6වන පරිච්ඡේදය
අප මහලු වී මියයන්නේ මන්ද?
1. මිනිස් ජීවිතය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට පැහැදිලි කිරීමට නොහැකි වී තිබෙන්නේ කුමක්ද?
මිනිසුන් මහලු වී මියයන්නේ මන්දැයි විද්‍යාඥයන් නොදනී. නමුත් අපේ සෛල දිගින් දිගටම අලුත්වැඩියා වෙමින් අප සදාකාලයටම ජීවත් විය යුතු බවයි පෙනෙන්ට තිබෙන්නේ. “සෛල ගෙවීයෑම පුද්ගලයෙකුගේ මහලු වීම හා මරණයට සම්බන්ධ වන්නේ කෙසේදැයි යන්න විශාල අභිරහසක්” බව හියෝජූන් සොෂීකීගාකූ (සම්මත පටකවේදය) යන පොතේ සඳහන් වේ. නමුත් ජීවිතයට “ස්වාභාවිකව, සහජයෙන් උරුම වූ” සීමාවක් තිබෙන බවයි බොහෝ විද්‍යාඥයන්ගේ මතය. ඔවුන්ගේ මතය නිවැරදියයි ඔබ සිතනවාද?
2. ජීවිතයේ අස්ථිරභාවය නිසා සමහරු කුමක් කර ඇද්ද?
2 මිනිසුන් පුරාණයේ පටන් දිගුකල් ජීවත් වීමට මහත් ආශාවක් දක්වා ඇති අතර අමරණීයභාවය අත් කරගැනීමට පවා ඔවුන් වෙර දරා ඇත. චීන රදළවරුන්, පො.යු.පෙ. සිව්වන සියවසේ සිට අමරණීයභාවය සඳහා නිර්මාණය කළායයි කියවෙන ඖෂධවලට ආකර්ෂණය විය. පසුකාලයකදී විසූ චීන අධිරාජ්‍යවරුන් සමහරදෙනෙක් රසදියෙන් සෑදූ අමෘත පානය ලෙස හැඳින්වූ බීම වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මිය යන්නට විය! ලොව පුරා ජනයා විශ්වාස කරන්නේ මරණය තම පැවැත්මේ අවසානය නොවන බවයි. බෞද්ධයන්, හින්දු භක්තිකයන්, ඉස්ලාම් භක්තිකයන් සහ විවිධ ආගම්වලට අයත්වූවන්ට මරණයෙන් පසු ජීවිතය පිළිබඳව දීප්තිමත් බලාපොරොත්තු ඇත. ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙක් ස්වර්ගයේ දිව්‍ය සැපත භුක්ති විඳීම ගැනද සිහින මවයි.
3. (අ) මිනිසුන් සදාකල් ජීවත්වීමට මහත් සේ ආශා කරන්නේ ඇයි? (ආ) මරණය පිළිබඳ කුමන ප්‍රශ්නවලට උත්තර ලැබිය යුතුද?
3 මරණයෙන් පසු සන්තෝෂය අත් කරගැනීම පිළිබඳ සංකල්පවලින් පිළිබිඹු කරන්නේ සදාකාලික ජීවිතයක් සඳහා ඇති මහත් ආශාවය. දෙවි අප තුළ ජනිත කළ සදාකාලිකත්වය පිළිබඳ අදහස සම්බන්ධයෙන් බයිබලයේ පැවසෙන්නේ, ‘ඔහු ඔවුන්ගේ සිත්වල සදාකාලය තබා තිබේය’ කියායි. (දේශනාකාරයා 3:11, NW) ඔහු මුල්ම මිනිස් යුවළව මැව්වේ පොළොව මත සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ඇතුවය. (උත්පත්ති 2:16, 17) එසේනම්, මිනිසුන් මියයන්නේ ඇයි? මරණය ලෝකයට ඇතුල් වුණේ කෙසේද? දෙවි පිළිබඳ දැනුම මෙම ප්‍රශ්න මතට ආලෝකය හෙළයි.—ගීතාවලිය 119:105.
කූට කුමන්ත්‍රණයක්
4. යේසුස් මිනිසාගේ මරණයට වගකිව යුතු අපරාධකරුවාව හඳුන්වා දුන්නේ කොහොමද?
4 අපරාධකරුවෙක් තමා කළ දෙය වසං කිරීමට උත්සාහ දරයි. බිලියන ගණනකගේ මරණයට තුඩු දුන් අපරාධයකට වගකිව යුතු තැනැත්තා සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. මිනිසුන්ගේ මරණය අභිරහස්වලින් වසං වන පරිදි ඔහු දේවල් හසුරුවා ඇත. තමාව මැරීමට තැත් කරමින් සිටි අයට යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසූ විට, මෙම අපරාධකරුවා කවුරුන්දැයි හඳුන්වා දුන්නේය: “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය.”—යොහන් 8:31, 40, 44.
5. (අ) සාතන් නමැති යක්ෂයා බවට පත් වූ තැනැත්තාගේ මූලාරම්භය කුමක්ද? (ආ) “සාතන්” සහ “යක්ෂයා” යන වචනවල තේරුම කුමක්ද?
5 ඇත්තෙන්ම, යක්ෂයා ද්වේෂසහගත “මිනීමරන්නෙක්.” ඔහු සැබෑ පුද්ගලයෙකු බවත්, නිකම්ම යමෙකුගේ සිතේ තිබෙන නපුර නොවන බවත් බයිබලයේ හෙළි කර ඇත. (මතෙව් 4:1-11) ඔහුව මැව්වේ ධර්මිෂ්ඨ දේවදූතයෙකු හැටියට වුවත්, “ඔහු සැබෑවෙහි නොපැවතුණේය.” එසේනම් ඔහුව සාතන් නමැති යක්ෂයා ලෙස හැඳින්වීම මොනතරම් යෝග්‍යද! (එළිදරව් 12:9) “සාතන්” නොහොත් “එදිරිවාදියා” යන නම ඔහුට තබා ඇත්තේ ඔහු යෙහෝවාට විරුද්ධ වී එදිරිවාදිකම් පා තිබෙන නිසයි. මෙම අපරාධකරුවා, “අපහාසකරන්නා” යන අරුත් ඇති “යක්ෂයා” හැටියට හඳුන්වන්නේ, ඔහු දෙවිට අවමන් කර ඇති නිසයි.
6. සාතන් දෙවිට විරුද්ධව කැරලිගැසුවේ ඇයි?
6 දෙවිට විරුද්ධව කැරලිගැසීමට සාතන්ව පෙලඹෙව්වේ කුමක්ද? ගිජුකමයි. මනුෂ්‍යයන්ගෙන් යෙහෝවා ලැබූ නමස්කාරයට ඔහු තුළ ගිජුකමක් හා තණ්හාවක් ඇති විය. මෙවන් නමස්කාරයක් ලැබීමට මැවුම්කරුට පමණක් තිබූ නියම අයිතිය, තමන් සතු කරගැනීම සඳහා වූ තෘෂ්ණාව යක්ෂයා යටපත් කරගත්තේ නැත. (එසකියෙල් 28:12-19 සසඳන්න.) ඒ වෙනුවට, සාතන් බවට පත් වූ එම දේවදූතයා, මෙම ගිජු තෘෂ්ණාව පිළිසිඳගෙන පාපය වදන තෙක්, එය පෝෂණය කරන්නට විය.—යාකොබ් 1:14, 15.
7. (අ) මිනිසුන්ගේ මරණයට හේතුව කුමක්ද? (ආ) පාපය යනු කුමක්ද?
7 මිනිසුන්ගේ මරණයට මඟ පාදා තිබෙන අපරාධයට වගකිව යුතු වරදකරුවාව අපි දැන් හඳුනාගෙනයි සිටින්නේ. නමුත් මිනිසුන් ඇත්තටම මියයන්නේ ඇයි? බයිබලයේ ඒ ගැන මෙසේ පවසයි: “මරණයේ කටුව නම් පාපයය.” (1 කොරින්ති 15:56) පාපය යනු කුමක්ද? මෙම වචනය තේරුම්ගැනීම සඳහා, බයිබලයේ මුල් භාෂාවල ඊට දී තිබූ අර්ථය අපි දැන් සලකා බලමු. “පව් කිරීම” ලෙස පොදුවේ පරිවර්තනය කොට ඇති හෙබ්‍රෙව් හා ග්‍රීක ක්‍රියාපදවල තේරුම වන්නේ “අහිමි වීම” යන්නයි. යම් මිම්මකට ළඟාවීමට නොහැකි වීම හෝ ඉලක්කයක් අත් කරගැනීමට අපොහොසත් වීම එහි අරුතයි. අප සියලුදෙනාටම ළඟාවීමට නොහැකි මිම්ම කුමක්ද? එය නම් දෙවිට සම්පූර්ණයෙන් කීකරු වීමේ මිම්මයි. නමුත්, පාපය ලෝකයට ඇතුල් වූයේ කෙසේද?
කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ අන්දම
8. සාතන් මිනිසුන්ගේ නමස්කාරය ලබාගැනීමට වෑයම් කළේ කොහොමද?
8 මිනිසුන් සියලුදෙනාවම පාලනය කිරීමට හා ඔවුන්ගේ නමස්කාරය ලබාගැනීමට මඟ පාදනු ඇතැයි සිතූ කුමන්ත්‍රණයක් සාතන් දියත් කළේය. දෙවිට විරුද්ධව පව් කිරීම සඳහා පළමු මිනිස් යුවළ වූ ආදම් සහ ඒවව පොලඹවාගැනීමටයි ඔහු තීරණය කළේ. සදාකාල ජීවනයට මඟ පෙන්වීමට හැකියාව තිබූ දැනුමක් යෙහෝවා අපේ මුල් දෙමාපියන්ට දී තිබුණි. අලංකාර ඒදන් උයනක් තුළ ජීවත් වීමේ ප්‍රස්තාව ඔවුන්ට දුන් හෙයින්, තම මැවුම්කරු යහපත් බව ඔවුන් දැන සිටියේය. තම ස්වර්ගික පියාගේ යහපත්කම ආදම්ට විශේෂයෙන්ම දැනුණේ ඔහුට රූමත් මෙන්ම උපකාරවත් බිරිඳක් ලබා දුන් අවස්ථාවේදීයි. (උත්පත්ති 1:26, 29; 2:7-9, 18-23) පළමු මිනිස් යුවළගේ ජීවිතයේ දිගුකල් පැවැත්ම රඳාපැවතුණේ දෙවිට කීකරු වීම මතය.
9. දෙවි පළමු මිනිසාට දුන් ආඥාව කුමක්ද? මෙය අසාධාරණ එකක් නොවුණේ ඇයි?
9 දෙවි ආදම්ට මෙසේ අණ කළේය: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) මැවුම්කරු හැටියට, තම මැවිලි වෙනුවෙන් සදාචාර ප්‍රමිති පිහිටුවීමටත්, යහපත හා නපුර කුමක්ද කියා නිශ්චය කිරීමටත් යෙහෝවා දෙවිට අයිතියක් තිබුණි. ඔහුගේ ආඥාව සාධාරණ එකක් වූයේ, උයනේ වෙනත් ඕනෑම ගසකින් ඵල නෙළාගැනීමේ නිදහස ආදම් සහ ඒවට තිබුණු නිසයි. උඩඟු ලෙස තමන්ගේම සදාචාර ප්‍රමිති පිහිටුවාගන්නවා වෙනුවට මෙම නීතියට කීකරු වීමෙන්, යෙහෝවාගේ යුක්තිසහගත පාලනය කෙරෙහි තම අගය පෙන්වීමේ හැකියාව ඇතුවයි ඔවුන් සිටියේ.
10. (අ) මිනිසුන්ව තම පැත්තට නම්මවාගැනීම සඳහා සාතන් ඔවුන් වෙත එළඹුණේ කොහොමද? (ආ) සාතන් ඇඟෙව්වේ යෙහෝවාට මොන වගේ චේතනා තිබෙන බවද? (ඇ) දෙවිට විරුද්ධව සාතන් එල්ල කළ ප්‍රහාරය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
10 යක්ෂයා කුමන්ත්‍රණය කරමින් සිටියේ මුල් මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරවීමටයි. තමන්ගේ පැත්ත ගැනීමට ඔවුන්ව පොලඹවාගැනීම සඳහා සාතන් බොරු කීවේය. රූකඩ නටවන්නෙක් මෙන්, යක්ෂයා සර්පයෙකු යොදාගෙන ඒවගෙන් මෙසේ ඇසුවේය: ‘ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවි කීවාද?’ ඒව දෙවිගේ ආඥාව සඳහන් කළ විට, සාතන් ප්‍රකාශ කළේ මෙසේය: “නුඹලා ඇත්තටම නසින්නේ නැත.” යෙහෝවාට නරක චේතනා ඇතැයි අඟවමින් ඔහු ඊළඟට මෙසේ පවසන්නට විය: ‘නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.’ (උත්පත්ති 3:1-5) මෙසේ, දෙවි යම් යහපත් දෙයක් නොදී සිටින බවයි යක්ෂයා ඇඟෙව්වේ. සත්‍යවාදී, ප්‍රේමනීය ස්වර්ගික පියාණන් වන යෙහෝවාට ඔහු එල්ල කළේ මොනතරම් අපහාසාත්මක ප්‍රහාරයක්ද!
11. ආදම් සහ ඒව සාතන්ගේ වරදට හවුල්කරුවන් වුණේ කොහොමද?
11 ඒව නැවතත් ගස දෙස බැලුවාය. මෙවර එහි ඵල ඇසට ප්‍රිය ඒවා බව ඇයට පෙනුණි. එනිසා ඈ ගෙඩිය ගෙන කෑවාය. පසුව, දෙවිට අකීකරු වීමේ මෙම පාපතර ක්‍රියාවට ඇගේ ස්වාමිපුරුෂයාද ස්වකැමැත්තෙන්ම හවුල් විය. (උත්පත්ති 3:6) ඒව රැවටුණත්, ඇය සහ ආදම් යන දෙදෙනාම, මනුෂ්‍යවර්ගයාව පාලනය කිරීම සඳහා සාතන් යෙදවූ උපායට අනුබල දුන්හ. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාම ඔහුගේ වරදෙහි හවුල්කරුවන් විය.—රෝම 6:16; 1 තිමෝති 2:14.
12. මිනිසුන් දෙවිට විරුද්ධව කැරලිගැසීමෙන් ඇති වූ ප්‍රතිඵලය කුමක්ද?
12 තම ක්‍රියාවල ප්රතිවිපාකයන්ට මුහුණ දීමට ආදම්ට සහ ඒවට සිදු විය. ඔවුන් විශේෂ දැනුමක් හිමි කරගත්තේවත් දෙවිට සමාන වූයේවත් නැත. ඒ වෙනුවට, සිදු වූයේ ඔවුන් ලජ්ජාවට පත් වී සැඟවීමයි. ආදම් වරදට වගකිව යුතුයැයි පවසමින් යෙහෝවා මෙම දණ්ඩනය නියම කළේය: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) අපේ මුල් දෙමාපියන් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කෑ “දවසෙහි” දෙවි ඔවුන්ට දඬුවම නියම කළ අතර, ඔහුගේ දෘෂ්ටි කෝණයට අනුව ඔවුන් එදිනම මියගියේය. ඉන් අනතුරුව ඔවුන්ව පාරාදීසයෙන් පිටමං කළ අතර, මරණය දක්වාම පිරිහෙන්නට විය.
පාපය සහ මරණය පැතිර ගිය අන්දම
13. පාපය මුළු මිනිස්වර්ගයාටම පැතුරුණේ කොහොමද?
13 මිනිසාගේ ගරුබුහුමන් ලබාගැනීම සඳහා වූ තම උපායෙන් සාතන් සාර්ථක වී තිබුණු බවයි පෙනෙන්ට තිබුණේ. එහෙත් තම නමස්කාරකයන්ව දිගටම ජීවත් කරවීමේ හැකියාව ඔහුට තිබුණේ නැත. පාපය මුල් මිනිස් යුවළට බලපෑම් කිරීමට පටන්ගත් විට, තම දූදරුවන්ට පරිපූර්ණත්වය උරුම කර දීමේ හැකියාව තවදුරටත් ඔවුන්ට තිබුණේ නැත. ගලක කොටන ලද අකුරු මෙන්, පාපය අපේ මුල් දෙමාපියන්ගේ ජාන තුළ ගැඹුරට කාවැදී තිබුණි. මෙනිසා, ඔවුන්ට බිහි කිරීමට හැකි වූයේ අසම්පූර්ණ දූදරුවන්ව පමණයි. සෑම දරුවෙකුවම පිළිසිඳ ගත්තේ ආදම් සහ ඒව පාපයට හවුල් වූවායින් පසුව බැවින්, ඔවුන්ගෙන් පැවතෙන්නන් පාපය හා මරණය උරුම කරගන්නට විය.—ගීතාවලිය 51:5; රෝම 5:12.
14. (අ) තම පාපය ප්‍රතික්ෂේප කරන අයව කාටද සමාන කරන්න පුළුවන්? (ආ) තමන් පව්කාර තත්වයක සිටි බව ඉශ්රායෙල්වරුන්ට අවබෝධ කරගැනීමට හැකි වූයේ කොහොමද?
14 කෙසේවෙතත්, අදදින සිටින බොහෝදෙනෙක් තමන් පව්කාරයන් කියා සිතන්නේ නැත. ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් උරුම කරගත් පාපය කියන්නේ කුමක්ද කියාවත් දන්නේ නැත. නමුත් එය පාපය නොපවතින බවට සාක්ෂියක් නොවෙයි. අපිරිසිදු මුහුණක් ඇති පිරිමි ළමයෙක්, තමා පිරිසිදුයයි කියාගත හැකි වුවත්, ඇත්ත තත්වය එය නොවන බව ඔහුට වැටහෙන්නේ ඔහු කැඩපතකින් තම මුහුණ බැලූ විට පමණයි. පුරාණ ඉශ්රායෙල්වරුන් දෙවිගේ අනාගතවක්තෘ මෝසෙස් මාර්ගයෙන් දෙවිගේ ව්‍යවස්ථාව ලද විට, ඔවුන් එම පිරිමි ළමයාට සමාන විය. පාපය කියා දෙයක් පවතින බව ව්‍යවස්ථාවෙන් පැහැදිලි විය. ප්‍රේරිත පාවුල් ඒ ගැන පැහැදිලි කළේ මෙසේය: “ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත.” (රෝම 7:7-12) පිරිමි ළමයා කැඩපතෙන් බලනවා හා සමානව, තමන්වම බලාගැනීමට ව්‍යවස්ථාව යොදාගැනීමෙන් යෙහෝවාගේ ඇස් හමුවෙහි තමන් අපවිත්‍ර බව දැකගැනීමට ඉශ්රායෙල්වරුන්ට හැකි විය.
15. දේවවචනය නමැති කැඩපතින් බැලීමෙන් හෙළි වන්නේ කුමක්ද?
15 දේවවචනය නමැති කැඩපතෙන් බලා එහි ප්‍රමිති සැලකිල්ලට ගැනීමෙන්, අපත් අසම්පූර්ණ බව අපට දැකගත හැකියි. (යාකොබ් 1:23-25) උදාහරණයක් වශයෙන්, මතෙව් 22:37-40හි වාර්තා වී ඇති පරිදි, දෙවිට සහ තම අසල්වාසියාට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් යේසුස් තම ගෝලයන්ට පැවසූ දේ සැලකිල්ලට ගන්න. මිනිසුන්ට මෙවන් දේවල් සම්බන්ධයෙන් නිසි මිම්ම කරා ළඟාවීමට නොහැකි වන අවස්ථා කොතරම් ඇද්ද! දෙවි කෙරෙහිත් තම අසල්වාසීන් කෙරෙහිත් ප්‍රේමය පෙන්වීමට අසමත් වීම ගැන බොහෝදෙනෙකුගේ හෘදය සාක්ෂිය තුළ පසුතැවිලි වීම ගැන අල්ප මාත්‍රයක හැඟීමක්වත් නැති තරම්ය.—ලූක් 10:29-37.
සාතන්ගේ උපායන් ගැන පරෙස්සම් වන්න!
16. සාතන්ගේ උපායවලට ගොදුරු නොවී සිටීමට අප කළ යුත්තේ කුමක්ද? මෙය අපහසු වන්නේ ඇයි?
16 සාතන් මාන බලන්නේ පුරුද්දක් ලෙස හිතාමතාම පව් කිරීමට අපව පොලඹවන්නයි. (1 යොහන් 3:8, NW) ඔහුගේ උපායන්ට ගොදුරු නොවී සිටීමට කිසියම් මාර්ගයක් ඇද්ද? ඔව්, හිතාමතා පව් කිරීමට වූ අපේ නැඹුරුවාවට එරෙහිව සටන් කිරීම මේ සඳහා අවශ්‍ය කෙරේ. පව් කිරීම සඳහා ඇති අපේ සහජ ප්‍රවණතාව ප්‍රබල එකක් නිසා, මෙය පහසු දෙයක් නොවෙයි. (එපීස 2:3) පාවුල්ට ඇත්තෙන්ම පොරබැදීමක නිරත වීමට සිදු විය. ඇයි? මන්දයත්, පාපය ඔහු තුළ වාසය කළ නිසයි. අපට දෙවිගේ අනුමැතිය ඕනෑ නම්, අපත් අප තුළ ඇති පව්කාර ප්රවණතාවලට විරුද්ධව සටන් කළ යුතුයි.—රෝම 7:14-24; 2 කොරින්ති 5:10.
17. අපේ පව්කාර නැඹුරුවාවන්ට විරුද්ධව කරන සටන තවත් අපහසු කරවන්නේ කුමක්ද?
17 දෙවිගේ නීති කඩ කිරීමට අපව පෙලඹවීම සඳහා සාතන් නිරතුරුවම මාන බලමින් සිටින නිසා පාපයට විරුද්ධව කරන අපේ සටන පහසු එකක් නොවෙයි. (1 පේතෘස් 5:8) සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි සැලකිල්ල පෙන්වමින්, පාවුල් මෙසේ පැවසුවේය: ‘සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක් මෙන් ක්‍රිස්තුස් කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම් විධියකින් නුඹලා වෙන් කොට නුඹලාගේ සිත් දූෂ්‍ය කරනු ලැබේදෝ කියා භය වෙමි.’ (2 කොරින්ති 11:3) අදදින සාතන් එවැනිම උපායන් යොදාගනී. යෙහෝවාගේ යහපත්කම ගැනත්, දෙවිගේ ආඥාවලට කීකරු වීමේ ඇති ප්‍රයෝජනය ගැනත්, සැකයේ බීජ වැපිරීමට ඔහු අරඅදී. යක්ෂයා මාන බලන්නේ, අප උරුම කරගත් පව්කාර ප්රවණතාවන් තම වාසියට හරවාගනිමින්, උඩඟුකම, ගිජුකම, වෛරය සහ අගතියෙන් යුත් මඟක් ලුහුබැඳීමට අපව පෙලඹවීමටයි.
18. පාපය වර්ධනය කිරීමට සාතන් ලෝකය යොදාගන්නේ කොහොමද?
18 සාතන් අපට විරුද්ධව යොදාගන්නාවූ එක් උපායක් වන්නේ තම බලය යටතේ ඇති ලෝකයයි. (1 යොහන් 5:19, නව අනුවාදය) අප පරෙස්සම් නූණොත්, දෙවිගේ සදාචාර ප්‍රමිති උල්ලංගනය වන පාපතර ක්‍රියාමාර්ගයක් ගැනීමට අප අවට සිටින ලෝකයේ දූෂිත වංක ජනයා අපට බල කළ හැකියි. (1 පේතෘස් 4:3-5) බොහෝදෙනෙක් දෙවිගේ නීති නොසලකා හරින අතර, තම හෘදය සාක්ෂිය ඇති කරන පෙලඹවීම් පවා හිතාමතාම ගණන් නොගෙන සිටී. අන්තිමේදී, එය සංවේදී නොවන තත්වයකට පත් වේ. (රෝම 2:15, 16; 1 තිමෝති 4:1, 2අ, 3ආ) කලින් තම අසම්පූර්ණ හෘදය සාක්ෂිය පවා ඉඩ නොදුන් ආකාරයකට ක්‍රියා කිරීමට සමහරුන් ක්‍රමක්‍රමයෙන් පටන්ගනී.—රෝම 1:24-32; එපීස 4:17-19.
19. පවිත්‍ර ජීවිතයක් ගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?
19 මේ ලෝකය තුළ පවිත්‍ර ජීවිතයක් ගත කිරීම පවා ඇත්තෙන්ම ජයග්‍රහණයකි. කෙසේවෙතත්, අපේ මැවුම්කරුව සතුටු කිරීම සඳහා ඊට වඩා වැඩි යමක් අවශ්‍යයි. දෙවි කෙරෙහි ඇදහිල්ලක් මෙන්ම ඔහු කෙරෙහි වගකීමේ හැඟීමක්ද අප තුළ තිබිය යුතුයි. (හෙබ්‍රෙව් 11:6) “යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය” කියා ශ්‍රාවක යාකොබ් ලිව්වේය. (යාකොබ් 4:17) ඔව්, දෙවිව සහ ඔහුගේ ආඥා හිතාමතා නොසලකා හැරීම පවා පාපයේ එක් ස්වරූපයකි.
20. හරි දේ කිරීමෙන් ඔබව වැළැක්වීමට සාතන් කෙසේ වෑයම් කරාවිද? නමුත් එවන් පීඩනවලට එරෙහි වීම සඳහා ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?
20 බයිබලය අධ්‍යයනය කිරීමෙන් දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට ඔබ වෑයම් කරන විට, සාතන් ඊට එරෙහිව විරුද්ධවාදිකම් පෑමට බොහෝදුරට ඉඩ කඩ තිබේ. හරි දෙය කිරීමෙන් වළකාලීමට ඔබ මෙම පීඩනයන්ට ඉඩ නොදෙනු ඇතැයි යන්න අපේ අවංක බලාපොරොත්තුවයි. (යොහන් 16:2) යේසුස් දේශනා කළ කාලයේදී මුලාදෑනීන් බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවත්, සමාජයෙන් තමන් කොන් වේවිය යන භය නිසා ඔවුන් යේසුස්ව විශ්වාස කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැත. (යොහන් 12:42, 43) දෙවි පිළිබඳ දැනුම සොයන ඕනෑම කෙනෙකුව භයගැන්වීමට සාතන් අනුකම්පා විරහිත ලෙස වෑයම් කරයි. කෙසේවෙතත්, යෙහෝවා කර තිබෙන පුදුමසහගත දේවල් ඔබ සැමවිටම සිහි කොට, ඒවා අගය කළ යුතුයි. විරුද්ධවාදීන්ට පවා එවන් අගය කිරීමක් ඇති කරගැනීමට උපකාර කරන්න ඔබට සමහරවිට පුළුවන් විය හැකියි.
21. ලෝකයෙන් හා අපේම පව්කාර ප්රවණතාවන්ගෙන් අපට ජයගත හැක්කේ කොහොමද?
21 අපි අසම්පූර්ණව සිටින තාක් කල් පව් කරන්නෙමු. (1 යොහන් 1:8) කෙසේවෙතත්, මෙම සටන කිරීම සඳහා අවශ්‍ය උපකාර අපට ලැබේ. ඔව්, නපුරා වන සාතන් නමැති යක්ෂයාට විරුද්ධව කරන සටනේ ජයග්‍රාහකයන් වීමට අපට හැකියි. (රෝම 5:20ආ) යේසුස් මිහිපිට කළ දේවසේවයේ අවසාන කාලයේදී, තම අනුගාමිකයන්ට මෙසේ පැවසීමෙන් දිරිගැන්වීය: “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමි.” (යොහන් 16:33) අසම්පූර්ණ මිනිසුන්ට පවා, දෙවිගේ උපකාරය ඇතුව ලෝකයෙන් ජයගැනීමට හැකියි. සාතන්ට විරුද්ධ වෙමින් ‘දෙවිට යටත්ව සිටින’ අය කෙරෙහි ඔහුට කිසිදු බලයක් නැත. (යාකොබ් 4:7; 1 යොහන් 5:18) තවද අප දකින්ට යන පරිදි, පාපයේ සහ මරණයේ වහල්කමින් මිදීමට මාර්ගයක්ද දෙවි සපයා ඇත.
ඔබේ දැනුම මැන බලන්න
සාතන් නමැති යක්ෂයා කවුද?
මිනිසුන් මහලු වී මියයන්නේ ඇයි?
පාපය යනු කුමක්ද?
දෙවිට විරුද්ධව හිතාමතාම පව් කිරීමට සාතන් ජනයාව පොලඹවාගන්නේ කොහොමද?
[54වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]