43වෙනි පරිච්ඡේදය
උපමාවලින් ඉගැන්වීම
පෙනෙන ආකාරයට යේසුස් පරිසිවරුන්ට තරවටු කරන්නේ ඔහු කපර්ණවුමේ සිටින විටයි. පසුව එම දවසේදීම ඔහු නිවසින් පිටත් වී ගලීල මුහුද වෙතට ගමන් කරනවා. විශාල සෙනඟක් එක්රැස් වෙනවා එතැනට. ඔහු එහිදී බෝට්ටුවකට නැඟ, වෙරළෙන් මදක් ඈතට ගොස් වෙරළේ සිටින මනුෂ්‍යයන්ට ස්වර්ග රාජ්‍යය ගැන උගන්වන්න පටන්ගන්නවා. ඔහු උගන්වන්නේ මනුෂ්‍යයන්ට හොඳින් හුරුපුරුදු පසුබිම් ඇති උපමා කිහිපයක් යොදාගනිමිනුයි.
යේසුස් මුලින්ම කතා කරන්නේ බීජ වපුරන්නෙකු ගැනයි. ඇතැම් බීජ මඟ වැටෙන අතර ඒවා පක්ෂීන් කා දමනවා. වෙනත් බීජ වැටෙන්නේ එතරම් පස් නොමැති ගල් බිම් මතයි. මුල් ගැඹුරට කිඳා නොබැසීම නිසා ඒවා දැඩි අව් රශ්මියෙන් මැලවී යනවා. තවත් සමහර බීජ වැටෙන්නේ කටු අතරෙයි. කටු ගස් වැවී ඒවා යට කර දමනවා. අන්තිමට සඳහන් කරන බීජ සරු පසෙහි වැටී සිය ගුණයක්ද, තවත් සමහරක් සැට ගුණයක්ද, තවත් සමහරක් තිස් ගුණයක්ද පල දරනවා.
තවත් උපමාවකදී, යේසුස් ස්වර්ග රාජ්‍යය සමාන කරනවා වපුරන්නෙකුට. දවස ගෙවී යද්දී, එනම් එම මනුෂ්‍යයා නිදාගන්නා විටත් අවදිව සිටින විටත් බීජ වැඩෙනවා. එය සිදු වන්නේ කෙසේද කියා එම මනුෂ්‍යයා දන්නේ නැහැ. එය ඉබේම වැඩී පල දරන අතර අස්වැන්න පැසුණු විට ඔහු එය නෙළාගන්නවා.
තුන්වන උපමාව වශයෙන් යේසුස් කියා දෙන්නේ නියම ආකාරයේ බීජ වපුරන මනුෂ්‍යයෙකු පිළිබඳවයි. එහෙත් “මිනිසුන් නිදා සිටියදී” සතුරෙක් පැමිණ තිරිඟු අතරෙහි කිරිඳි වපුරනවා. එම මනුෂ්‍යයාගේ සේවකයන් අසන්නේ කිරිඳි උදුරා දැමිය යුතුද කියායි. නමුත් ඔහු පිළිතුරු දෙන්නේ මෙසේයි. “එසේ නොකරන්න. මන්ද, එසේ කළොත්, කිරිඳි එකතු කරද්දී ඒ සමඟම තිරිඟුත් ඉදිරෙන්න පුළුවන. කපන කාලය දක්වා දෙවර්ගයටම එකට වැඩෙන්න හරින්න. එවිට කපන කාලයේදී, මම කපන්නන්ට කතා කොට, පළමුවෙන් කිරිඳි එකතු කර ඒවා පුලුස්සා දමන පිණිස මිටි බඳින්න කියාත්, ඉන්පසු තිරිඟු මාගේ ගබඩාවේ රැස් කරන්න කියාත් කියන්නෙමි.”
වෙරළේ සිටින සෙනඟට දිගටම කතා කරමින් යේසුස් තවත් උපමා දෙකක් කියා දෙනවා. “ස්වර්ග රාජ්‍යය” මිනිසෙක් පැළ කළ අබ ඇටයකට සමාන බව ඔහු පැහැදිලි කරනවා. ඔහු පවසන්නේ, එය බීජ අතරින් කුඩාම එක වුණත් එය අනිත් පලා ගස්වලට වඩා විශාල ගසක් බවට පත් වන බවයි. පක්ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරම් විශාල ගසක් බවට එය පත් වෙනවා.
අබ ඇටයටත් වඩා කුඩා බීජ තිබෙන බවට ඇතමෙක් තර්ක කරනවා. එහෙත් මෙහිදී යේසුස් උගන්වමින් සිටියේ උද්භිද විද්‍යාව ගැන පාඩමක් නොවෙයි. ඔහු සිටි කාලයේදී විසූ ගලීල වැසියන් හඳුනාගෙන සිටි බීජ අතරින් අබ ඇටය තමයි කුඩාම බීජය වූයේ. ඉතිං යේසුස් පහදා දෙමින් සිටින විශාල වර්ධනය හොඳින් වටහාගැනීමට ඔවුන්ට පුළුවන්.
අවසානයේදී, යේසුස් “ස්වර්ග රාජ්‍යය” සමාන කරන්නේ, ස්ත්‍රියක් විසින් විශාල පිටි මිනුම් තුනකට දමා මිශ්‍ර කරන මුහුන්වලටයි. කාලය ගෙවී යද්දී, එම මුහුන් මගින් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම පිපීමට සලස්වන බව යේසුස් පවසනවා.
මෙම උපමා පහ කියා දීමෙන් පසු, යේසුස් සෙනඟට යන්න හැර, ආපසු ඔහු නවාතැන් ගෙන සිටින නිවසට යනවා. ඉන් ටික වේලාවකට පසු, ඔහුගේ ප්‍රේරිතයන් 12දෙනා සහ වෙනත් අය ඔහු සිටින තැනට එනවා.
යේසුස්ගේ උපමාවලින් ප්‍රයෝජන ගැනීම
යේසුස් වෙරළේදී සෙනඟට දුන් දේශනයෙන් පසු, ගෝලයන් ඔහු වෙතට පැමිණෙන්නේ ඔහුගේ අලුත් ඉගැන්වීම් ක්‍රමය ගැන මහත් කුතුහලයක් ඇතුවයි. මීට කලිනුත් ඔහු උපමා භාවිත කරනවා අසා තිබුණත්, මෙතරම් ප්‍රමාණයක් කියා දෙනවා නම් ඔවුන් අසා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් මෙසේ අසනවා. “ඔබ උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ මන්ද?”
ඔහු එසේ කිරීමට එක හේතුවක් වන්නේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියන ලද මේ වචන සම්පූර්ණ කිරීමටයි. “මම උපමා මගින් කතා කරන්නෙමි. ලෝකය පිහිටුවීමේ පටන් සඟවා තිබුණු දේවල් මම ප්‍රකාශ කරන්නෙමි.” එහෙත් ඊට තවත් වැදගත් හේතුවක් තිබෙනවා. ඔහු විසින් උපමා භාවිත කරනු ලැබීම මිනිසුන්ගේ හදවත් තුළ තිබෙන ආකල්පයන් හෙළි කිරීමට උපකාරවත් වෙනවා.
ඇත්තෙන්ම, බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ ඔහු දක්ෂ ලෙස කතන්දර කියන නිසා හා ආශ්චර්යයන් සිදු කරන නිසා මිසක, සේවය ලැබීමට සහ පරාර්ථකාමී ලෙස අනුගමනය කිරීමට වටින තමන්ගේ ස්වාමීන් වශයෙන් ඔහුව සලකන නිසා නොවෙයි. ඔවුන් තමන්ගේ ආකල්ප හෝ තමන්ගේ ජීවන මාර්ගයේ යම් වෙනස්කම් කිරීමට කැමති නැහැ. ඔහුගේ පණිවිඩය එතරම් දුරකට තමන්ට බලපෑමක් කරනවාට ඔවුන් අකමැතියි.
එබැවින් යේසුස් මෙලෙස පවසනවා. “ඔවුන් බලමින් සිටියත් ඔවුන් බලන්නේ පලක් නැතිවය. ඔවුන් අසමින් සිටියත්, ඔවුන් අසන්නේ පලක් නැතිවය. ඔවුන්ට එහි හරය වැටහෙන්නේ නැත. එහෙයින් මම උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරමි. යෙසායාගේ මේ අනාවැකිය ඔවුන් සම්බන්ධයෙන් ඉටු වේ. ‘ . . . මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ.’”
එහෙත් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “එනමුත් පෙනෙන නිසා ඔබේ ඇස්ද, ඇසෙන නිසා ඔබේ කන්ද සන්තෝෂවත්ය. මන්ද සැබවින්ම මම ඔබට කියමි, බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද ඔබට පෙනෙන දේ දකින්නද, ඔබට ඇසෙන දේ අසන්නද ආශා කළ නමුත්, ඔවුන් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත.”
ඇත්තෙන්ම, ප්‍රේරිතයන් 12දෙනාගේ හා ඔවුන් සමඟ සිටින අයගේ හදවත් තුළ යේසුස්ගේ ඉගැන්වීම් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. එමනිසා යේසුස් මෙසේ පවසනවා. “ස්වර්ග රාජ්‍යයේ පරිශුද්ධ රහස් තේරුම්ගැනීමේ හැකියාව ඔබට දී ඇති නමුත් ඔවුන්ට දී නැත.” ඔහුගේ ඉගැන්වීම් වටහාගැනීමට ගෝලයන් ආශාවක් දක්වන නිසා, යේසුස් ඔවුන්ට වපුරන්නාගේ උපමාව පැහැදිලි කර දෙනවා.
“බීජය නම් දෙවිගේ වචනයය.” පස නම් හදවතයි. මඟ දිගේ වැටුණු බීජ සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කරන්නේ මෙසේයි. “ඔවුන් විශ්වාස කර ගැලවීම නොලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැරගනු [ලබනවා].”
අනික් අතට, පස් සහිත ගල් බිම් මත වැටෙන බීජවලින් සංකේතවත් කරන්නේ, වචනය ප්‍රීතියෙන් පිළිගන්නා මනුෂ්‍යයන්ගේ හදවත්. එහෙත් වචනය එවැනි හදවත්වල ගැඹුරටම කිඳා බසින්නේ නැති නිසා, පරීක්ෂා හෝ පීඩා පැමිණෙන කාලයකදී ඔවුන් වැටී යනවා.
යේසුස් තවදුරටත් පවසන පරිදි, කටු අතරේ වැටුණු බීජ වචනය ඇසූ මනුෂ්‍යයන්. එහෙත් මෙවැනි අය ජීවිතයේ කරදර නිසාත් ධනය නිසාත් සැපසෙල්ලම නිසාත් ගසාගෙන යනවා. ඒ නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම යට වී, කිසිවක් සම්පූර්ණ ලෙස ඉටු කිරීමට අසමත් වෙනවා.
අවසාන වශයෙන් යේසුස් පැහැදිලි කරනවා, සරු බිමෙහි වැටුණු බීජ නම් අවංක හා යහපත් සිතකින් වචනය අසා, එය සිතෙහි රඳවාගෙන විඳදරාගැනීමෙන් යුක්තව පල දරන අය බව.
යේසුස්ගේ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාගැනීම සඳහා ඔහුව සොයා ගිය මෙම ගෝලයන් මොන තරම් ආශීර්වාද ලත් අයද! යේසුස්ට අවශ්‍ය වන්නේ අන්‍යයන්ට සත්‍යය ප්‍රකාශ කළ හැකි වන පිණිස ඔහුගේ උපමා ඔවුන් හොඳින් තේරුම්ගන්නවා දැකීමටයි. “පහනක් ගෙන එන්නේ බඳුනකින් වසා තබන්න හෝ ඇඳක් යට තබන්නද?” නැහැ. ‘එය ගෙන එන්නේ පහන් රුකක් මත තැබීමටයි.’ ඒ නිසා යේසුස් තවදුරටත් පවසන්නේ, “එබැවින් ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න” කියායි.
තවත් උපදෙස් ලැබීමෙන් ලද ආශීර්වාද
යේසුස් වපුරන්නා පිළිබඳ උපමාව පැහැදිලි කළ පසු ගෝලයන් තවත් ඉගෙනගන්න ආශාවෙන් සිටිනවා. “කෙතේ කිරිඳි ගැන උපමාව අපට පැහැදිලි කර දෙන්න” කියා ඔවුන් ඉල්ලා සිටිනවා.
වෙරළේ සිටි සෙනඟට වඩා ගෝලයන්ගේ ආකල්පය මොන තරම් වෙනස්ද! උපමාවල ගැබ් වී තිබෙන අර්ථය ඉගෙනගැනීමට අවංක ආශාවක් එම මනුෂ්‍යයන්ට තිබුණේ නැහැ. ඒවායේ මතුපිට අර්ථයෙන් පමණක් ඔවුන් සෑහීමකට පත් වුණා. මහත් කුතුහලයකින් යුතුව තමා සිටි නිවස වෙතට පැමිණි තම ගෝලයන් සමඟ මුහුද අසල සිටි සෙනඟ සන්සන්දනය කරමින් යේසුස් මෙසේ පවසනවා.
“ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ. එසේය, ඔබට ඊට වැඩියෙනුත් දෙනු ලැබේ.” මේ අවස්ථාවේදී ගෝලයන් විසින් මැන දෙනු ලබන දේ වන්නේ අවංක උනන්දුවකින් හා හොඳ අවධානයකින් යේසුස්ට සවන් දීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, තවත් උපදෙස් ලබමින් ඔවුන් ආශීර්වාද ලබනවා. එමනිසා, තම ගෝලයන්ගේ ඉල්ලීමට ප්‍රතිචාරය දක්වමින් යේසුස් පැහැදිලි කරන්නේ මෙලෙසයි.
“හොඳ බීජ වපුරන්නා නම් මනුෂ්‍ය පුත්‍රයාය. කෙත නම් ලෝකයය. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය. කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝය. ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයාය. කපන කාලය වන්නේ සමාජ ක්රමයක අවසාන කාල පරිච්ඡේදයයි. කපන්නෝ නම් දේවදූතයෝය.”
තම උපමාවේ සෑම අංගයක්ම හඳුන්වා දීමෙන් පසු, අවසාන ප්‍රතිඵලය යේසුස් මෙසේ විස්තර කරනවා. සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයේදී කපන්නන් වන දේවදූතයන්, ‘රාජ්‍යයේ සැබෑ පුත්‍රයන්ගෙන්’ කිරිඳි වැනි වූ ව්‍යාජ ක්‍රිස්තියානීන්ව වෙන් කරන බව ඔහු පවසනවා. එවිට ‘දුෂ්ටයාගේ පුත්‍රයන්’ විනාශය සඳහා ලකුණු කරනු ලබන අතර, දෙවිගේ රාජ්‍යයේ පුත්‍රයන් වන “ධර්මිෂ්ඨයෝ” ඔවුන්ගේ පියාගේ රාජ්‍යයෙහි දීප්තිමත් ලෙස බැබළෙනවා ඇති.
යේසුස් ඊළඟට, කුතුහලයෙන් සිටින තම ගෝලයන්ට තවත් උපමා තුනක් කියා දීමෙන් ඔවුන්ට ආශීර්වාද කරනවා. පළමුව, ඔහු පවසන්නේ මෙසේයි. “ස්වර්ග රාජ්‍යය, තණ බිමේ සඟවා තිබෙන වස්තුවකට සමානය. මිනිසෙකුට එය සම්බ විය. ඔහු එය සඟවා තබා, ඔහුට ඇති වූ ප්‍රීතිය නිසා ගොස් තමා සන්තක දේ විකුණා ඒ තණ බිම මිල දී ගන්නේය.”
“තවද, ස්වර්ග රාජ්‍යය අගනා මුතු සොයා ගිය සංචාරක වෙළෙන්දෙකුට සමානය” කියා ඔහු තවදුරටත් විස්තර කරනවා. “ඉතා වටිනා එක් මුතු ඇටයක් ඔහුට සම්බ වූ විට, ඔහු එකෙණෙහිම ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිල දී ගත්තේය.”
සඟවා තිබෙන වස්තුවක් සොයාගත් මනුෂ්‍යයාටත් ඉතා වටිනා මුතු ඇටය සම්බ වූ වෙළෙන්දාටත් යේසුස්ව සමාන කරන්න පුළුවන්. ඔහු තමන් සතු සියල්ල විකුණන්නාක් මෙන්, ස්වර්ගයේ තමන් සතු ගෞරවාන්විත තත්වය අත්හැර පහත් මනුෂ්‍යයෙකු වීමට තෝරගත්තා. ඉන්පසු, ඔහු මෙලොව මනුෂ්‍යයෙකු ලෙස නින්දා අපහාස හා කුරිරු වද හිංසාවලට මුහුණ දෙමින් දෙවිගේ රාජ්‍යයේ පාලකයා වීමට සුදුසුකම් ඇති බව ඔප්පු කළා.
ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයෙකු වීමේ හෝ රාජ්‍යයේ භූමික යටත්වැසියෙකු වීමේ උදාර දීමනාව අත් කරගැනීම සඳහා සියල්ල විකුණා දැමීමේ අභියෝගය යේසුස්ගේ අනුගාමිකයන් ඉදිරියේද තිබෙනවා. දෙවිගේ රාජ්‍යයට හවුල් වීම මිල කළ නොහැකි වස්තුවක් හෝ ඉතා අගනා මුතු ඇටයක් ලෙස, එනම් ජීවිතයේ වෙන කිසිවකට වඩා වටිනා දෙයක් ලෙස අප සලකනු ඇද්ද?
යේසුස් අවසාන වශයෙන්, “ස්වර්ග රාජ්‍යය” සෑම වර්ගයකම මසුන් අසු කරගන්නා දැලකට සමාන කරනවා. මසුන් වෙන් කරන විට නරක එවුන්ව ඉවත දමන නමුත් හොඳ එවුන්ව එකතු කරගන්නවා. සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයේදීද එසේම වන බව යේසුස් පවසනවා. දේවදූතයන්, ධර්මිෂ්ඨයන්ගෙන් දුෂ්ටයන්ව වෙන් කර තබා දුෂ්ටයන්ව පසු කලෙක විනාශ කිරීමට නියමිතයි.
තම පළමු ගෝලයන්ව “මනුෂ්‍යයන් අල්ලන්නන්” වීමට කැඳවීමෙන් යේසුස්මයි මෙම මසුන් ඇල්ලීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. දේවදූත මඟ පෙන්වීම යටතේ මසුන් ඇල්ලීමේ වැඩය සියවස් ගණනාවක් පුරා පැවත තිබෙනවා. අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාව ඇතුළු පොළොව මත තිබෙන ක්‍රිස්තියානියයි කියාගන්නාවූ සියලුම සංවිධාන නියෝජනය කරන “දැල” ඉවතට ඇදීමට කාලය එළඹිලා.
නුසුදුසු මාළුන්ව විනාශ කළත්, “හොඳ මාළුන්” සුරක්ෂිතව තබාගැනීම ගැන අපට සතුටු විය හැකියි. වැඩිමනත් දැනුම හා අවබෝධය ලබාගැනීම සඳහා යේසුස්ගේ ගෝලයන් දැක්වූ එම අවංක ආශාවම අපත් විදහාපෙන්වුවොත් තවත් උපදෙස් ලබමින් අප ආශීර්වාද ලබනවා පමණක් නොව, සදාකාල ජීවනය නමැති දෙවිගේ ආශීර්වාදයද අපට ලැබෙනවා නියතයි. මතෙව් 13:1-52; මාක් 4:1-34; ලූක් 8:4-18; NW; ගීතාවලිය 78:2; යෙසායා 6:9, 10.
▪ යේසුස් සෙනඟට උපමාවලින් කතා කරන්නේ කවදාද? කොතැනදීද?
▪ යේසුස් සෙනඟට පවසන උපමා පහ විස්තර කරන්න.
▪ අබ ඇටය සියලුම බීජවලට වඩා කුඩායයි යේසුස් පවසන්නේ ඇයි?
▪ යේසුස් උපමාවලින් කතා කරන්නේ ඇයි?
▪ සෙනඟට වඩා තමන් වෙනස් බව යේසුස්ගේ ගෝලයන් පෙන්වන්නේ කෙසේද?
▪ වපුරන්නාගේ උපමාව පිළිබඳව යේසුස් සපයන පැහැදිලි කිරීම කුමක්ද?
▪ වෙරළේ සිටින සමූහයාට වඩා ගෝලයන් වෙනස් වන්නේ කෙසේද?
▪ වපුරන්නා, කෙත, හොඳ බීජ, සතුරා, කපන කාලය සහ කපන්නන්ගෙන් නියෝජනය වන්නේ කවරෙක්ද නැතහොත් කුමක්ද?
▪ යේසුස් සපයන අමතර උපමා තුන මොනවාද? ඒවායින් අපට කුමක් ඉගෙනගත හැකිද?