හතරවන පරිච්ඡේදය
සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරූ තැනැත්තා
1. යේසුස් මිනිසෙකු වීමට පෙර ගත කළ ජීවිතය ගැන තිබෙන තොරතුරු මගින් යෙහෝවා සමඟ ඔහු භූක්ති විඳි සම්බන්ධතාව ගැන අපට හෙළි වන්නේ කුමක්ද?
“පියාණන්ට පුත්‍රයා කෙරෙහි සෙනෙහසක් තිබෙන හෙයින් තමා කරන සියල්ල ඔහුට පෙන්වන්නේය.” (යොහන් 5:20, NW) පුත්‍රයා තම පියා සමඟ භුක්ති වින්දේ මොනතරම් උණුසුම් සම්බන්ධතාවක්ද! මේ ළබැඳියාව ඇරඹුණේ ඔහුගේ මැවීම සිදු වූ අවදියේදීය. එනම්, මිනිසෙකු ලෙස ඔහුගේ උපත සිදුවීමට පෙර, සිතාගත නොහැකි සහස්ර ගණනාවකට ඉහතදීය. ඔහු දෙවිගේ ඒකජාතක පුත්‍රයා විය. එනම් දෙවි විසින් කෙළින්ම මැවූ එකම මැවිල්ල ඔහුය. ස්වර්ගයේද පොළොවේද අනිකුත් දේවල් සියල්ලක්ම මැවුවේ මේ සදාදර ඒකජාතක පුත්‍රයා මාර්ගයෙනි. (කොලොස්සි 1:15, 16) දෙවිගේ කැමැත්ත කුමක්ද කියා අන් අයට දැන්වීම සඳහා ඔහු දෙවිගේ ‘වචනය’ නැතහොත් ඔහු වෙනුවෙන් කතා කරන්නා හැටියටත් කටයුතු කළේය. මේ තැනැත්තා, එනම් දෙවි විශේෂයෙන්ම ඇලුම් කළ මේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් නමැති මිනිසා බවට පත් විය.—හිතෝපදේශ 8:22-30; යොහන් 1:14, NW, 18; 12:49, 50.
2. බයිබල් අනාවැකි යේසුස් වෙත යොමු දක්වා ඇත්තේ කොතෙක් දුරටද?
2 දෙවිගේ ඒකජාතක පුත්‍රයා ආශ්චර්යවත් ආකාරයකට මිනිසෙකු ලෙස පිළිසිඳීමට පෙර ඔහු ගැන දේවානුභාවයෙන් බොහෝ අනාවැකි ලියැවී තිබුණි. ප්‍රේරිත පේතෘස් කොර්නේලියස්ට සැක හැර ප්‍රකාශ කළේ ‘සියලු අනාගතවක්තෘවරුන් සාක්ෂි දුන්නේ ඔහු ගැනය’ කියාය. (ක්‍රියා 10:43) යේසුස්ගේ භූමිකාව ගැන බයිබලයේ කොතරම් දුරට සාක්ෂි දරා තිබේදැයි කිවහොත් දේවදූතයෙකු ප්‍රේරිත යොහන්ට පැවසුවේ, “යේසුස්ගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයය” කියාය. (එළිදරව් 19:10) ඔහු මෙසියස් බව එම අනාවැකි පැහැදිලිවම තහවුරු කළේය. එම අනාවැකි, දෙවිගේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා ඔහු රඟන විවිධ භූමිකා වෙත අවධානය යොමු කළේය. මේ සෑම එකක් ගැනම අද ජීවත් වන අප බෙහෙවින් සැලකිලිමත් විය යුතුය.
අනාවැකි හෙළි කළ දේ
3. (අ) උත්පත්ති 3:15හි සඳහන් අනාවැකියේ සර්පයාගෙන්, ‘ස්ත්‍රියගෙන්’ සහ ‘සර්පයාගේ වංශයෙන්’ නියෝජනය කළේ කවුරුන්වද? (ආ) ‘සර්පයාගේ හිස පොඩි කිරීම’ යෙහෝවාගේ සේවකයන්ගේ ඉමහත් උනන්දුවට හේතුවක් විය යුත්තේ මන්ද?
3 එම අනාවැකිවලින් පළමුවැන්න ඒදන් උයනේදී සිදු වූ කැරැල්ලෙන් පසුව ප්‍රකාශ කරන ලදි. යෙහෝවා සර්පයාට මෙසේ කීවේය. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) එම අනාවැකියෙන් කෙළින්ම ආමන්ත්‍රණය කළේ සර්පයාගෙන් නියෝජනය කළ සාතන්වයි. ‘ස්ත්‍රියගෙන්’ නියෝජනය කරන්නේ, යෙහෝවාට විශ්වාසවන්ත භාර්යාවක් මෙන් සිටින ඔහුගේම පක්ෂපාත ස්වර්ගීය සංවිධානයයි. ‘සර්පයාගේ වංශයට,’ යෙහෝවාටත් ඔහුගේ සෙනඟටත් විරුද්ධකම් පාන සාතන්ගේ ආත්මය විදහාපාන සියලුම දූතයන් සහ මිනිසුන් අයත් වේ. ‘සර්පයාගේ හිස පොඩි කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ, යෙහෝවාට අපහාස කර මිනිස්වර්ගයාව ඉතා දුක්ඛිත තත්වයකට පත් කළ කැරලිකාර සාතන් අවසානයේදී අද්දකින විනාශයයි. එහෙත්, එම පොඩි කිරීම සිදු කරන ‘වංශයේ’ මූලික කොටස කවුද? සියවස් ගණනාවක් පුරා එය “පරිශුද්ධ රහසක්ව” [NW] පැවතියේය.—රෝම 16:20, 25, 26.
4. පොරොන්දු වූ වංශය යේසුස් බව හඳුනාගැනීමට ඔහුගේ පෙළැන්තිය උදව් වූයේ කෙසේද?
4 එතැන් සිට අවුරුදු 2,000ක් පමණ ගෙවී ගිය පසු යෙහෝවා තවත් තොරතුරු සැපයුවේය. එම වංශය ආබ්‍රහම්ගේ පෙළැන්තියෙන් එන බව ඔහු හෙළි කළේය. (උත්පත්ති 22:15-18) කෙසේවෙතත්, වංශය පැමිණීම දක්වා ඇදී යන පෙළැන්තිය උරුමයෙන් තීරණය වන දෙයක් නොව, දෙවිගේ තේරීම මත තීරණය වන්නකි. හාගර් ආබ්‍රහම්ට බිහි කළ ඉෂ්මායෙල් නමැති පුත්‍රයාට ආබ්‍රහම් ප්‍රේම කළත්, යෙහෝවා ඔහුට මෙසේ කීවේය. ‘මාගේ ගිවිසුම සාරා නුඹට බිහි කරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමි.’ (උත්පත්ති 17:18-21) පසුව, එම ගිවිසුම තහවුරු කරන ලද්දේ ඊසාක්ගේ කුලුඳුල් පුත්‍ර ඒසව්ට නොව, යාකොබ්ටය. ඉශ්රායෙල්හි ගෝත්‍ර 12 බිහි වූයේ ඔහුගෙනි. (උත්පත්ති 28:10-14) කාලයාගේ ඇවෑමෙන්, වංශය පැමිණෙන්නේ යූදා ගෝත්‍රයේ දාවිත්ගේ පවුලේ පෙළපතින් බව හෙළි විය.—උත්පත්ති 49:10; 1 ලේකම් 17:3, 4, 11-14.
5. යේසුස් තම භූමික දේවසේවය ආරම්භ කළ විට, ඔහු මෙසියස් බව පැහැදිලි කළේ කුමක් මාර්ගයෙන්ද?
5 වංශය හඳුනාගැනීමට දී තිබූ වෙනත් හෝඩුවාවන් මොනවාද? පොරොන්දු වූ වංශයේ මිනිස් උපත සිදු වන ස්ථානය බෙත්ලෙහෙම බව ඊට අවුරුදු 700කට කලින් බයිබලයේ සඳහන් විය. මේ වංශය ස්වර්ගයෙහි තමාව මවනු ලැබූ දා පටන් “සදාකාලයේ සිට” පැවතුණු බවද හෙළි විණ. (මීකා 5:2) මෙසියස් හැටියට ඔහු මෙලොවට පැමිණෙන කාලය ප්‍රොපේත දානියෙල් මගින් හරියටම පුරෝකථනය කර තිබුණි. (දානියෙල් 9:24-26) යේසුස්ව ශුද්ධාත්මයෙන් ආලේප කළ විට, ඔහු යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා බවට පත් විය. ස්වර්ගයෙන් පැමිණි දෙවිගේම හඬ ඔහු තම පුත්‍රයා බව පැහැදිලිවම හඳුන්වා දුන්නේය. (මතෙව් 3:16, 17) වංශය කවුදැයි මෙසේ අනාවරණය විය. පිලිප්ට මේ පිළිබඳ ඒකාන්ත විශ්වාසයක් තිබුණි. ඔහු මෙසේ කීවේය. ‘මෝසෙස් විසින් ව්‍යවස්ථාවේද, අනාගතවක්තෘවරුන් විසින්ද ලියනු ලැබූ යේසුස් අපට සම්බ වූයේය.’—යොහන් 1:45.
6. (අ) යේසුස්ගේ මරණයෙන් පසු, ඔහුගේ අනුගාමිකයන් ක්‍රමානුකූලව තේරුම්ගත්තේ කුමක්ද? (ආ) ‘ස්ත්‍රියගේ වංශයේ’ මූලික කොටස කවුද? සර්පයාගේ හිස පොඩි කර දැමීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
6 යේසුස් වෙත යොමු දැක්වූ අනාවැකි ගණනාවක් බයිබලයේ අඩංගු බව යේසුස්ගේ ගෝලයෝ පසුව තේරුම්ගත්හ. (ලූක් 24:27) සර්පයාගේ හිස පොඩි කර දමන, එනම් සාතන්ව සහමුලින්ම විනාශ කර දමන ‘ස්ත්‍රියගේ වංශයේ’ මූලික කොටස යේසුස් බව එම අනාවැකි මගින් තව තවත් තහවුරු විය. මිනිස්වර්ගයාට දෙවි දී ඇති පොරොන්දු සියල්ල එනම් අප ඉතා ඕනෑකමින් බලා සිටින සෑම දෙයක්ම යේසුස් මාර්ගයෙන් ඉටු කරනු ඇත.—2 කොරින්ති 1:20.
7. අනාවැකිවල සඳහන් තැනැත්තාගේ අනන්‍යතාව හඳුනාගැනීමට අමතරව වටහාගත යුතු වැදගත් දෙය කුමක්ද?
7 මේ කාරණා දැනගැනීම අපට බලපෑ යුත්තේ කෙසේද? පැමිණෙන්ට සිටින මිදුම්කරුවා සහ මෙසියස් පිළිබඳ අනාවැකි සමහරක් කියැවූ ඉතියෝපීය නිලධාරියෙකු ගැන බයිබලය කතා කරයි. කියවමින් සිටි දෙය ප්‍රහේලිකාවක් වූ නිසා ඔහු පිලිප් නමැති එවැන්ජලිස්තවරයාගෙන් මෙසේ ඇසීය. “අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද?” උත්තරය ලැබුණද කාරණය එතෙකින් නතර කර දැමීමට නිලධාරියා ඉඩහළේ නැත. පිලිප්ගේ විස්තරය ඉතා සාවධානව අසා සිටි මේ මිනිසා, ඉටු වී තිබූ මේ අනාවැකිය අගය කිරීමට නම් තමාගේ පැත්තෙන් යමක් කළ යුතු බව වටහාගත්තේය. ඔහුට තේරුම් ගියේ, ඔහු බව්තීස්ම විය යුතු බවයි. (ක්‍රියා 8:32-38; යෙසායා 53:3-9) අපත් ඒ ආකාරයටම ප්‍රතිචාරය දක්වනවාද?
8. (අ) ඊසාක්ව පූජා කිරීමට ආබ්‍රහම් ගත් උත්සාහයෙන් පූර්වාදර්ශනය කළේ කුමක්ද? (ආ) වංශය කරණකොටගෙන සියලුම ජාතීන් තමුන්ටම ආශීර්වාද සලසාගන්නා බව යෙහෝවා ආබ්‍රහම්ට පැවසුවේ මන්ද? එය අද සිටින අපට අදාළ කරගත හැක්කේ කෙසේද?
8 සාරාගෙන් උපන් ආබ්‍රහම්ගේ එකම පුත්‍රයා වූ ඊසාක්ව පූජා කිරීමට යෑම සම්බන්ධ හද කලතන වාර්තාවත් සලකා බලන්න. (උත්පත්ති 22:1-18) එය, යෙහෝවා කරනු ඇති දෙය එනම් තම ඒකජාතක පුත්‍රයාව පූජා කිරීම පූර්වාදර්ශනය කළේය. “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව ලෝකයට දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) යෙහෝවා තම අරමුණ ඉටු කිරීම සඳහා තම ඒකජාතක පුත්‍රයාව දුන්නා සේ ඔහු කාරුණිකව ‘අනිකුත් සියල්ලද අපට දෙන’ බවට මෙය අපට නිසැකකම ලබා දෙයි. (රෝම 8:32) අපේ පැත්තෙන් විය යුත්තේ කුමක්ද? උත්පත්ති 22:18හි වාර්තා කර ඇති ආකාරයට, ‘දෙවිගේ හඬට ආබ්‍රහම් කීකරු වූ නිසා’ වංශය කරණකොටගෙන සියලුම ජාතීන් තමුන්ටම ආශීර්වාද සලසාගන්නා බව යෙහෝවා ආබ්‍රහම්ට පැවසීය. අපද යෙහෝවාටත් ඔහුගේ පුත්‍රයාටත් කීකරු විය යුතුය. “පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට සදාකාල ජීවනය ලැබේ. පුත්‍රයාට අකීකරු වන්නා කෙරෙහි දෙවිගේ උදහස පවතින අතර, ඔහු ජීවනය නොදකියි.”—යොහන් 3:36, NW.
9. යේසුස්ගේ ජීවිත පූජාව මගින් මඟ සලසා දුන් සදාකාල ජීවනයේ අපේක්ෂාව ගැන අප කෘතඥපූර්වක වෙනවා නම්, අප කරන්නේ කුමක්ද?
9 යේසුස්ගේ ජීවිත පූජාව මගින් මඟ සලසා දුන් සදාකාල ජීවනයේ අපේක්ෂාව ගැන අප කෘතඥපූර්වක වෙනවා නම්, යේසුස් මාර්ගයෙන් යෙහෝවා කී දේවල් කිරීමට අප පෙලඹෙනු ඇත. දෙවි කෙරෙහිත් අපේ අසල්වැසියන් කෙරෙහිත් අපට ඇති ප්‍රේමය හා මේ දේවල් එකට බැඳී පවතී. (මතෙව් 22:37-39) “[යේසුස්] විසින් [අපට] අණ කළ සියල්ලම පවත්වන්ට” අප තුළ යෙහෝවා කෙරෙහි ඇති ප්‍රේමය අපව පොලඹවන බව යේසුස් පැහැදිලි කළේය. (මතෙව් 28:19, 20) නිතිපතාම යෙහෝවාගේ සෙසු සේවකයන් සමඟ “එකට රැස්වීමෙන්” ඔවුන් සමඟ එම ප්‍රේමය බෙදාගත හැකිය. (හෙබ්‍රෙව් 10:25, NW; ගලාති 6:10) දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් කන් දීම කීමේදී, ඔවුන් අපෙන් සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙනවා කියා සිතන්ට අවශ්‍ය නැත. උත්තම පූජකයා ලෙස යේසුස්ට ‘අපේ දුර්වලකම්වලදී අප සමඟ දුක්වීමට’ හැකි බව හෙබ්‍රෙව් 4:15හි සඳහන් කරයි. අපේ දුර්වලකම් ජයගැනීමට ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි වෙත යාච්ඤාවෙන් ළඟා වෙද්දී ඉහත කරුණ අපට මොනතරම් සහනයක් වේවිද!—මතෙව් 6:12.
ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න
10. යේසුස් ක්‍රිස්තුස් හැර වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේ මන්ද?
10 බයිබල් අනාවැකි යේසුස් තුළ ඉටු වූ බව යෙරුසලමේ මහාධිකරණයෙහි සිටි යුදෙව් පූජකයන්ට පෙන්වා දුන් පසු, අවසන් වශයෙන් ප්‍රේරිත පේතෘස් ප්‍රබල ලෙස මෙසේ පැවසීය. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍ය වූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය.” (ක්‍රියා 4:12) ආදම්ගෙන් පැවතෙන සියලුදෙනාම පව්කාරයන් නිසා, කෙනෙකු තව කෙනෙකු වෙනුවෙන් මිය යෑමෙන් දෙවන තැනැත්තාට මිදීමේ මිලයක් වීමට තරම් මුල් තැනැත්තාගේ වටිනාකමක් නැත. එහෙත්, යේසුස් පරිපූර්ණ කෙනෙක් විය. ඔහුගේ ජීවිතයට පූජනීය වටිනාකමක් තිබුණි. (ගීතාවලිය 49:6-9; හෙබ්‍රෙව් 2:9) ආදම් අහිමි කරගත් පරිපූර්ණ ජීවිතයට හරියටම අනුරූපී වන වටිනාකමක් ඇති මිදීමේ මිලයක් දෙවිට පුදන්ට ඔහුට හැකි විය. (1 තිමෝති 2:5, 6, NW) මෙමගින් දෙවිගේ නව ලෝකය තුළ සදාකාල ජීවනය ලබාගැනීමේ මාර්ගය අපට විවර විය.
11. යේසුස්ගේ ජීවිත පූජාව අපට මහත් සේ ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
11 දැන් පවා වෙනත් ප්‍රයෝජන ලැබීමටද මිදීමේ මිලය මාර්ගය සපයා දුණි. උදාහරණයක් හැටියට, අප පව්කාරයන් වුණත්, යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපේ පාපවලට සමාව ලැබෙන නිසා පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අපට හැකිය. මෙය මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඉශ්රායෙල්වරුන් විසින් සියලුම සත්ව පූජාවන් මගින් අත් කරගත් දෙයට වඩා වටිනා යමකි. (ක්‍රියා 13:38, 39; හෙබ්‍රෙව් 9:13, 14; 10:22) කෙසේවෙතත්, එවන් සමාවක් ලබාගැනීමට නම් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව අපට අත්‍යවශ්‍ය බවට අවංක පිළිගැනීමක් තිබිය යුතුය. “අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටා ගනිමුව. සැබෑවද අප තුළ නැත. අපේ [පාප] කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් ඔහු විශ්වාසව ධර්මිෂ්ඨව සිටින්නේය.”—1 යොහන් 1:8, 9.
12. දෙවි ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් අත් කරගැනීමට, වතුර බව්තීස්මය එතරම් වැදගත් දෙයක් වන්නේ මන්ද?
12 පව්කාරයන්ට ක්‍රිස්තුස් කෙරෙහිත් ඔහුගේ ජීවිත පූජාව කෙරෙහිත් ඇදහිල්ල ප්‍රකාශ කළ හැක්කේ කෙසේද? මුල් සියවසේ සිටි මිනිසුන් ඇදහිලිවන්තයන් බවට පත් වූ විට, ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ නිරූපණය කළෝය. ඒ කෙසේද? බව්තීස්ම වීමෙනි. එසේ කළේ මන්ද? තම ගෝලයන් සැවොම බව්තීස්ම විය යුතු බව යේසුස් අණ කළ නිසාය. (මතෙව් 28:19, 20; ක්‍රියා 8:12; 18:8) යෙහෝවා යේසුස් මාර්ගයෙන් දී තිබෙන ප්‍රේමනීය සැපයුම කෙනෙකුගේ හදවතට තදින් බලපාන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔහු නිරායාසයෙන්ම පෙලඹෙයි. ඔහු ජීවිතයේ ඕනෑම සකස් කිරීමක් කරගනු ඇත. එමෙන්ම යාච්ඤාවෙන් ඔහු දෙවිට කැප වෙයි. ඔහුගේ කැපවීම වතුර බව්තීස්මය මාර්ගයෙන් සංකේතවත් කරයි. ඔහුට ‘යහපත් හෘදය සාක්ෂියක් ලබා දෙන්නැයි දෙවිගෙන් ඉල්ලීමට’ හැකි වන්නේ මේ ආකාරයට තම ඇදහිල්ල නිරූපණය කිරීමෙන් පමණි.—1 පේතෘස් 3:21, NW.
13. අප පාපයක් කර ඇති බව තේරුණොත්, ඒ ගැන අප කුමක් කළ යුතුද? ඒ මන්ද?
13 ඇත්ත වශයෙන්ම, බව්තීස්මයෙන් පසුව පවා පව්කාර ගතිලක්ෂණ යළි මතු වනු ඇත. එවිට අපි කුමක් කරමුද? ප්‍රේරිත යොහන් මෙසේ කීවේය. “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් වන මැදහත්කාරයෙක් පියා වෙත අපට සිටින්නේය. ඔහු අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය.” (1 යොහන් 2:1, 2) නමුත් අප ඕනෑම දෙයක් කර දෙවිගෙන් සමාව ඉල්ලා යාච්ඤා කළොත් ඔක්කොම හරියි කියා මෙයින් අදහස් කරනවාද? අනිවාර්යයෙන්ම නැත. සමාව ලැබීමට රහස අව්‍යාජ පසුතැවිල්ලයි. ක්‍රිස්තියානි සභාවේ සිටින වඩා අද්දැකීම් ඇති වැඩිහිටි අයගේ උපකාරයද අවශ්‍ය විය හැකිය. අප කළ දෙයෙහි වැරදිසහගත බව අප පිළිගෙන එය තේරුම්ගත යුතු අතර, එය යළිත් වරක් කිරීමෙන් වැළකීම සඳහා ඒ ගැන අවංකවම කනගාටු විය යුතුය. (ක්‍රියා 3:19, 20; යාකොබ් 5:13-16) අප මෙය කරනවා නම්, යේසුස්ගේ උපකාරය අපට ලැබෙන බවටත් යෙහෝවාගේ අනුමැතියට අප යළිත් පාත්‍ර වී ඇති බවටත් සහතික විය හැකිය.
14. (අ) යේසුස්ගේ ජීවිත පූජාව අපට ප්‍රයෝජනවත් වී ඇති වැදගත් මාර්ගයක් පැහැදිලි කරන්න. (ආ) අපට ඇත්තටම ඇදහිල්ල තිබේ නම් අපි කුමක් කරන්නෙමුද?
14 උත්පත්ති 3:15හි සඳහන් වංශයේ දෙවැනි කොටස වන ‘කුඩා රැළට’ ස්වර්ගයෙහි සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගය විවෘත කර ඇත. (ලූක් 12:32; ගලාති 3:26-29) කෝටි සංඛ්‍යාත වෙනත් සෙනඟටත් මෙමගින් පාරාදීස පොළොවක සදාකාල ජීවනයට මාර්ගය විවෘත වී ඇත. (ගීතාවලිය 37:29; එළිදරව් 20:11, 12; 21:3, 4) සදාකාල ජීවනය වනාහි ‘අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළින් ලැබෙන දෙවිගේ දීමනාවය.’ (රෝම 6:23; එපීස 2:8-10) අපට එම දීමනාව කෙරෙහි ඇදහිල්ලක් තිබෙනවා නම්, එමෙන්ම එය ලබා දුන් ආකාරය ගැන අගය කිරීමක් තිබෙනවා නම්, අපි එය විදහාපාන්නෙමු. තම කැමැත්ත ඉටු කිරීම සඳහා යෙහෝවා යේසුස්ව පාවිච්චි කළ පුදුමාකාර අන්දම ගැන සහ අප සැවොම යේසුස්ගේ අඩි පාර කිට්ටුවෙන් අනුගමනය කිරීම කොතරම් වැදගත්දැයි යන්න වටහාගත් විට, ක්‍රිස්තියානි දේවසේවය අපේ ජීවිතයේ ඉතාම වැදගත් ක්‍රියාකාරකම බවට පත් වනු ඇත. දෙවිගේ මේ මවිතකර දීමනාව පිළිබඳව ඒත්තුගන්වන විලසින් අන් අයට කතා කරන ආකාරයෙන් අපේ ඇදහිල්ල පෙනෙනු ඇත.—ක්‍රියා 20:24.
15. යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි තිබෙන ඇදහිල්ල තුළ එක්සත් කිරීමේ බලයක් ඇත්තේ කෙසේද?
15 එවන් ඇදහිල්ලකට මොනතරම් එක්සත් කිරීමේ බලයක් තිබේද! එම ඇදහිල්ල අපව යෙහෝවා වෙතටත් ඔහුගේ පුත්‍රයා වෙතටත් ක්‍රිස්තියානි සභාවේ සිටින වෙනත් ක්‍රිස්තියානීන් වෙතටත් සමීප කරවන්නේය. (1 යොහන් 3:23, 24) දෙවි ඔහුගේ පුත්‍රයාව ‘ඉතා උසස් කොට, [දෙවිගේ නාමය හැර] අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් ඔහුට දුන්නේය. එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව පිය වූ දෙවිගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.’ මෙම කාරණය ගැන අතිශයින් සතුටු වීමට එම ඇදහිල්ල අපව පොලඹවනු නියතය.—පිලිප්පි 2:9-11.
පුනරීක්ෂණ සාකච්ඡාව
• මෙසියස් පැමිණි විට, දෙවිගේ වචනය සැබවින්ම විශ්වාස කළ අයට ඔහුගේ අනන්‍යතාව පැහැදිලි වූයේ මන්ද?
• යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අප කෘතඥපූර්වක වන බව පෙන්වීම සඳහා අප කළ යුතු සමහර දේවල් මොනවාද?
• යේසුස්ගේ ජීවිත පූජාව අපට දැනටමත් ප්‍රයෝජනවත් වන්නේ කිනම් මාර්ගවලින්ද? අපේ පාපවලට යාච්ඤාවෙන් යෙහෝවාගෙන් සමාව ඉල්ලද්දී මෙය උපකාරයක් වන්නේ කෙසේද?
[36වන පිටුවේ පින්තූරය]
දෙවිගේ ආඥා රකින්ට අන් අයට කියා දිය යුතු බව යේසුස් තම අනුගාමිකයන්ට කීවේය