රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
පාසලේ ආත්මික සාගින්නෙන් පෙළෙන්නන් ව තෘප්තිමත් කරලීම
“තම ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නෝ සන්තෝෂ ලද්දෝ” යයි යේසුස් වහන්සේ සිය කන්ද උඩ දේශනයේ දී වදාළ සේක. (මතෙව් 5:3, NW) පාසල් සිසුන් බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ ආශ්චර්යවත් අරමුණු ගැන අවබෝධයක් ලැබීමට පිපාසාවෙන් සිටිති. ජීවිතය පිළිබඳ ප්‍රශ්න ගැන හා දෙවියන් වහන්සේගේ අනුමැතිය ලබා සතුටින් සිටීමට ජීවත් විය යුතු ආකාරය ගැන ඔවුන්ට පිළිතුරු ඕනෑ වී ඇත. මෙය බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්වල පැහැදිලි ව දක්නට තිබුණි. එහි වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් විස්තර කළේ මෙසේ ය:
◻ “මා පළාතේ පාසලේ ගුරු දෙගුරු රැස්වීමකට සහභාගි වූ අතර එහි මත් ද්‍රව්‍ය, මද්‍ය පානය, විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුර, රූපවාහිනිය නැරඹීම, පාසලේ දී ශිෂ්‍යයන් ලබන ලකුණු ප්‍රමාණය හා වෙනත් දෑ පිළිබඳ ව බොහෝ දේ කියනු ලැබූ බැවින්, ක්වෙස්චන්ස් යං පීපල් ආස්ක්—ආන්සර්ස් දැට් වර්ක් (යෞවනයන් අසන ප්‍රශ්න) නම් පොත රැගෙන ගොස් එය ප්‍රධාන ගුරුවරියට පිළිගැන්වීමට මම තීරණය කළෙමි. ඇය එම පොත පරීක්ෂා කළ පසු, තමන්ට ඕනෑ ව තිබුණේ එය බවත්, එම පාසලේ සිටින ශිෂ්‍යයන් 120 දෙනාට පිටපත බැගින් පාසලට ලබා ගත හැකි ද යන්නත් ඇය විමසුවා ය. එම විෂය සභාවේ වැඩිමහල්ලන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, ඔවුහු එම පොත් පාසලට පරිත්‍යාග කිරීමට තීරණය කළහ. අප මේ බව දැන්වූ විට, එම පොත් ශිෂ්‍ය මණ්ඩලයට පරිත්‍යාග කරන ලෙස ගුරුවරු ඉල්ලා සිටියහ. සාක්ෂිකරුවන් දෙදෙනෙක් එහි ගිය අතර ඔවුන් එන තුරු බලා සිටි ශිෂ්‍යයන්ගෙන් එම කාමරය පිරී තිබිණ. එම සහෝදරයන් පැය භාගයකට කථා කළ අතර එම පොත බාල මහලු සියල්ලන්ට උපකාරවත් වී ඇති ආකාරය පෙන්වන අත්දැකීම් වොච් ටවර් සමිතියේ සඟරාවලින් කියවනු ලැබී ය. අනතුරුව එම පොත් උනන්දුවෙන් බලා සිටි ශිෂ්‍යයන්ට බෙදා දෙන ලදි.”
එම පොත හතරවන හා පස්වන ශ්‍රේණි සඳහා වූ ක්‍රමවත් පාඨමාලාවේ කොටසක් හැටියට පාවිච්චි කිරීමට එම පාසල තීරණය කළ බව දැනගැනීම ප්‍රීතියකි. මෙම ශිෂ්‍යයන්ට ජීවිතය හා අනාගතය පිළිබඳ ව ඇති ප්‍රශ්න බොහොමයකට එය සැබවින් ම පිළිතුරු දෙනු ඇත.
පාපුවා නිව්ගිනියාවේ ආත්මික සාගින්නෙන් පෙළෙන්නන් තෘප්තිමත් කරවීම
සංචාරක අවේක්ෂකයෙක් මතු සඳහන් අත්දැකීම ඉදිරිපත් කළේ ය. එම රටේ වෙසෙන ජනයා කොතරම් ආත්මික සාගින්නෙන් පෙළෙනවා ද යන්නත්, බයිබලය මත පදනම් අපගේ ප්‍රකාශන සාගින්නෙන් පෙළෙන්නන් ව තෘප්තිමත් කරලීමෙහි කොතරම් කාර්ය සාධක ද යන්නත් එය විස්තර කරයි.
◻ එම අවේක්ෂක මෙසේ පැවසී ය: “මට කම්බෙරාටොරො ගමට යන්නට නොහැකි වූ බැවින්, මම වානිමෝහි ඇති කුඩා සභාවත් සමඟ සේවය කරමින් කාලය ගත කළෙමි. එහි උනන්දුව දක්වන බොහෝ දෙනෙක් සිටිති. බෙවානි හි බොහෝ දෙනෙක් ප්‍රකාශන පිළිගත්හ. එම ගමට එන ලෙසත්, තමා නවාතැන් පහසුකම් සපයන බවත් එක් මනුෂ්‍යයෙක් පැවසී ය. බොහෝ දෙනෙක් අපගේ ප්‍රකාශන හොඳින් දනිති. අප වානිමෝ නගරයට ගිය සෑම අවස්ථාවක ම, අප පොත් පෙට්ටි තුනක් රැගෙන ගිය ද, අපට ප්‍රකාශන හිඟ වී ඇත. මගේ බයිබල් කතන්දර පොත රන් තරම් වටින්නේ යයි සැලකේ. ජනයා එය සොයමින් සිටිති. මා ගෙන ගිය පොත් ඉතා ඉක්මනින් අවසන් විය. අපගේ ප්‍රකාශන අප ජනයාට පෙන්වූ විට, සමහරෙක් ‘ඒ කහ පාට පොත නැද්ද?’ කියා අසති. එක්කෙනෙක් පොත් හයක් ඉල්ලා සිටියේ ය. ඔහු මට ඔහුගේ නමත්, ලිපිනයත් දී, මා ඒවා ලද විට ගුවන් විදුලියෙන් නිවේදනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. එවිට ඔහු ඒවා ලබා ගැනීමට තමාගේ ගමෙන් එනු ඇත.” එම සංචාරක අවේක්ෂක තවදුරටත් මෙසේ ද පවසයි: “වානිමෝහි බොහෝ දෙනා මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝ ගෝඩ් හා ක්වෙස්චන්ස් යං පීපල් ආස්ක්—ආන්සර්ස් දැට් වර්ක් යන පොත් ද ලබා ගන්නා බව මම දුටුවෙමි.”
මෙය, බයිබලයේත්, යෙහෝවඃ වහන්සේ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් සපයා ඇති ප්රකාශනවලත් ඇති ආත්මික ආහාර සඳහා, අවංක හෘද ඇත්තවුන් තුළ පවතින සාගින්නේ ප්‍රමාණය විස්තර කරයි. (මතෙව් 24:45-47) සත්‍යයට සාගින්නෙන් සිටින මොවුන්ට උපකාර කිරීමට හැකි වීම ගැන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කොතරම් සතුටු වෙත් ද!
[19වන පිටුවේ පින්තූරය]
පපුවා නිව්ගිනියාවේ සාක්ෂි දැරීම