය උගන්වන ආගම්වලට කිසිම ආකාරයකින් සම්බන්ධ නොවීමෙනුයි. (යාකොබ් 4:4; එළිදරව් 17:5) යේසුස් සමඟ විවාහ වීමට ගිවිසගෙන සිටින මනාලිය ලෙස ඔවුන් “වංක, නොමඟ ගිය පරම්පරාවක් අතරේ නිර්දෝෂව” ජීවත් වී සිටිනවා.—ෆිලිප්පි 2:15.
13. මෙම 1,44,000දෙනා යේසුස් ක්‍රිස්තුස්ට ගැළපෙන මනාලියක් වෙන්නේ කෙසේද? ඔවුන් ‘බැටළු පැටවා කොතැනකට ගියත් ඔහු පසුපස යන්නේ’ කෙසේද?
13 මීට අමතරව “ඔවුන්ගේ මුඛයෙහි කිසි බොරුවක් සම්බ වුණේද නැත.” මෙහිදී ඔවුන් සමාන වෙන්නේ ඔවුන්ගේ රජ වන යේසුස් ක්‍රිස්තුස්ටයි. පරිපූර්ණ මිනිසෙකු ලෙස “ඔහු කිසි පාපයක් නොකළේය. ඔහුගේ මුඛයේ වංචාවක්ද සම්බ වුණේ නැත.” (1 පේතෘස් 2:21, 22) යේසුස් මෙන් මෙම 1,44,000දෙනාද නිර්දෝෂ හා අවංක ජීවිතයක් ගත කරන නිසා ඔවුන්ව යෙහෝවා දෙවිගේ උත්තම පූජකයාගේ නිර්මල මනාලිය ලෙසට සූදානම් කර තිබෙනවා. යේසුස් මේ පොළොව මත සිටිද්දී තමා පසුපස එන ලෙස අවංක සිත් ඇති අයට ආරාධනා කළා. (මාක් 8:34; 10:21; යොහන් 1:43) ඔහුට කන් දුන් අය ඔහුගේ ජීවිත ආදර්ශය අනුකරණය කළ අතර ඔහුගේ ඉගැන්වීම්වලට කීකරු වුණා. ඔවුන් සාතන්ගේ දුෂ්ට ලෝකයේ ජීවත් වන තාක් කල් යේසුස් ලබා දෙන මඟ පෙන්වීම්වලට යටත් වෙමින් ‘බැටළු පැටවා කොතැනකට ගියත් නොකඩවා ඔහු පසුපස යනවා.’
14. (අ) මෙම 1,44,000දෙනා “දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල” වෙන්නේ කෙසේද? (ආ) මහත් සමූහයද පළමු පල වෙන්නේ කෙසේද?
14 මෙම 1,44,000දෙනා “පොළොවෙන් මිල දී ගනු ලැබූ” අයයි. ඔවුන්ව ‘මිනිසුන් අතරින් මිල දී ගෙන’ තිබෙනවා. දෙවි ඔවුන්ව තම පුත්‍රයන් ලෙස භාරගෙන තිබෙන අතර, ඔවුන්ගේ නැවත නැඟිටීමෙන් පසු ඔවුන් තවදුරටත් මිනිස් ජීවිතයක් භුක්ති විඳින්න යන්නේ නැහැ. මෙහි 4වන පදයේ සඳහන් වී ඇති ආකාරයට ඔවුන් “දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල” බවට පත් වෙනවා. පළමු සියවසේදී “සැතපී සිටින අයගෙන් පළමු පල” බවට පත් වුණේ යේසුස්. (1 කොරින්ති 15:20, 23) නමුත් මෙම 1,44,000දෙනා යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අසම්පූර්ණ මිනිස් වර්ගයාගෙන් මිල දී ගත් “පළමු පල විශේෂයක්” හැටියටත් හඳුන්වන්න පුළුවන්. (යාකොබ් 1:18) නමුත් මිනිස් වර්ගයා අතරින් එකතු කරනු ලබන්නේ ඔවුන් පමණක් නෙවෙයි. එළිදරව් පොතේ දැනටමත් පැහැදිලි කර තිබෙන ආකාරයට අසංඛ්‍යාත මහත් සමූහයක්ද එකතු කරනු ලබනවා. ඔවුන් මහත් හඬින් පවසන්නේ “ගැලවීම අපට ලබා දුන්, සිංහාසනය මත ඉඳගෙන සිටින අපේ දෙවිටත් බැටළු පැටවාටත් අපි ණයගැතිව සිටිමු” කියායි. මේ මහත් සමූහය මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අතර ‘ජීවන වතුර ඇති උල්පත්වලින්’ සුවයක් ලබමින් ඔවුන්ගෙන් පව්කාරකම දුරු කර පොළොවේ පරිපූර්ණ මිනිසුන් බවට පත් වෙනවා. මහත් පීඩාවෙන් පසුව යම් කාලයක් ගෙවී ගිය විට මරණය නමැති නින්දෙහි සැතපී සිටින අසංඛ්‍යාත මිනිසුන් ගණනාවක්ද නැවත නැඟිටුවනු ලබනවා. ඔවුන්ටත් ජීවන වතුර ඇති උල්පත්වලින් බීමට අවස්ථාව ලැබෙනවා. මෙවැනි තොරතුරු සලකා බලද්දී මහත් පීඩාවෙන් බේරෙන මහත් සමූහය වෙනත් බැටළුවන්ගේ පළමු පල හැටියට හැඳින්වීම නිවැරදියි. ‘තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගත්තාවූ’ මුල්ම අය ඔවුනුයි. ඔවුන්ගේ බලාපොරොත්තුව පොළොව මත සදාකල් ජීවත් වීමයි.—එළිදරව් 7:9, 10, 14, 17; 20:12, 13.
15. පළමු පල තුන හා මෝසෙස්ගේ නීතිය යටතේ පැවැත්වූ මංගල්‍යයන් අතර ඇති සමානකම් මොනවාද?
15 මෙම පළමු පල තුන එනම් යේසුස් ක්‍රිස්තුස්, 1,44,000 සහ මහත් සමූහය ගැන කතා කරද්දී අපට මෝසෙස්ගේ නීතිය යටතේ පුරාණ ඊශ්‍රායෙලයේ පැවැත්වූ මංගල්‍ය කිහිපයක් මතක් වෙනවා. මුහුන් නුමුසු රොටි මංගල්‍යය පැවැත්වූ නීසාන් මාසයේ 16වනදා, තිරිඟු අස්වැන්නේ පළමු පලවලින් මිටියක් යෙහෝවා දෙවිට ඔප්පු කරනු ලැබුවා. (ලෙවී කතාව 23:6-14) යේසුස්ව නැවත නැඟිටුවනු ලැබුවේ නීසාන් මාසයේ 16වෙනිදායි. නීසාන් මාසයේ 16වෙනිදායින් දවස් 50කට පසුව එනම් තුන්වන මාසයේදී, ඊශ්‍රායෙල්වරු තිරිඟු වගාවේ පළමු පල නෙළන කාලයේදී අස්වැන්න නෙළීමේ මංගල්‍යය පැවැත්වුවා. (නික්මයාම 23:16; ලෙවී කතාව 23:15, 16) මෙම මංගල්‍යයට පසුව පෙන්තකොස්ත මංගල්‍යය යන නම ලැබුණා. (“පෙන්තකොස්ත” යන ග්‍රීක වචනයේ තේරුම “පනස්වෙනි” යන්නයි.) අභිෂේක ලත් 1,44,000දෙනාගේ මුල්ම සාමාජිකයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කළේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනේදීයි. එනම් යේසුස්ගේ නැවත නැඟිටීමෙන් දින 50කට පසුවයි. තුන්වෙනි මංගල්‍යය නම් මුළු අස්වැන්න එකතු කරනු ලැබූ සත්වන මාසයේදී පැවැත්වූ කූඩාරම් මංගල්‍යයයි. ඒ කාලයේදී සියලුම ඊශ්‍රායෙල්වරුන් සතියකට තල් අතුවලින් සාදා තිබුණු කූඩාරම්වල ජීවත් වූ අතර, ඔවුන් ඉතා ප්‍රීතියෙන් දෙවිට ස්තුති ප්‍රශංසා කළා. (ලෙවී කතාව 23:33-43) ඒ හා සමානව මහා පරිමාණයෙන් එක් රැස් කරනු ලබන මුළු මහත් සමූහය සිංහාසනය ඉදිරියේ “ඔවුන් අත තාල පත්‍ර” ඇතිව ප්‍රීතියෙන් දෙවිට ස්තුතිය පුද කරනවා.—එළිදරව් 7:9.
සදාකාල ශුභාරංචි ප්‍රකාශ කිරීම
16, 17. (අ) යොහන් දකින විදිහට දේවදූතයා පියාසර කරන්නේ කොහේද? දේවදූතයා ප්‍රකාශ කරන්නේ කුමක්ද? (ආ) දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ කාර්යයට හවුල් වී සිටින්නේ කවුද? මෙය තහවුරු වෙන්නේ කුමන අද්දැකීම්වලින්ද?
16 යොහන් ඊළඟට සඳහන් කරන්නේ මෙසේයි. “මම තවත් දේවදූතයෙකු දුටිමි. අහස මැද පියාසර කරමින් සිටි ඔහුට, පොළොවේ වාසය කරන අයටත්, සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් තිබිණ. ඔහු මහත් හඬකින් මෙසේ කියන්නේය: ‘දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ. එබැවින්, අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාට නමස්කාර කරන්න.’” (එළිදරව් 14:6, 7) මෙම දේවදූතයා පියාසර කරන්නේ කුරුල්ලන් ඉගිලෙන ‘අහස මැදයි.’ (එළිදරව් 19:17ද බලන්න.) මේ නිසා ඔහුගේ හඬ ලොව පුරාම සිටින අයට අසන්න ලැබෙනවා. ඒ හඬ ඉතා දියුණු රූපවාහිනි නාලිකාවකින් දසත පුරා විහිදුවන වැඩසටහන්වලට වඩා පුළුල්ව පොළොව පුරාම ඇසෙනවා.
17 මේ පණිවුඩයෙන් හැමෝටම දැනුම් දෙන්නේ වන මෘගයාට සහ ඔහුගේ රූපයට නොව යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න කියායි. සාතන් පාලනය කරන ඕනෑම සංකේතමය මෘගයෙකුට වඩා දෙවි කොතරම් බලගතුද! අහස සහ පොළොව නිර්මාණය කළේ යෙහෝවා දෙවියි. ඔහුට ගරුබිය දැක්වීම සුදුසුයි. දැන් දෙවිට මේ පොළොව විනිශ්චය කිරීමට කාලය පැමිණ තිබෙනවා! (උත්පත්ති 1:1ද, එළිදරව් 11:18ද බලන්න.) යේසුස් මිහිපිට සිටියදී අපගේ කාලයේ සිදු වන දේ ගැන මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මේ පැවරුම ඉටු කරමින් සිටින්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවයි. (1 කොරින්ති 9:16; එෆීස 6:15) නමුත් මෙම දේශනා සේවයට දේවදූතයන්ද ඇතුළත් බව එළිදරව් පොතේ පැහැදිලි කරනවා. උදාහරණයකට අවස්ථා කිහිපයකම සිදු වී ඇති දෙයක් සලකා බලමු. සමහරුන් දැඩි වේදනාවකින් සිටි අවස්ථාවක හෝ සමහරවිට උපකාර ඉල්ලා යාච්ඤා කරමින් සිටි අවස්ථාවක ඔවුන්ගේ නිවසට යෙහෝවාගේ සාක්ෂිකරුවන් පැමිණ තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන සේවයට දේවදූතයන්ගේ මඟ පෙන්වීම අනිවාර්යයෙන් ලැබෙන බවයි.
18. අහස මැද පියාසර කරන දේවදූතයා පවසන විදිහට පැමිණ තිබෙන්නේ කුමන පැයද? තවත් පණිවුඩ ප්‍රකාශ කරන්නේ කවුරුන්ද?
18 අහස මැද පියාසර කරන දේවදූතයා පවසන්නේ විනිශ්චයේ පැය පැමිණ තිබෙන බවයි. දෙවි දෙන්නට යන්නේ කවර විනිශ්චයක්ද? දැන් තවත් දේවදූතයන් සතරදෙනෙක් පිළිවෙළින් ප්‍රකාශ කරන දේ අසන හැමෝම තිගැස්සෙනවාට සැකයක් නැහැ.—යෙරෙමියා 19:3.
[පාදසටහන්වල]
a පළමුවෙනි කොරින්ති 4:8හි පැහැදිලි කර ඇති ආකාරයට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පොළොවේ සිටිද්දී රජවරුන් ලෙස පාලනය කරන්නේ නැහැ. නමුත් එළිදරව් 14:3, 6, 12, 14 සහ එහි අවට පදවලින් පැහැදිලි වන ආකාරයට ඔවුන් අලුත් ගීතිකාව ගායනා කිරීමට හවුල් වෙන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙන් හා තම මරණය දක්වා විශ්වාසවන්තව විඳදරාගැනීමෙනුයි.
b වෙනත් දර්ශනවලද හෙබ්‍රෙව් නාමයන් යොදාගෙන ඇති ආකාරයෙන් මෙය සනාථ වෙනවා. “අබද්දොන්” (“විනාශය” යන අර්ථය) යන හෙබ්‍රෙව් නාමය යේසුස්ට දී තිබෙනවා. “හෙබ්‍රෙව් බසින් හර්–මගෙදොන්” ලෙස හඳුන්වන ස්ථානයේදී ඔහු දෙවිගේ විනිශ්චයන් ඉටු කරන බවත් සඳහන් වෙනවා.—එළිදරව් 9:11; 16:16.
c මෙම පදයේ කියන්නේ ඔවුන් “අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්” ගායනා කරනවා කියායි. ඊට හේතුව මෙම ගීතිකාව අතීතයේත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබුණු නිසයි. නමුත් එය ගායනා කිරීමට සුදුසු කිසිවෙක් සිටියේ නැහැ. දේවරාජ්‍යයේ උපත සහ ශුද්ධ තැනැත්තන්ව නැවත නැඟිටුවීම සිදුවීමත් සමඟ කලින් අනාවැකිවල පැවසූ දේවල් ඉටු වෙන්න පටන්ගත්තා. එමනිසා එම ගීතිකාව ගායනා කිරීමේ උතුම් අවස්ථාව එළඹුණේ එවිටයි.
d මේ හා සමානව විශ්වාසවන්ත නුවණ ඇති දාසයා නියම වේලාවට ගෙයි වැසියන්ට ආහාර ලබා දෙන ආකාරය බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 24:45) දාසයා යන්න භාවිත කරන්නේ සියලුම අභිෂේක ලත් අයව පන්තියක් ලෙස දැක්වීමටයි. නමුත් එම දාසයාට අයත් පුද්ගලයන්ව විස්තර කිරීමට ගෙයි වැසියන් යන වචනය භාවිත වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ එම ආහාරවලින් දාස පන්තියට අයත් සියලුම පුද්ගලයන් පෝෂණයක් ලබන බවයි. දාසයා සහ ගෙයි වැසියන් කියා දෙවිදිහකට කතා කරන්නේ එකම පිරිස ගැනයි.
[202, 203වන පිටුවේ පින්තූර]
1,44,000
වැඩිමහල්ලන් 24දෙනා
බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්ගේ හවුල් උරුමක්කරුවන්ව දෙවිදිහකට විස්තර කර තිබෙනවා