කාන්තාර බන්ධනාගාරයක දී යෙහෝවඃ වහන්සේ මා ව ඉසුලූ සේක
අයිසායා ම්වේ විසින් පවසන ලදි
කිසි නඩු විභාගයක් කර තිබුණේවත්, මා කිසියම් අපරාධයක් කර තිබුණේවත් නැත. එහෙත්, මා හට ගිනි කාෂ්ටක අප්‍රිකානු සහරා කාන්තාරය මධ්‍යයේ ඇති, දණ්ඩන ලබන ජනපදයක බරපතළ වැඩ කිරීමට නියම කරනු ලැබී ය. එය වඩාත් බරපතළ කළේ, මා සිටි ස්ථානය ගැන මගේ මිතුරන් කිසිවෙක් නොදැන සිටීම ය. මෙය සිදු වූයේ දැනට වසර අටකට පමණ පෙරාතුව, 1984 ගිම්හාන කාලයේ දී ය. මා එම භයංකර තත්ත්වයට පත් වූ ආකාරය පැහැදිලි කිරීමට මට අවසර.
වර්ෂ 1958, මට අවුරුදු 12ක් ව තිබිය දී, මගේ වැඩිමහල් සහෝදරයා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු බවට පත් විය. කෙසේ වෙතත්, මගේ පියා හා මව තවදුරටත් නමස්කාර කළේ, අප ජීවත් වූ නයිජීරියාවේ, අබියා ප්‍රාන්තයේ ගෝත්‍රික දෙවිවරුන්ට ය.
වර්ෂ 1968 දී මම බියාෆ්‍රා හමුදාවට එකතු වුණා. සටන් බිමේ හාරා තිබූ අගල්වල සිටිය දී, මම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථ තත්ත්වය කල්පනා කරමින්, මට උපකාර කරන ලෙස දෙවියන් වහන්සේට මම යාච්ඤා කළා. එම යුද්ධයෙන් බේරී ජීවත් වන්නට උන් වහන්සේ මට ඉඩ දුන්නොත්, මා උන් වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වන බව මම පොරොන්දු වුණා.
යුද්ධයට පස්සේ මම මගේ පොරොන්දුව ඉටු කරන්නට ඉක්මනින් ක්‍රියා කළා. මම 1970 ජූලි මාසයේ බව්තීස්මය ලබා, එකෙණෙහි ම පුරෝගාමියෙක් හැටියට පූර්ණ කාලීන සේවය පටන් ගත්තා. කලක් යනවිට ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක් හැටියට මා ව පත් කරනු ලැබුවා. ඉක්මනින් ම, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු නීත්‍යානුකූල ව පිළිගෙන නොමැති සමීප රටක මිෂනාරි පැවරුමක් භාර ගැනීමට මා නයිජීරියානු ශාඛාවෙන් ආරාධනයක් ලැබුවා. මා එය පිළිගත් අතර 1975 ජනවාරි මාසයේ විදේශ බලපත්‍රය අතැති ව මා එහි යාමට පිටත් වුණා.
අත් අඩංගුවට
වර්ෂ 1978 දී රට පුරා වෙසෙන සාක්ෂිකරුවන් ව බැහැදැකීම මට පවරනු ලැබුවා. ඔවුන් ස්වල්පයක් ව සිටි නිසා, මම සභාවන් තිබූ සියලු නගරවලත්, ඒ වගේ ම උනන්දුව දැක් වූ අය විසූ ප්‍රදේශවලත් පුළුල් ව ගමන් කළා. පොලිස් මුරපොළවල්වල නිතර මා ව ප්‍රශ්න කරනු ලැබුවා. වරකට දින හතර බැගින්, දෙවරක්, මා ව රඳවාගෙන අපගේ වැඩකටයුතු ගැන මගෙන් ප්‍රශ්න කළා.
පසු ව, 1984 ජූනි මස, එක් ඉරු දිනක ක්ෂේත්‍ර සේවය සඳහා අප සූදානම් වෙමින් සිටිය දී, පොලීසිය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව මිත්‍ර නිලධාරියෙක් අපට දැන්නුවා. ඉන් සතියකට පසු, ටෝගෝ නගරයෙන් වූ, ජාග්ලි කොෆෙවෙ හා මා අත් අඩංගුවට ගනු ලැබුවා. අප ව පොලිස් මූලස්ථානයට ගෙන ගොසින්, එහි දී නගරයේ සිටි සියලු ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නම් එළිදරව් කරන ලෙස අපට නියෝග කරනු ලැබුවා. “ඔබ අපට නම් නොදුන්නොත්, අප ඔබ ව නිදහස් කරන්නේ නැහැ” කියලා ඔවුන් අපට කිව්වා.
“ඔබ පොලීසිය. ඔබගේ රාජකාරිය ඔබට ඕනෑ කරන අය ව සොයා ගැනීම. මා ඔබගේ නියෝජිතයෙක් නොවේ” කියා මම පිළිතුරු දුන්නා. අප විනාඩි 30කට පමණ තර්ක කළ අතර පොලීසිය අපට පහර දෙන බවට තර්ජනය කළා. එහෙත්, අප අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ නම් දුන්නේ නැහැ. එවිට ඔවුන් බයිබල් කරුණු නිශ්චය කිරීම සඳහා වූ පොත්වලින් සමන්විත මාගේ විශාල පුස්තකාලය රාජ සන්තක කිරීමට තීරණය කළා.
අත් අඩංගුවේ සිටිද්දී
පොත් සමඟ යළිත් පොලිස් ස්ථානයට හැරී ආවට පස්සේ, ජාග්ලිත් මමත් ඒවා බෑවා. අපි ඒවා බානකොට, විශාල අකුරෙන් මුද්‍රිත මගේ බයිබලය තුළ තිබුණ කොළයක් බිම වැටුණා. එය දිස්ත්‍රික්ක සමුළු වැඩසටහනක් වූ අතර ඒ මත රටේ සියලු ම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ නම් මුද්‍රණය කර තිබුණා. ඉක්මනින් ම මම එය අහුලා මගේ සාක්කුවේ දමා ගත්තා. කොහොම වුණත්, එක් පොලිස් භටයෙක් ඒක දැකලා, ඒක ඔහුට දෙන ලෙස නියෝග කළා. ඇත්ත වශයෙන් ම, මට මහත් කනස්සල්ලක් දැනුණා.
එම කොළ කෑල්ල තැබුවේ, ජාග්ලිත් මාත් පොත් ගෙනත් තැබූ තැන තිබූ මේසය මතයි. මම මගේ ඊළඟ පොත් මිටිය රැගෙන ඇතුල් වූ විට, මම මේසය වෙත ගොස් ඒ කොළ කෑල්ල අරගෙන, මගේ සාක්කුවේ දමා ගත්තා. පසු ව මට වැසිකිලියට යන්නට ඕනෑ ය කියා මම කිව්වා. පොලිස් භටයෙක් මා සමඟ වැසිකිලිය තිබූ තැන දක්වා ගියා. මා ඊට ඇතුල් වී දොර වසා ගැනීමෙන් පසු, එම කොළය කෑලිවලට ඉරා එය වැසිකිලියේ වළ තුළින් යාමට සැලැස්වුවා.
පොලිස් භටයන් සිදු වූ දෙය දැනගත් විට, ඒ අය අතිශයින් කෝප වුණා. එහෙත් මට එම කොළය විනාශ කිරීමට ප්‍රස්තාවක් ලබා දීමෙන් ඔවුන් නොසැලකිලිමත් ව ක්‍රියා කළ ආකාරය ගැන ඔවුන්ගේ උසස් නිලධාරීන් චෝදනා කරනු ඇති නිසා, ඔවුන් ඒ ගැන යමක් කරන්නට භය වුණා. අප ව දවස් 17ක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු, අප ව වෙනත් තැනකට ගෙන යාමට අදහස් කර තිබූ නිසා, පොලිස් පරීක්ෂකයෙක් අපගේ බඩු සකස් කර ගන්නා ලෙස අපට කිව්වා. අපි ප්ලාස්ටික් මල්ලක් තුළට ඇඳුම් කීපයක් දමා ගත් අතර එහි පතුළේ අප බලන්නට පැමිණි කෙනෙක් අපට රහසින් ගෙනත් දුන් කුඩා බයිබලයක් මම තැබුවා.
අපගේ රැඳවුම් ස්ථානය වෙනස් කරන බව සාක්ෂිකරුවන්ට දැන්වීමට අපට හැකියාවක් ලැබුණත්, ඒ කොතැනට දැයි අප දැන සිටියේ නැහැ. පසු දින, එනම් 1984 ජූලි 4වන දින අලුයමින් ම, එම පොලිස් පරීක්ෂකයා අප ව අවදි කළා. අපේ ඇඳුම් එම මල්ලෙන් ඉවත් කර, ඒවා අපගේ අත්වල එල්ලා තබන්නැයි කියමින්, ඔහු අප ව පරීක්ෂා කළා. එහෙත් මම මල්ලේ තිබූ අන්තිම කමිසය ඉවතට ගැනීමට එය අල්ලනවාත් සමඟ ම, අපට අපගේ ඇඳුම් ආපසු දැමිය හැකි යයි ඔහු පැවසූ නිසා, බයිබලය සොයා ගනු ලැබුවේ නැහැ.
කාන්තාර හිරගෙයක්
පොලීසිය රථයකින් අප ව ගුවන් තොටුපොළට ගෙන ගිය අතර එහි දී අප ව හමුදා ගුවන්යානයකට නැග්ගුවා. පැය කීපයකට පසු, ආසන්න ව හිර ගෙයක් තිබූ, 2,000ක පමණ ජන සංඛ්‍යාවක් වාසය කරන නගරයකට අපි ආවා. ඊට කිට්ටු ම නගරයට පැමිණීමට මාර්ගයෙන් සැතපුම් 400ක් පමණ ගමන් කළ යුතුයි. අප ව ගුවන්යානයෙන් බස්සවා හිරගෙදරට ගෙන ගොස් හිරගෙදර අධිකාරි තැනට අප ව භාර දුන්නා. අපගේ පවුලේ හෝ මිත්‍රයන් කිසිවෙක් අප ව ගෙන ගිය ස්ථානය දැන සිටියේ නැහැ.
අප ව ගෙන ගිය නගරය සහරාවේ ක්ෂේම භූමියක්. එහි පඳුරු, ගස් කීපයක්, හා වියළි මැටි බිත්ති ඇති ගොඩනැගිලි තිබෙනවා. අඩි හතරක් හෝ පහක් පමණ හෑරීමෙන් වතුර ලබා ගන්නට පුළුවන්. එහෙත්, එහි වාසය කරන අවුරුදු 31ක් වයසැති කෙනෙක්, අපට කීවේ තමා ජීවිත කාලයට ම වහිනවා දැක ඇති මුත්, ඒ එක් වරක් පමණක් බවයි! තව ද ප්‍රදේශය අතිශයින් ඌෂ්ණ ව තිබුණා. එක් හිරකරුවෙක් කිව්වා හිරකරුවන්ගේ මැදිරිවල තිබෙන උෂ්ණත්වමානයක් වරක් ෆැරන්හයිට් අංශක 140ක් සටහන් කළා ය කියා! නොකඩවා ම වේගවත් සුළඟක් හමන්නට වුණා. ඉන් නැග ආ වැලි හම තුවාල කරමින් ඇස්වලට ද වේදනාවක් ගෙන දුන්නා.
එතැනට පැමිණෙන ඕනෑ ම කෙනෙක්, තමා ඒ රටේ තිබෙන දරුණු ම දඬුවම් ස්ථානයට පැමිණ ඇති බව තේරුම් ගන්නවා ඇති. ඒ හිරගෙය සුළං හා අව්වෙන් යම් පමණක ආරක්ෂාවක් ලබා දුන් උස් බිත්තිවලින් වට වී තිබුණා. කොහොම වුණත්, පලා යාම නැවැත්වීමට බිත්ති ඕනෑ වුණේ නැහැ, හේතුව පලා යන්නට තැනක් තිබුණේ නැහැ. ක්ෂේම භූමියෙන් පිටත, පලා යන්නට ඕනෑ කළ යම් අයෙකුට සෙවණක් දෙන්නට, එක ගහක්වත්, වෙනත් යම් දෙයක්වත් තිබුණේ නැහැ.
අපි ඊට ඇතුල් වන්නට පෙර, හිරගෙදර අධිකාරි තැන අප ව පරීක්ෂා කළා. ඔහු අපට කිව්වා අපගේ මල්ලේ ඇති සියල්ල එළියට ගන්නට කියලා. මම අපගේ කමිස එකින් එක උස්සන්නට පටන් ගත්තා. ඉතිරි ව තිබූ එක ම දෙය බයිබලය වසා තිබූ කමිසය ව තිබෙන විට, මම මල්ලේ කට හොඳින් විවෘත කර ඇතුළත තිබෙන කමිසය පෙන්වමින්, “ඒ අය අපට ගෙනෙන්නට ඉඩ දුන්නේ මේ ටිකයි” කියලා කිව්වා. ඉන් සෑහීමට පත් ඔහු, හිර අංගනය තුළට යන්න කිව්වා. අපට තිබූ එක ම ප්රකාශනය බයිබලය පමණයි.
හිරගෙදර ජීවිතය
එහි හිරකරුවන් 34 දෙනෙක් සිටියා. ඒ අය ඒ රටේ වඩාත් ම නරක හැටියට නම් දැරූ හා භයානක අපරාධකරුවෝ. බොහෝ දෙනෙක් තවදුරටත් නිවැරදි කළ නොහැකි යයි සලකනු ලැබූ මිනීමරුවන්. අප සියල්ලන් ම නිදා ගත්තේ විවෘත නාන කාමරයකින් වෙන් කරන ලද විශාල හිර කාමර දෙකකයි. එම නාන කාමරයේ වැසිකිළිය හැටියට පාවිච්චි කරන ලද විවෘත බැරලයක් තිබුණා. මෙය සෑම උදෑසනක ම හිරකාරයන් විසින් හිස් කරනු ලැබුවත්, කාන්තාරයේ ඉන්න සියලු ම මැස්සන් එම බැරලයේ සිසිල හා කුණු භුක්ති විඳින්නට පැමිණි බවක් පෙනෙන්නට තිබුණා.
අපට කන්ට තිබූ එක ම ආහාරය සෝගම් (තිරිඟු වැනි ධාන්‍ය විශේෂයක්). එය එක් හිරකාරයෙක් විසින් කුඩු කර, තම්බා, පිඟන්වලට බෙදනු ලැබූ අතර, පසු ව ඒවා එක් එක් හිරකාරයාගේ නිදන පැදුර මත තබනු ලැබුවා. ඒ ආහාර වසා තැබුවේ නැහැ. අප වැඩ නිම කර ආපසු පැමිණෙන අවස්ථාව වන විට, සෝගම් ආහාරය මත මැස්සන් සිය ගණනක් දකින්නට පුළුවන. අප අපගේ පිඟාන අතට ගන්නා විට, ඒ මැස්සන් ගුම් නද දෙමින් පියාඹා යනවා. පළමු දවස් දෙක තුළ, අපි කිසිවක් කෑවේ නැහැ. අන්තිමේ දී, තුන්වන දින, මැස්සන් පළවා හැර, පිඟාන මත තිබූ සෝගම් ආහාරයේ වියළි තට්ටුව ඉවත් කිරීමෙන් පසු, අපි එම ආහාරය කන්නට පටන් ගත්තා. යෙහෝවඃ වහන්සේ අපගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගන්නැයි අපි යාච්ඤා කළා.
අපි හිරගෙදර අංගනයේ පැරණි බිත්ති කඩා දමා, අලුත් බිත්ති ගොඩනගමින්, අව්වේ වැඩ කළා. එය ඉතා ම අසීරු වැඩකටයුත්තක්. අපි නොනවත්වා ම පෙ.ව. 6.00 සිට දවල් දක්වා වැඩ කරලා, පසු ව යමක් කාලා, ප.ව. 6.00 දක්වා වැඩ කළා. විවේක දිනයන් තිබුණේ නැහැ. අප වේදනා වින්දේ උෂ්ණත්වයෙන් පමණක් නොවෙයි. ශීත ඍතුවේ දී අප ශීතලෙන් ද වේදනා වින්දා. අප තවදුරටත් කෲර ආරක්ෂක භටයන්ගෙන් ද වේදනා වින්දා.
ආත්මික වශයෙන් ශක්තිමත් ව සිටීම
ජාග්ලිත් මාත් රහසේ බයිබලය කියවා, අප ඉගෙන ගත් දේවල් ගැන එකට කථා කළා. අපට බයිබලය අහිමි විය හැකි නිසාත්, අපට දඬුවම් විඳින්නට සිදු විය හැකි නිසාත්, අපට විවෘත ව බයිබලය කියවන්නට හැකියාවක් තිබුණේ නැහැ. මා සමඟ බයිබල් පාඩමක් පටන් ගත් හිරකාරයෙක් තමා සතු භූමිතෙල් ලාම්පුව මා සමඟ බෙදා ගත්තා. බොහෝ අවස්ථාවන්හි මම උදේ එකට හෝ දෙකට නැගිට පහ පමණ දක්වා කියවනවා. එයාකාරයෙන් මට මුළු බයිබලය ම කියවන්නට පුළුවන් වුණා.
අප අනෙක් සිරකරුවන්ට දේශනා කළ අතර, ඔවුන්ගෙන් එක්කෙනෙක් අප ගැන ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට දැන්නුවා. බලාපොරොත්තු නොවූ ආකාරයට, ආරක්ෂක නිලධාරියා ඔහු ළඟ තිබුණු පිබිදෙව්! සඟරාවක් සිරකරුවාට දුන්නා, සිරකරුවා එය අපට දුන්නා. මා එය නැවත නැවත කියෙව්වා. අපගේ කියවීම හා දේශනා කිරීම අප ව ආත්මික ව ශක්තිමත් ව තබා ගැනීමට උපකාරවත් වුණා.
අපේ යහළුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම
අපට ලිපි ලිවීමට හෝ ලිපි යැවීමට අවසරයක් ලැබුණේ නැහැ. කොහොම වුණත්, අප සමඟ මිත්‍රශීලී භාවය පෙන්වූ කෙනෙක් මට උපකාර කරන බව කිව්වා. එහි පැමිණීමෙන් සති හයකට පසු ව, අගෝස්තු 20වන දින, මම රහසිගත ව නයිජීරියානු තානාපති කාර්යාලයටත්, සාක්ෂිකාර මිත්‍රයන්ටත් යනාදි වශයෙන්, ලිපි දෙකක් ලිව්වා. මම ඒවා වැලිවලින් වසා, ලොකු ගලකින් එතැන සලකුණු කළා. පසු ව මගේ යහළුවා පැමිණ ඒවා ගොඩ ගත්තා.
සති ගණනාවක් ගෙවී ගියත් මට කිසිවක් දැනගන්නට ලැබුනේ නැහැ. ක්‍රමයෙන් මා තුළ සැකයක් පහළ වුණා ඒ ලිපි බෙදා දෙනු ලැබුවා ද කියා. එහෙත් ඒවා නිසි අය අතට පත් වූ අතර අපගේ සෙසු සාක්ෂිකරුවන් අප ව නිදහස් කර ගැනීමට වෑයම් කළා. නයිජීරියානු විදේශ අමාත්‍යාංශය ද මේ පිළිබඳ ව උනන්දු වී, එවන් හිරගෙදරක මා ව සිරගත කිරීමට හේතුව, මා සිරගත කර තිබූ රටේ ආණ්ඩුවෙන් විමසුවා.
මේ අතර, 1984 නොවැම්බර් 15වන දින උදයේ, පිරිසිදු කිරීමේ වැඩ කොටසක් කිරීමට අප ව ගෙන ගොස් තිබුණා. එම ආරක්ෂක භටයන් මා ව ද්විතීයික පාසල් වැසිකිලියකට කැඳවාගෙන ගියා. එහි නල මාර්ගය හිර වී තිබුණත්, එය සති ගණනාවකට පාවිච්චි කර තිබුණා. එනිසා එය අශුචිවලින් පිරිලා. මගේ වැඩේ, එය පිරිසිදු කිරීම යයි එම ආරක්ෂක භටයන් කීවා. මට තිබුණ එක ම ආවුදය මගේ අත් දෙක විතරයි. මම මෙම පිළිකුල් කටයුත්ත කළ හැකි ආකාරය ගැන කල්පනා කරමින් සිටි අතර, ප්‍රධාන භාරකාරයා පැමිණ ප්‍රදේශයේ දිස්ත්‍රික්ක නිලධාරියාට මා ව බලන්නට ඕනෑ බව කීවා.
මම එහි පැමිණි විට, මගේ දුක්බර තත්ත්වය දැනගත් එම රටේ ජනාධිපති සමඟ තමා මෑතක කථා කළ බව, එම දිස්ත්‍රික්ක නිලධාරියා මට කිව්වා. මා එම රටේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නම් ඉදිරිපත් කළොත්, මා ව වහා ම නිදහස් කරන බවත්, ඊළඟ ගුවන් යානයෙන් ම මට යා හැකි බවත් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබුණා. තමන්ට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඕනෑ නම්, ඔවුන් ව සොයා ගැනීම පොලීසියේ රාජකාරිය බව මම යළිත් කිව්වා. ඔවුන් මට යෝජනා කළ දෙය මා බරපතළ ලෙස සලකා බැලිය යුතු යයි එම දිස්ත්‍රික්ක නිලධාරියා මට කිව්වා. ඒ ගැන කල්පනා කර තීරණයක් ගැනීමට ඔහු මට දින හතරක් හෝ පහක් දුන්නා. පසු ව මට යන්නට අවසර ලැබුණත්, සතුටු විය හැකි ලෙසින්, එම ආරක්ෂක භටයාත් මා ව රැගෙන ගියේ එම වැසිකිලියට නොව හිරගෙදරට ය!
දින පහකට පසු එම දිස්ත්‍රික්ක නිලධාරියා මට එන ලෙස අණ කර මා තීරණය කර තිබූ දෙය විමසුවා. මා ඔවුන්ගේ හිරගෙදර සිටීමට එක ම හේතුව වූයේ, මා සැබෑ දෙවියන් වහන්සේට සාක්ෂි දැරීම බවත්, මා වෙනත් වැරැද්දක් කර නොමැති බවත් මම කීවා. මට නීත්‍යානුකූල විදේශ බලපත්‍රයක් හා පදිංචිය සඳහා බලපත්‍රයක් ඇති බව මම පැහැදිලි කළා. මගේ ලියවිලි සියල්ල නිවැරදි ව තිබූ අතර මා යම් නගරයකට ගමන් කළ ඕනෑ ම අවස්ථාවක, සියල්ල නීත්‍යානුකූල ව තිබෙන බව ස්ථිර කර ගැනීමට මම නිතර පොලීසියෙන් විමසා බැලුවා. මම කිසිදු අපරාධයක් කර නොතිබුණ නිසා, මම මෙසේ ඇසුවා: “මට දඬුවම් දෙන්නේ ඇයි? මා ව එම රටට අවශ්‍ය නැත්නම්, මා ව රටෙන් පිට මං නොකළේ ඇයි? මා ව මෙතැනට නියම කළේ ඇයි?”
මම විනාඩි 15කට පමණ කථා කළා. මම කථාව අවසන් කළා ම, මම මොහොතකට පෙර කී දෙය ලියා දෙන ලෙසත්, මගේ විස්තර ප්‍රකාශය ජනාධිපතිට ඉදිරිපත් කරනු ලබන බවත් මට කිව්වා. මට කඩදාසි දෙනු ලැබූ අතර මම පිටු හතරක් ලිව්වා.
අවසානයේ නිදහස!
මා සිරගත කරනු ලැබීමෙන් මාස හතක් පමණ ගත වන තුරු, එනම් 1985 ජනවාරි දක්වා එම විෂය ගැන මට කිසිවක් අසන්නට ලැබුණේ නැහැ. ඒ අවස්ථාවේ දී ප්‍රධාන භාරකාරයා පැමිණ, මා නයිජීරියානු තානාපති කාර්යාලයට ලිපියක් ලිව්වාදැයි මගෙන් ඇසුවා. “ඔව්” කියා මම පිළිතුරු දුන්නා.
“ඔබ ඇයි එහෙම කළේ? ඇයි ඔබ මට දැන්නුවේ නැත්තේ?” ඔහු ඇසුවා.
එම විෂයට ඔහු සම්බන්ධ නැතැයි මම ඔහුට කිව්වා. මා ව සිරගත කිරීමට ඔහු සම්බන්ධ නැති නිසා, මම ඔහුට විරුද්ධ ව කිසිවක් ලිව්වේ නැති බව මම ඔහුට සහතික ලෙස කියා සිටියා. “මා ඉන්නා තැන මගේ මව පවා දන්නේ නැහැ” කියා මම කිව්වා. මම ලිපිය යැවූ ආකාරය අනතුරු ව ඔහුට දැනගන්නට ඕනෑ වුණත් මම ඒක කිව්වේ නැහැ.
ඊළඟ දවසේ ආරක්ෂක භටයන් ලෑන්ඩ් රෝවර් රථයක් සූදානම් කර, ජාග්ලිවත් මාවත් එතැනින් ගෙන යනු ලබන බව මට කිව්වා. අප ව ඉන් ඉවතට ගෙනැවිත්, නිරුවත් කර පරීක්ෂා කළා. මගේ බයිබලය මා සතු ව තිබී අසු වුණොත්, ආරක්ෂක භටයන් එය ගන්නා බව දැන, ඊට කලින් මා සමඟ බයිබලය ඉගෙන ගත් තැනැත්තාට එය මම දුන්නා. තමා ව නිදහස් කළ විට, තමා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වන්නට යන බව මේ තැනැත්තා අපට කිව්වා. ඔහුට එසේ කරන්නට ලැබේවා කියා අප යාච්ඤා කරනවා.
ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් මා ව නයිජීරියාවට පිටමං කරනු ලැබූ අතර 1985 පෙබරවාරි මාසයේ මම ඒ රටේ සංචාරක අවේක්ෂකයෙක් හැටියට මගේ සේවය යළිත් පටන් ගත්තා. වර්ෂ 1990 පටන්, මම නයිජීරියාවේ දිස්ත්‍රික්ක අවේක්ෂකයෙක් හැටියට සේවය කරමින් සිටිනවා. ජාග්ලි දැන් කොටේ ඩ’අයිවොරි රටේ ඇදහිලිවන්ත සාක්ෂිකාරයෙක් හැටියට සේවය කරමින් සිටිනවා.
දැඩි පීඩනයක් පවතින විට පවා යෙහෝවඃ දෙවියන් වහන්සේට අප ව උසුලාගෙන සිටිය හැකි බව, මෙම අත්දැකීමෙන් මම හොඳින් ඉගෙන ගත්තා. නිතර නිතර උන් වහන්සේගේ හස්තය හිරගෙදර දී අප ව ආරක්ෂා කරනු අප දුටුවා. අප ව නිදහස් කිරීම, යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් සිටින තැනත්, ඔවුන් විඳින වේදනාත් දන්නා බව පමණක් නොව, පරීක්ෂාවන්ගෙන් ඔවුන් ව ගලවා ගන්නා ආකාරයත් දන්නා බව මගේ සිතට කාවැද්දුවා.—2 පේතෘස් 2:9.