67වෙනි පරිච්ඡේදය
ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වෙයි
කූඩාරම් මංගල්‍යය පැවැත්වෙන අතරතුරේදී ආගමික නායකයන් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ව යවනවා. යේසුස් සැඟවීමට උත්සාහ කරනවා වෙනුවට ප්‍රසිද්ධියේම උගන්වමින් සිටිනවා. ඔහු පවසන්නේ මෙසේයි. “මාව එවූ තැනැත්තා වෙතට යන්න කලින් මම ඔබ සමඟ තව ටික කලක් සිටින්නෙමි. ඔබ මා සොයනවා ඇත. නමුත් ඔබට මාව සම්බ වන්නේ නැත. මා සිටින තැනට එන්න ඔබට නොහැක.”
යුදෙව්වන්ට මෙය තේරුම්ගත නොහැකියි. ඒ නිසා, ඔවුන් එකිනෙකාගෙන් මෙසේ විමසනවා. “අපට සම්බ නොවන පරිදි මේ මිනිසා යන්න අදහස් කරන්නේ කොතැනටද? ඔහු ග්රීකවරුන් අතරේ විසිරී සිටින යුදෙව්වරුන් වෙතට ගොස් ග්රීකවරුන්ට උගන්වන්න අදහස් කරනවාවත්ද? ‘ඔබ මා සොයනවා ඇත. නමුත් ඔබට මාව සම්බ වන්නේ නැත. මා සිටින තැනට එන්න ඔබට නොහැක’ කියා ඔහු කී මේ කියමනේ තේරුම කුමක්ද?” ඇත්තෙන්ම, යේසුස් කතා කරමින් සිටින්නේ මතු සිදු වන ඔහුගේ මරණය හා ස්වර්ගයේ ජීවත් වීමට හැකි වන පිණිස සිදු වන ඔහුගේ නැවත නැඟිටීම ගැනයි. ඔහුගේ සතුරන්ට එහි යෑමට නොහැකියි.
මංගල්‍යයේ සත්වන හා අවසාන දිනය උදා වෙනවා. මංගල්‍යයේ සෑම උදෑසනකම, පූජකයෙක් සිලෝම් පොකුණෙන් වතුර ගෙන එය පූජාසනයේ අඩියට ගලාගෙන යන ලෙස වත් කර තිබෙනවා. යේසුස් ශබ්ද නඟා මෙලෙස පවසන්නේ සමහරවිට දිනපතාම සිදු කරන එම චාරිත්‍රය ගැන ජනයාට සිහිගැන්වීමට විය හැකියි. “යමෙකුට පිපාසා ඇත්නම්, ඔහු මා වෙතට ඇවිත් පානය කරන්න. මා කෙරෙහි ඇදහිල්ල තබන තැනැත්තා ගැන ශුද්ධ ලියවිලිවල මෙසේ කියයි: ‘ඔහුගේ අභ්‍යන්තරයෙන් ජීවනදායක වතුර ඇති ගංගා ගලා එන්නේය.’”
ඇත්තවශයෙන්ම, යේසුස් මෙහිදී කතා කරමින් සිටින්නේ ශුද්ධාත්මය වගුරුවන විට ලැබෙන උදාර ප්‍රතිඵල ගැනයි. ඊළඟ වසරේ පෙන්තකොස්ත දවසේදී මෙම ශුද්ධාත්මය වැගිරීම සිදු වෙනවා. එහිදී, ගෝලයන් 120දෙනා ජනයාට සේවය කරන විට ජීවනදායක වතුර ඇති ගංගා ගලනවා. ඒ වන තෙක්, ශුද්ධාත්මය ලැබෙන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ ඒ වන තෙක් ක්‍රිස්තුස්ගේ ගෝලයන්ගෙන් කිසිවෙකුව ශුද්ධාත්මයෙන් අභිෂේක කර, ස්වර්ගික ජීවිතයකට කැඳවා නැති බවයි.
යේසුස්ගේ ඉගැන්වීමට ප්‍රතිචාරය දක්වමින් ඇතමෙක් මෙසේ පවසනවා. “ස්ථිරවම මොහු නම් අනාගතවක්තෘවරයාමය.” ඔවුන් සඳහන් කරන්නේ පැමිණෙන බවට පොරොන්දු කර තිබූ මෝසෙස්ට වඩා උතුම් අනාගතවක්තෘවරයා ගැනයි කියා පැහැදිලියි. තවත් අය, “මේ ක්‍රිස්තුස්” කියා පවසනවා. නමුත් වෙනත් අය විරෝධය පළ කරමින් පවසන්නේ මෙසේයි. “ක්‍රිස්තුස් එන්නේ ගලීලයෙන්ද? ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද පැමිණෙනවා කියා නොවේද?”
ඒ නිසා, සෙනඟ අතරෙහි භේදයක් හටගන්නවා. යේසුස්ව අත්අඩංගුවට ගැනීමට සමහරුන්ට වුවමනා වුණත් කිසිවෙකු ඔහුට අත තබන්නේ නැහැ. පොලිස් නිලධාරීන් යේසුස් නොමැතිව ආපසු පැමිණෙන විට නායක පූජකයන් හා පරිසිවරුන් මෙසේ අසනවා. “ඔබ ඔහුව නොගෙනාවේ මන්ද?”
“කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත” කියා නිලධාරීන් පිළිතුරු දෙනවා.
ආගමික නායකයන්ට හොඳටම කේන්ති යනවා. ඔවුන් නින්දා කරමින්, බොරු චෝදනා නඟමින් හා සමච්චල් කරමින් ඉතාමත් පහත් විදිහට මෙසේ අපහාස කරනවා. “ඔබත් මුළා වෙලාද? පාලකයන්ගෙන් හෝ පරිසිවරුන්ගෙන් හෝ කිසිවෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තබා තිබේද? නීතිය නොදන්නා මේ සමූහයා ශාප ලත් සෙනඟකි.”
එවිට, (සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙක් වන) පරිසිවරයෙක් මෙන්ම යුදෙව්වරුන්ගේ නායකයෙක් වන නිකදේමස් යේසුස් වෙනුවෙන් කතා කිරීමට එඩිතරව ඉදිරිපත් වෙනවා. නිකදේමස් වසර දෙකහමාරකට පෙර, රාත්‍රියේ යේසුස් වෙතට පැමිණ ඔහු කෙරෙහි වූ තම ඇදහිල්ල ප්‍රකාශ කළ බව ඔබට මතක ඇති. දැන් නිකදේමස් මෙලෙස පවසනවා. ‘පළමුකොට මිනිසෙකුගෙන් නොවිමසා, ඔහු කරන්නේ කුමක්දැයි නොදැන අපගේ නීතියට අනුව ඔහුව විනිශ්චය කරන්න පුළුවන්ද?’
ඔවුන්ගේම කෙනෙක් යේසුස් වෙනුවෙන් කතා කිරීම ගැන පරිසිවරුන්ට තවත් කේන්ති යනවා. ඔවුන් උපහාසාත්මක ලෙස අසන්නේ මෙසේයි. “ඔබත් ගලීලයෙන්ද? ගලීලයෙන් කිසිම අනාගතවක්තෘවරයෙකුව නැඟිටුවනු ලබන්නේදැයි සොයා බලන්න.”
අනාගතවක්තෘවරයෙකු ගලීලයෙන් පැමිණෙන බව ශුද්ධ ලියවිලිවල ඍජු ලෙස පවසා නොතිබුණත්, මෙම ප්‍රදේශයෙහි “මහත් ආලෝකයක්” දක්නට ලැබෙන බව පැවසීමෙන් එතැනින් ක්‍රිස්තුස් පැමිණෙන බව එහි පෙන්නුම් කරනවා. තවදුරටත්, යේසුස් උපන්නේ බෙත්ලෙහෙමේයි. ඒ වගේම, ඔහු දාවිත්ගේ වංශයේ කෙනෙක්. පරිසිවරුන් මේ ගැන දැන සිටිනවා විය හැකි අතර, යේසුස් පිළිබඳව මනුෂ්‍යයන්ට තිබෙන වැරදි මත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් බොහෝවිට වග කිව යුත්තේ ඔවුනුයි. යොහන් 7:32-52; යෙසායා 9:1, 2; මතෙව් 4:13-17; NW.
▪ උත්සවයේ සෑම උදෑසනකම සිදු වන්නේ කුමක්ද? යේසුස් එයට අවධානය යොමු කරමින් සිටිනවා විය හැක්කේ කෙසේද?
▪ නිලධාරීන් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට අසමත් වන්නේ ඇයි? ආගමික නායකයන් එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
▪ නිකදේමස් කියන්නේ කාටද? ඔහුට යේසුස් ගැන තිබෙන ආකල්පය කුමක්ද? සෙසු පරිසිවරුන්ගෙන් ඔහුට ලැබෙන්නේ කෙබඳු ප්රතිචාරයක්ද?
▪ ක්‍රිස්තුස් ගලීලයෙන් පැමිණෙන බවට තිබෙන සාක්ෂි කවරේද?