12වෙනි පරිච්ඡේදය
දේවරාජ්‍යයට සම්බන්ධ වැඩකටයුතුවලට සහයෝගය දීම
යේසුස් අවසාන කාලය ගැන කියලා තියෙන අනාවැකිය ඇත්තක් කරමින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “පොළොවේ දුර ඈත කෙළවරවලද” සාක්ෂි දරලා තියෙනවා. (ක්‍රියා 1:8; මතෙ. 24:14) ඒ වෙනුවෙන් ඔවුන් තම කාලය, ශ්‍රමය යොදවලා තියෙන්නේ කැමැත්තෙන්මයි. යෙහෝවා දෙවියන් තම සේවකයන්ගේ අවශ්‍යතා ඉටු කරන බව හොඳින්ම දන්නා ඔවුන් දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දීලා තියෙනවා. (මතෙ. 6:25-34; 1 කොරි. 3:5-9) සේවයේ ප්‍රතිඵල දිහා බලද්දී යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ඊට ලැබෙනවා කියලා හොඳින්ම පැහැදිලියි.
ලොව පුරා සිදු වන වැඩකටයුතුවලට සහයෝගය දීම
2 අපි කිසිම අය කිරීමක් නැතුව බයිබල් සහ ඒ මත පදනම් පොත් පත් බෙදාහරිනවා දකිද්දී සමහරු අහනවා “කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ” කියලා. ඇත්ත, ඒ පොත් පත් මුද්‍රණය කරන්න මුදල් වැය වෙනවා. ඒ විතරක් නෙවෙයි මුද්‍රණාලවල වැඩ කරන්න, සේවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන්න වගේම දේශනා සේවයට සම්බන්ධ අනිත් වැඩකටයුතු කරන්න පුළුවන් වෙන විදිහට බෙතෙල් නිවාස ඉදි කරන්නත් ඒවා නඩත්තු කරන්නත් මුදල් වැය වෙනවා. ඊට අමතරව චාරිකා සේවකයන්, මිෂනාරිවරුන්, විශේෂ පුරෝගාමීන් ඇතුළු පූර්ණකාලීන සේවකයන්ගේ අවශ්‍යතා පියවන්නත් මුදල් වැය වෙනවා. අපේ රටේ වගේම වෙනත් රටවලත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට ලොකු මුදලක් වැය වෙනවා කියලා ඒ හැම දේකින්ම පැහැදිලියි. ඒත් ඒවාට මුදල් ලැබෙන්නේ කොහෙන්ද?
3 සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් මිනිසුන්ට උගන්වන එක අගය කරන හුඟක් අය කැමැත්තෙන්ම ඒ වෙනුවෙන් සම්මාදම් ඉදිරිපත් කරනවා. කොහොමවුණත් අපේ වැඩකටයුතුවලට අවශ්‍ය කරන මුදල් මූලිකවම ලැබෙන්නේ සාක්ෂිකරුවන්ම කරන සම්මාදම්වලින්. සමහර සාක්ෂිකරුවන් ඔවුන්ගේ සම්මාදම් කෙළින්ම ශාඛා කාර්යාලයට එවනවා. අතීතයේදී දෙවියන්ට නමස්කාර කරන්න ගොඩනැඟිලි ඉදි කරද්දී ඒවාට අවශ්‍ය කරන දේවල් කැමැත්තෙන්ම දීපු දෙවියන්ගේ සේවකයන් වගේ තමයි සාක්ෂිකරුවනුත් කටයුතු කරන්නේ. (නික්. 35:20-29; 1 ලේක. 29:9) සමහර අය අන්තිම කැමති පත්‍රයක් මාර්ගයෙන් තමන්ගේ දේපළ පවරමින් විශාල වශයෙන් පරිත්‍යාගයන් කරද්දී තවත් අය පෞද්ගලිකව, සභාවන් සහ චාරිකා මට්ටමෙන් තමන්ට පුළුවන් විදිහට ශාඛා කාර්යාලයට සම්මාදම් එවනවා. ඒ විදිහට ලැබෙන සම්මාදම් නිසා දේශනා කටයුතු දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා.
තමන් සතු මුදල් වගේම වටිනා දේවල් දේශනා කටයුතු වෙනුවෙන් යොදවන්න ලැබෙන එක සාක්ෂිකරුවන් සලකන්නේ වරප්‍රසාදයක් විදිහටයි
4 තමන් සතු මුදල් වගේම වටිනා දේවල් දේශනා කටයුතු වෙනුවෙන් යොදවන්න ලැබෙන එක සාක්ෂිකරුවන් සලකන්නේ වරප්‍රසාදයක් විදිහටයි. පුරාණයේ ඉඳලාම දෙවියන්ගේ සෙනඟ සම්මාදම් ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයකට දේශනා කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන වියදම් පියවාගන්න යේසුස් සහ ඔහුගේ ගෝලයන් මුදල් පෙට්ටියක් වෙන් කරලා තිබුණා. (යොහ. 13:29) ඒ වගේම සමහර ස්ත්‍රීන් යේසුස්ට සහ ගෝලයන්ට උපස්ථාන කරලා තියෙනවා. (මාක් 15:40, 41; ලූක් 8:3) දේශනා කිරීමේ වැඩකටයුතු හොඳින් සිද්ධ වෙනවා දකින්නත් පාවුල් කරමින් හිටිය සේවය වෙනුවෙන් යමක් කරන්නත් ඉදිරිපත් වුණු අය කැමැත්තෙන්ම ඒ වෙනුවෙන් යම් දේවල් දෙද්දී පාවුල් ඒවා සතුටින් භාර අරන් තියෙනවා. (ෆිලි. 4:14-16; 1 තෙස. 2:9) ඒ විදිහට උද්යෝගයෙන් සේවය කරපු සහ කැමැත්තෙන්ම දේවල් දීපු අයගේ ආදර්ශය තමයි අදටත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ අනුගමනය කරන්නේ. ප්‍රතිඵලයක් විදිහට අවංක හදවත් තියෙන අයට “ජීවනදායක වතුර නොමිලේ” ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.—එළි. 22:17.
සභාවේ වියදම් පියවාගැනීමට සහයෝගය දීම
5 සභාවේ වියදම් පියවාගන්නෙත් සම්මාදම්වලින්. හැබැයි කිසිම වෙලාවක ඒ වෙනුවෙන් මුදල් එකතු කරන්නේවත් එක් එක් කෙනා කොච්චර මුදලක් දෙන්න ඕනෙද කියලා ගණන් බලන්නේවත් මුදල් ඉල්ලන්නේවත් නැහැ. ඒ වෙනුවට හැම සභාවකම සම්මාදම් පෙට්ටි තියලා තියෙනවා. ඒ නිසා “තම තමාගේ සිතින් තීරණය” කරලා කැමැත්තෙන්ම සම්මාදම් කරන්න හැමෝටම පුළුවන්.—2 කොරි. 9:7.
6 සභා සම්මාදම් මූලිකවම යොදාගන්නේ නමස්කාර මධ්‍යස්ථානයට අදාළ වැඩකටයුතු වෙනුවෙන්. සම්මාදම්වලින් යම් ප්‍රමාණයක් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් ශාඛා කාර්යාලයට යවන්න සභාවේ වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සභාවක් විදිහට සම්මුතියක් ගන්න ඕනේ. ඒ විදිහට හුඟක් සභාවලින් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් නොකඩවාම සම්මාදම් ඉදිරිපත් කරනවා. කාලෙන් කාලෙට ඇති වෙන අවශ්‍යතා ගැන සභාවේ හැමෝම හොඳ අවධානයකින් ඉන්නවා නම් සම්මාදම් ගැන නිතර නිතර නිවේදනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
සභාවේ සම්මාදම් පෙට්ටිවලට දමන මුදල්
7 හැම රැස්වීමක්ම ඉවර වුණාට පස්සේ සහෝදරයන් දෙන්නෙක් සම්මාදම් පෙට්ටිවල තියෙන සල්ලි ගණන් කරලා ඒ ගැන සටහන් කරගන්නවා. (2 රාජා. 12:9, 10; 2 කොරි. 8:20) ඒ මුදල් ශාඛා කාර්යාලයට යවන කල් හරි සභාවේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන කල් හරි ආරක්ෂිතව තියාගන්න වැඩිමහල් මණ්ඩලය වගබලා ගන්නවා. සභාවේ ගිණුම් භාරව කටයුතු කරන සහෝදරයා සභාවට දැනුම් දෙන්න, හැම මාසයකම ගිණුම් වාර්තාවක් පිළියෙල කරනවා. වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක හැම මාස තුනකටම සැරයක් ගිණුම් විගණනය කරන්න කටයුතු සැලසුම් කරනවා.
චාරිකාවේ වියදම්
8 චාරිකා සමුළුවල වගේම චාරිකාවේ අනිත් වියදම් පියවීමේ වගකීම තියෙන්නේ ඒ චාරිකාවට අදාළ සභාවලටයි. හැම සමුළුවකදීම සම්මාදම් පෙට්ටි තියලා තියන නිසා චාරිකාවේ වියදම් වෙනුවෙන් ඒවාට සම්මාදම් දාන්න පුළුවන්. ඒ වගේම වෙනත් අවස්ථාවලදී චාරිකාවට අමතර වියදම් දරන්න වෙනවා නම් ඒවා පියවගන්න අවශ්‍ය කරන මුදල් ඒ චාරිකාවට අයිති සභාවලින් සම්මාදම් විදිහට ලබාගන්න පුළුවන්.
9 සාමාන්‍යයෙන් චාරිකාවකට ලැබෙන සම්මාදම්වලින් ඒ චාරිකාවට අදාළ වියදම් පියවගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වියදම් පියවගත්තාට පස්සේ යම් මුදලක් ඉතුරු වුණොත් ඒ මුදල ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් යවනවා. සමහරවිට චාරිකා සමුළුවට අදාළ වියදම් පියවගන්න චාරිකා ගිණුමේ මුදල් නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊළඟ චාරිකා සමුළුවට ශාලාවක් කුලියට ගන්න ඕන කරන අත්තිකාරම් මුදල ඇතුළු මූලික වියදම් සඳහා චාරිකා ගිණුමේ මුදල් නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ මුදල පියවගන්න දායක වෙන්න කියලා සභාවලට දැනුම් දෙන්න චාරිකා සේවක පියවර ගන්නවා. වැඩිමහල් මණ්ඩලය ඒ ගැන සාකච්ඡා කරලා තමන්ගේ සභාව කොයි තරම් මුදලක් දෙන්න ඕනෙද කියලා තීරණය කරනවා. ඊටපස්සේ ඔවුන් ඒ සඳහා සම්මුතියක් ගන්නවා.
10 චාරිකාවේ මුදල් සම්බන්ධයෙන් අවධානයට ලක් කළ යුතු කාරණා තියෙනවා නම් චාරිකා සමුළුව පවත්වන දවසකදී ඒ චාරිකාවට අදාළ වැඩිමහල්ලන්ගේ රැස්වීමක් පවත්වලා ඒ ගැන සාකච්ඡා කරනවා. චාරිකාවට සම්බන්ධ තෝරාගත් වියදම් හැරුණුකොට වෙන දේකට ඒ මුදල් පාවිච්චි කරනවා නම් ඒ හැම අවස්ථාවකදීම සම්මුතියක් ගන්න ඕනේ. වැය කරන්න යන ඒ මුදල් ප්‍රමාණය නිශ්චිතව වාර්තා කළ යුතු අතර එය සම්මුතියක් සඳහා වැඩිමහල්ලන්ට ඉදිරිපත් කරන්න ඕනේ. චාරිකාවේ ගිණුමේ තියෙන මුදල් වෙනත් කටයුත්තක් සඳහා යොදවන හැම අවස්ථාවකම මේ ක්‍රමයට ඒ සඳහා අවසර ගන්න ඕනේ.
11 චාරිකාවට අදාළ ගිණුම් කාලෙන් කාලෙට විගණනය කරන්න සැලසුම් කරනවා.
දිලිඳු අය ගැන සැලකිලිමත් වීම
12 යේසුස් සහ ගෝලයන් මුදල් පෙට්ටියක් පවත්වාගෙන යන්න හේතු වුණු මූලිකම කාරණා අතරට දුප්පත් අයට උදව් කරන එකත් ඇතුළත් වුණා. (මාක් 14:3-5; යොහ. 13:29) යේසුස් කිව්වා “දිලිඳු අය නම් ඔබ සමඟ හැමදාම සිටිනවා” කියලා. දිලිඳු අයට උදව් කිරීමේ වගකීම අදටත් තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. (මාක් 14:7) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ වගකීම ඉටු කරන්නේ කොහොමද?
13 මහලු වයස, අසනීප එහෙමත් නැත්නම් හදිසි විපතක් නිසා සමහර අවස්ථාවලදී සභාවේ අයට අනිත් අයගේ උදව් ඕන වෙයි. ඒ වගේ අවස්ථාවලදී පවුලේ අය, නෑදෑයන් සහ අනිත් අය ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙයි. නියෝජිත යොහන් මෙහෙම කියලා තියෙනවා. “එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක් තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත් ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම් එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද? ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු.” (1 යොහ. 3:17, 18; 2 තෙස. 3:6-12) අවශ්‍යතා තියෙන අපේ සහෝදර සහෝදරියන්ට උපකාර කරන එකත් අපේ නමස්කාරයට අයිතියි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—යාකො. 1:27; 2:14-17.
14 අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න පුළුවන් විදිහ ගැන පාවුල් සඳහන් කළා. ඒ ගැන 1 තිමෝති 5:3-21 සඳහන් වෙනවා. පවුලේ අයගේ අවශ්‍යතා බලා කියා ගැනීමේ මූලිකම වගකීම තියෙන්නේ පවුලේ අයටමයි. මහලු අයවත් දුර්වල සෞඛ්‍යයකින් පසු වන අයවත් ඒ අයගේ දරුවන්, මුණුබුරු මිණිබිරියන් එහෙමත් නැත්නම් කිට්ටු ඥාතීන් බලා කියා ගන්න ඕනේ. සමහර අවස්ථාවලදී රජයෙන්, සමාජ සේවා වැඩසටහන්වලින් මහලු අයට උපකාර කරන්න යම් වැඩකටයුතු සැලසුම් කරනවා. ඒ නිසා මහලු අයගේ නෑදෑයන් හරි වෙන අය හරි ඒ වැඩකටයුතුවලින් ප්‍රයෝජන ගන්න ඒ අයට උදව් කරන්න ඕනේ. සමහර අවස්ථාවලදී දිගු කාලයක් තිස්සේ දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා තියෙන මහලු අයව බලා කියා ගැනීමේ වගකීම සභාව මාර්ගයෙන් ඉටු කරන්න සිද්ධ වෙයි. ඒ අයට උදව් කරන්න පවුලේ අයවත් නෑදෑයන්වත් නැත්නම් ඒ වගේම රජයෙන් ඒ අයට කිසිම සහනයක් සලසලා නැත්නම් වැඩිමහල් මණ්ඩලය ඒ අයව බලා කියා ගැනීම සම්බන්ධයෙන් යම් වැඩකටයුතු සැලසුම් කරයි. අවශ්‍යතාව තියෙන ඒ අය වෙනුවෙන් තමන් සතු වටිනා දේවල් යොදවන්න ලැබෙන එක ක්‍රිස්තියානීන් සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි.
15 පීඩා, යුද්ධ, භූමිකම්පා, ජලගැලීම්, සාගත නැත්නම් මේ අවසාන කාලයේදී මුහුණ දෙන්න වෙන වෙනත් දෙයක් නිසා හුඟක් සහෝදර සහෝදරියන්ට අපේ උපකාරය අවශ්‍ය වෙන්න පුළුවන්. (මතෙ. 24:7-9) ඒ වගේ අවස්ථාවලදී ඒ අයට අවශ්‍ය දේවල් සපයන්න අදාළ රටේ සහෝදර සහෝදරියන්ට හැකියාවක් නැත්නම් වෙන රටවල සහෝදරයන් මාර්ගයෙන් ඒ අයගේ අවශ්‍යතා සපුරන්න පාලක මණ්ඩලය සැලසුම් කරයි. යුදයේ හිටිය ක්‍රිස්තියානීන් සාගතයකට මුහුණ දීපු වෙලේ කුඩා ආසියාවේ හිටිය ක්‍රිස්තියානීන් ඒ අයට උදව් කළා. (1 කොරි. 16:1-4; 2 කොරි. 9:1-5) ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරනවා නම් අපිත් ඇත්තටම අපේ සහෝදරයන්ට ආදරෙයි කියලත් අපි යේසුස්ගේ සැබෑ ගෝලයන් කියලත් ඔප්පු වෙනවා.—යොහ. 13:35.
ප්‍රකාශන බෙදාහැරීම
16 ශුභාරංචිය හැමෝටම දැනුම් දෙන්න බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශනවලින් ලොකු වැඩ කොටසක් ඉටු වෙනවා. සාමාන්‍යයෙන් සභාවේ පොත් පත් භාරව කටයුතු කරන්න වැඩිමහල් මණ්ඩලය සහායක සේවකයෙක්ව පත් කරනවා. පොත් පත් බලාගන්න සහෝදරයන් ඒ වගකීම සැහැල්ලුවට ගන්නේ නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් වාර්තා තියාගන්න නිසා සභාවේ අයට අවශ්‍ය පොත් පත් නිතරම සභාවේ තියෙනවා.
17 අපේ කාලය, හැකියාවන්, ධන සම්පත්, අපේ ජීවිතය ඇතුළු හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ දෙවියන් වෙනුවෙන් සේවය කරන්නයි. (ලූක් 17:10; 1 කොරි. 4:7) ඒ හැම දෙයක්ම දෙවියන් වෙනුවෙන් යොදවද්දී අපි ඇත්තටම දෙවියන්ට ආදරේ බව පැහැදිලි වෙනවා. අපි සතුව තියෙන වටිනා දේවල් දෙවියන් වෙනුවෙන් යොදවද්දී ඔහු ඒ ගැන කොයි තරම් සතුටු වෙනවාද කියලා අපි දන්නවා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ කැමැත්තෙන්ම ඒ හැම දෙයක්ම දෙවියන් වෙනුවෙන් යොදවන්නයි. (හිතෝ. 3:9; මාක් 14:3-9; ලූක් 21:1-4; කොලො. 3:23, 24) “ඔබට එසේ කිරීමට බලය ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න” කියලා යේසුස් කිව්වා. (මතෙ. 10:8) අපි අපේ ජීවිතයත් අපි සතුව තියෙන දේවලුත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් යොදවද්දී අපිට ඒකෙන් ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.—ක්‍රියා 20:35.