10වෙනි පරිච්ඡේදය
වැඩිපුර සේවයක් කරන්න පුළුවන් ක්‍රම
ගෝලයන්ව දේශනා සේවයට පිටත් කරන්න කාලය ඇවිත් කියලා තේරුම්ගත්ත යේසුස් ඔවුන්ට මෙහෙම කිව්වා. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (මතෙ. 9:37, 38) දේශනා සේවය කරන්න ඕනෙ කොහොමද කියලත් ඔහු ඉගැන්නුවා. ඒ සේවය කල් දාන්න පුළුවන් එකක් නෙවෙයි කියලා ඔහු කියපු මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. ‘මනුෂ්‍ය පුත්‍රයා එන තෙක් ඔබ ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔබට නොහැකි වෙයි.’—මතෙ. 10:23.
2 අදටත් දේශනා වැඩයට සම්බන්ධ හුඟක් දේවල් කරන්න තියෙනවා. අවසානයට කලින් ශුභාරංචිය හැමෝටම කියන්න ඕනේ. ඒකට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. (මාක් 13:10) එදා යේසුස්ගේ ගෝලයන් දේශනා කළාට වඩා ලොකු ප්‍රදේශයක් පුරා දේශනා කරන්න අපිට පැවරිලා තියෙනවා. ලෝකෙ පුරාම ඉන්න මිනිසුන් බිලියන ගණනකට ශුභාරංචිය කියන්න ඉන්නේ ටිකදෙනෙක් විතරයි. හැබැයි යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිට උදව් කරයි. පොළොව පුරාම ශුභාරංචිය දේශනා කරනවා කියලත් නියමිත කාලයේදී යෙහෝවා දෙවියන් අවසානය ගෙනෙනවා කියලත් අපිට නිසැක වෙන්න පුළුවන්. දේවරාජ්‍යයට මුල් තැන දීලා අපේ සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න අපි සූදානම්ද? ඒ දේ කරන්න අපිට උදව් වෙන්නේ සේවය සම්බන්ධයෙන් මොන වගේ ඉලක්ක තියාගන්න එකද?
3 යෙහෝවා දෙවියන් තමන්ට කැප වෙලා ඉන්න සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ගැන යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30) දෙවියන්ට සේවය කරන්න අපි මුළු ජීවිතයම කැප කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දෙවියන්ට කැප වුණේ අවංක සිතින් කියලා අපේ උපරිමයෙන් දෙවියන්ට සේවය කිරීමෙන් පෙන්වන්න ඕනේ. (2 තිමෝ. 2:15) අපේ හැකියාවන් සහ තත්වයන් අනුව දෙවියන්ට සේවය කරන්න අපිට විවිධ අවස්ථාවන් උදා වෙලා තියෙනවා. ඒ අතරින් කිහිපයක් බලමු. දෙවියන්ට කරන සේවය සම්පූර්ණයෙන් ඉටු කරන්න ඔයාට උදව් වෙන්නේ ඒ අතරින් මොන සේවයද කියලා හිතලා ඒ සේවය කරන්න ඉලක්කයක් තියාගන්න.
ප්‍රචාරකයෙක් විදිහට සේවය කිරීම
4 සත්‍ය මාර්ගයේ ගමන් කරන හැමෝටම ශුභාරංචිය දේශනා කිරීමේ වරප්‍රසාදය ලැබිලා තියෙනවා. යේසුස් ගෝලයන්ට පවරපු මූලිකම කාර්යය ඒකයි. (මතෙ. 24:14; 28:19, 20) සාමාන්‍යයෙන් යේසුස්ගේ ගෝලයෙක් ශුභාරංචිය ගැන අනිත් අයට කියන්න පටන්ගන්නේ තමන්ට ඒ ගැන දැනගන්න ලැබුණු අවස්ථාවේ ඉඳලමයි. අන්දෘ, ෆිලිප් සහ කොර්නේලියස් කළෙත් ඒ දේමයි. (යොහ. 1:40, 41, 43-45; ක්‍රියා 10:1, 2, 24; 16:14, 15, 25-34) ඒ කියන්නේ බව්තීස්ම වෙන්න කලින්ම අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න පුළුවන්ද? ඔව්. බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වුණු අවස්ථාවේ ඉඳන්ම ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්න පුළුවන්. හැකියාවන් සහ තත්වයන් අනුව සේවයේ විවිධ අංගවල හවුල් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.
5 බව්තීස්ම වන ප්‍රචාරකයන් අනිත් අයට ශුභාරංචිය කියන්න උපරිමය කරන බවට කිසිම සැකයක් නැහැ. දේශනා සේවයේ හවුල් වෙන්න පුරුෂයන්ට වගේම ස්ත්‍රීන්ටත් අවස්ථාව තියෙනවා. දේවරාජ්‍යයට සම්බන්ධ වැඩවලට පුංචි විදිහකින් හරි දායක වෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව ඇත්තෙන්ම ලොකු වරප්‍රසාදයක්. සේවයේ විවිධ අංගවල හවුල් වෙමින් වැඩිපුර සේවයක් කරන අයට අනිවාර්යයෙන්ම ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.
අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීම
6 ඔයාගේ සභාවට පවරලා තියෙන ප්‍රදේශයේ නිතර නිතර සේවයේ යන නිසා හැමෝටම වගේ ශුභාරංචිය ගැන දැනගන්න ලැබිලා ඇති. එහෙමනම් අවශ්‍යතාව තියෙන ප්‍රදේශයකට ගියොත් වැඩිපුර සේවයක් කරන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි. (ක්‍රියා 16:9) ඔයා වැඩිමහල්ලෙක් නැත්නම් සහායක සේවකයෙක් නම් ඔයාගේ උදව් අවශ්‍ය සභාවක් තියෙන්න පුළුවන්. චාරිකාවේ අවශ්‍යතා තියෙන සභාවකට උදව් කරන්න ඔයාට පුළුවන් විදිහ ගැන චාරිකා සේවකට හොඳ යෝජනා තියෙයි. රටේ වෙන ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඔයා කැමති නම් ශාඛා කාර්යාලයෙන් තොරතුරු ලබාගන්න පුළුවන්.
7 ඔයා වෙන රටකට ගිහින් සේවය කරන්න කැමතිද? එහෙමනම් ඒ ගැන හොඳට හිතලා බලන්න. ඒ ගැන සභාවේ වැඩිමහල්ලන් එක්කත් කතා කරන්න. මොකද ඒ තීරණය ඔයාට විතරක් නෙවෙයි ඔයාත් එක්ක ඒ ගමනට හවුල් වෙන අයටත් බලපානවා. (ලූක් 14:28) ඔයා වෙන රටකට යන්න තීරණය කරන්නේ ටික කාලයකට විතරක් නම් ඔයා ඉන්න රටේම ඉඳන් සේවය කරන එක වඩාත් සුදුසුයි.
8 සමහර රටවල ඉන්න වැඩිමහල්ලන් අවශ්‍යතාව තියෙන රටවල ඉන්න වැඩිමහල්ලන්ට වඩා හුඟ කාලයක් සත්‍යයේ ඉඳලා තියෙනවා. ඒ නිසා අද්දැකීම් තියෙන ඒ වගේ අය අවශ්‍යතාව තියෙන රටකට ආවාම ඒ රටේ වැඩිමහල්ලන් ඒ අයට පෙරමුණ අරන් වැඩ කරන එක භාර දෙන්න හුඟක් වෙලාවට පෙලඹෙනවා. ඔයා වැඩිමහල්ලෙක් විදිහට වෙන රටක සේවය කරන්න යනවා නම් ඔයා යන්නේ ඒ සභාවේ සහෝදරයන් එක්ක වැඩ කරන්න මිසක් ඒ සහෝදරයන් වෙනුවට වැඩ කරන්න නෙවෙයි කියන කාරණය මතක තියාගන්න. සභාවේ වගකීම් භාර අරන් ඒවා හොඳින් ඉටු කරන්න වෑයම් කරන්න කියලා ඒ සහෝදරයන්ව දිරිගන්වන්න. (1 තිමෝ. 3:1) ඔයාගේ රටේ දේවල් සිද්ධ වුණු විදිහට වඩා ඒ රටේ දේවල් සිද්ධ වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒත් කලබල වෙන්න එපා. වැඩිමහල්ලෙක් විදිහට ඔයාට තියෙන අද්දැකීම් පාවිච්චි කරලා සහෝදරයන්ට උදව් කරන්න. එතකොට කවදා හරි දවසක ඔයාට ආපහු ඔයාගේ රටට යන්න සිද්ධ වුණත් සභාවේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්න ඒ අයට පුළුවන් වෙයි.
9 අවශ්‍යතාව තියෙන රටකට ගිහින් සේවය කරන්න ඔයා කැමති නම් ඒ ගැන සඳහන් කරලා ඔයාගේ සභාවේ සේවා කමිටුවට ලියුමක් දෙන්න ඕනේ. ඊටපස්සේ සේවා කමිටුව ඒ ලියුම සහ ඔයා ගැන ඔවුන්ගේ නිර්දේශය සඳහන් ලියුම, ඔයා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න රටේ ශාඛා කාර්යාලයට යවනවා. ඔයා වැඩිමහල්ලෙක්, සහායක සේවකයෙක්, පුරෝගාමියෙක් නැත්නම් ප්‍රචාරකයෙක් වුණත් ඒ නිර්දේශය ශාඛා කාර්යාලයට යවන්න ඕනේ. ඊටපස්සේ ඔයාගේ උදව් ඕන සභාවන් ගැන ශාඛා කාර්යාලයෙන් ඔයාට දැනුම් දෙයි.
වෙනත් භාෂාවකින් දේශනා කිරීම
10 සංඥා භාෂාව හරි වෙනත් භාෂාවක් හරි ඉගෙනගෙන වැඩිපුර සේවයක් කරන්න ඔයා කැමති නම් සභාවේ වැඩිමහල්ලන් සහ චාරිකා සේවක එක්ක ඒ ගැන කතා කරන්න. ඒ අය ඔයාට ප්‍රයෝජනවත් යෝජනා වගේම දිරිගැන්වීම් දෙයි. ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ සමහර චාරිකාවල ප්‍රචාරකයන්ට සහ පුරෝගාමීන්ට වෙනත් භාෂාවක් උගන්වන්න පන්ති සැලසුම් කරනවා.
පුරෝගාමි සේවය
11 සහායක පුරෝගාමීන්, ස්ථාවර පුරෝගාමීන්, විශේෂ පුරෝගාමීන් ඇතුළු පූර්ණකාලීන සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ප්‍රචාරකයන් දැනගෙන ඉන්න ඕනේ. පුරෝගාමි සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ බලාපොරොත්තු වන පැය ගණන සම්පූර්ණ කරන්න පුළුවන් බව්තීස්ම වුණු ආදර්ශවත් ප්‍රචාරකයන්ට විතරයි. සහායක සහ ස්ථාවර පුරෝගාමීන්ව පත් කරන්නේ සභාවේ සේවා කමිටුවෙන්. විශේෂ පුරෝගාමීන්ව පත් කරන්නේ ශාඛා කාර්යාලයෙන්.
12 එක් එක් කෙනාගේ තත්වයන් අනුව මාසයකට, මාස කිහිපයකට නැත්නම් දිගටම සහායක පුරෝගාමි සේවයේ හවුල් වෙන්න පුළුවන්. යේසුස්ගේ මරණය සිහි කරන කාලයේදී, චාරිකා සේවක එන මාසයේදී වගේ විශේෂ අවස්ථාවලදී හුඟක් අය සහායක පුරෝගාමි සේවය කරනවා. තවත් අය රැකියාවේ නිවාඩු තියෙන මාසයන් ඒ සඳහා තෝරගන්නවා. බව්තීස්ම වුණු දරුවන් පාසැල් නිවාඩු කාලය ඒ සඳහා යොදාගන්නවා. මාර්තු, අප්‍රියෙල් මාසවල සහ චාරිකා සේවක එන මාසයේදී සහායක පුරෝගාමි සේවය කරන්න කැමැත්තෙන් ඉන්න ප්‍රචාරකයන්ගෙන් බලාපොරොත්තු වෙන පැය ගණන අඩු කරලා තියෙන නිසා ඒ මාසවල සහායක පුරෝගාමි සේවය කරන්න හුඟක් අයට පුළුවන්. ඔයා මොන තත්වයක් අද්දකිමින් හිටියත් බයිබලයේ හෙළාදැකලා තියෙන වැරදි ක්‍රියාවන්වල සහ අපවිත්‍ර පුරුදුවල ඔයා නියැලෙන්නේ නැත්නම් ඒ වගේම අවශ්‍ය කරන පැය ගණන වාර්තා කරමින් මාසයකට හරි මාස කිහිපයකට හරි සහායක පුරෝගාමි සේවය කරන්න පුළුවන් නම් වැඩිමහල්ලන් ඔයාට ඒ අවස්ථාව ලබා දෙයි.
13 ස්ථාවර පුරෝගාමියෙක් වෙන්න නම් වසරකට අවශ්‍ය පැය ගණන සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ස්ථාවර පුරෝගාමියෙක් සභාවේ අයත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න ඕනේ. උද්යෝගයෙන් සේවයේ හවුල් වෙන පුරෝගාමීන් ඇත්තෙන්ම සභාවට ආශීර්වාදයක්. ඔවුන්ව දකිද්දී සභාවේ අනිත් අයත් උද්යෝගයෙන් සේවයේ හවුල් වෙන්න පෙලඹෙනවා. පුරෝගාමි සේවය පටන්ගන්න කියලා ඔවුන් සභාවේ ඉන්න අයව දිරිගන්වනවා. ස්ථාවර පුරෝගාමියෙක් වෙන්න ඔයා කැමති නම් ඔයා ආදර්ශවත් ප්‍රචාරකයෙක් වෙන්න ඕනේ. ඒ වගේම බව්තීස්ම වෙලා මාස හයක්වත් ගත වෙලා තියෙන්න ඕනේ.
14 සාමාන්‍යයෙන් ස්ථාවර පුරෝගාමි සේවය සාර්ථකව කරන අයව තමයි විශේෂ පුරෝගාමීන් හැටියට පත් කරන්නේ. ශාඛා කාර්යාලයෙන් ලැබෙන ඕනෙම ප්‍රදේශයක සේවය කරන්න ඒ අය කැමැත්තෙන් ඉන්න ඕනේ. හුඟක් වෙලාවට ශුභාරංචිය ගැන අහන්න ලැබිලා නැති ප්‍රදේශවලට පුරෝගාමීන්ව යවන්නේ ඒ ප්‍රදේශවල සුදුස්සන්ව හොයාගන්නත් අලුතින් සභාවන් පිහිටුවන්නත් පුළුවන් වෙන නිසයි. දේශනා කරන්න පැවරිලා තියෙන ප්‍රදේශය ආවරණය කරන්න උදව් ඕන සභාවලටත් පුරෝගාමීන්ව යවනවා. වැඩිමහල්ලන් විදිහට සේවය කරන සමහර පුරෝගාමීන්ව පුංචි සභාවන්වලට යවන්නේ සේවයට අවශ්‍යතාවක් තියෙන නිසාම නෙවෙයි, ඒ සභාවට උදව් ඕන නිසයි. විශේෂ පුරෝගාමීන්ගේ වියදම් පියවාගන්න හැම මාසෙකම සුළු දීමනාවක් දෙනවා. සමහර අයට තාවකාලික විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්නත් අවස්ථාව ලැබෙනවා.
මිෂනාරි සේවය
15 මිෂනාරිවරුන්ව පත් කරන්නේ පාලක මණ්ඩලයේ සේවා කමිටුවයි. ඔවුන් සේවය කරන්න යන රටේ ශාඛා කමිටුව ජනාකීර්ණ ප්‍රදේශවල සේවය කරන්න ඔවුන්ට පැවරුම් දෙනවා. වෙහෙස නොබලා වැඩ කරන මිෂනාරිවරුන් සේවයට අදාළ වැඩකටයුතු සාර්ථකව කරන්නත් සභාවන් ශක්තිමත් කරන්නත් දායක වෙනවා. හුඟක් වෙලාවට මිෂනාරිවරුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලෙන් පුහුණුවක් ලැබෙනවා. ඔවුන්ට නවාතැන් පහසුකම් වගේම වියදම් පියවාගන්න සුළු දීමනාවක් මාසිකව දෙනවා.
චාරිකා සේවය
16 පාලක මණ්ඩලයෙන් යම් කෙනෙක්ව චාරිකා සේවක විදිහට පත් කරන්න කලින් ඔහුව ආදේශක චාරිකා සේවකයෙක් විදිහට පත් කරලා පුහුණුවක් ලබා දෙනවා. සතුටින් සේවයේ හවුල් වෙන ඒ අය සහෝදර සහෝදරියන්ට සලකන්නේ හරිම ආදරෙන්. ඒ අය උද්යෝගයෙන් සේවයේ හවුල් වෙනවා. උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරනවා. දක්ෂ විදිහට උගන්වන්නත් දේශන දෙන්නත් ඒ අයට පුළුවන්. දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්නා ඔවුන් හැම දෙයක්ම සමබරව සාධාරණව සහ හොඳ සිහිකල්පනාවෙන් කරන්නත් වගබලා ගන්නවා. ඔහු විවාහක නම් පුරෝගාමි සේවයේ නියැලෙන ඔහුගේ භාර්යාව හැසිරීම සම්බන්ධයෙනුත් අනිත් අය එක්ක කටයුතු කරන විදිහ සම්බන්ධයෙනුත් ආදර්ශවත් වෙන්න ඕනේ. ඒ වගේම සේවයේ දක්ෂ වෙන්නත් ඕනේ. ස්වාමිපුරුෂයාට යටත්ව ඉන්න ඕනෙ කියලා වටහාගෙන ඉන්න භාර්යාව ඔහු හසුරුවන්න ඕන දේවල් හසුරුවන්න උත්සාහ කරන්නේවත් කතාබහක යෙදෙනකොට තමන් විතරක් කතා කරන්නේවත් නැහැ. චාරිකා සේවකට සහ ඔහුගේ භාර්යාවට තියෙන්නේ කාර්යබහුල කාලසටහනක්. ඒ නිසා ඒ සේවය කරන්න කැමැත්තෙන් ඉන්න අයට හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන එක වැදගත්. සාමාන්‍යයෙන් පුරෝගාමීන් චාරිකා සේවයට අයදුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් චාරිකා සේවයේ හවුල් වෙන්න කැමති නම් ඒ ගැන චාරිකා සේවක එක්ක කතා කරන්න ඕනේ. එතකොට චාරිකා සේවක ඒ අයට යම් යෝජනාවන් ලබා දෙනවා.
විවිධ පාසැල්
17 කලාතුරකින් සේවය කරන ප්‍රදේශ ආවරණය කරන්නත් ඒ ප්‍රදේශවල තියෙන සභාවලට අවශ්‍ය උපකාර ලබා දෙන්නත් ප්‍රචාරකයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා. තනිකඩ සහෝදර සහෝදරියන්ට වගේම විවාහකයන්ටත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න පුළුවන්. ඒ පාසැලෙන් පුහුණුව ලබපු අයට තමන්ගේ රටේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල ස්ථාවර පුරෝගාමීන් විදිහට සේවය කරන්න පැවරුම් ලැබෙනවා. තත්වයන් ඉඩ දෙනවා නම් සමහර අයට තමන්ගේම රටේ නැත්නම් වෙන රටක වෙනත් පැවරුමක් වුණත් ලැබෙන්න පුළුවන්. තාවකාලික විශේෂ පුරෝගාමීන් විදිහට හරි විශේෂ පුරෝගාමීන් විදිහට හරි සේවය කරන්නත් කිහිපදෙනෙක්ට පැවරුම් ලැබෙයි. මේ පාසැලට සහභාගි වෙන්න කැමති පුරෝගාමීන්ට තුන්දින සමුළුවේදී ඒ අය වෙනුවෙන් පවත්වන රැස්වීමට සහභාගි වීමෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
18 විශේෂ පූර්ණකාලීන සේවකයන් අතරින් ඉංග්‍රීසි දන්න තනිකඩ සහෝදර සහෝදරියන්ට සහ විවාහකයන්ට ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට යන්න අවස්ථාව ලැබෙනවා. ක්ෂේත්රයේ හරි ශාඛා කාර්යාලයේ හරි වැඩකටයුතු හොඳින් කරන්න ඒ අයට හැකියාව තියෙන්න ඕනේ. ඒ පාසැලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන අය, අනිත් අය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි කියලත් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න අනිත් අයට කාරුණිකව උදව් කරන්න පුළුවන් කියලත් ඔප්පු කරලා තියෙනවා. පාසැලට යන්න අයදුම්පත් දෙන්නේ කාටද කියලා තීරණය කරන්නේ ශාඛා කමිටුවයි. පාසැලට සහභාගි වෙන අයට තමන්ගේම රටේ හරි වෙන රටක හරි ක්ෂේත්රයේ නැත්නම් බෙතෙල් එකේ වැඩ කරන්න පැවරුම් ලැබෙනවා.
බෙතෙල් සේවය
19 බෙතෙල් සේවය ඇත්තෙන්ම වරප්‍රසාදයක්. දෙවියන්ට කරන නමස්කාරයට සම්බන්ධ වැඩකටයුතු මූලිකව සිද්ධ වෙන්නේ බෙතෙල් එකේ. ඒ නිසා “දෙවියන්ගේ ගෘහය” කියන අදහස දෙන බෙතෙල් කියන නමින් ඒක හඳුන්වන එක උචිතයි. ලිපි ලේඛන සකස් කරන්න, පරිවර්තනය කරන්න වගේම ප්‍රකාශන බෙදාහරින්න බෙතෙල් සේවකයන් හුඟක් මහන්සි වෙනවා. පොළොව පුරාම තියෙන සභාවන්වලට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන පාලක මණ්ඩලයට ඒ අය කරන සේවය හුඟක් වටිනවා. පරිවර්තකයන් විදිහට වැඩ කරන හුඟක් බෙතෙල් සේවකයන් පරිවර්තන වැඩ කරන්නේ අදාළ භාෂාව කතා කරන මිනිසුන් ගැවසෙන ප්‍රදේශවල ඉඳලයි. ඒ නිසා ඔවුන් පරිවර්තනය කරන භාෂාව මිනිසුන් අතරේ එදිනෙදා භාවිත වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් ඒ භාෂාවෙන් නිකුත් කරන පොත් පත් මිනිසුන්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්ද කියලා දැනගන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.
20 බෙතෙල් එකේ තියෙන වැඩ කරන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා හුඟක් වෙලාවට බෙතෙල් එකට ගන්නේ බව්තීස්ම වුණු නිරෝගී යෞවන සහෝදරයන්ව. ඔයා ජීවත් වෙන රටේ බෙතෙල් එකේ අවශ්‍යතාවක් තියෙනවා නම් ඒ වගේම බෙතෙල් එකේ වැඩ කරන්න ඔයා කැමති නම් ඒ ගැන ඔයාගේ සභාවේ වැඩිමහල්ලන්ගෙන් වැඩි තොරතුරු දැනගන්න පුළුවන්.
ඉදි කිරීම් සේවය
21 සලමොන්ගේ දේවමාලිගාව ඉදි කරන්න හවුල් වුණු අය පරිශුද්ධ සේවයක් කළා වගේ අදත් නමස්කාරයට සම්බන්ධ ගොඩනැඟිලි ඉදි කරන්න හවුල් වෙන අය කරන්නේ පරිශුද්ධ සේවයක්. (1 රාජා. 8:13-18) හුඟක් සහෝදර සහෝදරියන් ඔවුන්ගේ කාලය සහ ඔවුන් සතු වටිනා දේවල් ඉදි කිරීමේ වැඩකටයුතු වෙනුවෙන් යොදවනවා.
22 ඔයා බව්තීස්ම වුණු කෙනෙක් නම් ඒ වගේම ඉදි කිරීම් කටයුතුවලට හවුල් වෙන්න කැමති නම් ඒ ගැන ඔයාගේ සභාවේ වැඩිමහල්ලන්ට කියන්න. ඔයා ඉන්න ප්‍රදේශයේ ඉදි කිරීමේ වැඩ භාරව ඉන්න සහෝදරයන් අවශ්‍ය පුහුණුව දීලා ඔයාව ඒ වැඩවලට හවුල් කරගන්න කැමති වෙයි. සුදුසුකම් තියෙන බව්තීස්ම වුණු සමහර ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා වෙනත් රටවල සිද්ධ වෙන ඉදි කිරීම් කටයුතුවලට සහභාගි වෙන්න.
23 ඉදි කිරීමේ කටයුතුවලට හවුල් වෙන්න අවස්ථා ඕන තරම් තියෙනවා. බව්තීස්ම වුණු ආදර්ශවත් වගේම හැකියාවන් තියෙන ප්‍රචාරකයන්ට අවස්ථාව තියෙනවා තමන් ජීවත් වෙන ප්‍රදේශයේ සිද්ධ වෙන ඉදි කිරීම් ව්‍යාපෘතිවලට සහභාගි වෙන්න. ඒ අයව හඳුන්වන්නේ ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් සඳහා ස්වේච්ඡා සේවකයන් හැටියටයි. ඈත ප්‍රදේශවල සිද්ධ වෙන ඉදි කිරීම් සඳහා හවුල් වෙන්නත් තවත් අයට අවස්ථාව ලැබෙනවා. ඒ අයව පත් කරන්නේ ශාඛා කාර්යාලයෙනුයි. සති දෙකත් මාස තුනත් අතර කාලයක් සේවය කරන්න අවස්ථාව ලැබෙන ඒ අයව හඳුන්වන්නේ ඉදි කිරීම් අංශයේ ස්වේච්ඡා සේවකයන් හැටියටයි. දීර්ඝ කාලයක් පුරා සිද්ධ වෙන ඉදි කිරීම්වලට හවුල් වෙන්න අවස්ථාව ලැබෙන අයව හඳුන්වන්නේ ඉදි කිරීම් සේවකයන් හැටියටයි. ඒ අයට වෙන රටක ඉදි කිරීම් කටයුතුවලට හවුල් වෙන්න අවස්ථාව ලැබුණාම ඔවුන්ව හඳුන්වන්නේ විදේශීය ඉදි කිරීම් සේවකයන් හැටියටයි. ඉදි කිරීම් කණ්ඩායමේ ඉන්න ඉදි කිරීම් සේවකයන් සහ ඉදි කිරීම් අංශයේ ස්වේච්ඡා සේවකයන් තමයි ඉදි කිරීම් කටයුතුවල පෙරමුණ අරන් වැඩ කරන්නේ. ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් සඳහා ස්වේච්ඡා සේවකයන් සහ අදාළ සභාවන්වලින් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ඉදිරිපත් වෙලා ඉන්න අය ඔවුන්ට උදව් වෙනවා. ඉදි කිරීම් ව්‍යාපෘතියක් අවසන් වුණාම ඉදි කිරීම් කණ්ඩායමේ අය තමන්ගේ රටේම සිද්ධ වෙන වෙනත් ප්‍රදේශයක ඉදි කිරීම් කටයුතු සඳහා සහභාගි වෙනවා.
දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න ඉලක්කයක් තියෙනවාද?
24 ඔයා යෙහෝවා දෙවියන්ට කැප වෙලා ඉන්න කෙනෙක් නම් හැමදාටම දෙවියන්ට සේවය කරන්න ඔයා ආසාවෙන් ඇති. දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද? ඔයාගේ ශක්තියත් ඔයා සතුව තියෙන වටිනා දේවලුත් ඥානවන්තව පාවිච්චි කරන්න ඒක ඔයාට උදව් වෙයි. (1 කොරි. 9:26) ඒ වගේම දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් වඩා වැදගත් දේවලට මුල් තැන දෙන්නත් ඔයාට පුළුවන් වෙනවා.—ෆිලි. 1:10; 1 තිමෝ. 4:15, 16.
25 දෙවියන්ට සේවය කරන්න ඕන විදිහ ගැන පාවුල් අපිට කදිම ආදර්ශයක් තියලා තියෙනවා. (1 කොරි. 11:1) යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔහු තමන්ට පුළුවන් උපරිමය කළා. දෙවියන්ට සේවය කරන්න හුඟක් ප්‍රස්තාවන් දෙවියන් තමන්ට දීලා තියෙනවා කියලා පාවුල් හොඳින්ම තේරුම් අරන් හිටියා. ඒ නිසා තමයි “සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් මට එහි විවෘත වී ඇත” කියලා ඔහු කිව්වේ. පාවුල්ට වගේ අපිටත් දෙවියන්ට සේවය කරන්න “විශාල ප්‍රස්තාවක්” තියෙනවා. ඔව්, සභාවේ වැඩකටයුතුවලදීත් සේවයට අදාළ වැඩකටයුතුවලදීත් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපිට ඕන තරම් අවස්ථාවන් තියෙනවා. හැබැයි ඒ ප්‍රස්තාව අල්ලාගන්න උත්සාහ කරද්දී පාවුල්ට හුඟක් අය විරුද්ධ වුණා වගේ අපිටත් හුඟක් අය විරුද්ධ වෙයි. (1 කොරි. 16:9) පාවුල් තමන්වම හික්මවාගන්න ඉගෙනගෙන තිබුණා. ඔහු ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.” (1 කොරි. 9:24-27) අපිත් ඒ දේ කරනවාද?
දෙවියන්ට වැඩි සේවයක් කරන්න ඉලක්කයක් තියාගන්න එක ඔයාගේ ශක්තියත් වටිනා දේවලුත් ඥානවන්තව පාවිච්චි කරන්න උදව් වෙයි
26 එක් එක් කෙනාගේ තත්වයන් අනුව දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න හැමෝටම ඉලක්කයක් තියාගන්න පුළුවන්. පූර්ණකාලීන සේවයේ නියැලෙන හුඟක් අය පොඩි කාලේ ඉඳලාම ඒකට උදව් වෙන ඉලක්කයන් තියාගෙන තියෙනවා. දෙමාපියන්ගෙන් වගේම තවත් අයගෙන් හුඟක් දිරිගැන්වීම් ඔවුන්ට ලැබිලා තියෙනවා. පූර්ණකාලීන සේවයේ හවුල් වෙන ඔවුන් දැන් ලොකු සතුටක් අද්දකිනවා. ඒ ගැන දුක් වෙන්න ඔවුන්ට කිසිම හේතුවක් නැහැ. (හිතෝ. 10:22) හැම සතියකම සේවයේ හවුල් වෙන්න, බයිබල් පාඩමක් පටන් අරන් ඒක දිගටම කරගෙන යන්න එහෙමත් නැත්නම් රැස්වීම්වල කොටස්වලට හොඳින් සූදානම් වෙන්න වගේ දේවල් සම්බන්ධයෙනුත් අපිට ඉලක්ක තියාගන්න පුළුවන්. වඩා වැදගත් දේ වෙන්නේ අපි අපිට පැවරිලා තියෙන සේවය උපරිමයෙන් කරමින් ඒක සම්පූර්ණ කරන එකයි. අපි ඒ දේ කරද්දී යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්නත් හැමදාටම දෙවියන්ට සේවය කරන්න අපිට තියෙන ආශාව ඉටු කරගන්නත් පුළුවන් වෙනවා.—ලූක් 13:24; 1 තිමෝ. 4:7ආ, 8.