85වෙනි පරිච්ඡේදය
නැති වූ අයව සෙවීම
දෙවිට යටහත් පහත් ලෙස සේවය කරන අයව සොයාගැනීමට යේසුස් ඉමහත් ආශාවකින් සිටිනවා. ඔහු මහත් අපකීර්තියකට ලක් වූ පව්කාරයන් ඇතුළු සෑම කෙනෙකුවම සොයා ගොස් ඔවුන්ට රාජ්‍යය පිළිබඳව කතා කරන්නේ ඒ නිසයි. එවැනි අය ඔහු වෙතට දැන් පැමිණෙමින් සිටිනවා ඔහුට සවන් දීමට.
මෙය දකින පරිසිවරු සහ ලියන්නෝ තමන් නුසුදුසුයයි සලකන මනුෂ්‍යයන් සමඟ සමාගම් පැවැත්වීම පිළිබඳව යේසුස්ව විවේචනය කරනවා. ඔවුන් මැසිවිලි නඟන්නේ, “මේ මිනිසා පව්කාරයන්ව පිළිගෙන ඔවුන් සමඟ කන්නේය” කියායි. ඔවුන්ගේ ලොකුකම්වලට එය මොන තරම් මදි පුංචිකමක්ද! පරිසිවරුන් හා ලියන්නන් සාමාන්‍ය මනුෂ්‍යයන්ව සලකන්නේ තම පයට පෑගෙන දූවිලි හා සමානවයි. ඇත්තෙන්ම, එවැනි අය කෙරෙහි ඔවුන්ට හැඟෙන පිළිකුල පෙන්වීම සඳහා ඔවුන් අම්හාආරෙට්වරුන් යන හෙබ්‍රෙව් යෙදුම භාවිත කරනවා ඔවුන්ව හඳුන්වන්න. එහි අදහස නම්, “දේශයේ [දූවිල්ලේ] මනුෂ්‍යයන්” යන්නයි.
ඊට වෙනස්ව යේසුස් සෑම කෙනෙකුටම ගෞරවනීයව, කරුණාවන්තව හා දයානුකම්පිත ලෙස සලකනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, වැරදි ක්‍රියාවල නියැලීම ගැන නම් දරා සිටින අය ඇතුළුව, යටහත් පහත් බොහෝදෙනෙක් ඔහුට සවන් දීමට මහත් කැමැත්තක් දක්වනවා. එහෙත් පරිසිවරුන් නුසුදුසුයයි සලකන අය වෙනුවෙන් යේසුස් දරන වෑයමට විරුද්ධව ඔවුන් කරන විවේචනය ගැන කුමක් කිව හැකිද?
උපමාවක් යොදාගනිමින් යේසුස් ඔවුන්ට පිළිතුරු දෙනවා. ඔහු පරිසිවරුන්ගේ දෘෂ්ටියෙන් කතා කරමින් ඔවුන්ව දෙවිගේ ගාල තුළ සුරක්ෂිතව සිටින ධර්මිෂ්ඨ අය හැටියට විස්තර කරනවා. එහෙත් හෙළා දකින ලද අම්හාආරෙට්වරුන්ව විස්තර කරන්නේ මුළාව ගොස් නැති වී සිටින අය හැටියටයි. ඔහු පවසන දෙයට සවන් දෙන්න.
“ඔබට බැටළුවන් සියදෙනෙකු සිටියත්, උන්ගෙන් එකෙකු නැති වුවහොත් අනූනවදෙනාව පාළුකරයේ ඉන්න හැර, නැති වූ එකා සම්බ වන තුරුම සොයා යන්නේ නැද්ද? ඔහුට ඌ සම්බ වූ විට, ප්‍රීති වෙමින් ඌව කරේ තබාගෙන, ගෙදර ගොස් තම මිතුරන් සහ අසල්වාසීන් කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න. මන්ද, නැති වී සිටි මාගේ බැටළුවා මට සම්බ වුණේය’ යි ඔවුන්ට කියන්නේය.”
යේසුස් ඊළඟට තම කතන්දරයේ අදාළ වීම පැහැදිලි කරමින් පවසන්නේ මෙසේයි. “මෙලෙස, පසුතැවිලි වන්න අවශ්‍යතාවක් නැති ධර්මිෂ්ඨයන් අනූනවදෙනෙකුට වඩා පසුතැවිලි වන එක් පව්කාරයෙකු නිසා ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේයයි මම ඔබට කියමි.”
පරිසිවරුන් තමන්වම ධර්මිෂ්ඨයන් ලෙස සලකන නිසා තමන් පසුතැවිලි විය යුතුයි කියා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මීට වසර කිහිපයකට පෙර යේසුස් බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ ආහාර ගත් නිසා ඔවුන්ගෙන් කීපදෙනෙකු ඔහුව විවේචනය කළ විට යේසුස් පැවසුවේ, “මා ආවේ පව්කාරයන් කැඳවන්න මිස ධර්මිෂ්ඨයන් කැඳවන්න නොවේ” කියායි. තමන් පසුතැවිලි විය යුතු නැහැයි කියා සිතන ආත්ම-ධර්මිෂ්ඨ පරිසිවරුන් පිළිබඳව ස්වර්ගයෙහි ප්‍රීතියක් නම් හටගන්නේ නැහැ. එහෙත් ඇත්තටම පසුතැවිලි වන පව්කාරයන් නිසා එසේ සිදු වෙනවා.
නැති වූ පව්කාරයන්ව නැවත යථා තත්වයට ගෙන ඒම ඉමහත් ප්‍රීතියට හේතුවක් බව තවදුරටත් අවධාරණය කිරීම සඳහා, යේසුස් තවත් උපමාවක් කියා දෙනවා. “ස්ත්‍රියක් ඩ්‍රැක්මා කාසි දහයක් තිබියදීත්, එක ඩ්‍රැක්මා කාසියක් හෝ නැති වුවහොත් පහනක් දල්වාගෙන, ගේ අතුගා එය සම්බ වන තුරු හොඳින් සොයන්නේ නැද්ද? ඇයට එය සම්බ වූ විට ඇගේ මිතුරියන් සහ අසල්වාසී ස්ත්‍රීන්ව කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න. මන්ද, මගේ නැති වූ ඩ්‍රැක්මා කාසිය සම්බ වුණේය’ යි ඔවුන්ට කියන්නීය” කියා ඔහු පවසනවා.
ඉන් අනතුරුව, යේසුස් කලින් උපමාවේ අදාළ වීම පැහැදිලි කළාක් මෙන් මෙයත් පැහැදිලි කරනවා. “මෙලෙස, පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් අතරේ ප්‍රීතිය හටගන්නේයැයි මම ඔබට කියමි.”
නැති වූ පව්කාරයන් යළි යථා තත්වයට පත්වීම සම්බන්ධයෙන් දෙවිගේ දූතයන් පෙන්වන මෙම ප්‍රේමණීය සැලකිල්ල මොන තරම් විශිෂ්ටද! එය විශේෂයෙන් කැපීපෙනෙන දෙයක් වන්නේ වරක් පහත් හා වැදගැම්මකට නැති අය ලෙස සලකනු ලැබූ අම්හාආරෙට්වරුන්, දෙවිගේ ස්වර්ගික රාජ්‍යයෙහි සාමාජිකයන් වීම සඳහා අන්තිමේදී සුදුස්සන් බවට පත් වන නිසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ට ස්වර්ගයෙහි දේවදූතයන්ටත් වඩා උසස් තත්වයක් ලැබෙනවා! මෙම පව්කාර මනුෂ්‍යයන් ජීවිතයේ පැනනඟින ගැටලුවලට මුහුණ දී ඒවායෙන් ජයගෙන තිබෙන නිසා, අනුකම්පාසහගත හා දයාන්විත ස්වර්ගික රජවරුන් හා පූජකයන් වශයෙන් සේවය කිරීමට ඔවුන් සුදුසුව සිටින බව දේවදූතයෝ යටහත් පහත් ලෙස තේරුම්ගන්නවා. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේවත් ඔවුන් එය තමන්ට කරන මදිපුංචිකමක් ලෙස සලකන්නේවත් නැහැ. ලූක් 15:1-10; මතෙව් 9:13; 1 කොරින්ති 6:2, 3; එළිදරව් 20:6; NW.
▪ පව්කාරයන් ලෙස ප්‍රසිද්ධව සිටින්නන් සමඟ යේසුස් ආශ්‍රය කරන්නේ ඇයි? පරිසිවරුන් ඔහුව විවේචනයට ලක් කරන්නේ කෙසේද?
▪ පරිසිවරුන් සාමාන්‍ය ජනයාව සලකන්නේ කෙසේද?
▪ යේසුස් කියා දෙන්නේ කිනම් උපමාද? ඒවායෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
▪ දේවදූතයන්ගේ ප්‍රීතිවීම එතරම් කැපීපෙනෙන දෙයක් වන්නේ ඇයි?