දේව භක්තික යටත්කම—මන්ද, කා විසින් ද?
“අහෝ, යෙහෝවඃ වහන්ස, භූමික මිනිසාට තමාගේ මාර්ගය අයිති නැති බව හොඳින් දනිමි, ගමනේ යෙදෙන මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත.”—යෙරෙමියා 10:23, NW.
1. පුළුල් ලෙස අගය කරනු ලැබ තිබෙන්නේ කුමන ආකාරයේ ස්වාධීනත්වයන් ද?
මිනිස් ලිපි ලේඛනවල වඩාත් කැපී පෙනෙන දේ නම් ස්වාධීනත්වයේ ප්රකාශනය වන අතර, 18 වෙනි සියවසේ දී, උතුරු අමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපද 13ක් තමන්ගේ මව් රට වූ බ්‍රිතාන්‍යයෙන් ලත් ස්වාධීනත්වය මේ මගින් ප්‍රකාශ කරන ලදි. ඔවුන්ට වුවමනා වූයේ නිදහස ය, තව ද විදේශ පාලනයෙන් ස්වාධීනත්වය සහ නිදහස සමීප ව එකට බැඳී තිබේ. දේශපාලනික හා ආර්ථිකමය ස්වාධීනත්වය මහත් ප්‍රයෝජනයක් විය හැකි ය. මෑත කාලවල දී, නැගෙනහිර යුරෝපීය රටවල් දේශපාලනික නිදහසක් කරා ඇදී ගොස් තිබේ. කෙසේ වුවද, එම රටවල, එවන් ස්වාධීනත්වයක් බැරෑරුම් ගැටලු බොහොමයක් ගෙනැවිත් තිබෙන බවට පිළිගත යුතු ය.
2, 3. (අ) ප්‍රියජනක නොවන්නේ කුමන ආකාරයේ ස්වාධීනත්වයක් ද? (ආ) මෙම කාරණය මූලාරම්භයේ දී පැහැදිලි කරනු ලැබුවේ කෙසේ ද?
2 විවිධාකාරයේ ස්වාධීනත්වයන් ප්‍රිය උපදවන ඒවා විය හැකි වුව ද, ප්‍රිය උපදවන්නේ නැති ආකාරයේ ස්වාධීනත්වයක් තිබේ. ඒ කුමක් ද? මිනිසාගේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගෙන් ස්වාධීන වීමයි. එය ආශීර්වාදයක් නොව, නමුත් ශාපයකි. ඒ මන්ද? ඉහත උපුටා දක්වා ඇති යෙරෙමියාගේ වචනවලින් මනාව පෙන්වන සේ, මිනිසා සඳහා තම සැදුම්කරුවාණන්ගෙන් නිදහස් ව ක්‍රියා කරන්නට කිසි විටෙකත් අදහස් කරනු නොලැබූ නිසා ය. වෙනත් වචනවලින් කියතොත්, මිනිසා තම සැදුම්කරුවාණන්ට යටත්වීමට අදහස් කරන ලදි. අපගේ මැවුම්කරුවාණන්ට යටත්වීම යනුවෙන් අදහස් කරන්නේ උන් වහන්සේට කීකරු වීමයි.
3 උත්පත්ති 2:16, 17 හි වාර්තා වී ඇති පරිදි, පළමු මිනිස් යුවළට යෙහෝවඃ වහන්සේ විසින් දී ඇති ආඥාව තුළ එම කාරණය මනා ව පැහැදිලි කරන ලදි: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” තමාගේ සැදුම්කරුවාණන්ට යටත්වීම ප්‍රතික්ෂේප කිරීම, ආදම් සහ ඔහුගේ ජනිතයන් හට පාපය, දුක් වේදනාවන්, සහ මරණය ගෙනාවේ ය.—උත්පත්ති 3:19; රෝම 5:12.
4, 5. (අ) දෙවියන් වහන්සේට යටත්වීමට මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් ප්‍රතිඵලය කුමක් වී තිබේ ද? (ආ) ගැලවී යා නොහැක්කේ කිනම් සදාචාර නීතියෙන් ද?
4 දෙවියන් වහන්සේට යටත්වීම මිනිසා විසින් ප්‍රතික්ෂේප කිරීම අඥාන දෙයක් වන අතර ම සදාචාර වශයෙන් වැරදි ය. එය තුඩු දී ඇත්තේ ලෝකය තුළ, දසත විහිදුණු නොපනත්කම, අපරාධ, ප්‍රචණ්ඩතාවය, සහ ලිංගික දුරාචාරය සමඟින් එහි ඵල වන ලිංගික ව බෝවෙන රෝගවලට ය. මීට අමතර ව, අද දින වසංගතයක් වැනි වූ බාලාපරාධ විශාල වශයෙන් සිදුවේගන යන්නේ, යෞවනයන් යෙහෝවඃ වහන්සේට, එමෙන් ම තමන්ගේ දෙමාපියන්ට හා රටේ නීතිවලට යටත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා නොවේ ද? ස්වාධීනත්වයේ මෙම ස්වභාවය, බොහෝ මිනිසුන් අඳින පළඳින නොහොබිනා සහ අපිරිසිදු විලාශයෙන් සහ ඔවුන් භාවිතා කරන අසභ්‍ය භාෂාව තුළ දක්නට තිබෙයි.
5 එහෙත්, මැවුම්කරුවාණන්ගේ ස්ථිරසාර සාදාචාර නීතියෙන් ගැලවී යන්නට කිසිවෙකුට නොහැක: “නොරැවටෙල්ලා; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය.”—ගලාති 6:7, 8.
6, 7. යටත්වීමට ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති මූලික හේතුව කුමක් ද, ඒවා පෙනී යන්නේ කිනම් උදාහරණවලින් ද?
6 මේ අයුරින් යටත්වීමට ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති මූලික හේතුව කුමක් ද? සරල ව කිවහොත්, ඒ ආත්මාර්ථය හා උඩඟුකමයි. පළමු ස්ත්‍රිය වූ ඒව, සර්පයා විසින් තමා ව ම රටවනු ලැබීමට ඉඩ හැර, තහනම් ඵලය අනුභව කළේ එමනිසා ය. ඈ විනීත ව යටහත් පහත් ව සිටියා නම්, දෙවියන් වහන්සේට සමාන වීමට තිබූ පෙලඹ වීම—එනම් යහපත හා නපුර කුමක් ද කියා ඈ විසින් ම තීරණය කිරීම—ඇගේ සිත් ගන්නට තිබුණේ නැත. ඇරත් ඈ ආත්මාර්ථකාමී ව නොසිටියා නම්, ඇගේ සැදුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් ඉතා පැහැදිලි ව තහනම් කර තිබූ යමක් ඈට වුවමනා නොවනු ඇත.—උත්පත්ති 2:16, 17.
7 ආදම් සහ ඒවගේ වැටීමෙන් පසු වැඩිකල් ගත වෙන්නට පෙර, උඩඟුකම සහ ආත්මාර්ථකාමිත්වය කායින් ව තම සහෝදර ආබෙල් ව මරන්නට හේතු කරවූයේ ය. තව ද, ලිංගික වින්දනයන් සන්තර්පණය කිරීම පිණිස තමන්ගේ මූලාරම්භයේ තත්ත්වයන් අත්හැර දමා මූර්තිමත් වෙමින්, ස්වාධීන ලෙස ක්‍රියා කරන්නට එක්තරා දේව දූතයන් හට හේතු කරවූයේ ආත්මාර්ථකාමිත්වයයි. උඩඟුකම සහ ආත්මාර්ථකාමිත්වය නිම්රොද් ව පෙලඹ වූ අතර, ඔහුගේ කාලයේ සිට ඔහුගේ ගති ලක්ෂණ බොහෝ ලෝක පාලකයන්ගේ ගති ලක්ෂණ වී තිබේ.—උත්පත්ති 3:6, 7; 4:6-8; 1 යොහන් 3:12; යූද් 6.
අප යෙහෝවඃ දෙවියන් වහන්සේට යටත්වීමට හේතුව
8-11. අප විසින් දේව භක්තික යටත්කම පැවැත්වීමේ ලා තිබෙන ප්‍රබල හේතු හතර මොනවා ද?
8 අප අපගේ සැදුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේට යටත් විය යුත්තේ මන්ද? සියල්ලට ම වඩා, උන් වහන්සේ විශ්වනීය පරමාධිපතියාණන් වන හෙයිනි. සියලු අධිකාරිත්වයන් හරි ලෙස රඳා පවතින්නේ උන් වහන්සේ මත ය. උන් වහන්සේ වනාහි අපගේ විනිශ්චයකරුවාණෝ ය, නීතිදායකයාණෝ ය, සහ රජාණෝ ය. (යෙසායා 33:22) උන් වහන්සේ ගැන මනා ව මෙසේ ලියා තිබේ: “උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ, අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.”—හෙබ්‍රෙව් 4:13, නව අනුවාදය.
9 එපමණක් ද නොව, අපගේ සැදුම්කරුවාණන් සර්වබලධාරී නිසා, උන් වහන්සේට විරුද්ධ වී සාර්ථක වන්නට කිසිවෙකුට නොහැක; උන් වහන්සේට යටත්වීමට තිබෙන බැඳීම නොසලකා හරින්නට කිසිවෙකුට නොහැක. පුරාණයේ දී ඵාරාවෝට සිදුවුණාක් මෙන්, සහ දෙවියන් වහන්සේගේ නියමිත කාලයේ දී සාතන් වන යක්ෂයාට සිදු වනු ඇත්තාක් මෙන්, ප්‍රතික්ෂේප කරන අය ඉක්මනින් ම හෝ පසු ව විනාශයට පත්වනු ඇත.—ගීතාවලිය 136:1, 11-15; එළිදරව් 11:17; 20:10, 14.
10 යටත්කම යනු සියලු ම බුද්ධිමත් මැවිලි සඳහා වූ බැඳීමක් වන අතර ඊට හේතුව නම් ඔවුන් පවතින්නේ තමන්ගේ සැදුම්කරුවාණන්ට සේවය කිරීමේ අරමුණ උදෙසා වන බැවින් ය. එළිදරව් 4:11 මෙසේ ප්‍රකාශ කරයි: “අපගේ ස්වාමීන්වහන්ස [යෙහෝවඃ වහන්ස NW], අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.” උන් වහන්සේ ශ්‍රේෂ්ඨ කුඹල්කරුවාණෝ ය, තව ද උන් වහන්සේ, මිනිස් භාජන ස්වකීය අරමුණට දායක වීම සඳහා තනන සේක.—යෙසායා 29:16; 64:8.
11 අපගේ සැදුම්කරුවාණන් වනාහි සර්ව ප්‍රඥාවන්ත තැනන් වහන්සේ ය යන කාරණය අප කිසිවිටෙකත් නොසලකා නොහැරිය යුතු ය, එමනිසා අප සඳහා වූ හොඳ ම දේ කුමක් දැයි උන් වහන්සේ දන්නා සේක. (රෝම 11:33) උන් වහන්සේගේ නීති ‘අපගේ යහපතට ය.’ (ද්විතීය කථාව 10:12, 13) සියල්ලට ම වඩා, “දෙවියන්වහන්සේ ප්‍රේමයය,” එමනිසා උන් වහන්සේට වුවමනා වන්නේ අප සඳහා හොඳ ම දේ පමණි. අපගේ සැදුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේට යටත්වීමට අප හට බල කරවන සුලු හේතු කොතරම් තිබෙනවා ද!—1 යොහන් 4:8.
දේව භක්තික යටත්කමේ පරිපුර්ණ ආදර්ශය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
12, 13. (අ) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව භක්තික යටත්කම විදහා දැක්වූයේ කෙසේ ද? (ආ) යේසුස් වහන්සේගේ යටහත් ආකල්පය පෙන්වන්නේ උන් වහන්සේගේ කිනම් වදන්වලින් ද?
12 යෙහෝවඃ වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දේව භක්තික යටත්කමේ පරිපූර්ණ ආදර්ශය අප හට දෙන බවට අල්පමාත්රයක සැකයක්වත් නැත. ප්‍රේරිත පාවුල් මෙය පිලිප්පි 2:6-8 හි මෙසේ ගෙන හැර දක්වයි: “[යේසුස් වහන්සේ], දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, [උන් වහන්සේ [තවදුරටත්] යටත් වී NW] මරණය, එසේය, කුරුසියේ [වධ කණුවේ NW] මරණය දක්වා කීකරුවූසේක.” පොළොව මත සිටි විට දී, යේසුස් වහන්සේ යළි යළිත් කියා සිටියේ, තමාගේ ම මුල පිරීමෙන් තමා කිසිවක් නොකළ බවයි; උන් වහන්සේ ස්වාධීන ලෙස ක්‍රියා කළේ නැත, නමුත් සිය ස්වර්ගික පියාණන්ට වූ යටත්කම සෑම විට ම පවත්වා ගත් සේක.
13 යොහන් 5:19, 30 හි අපට මෙසේ කියවීමට තිබේ: “යේසුස්වහන්සේ උත්තර දෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි—පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම [තම මුල පිරීමෙන් NW] කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. මට තනියම [මගේ ම මුල පිරීමෙන් NW] කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත සොයමි.” ඒ හා සමාන ව, තමා පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී “මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා” උන් වහන්සේ නැවත නැවත මෙසේ යාච්ඤා කළ සේක.—මතෙව් 26:39, 42, 44; යොහන් 7:28; 8:28, 42 ද බලන්න.
දේව භක්තික යටත්කමේ පුරාණ ආදර්ශයන්
14. නෝවා දේව භක්තික යටත්කම පෙන්වූයේ කුමන ආකාරවලින් ද?
14 දේව භක්තික යටත්කමේ පැරණි මිනිස් ආදර්ශයන් අතර වූ කෙනෙකි නෝවා. ඔහු සිය යටත්කම තුන් ආකාරයකින් නිරූපනය කළේ ය. පළමුව, තමාගේ සමකාලීනයන් අතර නිර්දෝෂ කෙනෙකු වෙමින්, සැබෑ දෙවියන් වහන්සේ සමඟ හැසිරෙමින් ධර්මිෂ්ඨ මිනිසෙකු වීමෙනි. (උත්පත්ති 6:9) දෙවෙනුව, නැව ඉදිකිරීම මගිනි. ඔහු “එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.” (උත්පත්ති 6:22) තුන්වෙනුව, “ධර්මමිෂ්ඨකමේ දේශනාකාරයෙක්” වශයෙන් පැමිණෙන්නට යන මහා ජල ගැල්ම ගැන අනතුරු ඇඟවීම මගිනි.—2 පේතෘස් 2:5.
15, 16. (අ) දේව භක්තික යටත්කමේ දී ආබ්‍රහම් තැබූ කදිම ආදර්ශය කුමක් ද? (ආ) සාරා යටත්කම පෙන්වූයේ කෙසේ ද?
15 ආබ්‍රහම්, දේව භක්තික යටත්කමේ තවත් කැපී පෙනෙන ආදර්ශයක් විය. ඔහු යටත්කම විදහා දැක්වූයේ, “ඔබගේ රටෙන් ඉවත් ව යන්න” යන දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරු වෙමිනි. (උත්පත්ති 12:1, NW) ඉන් අදහස් කළේ, ඌර් (පුරා විද්‍යාත්මක සොයා ගැනීම්වලින් නොවැදගත් නගරයක් ලෙස අඟ වූ නමුත් එසේ නොවූ) නගරයේ තම සුව පහසු වටාපිටාව හැර දමා, ඔහු ස්ථිර පදිංචියක් නැත්තෙකු සේ වසර සියයක් පමණ විදේශ රටක තැනින් තැන යාම ය. විශේෂයෙන් ම ආබ්‍රහම් දේව භක්තික යටත්කම පෙන්වූයේ, තම පුත්‍ර ඊසාක් ව පූජා කිරීමට කැමැති වීමේ මහත් පරීක්ෂණයට මුහුණ දීම මගින් ය.—උත්පත්ති 22:1-12.
16 ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා දේව භක්තික යටත්කම පිළිබඳ මනා ආදර්ශයක් අප හට සපයයි. අමුතු දේශයක එහා මෙහා යාම, බොහෝ අපහසුතාවයන් ඇති කළ බවට කිසිදු සැකයක් නැත, නමුත් ඈ මැසිවිලි කී බවට අපට කොතැනකවත් කියවීමට නැත. මිථ්‍යා දෘෂ්ටික පාලකයන් ඉදිරියේ දී ආබ්‍රහම් විසින් ඈ ව ඔහුගේ සහෝදරිය ලෙස ඉදිරිපත් කළ අවස්ථා දෙකේ දී ම, ඈ දේව භක්තික යටත්කමේ කදිම ආදර්ශයක් තැබුවා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඈට ඔවුන්ගේ අන්තඃපුරවල සාමාජිකාවක් වන තරමේ තත්ත්වයකට පත්වීමට සිදු වුව ද, අවස්ථා දෙකේ ම ඈ සහයෝගයෙන් ක්‍රියා කළා ය. ඇගේ දේව භක්තික යටත්කම කියාපාන්නා වූ එක දෙයක් නම් ඇය ඇගේ සැමියා වූ ආබ්‍රහම්ට “මගේ ස්වාමියා” යයි ඈ තුළ ම පවසා ගැනීම ය, ඇරත් මෙයින් පෙන්වන්නේ මෙය ඇගේ අව්‍යාජ හෘද ආකල්පය වූ බව ය.—උත්පත්ති 12:11-20; 18:12; 20:2-18; 1 පේතෘස් 3:6.
17. ඊසාක් දේව භක්තික යටත්කම පෙන්වූ බව කිව හැක්කේ මන්ද?
17 ආබ්‍රහම්ගේ පුත් ඊසාක් විසින් සපයන ලද දේව භක්තික යටත්කමේ ආදර්ශය අපි නොසලකා නොහරිමු. යෙහෝවඃ වහන්සේ, ඔහුගේ පියා වූ ආබ්‍රහම්ට ඔහු ව පූජාවක් වශයෙන් ඔප්පු කරන ලෙස අණ කළ විට, ඊසාක්ට වයස අවුරුදු 25ක් පමණ වූ බව යුදෙව් සම්ප්රදායන්ගෙන් ඇඟවෙයි. ඊසාක් වුවමනාවක් තිබුණා නම්, තමාට වඩා වයස අවුරුදු සියයකින් පමණ වයස් ගත ව සිටි තම පියා හට පහසුවෙන් විරුද්ධ වීමට තිබිණි. එහෙත් එසේ නොකළේ ය. පූජාව සඳහා සතෙකු නැතිකම ගැන ඊසාක් කල්පනා කළ ද, ඝාතන පිහිය පාවිච්චි කරන්නට වූවා නම්, ඉබේ ම වාගේ සිදු විය හැකි ප්‍රතික්‍රියාවන් වළකාලන්නට හෝ පාලනය කිරීම පිණිස, ඔහුගේ පියා විසින් ඔහු ව පූජාසනය මත තබා ඔහුගේ අත් පා ගැටගසන විට ඔහු ඊට මොළොක්කමින් යුතු ව යටත් වූයේ ය.—උත්පත්ති 22:7-9.
18. මෝසෙස් ආදර්ශවත් දේව භක්තික යටත්කමක් පෙන්වූයේ කෙසේ ද?
18 වසර ගණනාවකට පසු ව, දේව භක්තික යටත්කම පිළිබඳ ව මෝසෙස් අප හට ආදර්ශයක් තැබුවේ ය. ඔහු ව “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණන්විත කෙනෙක්” වශයෙන් විස්තර කර තිබීමෙන් එය සහතික ව ම ඇඟවෙයි. (ගණන් කථාව 12:3) මිලියන දෙකක හෝ තුනක සංඛ්‍යාවකින් සමන්විත කැරලිකාර සෙනඟක් අධීක්ෂණය කිරීමට ඔහුට තිබුණ ද, කාන්තාරයේ දී වසර 40ක් පුරා යෙහෝවඃ වහන්සේගේ ආඥාවන් කීකරු ලෙස පවත්වා ගෙන යාම, ඔහුගේ දේව භක්තික යටත්කමට තවත් සාක්ෂි ඉදිරිපත් කරයි. මෙසේ, “මෝසෙස් කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය” යයි වාර්තාව පවසයි.—නික්මයාම 40:16.
19. යෝබ් යෙහෝවඃ වහන්සේට යටත්කම පෙන්වූයේ ඔහුගේ කිනම් ප්‍රකාශන මගින් ද?
19 යෝබ් වනාහි දේව භක්තික යටත්කම ගැන අප හට අනර්ඝ ආදර්ශයක් තබන තවත් කැපී පෙනෙන චරිතයකි. යෝබ්ගේ දේපළ සියල්ල මුලිනුපුටා දැමීමටත්, ඔහුගේ දරුවන් මරා දමා, ඉන් පසු ‘යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමටත්’ යෙහෝවඃ වහන්සේ විසින් සාතන් හට අවසර දීමෙන් පසු ව, යෝබ්ගේ භාර්යාව ඔහුට මෙසේ කීවා ය: “නුඹේ අවංකකම [අඛණ්ඩතාවය NW] තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා [දෙවියන් වහන්සේට ශාප කොට NW] මැරෙව.” ඒ කෙසේ වෙතත්, යෝබ් ඈට මෙසේ පැවසීමෙන් සිය දේව භක්තික යටත්කම පෙන්වූයේ ය: “නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේද?” (යෝබ් 2:7-10) ඔහුගේ එම මානසික ආකල්පය ම පෙන්වන ඔහුගේ වචන යෝබ් 13:15 හි [NW] වාර්තා වී තිබේ: “උන් වහන්සේ මා ව මරා දැමුවත්, මා බලා සිටින්නේ නැත් ද?” ඇත්තෙන් ම, යෝබ් තමාගේ ම හරි බව ගැන මහත් සැලකිල්ලක් දක්වා සිටිය ද, අවසානයේ දී, ඔහුගේ සනසන අය යයි කියා සිටි අයගෙන් කෙනෙකුට යෙහෝවඃ වහන්සේ මෙසේ පැවසූ බව අප විසින් අමතක නොකළ යුතු ය: “මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.” යෝබ් අප හට දේව භක්තික යටත්කමේ කදිම ආදර්ශයක් සපයන බවට කිසිදු සැකයක් නැත.—යෝබ් 42:7.
20. දාවිත් දේව භක්තික යටත්කම පෙන්වූයේ කිනම් ආකාරවලින් ද?
20 හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙන් ගත හැකි තවත් එක් ආදර්ශයක් ගැන සඳහන් කරනවා නම්, ඒ දාවිත් ය. සාවුල් රජ දාවිත් පසුපස සතෙකු මෙන් ලුහුබැඳ ගිය අවස්ථාවේ දී, සාවුල් ව මරා දැමීමෙන් තමාගේ කරදරවලින් මිදෙන්නට දාවිත් හට ප්‍රස්තාවන් දෙකක් උදා විණි. එහෙත්, දාවිත්ගේ දේව භක්තික යටත්කම එසේ කිරීමෙන් ඔහු ව වළක්වාලූයේ ය. ඔහුගේ වචන 1 සාමුවෙල් 24:6 හි වාර්තා වී තිබේ: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මා වලක්වාලන සේක්වා. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] අභිෂේකලත් තැනැත්තාය.” (1 සාමුවෙල් 26:9-11 ද බලන්න.) ඒ හා සමාන ව, ඔහු වැරදි කළ විට හෝ පව් කළ විට, තරවටු පිළිගැනීමෙන් ඔහු තමාගේ දේව භක්තික යටත්කම පෙන්වූයේ ය.—2 සාමුවෙල් 12:13; 24:17; 1 ලේකම් 15:13.
යටත්කම පිළිබඳ පාවුල්ගේ ආදර්ශය
21-23. ප්‍රේරිත පාවුල් දේව භක්තික යටත්කම පෙන්වූයේ කිනම් විවිධ අවස්ථාවන්හි ද?
21 ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි තුළ, දේව භක්තික යටත්කම පිළිබඳ ව කැපී පෙනෙන ආදර්ශයක් අපට ප්‍රේරිත පාවුල් තුළ දැකිය හැකි ය. තමාගේ ප්‍රේරිතමය දේව සේවයේ වෙනත් සියලු අංගයන්හි දී කළාක් මෙන් ඔහු මේ සම්බන්ධයෙන් ද තම ස්වාමියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කළේ ය. (1 කොරින්ති 11:1) වෙනත් ප්‍රේරිතයන්ගෙන් කුමන අයෙකුටත් වඩා, යෙහෝවඃ දෙවියන් වහන්සේ ඔහු ව වඩාත් ප්‍රබල ලෙස යොදා ගත්ත ද, පාවුල් කිසිවිටෙකත් ස්වාධීන ව ක්‍රියා කළේ නැත. අන්‍ය ජාතීන්ගෙන් හැරුණු අය ව චර්මච්ඡේදනය කළ යුතු ද යන්න ගැන ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවේ දී, “මේ වියවුල සම්බන්ධ ව යෙරුසලමේ සිටින ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් වෙතට යාම සඳහා ඔවුහු [අන්තියෝකයේ සහෝදරයෝ] පාවුල් සහ බාර්ණබස් ද තවත් සමහර දෙනෙකු හට ද විධිවිධාන යෙදුවෝ ය.”—ක්‍රියා 15:2, NW.
22 පාවුල්ගේ මිෂනාරි කටයුතු සම්බන්ධ ව අපට ගලාති 2:9 හි මෙසේ පවසා තිබේ: “එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙන ලද අනුග්‍රහය [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව NW] දැනගත්කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මච්ඡේදිතයන් වෙතටද යන පිණිසය.” ස්වාධීන ව ක්‍රියා කරනවා වෙනුවට ප්‍රේරිත පාවුල් මඟ පෙන්වීම සෙවී ය.
23 මීට සමාන ව, පාවුල් යෙරුසලමේ සිටි අන්තිම වතාවේ දී, දේවමාලිගයට යාම සම්බන්ධ ව සහ මෝසෙස්ගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන්, ඔහු ඇදහිල්ල අත් හැර ගිය කෙනෙකු නොවන බව සියල්ලන් විසින් ම දැක ගනු පිණිස, ව්‍යවස්ථාවේ වත් පිළිවෙත් අනුගමනය කිරීම සම්බන්ධ ව එහි සිටි වැඩිමහල්ලන් විසින් දෙන ලද උපදෙස් පිළිගත්තේ ය. ඔහු එසේ කිරීම, ඔහුට විරුද්ධ ව පැන නැඟි කෝලහාලයක් සමඟින් ඛේදජනක ලෙස අවසන් වූ බවක් දක්නට තිබුණු නිසා, එම වැඩිමහල්ලන්ට යටත්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් අත්වරැද්දක් වූවේ ද? කොහෙත් ම නැත, මන්දයත් ක්‍රියා 23:11 හි අපට කියවන්නට ඇති දෙයින් මෙය පැහැදිලි වෙයි: “එදා රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට: ධෛර්ය්ය ඇතුව සිටපන්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂිදුන් සේම රෝමයේදීත් සාක්ෂිදෙන්ට ඕනෑයයි කීසේක.”
24. ඊළඟ ලිපිය තුළ සාකච්ඡා කරනු ලබන්නේ යටත්කමේ තවදුරටත් තිබෙන කිනම් පැති ද?
24 සැබවින් ම, අප විසින් යටත්වීම සඳහා වූ ප්‍රබල හේතු සහ එවන් යටත්කමක් විදහා දැක්වූවා වූ අයගේ මනහර ආදර්ශයන් ශුද්ධ ලියවිල්ල අප හට ලබා දෙයි. ඊළඟ ලිපියේ දී, අප විසින් යෙහෝවඃ දෙවියන් වහන්සේට යටත් විය හැකි විවිධ පැති, එසේ කිරීමට අපට තිබෙන ආධාරයන්, සහ ඉන් ප්‍රතිඵල කරවන විපාක ගැන අපි සලකා බලන්නෙමු.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?
◻ ප්‍රියජනක නොවන්නේ කුමන ආකාරයේ ස්වාධීනත්වය ද?
◻ යටත්වීමට ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති මූලික හේතුව කුමක් ද?
◻ අප යෙහෝවඃ වහන්සේට යටත් විය යුත්තේ කිනම් හේතු නිසා ද?
◻ දේව භක්තික යටත්කම පිළිබඳ ව ශුද්ධ ලියවිල්ල සපයන කදිම ආදර්ශයන් මොනවා ද?
[10වන පිටුවේ පින්තූරය]
ජල ගැල්මට පසු ව සිටි දේව භක්තික යටත්කමට එරෙහි ව කැරලි ගැසූ පළමු පාලකයා, නිම්රොද්
[13වන පිටුවේ පින්තූරය]
දේව භක්තික යටත්කමේ නිර්දෝෂ ආදර්ශය නෝවා—උත්පත්ති 6:14, 22