මාර්තු
මාර්තු 1, බදාදා
“මගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.”—මතෙ. 25:40.
මතෙව් 25:31-36 කියන ‘බැටළුවන්ගෙන්’ නියෝජනය වුණේ අන්තිම කාලේදී මේ පොළොවේ ජීවත් වෙන ධර්මිෂ්ඨ අයවයි. එයාලා තමයි මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෙනත් බැටළුවන්. අභිෂේක ලත් අයට සම්පූර්ණ සහයෝගයක් දක්වන්න එයාලා මූලිකවම කරන්නේ මොකක්ද? එයාලා අභිෂේක ලත් අයට පැවරිලා තියෙන දේශනා කරන සහ යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේට සහය වෙනවා. (මතෙ. 24:14; 28:19, 20) හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කිරීම ළං වෙද්දී වෙනත් බැටළුවන් ලෝක ව්යාප්තව සංවිධානය කරලා තියෙන විශේෂ වැඩසටහනට හවුල් වෙලා පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරනවා. ඒ වගේම ඒ සැමරීම හොඳින් සංවිධානය කරන්නත් එයාලා උපරිමය කරනවා. අභිෂේක ලත් අයට සහයෝගය දෙන එකෙන් වෙනත් බැටළුවන්ට දැනෙන්නේ ලොකු සතුටක්. මොකද එයාලා දන්නවා ක්රිස්තුස්ගේ සහෝදරයන්ට සහයෝගය දක්වන එකෙන් එයාලා ඇත්තටම කරන්නේ යේසුස්ට සහයෝගය දෙන එකයි කියලා.—මතෙ. 25:37-40. w22.01 22 11-12¶
මාර්තු 2, බ්රහස්පතින්දා
“මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.”—යොහ. 14:9.
“මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා යේසුස් කිව්වා. යේසුස් එහෙම කිව්වේ ඔහු හැම පැත්තකින්ම යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගත්ත නිසයි. උදාහරණෙකට යේසුස් ලාදුරු රෝගියෙක්ට සලකපු විදිහ, බරපතළ අසනීපයක් තියෙන ස්ත්රියකට සලකපු විදිහ සහ වියෝදුකින් ඉන්න අයට සලකපු විදිහ ගැන ටිකකට හිතන්න. යේසුස් අනිත් අයට සලකපු විදිහ අපි ආදර්ශයට ගද්දී ඇත්තටම අපි ආදර්ශයට ගන්නේ දෙවියන්ව කියලා කියන්න පුළුවන්. (මාක් 1:40, 41; 5:25-34; යොහ. 11:33-35) අපි යෙහෝවාව ආදර්ශයට ගන්න තරමටම ඔහුත් අපිට ළං වෙනවා. යේසුස්ගේ පා සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන එක ලෝකයේ බලපෑම්වලින් ආරක්ෂා වෙන්න අපිට උදව් වෙනවා. යේසුස් මිය යන්න කලින් රාත්රියේ “මම ලෝකයෙන් ජය ගත්තා” කියලා කිව්වා. (යොහ. 16:33) ඔහුට එහෙම කියන්න පුළුවන් වුණේ ඔහු හිතන පතන විදිහ, වැඩ කරන විදිහ, ඔහුගේ ඉලක්ක වෙනස් කරන්න ලෝකේ බලපෑමට ඔහු ඉඩ දුන්නේ නැති නිසයි. යෙහෝවා දෙවියන් යේසුස්ව පොළොවට එව්වේ දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නයි කියලා යේසුස් නිතරම මතක තියාගත්තා. අපේ අවධානය වෙනතකට යොමු කරන්නත් සාතන්ගේ ලෝකය ගොඩක් දේවල් ඉදිරිපත් කරනවා. හැබැයි යේසුස් වගේ අපිත් යෙහෝවාගේ කැමැත්ත කරන එකට මුල් තැන දුන්නොත් ලෝකයෙන් “ජය ගන්න” අපිටත් පුළුවන්.—1 යොහ. 5:5. w21.04 3-4 7-8¶
මාර්තු 3, සිකුරාදා
‘කිසි දෙයකටවත් දෙවිගේ ප්රේමයෙන් අපව වෙන් කළ නොහැක.’—රෝම 8:39.
‘යේසුස් කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ටම සදහටම ජීවත් වීමේ ප්රස්තාව ලැබෙනවා’ කියලා යේසුස් දුන්න පොරොන්දුව ගැන පාවුල් දැනගෙන හිටියා. (යොහ. 3:16; රෝම 6:23) බරපතළ පාපයක් කරලා තියෙන කෙනෙක් වුණත් ඒ ගැන අවංකව පසුතැවිලි වෙනවා නම් එයාට සමාව දෙන්න යෙහෝවා දෙවියන් කැමැත්තෙන් ඉන්නවා කියන එක ගැන පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. (ගීතා. 86:5) දෙවියන් තමන්ට ගොඩක් ආදරේ කරනවා කියන එක ගැනත් පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ගලාති 2:20 එයා කියලා තියෙන මේ වචනවලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. “මට ප්රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්රයා කෙරෙහි විශ්වාසය තබමි.” ‘මගේ සහෝදරයන්ට දෙවියන් ආදරේ කළත් මං වගේ පව්කාරයෙක්ට නම් දෙවියන් ආදරේ කරන එකක් නැහැ’ කියලා පාවුල් හිතුවේ නැහැ. එයා රෝමවරුන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අප උදෙසා මිය යෑමට දෙවි ක්රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය.” (රෝම 5:8) ඔව්, යෙහෝවා අපිට ආදරේ කරන්න අපේ පව්කාරකම බාධාවක් කරගන්නේ නැහැ. ‘දෙවිගේ ප්රේමයෙන් අපව වෙන් කරන්න’ කිසිම දේකට බැහැ කියලා පාවුල් කිව්වා. එයා දැනන් හිටියා දෙවියන් ඊශ්රායෙල්වරුන් එක්ක කොච්චර ඉවසීමෙන් වැඩ කළාද කියලා. w21.04 22 8-10¶
මාර්තු 4, සෙනසුරාදා
“දෙවිට ප්රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.”—1 යොහ. 5:3.
බයිබල් පාඩම කරද්දී දෙවියන්ට ආදරේ කරන්න ශිෂ්යයාට උදව් කරන්න. හැම වෙලාවෙම ඔහුගේ ගුණාංග ගැන එයා එක්ක කතා කරන්න. යෙහෝවා සතුටින් ඉන්න දෙවි කෙනෙක් කියලත් ඔහුට ආදරේ කරන අයට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් තේරුම්ගන්න ශිෂ්යයාට උදව් කරන්න. (1 තිමෝ. 1:11; හෙබ්රෙ. 11:6) ඒ වගේම දෙවියන් නීති, ප්රතිපත්ති දීලා තියෙන්නේ අපිට තියෙන ආදරේ නිසා කියලත් ඒවාට කීකරු වෙද්දී ප්රයෝජන ලැබෙනවා කියලත් පැහැදිලි කරන්න. (යෙසා. 48:17, 18) ශිෂ්යයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි වෙද්දී වෙනස්කම් කරගන්න එයා පෙලඹෙයි. බව්තීස්මය දක්වා දියුණු වෙන්න සමහරවිට ධන සම්පත් අත්හරින්න ශිෂ්යයාට සිද්ධ වෙයි. සමහර යාළුවන්ව අත්හරින්නත් වෙයි. සමහරවිට පවුලේ අය සාක්ෂිකරුවන්ට කැමති නැත්නම් එයාව පවුලෙන් අයින් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඒත් දෙවියන් වෙනුවෙන් කැප කිරීම් කරන අය කවදාවත් අසරණ වෙන්නේ නැහැ කියලා යේසුස් කිව්වා. මොකද ඒ අයට ආදරෙන් බැඳුණු දෙවියන්ගේ පවුලට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා.—මාක් 10:29, 30. w21.06 4 8-9¶
මාර්තු 5, ඉරිදා
‘ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.’—යොහ. 4:35.
මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක පාවුල් කෙතක බීජ පැළ කරන එකට සමාන කළා. එයා මෙහෙම කිව්වා. ‘බීජ පැළ කළේ මමය. ඊට වතුර වත් කළේ අපොලොස්ය. ඔබ සියලුදෙනා දෙවි විසින් වගා කරනු ලබන ඔහුගේ කෙතය.’ (1 කොරි. 3:6-9) ඉතින් ‘දෙවියන්ගේ කෙතේ’ වැඩ කරන ඔහුගේ සේවකයන් විදිහට අපි බීජ පැළ කරනවා විතරක් නෙවෙයි ඒවාට වතුරත් දානවා. ඒවා හොඳට වැඩෙනවාද කියලා හොයලා බලනවා. ඒත් අපි දන්නවා කොච්චර බීජ පැළ කළත් වතුර දැම්මත් ඒවාට වර්ධනය දෙන්නේ දෙවියන් කියලා. ඇත්තටම දේශනා කරන්නත් උගන්වන්නත් ලැබිලා තියෙන අවස්ථාව අපිට ගොඩක් වටිනවා. අපි ඒකෙන් ලොකු සතුටක් ලබනවා. තෙසලෝනිකයේ හිටපු අයට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරපු එකෙන් පාවුලුත් සතුටු වුණා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “අපගේ ස්වාමීන් වන යේසුස් පැමිණ සිටින විට ඔහු ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවට පදනමත් ප්රීතිය හා සතුටට හේතු වන කිරුළත් ඔබම නොවේද? ඇත්තෙන්ම අපගේ ගෞරවයත් ප්රීතියත් ඔබය.”—1 තෙස. 2:19, 20; ක්රියා 17:1-4. w21.07 3 5¶; 7 17¶
මාර්තු 6, සඳුදා
“මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න.”—මතෙ. 18:10.
බිලියන ගාණක් මිනිස්සු අතරින් යෙහෝවා ඔයාව ඔහුට ළං කරගෙන තියෙනවා. (යොහ. 6:44) එහෙම වුණේ ඔයා ළඟ තියෙන ලස්සන ගුණාංගයක් දැකලා ඔයාව යාළුවෙක් කරගන්න ඔහු කැමති වුණ නිසයි. (1 ලේක. 28:9) යෙහෝවා ඔයාව හොඳින්ම දන්නවා කියලත් ඔහු ඔයාට ගොඩක් ආදරෙයි කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා. දෙවියන් ඔහුගේ සේවකයන් හැමෝටම එක වගේ ආදරෙයි. ඒක පැහැදිලි කරන්න යේසුස් දෙවියන්ව එඬේරෙක්ට සමාන කළා. ඔහු කිව්වා බැටළුවන් 100දෙනෙක් ඉන්න එඬේරෙක්ට එක බැටළුවෙක් නැති වුණොත් “අනික් අනූනවදෙනාට කඳුවල ඉන්න හැර මංමුළා වී ගිය බැටළුවාව සොයා යන්නේ නැද්ද” කියලා. අනිවාර්යයෙන්ම යනවා. බැටළුවාව හම්බ වුණාම එඬේරා ඌට බනියි කියලා හිතන්න බැහැ. ඒ වෙනුවට එඬේරා ඌ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකක්ද පාඩම? යෙහෝවාට අපි එක් එක් කෙනාව ගොඩක් වටිනවා. යේසුස් කිව්ව මේ දෙයින් ඒක තවත් හොඳින් පැහැදිලි වෙනවා. “කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.”—මතෙ. 18:12-14. w21.06 20 1-2¶
මාර්තු 7, අඟහරුවාදා
“දෙවිට ළං වන්න.”—යාකො. 4:8.
යෙහෝවාගේ ආදරේ ගැන හිතද්දී ඔහු ගැන අපිට තියෙන ආදරෙත් වැඩි වෙනවා. යෙහෝවායි, අපියි අතර කඩන්න බැරි බැඳීමකුත් ඇති වෙනවා. (රෝම 8:38, 39) ඒ වගේම අපි යේසුස්ව ආදර්ශයට ගන්නත් පෙලඹෙනවා. (1 පේතෘ. 2:21) සිහි කිරීම ළං වෙද්දී යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් කීපය ගැන, ඔහුගේ මරණය ගැන සහ නැවත නැඟිටීම ගැන අපි අධ්යයනය කරනවා. යේසුස් අපිට කොච්චර ආදරෙයිද කියලා සිහි කිරීමේ දේශනයේදී අපිට මතක් කරනවා. (එෆී. 5:2; 1 යොහ. 3:16) යේසුස් කරපු දේවල් ගැන, ඔහුගේ ආදර්ශය ගැන හිතද්දී ‘ඔහු ජීවත් වුණ විදිහටම ජීවිතේ ගත කරන්න’ අපි පෙලඹෙනවා. (1 යොහ. 2:6) යෙහෝවාගේ ආදරේ ලබාගන්න අපිට තියෙන අධිෂ්ඨානයත් ශක්තිමත් වෙනවා. (යූද් 20, 21) හැබැයි ඒකට අපි ඔහුට දිගටම කීකරු වෙන්න ඕනේ. ඔහුගේ නම ගෞරවයට පත් කරන්න සහ ඔහුගේ හිත සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. (හිතෝ. 27:11; මතෙ. 6:9; 1 යොහ. 5:3) සිහි කිරීමට සහභාගි වෙන හැම වතාවකදීම යෙහෝවාගේ ආදරේ ලබන්න අපිට තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා. w22.01 23 17¶; 25 18-19¶
මාර්තු 8, බදාදා
‘ඔබ නමස්කාර කරන්නේ කාටද කියා තීරණය කරන්න.’—යොෂු. 24:15.
යෙහෝවා දෙවියන් අපිට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. ඒ නිසා කැමති විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන්. ඔහුට සේවය කරන්න අපි කැමැත්තෙන්ම තීරණය කරද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. (ගීතා. 84:11; හිතෝ. 27:11) තීරණ ගන්න අපිට තියෙන නිදහස පාවිච්චි කරලා ඒ වැදගත් තීරණය වගේම ජීවිතේ තවත් හුඟක් පැතිවලින් හරි තීරණ ගන්න අපිට පුළුවන්. ටිකකට යේසුස් ගැන හිතන්න, ඔහු තමන් ගැන හිතනවාට වඩා අනිත් අය ගැන හිතපු කෙනෙක්. දවසක් යේසුස් සහ ඔහුගේ ගෝලයන් හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක පොඩි විවේකයක් ගන්න නිස්කලංක තැනකට ගියා. හැබැයි එයාලට විවේක ගන්න ලැබුණේ නැහැ. මොකද සෙනඟ එතනටත් ආවා. එතකොට යේසුස් මොකද කළේ? යේසුස් පොඩ්ඩක්වත් තරහා ගත්තේ නැහැ. මිනිස්සු ගැන දැනුණ අනුකම්පාව නිසා “ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.” (මාක් 6:30-34) අපිත් යේසුස් වගේ අපේ කාලය, ශක්තිය අනිත් අය වෙනුවෙන් දෙද්දී ඒකෙන් යෙහෝවාට ලොකු ප්රශංසාවක් ලැබෙනවා.—මතෙ. 5:14-16. w21.08 3 7-8¶
මාර්තු 9, බ්රහස්පතින්දා
‘සෑම කෙනෙක්ටම තමා කළ දේ ගැන සතුටු වීමට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්ය වන්නේ නැත.’—ගලා. 6:4.
යෙහෝවා විවිධත්වයට ආස කෙනෙක්. ඔහු නිර්මාණය කරලා තියෙන දේවල් දිහා බලද්දී අපිට ඒක පේනවා. මිනිස්සුත් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒ නිසා දෙවියන් කවදාවත් අනිත් අයත් එක්ක ඔයාව සන්සන්දනය කරන්නේ නැහැ. මොකද යෙහෝවා අපේ හිතේ තියෙන දේ දකිනවා. (1 සාමු. 16:7) ඔයාට කරන්න පුළුවන් දේ, බැරි දේ, ඔයා හැදී වැඩුණ පසුබිම ඔහු දන්නවා. දෙවියන් කවදාවත් ඔයාගෙන් කරන්න බැරි දෙයක් ඉල්ලන්නේ නැහැ. අපිත් යෙහෝවා බලන විදිහට බලන්න පුරුදු වෙනවා නම් අපි ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නත් අපේ කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්නේ නැතුව ඉන්නත් “හොඳ සිහි කල්පනාවෙන්” වැඩ කරන්නත් පුළුවන් වෙනවා. (රෝම 12:3) දක්ෂ විදිහට සේවේ කරන අය ගැන හිතලා බලන එකෙන් ප්රයෝජන තියෙනවා. (හෙබ්රෙ. 13:7) එහෙම කරද්දී සේවේ තවත් දක්ෂ විදිහට කරන්න අපිට එයාලගෙන් ඉගෙනගන්න පුළුවන්. (ෆිලි. 3:17) හැබැයි කෙනෙක්ගේ ආදර්ශය අනුකරණය කරන එකයි, එයා එක්ක අපිව සන්සන්දනය කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. w21.07 20 1-2¶
මාර්තු 10, සිකුරාදා
“අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?”—යෙසා. 40:26.
දෙවියන් නිර්මාණය කරපු සත්තු, ගස් කොළන්, තරු වගේ දේවල් ගැන අපි අධ්යයනය කරනවා නම් ඔහු ගැන තියෙන අපේ විශ්වාසය තවත් වැඩි කරගන්න පුළුවන්. (ගීතා. 19:1) ඒ දේවල් අපි අධ්යයනය කරන්න කරන්න හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා කියලා අපිට තවත් තහවුරු වෙනවා. දෙවියන්ගේ නිර්මාණ අධ්යයනය කරද්දී ඒවාවලින් ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. (රෝම 1:20) උදාහරණෙකට අපි හැමෝම දන්නවා ජීවය පවත්වගන්න අවශ්ය කරන ආලෝකය, උණුසුම වගේ හුඟක් දේවල් අපිට ලැබෙන්නේ සූර්යයාගෙන් කියලා. හැබැයි අපිට අහිතකර සමහර කිරණත් සූර්යයා නිපදවනවා. ඒවාවලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඕසෝන් වායුවෙන් හැදිලා තියෙන ආවරණයක් අපේ වායුගෝලයේ තියෙන නිසා ඒ කිරණවලින් අපිට ආරක්ෂාව ලැබෙනවා. ඔයා දැනගෙන හිටියාද සූර්යයාගෙන් එන අහිතකර කිරණ වැඩි වෙන්න වැඩි වෙන්න ඕසෝන් ස්ථරයේ ගනකමත් වැඩි වෙනවා කියලා? ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ගැන සැලකිලිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕනෙ කියන එක නේද? w21.08 17 9-10¶
මාර්තු 11, සෙනසුරාදා
“දෙවිට ප්රේම කරන තැනැත්තා තමාගේ සහෝදරයාටද ප්රේම කළ යුතුයි.”—1 යොහ. 4:21.
කෙනෙක් බව්තීස්ම වුණාට පස්සේ අපි දිගටම එයාට ආදරය, ගෞරවය පෙන්නන්න ඕනේ. (1 යොහ. 4:20) ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි එයාව අනවශ්ය විදිහට සැක නොකරන එක. උදාහරණෙකට කෙනෙක් යම් දෙයක් කළේ ඇයි කියලා අපිට නොතේරෙන වෙලාවක එයා ඒක කළේ වැරදි චේතනාවෙන් කියලා හිතන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ සහෝදරයා අපිට වඩා උතුම් කියලා හිතලා එයාට ගෞරව කරනවා. (රෝම 12:10; ෆිලි. 2:3) ඇත්තටම අපි හැමෝටම කරුණාව, දයාව පෙන්නන්න ඕනේ. යෙහෝවා දෙවියන්ගේ පවුලට එකතු වෙන්න අපිට ඕනෙ නම් බයිබල් ප්රතිපත්ති අපේ ජීවිතේට අදාළ කරගන්න එකත් වැදගත්. උදාහරණෙකට යේසුස් කිව්වා හැමෝටම ඒ කියන්නේ සතුරන්ට වුණත් කරුණාව, දයාව පෙන්නන්න කියලා. (ලූක් 6:32-36) හැබැයි එහෙම කරන එක හැම වෙලාවෙම ලේසි නැහැ. ඒ වගේ වෙලාවට අපි යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි දෙවියන්ට කීකරු වෙලා යේසුස්ව ආදර්ශයට ගන්න අපේ උපරිමය කරද්දී හැමදාටම දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න අපි ආසයි කියලා අපි පෙන්නනවා. w21.08 6 14-15¶
මාර්තු 12, ඉරිදා
“මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න. මම අහසේ කවුළු විවර කර ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි.”—මලා. 3:10.
යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරන්න පුරුදු වෙන්න. දෙවියන්ව විශ්වාස කරලා උපරිමයෙන් සේවය කරන අයට ඔහු ගොඩක් ආශීර්වාද කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඔහු වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ඒ අයගෙන් වැඩිදෙනෙක්ට යෙහෝවා ආශීර්වාද කළේ එයාලා ඔහුව විශ්වාස කරලා මුල් පියවර ගත්තාට පස්සේ. උදාහරණෙකට දෙවියන් ආබ්රහම්ට ආශීර්වාද කළේ එයා ‘තමන් කොතැනට යනවාද කියලවත් නොදැන’ ගෙවල් දොරවල් අත්හැරලා ආවාට පස්සෙයි. (හෙබ්රෙ. 11:8) යාකොබ්ට විශේෂ ආශීර්වාද ලැබුණේ එයා මුළු රැයක් පුරාම දේවදූතයෙක් එක්ක පොරබැද්දාට පස්සෙයි. (උත්. 32:24-30) ඒ වගේම පොරොන්දු දේශය ළඟටම ඇවිල්ලා හිටපු ඊශ්රායෙල්වරුන්ට යොර්දාන් ගඟ හරහා යන්න පුළුවන් විදිහට වතුර පාර නැවතුණේ පූජකයන් යොර්දාන් ගඟට අඩිය තිබ්බාට පස්සෙයි. (යොෂු. 3:14-16) යෙහෝවාව විශ්වාස කරලා සේවේ තවත් වැඩි කරපු අපේ සහෝදර සහෝදරියන්ගෙනුත් ඔයාට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. w21.08 29-30 12-14¶
මාර්තු 13, සඳුදා
“‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න.”—දේශ. 7:10.
මහලු වයසේ ඉන්න ආදරණීය සහෝදරයෙනි, කාලයක් තිස්සේ සත්යයේ ඉන්න නිසා ඉස්සර සංවිධානයේ වැඩ සිද්ධ වුණේ කොහොමද කියලත් සංවිධානයේ වෙනස්කම් වෙද්දී ඒවාට අනුව හැඩගැහෙන එක කොච්චර වටිනවාද කියලත් ඔයාලා දන්නවා. ඔයා ළඟදී බව්තීස්ම වුණ කෙනෙක්ද? එහෙනම් ඔයාගේ අද්දැකීම් ගැන, ඔයා ජීවිතෙන් ඉගෙනගත්ත පාඩම් ගැන තරුණ අයට කියන්න. එයාලා ඒවා ගොඩක් ආසාවෙන් අහන් ඉඳියි. ඒ විදිහට ඔයා ළඟ තියෙන ඒ වටිනා දේවල් ‘දීමට පුරුදු වෙනවා’ නම් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරනවා. (ලූක් 6:38) ඔයාලා තරුණ අයත් එක්ක එකට එකතු වෙලා වැඩ කරද්දී ඒකෙන් දෙගොල්ලන්ටම ප්රයෝජන ලැබෙනවා. (රෝම 1:12) මහලු අයට ඇඟේපතේ හයිය අඩු වුණත් කාලයක් තිස්සේ එකතු කරගත්ත අද්දැකීම්, දැනුම තියෙනවා. අනිත් අතට අද්දැකීම් අඩු වුණත් තරුණ අයට දුවලා පැනලා වැඩ කරන්න ශක්තිය තියෙනවා. ඉතින් එයාලා එකට එකතු වෙලා වැඩ කරද්දී ඒකෙන් දෙවියන්ට ගෞරවයක් ලැබෙනවා. ඒ වගේම සභාවේ අයටත් ඒක ලොකු ආශීර්වාදයක්. w21.09 8 3¶; 13 17-18¶
මාර්තු 14, අඟහරුවාදා
“නමුත් අප දේශනා කරන්නේ වධකණුවක ඇණ ගසා මරනු ලැබූ ක්රිස්තුස් ගැනයි. යුදෙව්වරු ඒ ගැන කෝප වී එය පිළි නොගනිති.”—1 කොරි. 1:23.
යේසුස් වධකණුවක මැරුණ නිසා හුඟක් මිනිස්සු ඔහුව දැක්කේ අපරාධකාරයෙක් සහ පව්කාරයෙක් විදිහට මිසක් ගැලවුම්කරු විදිහට නෙවෙයි. (ද්වි. 21:22, 23) යේසුස් කිසිම වරදක් කරලා තිබුණේ නැහැ. ඔහුව අත්අඩංගුවට අරන් තිබුණේ බොරු චෝදනා මත. ඔහුට සලකලා තිබුණේ හරිම අසාධාරණ විදිහට. යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැති අය ඒ වැදගත් කාරණා තේරුම් අරන් තිබුණේ නැහැ. යේසුස්ගේ නඩු විභාගය පවත්වපු අය යුක්තිය කණපිට පෙරළුවා. යුදෙව් ශ්රේෂ්ඨාධිකරණයේදී ඔහුගේ නඩුව පැවැත්තුවේ නීති විරෝධී විදිහට. (ලූක් 22:54; යොහ. 18:24) යේසුස්ගේ නඩුව විභාග කරපු අය යේසුස්ට එල්ල වෙලා තිබුණ චෝදනා ඇත්තද, බොරුද කියලා හොයලා බලනවා වෙනුවට ඔහුව මරන්න ඔහුට විරුද්ධව “බොරු සාක්ෂි” හෙව්වා. (මතෙ. 26:59; මාක් 14:55-64) යේසුස්ගේ නැවත නැඟිටීම බොරුවක් කියලා ඔප්පු කරන්නත් එයාලා උත්සාහ කළා. එයාලා යේසුස්ගේ සොහොන් ගෙය මුර කරපු සෙබළුන්ට “ප්රමාණවත් රිදී කාසි දීලා” කිව්වා යේසුස්ගේ සොහොන් ගෙය හිස් වෙලා තියෙන එක ගැන බොරු කතාවක් පතුරුවන්න කියලා.—මතෙ. 28:11-15. w21.05 11 12-13¶
මාර්තු 15, බදාදා
“පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්රයාවත් දන්නේ නැහැ.”—මතෙ. 24:36.
ඕනෙ නම් යෙහෝවා දෙවියන්ට පුළුවන් එක මොහොතකින් මේ දුෂ්ට ලෝකය විනාශ කරන්න. එහෙම කරන්නේ නැතුව ඔහු ඉවසීමෙන් දිගටම විඳදරාගෙන ඉන්න නිසා අපිට කොයි තරම් ප්රයෝජන ලැබිලා තියෙනවාද! ආදම් සහ ඒවගේ හැම දරුවෙක්ටම පව්කාරකම උරුම වෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. ඒ වුණත් අපිට තියෙන ආදරේ නිසා ඔහු අපිට ජීවත් වෙන්න අවස්ථාව දීලා අපිව රැකබලා ගන්නවා. (1 යොහ. 4:19) ඒ වගේම මේ දුෂ්ටකම්වලට අවසානයක් ගේනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒකට ඔහු දැනටමත් දවසක් තීරණය කරලයි තියෙන්නේ. ඉතින් යෙහෝවා දෙවියන් අපිට පෙන්නලා තියෙන ආදරය ගැන හිතද්දී ඔහු වගේ දිගටම විඳදරාගන්න අපිත් පෙලඹෙන්න ඕනෙ නේද? විඳදරාගැනීම ගැන හොඳම ආදර්ශය යෙහෝවා දෙවියන්. යේසුත් ඔහුගේ තාත්තාව ආදර්ශයට ගත්තා. උදාහරණෙකට මේ පොළොවේදී නින්දා අපහාස විඳින්න, වධකණුවක කුරිරු මරණයක් අද්දකින්න යේසුස්ට සිද්ධ වුණා. (හෙබ්රෙ. 12:2, 3) ඒ දේවල් විඳදරාගන්න යේසුස්ට උදව් වුණේ යෙහෝවාගේ ආදර්ශයයි. අද අපිටත් විඳදරාගන්න යෙහෝවා දෙවියන්ගේ ආදර්ශය උදව් වෙනවා. w21.07 12-13 15-17¶
මාර්තු 16, බ්රහස්පතින්දා
“ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.”—ලූක් 6:36.
යෙහෝවා අපේ වැරදිවලට හැම දවසකම සමාව දෙනවා. (ගීතා. 103:10-14) යේසුත් පව්කාරකම උරුම කරගෙන හිටපු තමන්ගේ ගෝලයන්ට දිගටම දයාව පෙන්නලා සමාව දුන්නා. ඒ වගේම ඔහු හැමෝම වෙනුවෙන් ජීවිතෙත් පූජා කළා. ඒ නිසා තමයි අපේ පව්වලට සමාව ලබාගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. (1 යොහ. 2:1, 2) අපි සහෝදරයන්ට ‘කැමැත්තෙන්ම සමාව දෙද්දී’ අපි අතර තියෙන බැඳීම් ශක්තිමත් වෙනවා. (එෆී. 4:32) හැබැයි සමහර වෙලාවට අනිත් අයට සමාව දෙන්න ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක කරන්න එක සහෝදරියකට “හදපත්ලෙන්ම සමාව දෙමු” කියන ‘මුරටැඹ’ ලිපිය උදව් වුණා. එයා මෙහෙම කියනවා. “අපි කෙනෙක්ට සමාව දෙන්නේ එයාගේ වරද සැහැල්ලුවට ගන්න නිසාවත් එයා කරපු දෙයින් අපිට හානියක් වුණේ නැති නිසාවත් නෙවෙයි. ඒ වෙනුවට හිතේ තියෙන අමනාපය නැති කරගෙන දිගටම සතුටින් ඉන්න පුළුවන් වෙන නිසයි. ඒක තේරුම්ගන්න ඒ ලිපිය මට උදව් වුණා.” මුළු හදවතින්ම සමාව දෙද්දී අපි සහෝදරයන්ට ආදරෙයි කියලා පේනවා. එහෙම කරද්දී අපි යෙහෝවාව ආදර්ශයටත් ගන්නවා. w21.09 23-24 15-16¶
මාර්තු 17, සිකුරාදා
‘දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.’—යොහ. 4:24.
දෙවියන් ගැන, ඔහුගේ අරමුණු ගැන තියෙන සත්යයන් යේසුස් ගොඩක් අගය කළා. ඔහු ඒවාට අනුව ජීවත් වුණා. ඒවා අනිත් අයටත් ඉගැන්නුවා. (යොහ. 18:37) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ටත් ඒ සත්යයන් ගැන ලොකු අගයක් තියෙනවා. (යොහ. 4:23) ක්රිස්තියානියෙක් වෙන එක ‘සත්ය මාර්ගයේ ගමන් කරන’ එකට පේතෘස් සමාන කළේ ඒ නිසයි. (2 පේතෘ. 2:2) මුල් ක්රිස්තියානීන් බයිබල් ප්රතිපත්තිවලට පටහැනි වුණ ආගමික, සංස්කෘතික සහ පුද්ගලික අදහස් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළා. (කොලො. 2:8) ඒ වගේ අද සැබෑ ක්රිස්තියානීනුත් ‘සත්ය ඉගැන්වීම්වලට විශ්වාසවන්තව ඇලිලා ඉන්න’ උපරිමය කරනවා. එයාලා ජීවත් වෙන්නේ, එයාලගේ විශ්වාසයන් ගොඩනැඟිලා තියෙන්නේ බයිබලේ තියෙන සත්යයන්වලට අනුවයි. (3 යොහ. 3, 4) අපි බයිබලේ තියෙන හැම දේම දන්නවා කියලා අපි කියන්නේ නැහැ. බයිබලේ තියෙන ඉගැන්වීම් පැහැදිලි කරද්දී, සංවිධානයෙන් යම් මඟ පෙන්වීම් දෙද්දී සාක්ෂිකරුවන් අතිනුත් වැරදි වෙලා තියෙනවා. හැබැයි කාරණා හරියට තේරුම්ගත්තාම ඒ හැම එකක්ම නිවැරදි කරලා තියෙනවා. w21.10 21-22 11-12¶
මාර්තු 18, සෙනසුරාදා
“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්නා දෙවිගේ මහත් ප්රේමය අද්දකින්නේය.”—ගීතා. 32:10.
ශක්තිමත් පවුරක් තියෙන නගරයකට ඒ පවුරෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේ යෙහෝවාට අපි ගැන තියෙන ආදරේ නිසා අපේ විශ්වාසයට හානියක් වෙන දේවල්වලින් ඔහු අපිව ආරක්ෂා කරනවා. දෙවියන් අපිව ආරක්ෂා කරන තව විදිහක් තමයි අපිව ඔහුට තවත් ළං කරගන්න එක. එහෙම කරන්නෙත් අපිට ගොඩක් ආදරේ නිසයි. (යෙරෙ. 31:3) දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන විදිහ විස්තර කරන්න දාවිත් තවත් උදාහරණයක් පාවිච්චි කළා. එයා මෙහෙම කිව්වා. “ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි. මහත් ප්රේමයක් පෙන්වන දෙවි කෙනෙකි.” ඒ වගේම යෙහෝවා ගැන එයා මෙහෙමත් කිව්වා. “මාගේ බලකොටුව ඔහුය. මට ප්රේමණීයව සලකන්නෙත් ඔහුය. මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවද මට ගැලවීම ලබා දෙන තැනැත්තාද ඔහුය. මාගේ පලිහ ඔහුය. මා ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය.” (ගීතා. 59:17; 144:2) දාවිත් දෙවියන්ගේ ආදරය උස් බලකොටුවකට සමාන කළේ ඇයි? ඒ අපි කොහේ ජීවත් වුණත් දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න අවශ්ය හැම දෙයක්ම ඔහු අපිට දෙන නිසයි. w21.11 6 14-15¶
මාර්තු 19, ඉරිදා
“දෙවියනි, ඔබේ සියලු ක්රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි.”—ගීතා. 77:12.
දවසක් යේසුස් සහ ඔහුගේ ගෝලයෝ ඔරුවේ ඉද්දී කුණාටුවක් ආවා. (මතෙ. 8:23-26) ඒ කුණාටුව කොච්චර දරුණුද කියනවා නම් බෝට්ටුවටත් උඩින් රළ ගහන්න පටන්ගත්තා. ඒ වෙලාවේ යේසුස් හිටියේ තද නින්දක. කුණාටුව නිසා බය වුණ ගෝලයෝ යේසුස්ව නැගිට්ටවලා “අපිව බේරගන්න” කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ යේසුස් කිව්ව දේ බලන්න. “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද?” මේ දවස්වල ඔයාත් කුණාටු වගේ ප්රශ්නවලට මුහුණ දෙනවාද? සමහරවිට ඔයා ස්වාභාවික විපතකට මුහුණ දෙනවා ඇති. නැත්නම් දරුණු අසනීපයක් නිසා කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව ගොඩක් දුකෙන් ඇති. ඒ වගේ වෙලාවට ලොකු පීඩනයක්, කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල්වලට ඉඩ දෙන්න එපා යෙහෝවා ගැන ඔයාට තියෙන විශ්වාසය අඩු කරන්න. ඒ වෙනුවට ඔයාගේ හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න. මේ වෙන කල් ඔහු ඔයාට උදව් කරලා තියෙන විදිහ ගැන කල්පනා කරලා ඔයාගේ විශ්වාසය තව වැඩි කරගන්න. (ගීතා. 77:11) යෙහෝවා ඔයාව අත්හැරලා නැහැ, කවදාවත්ම ඔයාව අත්හරින්නෙත් නැහැ. w21.11 22 7¶, 10¶
මාර්තු 20, සඳුදා
“ඔබ සොරකම් නොකළ යුතුයි.”—ලෙවී. 19:11.
සමහරවිට කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මං තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කළේ නැත්නම් මං ඒ නීතිය පිළිපදිනවා.’ හැබැයි සොරකම් නොකරන්න කියද්දී ඒකට ඇතුළත් වෙන තවත් දේවල් තියෙනවා. උදාහරණෙකට කෙනෙක් ව්යාපාර කටයුතුවලදී මිනිසුන්ව රවට්ටලා එයාලට වංචා කරනවා නම් ඒකත් හරියට හොරකමක් වගේ. ලෙවී කතාව 19:13 කියනවා “ඔබේ ආශ්රිතයාට වංචාවක් නොකරන්න” කියලා. වංචා කරන එකත් හොරකමට සම්බන්ධයි කියලා ඒකෙන් පැහැදිලියි. දසපනතේ අටවෙනි පනතේ සඳහන් වුණේ හොරකම් නොකරන්න කියලා විතරයි. හැබැයි ඒ පනත අදාළ කරගන්න පුළුවන් විවිධ පැති ගැන තේරුම්ගන්න ලෙවී කතාව පොතේ තියෙන තොරතුරු උදව් වෙනවා. හොරකම, වංචාව ගැන යෙහෝවා හිතන විදිහට හිතන්න අපිත් පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන් අපෙන්ම මෙහෙම අහගන්න. ‘මම ව්යාපාර කටයුතු කරද්දී, රස්සාව කරද්දී අනිත් අයට වංචා කරනවාද? ලෙවී කතාව 19:11-13 කියවද්දී මගේ පැත්තෙන් හදාගන්න ඕනෙ පැති තියෙනවා කියලා මට හිතෙනවාද?’ w21.12 9-10 6-8¶
මාර්තු 21, අඟහරුවාදා
“යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලො. 3:13.
හැම දවසකම යාච්ඤා කරන්න කලින් දවස ඇතුළත ඔයා අතින් වුණ වැරදි ගැන හොඳට හිතන්න. ඊටපස්සේ ඒ ගැන යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න. ඔයා අතින් බරපතළ පාපයක් වුණොත් වැඩිමහල්ලන්ගේ උදව්වත් ඔයාට ඕන වෙයි. ඔයා ඒ ගැන වැඩිමහල්ලන්ට කියද්දී එයාලා හොඳින් ඔයාට ඇහුම්කන් දීලා බයිබලේ පාවිච්චි කරලා ඔයාට ආදරෙන් උපදෙස් දෙයි. යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් ඔයාගේ වැරදිවලට සමාව දෙන්න කියලා වැඩිමහල්ලන් ඔයාත් එක්ක යෙහෝවාට යාච්ඤා කරයි. (යාකො. 5:14-16) ඒ වගේම ජීවිත පූජාව ගැන හොඳට හිතන එකත් ඔයාට උදව් වෙයි. යේසුස් වින්ද වේදනාව ගැන හිතද්දී ඔයාටත් ලොකු දුකක් දැනෙනවා ඇති. හැබැයි ඔයා ඒ ගැන හිතන තරමටම දෙවියන් ගැනත් යේසුස් ගැනත් ඔයාට තියෙන ආදරය තවත් වැඩි වෙයි. හැම අවුරුද්දකම අපි යේසුස්ගේ මරණය සිහි කරද්දී, අනිත් අයට ඒකට ආරාධනා කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන අගය තවත් වැඩි වෙනවා. යේසුස් ගැන අනිත් අයට කියලා දෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක් නේද? w21.04 18-19 13-16¶
මාර්තු 22, බදාදා
“ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.”—මාක් 6:34.
යේසුස් දැන් ඉන්නේ කඳුකර පැත්තක. කලින් දවසේ මුළු රැයක් පුරාම ඔහු දෙවියන්ට යාච්ඤා කළා. ඒ නිසා ඔහුට ගොඩක් මහන්සි ඇති. මේ වෙලාවේ යේසුස්ව හම්බ වෙන්න මිනිස්සු වැල නොකැඩී එනවා. ගොඩක් මහන්සියෙන් හිටියත් දුප්පත්, අසරණ මිනිස්සුන්ව දැකලා යේසුස්ගේ හිත උණු වුණා. ඒ නිසා යේසුස් එයාලාගේ අසනීප සුව කළා. ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවේදී තමයි ඔහු කන්ද උඩ දේශනයත් දුන්නේ. (ලූක් 6:12-20) තනියම ඉන්න ඕනෙ කියලා හිතුණ වෙලාවත් යේසුස් අනිත් අය වෙනුවෙන් කැප කළා. දවසක් යේසුස්ට ආරංචි වුණා එයාගේ හොඳ යාළුවෙක් වුණ යොහන් බව්තීස්තව මරලා කියලා. ඒක ඇහුවාම යේසුස්ට කොහොම දැනෙන්න ඇද්ද! බයිබලේ කියනවා ඒ ගැන දැනගත්තාම “යේසුස් එතැනින් පිටත් වී, ඔරුවකින් පාළු තැනකට ගියා” කියලා. (මතෙ. 14:10-13) හැබැයි මිනිස්සු යේසුස්ව හොයාගෙන එතනටත් ආවා. (මාක් 6:31-33) යේසුස් දැනන් හිටියා එයාලට දෙවියන්ගෙන් සහනය ඕනෙ කියලා. ඒ නිසා තමන්ගේ වේදනාව පැත්තකින් තියලා යේසුස් ඉක්මනින්ම එයාලට උදව් කළා.—ලූක් 9:10, 11. w22.02 21 4¶, 6¶
මාර්තු 23, බ්රහස්පතින්දා
“මිනිසුන් සමඟ සමාදානයෙන් ඉන්න.”—රෝම 12:18.
අපි අතින් වුණ වරදක් නිසා කෙනෙක් අපිත් එක්ක අමනාපයෙන් ඉන්නවා නම් මොකද කරන්නේ? අපිට පුළුවන් එයාත් එක්ක සමාදාන වෙන්න අපිට උදව් කරන්න කියලා ඕනෑකමින් යෙහෝවාගෙන් ඉල්ලන්න. කෙනෙක් එක්ක කතා කරන්න කලින් මේ වගේ ප්රශ්න ගැනත් හිතන්න පුළුවන්. ‘නිහතමානී වෙලා එයාගෙන් සමාව ඉල්ලන්න මං ලෑස්තිද? එයාත් එක්ක සමාදාන වෙන්න මං මුල් පියවර ගද්දී යෙහෝවා, යේසුස් මං ගැන කොච්චර සතුටු වෙයිද?’ ඒ ප්රශ්න අපිට උදව් වෙනවා යේසුස්ගේ හඬට සවන් දීලා අපේ සහෝදරයා එක්ක කොහොමහරි සමාදාන වෙන්න. කෙනෙක්ව දිනාගන්න නම් අපි නිහතමානී වෙන්නම ඕනේ. (එෆී. 4:2, 3) කෙනෙක්ව මුණගැහෙන්න යද්දීත් අපි මතක තියාගන්න ඕනෙ අපේ අරමුණ එයාගේ හිතේ තියෙන කහට අයින් කරලා එයාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න එකයි කියලා. කවුද හරි කියලා ඔප්පු කරන්න හදනවාට වඩා වැදගත් වෙන්නේ නැති වුණ සාමය ආයේ ඇති කරගන්න එකයි.—1 කොරි. 6:7. w21.12 26 13-16¶
මාර්තු 24, සිකුරාදා
‘යේසුස් නුවර දැක ඔහුට ඒ ගැන මහත් දුකක් ඇති විය. ඔහු හැඬුවේය.’—ලූක් 19:41.
ජාතියක් විදිහට යුදෙව්වන් යේසුස් කියපු පණිවිඩයට ඇහුම්කන් දුන්නෙවත් ඔහුව ගැලවුම්කරු විදිහට පිළිගත්තෙවත් නැහැ. ඒ නිසා ඔහු හුඟක් දුක් වුණා. යේසුස්ව ප්රතික්ෂේප කරන නිසා යෙරුසලමේ විනාශයේදී හුඟදෙනෙක් මැරෙනවා කියලත් ඉතුරු අයව වහලුන් විදිහට ගෙනියනවා කියලත් යේසුස් කිව්වා. (ලූක් 21:20-24) එදා යේසුස්ව ප්රතික්ෂේප කළා වගේ අදත් හුඟදෙනෙක් අපේ පණිවිඩය ප්රතික්ෂේප කරන්න පුළුවන්. එහෙමනම් යේසුස් කඳුළු සලපු එකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවියන් මිනිස්සු ගැන සැලකිලිමත්, ඔහු එයාලට ගොඩක් ආදරෙයි, එයාලගේ ජීවිත ඔහුට ගොඩක් වටිනවා කියලා යේසුස් හෙළපු කඳුළු අපිට මතක් කරනවා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්රස්තාව සියලුදෙනාටම ලබා දීමය.” (2 පේතෘ. 3:9) දෙවියන්ගේ සේවකයන් විදිහට අපිත් මිනිස්සුන්ට ආදරෙයි. ඒ නිසා ශුභාරංචිය කියලා එයාලගේ ජීවිතේ එළිය කරන්න පුළුවන් හැම දේම අපි කරනවා.—මතෙ. 22:39. w22.01 16 10-12¶
මාර්තු 25, සෙනසුරාදා
“මම ඔබට ඉතා සමීපව සිටිමි. දකුණතින් ඔබ මාව අල්ලාගෙන සිටින්නෙහිය.”—ගීතා. 63:8.
දෙවියන් තමන්ගේ සෙනඟ වෙනුවෙන්, පෞද්ගලිකව ඔයා වෙනුවෙන් කරපු දේවල් ගැන ගැඹුරින් හිතන්න. එතකොට ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි. යෙහෝවා එක්ක කාලේ ගත කරද්දී ලැබෙන වැදගත්ම ප්රයෝජනය තමයි ඔහු ගැන තියෙන ආදරේ තව වැඩි වෙන එක. ඒ ආදරේට පුළුවන් දෙවියන්ට කීකරු වෙන්න, ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපිව පොලඹවන්න. ඒ වගේම ඕනම පීඩාවක් දරාගන්න අපිට ශක්තිය දෙන්න. (මතෙ. 22:37-39; 1 කොරි. 13:4, 7; 1 යොහ. 5:3) දෙවියන් එක්ක කිට්ටු මිත්රත්වයක් ඇති කරගන්න එක තරම් වටිනා දෙයක් තව තියෙනවාද! (ගීතා. 63:1-7) ඒ වගේම යාච්ඤාව, අධ්යයනය, ගැඹුරින් කල්පනා කරන එක අපේ නමස්කාරයේ කොටසක්. ඒ දේවල් කරන්න නිස්කලංක තැනක් හොයාගන්න. එහෙම කරද්දී බාධාවක් වෙන්න පුළුවන් දේවල් අයින් කරන්න. අවධානය දෙන්න උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න. දැන් ඔයාගේ කාලය හරි විදිහට පාවිච්චි කළොත් යෙහෝවා ඔයාට ගොඩක් ආශීර්වාද කරයි. ඒ වගේම පාරාදීසයේදී ඔහු එක්ක සදහටම කාලේ ගත කරන්නත් ඔයාට අවස්ථාව ලැබෙයි.—මාක් 4:24. w22.01 31 18-20¶
මාර්තු 26, ඉරිදා
“දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.”—රෝම 12:9.
අපිව ක්රියාවට පොලඹවන්නේ අපේ සිතුවිලි. ඒ නිසයි යේසුස් කිව්වේ වැරදි සිතුවිලි අයින් කරන්න කියලා. (මතෙ. 5:21, 22, 28, 29) දෙවියන්ව සතුටු කරන්න නම් ඒක කරන්නම ඕනේ. ඒ වගේම යේසුස් කිව්වා “කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි” කියලා. (මතෙ. 15:18) කතා කරන දේවල්වලින් අපි මොන වගේ අයද කියලා පේනවා. ඒ නිසා මෙහෙම හිතන්න. ‘මට පාඩුවක් වුණත් මං බොරු නොකියා ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවාද? මං විවාහ වුණ කෙනෙක් නම් විරුද්ධ ලිංගයේ අයට ඉඟි බිඟි පානවාද? නැත්තම් එයාලත් එක්ක වැඩ කරද්දී පරෙස්සම් වෙනවාද? මං අසභ්ය විහිළු කරනවාද? කෙනෙක් මගේ හිත රිද්දුවත් කේන්ති ගන්නේ නැතුව කතා කරන්න මට පුළුවන්ද?’ පරණ පෞද්ගලිකත්වයේ ගති ටිකක් හරි තියෙනවාද කියලා තේරුම්ගන්න ඒ ප්රශ්න ඔයාට උදව් වෙයි. පරණ පෞද්ගලිකත්වය ඇඳුමක් වගේ. කේන්ති ගන්න එක, බොරු කියන එක, අසභ්ය විහිළු කරන එක ඒ ඇඳුමේ මැහුම් වගේ. ඒ මැහුම් අපේ ජීවිතෙන් ලෙහලා දැම්මේ නැත්නම් අපිට කවදාවත් පරණ පෞද්ගලිකත්වය අයින් කරන්න බැහැ. w22.03 5 12-14¶
මාර්තු 27, සඳුදා
“එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්රඥාවන්තව කටයුතු කළ හැක.”—හිතෝ. 13:10.
කෙනෙක් ඇවිත් අපේ අඩුපාඩුවක් පෙන්නන කල් ඉන්නේ නැතුව අපිම ඒ ගැන අහන්න මුල් පියවර ගන්නවා නම් ඥානවන්තව වැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා තව කෙනෙක් ළඟට ගිහිල්ලා උපදෙස් ගන්න අදිමදි කරන්න එපා. අපි අනිත් අයගෙන් උපදෙස් ඉල්ලන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද? ඒක තේරුම්ගන්න මේ සිද්ධි ගැන හිතන්න. (1) සහෝදරියක් එයාගේ ශිෂ්යයෙක්ට බයිබල් පාඩමක් කරන්න අද්දැකීම් තියෙන සහෝදරියකට එන්න කියනවා. පාඩමෙන් පස්සේ එයා ඒ සහෝදරියගෙන් දියුණු වෙන්න ඕනෙ පැති ගැන අහනවා. (2) තනිකඩ සහෝදරියක් ඔන්ලයින් හරහා ගන්න ඇඳුමක් තෝරනවා. ඒක ගන්න කලින් ඒ ඇඳුම ගැන එයා අද්දැකීම් තියෙන වැඩිහිටි සහෝදරියකගෙන් අහනවා. (3) සහෝදරයෙක්ට මුල්ම වතාවට බයිබල් දේශනයක් දෙන්න ලැබෙනවා. ඒ නිසා එයා අද්දැකීම් තියෙන කථිකයෙක්ගෙන් ඉල්ලනවා එයා ඒක පුරුදු වෙද්දී බලන් ඉඳලා දියුණු වෙන්න ඕනෙ පැති කියන්න කියලා. සමහරවිට අවුරුදු ගාණක් තිස්සේ දේශන දෙන සහෝදරයන්ට වුණත් තවත් අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් උපදෙස් අරන් තව දියුණු වෙන්න පුළුවන්.—හිතෝ. 19:20. w22.02 13 15-17¶
මාර්තු 28, අඟහරුවාදා
“මම එසේ කරන්නේ තනිව නොව මාව එවූ පියාණන් සමඟයි.”—යොහ. 8:16.
යේසුස්ව බලාගත්තා වගේ යෙහෝවා අද අපිවත් ආදරෙන් බලාගන්නවා. (යොහ. 5:20) ඔහු යේසුස්ට දිගටම විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් කළා. අධෛර්යය වෙද්දී දිරිගැන්නුවා. ජීවත් වෙන්න ඕන කරන හැම දේම දුන්නා. ඒ වගේම යේසුස්ට ආදරෙයි කියන්නත් ඔහු ගැන සතුටු වෙනවා කියන්නත් දෙවියන් අදිමදි කළේ නැහැ. (මතෙ. 3:16, 17) යෙහෝවා හැම තිස්සේම ළඟින් ඉන්නවා කියලා දැනගෙන හිටපු නිසා යේසුස්ට කවදාවත් තනිකමක් දැනුණේ නැහැ. ඔහු වගේ අපි හැමෝම දෙවියන්ගේ ආදරය ගොඩක් විදිවලින් අද්දැකලා තියෙනවා. උදාහරණෙකට ආදරණීය සහෝදරයන් ඉන්න දෙවියන්ගේ පවුලට එකතු වෙන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා. එයාලා තමයි අභියෝග එද්දී අපේ ළඟින් ඉඳලා අපිට උදව් කරන්නේ. (යොහ. 6:44) ඒ වගේම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඕන දේවලුත් ඔහු අපිට දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕන දේවලුත් ඔහු අපිට දෙනවා. (මතෙ. 6:31, 32) යෙහෝවා ආදරේ පෙන්නලා තියෙන විදි ගැන කල්පනා කරද්දී ඔහු ගැන අපිට තියෙන ආදරෙත් තව වැඩි වෙනවා. w21.09 22 8-9¶
මාර්තු 29, බදාදා
“පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්රියාත් ඉවත් කරන්න.”—කොලො. 3:9.
බයිබලේ පාඩම් කරන්න කලින් අපි සම්පූර්ණෙන්ම මේ ලෝකේ අච්චුවට හිර වෙලයි හිටියේ. අපි හිතන පතන විදිහ, අපේ ගතිපැවතුම් පවා හැඩගැහිලා තිබුණේ මේ ලෝකේ අය විදිහට. අපි ‘මේ ලෝකේ ජීවත් වුණේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. දෙවි ගැන දැනුමක් නැතුව.’ (එෆී. 2:12) ඒත් බයිබලේ පාඩම් කරද්දී අපි දැනගත්තා ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් ස්වර්ගයේ ඉන්නවා කියලා. ඒ තමයි යෙහෝවා දෙවියන්. ඒ නිසා ඔහුගේ හිත සතුටු කරලා ඔහුගේ පවුලට එකතු වෙන්න ඕනෙ කියලා ඔයාට තේරුණා. හැබැයි ඒකට ඔයා ජීවිතේ ගත කරන විදිහ, ඔයාගේ සිතුම් පැතුම්, ගතිගුණ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනෙ කියලා ඔයා දැනගත්තා. (එෆී. 5:3-5) යෙහෝවා අපේ නිර්මාතෘ සහ අපේ පියා නිසා අපි ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා කියන්න අයිතිය තියෙන්නේ ඔහුට. ඒ නිසයි බව්තීස්ම වෙන්න කලින් “පරණ පෞද්ගලිකත්වයත් ඒකට ආවේණික වූ ක්රියාත් ඉවත් කරන්න” කියලා ඔහු අපෙන් ඉල්ලන්නේ. w22.03 2 1-3¶
මාර්තු 30, බ්රහස්පතින්දා
“වෙනත් බැටළුවන්ද මට සිටිනවා.”—යොහ. 10:16.
වෙනත් බැටළුවන් සිහි කිරීමට සහභාගි වෙන එකෙන් ලොකු සතුටක් ලබනවා. බලාපොරොත්තුව ගැන ගැඹුරින් හිතන්න ඒක එයාලට උදව් වෙනවා. එදාට තියෙන දේශනයට ඇහුම්කන් දෙන්නත් එයාලා ඉන්නේ හරිම ආසාවෙන්. මොකද යේසුස් සහ 1,44,000දෙනා දහස් අවුරුදු පාලනය යටතේ විශ්වාසවන්ත අය වෙනුවෙන් කරන හුඟක් දේවල් ඒ දේශනයෙන් පැහැදිලි කරනවා. යේසුස්ගේ නායකත්වය යටතේ අභිෂේක ලත් අය පොළොව පාරාදීසයක් කරනවා. මිනිසුන්ට පරිපූර්ණත්වයට ළඟා වෙන්න උදව් කරනවා. එදාට යෙසායා 35:5, 6; 65:21-23 සහ එළිදරව් 21:3, 4 තියෙන පොරොන්දු ඉටු වෙන විදිහ දකින්න වෙනත් බැටළුවන්ට පුළුවන්. තමන් ආදරය කරන අයත් එක්ක පාරාදීසයේ ඉන්න විදිහ හිතින් මවාගන්නත් දිගටම විඳදරාගෙන පීඩා අතරින් පාරාදීසේ දකින්නත් ඒ දේශනය එයාලට උදව් වෙනවා. ඒකෙන් එයාලගේ බලාපොරොත්තුවත් දෙවියන්ට සේවය කරන්න එයාලා අරන් තියෙන අධිෂ්ඨානයත් ශක්තිමත් වෙනවා.—මතෙ. 24:13; ගලා. 6:9. w22.01 21 5-7¶
සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (නීසාන් 9: හිරු බැස යෑමෙන් පසු සිදුවීම්) මතෙව් 26:6-13
මාර්තු 31, සිකුරාදා
‘මනුෂ්ය පුත්රයා පැමිණියේ බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.’—මාක් 10:45.
යේසුස් ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කළේ ආදම් නිසා මිනිසුන්ට අහිමි වුණ දේ ආපහු ලබා දෙන්නයි. (1 කොරි. 15:22) මොකද යෙහෝවා දෙවියන් දීලා තිබුණ නීතියට අනුව ජීවිතයට ජීවිතයක් ඕන වුණා. (නික්. 21:23, 24) ආදම් නැති කරගත්තේ පරිපූර්ණ ජීවිතයක්. ඒ නිසා තමයි යේසුස්ට ඔහුගේ පරිපූර්ණ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න වුණේ. (රෝම 5:17) ඔහු ඒ දේ කරපු නිසා ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන හැමෝගෙම “සදාකාල පියාණන්” විදිහට ඔහුව හඳුන්වන්න පුළුවන්. (යෙසා. 9:6; රෝම 3:23, 24) යේසුස් ඔහුගේ ජීවිතය කැමැත්තෙන්ම පූජා කළේ යෙහෝවාට සහ අපිට තියෙන ආදරේ නිසයි. (යොහ. 14:31; 15:13) ඒ ආදරේ ඔහුව පෙලඹෙව්වා මරණය දක්වාම විශ්වාසවන්තව ඉඳලා ඔහුගේ තාත්තා දුන්න පැවරුම සම්පූර්ණයෙන්ම ඉටු කරන්න. ඒ නිසා මිනිස්සු ගැන දෙවියන්ට තිබුණ අරමුණ ළඟදීම මේ පොළොවේ ඉටු වෙනවා. w21.04 14 2-3¶
සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (නීසාන් 9: දිවා කාලයේ සිදුවීම්) මතෙව් 21:1-11, 14-17