නවවන පරිච්ඡේදය
උතුම් ගුරුවරයෙක් අපට මැවුම්කරු ගැන වඩාත් පැහැදිලි පින්තූරයක් ලබා දෙයි
මුල් සියවසේ පලස්තීනයේ විසූ ජනකාය සිටියේ “බලාපොරොත්තුවෙන්.” කුමක් සම්බන්ධයෙන්ද? සියවස් ගණනකට පෙර දෙවිගේ අනාගතවක්තෲන් පුරෝකථනය කළ “ක්‍රිස්තුස්” නොහොත් “මෙසියස්” සම්බන්ධයෙන්. බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබුණ බවටත්, අනාගතය පිළිබඳ කලින් දැනුම් දීම් එහි ඇතුළත්ව තිබුණු බවටත් ජනතාව නිසැක වුණා. ඔවුන් සිටි සියවසේ මුල් භාගයේ මෙසියස් පැමිණෙන බව ඉන් එකක, එනම් දානියෙල් පොතේ අනාවැකියක පළ වී තිබුණා.—ලූක් 3:15; දානියෙල් 9:24-26, NW.
කෙසේවෙතත්, බොරු මෙසියස්වරු නැඟී සිටීමට යන බැවින්, පරෙස්සමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබුණා. (මතෙව් 24:5) ඉන් සමහරෙක් ගැන යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් සඳහන් කරයි: එක්කෙනෙක්, තුදාස්. ඔහු තම අනුගාමිකයන්ව යොර්දාන් ගඟට ගෙන ගොස් එහි දිය පහර බෙදෙනු ඇති බව කියා සිටියා; තවද ඔලීව කන්දට ජනකායක් එක්රැස් කළ මිසරයේ මිනිසෙක්ද සිටියා. ඔහු කියා සිටියේ තම අණ පරිදි යෙරුසලමේ පවුරු වැටෙන බවයි; එමෙන්ම ආණ්ඩුකාර පෙස්තුස්ගේ කාලයේදී දුක් ගැහැටවලින් නිදහසක් ලබා දීමට පොරොන්දු වූ තවත් බොරුකාරයෙකු ගැනද සඳහන් කළ හැකියි.—සසඳන්න ක්‍රියා 5:36; 21:38.
එලෙස මංමුළා වූ අයට වඩා වෙනස්ව, ‘ක්‍රිස්තියානීන්’ යයි හඳුන්වනු ලැබූ කණ්ඩායමක් නාසරිය යේසුස්ව පිළිගත්තේ උතුම් ගුරුවරයෙකු සහ සැබෑ මෙසියස් ලෙසටයි. (ක්‍රියා 11:26; මාර්ක් 10:47) යේසුස් බොරු මෙසියස් කෙනෙක් නෙවෙයි; ඔහු මෙසියස් වූ බවට ස්ථිර සාක්ෂි තිබුණා. සුවිශේෂයයි හැඳින්වෙන ඓතිහාසික පොත් සතර මෙය හොඳින් තහවුරු කරයි.a උදාහරණයක් හැටියට, මෙසියස් බෙත්ලෙහෙමෙහි ඉපදෙන බවත්, දාවිත්ගේ පෙළපතට අයත් වන බවත්, ප්රාතිහාර්යයන් සිදු කරන බවත් යුදෙව්වන් දැන සිටියා. යේසුස් තුළින් මේ සියල්ල ඔප්පු වුණා. විරුද්ධවාදීන්ගෙන් ලද සාක්ෂිවලින් පවා මෙය පැහැදිලි වී තිබෙනවා. ඔව්, බයිබලයෙහි සඳහන් මෙසියස්ට අදාළ සුදුසුකම් යේසුස් ඉස්තරම්ම අයුරින් පිරිමැසුවා.—මතෙව් 2:3-6; 22:41-45; යොහන් 7:31, 42.
යේසුස්ව හමු වූ ජන සමූහයන්, ඔහුගේ කැපීපෙනෙන ක්‍රියාවන් නිරීක්ෂණය කළා. අසහාය වූ ඔහුගේ ප්‍රඥාවන්ත වදන්වලට ඔවුන් සවන් දුන්නා. ඔහුගේ දුරදක්නා නුවණද තේරුම්ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙසියස් බවට අබ මල් රේණුවක තරම්වත් සැකයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔහුගේ දේවසේවා කාලය ගෙවී යත්ම (පො.යු. 29-33), ඔහු මෙසියස් බවට වූ සාක්ෂි ප්‍රගුණ වුණා. ඇත්තෙන්ම ඔහු නිකම්ම මෙසියස් කෙනෙකු වූවා නොවෙයි. සැබෑ කාරණා හොඳින් දැන සිටි ගෝලයෙකුගේ නිගමනය වූයේ ‘යේසුස් දෙවිගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්’ බවයි.b—යොහන් 20:31.
යේසුස්ට දෙවි සමඟ එතරම්ම කිට්ටු සම්බන්ධයක් තිබුණු බැවින්, අපේ මැවුම්කරු මොන වගේ කෙනෙක්ද යන්න පැහැදිලි කිරීමටත්, එළිදරව් කිරීමටත් ඔහුට පුළුවන් වුණා. (ලූක් 10:22; යොහන් 1:18) යේසුස් තම පියා සමඟ භුක්ති විඳි කිට්ටු මිත්‍රත්වය ඇරඹුණේ ස්වර්ගයේදී කියා යේසුස් එළිදරව් කළා. එහිදී සප්රාණික අප්‍රාණික සියල්ල බිහි කිරීමට ඔහු දෙවි සමඟ හවුලේ වැඩ කළා.—යොහන් 3:13; 6:38; 8:23, 42; 13:3; කොලොස්සි 1:15, 16.
මෙම පුත්‍රයා අදෘශ්‍යමාන වූ ස්වර්ගයෙන් පොළොවට ඇවිත්, “මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණි” බව බයිබලයෙහි සඳහන් වෙනවා. (පිලිප්පි 2:5-8) එය අසාමාන්‍ය සිදුවීමක් බව පිළිගත යුතුයි. හැබැයි එය සිදු වන්නම බැරි දෙයක්ද? යුරේනියම් වැනි ස්වාභාවික මූලද්‍රව්‍යයක් වෙනත් මූලද්‍රව්‍යයක් දක්වා පරිවර්තනය විය හැකි බව විද්‍යාඥයන් සනාථ කරයි. පදාර්ථයක් බලයකට පරිවර්තනය වෙද්දී සිදු වන ප්‍රතිඵලය පවා ඔවුන් ගණනය කරනවා (E=mc2). එමනිසා අදෘශ්‍යමාන මැවිල්ලක් මනුෂ්‍යයෙකු වූ බව බයිබලය පවසද්දී, එය සැක කළ යුත්තේ කුමටද?
තවත් නිදසුනක් ලෙස, ඇතැම් වෛද්‍යවරුන් ශරීරයෙන් බැහැර සංසේචනය තුළින් සිදු කරන දේ ගැන කල්පනා කර බලන්න. “පරීක්ෂණ නළයක” ඇරඹෙන ජීවිතයක් ස්ත්‍රියක් තුළට දමා, පසුව බිළිඳෙකු ලෙස ඉපදෙන්න සලස්වයි. එතකොට යේසුස්? ‘මහෝත්තමයාගේ බලයෙන්’ ඔහුගේ ජීවිතය මරියා නම් වූ කන්‍යාවකගේ ගර්භාශයේ තැන්පත් කළ බව බයිබලය අපට සහතිකවම කියයි. ඇය දාවිත්ගේ පෙළපතින් පැමිණි ස්ත්‍රියක් වූ නිසා, දාවිත්ට පොරොන්දු වූ මෙසියානු රාජ්‍යයෙහි ස්ථිරසාර උරුමක්කාරයා වීමට යේසුස්ට පුළුවන් වුණා.—ලූක් 1:26-38; 3:23-38; මතෙව් 1:23.
යේසුස් මැවුම්කරු සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ නිසාත්, ඔහුට සමාන ගතිලක්ෂණ තිබුණු නිසාත්, ඔහු මෙසේ පැවසුවා: ‘මා දුටු තැනැත්තා පියා දුටුවේය.’ (යොහන් 14:9) ‘පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාව එළිදරව් කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියා කවුද කියා දන්නේ නැත’ කියා ඔහු පැවසුවා. (ලූක් 10:22) එබැවින්, යේසුස් මිහිපිට ඉගැන්වූ සහ කළ දේවල් ඉගෙනගනිද්දී, මැවුම්කරුගේ පෞද්ගලිකත්වය වඩාත් පැහැදිලිව දැකබලා ගන්න අපට හැකි වෙනවා. යේසුස් සමඟ කටයුතු කළ පුරුෂයන් සහ ස්ත්රීන්ගේ අද්දැකීම් ඇසුරෙන් අපි මෙය සලකා බලමුද?
සමාරිය ස්ත්‍රියක්
යේසුස් සමඟ යම් වේලාවක් අදහස් හුවමාරු කිරීමෙන් පසු සමාරිය ස්ත්‍රියක් ‘ඔහු ක්‍රිස්තුස් විය නොහැකිදැයි’ කල්පනා කළා. (යොහන් 4:29, නව අනුවාදය) ඇය කොතරම් උනන්දු වූවාද කිවහොත්, යේසුස්ව ගිහින් හමු වන්න කියා ළඟපාතක පිහිටි සිඛාර් නුවරේ විසූ සමහරක්දෙනාගෙන් පවා ඉල්ලා සිටියා. යේසුස් මෙසියස් බව පිළිගැනීමට ඇය පෙලඹුණේ මන්ද?
යේසුස් සමාරියේ කඳු බෑවුම් දිගේ පිහිටි දූවිල්ලෙන් නැහැවුණු පාරවල්වල උදෑසන පුරාම ඇවිදීමෙන් පසු විවේක ගනිමින් සිටි අවස්ථාවකයි මෙම ස්ත්‍රියට ඔහුව මුණගැසුණේ. විඩාවට පත්ව සිටියද, යේසුස් ඇය සමඟ කතාබහ කළා. ඇගේ තියුණු ආත්මික උනන්දුව දුටු යේසුස්, ‘පියාට ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කිරීමේ’ අවශ්‍යතාව වටා කේන්ද්‍රගත වූ ගැඹුරු සත්‍යයන් කිහිපයක් බෙදාගත්තා. තමා සැබවින්ම ක්‍රිස්තුස් බවට වූ සත්‍යය, ඒ වන විටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොතිබුණත්, යේසුස් ඇයට එම කාරණය හෙළි කළා.—යොහන් 4:3-26.
යේසුස් සමඟ මෙම සමාරිය ස්ත්‍රිය ඉතා අර්ථවත් සාකච්ඡාවක යෙදුණා. කලින් ඇගේ ආගමික කටයුතු ගෙරිසීම් කන්දේ පිදූ නමස්කාරය වටා කේන්ද්‍රගත වූ අතර, බයිබලයෙහි මුල් පොත් පහ මත පමණක් පදනම්ව තිබුණා. සමාරියවරුන් බොහෝදෙනෙක් ඉශ්රායෙල්හි ගෝත්‍ර දසය සහ වෙනත් ජාතීන් ආවාහ විවාහ වීමෙන් බිහි වූ ජනතාවක්. එමනිසා යුදෙව්වන් ඔවුන්ගෙන් ඈත් වී සිටියා. එනමුත් යේසුස් කොතරම් වෙනස් වූවාද! “ඉශ්රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට” යන්න නියම කර තිබුණත්, මෙම සමාරිය ස්ත්‍රියට ඔහු ඉගැන්නුවේ ඉමහත් කැමැත්තකිනුයි. (මතෙව් 15:24) සියලුම ජාතීන් අතර සිටින අවංක පුද්ගලයන්ව භාරගැනීමට යෙහෝවා සතු කැමැත්ත යේසුස් මෙහිදී පිළිබිඹු කළා. (1 රාජාවලිය 8:41-43) ඔව්, යේසුස් සහ යෙහෝවා කියන්නේ අද ලොව දසත පැතිර ඇති පටු ආගමික අදහස් සහ නුරුස්නාගතිය අබිබවා යන දෙදෙනෙක්. මෙය දැන සිටීම නිරායාසයෙන්ම අපව මැවුම්කරු සහ ඔහුගේ පුත්‍රයාට සමීප කළ යුතුයි.
මෙම ස්ත්‍රියට උගන්වන්න යේසුස් දැක්වූ කැමැත්තෙන් අපට ඉගෙනගත හැකි තවත් පාඩමක් තිබෙනවා. ඇය ජීවත් වෙමින් සිටියේ ඇගේ අනියම් සැමියා සමඟයි. (යොහන් 4:16-19) ඒ වුණත්, ඇයට කතා කරන්න යේසුස් එය බාධාවක් කරගත්තේ නැහැ. ඇයට ගෞරවයෙන් සැලකූ විට, ඇය කොතරම් අගය කරන්න ඇද්දැයි ඔබට සිතාගන්න පුළුවන්. ඇත්තෙන්ම මෙවැනි දෙයක් ඇයට පමණක් සීමා වුණේ නැහැ. පසුතැවිලි වූ පව්කාරයන් සමඟ ආහාර ගත් නිසා, යුදෙව් නායකයන් (ඵරිසිවරුන්) කිහිපදෙනෙක් යේසුස්ව විවේචනයට ලක් කළ විට, ඔහු කිව්වේ මෙයයි: “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. නුමුත්—මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමි.” (මතෙව් 9:10-13) තම පව්වල එනම් දෙවිගේ නීති හෝ ප්‍රමිති උල්ලංගනය කිරීමේ බරින් මිරිකී සිටි අයට යේසුස් උපකාර පිරිනැමුවා. තම අතීත හැසිරීම හේතුවෙන් ගැටලුවලට මුහුණ දෙන අයට දෙවි සහ ඔහුගේ පුත්‍රයා උපකාර කරයි කියා දැනගැනීම මොනතරම් හද උණුසුම් කරවන්නක්ද!—මතෙව් 11:28-30.c
සමාරියේ ගත කළ මෙම අවස්ථාවේදී, යේසුස් කාරුණිකව සහ උපකාරවත් වන ආකාරයෙන් කතා කළේ ස්ත්‍රියකට යන කාරණයද අප නොසලකා නොහැරිය යුතුයි. මෙහි වැදගත්කම කුමක්ද? එදා යුදෙව් පුරුෂයන් ප්‍රසිද්ධියේ ස්ත්‍රීන් සමඟ, තම භාර්යාවන් එක්ක පවා කතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව ඔවුන්ට උගන්වා තිබුණා. ස්ත්රීන්ට ගැඹුරු ආත්මික ඉගැන්වීම් උරාගත හැකි බව යුදෙව් රබ්බිවරුන් සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ව “අනුවණයන්” හැටියටයි සැලකුවේ. “ව්‍යවස්ථාවේ වදන් ස්ත්‍රියකට දෙනවාට වඩා ඒවා පිලිස්සීම හොඳය” කියා සමහරුන් පැවසුවා. යේසුස්ගේ ගෝලයන් එවැනි වාතාවරණයක ඇති දැඩි වූ නිසා, ඔවුන් නැවත පැමිණි විට, ‘ඔහු ස්ත්‍රියක සමඟ කතා කරමින් සිටි නිසා මවිත වුණා.’ (යොහන් 4:27) වාර්තා රැසකින් එකක් වන මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ, ස්ත්‍රී පුරුෂ දෙපිරිසම මවා දෙපිරිසටම ගෞරවය පිරිනැමූ තම පියාගේ ස්වරූපයම යේසුස් පිළිබිඹු කළ බවයි.—උත්පත්ති 2:18.
ඉන් අනතුරුව, සමාරිය ස්ත්‍රිය තම ගම්වැසියන්ට ඇවටිලි කළ නිසා, ඔවුන් යේසුස්ට සවන් දෙන්න ගියා. සැබෑ කරුණු පරීක්ෂා කර බැලූ බොහෝදෙනා, ඇදහිලිවන්තයන් වී මෙසේ පැවසුවා: ‘සැබෑවටම මොහු ලෝකයාගේ ගැළවුම්කාරයා බව දනිමු.’ (යොහන් 4:39-42) මනුෂ්‍යවර්ගයාගෙන් සෑදුණු මෙම ‘ලෝකයට’ අපත් අයත් නිසා, අපේ අනාගතය සම්බන්ධයෙනුත් යේසුස්ට ඇත්තේ අතිවැදගත් කාර්යයකි.
ධීවරයෙකුගේ ඇසින්
යේසුස්ගේ කිට්ටුම මිතුරන් දෙදෙනෙකු වූ පේතෘස් සහ ඉන්පසු යොහන්ගේ දෙනෙතින් අපි යේසුස්ව දැන් නිරීක්ෂණය කරමු. සාමාන්‍ය ධීවරයන් වූ මොවුන් ඔහුගේ මුල් අනුගාමිකයන් අතර සිටියා. (මතෙව් 4:13-22; යොහන් 1:35-42) ඵරිසිවරුන් ඔවුන්ව සැලකුවේ පොදු ජනයාට (ʽඅම්-හා·ʼආʹරෙට්ස්) අයත් “අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන්” හැටියටයි. රබ්බිවරුන්ට මෙන් ඔවුන්ට අධ්‍යාපනයක් නොතිබුණු නිසා ඔවුන්ව පහත් කොට සලකනු ලැබුවා. (ක්‍රියා 4:13; යොහන් 7:49) ආගමික සම්ප්රදායන්වලට වහල්ව කටයුතු කළ අය හේතුවෙන් ‘වෙහෙස වී බර උසුලමින්’ සිටි ඔවුන්ගෙන් බොහෝදෙනෙක්, ආත්මික පැහැදීමක් ලැබීමේ දැඩි ආශාවෙනුයි සිටියේ. “ඔවුන්ගේ හදවත් සහමුලින්ම අයත් වූයේ යාහ්වේටයි [යෙහෝවාටයි]” කියා සෝර්බෝන් සරසවියේ මහාචාර්ය ෂාර්ල් ගින්යබෙ අදහස් දැක්වූවා. ධනවත් හෝ බල පුළුවන්කාර අයගේ සිත් දිනාගැනීමේ අදහසින් යේසුස් නිහතමානී වූ එවන් අයට පිටුපෑවේ නැහැ. ඒ වෙනුවට තම ඉගැන්වීම්වලින් සහ කටයුතු කළ ආකාරයෙන් ඔවුන්ට පියා කවුද කියා හෙළි කළා.—මතෙව් 11:25-28.
පේතෘස් යේසුස්ගේ මුදු මොළොක් සැලකිල්ල තම ඇස්වලින්ම දුටුවා. යේසුස්ගේ සේවයට සහභාගි වී වැඩි කලක් යෑමට මත්තෙන්, පේතෘස්ගේ නැන්දම්මාට උණ වැළඳී අසනීප වුණා. පේතෘස්ගේ නිවසට පැමිණි යේසුස්, ඇගේ අත ඇල්ලූ විට, උණ රෝගය පහව ගියා. ඇතැම් රෝග සුව වන ආකාරය පැහැදිලි කිරීමට වර්තමාන වෛද්‍යවරුන් අසමත් වනවා සේම, මෙම රෝගය සුව වූ ආකාරය අප නොදන්නවා වුණත්, මෙම ස්ත්‍රියගෙන් එම උණ රෝගය පහව ගියා. ඇත්තෙන්ම යේසුස් කොහොමද සුව කිරීම් කළේ කියා දැනගන්නවාට වඩා, අසනීප වූ, ආබාධිත වූ ජනතාව සුව කිරීමෙන් ඔවුන් උදෙසා දැක්වූ අනුකම්පාව අගය කිරීම වැදගත්. ජනයාට උපකාර කරන්න ඔහු තුළ සැබෑ ආශාවක් තිබුණා. ඔහුගේ පියා ගැන පැවසිය හැක්කෙත් ඒ ටිකමයි. (මාර්ක් 1:29-31, 40-43; 6:34) එබැවින්, සෑම පුද්ගලයෙකුවම සැලකිල්ල ලැබීමට වටිනා කෙනෙකු ලෙස මැවුම්කරු අගය කරන බව, යේසුස් සමඟ ඇසුරු කිරීමෙන් ලද අද්දැකීම්වලින් පේතෘස්ට දැකගත හැකි වුණා.—1 පේතෘස් 5:7.
පසුව, යේසුස් යෙරුසලමේ දේවමාළිගාවෙහි ස්ත්රීන්ගේ මළුවෙහි සිටි අවස්ථාවක, ජනතාව මුදල් ගබඩාවට තම සම්මාදම් දමනවා නිරීක්ෂණය කරමින් සිටියා. ධනවතුන් ගබඩාවට කාසි රැසක් දැම්මා. එවිට, ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් දැමූ දිළිඳු වැන්දඹුවක් යේසුස්ගේ විමසිලිමත් නෙතට යොමු වුණා. පේතෘස්, යොහන් සහ එතැන සිටි අනිත් අයට යේසුස් මෙසේ පැවසුවා: “සැබවක් නුඹලාට කියමි—ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය. මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවාය.”—මාර්ක් 12:41-44.
යේසුස් මිනිසුන්ගේ හොඳ පැත්ත දෙසම බැලූ බවත්, සෑම කෙනෙක්ම දැරූ වෑයම අගය කළ බවත් ඔබට පෙනෙනවා ඇති. ඔබ සිතන පරිදි, මෙය පේතෘස් සහ අනිකුත් ප්‍රේරිතයන්ට කෙසේ බලපාන්න ඇද්ද? යෙහෝවා මොන වගේ කෙනෙක්ද යන්න යේසුස්ගේ ආදර්ශයෙන් වටහාගත් පේතෘස්, පසුව ගීතාවලියෙන් කොටසක් මෙසේ උපුටා දැක්වූවා: ‘යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ.’ (1 පේතෘස් 3:12; ගීතාවලිය 34:15, 16) ඔබේ හොඳ පැත්ත දකින්න ආශාවක් ඇති, ඔබේ කන්නලව්වලට සවන් දෙන මැවුම්කරුවෙකු සහ පුත්‍රයෙකු වෙත ඔබ ඇදී යන්නේ නැද්ද?
යේසුස් සමඟ අවුරුදු දෙකක් පමණ ඇසුරු කිරීමෙන් පසු, යේසුස් මෙසියස් බව පේතෘස්ට ස්ථිර වුණා. යේසුස් තම ගෝලයන්ගෙන්, “මා කවරෙකු කියා මනුෂ්‍යයෝ කියද්දැයි” විමසූ අවස්ථාවක ඔහුට විවිධ පිළිතුරු ලැබුණා. එවිට ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසුවා: “නුඹලා මා කවරෙකු කියා කියන්නහුද”? පේතෘස්ගේ ඒකාන්ත පිළිතුර වූයේ, ‘ඔබ ක්‍රිස්තුස්ය’ යන්නයි. කෙසේවෙතත්, යේසුස් ඊළඟට කළ දෙයින් ඔබ පුදුමයට පත් විය හැකියි. ඔහු ඔවුන්ට කිව්වේ ඒ “ගැන කාටවත් නොකියන්ට” කියායි. (මාර්ක් 8:27-30; 9:30; මතෙව් 12:16) ඇයි එහෙම දෙයක් කිව්වේ? යේසුස් ඔවුන් අතර සිටි නිසා, කටකතා මත පදනම් වූ නිගමනවලට ජනයා එළඹෙනවාට යේසුස් අකමැති වුණා. තර්කානුකූල දෙයක් නොවේද? (යොහන් 10:24-26) එසේ නම්, අපේ මැවුම්කරු අපෙන් අපේක්ෂා කරන්නේ, පැහැදිලි සාක්ෂි අප විසින්ම පරීක්ෂා කර බලා ඔහු ගැන දැනගැනීමයි. අපට සැබෑ තොරතුරු මත පදනම් වූ විශ්වාසයක් තිබිය යුතුයි. මැවුම්කරු අපේක්ෂා කරන්නේ එයයි.—ක්‍රියා 17:27.
ඔබට සිතාගත හැකි පරිදි, යේසුස්ට මැවුම්කරුගේ අනුබලය තිබුණු බවට ඇති තරම් සාක්ෂි තිබුණද, ඔහු අවට සිටි ජනයාගෙන් සමහරෙක් ඔහුව පිළිගත්තේ නැහැ. තමාට හිමි තනතුර හෝ දේශපාලන අභිලාෂයන්වලට වහල් වූ බොහෝදෙනා, අවංක නමුත් නිහතමානී වූ මෙසියස්ට වැඩි මනාපයක් දැක්වූයේ නැහැ. තම සේවය නිම වෙද්දී, යේසුස් මෙසේ පැවසුවා: “අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත. බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:37, 38) ඉශ්රායෙල් ජාතියට හිමි වූ තත්වය මෙයාකාරයෙන් වෙනස් වුවද, සියලු ජාතීන්ට ආශීර්වාද කිරීම සඳහා දෙවි අරමුණු කළ දේ සැබෑ කරවීමට වැදගත් පියවරක් ඉදිරියට ගනු ලැබුවා.
ඉන් අනතුරුව, “දේවල පිළිවෙළේ නිමාව” පිළිබඳ යේසුස්ගේ සවිස්තර අනාවැකියට පේතෘස් සහ තවත් ප්‍රේරිතයන් තිදෙනෙක් සවන් දුන්නා.d පොදු යුගයේ 66-70 දක්වා කාලයේදී රෝමවරුන් යෙරුසලමට පහර දී එය විනාශ කළ විට, යේසුස් අනාවැකි පළ කළ දෙයට මූලික ඉටුවීමක් තිබුණා. යේසුස් පුරෝකථනය කළ දෙය ඇත්තෙන්ම සිදු වූ බව ඉතිහාස වාර්තාවෙන් සනාථ වෙයි. යේසුස් පුරෝකථනය කළ දේවල් බොහොමයක ඉටුවීම පේතෘස් සියැසින්ම දුටු අතර, පේතෘස් ලියූ පොත් දෙක වූ 1 සහ 2 පේතෘස් පොත්වල මෙය දක්නට ලැබෙනවා.—1 පේතෘස් 1:13; 4:7; 5:7, 8; 2 පේතෘස් 3:1-3; 11, 12.
යේසුස් තම දේවසේවයෙහි නිරත වෙද්දී තමා වටා සිටි යුදෙව්වන්ට ඉවසිලිවන්තව කරුණාව පෙන්නුවා. එනමුත් දුෂ්ටකම හෙළා දැකීමට ඔහු පසුබට වූයේ නැහැ. අපේ මැවුම්කරුව වඩාත් හොඳින් තේරුම්ගැනීමට මෙය පේතෘස්ට උපකාර කළා වගේම, අපටත් උපකාර කළ යුතුයි. යේසුස්ගේ අනාවැකිය ඉටු කළ වෙනත් දේ දකිද්දී, ක්‍රිස්තියානීන් “යෙහෝවාගේ දවසේ පැමිණීම මනසෙහි ප්රමුඛව” [NW] තබාගත යුතු බව පේතෘස් ලියා දැන්වූවා. ඒත් සමඟම ‘ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට යෙහෝවා තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන්නේය; නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන’ බවත් පේතෘස් පැවසුවා. තවද “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිළිබඳ දිරිගැන්වීමක්ද පේතෘස් ලබා දුන්නා. (2 පේතෘස් 3:3-13) පේතෘස් කළාක් මෙන්, යේසුස් තුළින් පිළිබිඹු වූ දෙවිගේ ගුණාංග අපත් අගය කරනවාද? අනාගතය සඳහා ඔහු පොරොන්දු වී ඇති දේ විශ්වාස කරන බව අපි පෙන්නුම් කරනවාද?
යේසුස් මියගියේ මන්ද?
තම ප්‍රේරිතයන් සමඟ ගත කළ අන්තිම රාත්රියේදී, යේසුස් ඔවුන් සමඟ විශේෂ භෝජනයක් ගත්තා. සාමාන්‍යයෙන් එවැනි භෝජන සංග්‍රහයකදී, යුදෙව් සංග්‍රාහකයෙක් දූවිල්ලෙන් නැහැවුණු පාරවල් දිගේ ඇවිදගෙන පැමිණි අමුත්තන්ගේ පාද සේදීමෙන් තම ආගන්තුක සත්කාරය පෙන්වනවා. කෙසේවෙතත්, යේසුස් වෙනුවෙන් මෙය කිරීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එමනිසා නිහතමානීව ක්‍රියාත්මක වූ ඔහු, නැඟිට රෙදිකඩක්ද භාජනයක්ද ගෙන තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමට පටන්ගත්තා. පේතෘස්ගේ වාරය පැමිණි විට යේසුස්ගෙන් මෙම උපස්ථානය ලබාගැනීමට ඔහු ලජ්ජා වුණා. පේතෘස් මෙසේ පැවසුවා: ‘ඔබට කිසි කලක මාගේ පාද සෝදන්ට නොදෙමි.’ යේසුස්ගේ ප්‍රතිචාරය වූයේ, “මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැත” යන්නයි. ඉතා ඉක්මනින් තමා මියයන බව යේසුස් දැන සිටි බැවින් ඔහු මෙසේද එකතු කළා: “ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුයි. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.”—යොහන් 13:5-17.
දශක ගණනාවකට පසුව, පේතෘස් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ පාද සේදීමේ චාරිත්‍රයකින් නොව, නමුත් ‘අධිපතිකම් කරනවා’ වෙනුවට අනිත් අයට නිහතමානී සේවයක් පිරිනැමීමෙන් යේසුස්ව අනුකරණය කරන්න කියායි. තවද “දෙවි උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන” බව යේසුස්ගේ ආදර්ශයෙන් ඔප්පු වූ බවත් පේතෘස් තේරුම්ගත්තා. මැවුම්කරු ගැන මොනතරම් වටිනා පාඩමක්ද! (1 පේතෘස් 5:1-5; ගීතාවලිය 18:35) එනමුත් පේතෘස් තවත් බොහෝ දෑ ඉගෙනගත්තා.
ප්‍රේරිතයෙකු වූ නමුත්, සොරෙකු බවට පත් වූ යූදස් ඉස්කාරියොත්, එම සන්ධ්‍යා භෝජනයෙන් පසු යේසුස්ව අත්අඩංගුවට ගැනීම සඳහා අවි සන්නද්ධ පිරිසකට මඟ පෙන්නුවා. යේසුස්ව අත්අඩංගුවට ගන්න උත්සාහ කරද්දී, පේතෘස් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. ඔහු කඩුවක් අතට ගෙන, එම කල්ලියේ මනුෂ්‍යයෙකුට තුවාල කළා. ඒ අවස්ථාවේදී යේසුස් පේතෘස්ව මෙසේ නිවැරදි කළා: “කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” පේතෘස් බලාගෙන සිටිද්දීම, යේසුස් එම මනුෂ්‍යයා පිට අත තබා සුව කළා. (මතෙව් 26:47-52; ලූක් 22:49-51) එසේ නම්, ‘නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන’ තම පියාව අනුකරණය කරමින්, “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න” යන තම ඉගැන්වීමට එකඟව යේසුස් ජීවත් වූ බව පැහැදිලියි.—මතෙව් 5:44, 45.
පීඩිත වූ එම රාත්‍රිය තුළදී, යේසුස්ට විරුද්ධව පැනවූ නඩුව සම්බන්ධයෙන් යුදෙව් මහාධිකරණය ඉක්මන් තීරණයක් ගත්තා. දේවාපහාසය නමැති බොරු චෝදනාව මත ඔහුව රෝම ආණ්ඩුකාරයා වෙතට ගෙන ගොස්, අසාධාරණ මරණයකට ලක් වන්න භාර කළා. යුදෙව්වන් සහ රෝමවරුන් දෙපිරිසම යේසුස්ව සරදමට ලක් කළා. ඔහු කෲර හිංසාවන්ට ගොදුරු වූ අතර, අන්තිමේදී වධකණුවක එල්ලනු ලැබුවා. මෙලෙස, සියවස් ගණනාවකට පෙර මෙම හිංසා පීඩාවන් ගැන ලියවී තිබුණු අනාවැකි ඉටු වුණා. වධකණුවේ එල්ලී සිටි යේසුස්ව දුටු හේවායන් පවා පිළිගත්තේ ‘සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයා’ කියායි.—මතෙව් 26:57–27:54; යොහන් 18:12–19:37.
‘ක්‍රිස්තුස්ට මියයන්න සිදු වුණේ ඇයි’ කියා ඇසීමට මෙම සිදුවීම් පේතෘස්ට සහ වෙනත් අයට හේතුවක් වන්න ඇති. ඔවුන්ට එය තේරුණේ පසුවයි. මෙම සිදුවීම් යෙසායා 53වන පරිච්ඡේදයෙහි අනාවැකිය ඉටු කළා. ක්‍රිස්තුස් යුදෙව්වන්ට පමණක් නොව, මුළු මනුෂ්‍යවර්ගයා සඳහාම නිදහසට මං උදා කරන බව එහි සඳහන් වුණා. පේතෘස් මෙසේ ලිව්වා: ‘අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, ඔහුම තමන්ගේ ශරීරයෙන් ගස මතදී අපගේ පාපයන් ඉසුලුවේය; ඔහුගේ තුවාලවලින් නුඹලා සුව කරනු ලැබුවහුය.’ (1 පේතෘස් 2:21-25) “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය” කියා යේසුස් ඉදිරිපත් කළ කාරණයේ සැබෑ අරුත පේතෘස්ට වැටහුණා. (මතෙව් 20:28) ඔව්, ආදම්ගෙන් උරුම වී තිබුණු පව්කාර තත්වයෙන් මනුෂ්‍යවර්ගයාව මිල දී ගැනීම සඳහා, පරිපූර්ණ මනුෂ්‍යයෙකු වශයෙන් ජීවත් වීමට තමා සතු අයිතිය පාවා දීමට යේසුස්ට සිදු වුණා. ඒ තමයි මිදීමේ මිලය. මෙය බයිබලයෙහි මූලික ඉගැන්වීමක්.
මිදීමේ මිලයට ඇතුළත් වන්නේ කුමක්ද? එය මෙයාකාරයෙන් නිදර්ශනය කළ හැකියි: ඔබට පරිගණකයක් ඇතැයි සිතමු. ඒත් කිසිම දෝෂයක් නැතුව දුවන ඔබේ පරිගණක පද්ධතියට කවුරු හරි ඇතුල් කර ඇති දෝෂයකින් (හෝ වයිරසයකින්) එහි එක ඉලෙක්ට්‍රොනික ගොනුවක් දූෂණය වී ඇතැයි සිතමු. ආදම් හිතාමතා දෙවිට අකීකරු වූ විට හෝ පව් කළ විට, එය බලපෑ අන්දම එයින් නිදර්ශනය කළ හැකියි. අපි නිදර්ශනය තවත් පියවරක් ඉදිරියට ගෙන යමු. දූෂණය වූ ඉලෙක්ට්‍රොනික ගොනුවේ කොතරම් පිටපත් සෑදුවද, ඒ සෑම පිටපතක්ම දූෂණයට ලක්ව තිබෙයි. කෙසේවෙතත්, ඔබේ බලාපොරොත්තු අත්හරින්න අවශ්‍යතාවක් නැහැ. විශේෂ ක්රමලේඛයකින් ඔබේ ගොනුවලින් සහ පරිගණකයෙන් එම දෝෂය සොයා ඉවත් කරගැනීමට ඔබට පුළුවන්. ඒ හා සමානව මනුෂ්‍යවර්ගයාට ආදම් සහ ඒවගෙන් ‘වයිරසයක්’ එනම් පාපය දායාද වී ඇති අතර, එය ඉවත් කරගැනීමට පිටින් උපකාර අපට අවශ්‍යයි. (රෝම 5:12) බයිබලයට අනුව, පාපයෙන් පවිත්‍ර වීම සඳහා දෙවි යේසුස්ගේ මරණය නමැති සැපයුම ලබා දුන්නා. එය අපට ප්‍රයෝජන ගත හැකි ප්‍රේමනීය සැපයුමකි.—1 කොරින්ති 15:22.
යේසුස් කළ දෙය අගය කළ පේතෘස්, ‘මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවිගේ කැමැත්ත ලෙස ජීවත් වීමට’ පෙලඹුණා. පේතෘස්ට මෙන්ම අප සඳහාත් ඉන් අදහස් වන්නේ, දූෂිත ගතිපැවතුම් සහ දුරාචාර ජීවන රටාවකින් වැළකී සිටීමයි. ‘දෙවිගේ කැමැත්ත’ කිරීමට උත්සාහ කරන පුද්ගලයාට බාධා ඇති කරන්න අන්‍යයන් උත්සාහ කරනවා විය හැකියි. කෙසේවෙතත්, අර්ථවත්බවින් සහ ලැබෙන විපාක අතින් තම ජීවිතය වඩාත් හොඳ බව ඔහුට පෙනී යනවාට සැකයක් නැහැ. (1 පේතෘස් 4:1-3, 7-10, 15, 16) පේතෘස් එවැනි දෙයක් අද්දුටුවා. තවද ‘යහපත කරමින්, විශ්වාසකටයුතු මැවුම්කරුවාට තමන්ව භාර’ දෙන අතරතුරේදී එය අද්දැකීමට අපටත් පුළුවන්.—1 පේතෘස් 4:19, න.අ.
ප්‍රේමය හඳුනාගත් ශ්‍රාවකයෙක්
යේසුස් සමඟ කිට්ටුවෙන් ඇසුරු කළ තවත් ශ්‍රාවකයෙකි, ප්‍රේරිත යොහන්. එමනිසා, මැවුම්කරුව වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔහුගේ අද්දැකීම් අපට උපකාරයක් වෙයි. යොහන් සුවිශේෂ වාර්තාවකුත්, ලිපි තුනකුත් ලිව්වා. (1, 2 සහ 3 යොහන්) එක් ලිපියක, ඔහු අපහට මෙම කාරණය පැහැදිලි කළා: “දෙවිගේ පුත්‍රයා පැමිණ අප සැබෑ වූ තැනැත්තාව [මැවුම්කරුව] ඇඳිනගන්නා පිණිස අපට ඥාන ශක්තිය දී තිබෙන බව අපි දනිමු. තවද ඔහුගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි සැබෑ වූ තැනැත්තා තුළ එක්සත්ව සිටිමු. මේ වනාහි සැබෑ වූ දෙවි සහ සදාකාල වූ ජීවනයය.”—1 යොහන් 5:20, NW.
“සැබෑ වූ තැනැත්තා” ගැන දැනුම ලබාගැනීමට යොහන් විසින් “ඥාන ශක්තිය” උපයෝගි කිරීම අවශ්‍ය වුණා. මැවුම්කරුගේ ගුණාංග ගැන යොහන්ට තේරුම් ගියේ කුමක්ද? ‘දෙවි ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවි තුළ සිටී’ කියා යොහන් ලිව්වා. යොහන්ට ඒ ගැන එතරම් ස්ථිර විශ්වාසයක් තිබුණේ මන්ද? ‘ප්‍රේමය මේය, එනම් අප දෙවිට ප්‍රේම කළා නොව ඔහු අපට ප්‍රේම කොට,’ අප උදෙසා මිදීමේ පූජාවක් ඔප්පු කිරීමට ‘තමන්ගේ පුත්‍රයා එවූ නිසයි.’ (1 යොහන් 4:10, 16) පේතෘස්ට මෙන්, යොහන්ගේ හෘදයට තට්ටු කළෙත් අප උදෙසා තම පුත්‍රයාව එවීමෙන් දෙවි පෙන්නූ ප්‍රේමයයි.
යොහන් යේසුස්ට ඉතා කිට්ටුව සිටි නිසා, යේසුස්ගේ චිත්තවේගී හැඟීම් අගය කරන්න ඔහුට හැකි වුණා. යෙරුසලම ළඟ පිහිටි බෙතානියේ සිදුවීමක්, යොහන්ට ගැඹුරින් බලපෑවා. තම මිත්‍ර ලාසරුස්ට අසාධ්‍යය බව ආරංචි වීමෙන් පසු, යේසුස් බෙතානිය බලා ගමන් කළා. ඔහුද ප්‍රේරිතයන්ද පැමිණෙන විට, ලාසරුස් මියගොස් අඩුම තරමින් දින හතරක්වත් ගත වී තිබුණා. මිනිස් ජීවිතයේ උල්පත වන මැවුම්කරුගේ බලය යේසුස්ට තිබූ බව යොහන් දැන සිටියා. ඉතින්, ලාසරුස්ව නැවත-නැඟිටුවන්න යේසුස්ට හැකියාවක් තිබුණාද? (ලූක් 7:11-17; 8:41, 42, 49-56) යේසුස් ලාසරුස්ගේ සොහොයුරිය වූ මාර්තාට මෙසේ පැවසුවා: “නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේය.”—යොහන් 11:1-23.
ඉන්පසුව, ලාසරුස්ගේ තවත් සොහොයුරියක් වූ මරියා යේසුස්ව හමුවීමට එන අයුරු යොහන් බලා සිටියා. යේසුස් ප්‍රතික්‍රියා කළේ කෙසේද? ඔහු ‘සිතින් සුසුම්ලා කැලඹුණා.’ [න.අ.] යේසුස්ගේ ප්‍රතික්‍රියාව විස්තර කිරීමට, යොහන් සිත්ගන්නා ග්‍රීක් වචනයක් (සිංහලෙන්, “සුසුම්ලා”) භාවිත කළා. හෘදයෙන්ම නික්මෙන ගැඹුරු හැඟීම් යන අරුත එහි ගැබ්ව පවතිනවා. යේසුස් සිතින් “කැළඹී” හෝ කම්පා වී සිටි බව, එසේ නැතහොත් ඉමහත් දුකකින් සිටි බව යොහන්ට පෙනුණා. යේසුස් උදාසීනව හෝ ගණන් නොගෙන පැත්තකට වී සිටියේ නැහැ. ඔහු ඇත්තෙන්ම ‘ඇඬුවා.’ (යොහන් 11:30-37) යේසුස්ට ගැඹුරු මෙන්ම ඉතා මුදු මොළොක් හැඟීම් තිබුණු බව පැහැදිලියි. මැවුම්කරුගේ හැඟීම් අගය කිරීමට මෙය යොහන්ට උපකාර වූවාක් මෙන්, අපටත් උපකාරවත් විය යුතුයි.
යේසුස් තුළ පහළ වූ චිත්තවේගී හැඟීම් ඒකාන්ත ක්‍රියාමාර්ග ගැනීමට සම්බන්ධ වූ බවත් යොහන් දැන සිටියා. මන්ද “ලාසරුස් පිටතට එන්න” කියා මොරගසන අවස්ථාවේදී ඔහුද සිටියා. ලාසරුස් පිටතට ආවා. ඔහු නැවත ජීවය ලබා, සොහොන් ගෙයින් පිටතට ආවා. ඔහුගේ සහෝදරියන්ටත් වෙනත් අයටත් එය මොනතරම් ප්‍රීතිමත් අවස්ථාවක් වන්න ඇද්ද! එවිට බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි අදහාගන්න පටන්ගත්තා. මෙම නැවත-නැඟිටීම ඔහු සිදු කළ බව ප්‍රතික්ෂේප කිරීමට යේසුස්ගේ සතුරන්ට බැරි වුණත්, ඒ ගැන ආරංචිය පැතිරුණ විට, යේසුස්ව පමණක් නොව ‘ලාසරුස්වත් මරන්ට [ඔවුන්] මන්ත්‍රණය කළා.’—යොහන් 11:43; 12:9-11.
යේසුස් ‘මැවුම්කරුගේ දේවත්වයේ ස්වරූපය’ බව බයිබලයෙහි විස්තර කෙරේ. (හෙබ්‍රෙව් 1:3) මේ අනුව, යේසුස් සහ ඔහුගේ පියා අසනීප සහ මරණයේ හානි ඉවත් කිරීමට දැඩි ආශාවක් දක්වන බව, යේසුස්ගේ භූමික සේවයෙන් මනාව පැහැදිලි වෙයි. මෙම ආශාව බයිබලයෙහි වාර්තා වී ඇති නැවත-නැඟිටීම් අතළොස්සට කොහෙත්ම සීමා වී නැහැ. ඇත්තෙන්ම, “[අනුස්මරණ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [පුත්‍රයාගේ] හඬ ඇසෙන පැය පැමිණ . . . [ඔවුහු] පිටත්ව එන්නෝය” කියා යේසුස් පැවසූ අවස්ථාවට යොහන් කන් දීගෙන සිටියා. (යොහන් 5:28, 29) සොහොන සඳහා ඇති සාමාන්‍ය වචනය යොදාගන්නවා වෙනුවට, ‘අනුස්මරණ සොහොන් ගෙවල්’ ලෙස පරිවර්තනය කර ඇති වචනය යොහන් භාවිත කළ බව සැලකිල්ලට ගන්න. ඒ මන්ද?
දෙවිට මෙම දේවල් සිහි වන නිසයි. නිමක් කොනක් නැති විශ්වයේ මැවුම්කරුට අපෙන් වියෝ වූ ප්‍රේමනීයයන් සැමදෙනාගේම සහජ මෙන්ම අත් කරගත් ගතිලක්ෂණ ඇතුළු, සෑම තොරතුරක්ම මතක තබාගත හැකි බව සහතිකයි. (යෙසායා 40:26 සසඳන්න.) මෙයින් අදහස් කරන්නේ ඔහුට මතක් කරන්න පුළුවන් කියන එක පමණක් නොව, නමුත් ඔහුද ඔහුගේ පුත්‍රයාද එසේ කිරීමට ආශාවෙන් සිටින බවයි. නැවත-නැඟිටීම නමැති මහඟු අපේක්ෂාව ගැන ඇදහිලිවන්ත යෝබ්, දෙවිට මෙසේ පැවසුවා: ‘මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත් වේද? ඔබ [යෙහෝවා] අඬගසන්නෙහිය, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවන්නෙහිය.’ (යෝබ් 14:14, 15, ඇල අකුරු අපේය; මාර්ක් 1:40-42) අපට සිටින්නේ අපේ නමස්කාරය ලබන්න සුදුසු මොනතරම් විශිෂ්ට මැවුම්කරුවෙක්ද!
නැවත-නැඟිටුණු යේසුස්—අර්ථවත් ජීවිතයකට යතුර
ප්‍රේමවන්ත ශ්‍රාවක යොහන් යේසුස්ගේ මරණය දක්වාම යේසුස්ව හොඳින් නිරීක්ෂණය කළා. එපමණක්ද නොව, එතෙක් මෙතෙක් සිදු වූ ශ්‍රේෂ්ඨතම නැවත-නැඟිටීම යොහන් වාර්තා කළා. ස්ථිර මෙන්ම අර්ථවත් ජීවිතයක් සඳහා බිඳිය නොහැකි අත්තිවාරමක් දැමීමට එම නැවත-නැඟිටීම හේතු වුණා.
යේසුස්ගේ සතුරන් ඔහුව සාමාන්‍ය අපරාධකරුවෙකු සේ වධකණුවක ඇණගසා ඝාතනය කළා. පැය ගණනාවක් තිස්සේ වධ විඳිමින් සිටිද්දී, ආගමික නායකයන් ඇතුළු බලාසිටින්නන් ඔහුට සරදම් කළා. වධකණුවේ දැඩි වේදනාවකින් පෙළෙමින් සිටියද, යේසුස් තම මව දැක යොහන් ගැන ඇයට මෙසේ පැවසුවා: “ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා!” ඒ වෙද්දී මරියා වැන්දඹුවක්ව සිටින්න ඇති. තවද ඇගේ අනික් දරුවන් ඒ වෙද්දිත් ගෝලයන්ව සිටියේ නැහැ.e එමනිසා, යේසුස් වයසට යමින් සිටි තම මවව බලාගැනීමේ වගකීම තම ශ්රාවකයා වූ යොහන්ට භාර දුන්නා. වැන්දඹුවන්ද අනාථ දරුවන්ද රැකබලා ගැනීමට දිරිගැන්වූ මැවුම්කරුගේ දෘෂ්ටිය නැවතත් මින් පිළිබිඹු වුණා.—යොහන් 7:5; 19:12-30; මාර්ක් 15:16-39; යාකොබ් 1:27.
එනමුත් යේසුස් මියගියොත්, ‘සියලු ජාතීන් තමුන්ට ආශීර්වාද අත් කරගන්නා’ “වංශය” වශයෙන් තමාට හිමි කාර්යභාරය ඉටු කරලීමට යේසුස්ට හැකි වන්නේ කෙසේද? (උත්පත්ති 22:18, NW) පොදු යුගයේ 33 අප්‍රියෙල් මස එම සන්ධ්‍යාවේදී, යේසුස්ගේ මරණයත් සමඟම, මිදීමේ මිලය සඳහා පදනමක් ලෙස ඔහු තම ජීවිතය පුද කළා. තම අහිංසක පුත්‍රයා අද්දුටු දැඩි වේදනාව දැකීමෙන් ඔහුගේ සංවේදී පියා බොහෝ සෙයින් දුක් වන්න ඇති. කෙසේවෙතත්, මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කිරීමට අවශ්‍ය වූ මිදීමේ මිලය ගෙවනු ලැබුවා. (යොහන් 3:16; 1 යොහන් 1:7) අවසානයේදී ඇති වන මහඟු ප්‍රතිඵල සඳහා මාර්ගය විවෘත වුණේ එවිටයි.
දෙවිගේ අරමුණු සැබෑ කරවීමට යේසුස් ප්‍රධාන කාර්යයක් දරන හෙයින්, ඔහුව නැවත ජීවත් කරවීම අත්‍යවශ්‍ය වුණා. ඒ දෙය සිදු වූ අතර, යොහන්ද එය සියැසින් දුටුවා. යේසුස්ගේ මරණයෙන් සහ සොහොන්ගත කිරීමෙන් පසු, තුන්වන දිනයේ හිමිදිරියේදී, ගෝලයන් කිහිපදෙනෙක් සොහොන් ගෙය ළඟට ගියා. එය හිස්ව තිබුණා. ඔවුන් තුළ ඇති වූ ව්‍යාකූලත්වය පහ වුණේ යේසුස් කිහිපදෙනෙකුට දර්ශනය වීමෙන් අනතුරුවයි. මග්දලායේ මරියා ‘මම ස්වාමීන්ව දුටුවා’ කියා දැන්වූවා. එනමුත් ඇගේ සාක්ෂිය ගෝලයන් පිළිගත්තේ නැහැ. පසු අවස්ථාවක ගෝලයන් අගුලු දැමූ කාමරයක රැස්ව සිටි විට, යේසුස් නැවත දර්ශනය වී ඔවුන් සමඟ කතාබහේ යෙදුණා. දවස් කිහිපයක් ඇතුළත, යේසුස් ඇත්තෙන්ම ජීවත්ව සිටි බව පුරුෂයන් සහ ස්ත්‍රීන් 500කට වැඩි සංඛ්‍යාවක් තම ඇස්වලින්ම දැක්කා. එවකට යම් සැකයක් පළ කළ අයෙකුට, මෙම විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගෙන් තොරතුරු විමසා, සාක්ෂිවල සත්‍යතාව දැනගැනීමට හැකියාව තිබුණා. එමනිසා යේසුස්ව නැවත-නැඟිටුවා ඇති බවත්, මැවුම්කරුට සමාන අදෘශ්‍යමාන මැවිල්ලක් වශයෙන් ජීවත්ව සිටි බවත් ක්‍රිස්තියානීන්ට නිසැකව විශ්වාස කිරීමට හැකියාව තිබුණා. තිබූ සාක්ෂි කොතරම් ප්‍රබලද, කොතරම් විශ්වාසවන්තද කිවහොත්, යේසුස්ව නැවත-නැඟිටුවා තිබූ බව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, බොහෝදෙනෙක් මරණයට මුහුණ දෙන්න වුණත් කැමති වුණා.—යොහන් 20:1-29; ලූක් 24:46-48; 1 කොරින්ති 15:3-8.f
යේසුස්ගේ නැවත-නැඟිටීම ගැන සාක්ෂිදැරීම හේතුවෙන් ප්‍රේරිත යොහන්ටද පීඩා විඳීමට සිදු වුණා. (එළිදරව් 1:9) එනමුත් වහලෙක්ව සිටි අවස්ථාවක, ඔහු අසාමාන්‍ය තිළිණයක් ලැබුවා. අපට මැවුම්කරු ගැන තවදුරටත් පැහැදිලි දෘෂ්ටියක් ලබා දෙන, අනාගතයෙහි සිදු වන දේ හෙළි කරන දර්ශන මාලාවක් යේසුස් ඔහුට දුන්නා. සංකේත බොහොමයක් භාවිත කරන එළිදරව් පොතෙන් මේවා කියවා බැලීමට ඔබට හැකි වෙයි. මෙහි යේසුස්ව දක්වා ඇත්තේ තම සතුරන්ව ඉක්මනින්ම පරාජය කිරීමට සිටින ජයග්‍රාහී රජෙකු ලෙසයි. එම සතුරන්ට (අප කාගෙත් සතුරා වන) මරණයද, දූෂිත අදෘශ්‍යමාන ජීවියා වන සාතන්ද ඇතුළත්ය.—එළිදරව් 6:1, 2; 12:7-9; 19:19–20:3, 13, 14.
ඔහුගේ අනාවැකිමය පණිවිඩයේ අවසානයට වෙන්න, පෘථිවිය පාරාදීසයක් බවට පත් වන කාලය ගැන දර්ශනයක් යොහන්ට දෙනු ලැබුවා. එදාට පවතින තත්වයන් සම්බන්ධයෙන් හඬක් මෙසේ විස්තර කළා: ‘දෙවි [මනුෂ්‍යවර්ගයා] සමඟ සිටින්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’ (එළිදරව් 21:3, 4) දෙවිගේ අරමුණු සැබෑ වෙද්දී, දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු වෙයි.—උත්පත්ති 12:3; 18:18.
එදාට තිබෙන ජීවිතය “සැබෑ ජීවනය” වෙයි. ආදම්ව මැවූ විට, ඔහු ඉදිරියෙහි තිබූ ජීවිතය හා සැසඳිය හැක්කකි එය. (1 තිමෝති 6:19, න.අ.) තම මැවුම්කරුව සෙවීමත්, ඔහු සමඟ ඔවුන්ගේ සබඳතාව තේරුම්ගැනීමත්, ඉන් ඉදිරියට මනුෂ්‍යවර්ගයා සඳහා අසීරු කාර්යයක් නොවෙයි. කෙසේවෙතත්, මතු දැක්වෙන ප්‍රශ්න ඔබට තිබිය හැකියි: ‘කවදාද මේ සියල්ල සිදු වන්නේ? මේ දක්වා නපුරු දේවල් සහ දුක් වේදනා සිදුවීමට අපේ සැලකිලිමත් මැවුම්කරු ඉඩ දෙන්නේ ඇයි?’ අපි දැන් එම ප්‍රශ්න සලකා බලමු.
[පාදසටහන්වල]
a මතෙව්, මාර්ක් සහ යොහන්, සියල්ල ඇසින් දුටු සාක්ෂිකරුවන් වුණා. ලූක්, ලියවිලි සහ ඇසින් දුටු සාක්ෂි හොඳින් සමීක්ෂණය කොට කෘතියක් පිළියෙළ කළා. මෙම සුවිශේෂයන් අවංක, නිවැරදි මෙන්ම විශ්වාසවන්ත වාර්තා බවට ඉතා පැහැදිලි සාක්ෂි ඇත.—Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සියලුම ජනයා සඳහා පොතක් යන්නෙහි 16-17 පිටු බලන්න.
b කුරානය මෙසේ පවසයි: “හෙතෙම මරියාගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස් යේසුස් යන නාමය ලබයි. මෙලොවෙත් මතුවටත් ඔහුව ගෞරවයෙන් සලකනු ලබයි.” (සූරා 3:45) මනුෂ්‍යයෙකු ලෙස, යේසුස් මරියාගේ පුත්‍රයා වුණා. එනමුත් ඔහුව ජනිත කළ පියා කවුද? කුරානයෙහි මෙසේ සඳහන් වෙයි: “දෙවි ඉදිරියෙහි යේසුස්ව ආදම්ට සම කළ හැකියි.” (සූරා 3:59) ශුද්ධ ලියවිලිවල ආදම්ව සඳහන් වී ඇත්තේ ‘දෙවිගේ පුත්‍රයා’ හැටියටයි. (ලූක් 3:23, 38) ආදම්ටවත්, යේසුස්ටවත් මිනිස් පියෙක් සිටියේ නැහැ. ස්ත්‍රියක සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ ප්‍රතිඵලයකින් ඔවුන් බිහි වූයේ නැහැ. එබැවින්, ආදම් දෙවිගේ පුත්‍රයා වූවාක් මෙන්, යේසුස්ද එසේම වුණා.
c ගීතාවලිය 103හි සහ යෙසායා 1:18-20හි සඳහන් යෙහෝවාගේ ආකල්පය හා යේසුස්ගේ ආකල්පය ගැළපෙයි.
d එම අනාවැකිය මතෙව් 24, මාර්ක් 13 සහ ලූක් 21 යන පරිච්ඡේදවල අපට කියවීමට පුළුවන්.
e අඩුම තරමින් ඔවුන්ගෙන් දෙදෙනෙක්වත් පසුව ගෝලයන් වී, බයිබලයෙහි සොයාගත හැකි යාකොබ් සහ යූද් යන දිරිගන්වනසුලු ලිපි ලිව්වා.
f ඉහළ පෙළේ රෝම නිලධාරියෙක් පේතෘස්ගේ මෙම ඇසින් දුටු සාක්ෂියට කන් දුන්නා: ‘යුදය මුළුල්ලෙහි පතළ වූ වචනය නුඹලා දන්නහුය. දෙවි තුන්වනදා ඔහුව නැඟුටුවා ප්‍රකාශ වෙන්ට සැලැස්සුවේය. ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවි විසින් නියම කරන ලද තැනැත්තේ මොහු බව සෙනඟට ප්‍රකාශ කරන්ටත් සාක්ෂි දෙන්ටත් ඔහු අපට අණ කළේය.’—ක්‍රියා 2:32; 3:15; 10:34-42.
[150වන පිටුවේ කොටුව]
යේසුස් පේතෘස්ගේ නැන්දම්මාව සුව කළ අනික් වාර්තා සසඳා බැලීම ඔබේ ආස්වාදයට හේතුවක් විය හැකියි. (මතෙව් 8:14-17; මාර්ක් 1:29-31; ලූක් 4:38, 39) ඇයට “බලවත් උණරෝගයක්” වැළඳී තිබුණා යන වෛද්‍යමය කාරණය වෛද්‍ය ලූක් ඇතුල් කළා. ඇයවත්, වෙනත් අයවත් සුව කිරීමට යේසුස්ට හැකි වූයේ කෙසේද? ‘සුව කරන පිණිස යෙහෝවාගේ ආනුභාවය [යේසුස්] සමඟ වූ’ බව ලූක් පිළිගත්තා.—ලූක් 5:17; 6:19; 9:43.
[152වන පිටුවේ කොටුව]
දුන් විශිෂ්ටතම දේශනාව
එහි අඩංගු ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් “මුළු ලෝකයේම ගැටලු අපට විසඳිය හැකි” බව හින්දු නායක මොහාන්දාස් ගාන්ධි පැවසූ බව වාර්තා වී ඇත. ප්‍රේමය අපේ මානසිකත්වයට කොතරම් වැදගත්ද යන්න පිළිබඳව මෑතක කර ඇති සොයාගැනීම්, මෙම දේශනාවේ වටිනාකම හුදු “තහවුරු කිරීමක්” බව සුප්‍රසිද්ධ මානවවේදී ඇෂ්ලි මොන්ටෙගු ලිව්වා.
මෙම පුරුෂයන් කතා කරමින් සිටියේ යේසුස්ගේ කන්ද උඩ දේශනාව ගැනයි. “දේශනාවේ ඉගැන්වීම් අප හැමෝටම පිළියෙළ කර තිබූ” බවත් ගාන්ධි පැවසුවා. මහාචාර්ය හාන්ස් ඩීට’ බෙට්ස් මෑතකදී කියා සිටියේ, “කන්ද උඩ දේශනාව බලපා ඇති ආකාරය යුදෙව්වාදයේ සහ ක්‍රිස්තු ධර්මයේ පමණක් නොව, බටහිර සංස්කෘතියේ පවා සීමාවන් බෙහෙවින් අබිබවා යන” බවයි. මෙම දේශනාවට “අතිවිශේෂ වූ සර්ව ලෝක ආකර්ෂණයක්” ඇති බවත් ඔහු පවසනවා.
සාපේක්ෂ වශයෙන් කෙටි වුණත්, සිත් ඇදගන්නා මෙම අනුශාසනාව ඔබ කියවන්නේ නැත්තේ ඇයි? එය මතෙව් 5 සිට 7වන පරිච්ඡේදවලද, ලූක් 6:20-49හිද ඔබට සොයාගත හැකියි. මෙම විශිෂ්ටතම දේශනාවෙන් අපට ග්‍රහණය කරගත හැකි විශේෂාංග කිහිපයක් මතු දැක්වේ:
සන්තෝෂ වීමට මඟ—මතෙව් 5:3, NW, මතෙ 5:4-12; ලූක් 6:20-23.
ආත්ම-ගරුත්වය පවත්වාගත හැකි අන්දම—මතෙව් 5:14-16, 37; 6:2-4, 16-18; ලූක් 6:43-45.
අන්‍යයන් සමඟ සබඳතා වැඩිදියුණු කළ හැකි අයුරු—මතෙව් 5:22-26, 38-48; 7:1-5, 12; ලූක් 6:27-38, 41, 42.
විවාහයේ ගැටලු අඩු කරගත හැකි ආකාරය—මතෙව් 5:27-32.
කනස්සල්ලට සාර්ථකව මුහුණ දෙන අන්දම—මතෙව් 6:25-34.
ආගමික ප්‍රෝඩාව හඳුනාගත හැකි අයුරු—මතෙව් 6:5-8, 16-18; 7:15-23.
ජීවිතයේ අරුත සොයාගත හැකි ආකාරය—මතෙව් 6:9-13, 19-24, 33; 7:7-11, 13, 14, 24-27; ලූක් 6:46-49.
[159වන පිටුවේ කොටුව]
ක්‍රියාශීලී මනුෂ්‍යයෙක්
යේසුස් ක්‍රිස්තුස් පැත්තකට වී බලා සිටි උදාසීන කෙනෙක් නෙවෙයි. ඔහු අධිෂ්ඨානපූර්වක වූ ක්‍රියාශීලී මනුෂ්‍යයෙක්. “උගන්වමින් අවට ගම්වල ඇවිද්ද” ඔහු, “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය” ජනතාවට උපකාර කළා. (මාර්ක් 6:6; මතෙව් 9:36; ලූක් 8:1) දැන් සිටින ධනවත් ආගමික නායකයන් බොහෝදෙනෙක් කරනවා වගේ, යේසුස් ධනය එක්රැස් කළේ නැහැ. තම ‘හිස තබන්ටවත් තැනක්’ ඔහුට තිබුණේ නැහැ.—මතෙව් 8:20.
යේසුස් ආත්මික සුවයක් ගෙන දීම කෙරෙහි මූලිකවම අවධානය දුන්නද, ජනතාවගේ භෞතික අවශ්‍යතාවන්ද ඔහු නොසලකා හැරියේ නැහැ. රෝගාතුර, අංග විකල සහ යක්ෂාවේශ වූ සියල්ලන්ට ඔහු සුවය ගෙන දුන්නා. (මාර්ක් 1:32-34) තම උද්යෝගී ශ්‍රාවකයන් දහස් ගණනකට යේසුස් දෙවතාවක්ම කන්න දුන්නේ ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වූ නිසයි. (මාර්ක් 6:35-44; 8:1-8) ප්රාතිහාර්යයන් සිදු කිරීම පිටුපස තිබූ ඔහුගේ චේතනාව වූයේ, ජනතාව සඳහා ඔහුට තිබුණු සැලකිල්ලයි.—මාර්ක් 1:40-42.
ගිජු වෙළඳුන්ව දේවමාළිගාවෙන් එළවා දැමූ අවස්ථාවේදී යේසුස් අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කළා. ඒ අවස්ථාවේදී ඔහු කළ දේ දුටු අයට ගීතිකාකරුගේ මෙම වදන් සිහි වුණා: “ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතය මා දවන්නේය.” (යොහන් 2:14-17) කුහක වූ ආගමික නායකයන්ව හෙළා දකිද්දී, කියන්න තිබූ දේ යේසුස් කෙළින්ම කිව්වා. (මතෙව් 23:1-39) ඉහළ දේශපාලනික තනතුරු හෙබවූ මනුෂ්‍යයන්ගෙන් එල්ල වූ පීඩනවලටත් ඔහු කවදාවත්ම යටත් වුණේ නැහැ.—මතෙව් 26:59-64; යොහන් 18:33-37.
යේසුස්ගේ බලවත් සේවය ගැන කියවද්දී, එය ඔබේ ඉමහත් ආස්වාදයට හේතු වෙනවා නිසැකයි. මුල් වතාවට එම වාර්තාවන් කියවන බොහෝදෙනා, මෙම ක්‍රියාශීලී මනුෂ්‍යයා ගැන මාර්ක් ලියූ කෙටි නමුත් ප්‍රාණවත් වාර්තාවෙනුයි තම කාර්යය අරඹන්නේ.
[164වන පිටුවේ කොටුව]
යේසුස් ඔවුන්ව ක්‍රියාවට පෙලඹුවා
ක්‍රියා නමැති පොතෙහි, පේතෘස්, යොහන් සහ වෙනත් අය යේසුස්ගේ නැවත-නැඟිටීම ගැන සාක්ෂිදැරූ ආකාරය පිළිබඳ ඓතිහාසික වාර්තාවක් අන්තර්ගතයි. මෙම පොතෙහි වැඩි හරියක, ක්‍රිස්තු ධර්මයට දරුණු ලෙස විරුද්ධවාදිකම් එල්ල කළ, පාවුල් නමින් පසුව හැඳින්වූ සාවුල් නම් බුද්ධිමත්, නීතිය හදාරන්නෙකු හා සම්බන්ධ සිදුවීම් විස්තර කරයි. නැවත-නැඟිටුවනු ලැබූ යේසුස් ඔහුට දර්ශනය වුණා. (ක්‍රියා 9:1-16) යේසුස් ස්වර්ගයෙහි ජීවමානව සිටි බවට අවිවාදයෙන් පිළිගත හැකි සාක්ෂි ඔහුට තිබුණු බැවින්, පාවුල් පසුව මෙම කාරණය ගැන යුදෙව්වන්ට සහ දර්ශනවාදීන් මෙන්ම පාලකයන් ඇතුළු අන්‍යජාතිකයන්ට ජ්වලිතව සාක්ෂිදැරුවා. එවන් දැන උගත්, බල පුළුවන්කාර පුරුෂයන්ට ඔහු පැවසූ දේවල් කියවීම ඇත්තෙන්ම අපේ සිතට කාවදියි.—ක්‍රියා 17:1-3, 16-34; 26:1-29.
නව ගිවිසුමයයි ප්‍රචලිත වී ඇති ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලට ඇතුළත් පොත් කිහිපයක්ම පාවුල් දශක ගණනාවක් තුළ ලිව්වා. බයිබල් බොහොමයක පටුනක් නැතහොත් පොත් ලයිස්තුවක් ඇත. රෝම පොතේ සිට හෙබ්‍රෙව් දක්වා පොත් 14ම ලිව්වේ පාවුල්. එදා සිටි ක්‍රිස්තියානීන්ට එම පොත්වලින් ගැඹුරු සත්‍යයන් සහ ප්‍රඥාවන්ත මඟ පෙන්වීමක් සපයනු ලැබුවා. ප්රේරිතයන්ගෙන්වත්, යේසුස්ගේ ඉගැන්වීම්, ක්‍රියාවන් සහ නැවත-නැඟිටීම යනාදිය කෙළින්ම දුටු වෙනත් අයගෙන්වත් අපට ඍජුව තොරතුරු විමසිය නොහැකි බැවින් එම පොත් අපට ඊටත් වඩා වැදගත් වෙනවා. පාවුල්ගේ ලියවිලි ඔබේ පවුල් ජීවිතයේදීත්, සෙසු සේවකයන් සහ අසල්වාසීන් සමඟ ඔබේ කටයුතුවලදීත් ප්‍රයෝජනවත් වන අන්දමද, ඔබේ ජීවිතයට නියම අරුතක් ලැබීමට සහ තෘප්තියක් ගෙන දීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන අන්දමද ඔබට නිතැතින්ම පැහැදිලි වෙයි.
[146වන පිටුවේ පින්තූරය]
විද්‍යාඥයන් දැන් ශරීරයෙන් බැහැරව සංසේචනය සිදු කරනවා. මැවුම්කරුද තම පුත්‍රයාගේ ජීවිතය මනුෂ්‍ය ස්වභාවයකට පරිවර්තනය කළා
[148වන පිටුවේ පින්තූරය]
යේසුස් මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ ආකාරය ඇසූ දුටු බොහෝදෙනෙක්, ඔහුගේ පියාව වඩාත් හොඳින් දැනහඳුනා ගත්තා
[154වන පිටුවේ පින්තූරය]
යේසුස් තම ප්‍රේරිතයන්ගේ පාද සේදුවා. මෙයාකාරයෙන් ඔහු මැවුම්කරු අගය කරන නිහතමානීකම පිළිබඳ ආදර්ශයක් තැබුවා
[157වන පිටුවේ පින්තූරය]
පරිගණක දෝෂයක් (හෝ වයිරසයක්) එම පද්ධතියෙන් ඉවත් කිරීමට හැකියි; උරුම වූ අසම්පූර්ණකම ඉවත් කරගැනීමට මනුෂ්‍යවර්ගයාට යේසුස්ගේ මිදීමේ පූජාව අවශ්‍යයි
[163වන පිටුවේ පින්තූරය]
යේසුස්ව (මෙවැනි) සොහොනකට දැමූ ආකාරයද තුන්වන දවසේදී නැවත-නැඟිටුවනු ලැබූ ආකාරයද සාක්ෂිකරුවන් සියැසින්ම දුටුවා