රුධිර ප්‍රවේශන—කොතරම් ආරක්ෂා සහිතද?
යම් බැරෑරුම් වෛද්‍යමය ක්‍රියාමාර්ගයකට තමාව යටත් කරවීමට පෙර, එයින් විය හැකි ප්‍රයෝජන හා අවදානම් ගැන නැණවත් කෙනෙක් සොයා බලනු ඇත. රුධිර ප්‍රවේශන ගැන කුමක් කිව හැකිද? ඒවා දැන් වෛද්‍යකර්මයේ මූලික මෙවලමක්ව පවතී. තම රෝගීන් ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන බොහෝ වෛද්‍යවරුන් රුධිරය දීමට පසුබට නොවන තරම්ය. එය ජීවිතයේ දීමනාව හැටියට හදුන්වනු ලැබ ඇත.
මිලියන සංඛ්‍යාත අය රුධිරය දන්දී ඇත, නැතහොත් එය ලබාගෙන ඇත. වර්ෂ 1986-87 සඳහා මිලියන 25ක ජනගහනයක් සිටි කැනඩාවේ රුධිරය දන් දුන් අයගේ සංඛ්‍යාව මිලියන 1.3ක් විය. “දැනට සංඛ්‍යා ලේඛන ලැබී ඇති වඩාත් මෑත වර්ෂය සඳහා, එක්සත් ජනපදයේ පමණක් ප්රවේශනයන්හි රුධිර ඒකක මිලියන 12ත් 14ත් අතර ප්‍රමාණයක් භාවිතා කරනු ලැබීය.”—1990, පෙබරවාරි 18, ද නිව් යෝක් ටයිම්ස්.
“රුධිරයට සැමවිටම යම් ‘ගුප්ත’ ගුණයක් ආරූඪ කොට ඇත” යයි වෛද්‍ය ලුවීස් ජේ. කීටිං සඳහන් කරයි. “එහි මුල් වසර 46 තුළ, වෛද්‍යවරුන් හා පොදු ජනයා යන දෙපිරිසම විසින්, රුධිර සැපයුම, එය සැබවින්ම තිබූ පමණට වඩා ආරක්ෂා සහිත යයි තේරුම් ගෙන තිබුණි.” (ක්ලීව්ලන්ඩ් ක්ලිනික් ජර්නල් ඔෆ් මෙඩිසින්, 1989 මැයි) එවිට තත්ත්වය කුමක්වීද, තවද දැන් එය කෙසේ පවතීද?
දැනට වසර 30කට පෙර පවා, ව්යාධිවේදීන්ටත් රුධිර බැංකු නිලධාරීන්ටත් මෙසේ අවවාද කරනු ලැබීය: “රුධිරය ඩයිනමයිට් වාගෙයි! ඊට මහත් යහපතක් හෝ මහත් විපතක් කළ හැකිය. රුධිරය ගැනීමෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව නිර්වින්දක ඖෂධ දීමේදී හෝ ශල්‍යකර්මයෙන් අනුබද්ධය ඉවත් කිරීමේදී හෝ සිදුවිය හැකි මරණ සංඛ්‍යාවට සමානය. එක්දහස සිට 3,000 දක්වා, නැතහොත් ඇතැම්විට 5,000 දක්වා ප්රවේශනවලදී, දළ වශයෙන් එක් මරණයක් සිදුවන බව පැවසේ. ලන්ඩන් ප්‍රදේශයේ ප්‍රවේශනය කරන ලද සෑම රුධිර බෝතල් 13,000කටම එක් මරණයක් සිදුවී ඇති බව වාර්තා වේ.”—1960, ජනවාරි 15, නිව් යෝක් ස්ටේට් ජර්නල් ඔෆ් මෙඩිසින්.
දැන් ප්‍රවේශන ආරක්ෂා සහිත වනු පිණිස පෙර තිබූ අන්තරා ඉවත් කරනු ලැබ තිබේද? ඇත්තවශයෙන්ම, සෑම වසරක් පාසාම සිය දහස් ගණන් අය රුධිරයට අහිතකරව ප්‍රතික්‍රියා කරන අතර, බොහෝ දෙනෙක් මිය යති. ඉහත සඳහන් විස්තරවලට අනුව, රුධිරයෙන් හටගන්නා රෝග ඔබගේ මනසට නැගෙන්නට පුළුවන. මෙම අංශය ගැන කරුණු හදාරන්නට පෙර, එතරම් සුප්‍රකට-නොවූ අවදානම් සලකා බලන්න.
රුධිරය හා ඔබගේ ප්‍රතිශක්තිය
විසිවන සියවස මුලදී, විද්‍යාඥයෝ රුධිරයේ පුදුම දනවන සංකීර්ණත්වය පිළිබඳව මනුෂ්‍යයාගේ අවබෝධය වැඩි කළහ. නොයෙක් රුධිර වර්ග ඇති බව ඔවුහු දැන ගත්හ. ප්‍රවේශන දීමේදී රුධිරය දානය කරන තැනැත්තාගේ රුධිරයත් රෝගියාගේ රුධිරයත් ගළපා ගැනීම අත්‍යවශ්‍ය යමකි. A වර්ගයේ රුධිරය ඇති කෙනෙක් B වර්ගයේ රුධිරය ලැබුවොත්, ඔහු තුළ බලවත් රුධිරජාරක ප්‍රතික්‍රියාවක් සිදුවිය හැක. මෙය ඔහුගේ රතු රුධිර සෛල බොහොමයක් විනාශ කර ඔහුව වහා මරණයට පත් කළ හැකිය. රුධිරය ඛාණ්ඩ වශයෙන් වර්ගීකරණය කිරීමත්, ලබන්නාගේ හා ප්රදානය කරන්නාගේ රුධිරය ගැළපීමත් දැන් ක්‍රමවත්ව කරනු ලැබුවද, දෝෂ සිදුවේ. සෑම වසරක් පාසාම ජනයා රුධිරජාරක ප්‍රතික්‍රියාවලින් මිය යති.
නොගැලපීම පිළිබඳ ප්රශ්නය, රෝහල් මගින් ගළපා ගැනීමට තැත්කරන සාපේක්ෂ වශයෙන් රුධිර වර්ග ස්වල්පය අභිබවා යන බව සාක්ෂිවලින් පැහැදිලි වෙයි. ඒ මන්ද? හොඳයි, “බ්ලඩ් ට්රාන්ස්ෆියූෂන්: යූසස්, එබියූසස්, ඇන්ඩ් හැසර්ඩ්ස් (රුධිර ප්‍රවේශන: භාවිතය, අනිසි භාවිතය හා උපද්‍රව)” නම් සිය ලිපියේ, වෛද්‍ය ඩග්ලස් එච්. පෝසි කනිෂ්ඨ මෙසේ ලියයි: “අවුරුදු 30කට පමණ පෙර, රුධිර ප්‍රවේශනය සාපේක්ෂ වශයෙන් අන්තරාදායක ක්‍රියා මාර්ගයක් හැටියට සැම්ප්සන් විස්තර කළේය . . . [එවක් පටන්] අඩුතරමින් රතු සෛල ප්‍රතිදේහජනකයන් 400ක්වත් හඳුනාගෙන, ඒවායේ අංග ලක්ෂණ වෙන්වෙන්ව සොයාගෙන ඇත. රතු සෛල පටලය ඉතා සංකීර්ණ නිසා මෙම සංඛ්‍යාව දිගටම වැඩි වනු ඇති බව නිසැකය.”—1989 ජූලි, ජර්නල් ඔෆ් ද නැෂනල් මෙඩිකල් එසෝසියේෂන්.
ප්‍රවේශනය කරන ලද රුධිරය ශරීරයේ ආරක්ෂක නැතහොත් ප්‍රතිශක්ති පද්ධතිය කෙරෙහි බලපාන ආකාරය විද්‍යාඥයෝ දැන් හදාරමින් සිටිති. ශල්‍යකර්මයක් අවශ්‍ය කරවන ඔබට හෝ ඥාතියෙකුට එය කුමක් අදහස් කළ හැකිද?
වෛද්‍යවරුන් හෘදයක්, අක්මාවක් හෝ වෙනත් ඉන්ද්‍රියක් බද්ධ කළ විට, ලබන්නාගේ ප්‍රතිශක්ති පද්ධතිය එම අන්‍ය පටකය හඳුනාගෙන, එය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන. එහෙත්, ප්‍රවේශනයක් යනු පටක බද්ධ කිරීමක් වන්නේය. “නිසි ලෙස” ගළපන ලද රුධිරය පවා, ප්‍රතිශක්ති පද්ධතිය මර්දනය කළ හැකිය. ව්‍යාධිවේදීන්ගේ සම්මන්ත්‍රණයකදී, වෛද්‍ය වාර්තා සිය ගණනක් මගින් “රුධිර ප්‍රවේශන ප්‍රතිශක්ති ප්‍රතිචාරයන්ට සම්බන්ධ කර ඇති” බවට වූ කරුණ ගෙනහැර දක්වනු ලැබීය.—“කේස් බිල්ඩ්ස් එගේන්ස්ට් ට්රාන්ස්ෆියූෂන්ස්,” 1989, දෙසැම්බර් 11, මෙඩිකල් වර්ල්ඩ් නියූස්.
ඔබගේ ප්‍රතිශක්ති පද්ධතියේ මූලික කාර්යභාරයක් වනුයේ, උපද්‍රව සහිත (පිළිකා) සෛල සොයා ඒවා විනාශ කර දැමීමය. මර්දනය කරන ලද ප්‍රතිශක්තියක් පිළිකාවට හා මරණයට මඟ පෑදිය හැකිද? වාර්තා දෙකක් සලකා බලන්න.
කැන්සර් නම් ජර්නලය (1987, පෙබරවාරි 15) නෙදර්ලන්තයේ කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල ඉදිරිපත් කළේය: “මහාන්ත්‍රක පිළිකාවෙන් පෙළෙන රෝගීන්ට ප්‍රවේශන දුන්විට, දීර්ඝ-කාලයක් නොමැරී ජීවත්වීමේ හැකියාවට එයින් සැලකිය යුතු අහිතකර බලපෑමක් සිදු වූ බව දක්නට ලැබුණි. සමස්තයක් වශයෙන්, මෙම කණ්ඩායමේ, වසර 5කට නොනැසී ජීවත්වීමට හැකි වූයේ ප්‍රවේශනය ලද අයගෙන් 48%ක් හා ප්‍රවේශනය නොලද අයගෙන් 74%කටය.” දකුණු කැලිෆෝනියානු විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරු පිළිකා ශල්‍යකර්මයන්ට පාත්‍ර වූ රෝගීන් සියයක් පිළිබඳව පසු අධ්‍යයනයක් කළහ. “ස්වරාලයේ සියලු පිළිකාවන් නැවත නැවතත් වැළඳීමේ අනුපාතය රුධිරය නොලද අය සඳහා 14%ක්ද, රුධිරය ලද අයට 65%ක්ද විය. මුඛ කුහරයේ, ග්රසනිකාවේ, මෙන්ම නාසයේ නැතහොත් කෝටරකයේ පිළිකාව සඳහා නැවත නැවතත් වැළඳීමේ ප්‍රතිශතය ප්‍රවේශනය නොමැතිව 31%ක් හා ප්‍රවේශන සහිතව 71%ක් විය.”—1989 මාර්තු, ඇනල්ස් ඔෆ් ඔටොලජි, රයිනොලජි ඇන්ඩ් ලැරින්ගොලජි.
මෙවන් අධ්‍යයනයන් ප්‍රවේශන ගැන කුමක් යෝජනා කරයිද? “පිළිකාව සඳහා රුධිර ප්‍රවේශන හා ශල්‍යකර්ම” නම් සිය ලිපියේ, වෛද්‍ය ජෝන් එස්. ස්ප්‍රැට් මෙසේ නිගමනය කළේය: “පිළිකා ශල්‍ය වෛද්‍යවරයා රුධිරය භාවිතා නොකරන ශල්‍ය වෛද්‍යවරයෙක් වීම අවශ්‍ය විය හැකිය.”—1986 සැප්තැම්බර්, දි අමෙරිකන් ජර්නල් ඔෆ් සර්ජරි.
ඔබගේ ප්‍රතිශක්ති පද්ධතියේ තවත් මූලික කාර්යභාරයක් වනුයේ ආසාදනයට එරෙහිව ක්‍රියා කිරීමය. එබැවින් රුධිරය ලබා ගන්නා රෝගීන් වඩාත් පහසුවෙන් ආසාදනවලින් පහර ලබන බව ඇතැම් අධ්‍යයනයන් පෙන්වීම ඒත්තු ගත හැකි යමක් වේ. වෛද්‍ය පී. අයි. ටාර්ටර් මහාන්ත්‍රය හා ගුදමාර්ගය ආශ්රිත පෙදෙසේ කරන ශල්‍යකර්ම පිළිබඳව අධ්‍යයනයක් කළේය. ප්‍රවේශන ලද රෝගීන්ගෙන් සියයට 25කට ආසාදන වැළඳුණි; එසේ ප්‍රවේශන නොලද රෝගීන් හා සැසඳීමේදී එසේ වැළඳුණේ ඔවුන්ගෙන් සියයට 4කටය. ඔහු මෙසේ වාර්තා කරයි: “රුධිර ප්‍රවේශන ශල්‍යකර්මයට පෙර, එය කෙරෙන අතරතුර හෝ ඉන්පසුව දෙනු ලැබූ විට, ඒ සමඟ ආසාදිත ආකූලතා ඇති විය . . . දෙන ලද රුධිර ඒකක ප්‍රමාණය අනුව ශල්‍යකර්මයෙන් පසු ආසාදන ඇතිවීමේ ඉඩකඩ ක්‍රමයෙන් වැඩි විය.” (1988 අගෝස්තු, ද බ්‍රිටිෂ් ජර්නල් ඔෆ් සර්ජරි) අමෙරිකානු රුධිර බැංකු සංගමයේ එක්දහස් නවසිය අසූ නවයේ පැවැත්වූ රැස්වීමකට සහභාගි වූ අය මෙම කාරණය ඉගෙන ගත්හ: උකුළ ප්‍රතිසම්පාදනය කිරීමේ ශල්‍යකර්මය තුළ දානපතීන්ගේ රුධිරය ලද අයගෙන් සියයට 23කට ඒ හේතුවෙන් ආසාදනයන් වැළඳුණු අතර රුධිරය දෙනු නොලැබූ අයට කිසිඳු ආසාදනයක් වැළඳුණේ නැත.
රුධිර ප්රවේශනයන්හි මෙම බලපෑම සම්බන්ධයෙන් වෛද්‍ය ජෝන් ඒ. කොලින්ස් මෙසේ ලිව්වේය: “වටිනා කිසිවක් ඉෂ්ට කරන බවට එතරම් සාක්ෂියක් නොමැති යම් ‘ප්‍රතිකාරයක්,’ එවන් රෝගීන් විසින් මුහුණ දෙනු ලබන මූලික ගැටලුවලින් එකක් තවත් තීව්ර කරන බව පසුව සොයා ගනු ලබන්නේ නම්, එය ඇත්ත වශයෙන්ම ව්‍යාජ යමක් වනු ඇත.”—1987 පෙබරවාරි, වර්ල්ඩ් ජර්නල් ඔෆ් සර්ජරි.
රෝගවලින් නිදහස්ද නැතහොත් අතිශයින් අනතුරු සහිතද?
යුතුකම් නොපිරිහෙළා ඉටු කරන වෛද්‍යවරුන්ටත් බොහෝ රෝගීන්ටත් රුධිරයෙන්-වැළඳෙන රෝග කනස්සල්ල ඇති කරයි. කිනම් රෝගද? නොවළහා කියතොත්, ඔබට එය නිකම්ම එකකට සීමා කළ නොහැක; නිසැකවම බොහොමයක් ඇත.
වඩාත් සුප්‍රකට රෝග සාකච්ඡා කිරීමෙන් පසු, ටෙක්නීක්ස් ඔෆ් බ්ලඩ් ට්රාන්ස්ෆියූෂන් (1982), උපදංශය (සිෆිලිස්), සයිටමෙගොලොවයිරස් ආසාදනය හා මැලේරියාව වැනි “ප්‍රවේශනය හා සම්බන්ධවී පැතිරෙන වෙනත් රෝග” වෙත අවධානය යොමු කරයි. එය පසුව මෙසේද සඳහන් කරයි: “හර්පීස් වෛරස් ආසාදනයන්, ආසාදිත මොනොනියුක්ලියොසියාව (එප්ස්ටයින්-බාර් වයිරස්), ටොක්සොප්ලාස්මෝසියාව, ට්රිපැනසෝමියාව [අප්‍රිකානු නිද්‍රා රෝගය හා ෂාගා රෝගය], ලීෂ්මේනියාව, බ්රුසෙලෝසියාව [කල්ලෝලන උණ], ටයිපස්, බරවා රෝගය, සරම්ප, සැල්මොනෙල්ලෝසියාව හා කොලොරාඩෝ කිනිතුල් උණ යනාදිය ඇතුළු වෙනත් රෝග ගණනාවක්ද රුධිර ප්‍රවේශනයෙන් සම්ප්‍රේෂණය වන බවට වාර්තා වේ.”
ඇත්ත වශයෙන්ම, මෙවන් රෝගවල ලැයිස්තුව වැඩි වෙමින් පවතී. “ප්‍රවේශනයකින් ලයිම් රෝගය? එසේ සිදුවීමට වැඩි ඉඩකඩක් නොතිබුණත්, විශේෂඥයෝ සැලකිල්ලෙන් සිටිති” වැනි ශීර්ෂපාඨ ඔබ කියවා තිබෙන්නට පුළුවන. ලයිම් රෝගය ඇතැයි පරීක්ෂණ පෙන්වන කෙනෙකුගෙන් ගනු ලබන රුධිරය කොතරම් ආරක්ෂා සහිතද? තමන් එවන් රුධිරය පිළිගන්නේ දැයි සෞඛ්‍ය නිලධාරි මණ්ඩලයකින් විමසනු ලැබීය. “එවන් දානපතීන්ගේ රුධිරය ඉවත් කිරීම කිසිවෙක් නිර්දේශ නොකළද, සියලු දෙනාම නැතැයි පිළිතුරු දුන්හ.” විශේෂඥයන්ම පිළිනොගන්නා තැන්පත් කරන ලද මෙවන් රුධිරය ගැන පොදු ජනයාට හැඟිය යුත්තේ කෙසේද?—1989, ජූලි 18, ද නිව් යෝක් ටයිම්ස්.
සැලකිල්ල යොමු කළ යුතු දෙවන හේතුවක් වනුයේ, යම් නිශ්චිත රෝගයක් ව්‍යාප්තව ඇති දේශයකින් එක්රැස් කරනු ලබන රුධිරය පොදු ජනයා හෝ වෛද්‍යවරුන් එම අන්තරාව ගැන සාවධාන වී නොසිටින, ඉන් දුර බැහැර ස්ථානයක පාවිච්චි කරනු ලැබිය හැකි වීමය. සරණාගතයන් හා ආගමනය කරන්නන්ද ඇතුළුව, අද දවසේ ඇති ප්රවාහණයේ වැඩි වර්ධනයත් සමඟ, රුධිර නිෂ්පාදනයක නාඳුනන රෝගයක් තිබිය හැකි වීමේ අවදානම වර්ධනය වෙමින් පවතී.
මීට අමතරව, ආසාදිත රෝග පිළිබඳ විශේෂඥයෙක් මෙසේ අනතුරු ඇඟවීය: “ශ්වේතරක්තය (ලිව්කීමියාව), ලිම්පෝමාව හා ඔල්මාදය [නැතහොත් ආල්ට්සයිමර්ගේ රෝගය] ඇතුළුව, කලින් ආසාදිත රෝග හැටියට සලකනු නොලැබූ ආබාධයන් ගණනාවක් වැළැක්වීමට රුධිර සැපයුම පරීක්ෂා කරන්නට සිදුවිය හැකිය.”—1989 ජනවාරි, ට්රාන්ස්ෆියූෂන් මෙඩිසින් රිවියූස්.
මෙම අවදානම් සහිත ක්‍රියාමාර්ග කොතරම් අධෛර්ය කරවනසුලු වුවද, වෙනත් කාරණා වැඩි බියක් උත්පාදනය කර ඇත.
පුළුල්ව ව්‍යාප්ත වන ඒඩ්ස් වසංගතය
“රුධිරය පිළිබඳව වෛද්‍යවරුන් හා රෝගීන් කල්පනා කරන ආකාරය ඒඩ්ස් මගින් සදහටම වෙනස් කර ඇත. ඇරත් එය නරක අදහසක් නොවේ යයි රුධිර ප්‍රවේශන පිළිබඳ සම්මන්ත්‍රණයකට ජාතික සෞඛ්‍ය ආයතනවල එක්රැස් වූ වෛද්‍යවරුන් පිරිසක් පැවසූහ.”—1988, ජූලි 5, වොෂිංටන් පෝස්ට්.
පුළුල්ව ව්‍යාප්ත වන ඒඩ්ස් වසංගතය (පරිචිත ප්‍රතිශක්ති ඌනතා සංධාවය), ප්‍රබල ආකාරයකින්, රුධිරයෙන් වැළඳිය හැකි ආසාදිත රෝගවල අනතුර සම්බන්ධයෙන් ජනයාව අවධි කරවා ඇත. දැනටමත් එය මිලියන සංඛ්‍යාවකට වැළඳී ඇත. එය පාලනයකින් තොරව පැතිර යමින් පවතී. තවද එහි මරණ අනුපාතය සියයට 100කි.
රුධිරයෙන් පැතිරයා හැකි මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයෙන් (HIV) ඒඩ්ස් වැළඳේ. නවීන දින ඒඩ්ස් වසංගතය අවධානයට ලක් වූයේ 1981දීය. එම වයිරසය රුධිර නිෂ්පාදිතයන් මගින් බොහෝ දුරට ව්‍යාප්ත කළ හැකි බව, ඊළඟ වසරේම, සෞඛ්‍ය විශේෂඥයෝ ඉගෙන ගත්හ. HIV ප්‍රතිදේහ, රුධිරයේ ඇති බව හඳුනා ගැනීමට පරීක්ෂණ තිබියදීත්, රුධිර කර්මාන්තය මෙයට සෙමින් ප්‍රතිචාරය දැක්වූ බව දැන් පිළිගනු ලැබේ. දන් දෙන්නන්ගේ රුධිරය පරීක්ෂාවට ලක් කිරීම අන්තිමේදී එනම් 1985දී ආරම්භ වුවද,a එවිට පවා එය, ඒ වන විටත් භාවිතය සඳහා සකසා තිබූ රුධිර නිෂ්පාදිතයන්ට අදාළ කරනු ලැබුවේ නැත.
‘රුධිර සැපයුම දැන් ආරක්ෂා සහිතව තිබේ’ යයි පසුව පොදු ජනයාට සහතිකයක් දෙනු ලැබීය. අනතුරුව, කෙසේවෙතත්, ඒඩ්ස් සඳහා වයිරසය රුධිරයේ ගැබ්ව තිබුණත් සටහන් නොවන අන්තරාදායක “ඍණ කාලයක්” ඇති බව එළිදරව් විය. යම් කෙනෙකුට එය ආසාදනය වීමෙන් පසු, ඔහු විසින් සොයා දැනගත හැකි ප්‍රතිදේහ නිපදවීමට මාස ගණනාවක් ගත විය හැක. එම වයිරසය තමාට ඇති බව නොදැනම, ඔහු, පරීක්ෂාවලින් නිරුපද්‍රිත බවට හෙළිවන රුධිරය පරිත්‍යාග කරන්නට පුළුවන. මෙය සිදුවී ඇත. එවන් රුධිරයෙන් ප්‍රවේශන ලැබීමෙන් පසු, සමහරක් ජනයාට ඒඩ්ස් වැළඳී ඇත!
මෙම තත්ත්වය තවත් බරපතළ විය. ද නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් (1989, ජූනි 1), “නිශ්ශබ්ද HIV ආසාදනයන්” ගැන වාර්තා කළේය. වත්මන් ඍජු නොවූ පරීක්ෂණවලට අසු නො වන ලෙසින්, වසර ගණනාවකට ජනයා ඒඩ්ස් වයිරසය ඇතිව සිටිය හැකි බව තහවුරු කරනු ලැබීය. මේවා කලාතුරකින් සිදුවිය හැකි සිද්ධීන් හැටියට සුළු කරන්නට ඇතැමෙක් කැමති විය හැකි වුවත්, “රුධිරයෙන් හා එහි සංරචකයන්ගෙන් ඒඩ්ස් සම්ප්‍රේෂණය වීමේ අවදානම සහමුලින්ම ඉවත් කළ නොහැකි” යයි ඉන් සනාථ වෙයි. (1989, නොවැම්බර් 30, පේෂන්ට් කැයා) සිත කලඹවන නිගමනය: රෝග නැතැයි පෙන්වන පරීක්ෂණ වාර්තාවක් සෞඛ්‍ය පිළිබඳව පවිත්‍ර වාර්තාවක් හැටියට සැලකිය නොහැකිය. රුධිරයෙන් තවත් කීදෙනෙකුට ඒඩ්ස් වැළඳෙනු ඇද්ද?
ඊළඟ සපත්තුවද? නැතහොත් සපත්තුද?
තට්ටු නිවාසවල වාසය කරන්නන් බොහෝ දෙනෙක්, තමන්ට ඉහළ මහලේ වෙසෙන අය එක් සපත්තුවක් බිමට තබන විට නිකුත් වන හඬ අසා ඇත; ඔවුන් අනතුරුව මහත් නොඉවසිල්ලෙන් දෙවන සපත්තු හඬ බලාපොරොත්තු වන්නට පුළුවන. රුධිරය සම්බන්ධ උභතෝකෝටික ප්රශ්නයේදී, තවත් මොනතරම් මාරාන්තික වූ සපත්තු හඬවල් ඇසෙන්නට පුළුවන්දැයි කිසිවෙක් නොදනී.
ඒඩ්ස් වයිරසය HIV ලෙස නම් කරනු ලැබුවද, ඇතැම් විශේෂඥයෝ දැන් එය HIV-1 ලෙස හඳුන්වති. ඒ මන්ද? ඊට හේතුව ඔවුන් ඒඩ්ස් වර්ගයේ තවත් වයිරසයක් (HIV-2) සොයා ගැනීමය. මෙයටත් ඒඩ්ස් රෝග ලක්ෂණ ඇති කළ හැකි අතර මෙය ඇතැම් ප්‍රදේශවල පුළුල්ව ව්‍යාප්තවී ඇත. මීට අමතරව, එය “දැන් මෙහි උපයෝගි කර ගනු ලබන ඒඩ්ස් පරීක්ෂණවලින් ස්ථිරව සොයා ගත නොහැකිය” යනුවෙන් ද නිව් යෝක් ටයිම්ස් වාර්තා කරයි. (1989, ජූනි 27) “අලුත් සොයා ගැනීම් . . . දෙනු ලබන රුධිරය ආරක්ෂාසහිත යයි නිසැක වීමට රුධිර බැංකුවලට වඩාත් අසීරු කරවයි.”
නැතහොත් ඒඩ්ස් වයිරසයේ දුරස්තර ඥාතීන් ගැන කුමක් කිව හැකිද? එවන් එක් වයිරසයක් “වැඩිහිටි T-වසා සයිට ලිව්කීමියාව⁄ලිම්පෝමාව හා දැඩි ස්නායුවේදී රෝග ගණනාවක් සඳහා හේතු සාධකය වන බව විශ්වාස කෙරේ” යයි ජනාධිපති කොමිසමක් (අ.එ.ජ.) පැවසීය. මෙම වයිරසය දැනටමත් රුධිරය දානය කරන්නන් තුළ පවතින අතර රුධිරය මගින් පැතිරයා හැකිය. ‘රුධිර බැංකුවේ පරීක්ෂණයන් මෙවන් වෙනත් වයිරස් සඳහා කොතරම් කාර්ය සාධකද?’ යන්න කල්පනා කිරීමට මහජනයාට අයිතියක් ඇත.
ඇත්ත වශයෙන්ම, රුධිර සැපයුමේ කොතරම් වයිරස් වර්ග අඩංගුව ඇත්තේ දැයි පැවසිය හැක්කේ කාලයට පමණකි. “සමහර විට වඩාත් සැලකිල්ල යොමු කළ යුත්තේ දන්නා දේට වඩා නොදන්නා දේ වෙතටය” යයි වෛද්‍ය හැරල්ඩ් ටී. මෙරිමන් ලියයි. “වසර ගණනාවක බීජෞෂණ කාලයක් ඇතැයි තක්සේරු කරන ලද බෝවන රෝග ඇති වයිරස් රුධිර ප්‍රවේශනය හා සම්බන්ධ කරවීම දුෂ්කර වන අතර ඒවා සොයා ගැනීම ඊටත් වඩා දුෂ්කර වනු ඇත. HTLV කාණ්ඩය නිසැකවම මේවා අතරින් මුලින්ම දැකිය හැකි එක වන්නේය.” (1989 ජූලි, ට්රාන්ස්ෆියූෂන් මෙඩිසින් රිවියූ) “ඒඩ්ස් වසංගතයේ දුඃඛිතකම මදිවට, . . . ප්‍රවේශනය පිළිබඳව අලුතින් යෝජනා කරන ලද නැතහොත් විස්තර කරන ලද අවදානම් 1980 ගණන්වල අවධානයට ලක්ව ඇත. වෙනත් බරපතළ වයිරස් රෝග පවතින බවත් ඒවා සමජාත ප්‍රවේශනයෙන් සම්ප්‍රේෂණය වන බවත් පුරෝකථනය කිරීමට මහත් කල්පනා ශක්තියක් අවශ්‍ය නොවේ.”—1989, ලිමිටිං හෝමොලජස් එක්ස්පෝෂර්: ඕල්ටර්නටිව් ස්ට්‍රැටර්ජීස්.
දැනටමත් බොහෝ “සපත්තු හඬවල්” ඇසී ඇති බැවින්, රෝග පාලනය කරන ආයතන “සර්වලෝක පූර්වාරක්ෂක ක්‍රම” නිර්දේශ කරයි. එනම්, ‘සියලුම රෝගීන් HIV සඳහාත් රුධිරයේ ඇති වෙනත් ව්‍යාධිජනකයන් සඳහාත් ආසාදිත තත්ත්වයක සිටින බව සෞඛ්යාරක්ෂක සේවකයන් උපකල්පනය කළ යුතුය.’ සෞඛ්යාරක්ෂක සේවකයන් මෙන්ම පොදු ජනයා, රුධිරය පිළිබඳ සිය දෘෂ්ටිය යළි තක්සේරු කරමින් සිටින්නේ, හොඳ හේතු ඇතුවය.
[පාදසටහන්වල]
a සියලුම රුධිරය පරීක්ෂාවට ලක් කරනු ලැබේ යයි අපට තවමත් උපකල්පනය කළ නොහැකිය. උදාහරණයක් වශයෙන්, 1989 ආරම්භ වන විට, බ්‍රසීලයේ රුධිර බැංකුවලින් සියයට 80ක් රජයේ පාලනය යටතේ නොපැවති බවත්, ඒඩ්ස් සඳහා ඔවුන් පරීක්ෂා පවත්වමින් නොසිටි බවත් වාර්තා වේ.
[8වන පිටුවේ කොටුව]
“දළ වශයෙන් ප්‍රවේශනයන් 100න් 1කට ඉන් අනතුරුව උණ, සන්නිය හෝ කරප්පන් [ගැටම්බර] සෑදේ. . . . දළ වශයෙන් රතු රුධිරාණු ප්‍රවේශනයන් 6,000න් 1ක රුධිරජාරක ප්‍රවේශන ප්‍රතික්‍රියාවක් සිදුවේ. මෙය වනාහි උත්සන්න ආකාරයකට හෝ ප්‍රවේශනයෙන් දින කීපයකට පසු ප්‍රමාදිත ආකාරයකට හට ගත හැකි දරුණු ප්‍රතිශක්තිමය ප්‍රතික්‍රියාවකි; මෙය උග්‍ර [වකුගඩු] ක්‍රියා විරහිත වීම, කම්පනය, රුධිර වාහිනී පද්ධතිය තුළ කැටි ගැසීම හා මරණයෙන් පවා කෙළවර විය හැකිය.”—නැෂනල් ඉන්ස්ටිටියූට්ස් ඔෆ් හෙල්ත් (NIH) සම්මේලනය, 1988.
[9වන පිටුවේ කොටුව]
ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥ නයිල්ස් යර්නේ, වෛද්‍ය විද්‍යාව සඳහා 1984 නොබෙල් ත්‍යාගය ලබාගත් හවුල් කරුවෙකි. රුධිර ප්‍රවේශනයක් ලැබීම ඔහු ප්‍රතික්ෂේප කිරීමට හේතුව විමසන ලද විට, ඔහු කියා සිටියේ: “කෙනෙකුගේ රුධිරය හරියටම ඔහුගේ ඇඟිලි සලකුණු හා සමානය—හරියටම එක සමාන රුධිර වර්ග දෙකක් නැත.”
[10වන පිටුවේ කොටුව]
රුධිරය, විනාශ වූ අක්මා සහ . . .
“රුධිරයෙන් වහනය වන ඒඩ්ස් . . . වෙනත් රෝග—උදාහරණයක් හැටියට, යකෘත් ප්‍රදාහය (හෙපටයිටිස්) තරම්—බලපෑමෙන් ප්‍රබල තර්ජනයක් එල්ල කොට නැතැයි පැවසීම ව්‍යාජෝක්තියකි” යයි වොෂිංටන් පෝස්ට් පැහැදිලි කළේය.
එසේය, බොහෝ දෙනෙක් යකෘත් ප්‍රදාහයෙන් බොහෝ සේ රෝගාතුර වී මිය ගොස් ඇති අතර, මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක්ද නොමැත. එක්සත් ජනපදයේ රුධිරය දෙනු ලැබූ අයගෙන් සියයට 5කට පමණ—එනම් වසරකට 1,75,000කට—යකෘත් ප්‍රදාහය වැළඳෙන බව යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් (මැයි 1, 1989) කියා සිටී. ඉන් අඩක් පමණ නිදන්ගත වාහකයන් බවට පත් වන අතර, යටත් පිරිසෙයින් පස්දෙනෙකුගෙන් එක්කෙනෙකුටවත් සිරෝසියාව හෝ අක්මාවේ පිළිකාව හට ගනී. හාරදහසක් පමණ මිය යන බව තක්සේරු කර ඇත. සියල්ලන්ම මරණයට පත් කරමින්, ජම්බෝ ජෙට් යානයක් හදිසි අනතුරකට භාජන වූයේ නම්, ඔබ කියවනු ඇති පුවත්පත් සිරස්තල ගැන කල්පනා කර බලන්න. එහෙත් මරණ 4,000ක්, එනම් ජනයාගෙන් පිරුණු ජම්බෝ ජෙට් යානයක් සෑම මසකම අනතුරට ගොදුරුවීමක් අදහස් කරයි!
එතරම් දරුණු නොවූ යකෘත් ප්‍රදාහයක් (A වර්ගය) අපිරිසිදු ආහාර නැතහොත් ජලය නිසා පැතිර ගිය බව දීර්ඝ කාලයක සිට වෛද්‍යවරු දැන සිටියහ. රුධිරය කරණකොටගෙන වඩාත් බරපතළ ආකාරයේ යකෘත් ප්‍රදාහයක් පැතිරයමින් තිබූ බව අනතුරුව ඔවුන් දුටුවද, ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමට ඔවුන්ට ක්‍රමයක් නොතිබුණි. අවසානයේ, මෙම වයිරසයේ (B වර්ගයේ) “පිය සටහන්” සොයා දැනගන්නා ආකාරය අති දක්ෂ විද්‍යාඥයෝ ඉගෙන ගත්හ. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ, රටවල් සමහරක රුධිරය පරීක්ෂාවලට ලක් කරනු ලැබීය. රුධිර සැපයුම ආරක්ෂාකාරි බවත්, රුධිරයේ අනාගතය දීප්තිමත් බවත් පෙනෙන්නට තිබුණි! එහෙත් ඇත්තෙන්ම තත්ත්වය එය වීද?
පරීක්ෂාවට ලක් කරන ලද රුධිරය ලබා දුන් දහස් සංඛ්‍යාවන්ට තවමත් යකෘත් ප්‍රදාහය වැළඳුණු බව වැඩි කලක් යන්නට මත්තෙන් පැහැදිලි විය. බෙලහීන කරවන අසනීප කාල පරිච්ඡේදයකින් පසු, සිය අක්මා විනාශ වූ බව බොහෝ දෙනෙක් දැනගත්හ. එහෙත් රුධිරය පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබුණේ නම්, මෙය සිදුවෙමින් තිබුණේ මන්ද? එම රුධිරයේ වෙනත් ස්වභාවයක්, එනම් A නොවන, B නොවන යකෘත් ප්‍රදාහය (NANB) අඩංගු වී තිබුණි. දශකයක් පුරා එයින් ප්රවේශනයන්ට නිතර නිතර හිරිහැර පමුණුවනු ලැබීය—ඉශ්රායෙලයේ, ඉතාලියේ, ජපානයේ, ස්පාඤ්ඤයේ, ස්වීඩනයේ හා එක්සත් ජනපදයේ ප්‍රවේශනය කරන ලද අයගෙන් සියයට 8 සිට 17 දක්වා ප්‍රමාණයකට එය වැළඳුණි.
ඉන්පසු “අන්තිමට A නොවන, B නොවන අභිරහස්මය යකෘත් ප්‍රදාහ වයිරසය වෙන් කරනු ලැබීය”; “රුධිරයේ තිබූ අන්තරාය බිඳ දැමීම” වැනි ශීර්ෂ පාඨ දක්නට ලැබුණි. යළිත්, ආරංචිය කුමක්ද කිවහොත්, ‘අල්ලා ගත නොහැකි කාරකය සොයා ගනු ලැබුවා!’ යන්නය. දැන් C යකෘත් ප්‍රදාහය යනුවෙන් හඳුන්වනු ලබන, NANB සඳහා පරීක්ෂාවක් ඇති බව 1989 අප්‍රියෙල් මාසයේදී මහජනයාට කියනු ලැබීය.
මෙම සහනය අකාල එකක් වනු ඇද්දැයි ඔබ කල්පනා කරන්නට පුළුවන. ඇත්ත වශයෙන්ම, ඉතාලියානු පර්යේෂකයන් තවත් හෙපටයිටිස් නැතහොත් යකෘත් ප්‍රදාහ වෛරසයක්, එනම් විකෘති වෛරසයක් ඇති බවට වාර්තා කර ඇත, මෙය සමහරවිට සිදුවන රෝග අවස්ථා තුනෙන් එකකට හේතු විය හැකි බවට කියැවේ. හාවඩ් මෙඩිකල් ස්කූල් හෙල්ත් ලෙටර් (1989 නොවැම්බර්) මෙසේ නිරීක්ෂණය කළේය: “සමහර බලධාරීන් කනස්සලුවන්නේ යකෘත් ප්‍රදාහයේ සෑම වර්ගයක්ම A, B, C සහ D වලින් නියෝජනය නොවන බවය; තවත් වර්ග උද්ගත විය හැකිය.” ද නිව් යෝක් ටයිම්ස් (1990 පෙබරවාරි 13) මෙසේ ප්‍රකාශ කළේය: “යකෘත් ප්‍රදාහය වෙනත් වයිරසයන්ටද ඇති කළ හැකි යයි විශේෂඥයෝ දැඩි ලෙස සැක පහළ කරති; සොයා ගනු ලැබුවහොත් ඒවාට යකෘත් ප්‍රදාහ E යනාදි වශයෙන් නම් තබනු ලබනවා ඇත.”
රුධිරය ආරක්ෂා කිරීම පිණිස රුධිර බැංකු පරීක්ෂාවන් සඳහා තවත් දීර්ඝ සෙවිලිවලට මුහුණදී සිටිනවාද? මේ සඳහා දරන්නට සිදුවන වියදම හා සම්බන්ධ ගැටලුව ගෙනහැර දක්වමින්, අමෙරිකානු රතු කුරුසයේ අධ්‍යක්ෂකවරයෙක් මෙම කලඹවන ප්‍රකාශය කළේය: “පැතිර යා හැකි සෑම ආසාදක හේතුකාරකයකටම අපට පරීක්ෂාවක් පාසා පරීක්ෂාවක් එකතු කරමින් සිටින්නට නොහැක.”—මෙඩිකල් වර්ල්ඩ් නියූස්, 1989 මැයි 8.
B යකෘත් ප්‍රදාහය සඳහා ඇති පරීක්ෂාවද වරදිනසුලුය; බොහෝ දෙනෙකුට එය තවදුරටත් රුධිරයෙන් වැළඳේ. මීට අමතරව, ජනයා C යකෘත් ප්‍රදාහය සඳහා නිවේදනය කර ඇති පරීක්ෂාවෙන් සෑහීමකට පත් වනු ඇද්ද? එම පරීක්ෂාවෙන් රෝගය සඳහා ප්‍රතිදේහ සොයා ගත හැකි තත්ත්වයක් උදා වන්නට පෙර වසරක් ගෙවී යා හැකි බවද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් එසෝසියේෂන් (1990 ජනවාරි 5) පෙන්වීය. මේ අතර, එම රුධිරයෙන් ප්‍රවේශනය කරන ලද අය සිය අක්මා විනාශයකට—එමෙන්ම මරණයට පවා—මුහුණ දිය හැකිය.
[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]
රුධිරය දුරස්තරව වාසය කරන අය කරා රෝග ගෙනයන ආකාරය ෂාගා රෝගය මගින් නිදර්ශනය කෙරේ. ‘ලතින් අමෙරිකාවේ මිලියන 10-12 දක්වා ජන සංඛ්‍යාවක් නිදන් ගතව ආසාදනය වී සිටින’ බව “ද මෙඩිකල් පෝස්ට්” (1990, ජනවාරි 16) වාර්තා කරයි. එය “දකුණු අමෙරිකාවේ සිදු වූ වඩාත් වැදගත් ප්‍රවේශන උපද්‍රවයන්ගෙන් එකක්” බවට හඳුන්වා ඇත. “රහසින් මිනී මරන මකුණෙක්” ඌට ගොදුරු වන්නා වූ නිදා සිටින්නෙකුගේ මුහුණ හපා, රුධිරය උරා බී, තුවාලය මත මලපහ කරයි. මෙයට ගොදුරු වූ තැනැත්තාට මාරාන්තික හෘදය ආශ්රිත ආබාධවලින් පහර ලැබීමට පෙර වසර ගණනාවකට ඔහු ෂාගා රෝගයේ වාහකයෙකුව සිටින්නට (මේ අතර ඇතැම් විට රුධිරය පරිත්‍යාග කරන්නට) පුළුවන.
මෙය දුරස්තර මහාද්වීපයන්හි වාසය කරන ජනයාගේ සැලකිල්ලට භාජන විය යුත්තේ මන්ද? රුධිර ප්‍රවේශනයෙන් පසු ෂාගා රෝගය වැළඳි රෝගීන් ගැනද, මොවුන්ගෙන් කෙනෙක් මිය යෑම ගැනද “ද නිව් යෝක් ටයිම්ස්” (1989, මැයි 23) පුවත්පතේ වෛද්‍ය එල්. කේ. ඇල්ට්මන් වාර්තා කළේය. “[මෙහි සිටින වෛද්‍යවරුන්] ෂාගා රෝගය හොඳින් නොදන්නා නිසාත්, රුධිර ප්රවේශනයන්ගෙන් එය පැතිරයා හැකි බව ඔවුන් තේරුම් ගෙන නොමැති නිසාත් තවත් රෝගීන් ගණනාවකට එය තිබුණු බව අනාරවණය නොවීමට ඉඩ තිබෙන්නට ඇත” යයි ඇල්ට්මන් ලිව්වේය. එසේය, රුධිරය රෝග පුළුල් ලෙස ගමන් කරන වාහනයක් වන්නට පුළුවන.
[12වන පිටුවේ කොටුව]
වෛද්‍ය ක්නුඩ් ලුන්ඩ්-ඕල්සන් මෙසේ ලිව්වේය: “අතිශයින් අවදානම් සහිත කණ්ඩායම්වල සිටින ඇතැමෙක් ලේ දන් දෙන්නන් වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙති. මන්දයත් ඒඩ්ස් සඳහා ඔවුන් නිරායාසයෙන්ම පරීක්ෂා කරනු ලබන නිසාය. රුධිර ප්‍රවේශන පිළිගැනීම පිළිබදව අකමැත්තක් දැක්වීම සඳහා හේතුවක් ඇතැයි මට හැඟේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වසර ගණනාවකට මෙය ප්‍රතික්ෂේප කර ඇත්තාහ. ඔවුහු අනාගතය දෙස බැලුවෝද?”—“උගස්ක්රිෆ්ට් ෆෝර් ලීගර්” (ඩොක්ටර්ස්’ වීක්ලි), 1988, සැප්තැම්බර් 26.
[9වන පිටුවේ පින්තූරය]
පාප් වෙඩි තැබීමකින් අනතුරුව නොමැරී බේරුණේය. රෝහලෙන් බැහැර වීමෙන් පසු, ඔහු “ඉතා රෝගාතුරවී” මාස දෙකකට යළිත් ඇතුල් කරනු ලැබීය. ඊට හේතුව? ඔහු ලැබූ රුධිරයෙන් සයිටමෙගලොවයිරස් නම් මාරාන්තික විය හැකි ආසාදනයක් වැළඳීමය
[හිමිකම් විස්තර]
UPI/Bettmann Newsphotos
[12වන පිටුවේ පින්තූරය]
ඒඩ්ස් වයිරසය
[හිමිකම් විස්තර]
CDC, Atlanta, Ga.