පස්වන පරිච්ඡේදය
හස්ත කර්මාන්තය පිටුපස ඇත්තේ කුමක්ද?
කලින් පරිච්ඡේදවල සඳහන් කළ පරිදි, විශ්වය සහ පෘථිවිය මත ජීවය යන දෙකටම ආරම්භයක් තිබුණු බව පෙන්වන ඒත්තුගන්වනසුලු සාක්ෂි රැසක් නූතන විද්‍යාවේ සොයාගැනීම්වලින් ඉදිරිපත් කර තිබෙනවා. ඒවායේ ආරම්භයට හේතු වූයේ කුමක්ද?
තිබෙන සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසු, මුල් වන හේතුවක් තිබෙන්න ඇතැයි බොහෝදෙනෙක් නිගමනය කළා. කෙසේවෙතත්, එම හේතුවට පෞද්ගලිකත්වයක් මුසු කිරීමට ඔවුන් අදි මදි කරනවා. මැවුම්කරුවෙකු ගැන කතා කිරීම සම්බන්ධයෙන් මෙලෙස පසුබට වීම, ඇතැම් විද්‍යාඥයන්ට ඇත්තේ කෙබඳු ආකල්පයක්ද යන්න පිළිබිඹු කරනවා.
නිදසුනකට, විශ්වයට ආරම්භයක් තිබුණු බව ඒත්තුගෙන සිටි ඇල්බට් අයින්ස්ටයින්, “දෙවි ලෝකය මැව්වේ කොහොමද කියා දැනගැනීමට” ඇති තම ආශාව ප්‍රකාශ කළා. එනමුත්, පෞද්ගලිකත්වයක් ඇති දෙවිකෙනෙකු සිටිනවා කියා තමාට විශ්වාසයක් ඇති බව අයින්ස්ටයින් පිළිගත්තේ නැහැ. “කිසිම ධර්මයක්වත්, මිනිසාගේ ස්වරූපය දරන දෙවිකෙනෙකුවත් පිළි නොගන්නා” විශ්වය හා බැඳුණු “අධ්‍යාත්මික හැඟීමක්” ගැන ඔහු කතා කළා. එලෙසම, නොබෙල් ත්‍යාගලාභී රසායනඥ කෙනිචි ෆූකූඉ, විශ්වයේ ඉමහත් සැලැස්මක් ඇති බවට වූ තම විශ්වාසය පළ කළා. “මෙම මහත් සම්බන්ධය සහ සැලැස්ම ‘පරම බලය’ හෝ ‘දෙවි’ වැනි වචනවලින් පළ කළ හැකි” බව ඔහු පැවසුවා. එනමුත් ඔහු එය නම් කළේ “ස්වභාවධර්මයාට ආවේණික වූ ගතිලක්ෂණයක්” ලෙසයි.
පෞද්ගලිකත්වයක් නැති හේතුවක් ඇති බවට වූ එවැනි විශ්වාසයක්, ප්‍රාචීන ආගමික චින්තනයට බොහෝදුරට සමාන්තරව යන බව ඔබ දන්නවාද? ස්වභාවධර්මයා ස්වයංක්‍රීයව බිහි වූ බව ප්රාචීනයන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා. ස්වභාවධර්මය යන වචනයට චීන භාෂාවෙන් යොදා ඇති අකුරුවලින් පවා මෙම අදහස ප්රත්යක්ෂ වෙනවා. ඒවායේ පදගතාර්ථ තේරුම “ස්වයංක්‍රීයව බිහි වෙනවා” හෝ “මැවීමක් නොමැතිව ස්වාධීනව පවතිනවා” යන්න වේ. තමා සඳහන් කළ විශ්වය හා බැඳුණු ආගමික හැඟීම බෞද්ධ ධර්මයේ හොඳින් පැහැදිලි කර තිබූ බව අයින්ස්ටයින් විශ්වාස කළා. විශ්වය සහ මනුෂ්‍යයන් බිහි කිරීමට මැවුම්කරුවෙකු සම්බන්ධ වුණාද නැද්ද යන්න වැදගත් නැති බව බුදුන් කියා සිටියා. ඒ හා සමානව, ෂින්ටෝ ධර්මය ස්වභාවධර්මය බිහි වූ ආකාරය පැහැදිලි නොකරන අතර, දෙවිවරුන් කියන්නේ ස්වභාවධර්මයාට එක් වී ඇති මළවුන්ගේ ආත්ම බව ෂින්ටෝ බැතිමතුන්ගේ විශ්වාසයයි.
එවන් චින්තනයක් පුරාණ ග්‍රීසියේ ජනප්‍රිය වූ මතවලට සෑහෙනදුරට සමාන වීම සැලකිල්ලට ගත යුත්තක්. එපිකියුරස් නමැති දාර්ශනිකයා (පො.යු.පෙ. 341-270) ‘හොඳක් හෝ නරකක් හෝ කරන්න බැරි තරමටම දෙවිවරුන් ඔබෙන් දුරස් වැඩියි’ කියා විශ්වාස කළ බවට පැවසේ. ඔහුගේ අදහසට අනුව, මිනිසා ස්වභාවධර්මයාගේ නිෂ්පාදනයක්. ඇතැම්විට ස්වයංසිද්ධ ජනනයෙන් සහ උචිතම සත්වයා ස්වාභාවිකව තේරීමෙන් එසේ සිදු වූ බව කියැවේ. වර්තමානයෙහි මේ හා සමානවම පවතින අදහස් නවීන පන්නයේ ඒවා නොවන බව ඔබට මෙයින් පැහැදිලි විය හැකියි.
එපිකුරීයයන් සමඟ සිටි අනික් උදවිය ග්‍රීක ස්ටොයිකවාදීන්ය. ඔවුන් ස්වභාවධර්මය සැලකුවේ දෙවියන් හැටියටයි. මනුෂ්‍යයන් මැරෙන විට, ඔවුන්ගෙන් පිට වූ පෞද්ගලිකත්වයක් නැති ශක්තිය, දෙවියන් සාදන ශක්ති සාගරය තුළට උරාගනු ලබන බව ඔවුන් අනුමාන කළා. ස්වාභාවික නීතිවලට සහයෝගය දැක්වීම උතුම්ම සත්ක්රියාවයයි ඔවුන් සැලකුවා. අපේ කාලයෙත් ඒ හා සමාන මතයන් ඔබ අසා ඇද්ද?
පෞද්ගලිකත්වයක් ඇති දෙවිකෙනෙකු පිළිබඳ විවාදය
කෙසේවෙතත්, පුරාණ ග්‍රීසියෙන් ලද සෑම තොරතුරක්ම යල්පැන ගිය ඉතිහාසයක් ලෙස සලකා අප පසෙක නොදැමිය යුතුයි. එවන් විශ්වාසයන් පැවති පසුබිමක, මුල් සියවසේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් ඉතිහාසයේ ඉතා කැපීපෙනෙන දේශනයක් ඉදිරිපත් කළා. මෙම දේශනය වාර්තා කළේ වෛද්‍යවරයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු වූ ලූක් විසිනුයි. තවද එය වාර්තා වී තිබෙන්නේ ප්‍රේරිතයන්ගේ ක්‍රියා නමැති පොතේ 17වන පරිච්ඡේදයෙහියි. මුල් වන හේතුව පිළිබඳව අපට වඩා පැහැදිලි අදහසක් ලබාගැනීමටත්, මේ සියල්ලේදී අපට හිමි ස්ථානය කුමක්ද කියා දැකගැනීමටත් එය උපකාරවත් විය හැකියි. කෙසේවෙතත්, අදදින අවංක පුද්ගලයන් ජීවිතයේ අරුත සොයද්දී, අවුරුදු 1,900කට කලින් දෙන ලද දේශනයක් ඔවුන්ගේ ජීවිතවලට බලපෑ හැක්කේ කෙසේද?
ඒ සුප්‍රසිද්ධ ගුරුවරයා වූ පාවුල්ව, අතීනසයේ මහාධිකරණය ඉදිරිපිටට ගෙනෙනු ලැබුවා. එහිදී, පෞද්ගලිකත්වයක් ඇති දෙවිකෙනෙකුව විශ්වාස නොකළ එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන් ඉදිරියෙහි ඔහු පෙනී සිටියා. තම ප්රාරම්භක වදන් ඉදිරිපත් කරද්දී, පාවුල් “නාඳුනන දෙවි කෙනෙකුටය” (ග්‍රීක්, අ·ග්නොʹස්ටොයි තෙ·ඔයිʹ) යන සටහන ඇති පූජාසනයක් ඔවුන්ගේ නගරයේ දුටු බව සඳහන් කරනවා. උනන්දුවට කරුණක් වන්නේ, ජීව විද්‍යාඥ ටොමස් එච්. හක්ස්ලි “අඥේයවාදියා” යන යෙදුම හඳුන්වා දුන් විට, ඔහු මෙය තම පදනම කරගත් බව ඇතැම් අය කල්පනා කිරීමයි. හක්ස්ලි එම වචනය අදාළ කළේ “පරම හේතුවද (දෙවි), දේවල මූලික ස්වභාවයද නොදන්නා හෝ දැනගත නොහැකියි” යයි කියා සිටින අයටයි. එනමුත් බොහෝදෙනෙකු කියා තිබෙන විදිහට, මැවුම්කරුව ඇත්තටම ‘දැනගත නොහැකිද?’
ඇත්තම කියනවා නම්, එය පාවුල්ගේ යෙදුම වරදවා අදාළ කිරීමක්. එය පාවුල් ගෙනහැර දක්වන කාරණය වරදවා වටහාගැනීමක් වෙනවා. ඔහු කිව්වේ මැවුම්කරුව දැනගත නොහැකි බව නොව, නමුත් එම අතීනස වැසියන් ඔහුව දැන සිටියේ නැති බවයි. අදදින මැවුම්කරුවෙකුගේ පැවැත්ම ඔප්පු කිරීමට අපට තිබෙන තරම් විද්‍යාත්මක සාක්ෂි පාවුල්ට එදා තිබුණේ නැහැ. කොහොම වුණත්, පෞද්ගලිකත්වයක් ඇති, බුද්ධිමත් මෙන්ම අපව තමා වෙත ඇදගන්නා ගුණාංග ඇති නිර්මාතෘවරයෙක් සිටිනවා යන්න පාවුල් කොහෙත්ම සැක කළේ නැහැ. පාවුල් දිගින් දිගටම කතා කරද්දී පැවසූ දේ සැලකිල්ලට ගන්න:
‘නුඹලා නොදන්නාකමින් නමස්කාර කරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශ කරමි. ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවි ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිව සිටින අතර, අතින් සාදන ලද මාළිගාවල නොවසන්නේය; ඔහු යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන්, මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ ඔහුම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙන්නේය. ඔහු පිළියෙළ කළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියම කොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක් කෙනෙකුගෙන් ඔවුන් මැවීය.’ (ක්‍රියා 17:23-26) ඉතා සිත්ගන්නා තර්කයක් නොවේද?
ඔව්, දෙවිව දැනගත නොහැකියයි යෝජනා කරනවා වෙනුවට, අතීනස පූජාසනය සෑදූ අයද, ඔහුගේ ශ්‍රාවක පිරිසගෙන් බහුතරයක්ද, ඒ වෙද්දිත් දෙවිව දැන සිටියේ නැති බවයි පාවුල් අවධාරණය කරමින් සිටියේ. ඉන්පසුව පාවුල් ඔවුන්ටද, ඔහුගේ දේශනය කියවා ඇති සැමටද උනන්දු කළේ මැවුම්කරුව දැනහඳුනා ගන්න කියායි. මන්දයත් ‘ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින’ නිසයි. (ක්‍රියා 17:27) සියලු දේවල්වලට මැවුම්කරුවෙකු සිටින බවට තිබෙන සාක්ෂි, ඔහුගේ මැවිල්ල නිරීක්ෂණය කිරීම තුළින් දැකගත හැකි බවට වූ කාරණය පාවුල් උපායශීලීව ඉදිරිපත් කළ බව ඔබට දැකගත හැකියි. එසේ කිරීමෙන්, ඔබටත් මැවුම්කරුගේ ගුණාංග සමහරක් තේරුම්ගත හැකියි.
මැවුම්කරුවෙකු සිටින බවට සාක්ෂි, පැති කිහිපයකින් අපි පරීක්ෂා කරලයි තිබෙන්නේ. එකක්, පැහැදිලි ආරම්භයක් තිබුණු අතිවිශාල, බුද්ධිමත් ආකාරයකින් සංවිධානය වූ විශ්වයයි. තවත් එකක් වන්නේ, අපේ ශරීර සෛලවල දැකගත හැකි නිර්මාණය ඇතුළුව, පොළොව මත ජීවයයි. තුන්වෙනුව, පුද්ගලයා ගැන වැටහීමක් සහ අනාගතය ගැන උනන්දුවක් ඇති අපේ මොළයයි. එමෙන්ම දෛනිකව අපේ ජීවිතයට සම්බන්ධ වන මැවුම්කරුගේ හස්ත කර්මාන්තය පිළිබඳ වෙනත් උදාහරණ දෙකක් අපි සලකා බලමු. එසේ කරද්දී, ‘එය නිර්මාණය කළ සහ සැපයූ තැනැත්තාගේ පෞද්ගලිකත්වය ගැන මට මෙයින් කියාපාන්නේ කුමක්ද’ කියා ඔබෙන්ම අසන්න.
ඔහුගේ හස්ත කර්මාන්තයෙන් ඉගෙනීම
නිරීක්ෂණයෙන් පමණක්ම මැවුම්කරු ගැන බොහෝ දෑ උගත හැකියි. වෙනත් අවස්ථාවකදී, පාවුල් සුළු ආසියාවේ සමූහයකට මෙසේ පැවසූ විට මෙයට උදාහරණයක් දුන්නා: ‘[මැවුම්කරු] පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩහැරියේය. එහෙත් ඔහු අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන් ගැන සාක්ෂි නොදී නොසිටියේය.’ (ක්‍රියා 14:16, 17, ඇල අකුරු අපේය.) මනුෂ්‍යවර්ගයා සඳහා ආහාර සපයද්දී, මැවුම්කරු තම පෞද්ගලිකත්වය ගැන සාක්ෂි දී ඇති අන්දම සම්බන්ධයෙන් පාවුල් සපයන උදාහරණය සැලකිල්ලට ගන්න.
අදදින සමහරක් රටවල, ආහාර තිබෙනවාය යන කාරණය බොහෝදෙනෙක් සුළු කොට තකන්න පුළුවන්. වෙනත් රටවල, කෑමට ප්‍රමාණවත් ආහාර සෙවීම බොහෝදෙනෙකුට සටනක්. තත්වය කුමක් වුවත්, පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමේ හැකියාව පවා අපේ මැවුම්කරුගේ ප්‍රඥාව සහ යහපත්කම මතයි රැඳී තිබෙන්නේ.
ජල චක්‍රය, කාබන් චක්‍රය, ෆොස්ෆරස් චක්‍රය සහ නයිට්රජන් චක්‍රය වැනි සංකීර්ණ චක්‍රයන්වල ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් හැටියටයි, මිනිසා සහ සතුන් යන දෙපිරිසටම ආහාර ලැබෙන්නේ. ප්‍රභාසංශ්ලේෂණය නමැති අතිවැදගත් ක්‍රියාවලියේදී, සූර්යාලෝකය ශක්ති ප්රභවය හැටියට යොදාගනිමින්, සීනි වර්ග නිපදවීමට ශාක කාබන්ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය හැටියට යොදාගන්නා බව කවුරුත් දන්නා කරුණක්. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී, ශාක ඔක්සිජන් මුදාහරිනවා. මෙය “අපද්‍රව්‍යයක්” වශයෙන් දැක්විය හැකිද? අප සඳහා නම් මෙම අතුරු නිෂ්පාදනය අපද්‍රව්‍යයක් නොවන බව නිසැකයි. ඔක්සිජන් ආශ්වාස කර, අපේ සිරුරේ ඇති ආහාර දහනය කිරීම සඳහා නොහොත් පරිවෘත්තිය ක්‍රියාවලිය සඳහා එය යොදාගැනීම අත්‍යවශ්‍ය දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස අප ප්‍රශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ්, ප්‍රභාසංශ්ලේෂණයේ අමුද්‍රව්‍යයක් වශයෙන් ශාක මගින් නැවත භාවිතයට ගැනේ. අප මෙම ක්‍රියාවලිය සාමාන්‍ය විද්‍යා පංතියකදී හැදෑරු පමණින්, එහි අත්‍යවශ්‍යතාව මෙන්ම අරුම පුදුමබව අවතක්සේරු නොකළ යුතුයි. ඇරත් අප දැන් සැලකුවේ එක් උදාහරණයක් පමණයි.
ශක්තිය හුවමාරු කිරීමේදී අපේ ශරීරවල සහ සත්වයන්ගේ ශරීරවල ෆොස්ෆරස් අතිවැදගත් කාර්යයක් ඉටු කරනවා. අපට ෆොස්ෆරස් ලැබෙන්නේ කොහෙන්ද? නැවතත්, ශාකවලින්. ශාක පසෙන් ඓන්ද්‍රීය නොවන ෆොස්ෆේට් උරාගෙන, ඒවා ඓන්ද්‍රීය ෆොස්ෆේට් දක්වා පරිවර්තනය කරනවා. මෙම ස්වරූපයෙන් යුත් ෆොස්ෆේට් අඩංගු ශාක ආහාරයට ගන්නා අප, අතිවැදගත් කාර්යයන් සඳහා ඒවා යොදාගන්නවා. ඉන්පසුව, ශරීරයෙන් පිට වන “අපද්‍රව්‍ය” වශයෙන් ෆොස්ෆරස් නැවතත් පසට එකතු වන අතර, ඒවා නැවතත් උරාගැනීමට ශාකවලට ප්‍රස්තාව උදා වෙනවා.
අපේ ශරීරයේ සෑම ප්‍රෝටීනයකම සහ DNA අණුවකම කොටසක් වන නයිට්‍රජන්ද අපට අවශ්‍යයි. ජීවිතය සඳහා එතරම් අවශ්‍ය වන මෙම මූලද්‍රව්‍යය අප ලබාගන්නේ කෙසේද? අප අවට වාතයෙන් සියයට 78ක් පමණ නයිට්රජන්වලින් සැකසී තිබුණත්, ශාකවලටවත්, සත්වයන්ටවත් එය කෙළින්ම උරාගත නොහැකියි. එමනිසා ශාක මගින් උරාගෙන, ඉන්පසුව මනුෂ්‍යයන් සහ සත්වයන් විසින් උපයෝගි කරගැනීමට පෙර, වාතයේ තිබෙන මෙම නයිට්රජන් වෙනත් ස්වරූපයන්වලට පරිවර්තනය කළ යුතුයි. මෙම පරිවර්තනය හෙවත් ප්‍රයෝජ්‍යකරණය සිදු වන්නේ කෙසේද? එය විවිධ අයුරින් සිදු වෙනවා. එක ක්‍රමයක් වන්නේ විදුලි කෙටීමේ ක්‍රියාවලියයි.a නයිට්රජන් ප්‍රයෝජ්‍යකරණය, කඩල, සෝයා බෝංචි සහ ඇල්ෆැල්ෆා වැනි රනිල ශාක මුල් ආශ්රිත ගැටිතිවල ජීවත් වන බැක්ටීරියා මගින්ද සිදු කරනු ලබනවා. මෙම බැක්ටීරියා මගින් වායුගෝලීය නයිට්රජන්, ශාකවලට භාවිත කළ හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කරනවා. මෙලෙස, ඔබ කොළ පැහැති එළවළු වර්ග අනුභව කරද්දී, ප්‍රෝටීන නිපදවීම සඳහා ඔබේ ශරීරයට අවශ්‍ය නයිට්රජන් ඔබ ඇතුළට ගන්නවා. පුදුමයට හේතුවක් නම්, රනිල ශාක වර්ග, නිවර්තන වර්ෂා වනාන්තර සහ තුන්ද්‍රා බිම්වල පවා දක්නට ලැබීමයි. තවද යම් ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වුණොත්, සාමාන්‍යයෙන් නැවත හටගන්නා මුල්ම ශාක රනිල ශාකයි.
නැවත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ගත් කල, මේවා මොනතරම් අරුම පුදුම පද්ධතීන්ද! ඒ සෑම පද්ධතියක්ම වෙනත් චක්රයකින් හටගැනෙන අපද්‍රව්‍ය හොඳින් උපයෝගි කරගන්නවා. අවශ්‍ය ශක්තිය මූලිකව පැමිණෙන්නේ, පවිත්‍ර, නිමක් නැති, ස්ථාවර ශක්ති ප්‍රභවයක් වන අපේ සූර්යයාගෙනුයි. සම්පත් නැවත භාවිතයට ගැනීම සඳහා මිනිසා ගෙන ඇති ප්රයත්න මීට වඩා කොතරම් වෙනස්ද! පරිසරයට හිතකරයි කියා හැඳින්වෙන මිනිස් ව්‍යාපෘතීන් පවා වඩාත් පවිත්‍ර පෘථිවියකට ඇතැම්විට දායක නොවන්නේ, මිනිසාගේ නැවත භාවිතයට ගැනීමේ පද්ධතීන්වල සංකීර්ණත්වය හේතුවෙනුයි. මේ සම්බන්ධයෙන් එ.ජ. පුවත් සහ ලෝක වාර්තාව (ඉංග්‍රීසියෙන්) කියා සිටින්නේ, නැවත භාවිතයට ගැනීමේ ක්‍රියාවලියකින් වටිනාකමින් වැඩි සංඝටක පහසුවෙන් ආපසු ලබාගත හැකි වන ආකාරයෙන් භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු බවයි. ස්වාභාවික චක්රයන්වලදී අප මේ දේම නෙවේද දකින්නේ? එසේ නම්, මැවුම්කරුගේ දුරදක්නා නුවණ සහ ප්‍රඥාව ගැන මෙයින් හෙළි කරන්නේ කුමක්ද?
පැති නොගන්නා, යුක්තිසහගත කෙනෙක්
මැවුම්කරුගේ ඇතැම් ගුණාංග සමහරක් දැකබලා ගැනීමට, අපි තවත් එක පද්ධතියක් සලකා බලමු. ඒ තමයි අපේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මෙයටද බැක්ටීරියා සම්බන්ධයි.
“මනුෂ්‍යයන් සාමාන්‍යයෙන් බැක්ටීරියා මගින් සිදු වන හානිකර බලපෑම්වලට වැඩි අවධානයක් දුන්නද, ඒවායින් බහුතරයක් මනුෂ්‍යයන්ට අහිතකර නැහැ. ඇත්තෙන්ම ඉන් වැඩිහරියක් ප්‍රයෝජනදායකයි.” එසේ නිරීක්ෂණය කළේ නව බ්‍රිටැනිකා විශ්වකෝෂයයි. ඇත්තටම ඒවාට තීරණාත්මක වැදගත්කමක් තිබෙනවා. මොහොතකට කලින් සඳහන් කළ නයිට්රජන් චක්‍රයේදී මෙන්ම කාබන්ඩයොක්සයිඩ් සහ ඇතැම් මූලද්‍රව්‍යයන් හා සම්බන්ධ වන චක්රයන්වලදී බැක්ටීරියා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. අපේ ජීරණ පද්ධතියටත් බැක්ටීරියා අවශ්‍යයි. අපේ මහාන්ත්‍රයේ පමණක් බැක්ටීරියා වර්ග 400ක් පමණ ඇති අතර, විටමින් K සංශ්ලේෂණය කිරීමටත්, අපද්‍රව්‍ය පහ කිරීමටත් ඒවා උපකාර වෙනවා. එළදෙනුන්ට තණකොළ කිරි බවට පත් කරන්න සහාය වන්නේද බැක්ටීරියායි. බැක්ටීරියාවලින් අපට අත් වන තවත් ප්රයෝජනයකි එය. පැසවීමේ ක්‍රියාවලියට වෙනත් බැක්ටීරියා වර්ග අත්‍යවශ්‍යයි. චීස්, යෝගට්, අච්චාරු, මෝජු සහ ජාඩි පිළියෙළ කරන්නේ පැසවීමේ ක්‍රියාවලිය තුළිනුයි. කෙසේවෙතත්, බැක්ටීරියා අපේ ශරීරයේ නොයා යුතු තැන්වලට ගියොත්, කුමක්ද වෙන්නේ?
එවැනි අවස්ථාවකදී, අපට අහිතකර විය හැකි බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන්න අපේ ශරීරයේ සුදු රුධිරාණු සෛල ප්‍රකෝටි දෙකක් තරම් සංඛ්‍යාවක් ඉදිරිපත් වේ. සයන්ස් යන සඟරාවේ සංස්කාරක කනිෂ්ඨ ඩැනියල් ඊ. කෝෂ්ලන්ඩ් මෙසේ පැහැදිලි කරනවා: “ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ සතුරු ආක්‍රමණිකයන්ව හඳුනාගැනීමටයි. මෙය ඉටු කරගැනීමට එය විවිධාකාර ප්රතිශක්තිවලට සම්බන්ධ ප්‍රතිග්‍රාහක 1011 [1,00,00,00,00,000ක] තරම් ප්‍රමාණයක් උත්පාදනය කරයි. ඒ හේතුවෙන් සතුරු ආක්රමණිකයා හැඩයෙන් හෝ ස්වභාවයෙන් කෙතරම් විවිධාකාර වුණත්, එය හඳුනාගෙන විනාශ කිරීමට සමත් ඊට සරිලන ප්රතිග්රාහකයක් තිබෙනවා.”
ආක්‍රමණිකයන් සමඟ සටන් කිරීමට අපේ ශරීරය යොදාගන්නා එක් සෛල විශේෂයක් වන්නේ මහ භක්ෂාණුවයි; එම නමෙහි තේරුම, “මහා අනුභව කරන්නා” යන්නයි. එම සෛලය අපේ රුධිරයේ සතුරු ද්‍රව්‍යයන් වේගයෙන් කා දමන නිසා, මෙය ඊට ඉතා යෝග්‍ය නමකි. නිදසුනක් ලෙස, ආක්රමණික වෛරසයක් කා දැමීමෙන් පසු, මහ භක්ෂාණුව, එය කුඩා කැබලිවලට කඩා, එම වෛරසයේ ප්‍රෝටීන සමහරක් ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය කරන මෙම ප්‍රෝටීන සලකුණ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අනතුරු ඇඟවීමේ සංඥාවක් සේ ක්‍රියා කරමින්, සතුරු ජීවීන් අපේ ශරීරය ආක්‍රමණය කර ඇති බව දන්වා සිටියි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තවත් සෛලයක් වන සහායක T සෛලය මෙම වෛරසයේ ප්‍රෝටීනය හඳුනාගන්නවා නම්, මහ භක්ෂාණුව සමඟ රසායනික පණිවිඩ හුවමාරුවක් සිදු කෙරේ. මෙම රසායනික ද්‍රව්‍යයන් පුදුම දනවන ප්‍රෝටීනයන් වන අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය කොතරම් සංකීර්ණද කිවහොත්, එය සිත අවුල් කරවන තරම්ය. ආක්‍රමණයට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය එම රසායනික ද්‍රව්‍ය තුළින් පාලනය කරමින්, වැඩි කරනවා. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන්, අදාළ වෛරස් වර්ගයට එරෙහිව දැඩි සටනක් සිදු කෙරේ. මෙසේ, ආසාදන ජයගැනීමට අපි බොහෝදුරට සමත් වෙනවා.
ඇත්තෙන්ම තවත් බොහෝ දෑ මෙම ක්‍රියාවලියට ඇතුළත් වුවද, මෙම කෙටි විස්තරයෙන් පවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සංකීර්ණත්වය පැහැදිලි වෙයි. ඉතා සංකීර්ණ වූ මෙම පද්ධතිය අප ලැබුවේ කෙසේද? අපේ පවුලේ මූල්‍යමය හෝ සමාජීය තත්වය නොසලකමින් එය අපට ලැබුණේ නොමිලේ. බොහෝදෙනෙකුට ලැබෙන සෞඛ්‍ය සාත්තු සේවාවේ අසාධාරණය හා සැසඳුවොත් මෙම වෙනස කැපීපෙනෙයි. “සෞඛ්‍ය සාත්තු සේවාව තුළ අසාධාරණය වැඩිවර්ධනය වන නිසා WHO [ජගත් සෞඛ්‍ය සංවිධානය] එය ජීවිතය සහ මරණය අතර කාරණයක් ලෙස සලකනවා. ඊට හේතුව සමාජයේ විෂමතාවන්, දුප්පතුන්ගේ සෞඛ්‍යයට බෙහෙවින් හානිකර බලපෑමක් වීමයි.” එසේ ලිව්වේ WHOහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හිරෝෂි නකාජීමායි. සාඌ පාවුලුහි මුඩුක්කුවක ජීවත්වන්නියකගේ දුක් ගැනවිල්ලෙන් ඔබට මෙය තේරුම්ගත හැකියි. ඇය කිව්වේ: “හොඳ සෞඛ්‍ය සාත්තුවක් ලබන එක ගැන හිතන කොට, අපිට නම් ඒක හරියට සුපිරි වෙළඳ සැලක ප්‍රදර්ශනය කරල තියෙන භාණ්ඩයක් වගෙයි. අපිට ඒක දිහා බලන්න නම් පුළුවන්. නමුත් ඒක ගන්න බැහැ.” ලොව පුරා දශලක්ෂ ගණනාවකට ඇත්තේ ඒ හා සමාන හැඟීම්.
එවැනි අසාධාරණකම් දුටු ඇල්බට් ෂ්වයිට්සර්, අප්‍රිකාවට ගොස්, නැති බැරි අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පෙලඹුණා. දැරූ වෑයමට ඔහුට නොබෙල් ත්‍යාගය ප්රදානය කරනු ලැබුවා. එවැනි යහපත් ක්‍රියා කරන පුරුෂයන් සහ ස්ත්රීන්ට මොන වගේ ගුණාංග ඇතැයි කියාද ඔබ සිතන්නේ? ඔවුන් මනුස්සකම හා යුක්තිය පිළිබඳ හැඟීමක් ඇති, සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන ජනතාවටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියා විශ්වාස කරන අය බව ඔබට බොහෝදුරට පැහැදිලි වෙනවා ඇති. එසේ නම්, අපේ මූල්‍යමය සහ සමාජීය තත්වය කුමක් වුවත්, අප තුළ පුදුම දනවන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නිර්මාණය කළ සැපයුම්කරු ගැන මොන නිගමනයටද එළඹිය හැක්කේ? මැවුම්කරුගේ ප්‍රේමය, පැති නොගැනීම සහ යුක්තිය මෙයින් වඩාත් කැපීපෙනෙන ලෙස කියාපාන්නේ නැද්ද?
මැවුම්කරුව දැනහඳුනා ගැනීම
ඉහත සඳහන් පද්ධතීන් මැවුම්කරුගේ හස්ත කර්මාන්තයේ සරල උදාහරණ කිහිපයක් පමණයි. එසේ නමුත්, ඔහු සිත් ඇදගන්නාසුලු මාර්ගවලින් සහ ගුණාංගවලින් යුත්, සැබෑ මෙන්ම බුද්ධිමත් පුද්ගලයෙක් බව ඒවායින් හෙළි වෙන්නේ නැද්ද? ඕනෑ නම් වෙනත් උදාහරණ රැසකුත් සැලකිය හැකියි. කෙසේවෙතත්, පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවිතයේදී, ඔහුගේ ක්‍රියාවන් නිරීක්ෂණය කළ පමණින්, ඔහුව ඇත්තටම හොඳින් දැනහඳුනා ගත නොහැකි බව අපට අවබෝධ වී තිබෙනවා ඇති. ඔහු ගැන සම්පූර්ණ පැහැදිලි පින්තූරයක් නොතිබුණොත්, ඔහුව වරදවා තේරුම්ගන්න පවා පුළුවන්! තවද එම පුද්ගලයා ගැන බොරු සහ අගුණ කියා ඇත්නම්, ඔහුව හමු වී ඔහුට කීමට ඇති දේටත් සවන් දීම යෝග්‍ය දෙයක් වන්නේ නැද්ද? ඔහු සමඟ අදහස් හුවමාරු කරද්දී, විවිධාකාර තත්වයන්වලදී ඔහු ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්නත්, ඔහු මොන වගේ ගුණාංග විදහාපෙන්වයිද යන්නත් අපට දැනගත හැකි වෙයි.
විශ්වයේ බලසම්පන්න මැවුම්කරු සමඟ මුහුණට මුහුණලා සංවාදයක් පවත්වන්න අපට බැරි බව ඒත්තුගත යුතුයි. එනමුත්, ඔබේ භාෂාව ඇතුළුව භාෂා 2,000කට වැඩි ප්‍රමාණයකින් සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් ලබාගත හැකි පොතක, තමා සැබෑ පුද්ගලයෙකු බවට කාරණා රැසක් ඔහු එළිදරව් කර ඇත. මැවුම්කරුව දැනහඳුනා ගෙන ඔහු සමඟ සම්බන්ධයක් වර්ධනය කරගැනීමට, බයිබලය නමැති ඒ පොත ඔබට ආරාධනා කරනවා. එහි මෙසේ පැවසේ: ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වෙන්නේය.’ ඔහුගේ මිතුරා වීමට ඔබට හැකි බවද එය පෙන්වා දෙනවා. (යාකොබ් 2:23; 4:8) ඒ සම්බන්ධයෙන් ඔබට උනන්දුවක් තිබෙනවාද?
එසේ කිරීම සඳහා, මැවුම්කරුගේ මැවීමේ ක්‍රියාකාරකම් පිළිබඳ ඔහුගේම තාත්වික මෙන්ම චිත්තාකර්ෂණීය වාර්තාව සලකා බැලීමට අපි ඔබට ඇරයුම් කරන්නෙමු.
[පාදසටහන]
a විදුලි කෙටීම ඇතැම් නයිට්රජන් උරාගත හැකි ස්වභාවයකට පරිවර්තනය කරන අතර, එය වර්ෂාව සමඟ පොළොවට ඇද හැලෙයි. ශාක එය භාවිත කරන්නේ ස්වාභාවිකව සපයා ඇති පොහොර ලෙසයි. මනුෂ්‍යයන් සහ සතුන් ශාක අනුභව කොට මෙම නයිට්රජන් භාවිතයට ගත් පසු, ඇමෝනියම් සංයෝග ලෙස ඒවා නැවතත් පසට එකතු වන අතර, ඉන් සමහරක් යළිත් නයිට්රජන් වායුව බවට පරිවර්තනය වෙනවා.
[79වන පිටුවේ කොටුව]
සාධාරණ නිගමනයක්
විශ්වයට ආරම්භයක් තිබුණු බවට විද්‍යාඥයන් අතර පොදු පිළිගැනීමක් තිබෙනවා. එම ආරම්භයට කලින්, ඇත්තටම සැබෑ වූ යම්කිසි දෙයක් පැවති බවටද බොහෝදෙනෙක් එකඟ වෙනවා. ඇතැම් විද්‍යාඥයන් සදාකාලයටම පවතින බලය ගැන අදහස් දක්වනවා. මුලින් පැවති තත්වය මූලාවස්ථික ව්‍යාකූලතාවක් බව වෙනත් අය උපකල්පනය කරනවා. භාවිත කරනු ලබන යෙදුම් මොනව වුවත්, අනන්තය දක්වා ආපස්සට දිවයන, ආරම්භයක් නැති යම්කිසි දෙයක් පැවතිය යුතුයි කියා බොහෝදෙනා අනුමාන කරනවා.
එමනිසා වාදයට හේතු වන විෂය මේකයි: අනුමාන කරන්නේ සදාකාලික වූ යම්කිසි දෙයක් පැවති බවද, සදාකාලික වූ යම්කිසි කෙනෙක් සිටි බවද? විශ්වයේ සහ එහි ජීවයේ මූලාරම්භය සහ ස්වභාවය ගැන විද්‍යාව ඉගෙන ඇති දේවල් සලකා බැලීමෙන් පසු, වඩාත් සාධාරණ බවට අප සලකන්න යන්නේ මින් කුමන විකල්පයද?
[80වන පිටුවේ කොටුව]
“ජීවයට අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය සියල්ලම, එනම් කාබන්, නයිට්රජන් සහ සල්ෆර්, බැක්ටීරියා මගින් ඓන්ද්‍රීය නොවන වායු සංයෝගයක සිට ශාකවලට සහ සතුන්ට භාවිතයට ගත හැකි ස්වභාවයක් දක්වා පරිවර්තනය කෙරේ.”—නව බ්‍රිටැනිකා විශ්වකෝෂය
[78වන පිටුවේ රූප සටහන/පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
කුමක්ද ඔබේ නිගමනය?
අපේ විශ්වයට
↓ ↓
ආරම්භයක් ආරම්භයක්
තිබුණේ නැහැ තිබුණා
↓ ↓
හේතුවක් නැතුව හේතුවක් ඇතුව
↓ ↓
යම් සදාකාලික යම් සදාකාලික වූ
දෙයකින් කෙනෙක්ගෙන්
[75වන පිටුවේ පින්තූරය]
බොහෝ ප්රාචීනයන් විශ්වාස කරන්නේ ස්වභාවධර්මයා ඉබේම බිහි වූ බවයි
[76වන පිටුවේ පින්තූරය]
මෙම කන්දෙහි සිටිද්දී, පාවුල් දෙවි ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට තුඩු දුන් දේශනයක් දුන්නා. පසුබිමෙහි ඇක්රොපොලිසය දැකිය හැකියි
[83වන පිටුවේ පින්තූරය]
දෙවි නූතන වෛද්‍ය විද්‍යාවට සැපයිය හැකි ඕනෑම දෙයක් අබිබවා යන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අප හැම කෙනෙක්ටම දානය කළා