පොරොන්දු දේශයෙන් දර්ශන
ප්‍රීතිවන්න!—පැස් තෙලින් ඉතිරී ඇත
යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීති සන්තෝෂ වන්න’ යයි දිවැස්වර යෝවෙල් සියොන් පුත්‍රයන්ට අවවාද කළේ ය. ඔවුන්ගේ ප්‍රීතිය හා සමෘද්ධිය විස්තර කිරීමට ඔහු ඔලීව තෙල් යොදා ගත්තේ ය: “කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත, මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.”—යෝවෙල් 2:23, 24.
ඔබ බයිබල් කාලවල ඊශ්‍රායෙලයේ ජීවත් ව සිටියේ නම්, ඉහත දක්වා ඇති ආකාරයේ ඔලීව ගසක්, ඔබගේ නිවස අසල, හෝ ඔබගේ වතු යායේ තිබීම ගැන ඔබ අතිශයින් සතුටු වන්නට ඇත.a එය ඔබගේ ජීවිතය වඩාත් පහසු, වඩාත් ප්‍රිය ජනක කරවනු ඇත. ඔලීව ගසක් මෙතරම් වැදගත් වනු ඇත්තේ මක්නිසා ද?—විනිශ්චයකාරයන් 9:8, 9 සසඳන්න.
පළමු ව ඔබගේ ගස දෙස හොඳින් බලන්න. ඔලීව ගස් ශතවර්ෂ ගණනාවකට, ඇතැම් ඒවා අවුරුදු දහසකට වඩා ජීවත් විය හැකි බැවින්, සමීප පරීක්ෂාවක් ගැට සහිත, අළු පැහැති කඳක් පෙන්වනු ඇත. ඔබගේ ගස අඩි 20ක් පමණ උස විය හැකි අතර, එය නිසැක ව ම දේවදාර ගසක් තරම් විශාල හෝ පාම් ගසක් තරම් ශෝභමාන නොවන්නට පුළුවන. රිදීවන් දීප්තියකින් යුත් එහි සදාහරිත ශාක පත්‍ර, වසර පුරා සෙවණ ලබා දෙයි. එහෙත්, ඔබ එහි පෙනුම, හෝ එහි සෙවණ නිසා පමණක් ම ඔබගේ ගස අගය නොකළ යුතු ය. ඇත්තෙන් ම එසේ නොකළ යුතු ය.
වටිනා දෙය නම්, එය නිපදවන දහස් සංඛ්‍යාත කොළ පැහැති නැතහොත් කළු පැහැති ඔලීව ගෙඩිය! ඔලීව ගස දෛනික මනුෂ්‍ය ජීවිතයේ හා ඊශ්‍රායෙලයේ ක්‍රියාකාරකම්වල වැදගත් සාධකයක් කරවනුයේ එයයි. එම ගස ඔලීව ගෙඩි දැරීම සඳහා සූදානම් වීමක් වශයෙන් මැයි මාසයේ දීප්තිමත් වර්ණයෙන් යුත් මල්වලින් පිරී පවතී. (යෝබ් 15:33) ඒවා මෝරත් ම, ඒවායේ වර්ණය කහ පැහැති කොළ පාටින් යුත් තද දුඹුරු හෝ කළු පැහැයට වෙනස් විය හැක.
ඔක්තෝබර්⁄නොවැම්බර් මාසවල ඔලීව ගෙඩි රැස් කිරීම දුෂ්කර කාර්යයක් විය. පහත එළන ලද රෙදි මතට එම ඉදුනු ගෙඩි වැටෙන සේ ඔබට කෝටුවලින් එම ගසට ගහන්නට සිදුවේ. (ද්විතීය කථාව 24:20) සාමාන්‍යයෙන් ඒවායේ ඇති තිත්ත රසය ඉවත් කිරීමට ලුණු දියේ පෙඟීම වැනි යමක් කිරීමෙන්, සැකසීමට පෙර ඔලීව ගෙඩි සෝදනු ලැබේ. ඊළඟට කුමක් ද?
එය ඔබට ඔබගේ සරුසාර අස්වැන්න භුක්ති විඳීමට හෝ ඉන් ලාභ ලැබීමට ඕනෑ කරන ආකාරය මත රැඳී පවතී. ඔබට ඔලීව ගෙඩි අමුවේ ම කන්නට පුළුවන, නැතහොත් ඔබගේ පවුලට මාස ගණනාවකට රසවත් ආහාරයක් ලෙස තබා ගත හැකි ලෙසින් ඔබට එය අච්චාරුවක් ලෙස සකස් කර ගත හැකි ය. ඔලීව ගෙඩි, ඇතැම් විට බාර්ලි කේක් සමඟ රසවත් කරන ලද ඔලීව අඩංගු ආහාරයක් හැටියට ගනිමින්, ආහාරයේ ප්‍රධාන කොටසක් විය හැකි ය.
කෙසේ වෙතත්, ඇතැම් විට, ඔබ ඔලීවවලින් වැඩි ප්‍රමාණයක් අතිශයින් ප්‍රයෝජනදායක හා වටිනාකමකින් යුත් ද්‍රව්‍යය—එනම් ඔලීව තෙල්—ලබා ගැනීමට යොදවනු ඇත. මෙය ආකාර බොහොමයකින් පාවිච්චි කිරීමෙන් ඔබට විවිධාකාර ඝනයන්ට අයත් තෙල් ලබා ගත හැකි ය. පළමු ව, ඔබට ඉදුනු ඔලීව, වංගෙඩියක හෝ ඔබගේ පාද යට පොඩිකර යන්තමට තලා නැතහොත් මිරිකා ගත හැකි ය. (මීකා 6:15) දැන් නිපද වූ අධිනිර්මල යයි හඳුන්වනු ලබන ඉහළ ම ඝනයේ තෙල මණ්ඩපය ආලෝකවත් කළ පහන් සඳහා උචිත විය. (නික්මයාම 25:37; 27:20, 21) සුවිශේෂී අවස්ථාවන් සඳහා කෑම පිසීමට අනර්ඝ මෙම තෙල් පාවිච්චි කිරීමෙන් ඔබ ලබන සතුට කල්පනා කර බලන්න!
ළොඳෙන් වැඩි තෙල් ප්‍රමාණයක් ලබා ගැනීමට බාල වර්ගයේ ඔලීව පවා මිරිකනයක් තුළට ඇතුල් කළ හැකි ය. මෙවිට ලැබෙන තෙල් එතරම් හොඳ වර්ගයේ තෙල් නොවනු ඇත. එම ළොඳේ සියයට 50ක් පමණ තෙල් ඇත. විවිධාකාරයේ මිරිකනයන් පාවිච්චි කළ හැකි වුවත්, මෙහි එකක් රූපයෙහි පෙන්වා ඇත. සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් මිරිකන ලද ඔලීව, සිලින්ඩරාකාර සෙක්කුවකට දමනු ලැබී ය. කොටළුවෙක් හෝ මනුෂ්‍යයෙක් විසින් හරවනු ලබන ඇඹරුම් ගලක් ඒවාට උඩින් කරකැවුනු අතර ඉන් තෙරපුණු තෙල්, ඉවතට ඇදී ගිය අතර එය බඳුන්වල එකතු කර ගනු ලැබිණ.—මතෙව් 18:6.
ඔලීව තෙල් දියර රත්තරන්වලට සමාන කළ හැකි ය—එය එපමණට ම අගය කරන ලද අතර එය බොහෝ දෑ සඳහා ද පාවිච්චි කරනු ලැබී ය. එක් ගසකට පස් දෙනෙකු හෝ හය දෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට අවශ්‍ය කරවන තෙල් සැපයිය හැකි විය. පහසුවෙන් දිරවන්නා වූ එය, වැඩි ශක්ති ප්‍රමාණයක් ලබා දීමටත් සමත්, ඔවුන්ගේ ආහාරයේ මූලික කොටසක් වනු ඇත. (සසඳන්න යෙරෙමියා 41:8; එසකියෙල් 16:13.) ඔබ තෙල් කොටසකට සුවඳ එකතු කර එය සුවඳවිලවුන් හැටියට පාවිච්චි කරන්නට හෝ ආගන්තුක සත්කාරය පෙන්වීමක් හැටියට එය ආගන්තුකයෙකුගේ හිස මතට වත් කරන්නට හෝ පුළුවන. (2 සාමුවෙල් 12:20; ගීතාවලිය 45:7; ලූක් 7:46) එය තුවාල මත වේදනාව සංසිඳුවන්නක් හැටියට ද ඔබට එය පාවිච්චි කළ හැකි ය.—යෙසායා 1:6; මාර්ක් 6:13; ලූක් 10:34.
ඔබේ ඔලීව තෙල් සම්භාරයෙන් ගත හැකි ප්‍රයෝජන මෙපමණක් නොවේ. ඔබට ඔබගේ නිවස ආලෝකවත් කිරීමට, දෙවියන් වහන්සේට කරන පූජාවේ කොටසක් හැටියට, නැතහොත් ලාභ උපයන වෙළෙඳ භාණ්ඩයක් හැටියට ද එය යොදා ගත හැකි ය. එසේ ය, බයිබල් කාලවල ඔලීව ගස වඩාත් ම වටිනා ගසක් ව තිබුණු නිසා, යෝවෙල්ට එය සමෘද්ධිය හා ප්‍රීතිය නියෝජනය කිරීමට උචිත ලෙස යොදා ගත හැකි විය.—ද්විතීය කථාව 6:11; ගීතාවලිය 52:8; යෙරෙමියා 11:16; මතෙව් 25:3-8.
[පාදසටහන්වල]
a මෙම දර්ශනයේ වඩා විශාල චිත්‍රයක් නැරඹීමට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1993 දින දර්ශනය බලන්න.
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.