හැඳින්වීම
“විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න.”—හෙබ්‍රෙව් 6:12.
1, 2. සංචාරක සේවකයෙකුට බයිබල් චරිත ගැන හැඟුණේ කොහොමද? ඔවුන්ව මිතුරන් කරගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
“එයා බයිබල් චරිත ගැන කතා කළේ හරියට ඒගොල්ලන් එයාගේ කිට්ටු මිතුරන්ව හිටියා වගෙයි.” එසේ පැවසුවේ, වයසින් මුහුකුරා ගිය සංචාරක සේවකයෙක් ඉදිරිපත් කළ කතාවකට සවන් දුන් කාන්තාවක්. ඇත්තෙන්ම ඒ සහෝදරයා බොහෝ කාලයක් පුරා බයිබලයේ සඳහන් තොරතුරු ගැන ගැඹුරින් අධ්‍යයනය කර උගන්වන කෙනෙක්. ඒ නිසා ඔහුට හැඟුණේ බයිබලයේ සඳහන් වී තිබෙන විවිධ චරිත තමන්ගේ කිට්ටු මිතුරන් ලෙසයි.
2 ඔවුන්ව මිතුරන් කරගන්න ඔබත් කැමතිද? නෝවා, ආබ්‍රහම්, රූත්, එලියා හා එස්තර් වැනි අය සමඟ කතාබහ කරමින් ඔවුන් සමඟ කාලය ගත කරන්න අවස්ථාව ලැබුණා කියා සිතන්න. ඔබට ඔවුන්ගෙන් මොන තරම් දේවල් ඉගෙනගන්න ලැබෙයිද! එමගින් ඔබ මොන තරම් දිරිගැන්වීමක් ලබයිද!—හිතෝපදේශ 13:20 කියවන්න.
3. (අ) බයිබලයේ සඳහන් දෙවිට විශ්වාසවන්තව සිටි අය ගැන ඉගෙනගැනීමෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? (ආ) අපි සලකා බලන්නේ මොනවාද?
3 ‘ධර්මිෂ්ඨ අය නැවත නැඟිටින’ කාලයේදී අපිට අනිවාර්යයෙන්ම ඔවුන්ව ඇසුරු කරන්න ලැබෙනවා. (ක්‍රියා 24:15) නමුත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු ඔවුන්ගෙන් දැනටත් අපිට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න.” (හෙබ්‍රෙ. 6:12) පාවුල් පැවසූ ලෙස විශ්වාසය කියන්නේ මොකක්ද සහ ඒක අපිට අවශ්‍ය ඇයි කියලා බලමු.
විශ්වාසය කියන්නේ මොකක්ද, එය අවශ්‍ය ඇයි?
4. විශ්වාසය ගැන බොහෝ අය සිතන්නේ මොනවාද? එය වැරදි ඇයි?
4 මෙම පොතේ සඳහන් වෙන ස්ත්රීන්ට හා පුරුෂයන්ට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. ඇත්තෙන්ම සැබෑ විශ්වාසය කීමෙන් අදහස් කරන දේ ගැන අද සිටින බොහෝ අය නිවැරදිව තේරුම්ගෙන නැහැ. ඔවුන් සිතන්නේ පැහැදිලි සාක්ෂි නැතුව වුණත් යමක් විශ්වාස කරන්න පුළුවන් කියලයි. හැබැයි සැබෑ විශ්වාසය කියන්නේ අන්ධ විශ්වාසයක් නෙවෙයි. ඒ සඳහා ස්ථිර සාක්ෂි අවශ්‍යමයි. දෙවි කෙරෙහි විශ්වාස කරනවා කියන්නේ නිකම්ම දෙවි කෙනෙක් සිටින බව පිළිගැනීම නෙවෙයි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘භූතයන් පවා දෙවි සිටින බව විශ්වාස කරන අතර ඒ ගැන ඔවුන් බියෙන් වෙවුලනවා’ කියලයි.—යාකො. 2:19.
5, 6. (අ) සැබෑ විශ්වාසයට ඇතුළත් කාරණා දෙක මොනවාද? (ආ) අපේ විශ්වාසය මොන තරම් ස්ථිර වෙන්න ඕනෙද කියලා නිදර්ශනයකින් පැහැදිලි කරන්න.
5 සැබෑ විශ්වාසය ගැන බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා. (හෙබ්‍රෙව් 11:1 කියවන්න.) සැබෑ විශ්වාසයට ඇතුළත් කාරණා දෙකක් ගැන පාවුල් සඳහන් කළා. මුලින්ම ඔහු පැවසුවේ ‘බලාපොරොත්තු වන දේවල්’ ගැනයි. ඒ මොනවාද? එනම් අනාගතයේදී දෙවිගේ රාජ්‍යය මගින් මුළු පොළොවම පාලනය කරන කාලයයි. ඊළඟට ඔහු ‘ඇසට පෙනෙන්නේ නැති’ නමුත් දැනටමත් පවතින දේවල් ගැනත් සඳහන් කළා. ඒ මොනවාද? එනම් යෙහෝවා දෙවි, යේසුස් හා දෙවිගේ රාජ්‍යයයි. ඔහු සඳහන් කළ ඒ කාරණා දෙකම අපේ ඇසට පෙනෙන්නේ නැහැ. ඉන් අදහස් වෙන්නේ දෙවි කෙරෙහි තිබෙන විශ්වාසයට ස්ථිර පදනමක් නැහැ කියාද?
6 එසේ පවසන්න බැහැ. “විශ්වාසය යනු බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි” කියා පාවුල් පැවසුවා. පාවුල් ඒ ගැන කියද්දී එය අසා සිටි අයගේ මනසේ ඇඳුණේ ඉඩමක ඔප්පුවක් ලැබෙද්දී කෙනෙකුට දැනෙන දෙයයි. හිතන්න ඔබට යම් කෙනෙක් ඉඩමක් ලබා දෙන්න පොරොන්දු වුණා කියලා. ඔහු ඉඩමේ ඔප්පුව ඔබේ අතට දී “මෙන්න ඔබේ ඉඩම” කියා පවසනවා. ඔහු එසේ පවසන්නේ ඉඩම ඔබට අනිවාර්යයෙන්ම ලැබෙන බවට ඔප්පුව ස්ථිර සාක්ෂියක් සපයන නිසයි. අපිට දෙවි ගැන තිබෙන්නේත් ඒ හා සමාන ස්ථිර විශ්වාසයක්.
7. සැබෑ විශ්වාසයට අයත් වෙන්නේ තව මොනවාද?
7 සැබෑ විශ්වාසයට තවත් දේවල් ඇතුළත් වෙනවා. එනම් දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන ලැබූ අද්දැකීම් හා දෙවිව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. අපි යෙහෝවා දෙවිව අපේ පියා ලෙස සලකන්නෙත් ඔහු දී තිබෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙන බව පිළිගන්නෙත් අපිට දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් තිබෙන නිසයි. නමුත් එම විශ්වාසය දිගටම පවත්වාගැනීමට නම් අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වීම අනිවාර්ය දෙයක් වෙනවා. ‘ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයක්’ කියා බයිබලයේ සඳහන් දෙයින් එය පැහැදිලියි.—යාකො. 2:26.
8. සැබෑ විශ්වාසයක් අවශ්‍ය වෙන්නේ ඇයි?
8 සැබෑ විශ්වාසයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඊට පිළිතුර පාවුල් පැහැදිලි කළා. (හෙබ්‍රෙව් 11:6 කියවන්න.) දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයක් නැත්නම් දෙවිව සතුටු කරන්නවත් ඔහුට ළං වෙන්නවත් බැහැ. අපිට ලැබී තිබෙන උතුම්ම වරප්‍රසාදය වෙන්නේ අපේ ස්වර්ගික පියාණන්ට ළං වී ඔහුව මහිමයට පත් කරන්න ලැබීමයි. ඒ දෙය කරන්න අපිට පුළුවන් වෙන්නේ සැබෑ විශ්වාසයක් තිබුණොත් පමණයි.
9. අපිට සැබෑ විශ්වාසයක් ඇති කරගැනීමට දෙවි උපකාර කර තිබෙන්නේ කොහොමද?
9 අපි සැබෑ විශ්වාසයක් ඇතුව සිටීම මොන තරම් වැදගත්ද කියා යෙහෝවා දෙවි හොඳින්ම දන්නා නිසා විශ්වාසය ශක්තිමත් කරගැනීමට ඔහු අපිට උපකාර කරනවා. දෙවිට විශ්වාසවන්තව සිටිමින් සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන අයව අපිට සපයා දී තිබෙන්නේත් “ඔවුන් තුළ තිබෙන විශ්වාසය ආදර්ශයට ගන්න” කියා ඔහු පවසා තිබෙන්නේත් ඒ නිසයි. (හෙබ්‍රෙ. 13:7) දෙවි අපිට තවත් උපකාරයක් දී තිබෙනවා. පුරාණයේදී දෙවිට විශ්වාසවන්තව ක්‍රියා කළ ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ ගැනත් දෙවි බයිබලයේ සඳහන් කර තිබෙනවා. (හෙබ්‍රෙ. 12:1) ඒ අයව ආදර්ශයට ගැනීමත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙන්නේ දෙවිට විශ්වාසවන්තව සිටි අය අතරින් අතළොස්සකගේ නම් පමණයි. දුෂ්කර තත්වයන් හමුවේ පවා දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමින් අපිට කදිම ආදර්ශයක් තැබූ බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ බොහෝදෙනෙක් ගැන අපිට බයිබලය පුරාම දැකගන්න පුළුවන්.
ඔවුන්ගේ විශ්වාසය අනුකරණය කරන්න පුළුවන් කොහොමද?
10. විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශය අනුකරණය කිරීමට පෞද්ගලික අධ්‍යයනය ඔබට උපකාරවත් වෙන්නේ කොහොමද?
10 කෙනෙක් ගැන හොඳින් දැනගන්නේ නැතුව අපිට ඒ තැනැත්තාව අනුකරණය කරන්න බැහැ. මෙම පොත සකස් කර තිබෙන්නේ බයිබල් චරිත ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට උපකාර කිරීම සඳහායි. ඒ සඳහා බොහෝ පර්යේෂණ කර තිබෙන බව ඔබ මෙම පොත කියවද්දී තේරුම්ගනියි. ඔබත් මෙම පොත පෞද්ගලිකව අධ්‍යයනය කරද්දී බයිබලයේ සඳහන් මෙම චරිත ගැන තවත් පර්යේෂණ කිරීම සඳහා ඔබ සතුව තිබෙන අමතර මෙවලම් ප්‍රයෝජනයට ගන්න. කියවන සිද්ධීන් සිතින් මවාගැනීමට උත්සාහ කරන්න. ඒ අවස්ථාවලදී ඇසෙන ශබ්ද, දැනෙන සුවඳ සහ කටහඬවල් මේ සෑම දෙයක් ගැනම සිතන්න. ඔවුන්ගේ හැඟීම් තේරුම්ගැනීමට වෑයම් කරන්න. එසේ කිරීමෙන් දෙවිට විශ්වාසවන්තව සිටි ඔවුන් ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් ඔවුන්ව ඔබේ කිට්ටු මිතුරන් කරගැනීමටත් ඔබට පුළුවන් වෙයි.
11, 12. (අ) ආබ්‍රම් හා සාරයිව ඔබේ කිට්ටු මිතුරන් කරගන්න පුළුවන් කොහොමද? (ආ) හන්නා, එලියා හා සාමුවෙල්ගේ ආදර්ශය ඔබට උපකාරවත් වෙන්නේ කොහොමද?
11 ඔබ ඔවුන් ගැන අවබෝධයක් ලබාගනිද්දී ඔවුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න ඔබ පෙලඹෙයි. දෙවිගේ සංවිධානයෙන් ඔබට අලුත් පැවරුමක් ලැබුණා කියා සිතන්න. ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට යන්න කියා ඔබෙන් ඉල්ලා සිටිනවා. එහෙමත් නැත්නම් ඔබට හුරු නැති අලුත් ක්‍රමයකට දේශනා කරන්න කියා ඔබට පවසනවා. ඔබ ඒ සඳහා උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කිරීමෙන් අනතුරුව ආබ්‍රම්ගේ ආදර්ශය ගැන කල්පනා කිරීම ඔබට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔහු සහ ඔහුගේ බිරිඳ වූ සාරයි තමන්ට දෙවිගෙන් ලැබුණු පැවරුම ඉටු කිරීම සඳහා ඌර් නගරයේ ගෙවමින් සිටි සැප පහසු ජීවිතය අත්හැරියා. ඒ නිසා යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔවුන්ට නොමදව ලැබුණා. ඔවුන්ගේ ආදර්ශය ඔබත් කිට්ටුවෙන් අනුකරණය කරද්දී ඔවුන් ඔබේ කිට්ටු මිතුරන් කියා පවසන්න ඔබටත් පුළුවන් වෙයි.
12 ඔබේ කිට්ටු මිතුරෙක් ඔබව රිදවනවා කියා සිතන්න. ඒ නිසා ඔබ රැස්වීම්වලට යන්නත් අදිමදි කරනවා. එවැනි තත්වයකදී හන්නාගේ ආදර්ශය ගැන කල්පනා කිරීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. පෙනින්නා ඇයව හිතාමතාම වේදනාවට පත් කළත් එය හේතුවක් කරගෙන ඇය දෙවිට නමස්කාර කිරීමට යෑම අතපසු කළේ නැහැ. ඔබ ඇගේ ආදර්ශය අනුකරණය කළොත් නිවැරදි දේ කිරීමටත් ඇයව ඔබේ කිට්ටු මිතුරියක් කරගැනීමටත් ඔබට හැකි වෙන බව නිසැකයි. ඔබේ කිසි වටිනාකමක් නැහැ කියා හැඟුණොත් ඔබ තනි වෙලා කියා සිතන්න එපා. එලියාටත් එලෙසම හැඟුණා. යෙහෝවා දෙවි ඔහුව සැනසූ ආකාරය ගැන අධ්‍යයනය කිරීමෙන් ඔබටත් සහනයක් ලබන්න පුළුවන් වෙයි. යෞවනයෙනී, ඔබේ පාසැලේ මිතුරන් නරක දේවල් කරන්න ඔබට බල කරනවාද? එසේනම් ඒලීගේ පුත්‍රයන්ගේ නරක බලපෑමට හසු නොවූ සාමුවෙල්ගේ ආදර්ශය ඔබට උපකාරවත් වෙයි.
13. බයිබල් චරිත අනුකරණය කරන්න සිදු වෙන්නේ පූර්ණ විශ්වාසයක් නැති අයටද? පැහැදිලි කරන්න.
13 විශ්වාසවන්ත බයිබල් චරිත ඔබට අනුකරණය කරන්න සිදු වෙන්නේ ඔබට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැති නිසාද? එසේ සිතන්න එපා. විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ අපි අනුකරණය කරයි කියා යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (1 කොරි. 4:16; 11:1; 2 තෙස. 3:7, 9) මෙම පොතේ සඳහන් ඇතැම් අය පවා දෙවිට විශ්වාසවන්තව සිටි වෙනත් අයගේ ආදර්ශ අනුකරණය කර තිබෙනවා. උදාහරණයකට හන්නා කළ යාච්ඤාවක සඳහන් වචනම මරියාත් පවසා තිබෙන බව මෙම පොතේ 17වෙනි පරිච්ඡේදයේ සඳහන් තොරතුරුවලින් ඔබ තේරුම්ගනියි. මරියාට දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණේ නැති බව ඉන් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය තව තවත් වැඩි කරගැනීමට හන්නාගේ ආදර්ශය මරියාට උපකාරවත් වුණා.
14, 15. මෙම පොතට ඇතුළත් කර තිබෙන අංග මොනවාද? ඒවායින් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
14 මෙම පොත සකස් කර තිබෙන්නේ ඔබට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කරගැනීමට උපකාර කිරීමේ බලාපොරොත්තුවෙනුයි. මෙහි ඇතුළත් වෙන්නේ 2008 සිට 2013 දක්වා මුරටැඹ පොදු කලාපයේ “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු” නමැති තේමාව යටතේ පළ වූ ලිපි පෙළයි. දැන් ඊට අලුත් අංග කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. එනම් සාකච්ඡා කිරීමට ප්‍රශ්න, වර්ණවත් මෙන්ම විස්තරාත්මක තොරතුරු ඇතුළත් පින්තූරු, කාල රේඛා සහ සිතියම් ඊට ඇතුළත් කර තිබෙනවා. “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” නමැති මෙම පොත විශේෂයෙන්ම සකස් කර තිබෙන්නේ පෞද්ගලික අධ්‍යයනයට, පවුලේ නමස්කාරයට සහ සභා බයිබල් පාඩම සඳහායි. මෙම පොතේ සඳහන් බයිබල් චරිත ගැන පවුලක් ලෙස එකතු වී කියවීමෙන්ද සතුටක් ලබන්න පුළුවන්.
15 පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ගේ විශ්වාසය අනුකරණය කිරීමට ඔබට මෙම පොත ප්‍රයෝජනවත් වේවා කියා අපි පතනවා. ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමටත් මෙම පොත ඔබට උපකාරවත් වේවා!