දහතුන්වන පරිච්ඡේදය
ප්රතිවිරෝධී රජවරු දෙදෙනෙක්
1, 2. දානියෙල් 11වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති අනාවැකිය කෙරෙහි අප උනන්දු විය යුත්තේ මන්ද?
ප්රතිවිරෝධී රජවරු දෙදෙනෙක් ආධිපත්‍යය සඳහා මහත් අරගලයක නිරතව සිටිනවා. කල් යෑමේදී, පළමු රජද, පසුව දෙවන රජද එකිනෙකා අබිබවමින් විටින් විට ඉදිරියෙන් සිටීමට සමත් වෙනවා. කලකට, එක් රජෙක් බලපවත්වන අතරේදී අනිත් රජු අක්‍රියාශීලීව සිටින අතර, කිසිම ගැටුමක් නැති කාලවලුත් තිබෙනවා. එහෙත්, තවත් යුද්ධයක් හදිසියේම හටගන්නා අතර, ගැටුම දිගටම ක්‍රියාත්මක වෙනවා. සිරියාවේ රජු වූ Iවන සෙල්යුකස් නයිකේටර්, මිසරයේ රජු වූ ටොලමි ලාගුස්, මිසරයේ රැජින බවට පත් සිරියානු කුමරිය වූ Iවන ක්ලියොපැට්රා, රෝම අධිරාජ්‍යවරුන් වූ ඔගස්ටස් සහ ටයිබීරියස් මෙන්ම පැල්මයිරාවේ රැජින වූ ස’නෝබියා මේ නාටකයේ රඟ දක්වන්නන් අතර සිටිනවා. ගැටුම එහි අවසානය කරා ළඟා වෙනවාත් සමඟම, නාට්සි ජර්මනිය, කොමියුනිස්ට් රටවල්, එංගලන්ත-අමෙරිකානු ලෝක බලය, ජාතීන්ගේ සංගමය සහ එක්සත් ජාතීන්ද මීට එක් වී තිබෙනවා. එහි අන්තිම ජවනිකාව මේ කිසිම දේශපාලනික අංගයක් අපේක්ෂා නොකරන ආකාරයකට සිදු වෙනවා. යෙහෝවාගේ දූතයා මේ හද දනවන අනාවැකිය අනාගතවක්තෘ දානියෙල්ට ප්‍රකාශ කළේ මීට අවුරුදු 2,500කට කලිනුයි.—දානියෙල් 11වන පරිච්ඡේදය.
2 පැමිණීමට සිටි රජුන් දෙදෙනා අතර පවතින විරෝධය ගැන දේවදූතයා තොරතුරු හෙළි කළ විට, එය දානියෙල්ව මොනතරම් ප්‍රීතියට පත් කරවන්න ඇද්ද! මේ රජුන් දෙදෙනාගේ බල අරගලය අපේ දවස දක්වා ඇදෙන නිසා, නාටකය අපටත් වැදගත් වෙනවා. අනාවැකියේ මුල් කොටස ඉටු වූ ආකාරය සම්බන්ධයෙන් ඉතිහාසය හෙළි කරන දේවල් දැකගැනීම මගින් අනාවැකිමය වාර්තාවේ අවසාන කොටස ස්ථිරවම ඉටු වන බවට වූ අපේ ඇදහිල්ල මෙන්ම විශ්වාසයද ශක්තිමත් කරනවා. මේ අනාවැකියට අවධානය දීමෙන්, කාලය නමැති දොළ පාරේ අප සිටින්නේ කොතැනද යන්න ගැන පැහැදිලි දසුනක් ලබා දෙන්න යනවා. මෙම ගැටුමේදී දෙවි අප වෙනුවෙන් ක්‍රියා කිරීම අප ඉවසිල්ලෙන් බලා සිටින අතරතුරේදී, මධ්‍යස්ථව සිටීමට වූ අපේ අධිෂ්ඨානයද එය ශක්තිමත් කරන්න යනවා. (ගීතාවලිය 146:3, 5) එසේ නම්, යෙහෝවාගේ දූතයා දානියෙල්ට කතා කරද්දී, අපි දැඩි අවධානයෙන් යුතුව ඇහුම්කන් දෙමු.
ග්‍රීසියේ රාජ්‍යයට එරෙහිව
3. “මේදියවූ දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී” දේවදූතයා උපකාර කළේ කාටද?
3 දේවදූතයා කියන්නේ, “මම මේදියවූ දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී [පො.යු.පෙ. 539/538] ඔහුට උපකාරයක්ද ආරක්ෂාවක්ද පිණිස සිටියෙමි” කියායි. (දානියෙල් 11:1) දාරියුස් ඒ වෙද්දී මියගොස් සිටියත්, අනාවැකිමය පණිවිඩය ආරම්භ වන මොහොත හැටියට ඔහුගේ රජකමට දේවදූතයා යොමු දක්වනවා. දානියෙල්ව සිංහ ගුහාවෙන් ඉවතට ගන්න අණ කරනු ලැබුවේ මේ රජුයි. දානියෙල්ගේ දෙවිට සියලුම යටත්වැසියන් භය විය යුතුයි කියා ආඥාවක් යැව්වෙත් මේ දාරියුස්මයි. (දානියෙල් 6:21-27) කෙසේවෙතත්, දේවදූතයා ආධාරකරුවෙක් ලෙස ක්‍රියා කළේ මේදිය දාරියුස්ට නොව, දේවදූතයාගේ සහයකයා මෙන්ම දානියෙල්ගේ සෙනඟගේ අධිපතියා වූ මීකායෙල්ටයි. (දානියෙල් 10:12-14 සසඳන්න.) දෙවිගේ දූතයා මේ ආධාරය සැපයූවේ, මීකායෙල් මේද-පර්සියාවේ භූත අධිපතියා සමඟ පොරයට සිටිද්දීයි.
4, 5. පුරෝකථනය කළ පර්සියානු රජුන් සතරදෙනා වූයේ කවුද?
4 දෙවිගේ දූතයා තවදුරටත් මෙසේ කියනවා: “තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.” (දානියෙල් 11:2) මේ පර්සියානු පාලකයන් වූයේ කවුද?
5 මුල් රජුන් තිදෙනා වූයේ, මහා කෝරෙෂ්, IIවන කැම්බිසස් සහ Iවන දාරියුස් යන අයයි. බාඩිය (හෝ සමහරවිට ගෝමාටා නමින් ව්‍යාජ හිමිකම් පාන්නෙක්) පාලනය කළේ මාස හතක් පමණ කාලයක් නිසා, අනාවැකිය ඔහුගේ කෙටි පාලන සමය සැලකිල්ලට ගත්තේ නැහැ. පොදු යුගයට පෙර 490දී, තුන්වන රජ වූ Iවන දාරියුස් දෙවන වතාවටත් ග්‍රීසිය ආක්‍රමණය කරන්න වෑයම් කළා. කෙසේවෙතත්, පර්සියානුවන් මැරතන්හිදී තීරණාත්මක ලෙස පරාජය වී සුළු ආසියාව දක්වා පසුබැස්සා. දාරියුස් ග්‍රීසියට එරෙහිව තවත් යුධ ව්‍යාපාරයක් පරෙස්සමින් සංවිධානය කළත්, ඊට අවුරුදු හතරකට පසු සිදු වූ ඔහුගේ මරණයට පෙර එය ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි වූයේ නැහැ. එය ඔහුගේ පුත්‍ර සහ අනුප්‍රාප්තික මෙන්ම “සතරවෙනියා” වූ Iවන තක්ෂස්තාට භාර වුණා. ඔහු, එස්තර්ව විවාහ කරගත් අහෂ්වේරොෂ් රජයි.—එස්තර් 1:1; 2:15-17.
6, 7. (අ) හතරවන රජු ‘සියල්ලන්වම ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව පෙලඹෙව්වේ’ කෙසේද? (ආ) ග්‍රීසියට එරෙහිව තක්ෂස්තා දියත් කළ යුධ ව්‍යාපාරයේ ප්‍රතිඵල මොනවාද?
6 පළමුවන තක්ෂස්තා ඇත්තෙන්ම, ‘සියල්ලන්වම ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව පෙලඹෙව්වා.’ කණ්ඩායමක් වශයෙන් ස්වාධීන ග්‍රීක ජනපද සියල්ලම ඊට අයත් වුණා. මේදියවරුන් සහ පර්සියානුවන්—ජයග්‍රාහකයන් සහ රාජදූතයන් (ඉංග්‍රීසියෙන්) යන පොත කියන්නේ, “රජවාසලේ සිටි අභිලාෂකාමීන්ගේ පෙලඹවීම මත, තක්ෂස්තා ගොඩින් සහ මුහුදෙන් මුහුණට මුහුණලා පහර දීමක් දියත් කළා” කියායි. පොදු යුගයට පෙර පස්වන සියවසේ සිටි ග්‍රීක ඉතිහාසඥ හෙරඩොටස් ලියන්නේ, “කිසිම අවස්ථාවක මෙතරම් පිරිසක් පහර දීමකට සම්බන්ධ වූයේ නැහැ” කියායි. ඔහුගේ වාර්තාව සඳහන් කරන ආකාරයට, නාවික හමුදාව, “මිනිසුන් 5,17,610කින් සමන්විත වුණා. පාබළ හමුදාවේ ගණන 17,00,000ක්; අශ්වාරෝහකයන් 80,000ක්; ඔටුවන් පිට පැමිණි අරාබි ජාතිකයන් සහ අශ්ව කරත්තවලින් ගමන් ගත් ලිබියානුවන්ද එයට එකතු විය යුතු අතර, මම හිතන විදිහට ඔවුන්ගේ ගණන 20,000ක් පමණ වෙනවා. මේ අනුව, ගොඩබිම් සහ නාවික හමුදාවන්ගේ මුළු සංඛ්‍යාව ගණනින් 23,17,610ක් වුණා.”
7 පූර්ණ ජයග්‍රහණයක් ලැබීමේ අටියෙන් ගමන් ඇරඹි Iවන තක්ෂස්තා ඔහුගේ විශාල හමුදාව පො.යු.පෙ. 480දී, ග්‍රීසියට එරෙහිව මෙහෙයෙව්වා. ග්‍රීකයන් තර්මොපිලිහිදී සිදු කළ ප්‍රමාද කිරීමේ උපක්‍රමය ව්‍යර්ථ කරමින්, පර්සියානුවන් ඇතන්ස් නුවර නැති නාස්ති කර දැමුවා. කෙසේවෙතත්, සලාමිසයේදී, ඔවුන් අන්ත පරාජයක් අද්දැක්කා. පොදු යුගයට පෙර 479දී, ප්ලැටියාහිදී ග්‍රීකයන් තවත් ජයග්‍රහණයක් අද්දැක්කා. තක්ෂස්තාගෙන් පසු පැමිණි අවුරුදු 143 තුළ පර්සියානු අධිරාජ්‍යයේ සිංහාසනාරූඪ වූ රජවරුන් සත්දෙනාගෙන් එක්කෙනෙකුටවත් ග්‍රීසිය යටපත් කරගන්න හැකි වූයේ නැහැ. එහෙත්, ඉන්පසු ග්‍රීසියෙන් බලවත් රජෙක් මතු වුණා.
මහත් රාජ්‍යයක් හතරට බෙදේ
8. නැඟී සිටියේ කිනම් ‘බලවන්ත රජද?’ එමෙන්ම, ඔහු ‘මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කළේ’ කෙසේද?
8 “බලවන්ත රජෙක් නැගිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩුකරමින් තමා කැමති පරිද්දෙන් කරන්නේය” කියා දේවදූතයා කිව්වා. (දානියෙල් 11:3) පොදු යුගයට පෙර 336දී, මැසිඩෝනියාවේ රජු ලෙස විසි හැවිරිදි ඇලෙක්සැන්ඩර් “නැගිට” සිටියා. ඔහු “බලවන්ත රජෙක්” එනම්, මහා ඇලෙක්සැන්ඩර් බවට පත් වුණා. ඔහුගේ පියා වූ IIවන පිලිප්ගේ සැලැස්මකට අනුව ක්‍රියාත්මක වෙමින්, ඔහු මැද පෙරදිග පිහිටි පර්සියානු පළාත් අල්ලාගත්තා. යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා පසු කරමින්, ගෝගමේලාවේදී, ඔහුගේ සෙබළුන් 47,000දෙනා IIIවන දාරියුස්ගේ 2,50,000ක බලඇණිය විසුරුවා දැමුවා. පසුව, දාරියුස් පලා ගිය අතර, පර්සියානු රාජවංශය අවසානයකට පත් කරමින්, ඔහුව ඝාතනය කරනු ලැබුවා. ඉන්පසු ග්‍රීසිය ලෝක බලය බවට පත් වූ අතර, ඇලෙක්සැන්ඩර් ‘මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාට කැමති පරිද්දෙන් කළා.’
9, 10. ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍යය ඔහුගේ පැවතෙන්නන් අතට පත් නොවන බවට වූ අනාවැකිය සැබෑ වූයේ කෙසේද?
9 ලෝකය කෙරෙහි ඇලෙක්සැන්ඩර්ගේ පාලනය කෙටි එකක් වීමට නියමව තිබුණා. ඒ ගැන දේවදූතයා කීවේ මෙහෙමයි: “ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍යය බිඳී, අහසේ සතර හුළඟට බෙදෙන්නේය; නුමුත් එසේ වෙන්නේ ඔහුගෙන් පැවත එන්නන්ටවත් ඔහු ආණ්ඩුකළ පරාක්‍රමයේ හැටියටවත් නොවේ; මක්නිසාද ඔහුගේ රාජ්‍යය උදුරාදමන්ට යෙදී, මොවුන්ට පමණක් නොව අන්‍යයන්ටත් ලැබෙන්නේය.” (දානියෙල් 11:4) පොදු යුගයට පෙර 323දී, ඇලෙක්සැන්ඩර් හදිසියේ අසනීප වී බබිලෝනියේදී මියයන විට, ඔහුට අවුරුදු 33ක්වත් පිරී තිබුණේ නැහැ.
10 ඇලෙක්සැන්ඩර්ගේ අතිවිශාල අධිරාජ්‍යය ඔහුගේ “පැවත එන්නන්ට” උරුම වුණේ නැහැ. ඔහුගේ සහෝදරයා වූ IIIවන පිලිප් ඇරඩියස් පාලනය කළේ අවුරුදු හතකටත් වඩා අඩු කාලයක් පමණයි. පොදු යුගයට පෙර 317දී, ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියස්ගේ ඉල්ලීම පිට ඔහුව ඝාතනය කළා. ඇලෙක්සැන්ඩර්ගේ පුත්‍ර IVවන ඇලෙක්සැන්ඩර් පාලනය කළේ පො.යු.පෙ. 311 වන තුරු පමණයි. ඔහුගේ පියාගේ සේනාධිපතියෙක් වූ කැසැන්ඩර් විසින් ඔහුව ඝාතනය කරනු ලැබුවා. ඇලෙක්සැන්ඩර්ගේ නීත්‍යනුකූල නොවූ පුත්‍ර හිරාක්ලීස් ඔහුගේ පියාගේ නාමයෙන් පාලනය කරන්න උත්සාහ කළත්, පො.යු.පෙ. 309දී ඔහුවත් ඝාතනය කරනු ලැබුවා. මෙසේ, ඇලෙක්සැන්ඩර්ගේ පෙළපත එනම්, ඔහුගේ ‘පරාක්‍රමය’ ඔහුගේ පවුලෙන් ගිලිහී ගියා.
11. ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍යය “අහසේ සතර හුළඟට [බෙදුණේ]” කෙසේද?
11 ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු, ඔහුගේ රාජ්‍යය “අහසේ සතර හුළඟට [බෙදුණා].” ඔහුගේ සේනාධිපතීන් ප්‍රදේශ ඩැහැගැනීමට පොරකෑවා. පළමුවන ඇන්ටිගෝනස් නමැති එකැස් සේනාධිපතියා, ඇලෙක්සැන්ඩර්ගේ මුළු මහත් අධිරාජ්‍යයම තමන් යටතට පත් කරගන්න උත්සාහ කළා. එහෙත්, ෆ්‍රිජියාවේ ඉප්සස්හි සිදු වූ යුද්ධයකදී ඔහු මරණයට පත් වුණා. පොදු යුගයට පෙර 301 වන විට, ඇලෙක්සැන්ඩර්ගේ සේනාධිපතීන් සතරදෙනෙකු තම සෙන්පතියා ජයගෙන තිබූ මහත් අධිරාජ්‍යය පාලනය කරමින් සිටියා. කැසැන්ඩර් මැසිඩෝනියාවත්, ග්‍රීසියත් පාලනය කළා. ලිසිමැකස් සුළු ආසියාව සහ ත්‍රේස් කෙරෙහි බලය පැවැත්තුවා. පළවන සෙල්යුකස් නයිකේටර් මෙසපොතේමියාවත්, සිරියාවත් අයිති කරගත්තා. ටොලමි ලාගුස් මිසරයත් පලස්තීනයත් අත් කරගත්තා. අනාවැකි වචනය සැබෑ කරමින් ඇලෙක්සැන්ඩර්ගේ මහා අධිරාජ්‍යය හෙලනික රාජ්‍යයන් සතරකට බෙදුණා.
ප්රතිවිරෝධී රජුන් දෙදෙනෙක් මතු වේ
12, 13. (අ) හෙලනික රාජ්‍යයන් සතර, දෙකක් බවට පත් වූයේ කෙසේද? (ආ) සෙල්යුකස් සිරියාවේ පිහිටෙවූ රාජවංශය කුමක්ද?
12 කැසැන්ඩර් බලයට පැමිණ අවුරුදු කිහිපයකට පසුව මියගිය අතර, පො.යු.පෙ. 285දී, ග්‍රීක අධිරාජ්‍යයේ යුරෝපීය කොටස ලිසිමැකස් උරුම කරගත්තා. පොදු යුගයට පෙර 281දී සිදු වූ යුද්ධයේදී Iවන සෙල්යුකස් නයිකේටර් අතින් ලිසිමැකස් මරණයට පත් වුණා. මේ හේතුවෙන්, ආසියාතික ප්‍රදේශයෙන් විශාල කොටසක් සෙල්යුකස්ගේ බලය යටතට පත් වුණා. ඇලෙක්සැන්ඩර්ගේ සේනාධිපතියෙකුගේ මුනුපුරෙක් වූ IIවන ඇන්ටිගෝනස් ගෝනටස්, පො.යු.පෙ. 276දී, මැසිඩෝනියාවේ සිහසුන හිමි කරගත්තා. කාලයාගේ ඇවෑමෙන්, මැසිඩෝනියාව රෝමය මත යැපෙන්න පටන්ගත් අතර, අවසානයේදී, පො.යු.පෙ. 146දී, එය රෝම පළාතක් බවට පත් වුණා.
13 මේ වන විට ප්‍රබල ස්ථානයක තිබුණේ, හෙලනික රාජ්‍යයන් හතරෙන් Iවන සෙල්යුකස් නයිකේටර් සහ ටොලමි ලාගුස් යටතේ තිබූ රාජ්‍යයන් දෙක පමණයි. සෙල්යුකස් සිරියාවේ සෙල්යුසිඩ් රාජවංශය පිහිටෙව්වා. නව සිරියානු අගනගරය වූ අන්තියෝකිය සහ වරාය නගරය වූ සෙල්යුෂියාව ඔහු පිහිටෙවූ නගර අතර වුණා. පසු කාලයකදී, යේසුස්ගේ අනුගාමිකයන්ව ක්‍රිස්තියානීන්යයි මුලින්ම හඳුන්වා දුන් අන්තියෝකියේදී ප්‍රේරිත පාවුල් ඉගැන්නුවා. (ක්‍රියා 11:25, 26; 13:1-4) පොදු යුගයට පෙර 281දී, සෙල්යුකස්ව ඝාතනය කළත්, රෝමානු සේනාධිපති ග්නයියුස් පොම්පෙයි, පො.යු.පෙ. 64දී සිරියාව රෝම පළාතක් බවට පත් කරන තුරු සෙල්යුසිඩ් රාජවංශය පැවතුණා.
14. මිසරයේ, ටොලමික රාජවංශය පිහිටෙව්වේ කවදාද?
14 හෙලනික රාජ්‍යයන් හතරෙන් වැඩිම කාලයක් පැවතුණේ පො.යු.පෙ. 305දී රජ පදවිය ආරූඪ කරගත් ටොලමි ලාගුස්ගේ නැතහොත්, Iවන ටොලමිගේ රාජ්‍යයයි. ඔහු පිහිටුවාගත් ටොලමික රාජවංශය, පො.යු.පෙ. 30දී රෝමය අතට පත් වන තුරු, මිසරය පාලනය කළා.
15. හෙලනික රාජ්‍යයන් හතරෙන් මතු වුණේ කිනම් බලවත් රජුන් දෙදෙනාද? එමෙන්ම, ඔවුන් ඇරඹූ අරගලය කුමක් වීද?
15 මෙසේ, හෙලනික රාජ්‍යයන් හතරෙන් බලවත් රජුන් දෙදෙනෙක් එනම්, සිරියාවේ පාලක Iවන සෙල්යුකස් නයිකේටර් සහ මිසරයේ පාලක Iවන ටොලමි මතු වුණා. දානියෙල් 11වන පරිච්ඡේදයේ සඳහන් “උතුරු දිශාවේ රජු” සහ “දකුණු දිශාවේ රජ” අතර බොහෝ කාලයක් පුරා පවතින අරගලය මේ රජුන් දෙදෙනාගෙන් ඇරඹුණා. මේ රජුන් දෙදෙනාගේ අනන්‍යතාව සහ ජාතිය සියවස් ගණනාව පුරා වෙනස් වෙන්න යන නිසා, යෙහෝවාගේ දූතයා ඔවුන්ගේ නම් සඳහන් කරන්නේ නැහැ. අනවශ්‍ය තොරතුරු ඉවත් කරමින්, දේවදූතයා සඳහන් කරන්නේ, ගැටුමට සම්බන්ධ පාලකයන් සහ සිද්ධීන් පමණයි.
ගැටුම ඇරඹේ
16. (අ) රජුන් දෙදෙනා සිටියේ කවරෙකුට උතුරෙන් සහ දකුණින්ද? (ආ) “උතුරු දිශාවේ රජු” සහ “දකුණු දිශාවේ රජ” යන ධුරය මුලින්ම දැරූ රජුන් වූයේ කවුද?
16 ඇහුම්කන් දෙන්න! මේ ත්‍රාසජනක ගැටුමේ ආරම්භය විස්තර කරමින් යෙහෝවාගේ දූතයා මෙසේ කියනවා: “දකුණු දිශාවේ රජ නම් බලවත්වන්නේය; ඔහුගේ [ඇලෙක්සැන්ඩර්ගේ] අධිපතීන්ගෙන් එක්කෙනෙක් [උතුරු දිශාවේ රජු] ඔහුට වඩා බලවත්වී, ආණ්ඩුකරන්නේය; ඔහුගේ ආණ්ඩුව මහත් ආණ්ඩුවක් වන්නේය.” (දානියෙල් 11:5) “උතුරු දිශාවේ රජු” සහ “දකුණු දිශාවේ රජ” යන නිලයන් යොමු දක්වන්නේ, බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී, ඒ වන විට යූදා දේශයට නැවත ගොස් සිටි දානියෙල්ගේ සෙනඟට උතුරෙන් සහ දකුණෙන් සිටින රජුන්ටයි. මුල්ම “දකුණු දිශාවේ රජ” මිසරයේ Iවන ටොලමියි. පළමුවන ටොලමිට විරුද්ධව ‘බලවත් වී ආණ්ඩු කරන’ ඇලෙක්සැන්ඩර්ගේ සේනාධිපතියා වූයේ, සිරියාවේ රජු වූ Iවන සෙල්යුකස් නයිකේටර්ය. ඔහු “උතුරු දිශාවේ රජුගේ” ජවනිකාව රඟ පෑවා.
17. උතුරු දිශාවේ රජු සහ දකුණු දිශාවේ රජුගේ ගැටුමේ ආරම්භයේදී, යූදා දේශය තිබුණේ කාගේ ආධිපත්‍යය යටතේද?
17 ගැටුමේ ආරම්භයේදී, යූදා දේශය තිබුණේ දකුණු දිශාවේ රජගේ අණසක යටතේයි. පොදු යුගයට පෙර 320දී පමණ සිට, මිසරයට පැමිණ තමන් යටතේ ජනපද පිහිටුවාගැනීමට Iවන ටොලමි යුදෙව්වන්ට බල කළා. පළමුවන ටොලමි පිහිටෙවූ සුප්‍රසිද්ධ පුස්තකාලය තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ යටත් විජිතයක්ව පැවති යුදෙව් ජනපදයක් සමෘද්ධිමත් වෙන්න පටන්ගත්තා. යුදයේ සිටි යුදෙව්වන් පො.යු.පෙ. 198 වන තුරු, දකුණු දිශාවේ රජ වූ මිසරයේ ටොලමික රාජවංශය යටතේ පැවතුණා.
18, 19. කාලයාගේ ඇවෑමෙන්, විරුද්ධවාදී රජුන් දෙදෙනා ‘සාධාරණ ගිවිසුමකට’ ඇතුල් වූයේ කෙසේද?
18 රජවරු දෙදෙනා ගැන දේවදූතයා මෙසේ පුරෝකථනය කළා: “අවුරුදු ගණනක් ගියායින් පසු ඔව්හු එකතුවන්නෝය; දකුණු දිශාවේ රජුගේ දුව [සාධාරණ, NW] ගිවිසුමක් කරන්ට උතුරු දිශාවේ රජු ළඟට පැමිණෙන්නීය. එහෙත් ඇගේ හස්තයේ බලය පවතින්නේ නැත; ඔහුවත් ඔහුගේ හස්තයවත් නොපවත්නේය; ඈද ඇය ගෙන්වූ අයද ඇය ඉපදවූ තැනැත්තාද ඒ කාලවල ඈට උපකාරකළ තැනැත්තාද පාවාදෙනු ලබන්නෝය.” (දානියෙල් 11:6) මෙය සිදු වූයේ කෙසේද?
19 අනාවැකිය Iවන සෙල්යුකස් නයිකේටර්ගේ පුත් මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ Iවන ඇන්ටියෝකස්ව සැලකිල්ලට ගන්නේ නැත්තේ, ඔහු දකුණු දිශාවේ රජට විරුද්ධව තීරණාත්මක යුද්ධයක් දියත් නොකළ නිසායි. එහෙත්, ඔහුගේ අනුප්‍රාප්තික IIවන ඇන්ටියෝකස්, Iවන ටොලමිගේ පුත්‍ර IIවන ටොලමිට විරුද්ධව බොහෝ කාලයක් පුරා යුද්ධ කළා. මේ ආකාරයට IIවන ඇන්ටියෝකස් සහ IIවන ටොලමි පිළිවෙළින් උතුරු දිශාවේ රජු සහ දකුණු දිශාවේ රජ බවට පත් වුණා. දෙවන ඇන්ටියෝකස් ලේඔඩසි සමඟ විවාහ වූ අතර, ඔවුන්ට IIවන සෙල්යුකස් කියා පුත්‍රයෙක් සිටියා. දෙවන ටොලමිටද බෙරනයිසි කියා දුවක් සිටියා. පොදු යුගයට පෙර 250දී, මේ රජුන් දෙදෙනා ‘සාධාරණ ගිවිසුමකට’ එළඹුණා. මේ මිත්‍ර සන්ධානයට එකඟ වීමට IIවන ඇන්ටියෝකස් ඔහුගේ භාර්යාව වූ ලේඔඩසිගෙන් දික්කසාද වී “දකුණු දිශාවේ රජුගේ දුව” වූ බෙරනයිසිව විවාහ කරගත්තා. බෙරනයිසි ඔහුට දාව පුත්‍රයෙකු බිහි කළා. සිරියානු සිංහාසනයට උරුමකරුවා වුණේ, ලේඔඩසිගෙන් ලැබුණු පුත්‍රයන් නොව, මෙම පුත්‍රයායි.
20. (අ) බෙරනයිසිගේ “හස්තය” පැවතියේ නැත්තේ කෙසේද? (ආ) බෙරනයිසිව, ‘ඇයව ගෙන්වූ අයව’ මෙන්ම ‘ඇයට උපකාර කළ තැනැත්තාව’ පාවා දෙනු ලැබුවේ කෙසේද? (ඇ) දෙවන ඇන්ටියෝකස්ගේ “හස්තය” නැතහොත් බලය නැති වී ගිය විට සිරියාවේ රජු වූයේ කවුද?
20 බෙරනයිසිගේ ‘හස්තය’ නොහොත් ආධාරක බලය වූයේ, ඇගේ පියා වූ IIවන ටොලමියි. පොදු යුගයට පෙර 246දී, ඔහු මියගිය විට, ඇගේ පුරුෂයා තුළ “ඇගේ හස්තයේ බලය [පැවතුණේ]” නැහැ. දෙවන ඇන්ටියෝකස් ඇයව ප්‍රතික්ෂේප කළ අතර, ලේඔඩසිව නැවත විවාහ කරගෙන, ඔවුන්ගේ පුත්‍රයාව අනුප්‍රාප්තිකයා ලෙස නම් කළා. ලේඔඩසි සැලසුම් කළ ආකාරයටම, බෙරනයිසිවත් ඇගේ පුත්‍රයාවත් ඝාතනය කරනු ලැබුවා. සාක්ෂිවලට අනුව, බෙරනයිසිව මිසරයේ සිට සිරියාවට ගෙන්වාගත් උපස්ථාන කළ පිරිස, එනම්, ‘ඇයව ගෙන්වාගත් අයටත්’ එම ඉරණමම අත් වුණා. “ඔහුගේ හස්තය” නොහොත්, බලය ‘නොපවතින’ පිණිස, ලේඔඩසි IIවන ඇන්ටියෝකස්ට වස දී ඔහුව මරා දැමුවා. මේ අනුව, බෙරනයිසිගේ පියා, එනම්, “ඇය ඉපදවූ තැනැත්තා” සහ ඇයට කලකට “උපකාර” කරනු ලැබූ ඇගේ සිරියානු පුරුෂයා යන දෙදෙනාම මරණයට පත් වුණා. මෙසේ, ලේඔඩසිගේ පුත් IIවන සෙල්යුකස් සිරියානු රජු හැටියට ඉතිරි වුණා. මේ සියල්ල සම්බන්ධයෙන් මීළඟ ටොලමික රජු ප්‍රතික්‍රියා කරන්න යන්නේ කෙසේද?
රජෙක් තම සහෝදරීගේ මිනිමැරුමට පළිගනී
21. (අ) බෙරනයිසිගේ ‘මුල්වල පැළය වූ තැනැත්තා’ කවුද? එමෙන්ම, ඔහු ‘නැඟී සිටියේ’ කෙසේද? (ආ) තුන්වන ටොලමි ‘උතුරු දිශාවේ රජුගේ බලකොටුවට විරුද්ධව පැමිණියේ’ කෙසේද? එමෙන්ම, ඔහු ජයගත්තේ කෙසේද?
21 දේවදූතයා මෙසේ කිව්වා: “එහෙත්, ඇගේ මුල්වල පැළයක්වූ කෙනෙක් ඔහුගේ ස්ථානයෙහි නැගිට, සේනාවට විරුද්ධව පැමිණ, උතුරු දිශාවේ රජුගේ බලකොටුවට ඇතුල්වී, ඔවුන්ට විරුද්ධව ක්‍රියාකොට ජයගන්නේය.” (දානියෙල් 11:7) “මුල්” නැතහොත්, බෙරනයිසිගේ දෙමාපියන්ගේ ‘පැළයක් වූ තැනැත්තා’ වූයේ ඇගේ සහෝදරයායි. ඔහුගේ පියා මැරුණු විට, ඔහු දකුණු දිශාවේ රජ හැටියට ‘නැඟී සිටියා.’ ඔහු IIIවන ටොලමි ඵාරාවෝ වුණා. ඔහු වහාම ඔහුගේ සහෝදරීගේ මිනිමැරුමට පළිගැනීම සඳහා කටයුතු කළා. ඔහු සිරියාවේ රජු වූ IIවන සෙල්යුකස්ට විරුද්ධව ගමන් කරමින්, “උතුරු දිශාවේ රජුගේ බලකොටුවට” විරුද්ධව පැමිණියා. තුන්වන ටොලමි අන්තියෝකියේ බලකොටු ගොඩනැඟූ කොටස අල්ලාගත් අතර, ලේඔඩසිව මරණයට පත් කළා. උතුරු දිශාවේ රජුගේ රාජධානිය හරහා නැඟෙනහිර දෙසට ගමන් කරමින් ඔහු බබිලෝනියාව කොල්ලකා, ඉන්පසු ඉන්දියාව දෙසට ගමන්ගත්තා.
22. තුන්වන ටොලමි මිසරයට ගෙන ආවේ මොනවාද? එමෙන්ම, ‘ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැළකී සිටියේ’ මන්ද?
22 ඊළඟට සිදු වූයේ කුමක්ද? දෙවිගේ දූතයා අපට මෙසේ කියනවා: “හෙතෙම ඔවුන්ගේ දෙවිවරුන්ද ඔවුන්ගේ වාත්තු පිළිමද ඔවුන්ගේ අනර්ඝ රිදී රත්රන් බඩුද අල්ලා මිසරයට ගෙනයන්නේය. තවද ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැලකෙනවා ඇත.” (දානියෙල් 11:8) ඊට අවුරුදු 200කට පෙර, පර්සියාවේ IIවන කැම්බිසස් රජු මිසරය ජයගත් අතර, මිසරයේ දෙවිවරුන්, “ඔවුන්ගේ වාත්තු පිළිම” ගෙන ගියා. තුන්වන ටොලමි පර්සියාවේ කලින් රාජකීය නුවර වූ සූසා කොල්ලකද්දී, මේ දෙවිවරුන්ව ‘අල්ලාගෙන’ නැවත මිසරයට ගියා. යුද්ධයේ කොල්ලය හැටියට ඉතා “අනර්ඝ රිදී රත්රන් බඩු” රාශියක් ඔහු ගෙන ආවා. අභ්‍යන්තර කැරලිගැසීම් මැඩලීමට නැවත මිසරයට යෑමට සිදු වූ නිසා, IIIවන ටොලමි ‘උතුරු දිශාවේ රජුට’ හිරිහැර නොකර ‘ඔහුගෙන් වැළකී’ සිටියා.
සිරියාවේ රජු එකට එක කරයි
23. දකුණු දිශාවේ රජගේ රාජ්‍යයට පැමිණියාට පසු, උතුරු දිශාවේ රජු “තමාගේ රටට හැරී” ගියේ මන්ද?
23 උතුරු දිශාවේ රජු ප්‍රතික්‍රියා කළේ කෙසේද? දානියෙල්ට මෙසේ කිව්වා: “ඔහු වනාහි දකුණු දිශාවේ රජුගේ රාජ්‍යයට විරුද්ධව පැමිණ, පසුව තමාගේ රටට හැරීයන්නේය.” (දානියෙල් 11:9) උතුරු දිශාවේ රජු වූ සිරියාවේ IIවන සෙල්යුකස් නැවතත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා. ඔහු දකුණු දිශාවේ මිසරයේ රජගේ “රාජ්‍යයට” නැතහොත්, රාජධානියට ඇතුල් වූ නමුත් පරාජය වුණා. පොදු යුගයට පෙර 242දී පමණ IIවන සෙල්යුකස් තම සතුරන් ඉදිරියේ පසුබසිමින්, හමුදාවේ ඉතිරි වී සිටි සුළු පිරිසත් සමඟ සිරියාවේ අගනුවර වූ අන්තියෝකියට පලා යමින් ‘තම රටට හැරී ගියා.’ ඔහුගේ මරණයත් සමඟ ඔහුගේ පුත් IIIවන සෙල්යුකස් ඔහු වෙනුවට පත් වුණා.
24. (අ) තුන්වන සෙල්යුකස්ට සිදු වූයේ කුමක්ද? (ආ) සිරියාවේ IIIවන ඇන්ටියෝකස්, දකුණු දිශාවේ රජගේ අධිරාජ්‍යයට ‘ජලය මෙන් ගලා යට කරගන්ට හැරී ආවේ’ කෙසේද?
24 සිරියාවේ IIවන සෙල්යුකස්ගෙන් පැවත එන්නන් ගැන පුරෝකථනය කර තිබුණේ කුමක්ද? දේවදූතයා දානියෙල්ට මෙසේ කිව්වා: “ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.” (දානියෙල් 11:10) තුන්වන සෙල්යුකස්ව ඝාතනය කිරීමත් සමඟම, අවුරුදු තුනකට වඩා කෙටි ඔහුගේ රජ සමය නැවතුණා. ඔහුගේ සහෝදරයා වූ IIIවන ඇන්ටියෝකස්, ඔහු වෙනුවට සිරියාවේ සිහසුනට පත් වුණා. දෙවන සෙල්යුකස්ගේ මේ පුත්‍රයා ඒ වන විට දකුණේ රජ වූ IVවන ටොලමිට විරුද්ධව විශාල ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මහත් සේනාවක් රැස් කළා. උතුරු දිශාවේ අලුත් සිරියානු රජු මිසරයට විරුද්ධව සාර්ථක සටනක් කර සීලි-සිරියාව නමැති පළාත, වරාය නගරය වූ සෙල්යුෂියාව, තීර් සහ ටොලමේයස් මෙන්ම ඒ අවට පිහිටි නගර නැවත අල්ලාගත්තා. ඔහු IVවන ටොලමි රජුගේ හමුදාව පලවාහැර, යුදයේ නගර බොහෝමයක් අත් පත් කර ගත්තා. පොදු යුගයට පෙර 217 වසන්තයේදී, IIIවන ඇන්ටියෝකස් ටොලමේයස් වෙතින් පිටත් වී උතුරෙන් පිහිටි සිරියාවේ ‘ඔහුගේ බලකොටුව වෙත’ ගියා. එහෙත්, වෙනසක් අත ළඟම තිබුණා.
තත්වය කණ පිට පෙරළේ
25. යුද්ධයේදී, IVවන ටොලමි IIIවන ඇන්ටියෝකස් හා සටන් වැදුණේ කොතැනදීද? එමෙන්ම, මිසරයේ දකුණු දිශාවේ රජගේ ‘අතට පාවා දෙනු ලැබුවේ’ කුමක්ද?
25 යෙහෝවාගේ දේවදූතයා මීළඟට කියන දෙයට දානියෙල් මෙන් අපිත් ඕනෑකමින් ඇහුම්කන් දෙමු: “දකුණු දිශාවේ රජද කෝපයෙන් උමතුව පිටත්ව ඇවිත් ඔහු සමග, එනම් උතුරු දිශාවේ රජු සමග, යුද්ධකරන්නේය. ඔහු මහත් සමූහයක් සූදානම්කරගන්න නුමුත්, ඒ සමූහයා ඒ අය අතට පාවාදෙනු ලබන්නේය.” (දානියෙල් 11:11) දකුණේ රජ වූ IVවන ටොලමි 75,000ක සේනාංකයක් සමඟින් සතුරාට විරුද්ධව උතුරු දෙසට ගමන් කළා. ඔහුට විරුද්ධව උතුරු දිශාවේ සිරියාවේ රජු වූ IIIවන ඇන්ටියෝකස්, 68,000ක “මහත් සමූහයක්” රැස් කරගෙන තිබුණා. එහෙත්, මිසර මායිමට නුදුරු වෙරළබඩ නගරයක් වූ රෆායාහිදී ඇති වූ යුද්ධයේදී, “ඒ සමූහයා” දකුණු දිශාවේ රජ “අතට පාවාදෙනු” ලැබුවා.
26. (අ) රෆායාහිදී සිදු වූ යුද්ධයේදී, දකුණු දිශාවේ රජ අල්ලාගත්තේ කිනම් ‘සමූහයාවද?’ එමෙන්ම, එහිදී කළ සාම ගිවිසුමේ කොන්දේසි මොනවාද? (ආ) හතරවන ටොලමි ‘තම බලවත් තත්වය පාවිච්චි නොකිරීමට’ හේතු වූයේ කුමක්ද? (ඇ) දකුණු දිශාවේ ඊළඟ රජ බවට පත් වූයේ කවුද?
26 අනාවැකියෙහි දිගටම මෙසේ කියැවෙනවා: “ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය [ඔහුගේ බලවත් තත්වය පවතින්නේ නැත, NW].” (දානියෙල් 11:12) දකුණු දිශාවේ රජ වූ IVවන ටොලමි සිරියාවේ පාබළ සෙබළුන් 10,000ක් සහ අසරුවන් 300ක් මරා 4,000දෙනෙකුව සිරකරුවන් ලෙස “අල්ලාගත්තා.” එහිදී, රජුන් ගිවිසුමකට එළඹුණා. තුන්වන ඇන්ටියෝකස් සිරියාවේ වරාය නගරය වූ සෙල්යුෂියාව තබාගත්තද, ඔහුට ෆීනිෂියාව සහ සීලි-සිරියාව අහිමි වුණා. මේ ජයග්රහණයෙන් පසු, දකුණු දිශාවේ මිසරයේ රජගේ හෘදය, විශේෂයෙන්ම යෙහෝවාට විරුද්ධව ‘උසස් වුණා.’ යුදයාව IVවන ටොලමිගේ පාලනය යටතේ පැවතුණා. කෙසේවෙතත්, ඔහු “ඔහුගේ බලවත් තත්වය” උතුරු දිශාවේ සිරියේ රජුට විරුද්ධව ජයගැනීමට පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට, IVවන ටොලමි සල්ලාල ජීවිතයක් ගත කළා. ඔහුගේ පස් හැවිරිදි පුත් Vවන ටොලමි දකුණු දිශාවේ රජ බවට පත් වුණේ, IIIවන ඇන්ටියෝකස්ගේ මරණයට අවුරුදු කිහිපයකට කලිනුයි.
අවස්ථාවාදියා නැවත පැමිණේ
27. උතුරු දිශාවේ රජු මිසරයේ ප්‍රදේශ යළි අල්ලාගැනීමට ‘කාලවල් අවසානයේදී’ පැමිණියේ කෙසේද?
27 ඔහු කළ සියලුම දක්ෂකම් නිසා, IIIවන ඇන්ටියෝකස්ව මහා ඇන්ටියෝකස් ලෙස හැඳින්නුවා. ඔහු ගැන දේවදූතයා මෙසේ කිව්වා: “උතුරු දිශාවේ රජතෙමේ හැරී පළමු සමූහයාට වඩා මහත් සමූහයක් නැගුටුවාගෙන, [කාලවල් අවසානයේ, NW] අවුරුදු ගණනකට පසු මහත් සේනාවක් සහ බොහෝ සම්පත්ද ඇතුව එනවා ඇත.” (දානියෙල් 11:13) මේ “කාලවල්” වූයේ මිසරවරුන් රෆායාහිදී සිරියානුවන් පරාජය කළාට පසුව ගත වූ අවුරුදු 16ක් හෝ ඊට වැඩි ගණනයි. ළාබාල Vවන ටොලමි දකුණු දිශාවේ රජ බවට පත් වූ විට, IIIවන ඇන්ටියෝකස් “පළමු සමූහයාට වඩා මහත් සමූහයක්” සමඟ දකුණු දිශාවේ මිසරයේ රජ හිමි කරගත් දේශ යළි අල්ලාගැනීමට පැමිණියා. ඒ සඳහා ඔහු මැසිඩෝනියාවේ Vවන පිලිප් රජු සමඟ එක් වුණා.
28. දකුණු දිශාවේ ළාබාල රජ මුහුණ දුන්නේ කිනම් ගැටලුවලටද?
28 දකුණු දිශාවේ රජට ඔහුගේ රාජ්‍යය තුළ අභ්‍යන්තර ගැටලුත් තිබුණා. “ඒ කාලවලදී බොහෝ දෙනෙක් දකුණු දිශාවේ රජුට විරුද්ධව නැගිටින්නෝය” කියා දේවදූතයා කිව්වා. (දානියෙල් 11:14අ) ‘බොහෝදෙනෙක් දකුණු දිශාවේ රජට විරුද්ධව නැඟී’ සිටියා. තුන්වන ඇන්ටියෝකස් සහ ඔහුගේ මැසිඩෝනියානු මිත්‍ර හමුදාවට අමතරව, දකුණු දිශාවේ ළාබාල රජුට තමාගේ මිසර රාජ්‍යය තුළම ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා. ඊට හේතුව වූයේ, ඔහුගේ ආරක්ෂකයා වූ අ’ගැතක්ලිස් තමන්ගේම නාමයෙන් පාලනය කරමින් මිසර වැසියන් සමඟ උඩඟු ලෙස ක්‍රියා කළ නිසා, බොහෝදෙනෙක් කැරලි ගැසීමයි. දේවදූතයා එයට මෙසේ එකතු කළා: “නුඹේ සෙනගගේ බලාත්කාරකම්කරන්නොත් දර්ශනය ඉෂ්ටකරන්ට නැගිට, වැටීයන්නෝය.” (දානියෙල් 11:14ආ) දානියෙල්ගේ සෙනඟගෙන් සමහරෙක් පවා ‘බලාත්කාරකම් කරන්නන්’ නැතහොත් විප්ලවවාදීන් බවට පත් වුණා. එනමුත්, තම මව් බිම අන්‍යජාතීන්ගේ ආධිපත්‍යයෙන් මුදාගැනීමට එම යුදෙව්වන්ට තිබූ ඕනෑම ‘දර්ශනයක්’ බොරුවක් වූ අතර, ඔවුන් අසමත් වෙන්න යනවා, නැතහොත් ‘වැටෙන්න’ යනවා.
29, 30. (අ) ‘දකුණු දිශාවේ සේනාවන්’ උතුරෙන් පැමිණි හදිසි පහර දීමට ලක් වූයේ කෙසේද? (ආ) උතුරු දිශාවේ රජු ‘අලංකාර දේශයේ සිටියේ’ කෙසේද?
29 යෙහෝවාගේ දූතයා ඊට තවත් මෙසේද එකතු කළා: “උතුරු දිශාවේ රජද ඇවිත් ගොඩැල්ලක් නගා, පවුරු ඇති නුවරවල් අල්ලා ගන්නේය. දකුණු දිශාවේ රජුගේ සේනාවල්වත් ඔහුගේ තෝරාගත් සමුදාවවත් විරුද්ධව නොසිටින්නෝය. විරුද්ධව සිටින්ට ශක්තිය නැත. එහෙත් ඔහුට විරුද්ධව එන තැනැත්තා තමාගේ කැමැත්ත ලෙස කරන්නේය, කිසිවෙකුට ඔහු ඉදිරියේ හිටින්ට බැරිවන්නේය. ඔහු අලංකාර දේශයේ සිටින්නේය, එය මුළුමනින්ම ඔහු අතට අසුවන්නේය.”—දානියෙල් 11:15, 16.
30 පස්වන ටොලමිගේ යුධ හමුදාවන්, එනම් ‘දකුණු දිශාවේ සේනාවන්’ උතුරෙන් පහර දීමට ලක් වුණා. පනියස්හිදී IIIවන ඇන්ටියෝකස් මිසර සේනාධිපති ස්කෝපස්වත්, එකතු කරගත් හෝ “තෝරාගත්” 10,000ක හමුදාවත් ‘පවුරු ඇති නුවරක්’ වූ සීදොන් වෙත පලවාහැරියා. එහිදී, IIIවන ඇන්ටියෝකස් ‘ගොඩැල්ලක් තනා,’ පො.යු.පෙ. 198දී, එම ෆීනිෂියානු වරාය අල්ලාගත්තා. දකුණු දිශාවේ මිසරයේ රජුට ඔහුට විරුද්ධව නැඟී සිටීමට බැරි වූ නිසා, ඔහු “තමාගේ කැමැත්ත ලෙස” ක්‍රියා කළා. පසුව, IIIවන ඇන්ටියෝකස්ගේ හමුදාව “අලංකාර දේශයේ” නැතහොත්, යූදාහි අගනුවර වූ යෙරුසලමට විරුද්ධව ගමන් කළා. පොදු යුගයට පෙර 198දී, යෙරුසලමේ සහ යුදයේ පාලනය, දකුණු දිශාවේ මිසරයේ රජගෙන්, උතුරු දිශාවේ සිරියාවේ රජු වෙත මාරු වුණා. එමෙන්ම, උතුරු දිශාවේ IIIවන ඇන්ටියෝකස් “අලංකාර දේශයේ [සිටින්න]” පටන්ගත්තා. ඔහුට විරුද්ධ වන සියලුම යුදෙව්වන් සහ මිසර වැසියන් ඔහුගේ ‘අතට අසු වුණා.’ මේ උතුරු දිශාවේ රජ තමන්ට කැමති ලෙස දේවල් කරන්න යන්නේ කොපමණ කාලයකටද?
රෝමය අවස්ථාවාදියාට තහංචි දමයි
31, 32. උතුරු දිශාවේ රජු දකුණු දිශාවේ රජ සමඟ ‘සමාදානයකට’ පැමිණියේ කෙසේද?
31 යෙහෝවාගේ දූතයා අපට මේ පිළිතුර සපයනවා: “ඔහු [උතුරු දිශාවේ රජු] තමාගේ මුළු රාජ්‍යයේ බලය ඇතුව ඇතුල්වෙන්ට තමාගේ මුහුණ යොමු කරන්නේය; එහෙත් ඔහු ඒ අය සමග සමාදානයක් කරගෙන, පසුව ඒක නැතිකරන පිණිස ස්ත්‍රීන්ගෙන් දුවෙක් ඔහුට දෙන්නේය; නුමුත් එය ඉෂ්ටවෙන්නේවත් ඔහුට හරියන්නේවත් නැත.”—දානියෙල් 11:17.
32 උතුරු දිශාවේ රජු වූ IIIවන ඇන්ටියෝකස් මිසරය පාලනය කිරීමට “තමාගේ මුළු රාජ්‍යයේ බලය ඇතුව” ඇතුල් වීමට “මුහුණ යොමු” කරනවා. එහෙත්, අවසානයේදී ඔහු දකුණු දිශාවේ රජ වූ Vවන ටොලමි සමඟ ‘සමාදානයකට’ එළඹුණා. රෝමයේ ඉල්ලීම් IIIවන ඇන්ටියෝකස්ගේ සැලසුම් වෙනස් කරන්න හේතුවක් වුණා. ඔහු මැසිඩෝනියාවේ Vවන පිලිප් රජු සමඟ එකතු වී ළාබාල මිසර රජුගේ ප්‍රදේශ අත් කරගැනීමට ඔහුට විරුද්ධ වෙද්දී, Vවන ටොලමිගේ ආරක්ෂකයන් රෝමයේ රැකවරණය පැතුවා. තම බලය ව්‍යාප්ත කිරීම සඳහා වූ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රෝමය, එහි බලය පාන්න පටන්ගත්තා.
33. (අ) තුන්වන ඇන්ටියෝකස් සහ Vවන ටොලමි අතර ඇති වූ සාම ගිවිසුමේ කොන්දේසි මොනවාද? (ආ) පළමුවන ක්ලියොපැට්රා සහ Vවන ටොලමි අතර සිදු වූ විවාහයේ අරමුණ වූයේ කුමක්ද? එමෙන්ම, ඒ කුමන්ත්‍රණය අසාර්ථක වූයේ මන්ද?
33 රෝමයේ බල කිරීම නිසා, IIIවන ඇන්ටියෝකස් දකුණු දිශාවේ රජ සමඟ සාම ගිවිසුමකට එක් වුණා. රෝමය ඉල්ලා සිටි පරිදි, තමන් ජයගත් දේශ යළි භාර දෙනවා වෙනුවට, IIIවන ඇන්ටියෝකස් රාජ්‍යයන් දෙක අතර නාමමාත්ර හුවමාරුවක් ඇති කරගැනීමට සැලසුම් කළා. එසේ කළේ, “ස්ත්‍රීන්ගෙන් දුවෙක්” එනම්, තම දියණිය වූ Iවන ක්ලියොපැට්රාව Vවන ටොලමිට විවාහ කර දීමෙනුයි. ‘අලංකාර දේශය’ වූ යූදා ඇතුළු පළාත් ඇගේ දෑවැද්ද ලෙස දෙනු ලබනවා. කෙසේවෙතත්, පො.යු.පෙ. 193දී, සිදු කළ විවාහයේදී, සිරියානු රජු Vවන ටොලමිට මේ පළාත් ලබා දුන්නේ නැහැ. මෙය මිසරය සිරියාවට යටත් කරගැනීමේ අටියෙන් කළ දේශපාලනික විවාහයක්. එහෙත්, එම කූට සැලැස්ම අසාර්ථක වුණා. එය ‘හරි ගියේ නැත්තේ,’ පසුව Iවන ක්ලියොපැට්රා තම පුරුෂයාගේ පැත්ත ගත් නිසායි. තුන්වන ඇන්ටියෝකස් සහ රෝමය අතර යුද්ධය ආරම්භ වූ විට, මිසරය රෝමයේ පැත්ත ගත්තා.
34, 35. (අ) උතුරු දිශාවේ රජු තම මුහුණ හැරවූයේ කිනම් “ද්වීප” දෙසටද? (ආ) රෝමය උතුරු දිශාවේ රජුගෙන් පැමිණි ‘නින්දාවට’ නිමාවක් ගෙනාවේ කෙසේද? (ඇ) තුන්වන ඇන්ටියෝකස් මියගියේ කෙසේද? එමෙන්ම, උතුරු දිශාවේ ඊළඟ රජු බවට පත් වූයේ කවුද?
34 උතුරු දිශාවේ රජුගේ පරාජයන්වලට යොමු දක්වමින්, දේවදූතයා මෙසේ එකතු කළා: “තවද ඔහු [IIIවන ඇන්ටියෝකස්] තමාගේ මුහුණ ද්වීප දෙසට හරවා, බොහෝ ද්වීප අල්වාගන්නේය. නුමුත් අධිපතියෙක් [රෝමය] ඔහු [IIIවන ඇන්ටියෝකස්] විසින් කරන නින්දාව නවත්වනවාත් ඇර, [රෝමය මත] ඔහු [IIIවන ඇන්ටියෝකස්] කළ නින්දාව ඔහු පිටට හරවන්නේය. ඔහුද [IIIවන ඇන්ටියෝකස්] තමාගේ මුහුණ තමාගේම දේශයේ බලකොටු දෙසට හරවා, පැකිල වැටී නැතිවන්නේය.”—දානියෙල් 11:18, 19.
35 “ද්වීප” වූයේ මැසිඩෝනියාව, ග්‍රීසිය සහ සුළු ආසියාවට අයිති වෙරළබඩ තීරුවයි. පොදු යුගයට පෙර 192දී යුද්ධය ඇරඹුණු අතර, IIIවන ඇන්ටියෝකස්ට ග්‍රීසියට එන්න බල කළා. සිරියාවේ රජු තවත් දේශ අල්ලාගැනීමට වූ වෑයම හේතුවෙන් එහි යෑමට අකමැති වූ නිසා, කෝපයට පත් රෝමය නිල වශයෙන් ඔහුට විරුද්ධව යුධ ප්‍රකාශ කළා. තර්මොපිලිහිදී, රෝමය අතින් ඔහු පරාජයට පත් වුණා. පොදු යුගයට පෙර 190දී, එනම් මැග්නීසියාහි ඇති වූ යුද්ධයෙන් අවුරුද්දකට පමණ පසුව, ග්‍රීසියේ, සුළු ආසියාවේ සහ ටෝරස් කඳුවලට බටහිරින් පිහිටි සියලුම ප්‍රදේශ අත්හැර දමන්න ඔහුට සිදු වුණා. උතුරු දිශාවේ සිරියාවේ රජුට විශාල කප්පමක් නියම කළ අතර, ඔහු කෙරෙහි බලය පැවැත්වුවා. ග්‍රීසියෙන් සහ සුළු ආසියාවෙන් පන්නනු ලැබ, ඔහුගේ බලඇණි සම්පූර්ණයෙන්ම වාගේ නැති වූවාට පසු, IIIවන ඇන්ටියෝකස් “තමාගේ මුහුණ තමාගේම දේශයේ බලකොටු දෙසට” එනම් සිරියාව දෙසට හැරෙව්වා. රෝමය “ඔහු කළ නින්දාව ඔහු පිටට” හරවලයි තිබුණේ. පොදු යුගයට පෙර 187දී, එලමේයස්හි දේවස්ථානයක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවකදී IIIවන ඇන්ටියෝකස් මියගියා. එසේ, ඔහු “වැටී” ගිය අතර, උතුරු දිශාවේ මීළඟ රජු ලෙස ඔහුගේ පුත් IVවන සෙල්යුකස් සිහසුන ලැබුවා.
ගැටුම දිගටම පවතී
36. (අ) අරගලය දිගටම ගෙන යන්න දකුණු දිශාවේ රජ තැත් කළේ කෙසේද? එහෙත්, ඔහුට කුමක් සිදු වීද? (ආ) හතරවන සෙල්යුකස් වැටුණේ කෙසේද? එමෙන්ම, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ කවුද?
36 දකුණු දිශාවේ රජ වූ Vවන ටොලමි, ක්ලියොපැට්රාගේ දෑවැද්ද ලෙස තමාට ලැබෙන්න තිබූ පළාත් ලබාගැනීමට තැත් කරද්දී, වස පෙවීම හේතුවෙන් ඔහුගේ ප්රයත්නය අවසන් වුණා. ඔහු වෙනුවට VIවන ටොලමි රජ වුණා. හතරවන සෙල්යුකස් ගැන කුමක් කිව හැකිද? රෝමයට දීමට නියමිත වූ විශාල කප්පම ලබාගැනීමේ අවශ්‍යතාව නිසා, යෙරුසලමේ දේවමාළිගාවේ තැන්පත් කර තිබෙනවායයි කියූ සම්පත් ලබාගැනීමට ඔහු තම භාණ්ඩාගාරික හිලිඕඩෝරස්ව යැව්වා. සිහසුනට කෑදරකමින් සිටි හිලිඕඩෝරස් IVවන සෙල්යුකස්ව මැරුවා. කෙසේවෙතත්, පර්ගමම්හි යූමනිස් රජු සහ ඔහුගේ සහෝදරයා වූ අටෙලස්, ඝාතනය කළ රජුගේ සහෝදරයා වූ IVවන ඇන්ටියෝකස්ව සිංහාසනාරූඪ කළා.
37. (අ) හතරවන ඇන්ටියෝකස් තමා යෙහෝවා දෙවිට වඩා බලවත් බව පෙන්වන්න වෑයම් කළේ කෙසේද? (ආ) හතරවන ඇන්ටියෝකස් විසින් යෙරුසලමේ දේවමාළිගාවට කළ පිළිකුල්සහගත ක්‍රියාව මඟ පෙන්වූයේ කුමකටද?
37 උතුරු දිශාවේ අලුත් රජු වූ IVවන ඇන්ටියෝකස්, යෙහෝවාගේ නමස්කාර විධිවිධානය මුලිනුපුටා දැමීමට තැත් කිරීම මගින් තමා දෙවිට වඩා බලවත් බව පෙන්වන්න උත්සාහ කළා. යෙහෝවාට විරුද්ධව මුරණ්ඩු වී, ඔහු යෙරුසලමේ දේවමාළිගාව සියුස්ට නැතහොත් ජුපිටර්ට කැප කළා. පොදු යුගයට පෙර 167 දෙසැම්බර් මාසයේදී, දේවමාළිගා මළුවේ දිනපතා යෙහෝවාට දවන පූජා ඔප්පු කරනු ලැබූ මහා පූජාසනයට ඉහළින් මිථ්‍යාදෘෂ්ටික පූජාසනයක් ඉදි කළා. දින දහයකට පසුව, මේ මිථ්‍යාදෘෂ්ටික පූජාසනය මත සියුස්ට පූජාවක් ඔප්පු කළා. මේ පිළිකුල්සහගත ක්‍රියාව, මකබිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ යුදෙව් කැරැල්ලක් ඇතිවීමට මඟ පෑදුවා. හතරවන ඇන්ටියෝකස් අවුරුදු තුනක් පුරා ඔවුන් සමඟ සටන් කළා. පොදු යුගයට පෙර 164දී, පිළිකුල සිදු කළ සංවත්සර දිනයේදීම, යූදස් මකබියස් දේවමාළිගාව යෙහෝවාට යළි කැප කළ අතර, කැප කිරීමේ නැතහොත්, හනුක්කා මංගල්‍යය පිහිටෙව්වා.—යොහන් 10:22.
38. මකබීය පාලනය අවසානයට පැමිණියේ කෙසේද?
38 පොදු යුගයට පෙර 161දී, සමහරවිට මකබිවරුන් රෝමයත් සමඟ ගිවිසුමක් කර, පො.යු.පෙ. 104දී, රාජ්‍යයක් පිහිටුවාගත්තා. එහෙත්, ඔවුන් සහ උතුරු දිශාවේ සිරියාවේ රජු අතර නොකඩවාම හැලහැප්පීම් පැවතුණා. අවසානයේදී, ඊට මැදිහත් වීමට රෝමයට ආරාධනා කළා. රෝම සේනාධිපති ග්නයියුස් පොම්පෙයි තුන් මසක වැටලීමකින් පසු, පො.යු.පෙ. 63දී යෙරුසලම අල්ලාගත්තා. පොදු යුගයට පෙර 39දී, රෝම සෙනෙට් සභාව ඒදොමීය හෙරෝද්ව යුදයේ රජු ලෙස පත් කළා. මකබීය පාලනය අවසන් කරමින් ඔහු, පො.යු.පෙ. 37දී යෙරුසලම අල්ලාගත්තා.
39. දානියෙල් 11:1-19 දක්වා සලකා බැලීමෙන්, ඔබ ප්‍රයෝජනය ලැබුවේ කෙසේද?
39 අරගලයේ යෙදී සිටින රජුන් දෙදෙනා පිළිබඳ අනාවැකියේ මුල් කොටස ඉටු වෙනවා දැකීම මොනතරම් කුල්මත් කරවන්නක්ද! ඇත්තෙන්ම, දානියෙල්ට මේ අනාවැකිමය පණිවිඩය දී අවුරුදු 500කට පමණ පසු ඉතිහාසය දෙස ඉතා ඕනෑකමින් බලන්න ලැබීමත්, පාලකයන් හැටියට උතුරු දිශාවේ සහ දකුණු දිශාවේ රජවරුන්ගේ අනන්‍යතාවන් හඳුනාගන්න ලැබීමත් මොනතරම් හද දනවන්නක්ද! කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස් මිහි පිට ගත කළ කාලය සහ අපේ කාලය දක්වා යුද්ධය සිදු වෙද්දී, රජුන් දෙදෙනාගේ දේශපාලනික අනන්‍යතාව වෙනස් වෙනවා. මේ අනාවැකි පොතේ සඳහන් කුහුල දනවන තොරතුරු ඉතිහාසයේ සිදුවීම් සමඟ සැසඳීමෙන්, මේ ප්රතිවිරෝධී රජුන් දෙදෙනාව හඳුනාගන්න අපට හැකි වෙනවා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• හෙලනික රාජ්‍යයන් අතරෙන් මතු වුණේ කිනම් ප්‍රබල රජ පෙ- ළපත් දෙකද? එමෙන්ම, මේ රජුන් ඇරඹුවේ කිනම් අරගලයක්ද?
• දානියෙල් 11:6 පුරෝකථනය කර ඇති ආකාරයට, රජුන් දෙදෙනා ‘සාධාරණ ගිවිසුමකට’ එළඹුණේ කෙසේද?
IIවන සෙල්යුකස් සහ IIIවන ටොලමි අතර (දානියෙල් 11:7-9)
IIIවන ඇන්ටියෝකස් සහ IVවන ටොලමි අතර (දානියෙල් 11:10-12)
IIIවන ඇන්ටියෝකස් සහ Vවන ටොලමි අතර (දානියෙල් 11:13-16)
• අරගලය දිගටම පැවතුණේ කෙසේද?
• පළවන ක්ලියොපැට්රා සහ Vවන ටොලමි අතර සිදු වූ විවාහයේ අරමුණ කුමක් වීද? එමෙන්ම, ඒ කුමන්ත්‍රණය අසාර්ථක වූයේ මන්ද? (දානියෙල් 11:17-19)
• දානියෙල් 11:1-19 දක්වා කොටසට අවධානය යොමු කිරීමෙන් ඔබ ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
[228වන පිටුවේ වගුව⁄පින්තූර]
දානියෙල් 11:5-19 දක්වා සඳහන් රජවරුන්
උතුරු දිශාවේ දකුණු දිශාවේ
රජු රජ
දානියෙල් 11:5 Iවන සෙල්යුකස් නයිකේටර් Iවන ටොලමි
දානියෙල් 11:6 IIවන ඇන්ටියෝකස් IIවන ටොලමි
(භාර්යාව වූ ලේඔඩසි) (දියණිය වූ බෙරනයිසි)
දානියෙල් 11:7-9 IIවන සෙල්යුකස් IIIවන ටොලමි
දානියෙල් 11:10-12 IIIවන ඇන්ටියෝකස් IVවන ටොලමි
දානියෙල් 11:13-19 IIIවන ඇන්ටියෝකස් Vවන ටොලමි
(දියණිය වූ Iවන ක්ලියොපැට්රා) අනුප්‍රාප්තිකයා:
අනුප්රාප්තිකයන්: VIවන ටොලමි
IVවන සෙල්යුකස් සහ
IVවන ඇන්ටියෝකස්
[පින්තූරය]
IIවන ටොලමි සහ ඔහුගේ භාර්යාවව දක්වන කාසිය
[පින්තූරය]
Iවන සෙල්යුකස් නයිකේටර්
[පින්තූරය]
IIIවන ඇන්ටියෝකස්
[පින්තූරය]
VIවන ටොලමි
[පින්තූරය]
IIIවන ටොලමි සහ ඔහුගේ අනුප්රාප්තිකයන් ඉහළ මිසරයේ ඉඩ්ෆුහි පිහිටි මේ හෝරස්ගේ දේවමාළිගාව ඉදි කළා
[216, 217වන පිටුවේ සිතියම⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
“උතුරු දිශාවේ රජු” සහ “දකුණු දිශාවේ රජ” යන නිලයන් යොමු දක්වන්නේ, දානියෙල්ගේ සෙනඟට උතුරෙන් සහ දකුණෙන් සිටින රජුන්ටයි
මැසිඩෝනියාව
ග්‍රීසිය
සුළු ආසියාව
ඉශ්රායෙලය
ලිබියාව
මිසරය
ඉතියෝපියාව
සිරියාව
බබිලෝනිය
අරාබිය
[පින්තූරය]
IIවන ටොලමි
[පින්තූරය]
මහා ඇන්ටියෝකස්
[පින්තූරය]
මහා ඇන්ටියෝකස් විසින් නිකුත් කළ නිල ආඥා දරන ගල් පුවරුව
[පින්තූරය]
Vවන ටොලමිව දක්වන කාසිය
[පින්තූරය]
මිසරයේ කර්නක්හි පිහිටි IIIවන ටොලමිගේ ද්වාරය
[210වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[215වන පිටුවේ පින්තූරය]
Iවන සෙල්යුකස් නයිකේටර්
[218වන පිටුවේ පින්තූරය]
Iවන ටොලමි