අදහස් හුවමාරුව—නිකම් ම කථා කරනවාට වඩා වැඩි යමකි
දැකුම්කලු භූ-දර්ශනයක් නරඹන සංචාරකයන් පිරිසක් සිතින් මවා ගන්න. කණ්ඩායමේ සියලු දෙනා එක ම දර්ශනය නැරඹුව ද, ඒ එක් එක් තැනැත්තා එය නොයෙක් ආකාරයෙන් දකී. ඒ මන්ද? හේතුව එක් එක් පුද්ගලයාට වෙනස් දෘෂ්ටි කෝණයක් තිබීම ය. හරියට ම එක ම ස්ථානයේ පුද්ගලයන් දෙදෙනෙක් හිටගෙන ඉන්නේ නැත. එපමණක් නොව, සෑම කෙනෙක් ම දර්ශනයේ එක ම කොටස බලමින් සිටින්නේ ද නැත. එක් එක් තැනැත්තාට විශේෂයෙන් සිත් ගන්නේ එකිනෙකට වෙනස් අංගයන් ය.
විවාහය තුළ ද මෙය සත්‍යයක් වේ. ඔවුන් මහත් එකඟත්වයකින් සිටින විට පවා, කිසියම් සහකරුවන් දෙදෙනෙක් කාරණා කෙරෙහි එක ම දෘෂ්ටිය දරන්නේ නැත. චිත්ත වේගී සැකැස්ම, ළමා කාලයේ අත්දැකීම් හා පවුලේ බලපෑම වැනි සාධක අතින් ස්වාමිපුරුෂයාත් භාර්යාවත් වෙනස් වෙති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන කාරණා පිළිබඳ අසම දෘෂ්ටීන් උග්‍ර විවාදයන්හි හේතුකාරකයක් බවට පත් වන්නට පුළුවන. ප්‍රේරිත පාවුල් නොවළහා කියා සිටියේ “විවාහ වන අයට දුක හා ශෝකය තිබෙනු ඇත” යනුවෙනි.—1 කොරින්ති 7:28, ද න ඉංග්ලිෂ් බයිබල්.
අදහස් හුවමාරුවට මෙම වෙනස්කම් එක්-මාංසයක සම්බන්ධයක් තුළට සම්මිශ්‍රණය කිරීමට දරන වෑයම ඇතුළත් වේ. කථා කිරීමට කාලය වෙන් කිරීම මෙයට අවශ්‍ය කරවයි. (7වන පිටුවේ කොටුව බලන්න.) එහෙත් ඊට වඩා බොහොමයක් සම්බන්ධ ව පවතී.
තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීම
බයිබලයේ හිතෝපදේශයක් මෙසේ පවසයි: “ඤාණවන්තයාගේ සිත [හෘදය NW] ඔහුගේ මුඛයට උගන්වා [තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වා NW], ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම [ඒත්තුගන්වන සුලු භාවය NW] එකතුකරයි.” (හිතෝපදේශ 16:23) මෙහි ‘තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වන’ යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වදන විචක්ෂණ වීමට, කාරණා මනස තුළ සැලකිල්ලෙන් කිරා බැලීමක් අදහස් කරයි. එබැවින්, ඵලදායී අදහස් හුවමාරුවේ කේන්ද්‍රස්ථානය මුඛය නොව, හෘදයයි. හොඳින් අදහස් හුවමාරු කරන්නෙකුගෙන් කථා කරන්නෙකුට වඩා වැඩි යමක් විය යුතු ය; හෙතෙම සංවේදනය දක්වන්නා වූ සවන් දෙන්නෙක් විය යුතු ය. (යාකොබ් 1:19) හෙතෙම කලත්‍රයෙකුගේ මතුපිට හැසිරීමට යටින් තිබෙන හැඟීම් හා ප්‍රශ්න අවබෝධ කර ගත යුතු ය.—හිතෝපදේශ 20:5.
ඒ කෙසේ ද? ඇතැම් විට ගැටුමක් වටා පවතින තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් මෙය ඉටු කර ගන්නට පුළුවන. ඔබගේ කලත්‍රයා දැඩි චිත්ත වේගී හෝ කායික විඩාවට පත් ව සිටින්නේ ද? යම් රෝගයක් ඔබගේ කලත්‍රයාගේ චිත්ත ස්වභාවයට දායක වන්නේ ද? “සුදුසු අවස්ථාව සඳහා හරියට ම ගැළපෙන වචනය ලැබීම කොතරම් ප්‍රීතියක්ද!” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 15:33, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) එබැවින් තත්ත්වයන් සලකා බැලීම උචිත අයුරින් ප්‍රතිචාරය දැක්වීමට ඔබට උපකාරවත් වනු ඇත.—හිතෝපදේශ 25:11.
එසේ නමුත්, බොහෝ විට, යම් ගැටුමකට තුඩු දෙන සාධකය වත්මන් තත්ත්වයන්ට බාහිර කාරණාවල ගැබ් වී තිබේ.
අතීතය තේරුම් ගැනීම
ළමා කාලයේ ලබන අත්දැකීම් වැඩිහිටි වියේ අපගේ සිතුවිලි හැඩ ගැස්වීමට මහත් සේ දායක වේ. විවාහ කලත්‍රයන් වෙනස් පවුල්වලින් පැමිණෙන බැවින්, එකිනෙක ගැටෙන දෘෂ්ටීන් ඇති වීම වැළැක්විය නොහැකි ය.
බයිබලයේ ඇති පැරණි වාර්තාවක් මෙය නිදර්ශනය කරයි. ගිවිසුම් පෙට්ටිය නැවත යෙරුසලමට ගෙන යනු ලැබූ විට, දාවිත් ප්‍රසිද්ධියේ සිය උද්යෝගය ප්‍රකාශ කළේ ය. ඔහුගේ භාර්යාව වන, මීඛල් ගැන කුමක් කිව හැකි ද? “සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් [හෘදයෙන් NW] ඔහු හෙළාදැක්කාය” කියා බයිබලය පවසයි.—2 සාමුවෙල් 6:14-16.
මීඛල් විදහා පෙන්නුවේ ඇගේ අධර්මිෂ්ඨ පියා වන, සාවුල්ගේ ඇදහිල්ල නැති චරිත ස්වභාවය ය. දහසය වන වගන්තියේ මීඛල් ව, දාවිත්ගේ භාර්යාව යයි කියනවා වෙනුවට “සාවුල්ගේ දූ” යයි හඳුන්වා ඇත්තේ මේ නිසා යයි බයිබල් ටීකාකරුවෝ වන සී. එෆ්. කයිල් හා එෆ්. ඩෙලිෂ් යෝජනා කරති. කෙසේ වෙතත්, මෙම ප්‍රීතිමත් අවස්ථාව පිළිබඳ ව දාවිත් හා මීඛල් එක ම මතය නොදැරූ බව ඔවුන් අතර ඉන් පසු ව ඇති වූ ආරවුලෙන්, පැහැදිලි වෙයි.—2 සාමුවෙල් 6:20-23.
දරුවන් හැටියට ඇතිදැඩි කළ කාලය පටන් ලබන සියුම් බලපෑම් ස්වාමිපුරුෂයෙකුටත් භාර්යාවකටත් කාරණා සහමුලින් ම වෙනස් ආකාරයකට බලන්නට සැලැස්විය හැකි බව මෙම උදාහරණය නිරූපනය කරයි. දෙදෙනා ම එක්සත් ව යෙහෝවඃ වහන්සේට සේවය කරමින් සිටින විට පවා ද මෙය සැබෑ වේ. උදාහරණයක් වශයෙන්, දරුවෙක් හැටියට ප්‍රමාණවත් චිත්ත වේගී අනුබලයක් දෙනු නොලැබූ භාර්යාවක්, අනුමැතිය හා බිය සැක දුරු කිරීම සඳහා පුදුම සහගත අවශ්‍යතාවක් පෙන්නුම් කරන්නට පුළුවන. මෙය ඇගේ ස්වාමිපුරුෂයාගේ සිත චංචල කළ හැක. “මා ඇයට ප්‍රේම කරන බව මට සිය වාරයක් ඇයට කියන්නට පුළුවන් වුවද තවත් එය ප්‍රමාණවත් නොවේ!” යයි ඔහු මහත් හඬින් කියන්නට පුළුවන.
මේ සිද්ධිය සම්බන්ධයෙන්, “ඔබගේ ම කාරණා සම්බන්ධයෙන් පුද්ගලික ව උනන්දු වනවා පමණක් නොව අන් අයගේ ඒවා සම්බන්ධයෙන් ද පුද්ගලික ව උනන්දු වීම ගැන ඇසක් තැබීම” අදහස් හුවමාරුවට අයත් වේ. (පිලිප්පි 2:4, NW) අදහස් හුවමාරු කිරීම සඳහා, තමාගේ ම අතීත අත්දැකීම් පිළිබඳ දෘෂ්ටියෙන් නොව ඇයගේ අතීත අත්දැකීම් පිළිබඳ දෘෂ්ටියෙන් ස්වාමිපුරුෂයෙක් තමාගේ භාර්යාව දැකිය යුතු ය. තව ද, ඇත්ත වශයෙන් ම, සිය ස්වාමිපුරුෂයා හට එය ම කිරීමට භාර්යාවක් පෙලඹීම් ලැබිය යුතු ය.—1 කොරින්ති 10:24.
අතීතය පීඩාකාරී වූ විට
කලත්‍රයෙක්—කනගාටුදායක ලෙස, අද දවසේ වර්ධනය වන්නා වූ ගැටලුවක් වන—ළමා අවදියේ දී දූෂණය කරනු ලැබ හෝ ලිංගිකමය වශයෙන් අතවරයට ලක් වී තිබෙන විට පුද්ගලික උනන්දුව බෙහෙවින් තීරණාත්මක වේ. උදාහරණයක් වශයෙන්, ලිංගික ආශ්‍රය පවත්වන අවස්ථාවන්හි, තමාට අතීතයෙන් වර්තමානය, වරදකරුවාගෙන් තමාගේ සහකරුවා ව නැතහොත් ලිංගික අතවරයෙන් ලිංගික සම්බන්ධතා තමාට වෙන් කොට හඳුනා ගත නොහැකි යයි භාර්යාවකට හැඟෙන්නට පුළුවන. විශේෂාකාරයෙන් ස්වාමිපුරුෂයා මෙම සියුම් කාරණය තමාගේ භාර්යාවගේ දෘෂ්ටියෙන් සලකා නොබලන්නේ නම්, මෙය කලකිරීමට තුඩුදිය හැක.—1 පේතෘස් 3:8.
ඔබට අතීතය නිරවුල් කරන්නට හෝ එහි ප්‍රතිඵල සහමුලින් ම සුව කරන්නට නොහැකිමුත්, චිත්ත පීඩාවට පත් ව සිටින කලත්‍රයෙකු සනසන්නට ඔබට බොහෝ දෑ කළ හැකි ය. (හිතෝපදේශ 20:5) ඒ කෙසේ ද? “ස්වාමිපුරුෂයන් වන ඔබ, ඔබ සමඟ ජීවත් වන භාර්යාවන් ව අවබෝධ කර ගැනීමට වෑයම් කළ යුතු ය” යයි පේතෘස් ලීවේ ය. (1 පේතෘස් 3:7, ෆිලිප්ස්) ඔබගේ කලත්‍රයාගේ අතීතය තේරුම් ගැනීම අදහස් හුවමාරුවේ වැදගත් කොටසකි. සංවේදනයෙන් යුත් දයානුකම්පාවක් නොමැති ව, ඔබගේ වදන් නිෂ්ඵල වනු ඇත.
ඔවුන්ගේ ලෙඩ රෝග තමා කිසිකලෙක පුද්ගලික ව අත්දැක නොතිබුණ ද, රෝගාතුර වූවන් දුටු කල යේසුස් වහන්සේ “අනුකම්පා” කළ සේක. (මතෙව් 14:14) සමානාකාරයෙන්, ඔබගේ භාර්යාව අත්දුටු නොසැලකිල්ල හෝ අයථා ප්‍රයෝජනයට ගැනීම ඔබ පුද්ගලික ව අත්දැක නොතිබිය හැකිමුත්, ඇයගේ සන්තාපය සුළු කොට සලකනු වෙනුවට, ඇයගේ අතීතය ඒත්තු ගෙන ඇයට අනුබල දෙන්න. (හිතෝපදේශ 18:13) “බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය” කියා පාවුල් ලීවේ ය.—රෝම 15:1.
අමනාපයෙන් කොටු වී
විවාහය මිල කළ නොහැකි භාජනයක් හා සමාන ය. කාමමිථ්‍යාචාරයෙන් ඊට හානි සිදු වූ විට, අප්‍රමාණ හානි සිදු වේ. (හිතෝපදේශ 6:32) අහිංසක කලත්‍රයා සමාව දීමට තීරණය කරන්නේ නම්, සමගි වීමෙන් කැබලි එකට ඇලවිය හැකි බව සැබෑවකි. එහෙත් එම බිඳුනු තැන් එසේ ම පවතින අතර වාදයක් සිදු වන විට, එම බිඳුම් දෙස බලා අතීතය අවියක් ලෙස පාවිච්චි කිරීමට නැඹුරුවාවක් ඇති වන්නට පුළුවන.
අමනාපය කලත්‍රයෙකුගේ අවිශ්වාසවන්ත භාවයට සාමාන්‍ය ප්‍රතිචාරයක් වේ. එහෙත් ඔබ ඔබගේ සහකරුවාට සමාව දී තිබේ නම්, කමාව දීමේ ක්‍රියාව තුළින් ඔබ ඉටු කරගත් යහපත ඉවත් කර දමන, පැසවන තරහක් තබා ගැනීමට එරෙහි ව ප්‍රවේසම් වෙන්න. එම අමනාපය නිහඬ ව ඇතුළේ පැසවමින් තිබෙනවා හෝ අනුකම්පා විරහිත ව ඉස්මතු කරනු ලැබුවත්, පවතින අමනාපය සහකරුවන් දෙදෙනාට ම හානි සිදු කරයි. ඒ මන්ද? එක්තරා වෛද්‍යවරියක් මෙසේ යෝජනා කරන්නී ය: “ඔබගේ සහකරුවා ඔබට වේදනා ගෙනදුන් බවට ඔබට හැඟේ නම්, ඊට හේතුව ඔබ තවදුරටත් ඔහු ගැන සැලකිලිමත්වීම ය. එනිසා හුදෙකලාවේ සිටීමෙන් හෝ පළිගැනීමට වෑයම් කිරීමෙන් ඔබ ඔබගේ සහකරුවාට රිද්දනවා පමණක් නොව ඔබ ව ද විනාශ කර ගන්නෙහි ය. ඔබ වැඩිදුරටත් සම්පූර්ණ ව තිබිය යුතු යයි ප්‍රාර්ථනා කරන සම්බන්ධතාවය ද කඩා දමන්නෙහි ය.”
සැබවින් ම, ඔබගේ කෝපය සන්සුන් නොකර ඔබගේ විවාහයේ වෙනස්කම් ඔබට විසඳා ගත නොහැකි ය. එබැවින්, චිත්ත ස්වභාවයන් උණුසුම් ව නොපවතින අවස්ථාවක, ඔබගේ හැඟීම් ඔබගේ කලත්‍රයා සමඟ සාකච්ඡා කරන්න. ඔබට වේදනාවක් දැනෙන්නේ මන්ද, ඔබගේ සැක දුරුකර ගැනීමට ඔබට අවශ්‍ය කරවන දෙය හා සම්බන්ධතාව ආරක්ෂා සහිත ව පවත්වා ගැනීමට ඔබ කරන්නට යන දෙය යනාදිය පැහැදිලි කරන්න. වාදයක දී ශක්තිමත් තත්ත්වයක් අත්කර ගැනීමට අවියක් ලෙස කිසිකලෙක අතීතය පාවිච්චි නොකරන්න.
යමකට ඇබ්බැහි වීම අදහස් හුවමාරුව පලුදු කරයි
කලත්‍රයෙකු මත්පැන් හෝ මත් ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කරන විට විවාහයක් තද බල දුක් වේදනාවන්ට ගොදුරු වේ. ඇබ්බැහි නොවූ කලත්‍රයා, බයිබලයේ වාර්තා කර ඇති ලෙසින්, අබීගායිල් හා සමාන තත්ත්වයක සිටින්නට පුළුවන. ඇයගේ ස්වාමිපුරුෂයා වන නාබල් “හොඳටම මත්වී සිටි” අතර අබීගායිල් ඔහුගේ අඥාන හැසිරීමේ ප්‍රතිඵල වෙනස් කරන්නට මහත් වෑයමක් දැරුවා ය. (1 සාමුවෙල් 25:18-31, 36) එක් කලත්‍රයෙක් ඇබ්බැහියෙන් කලබලයට පත් ව සිටින්නා වූ ද, අනෙක් තැනැත්තා එම ඇබ්බැහි වූ කෙනාගේ හැසිරීම වෙනස් කිරීමට වෑයම් කරන්නා වූ ද විවාහයන් බොහෝ විට නාබල් හා අබීගායිල්ගේ පවුලට සමාන යයි පෙනේ.a
තේරුම් ගත හැකි ආකාරයට, ඇබ්බැහි වූවෙක් හැරී පෙර ස්වභාවයට පත් වන්නට පටන් ගන්නා විට මහත් සහනයක් දැනේ. එහෙත් මෙය පටන් ගැන්ම පමණකි. ප්‍රබල සැඩ කුණාටුවක් කුඩා නගර සුනු විසුනු කරන ආකාරය කල්පනාවට ගන්න. ගෙවල් බිඳ වැටේ, ගස් සහමුලින් ම උදුරා වැටේ, දුරකථන කණු බිමට පහත් වේ. කුණාටුවක් අවසන් වූ විට මහත් ප්‍රීතියක් දැනේ. එහෙත් දැන් පුළුල් අලුත්වැඩියාවක් කිරීම අවශ්‍ය කරවයි. කලත්‍රයෙකු ආපසු හැරෙන්නට පටන් ගන්නා විට ද මෙය සැබෑවක් වේ. බිඳ වැටුනු සබඳතා යළි ගොඩනැගිය යුතු ය. විශ්වාසය හා අඛණ්ඩතාවය යළි පිහිටුවා ගත යුතු ය. අදහස් හුවමාරුවේ මාර්ග යළි විවෘත කර ගත යුතු ය. තමා ව යළි සකසා ගන්නා ඇබ්බැහි වූවෙකුට, මෙම ක්රමානුකූල අලුත්වැඩියාව, ක්‍රිස්තියානින්ට වර්ධනය කර ගැනීමට බයිබලය පවසන ‘අලුත් පුද්ගලිකත්වයේ’ කොටසකි. මෙම අලුත් පුද්ගලිකත්වයට, “ඔබගේ මනස ක්‍රියාත්මක කරවන බලය” ඇතුළත් විය යුතු ය.—එපීස 4:22-24, NW.
ලෙනාඩ් හා ඉලේන් හට මත් ද්‍රව්‍ය අනිසි භාවිතයෙන් වළකින්නට බයිබල් පාඩමකින් උපකාර ලැබුණු නුමුදු, ඔවුන්ගේ මනස ක්‍රියාත්මක කරවන බලය මුළුමනින් ම ක්‍රියාත්මක වූයේ නැත.b වැඩි කලක් යන්නට මත්තෙන් වෙනත් පුරුදුවලට ඔවුහු ඇබ්බැහි වූවෝ ය. “බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්නට අප උත්සාහ කළ නමුත් එය සැමවිට ම අත්කර ගැනීමට අපහසු වූ යමක් වුණා” ඉලේන් පවසන්නී ය. “අපගේ ඇබ්බැහි වීම් ගැඹුරට මුල්බැස තිබුණා. ඒවායින් ඉවත්වීම සඳහා එකට පාඩම් කරන්නටත් යාච්ඤා කරන්නටත් අපට බැරි වුණා.”
තමන්ගේ ඇබ්බැහි වීම්වලට මූලික හේතූන් තේරුම් ගැනීමට ලෙනාඩ් සහ ඉලේන් උපදෙස් සෙවූහ. ළමා දූෂණය, මත්පැන්වලට ඇබ්බැහි වීම සහ ස්ත්‍රීන් කෙරෙහි ගෞරවය දැක්වීම පිළිබඳ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” විසින් සපයන ලද කාලීන තොරතුරු විශේෂ ආධාරක වී ඇත.c (මතෙව් 24:45-47) “අපට ඇති වූ හානිය පිළිසකර කරගෙන, එකිනෙකාට ආපසු ළං වෙන්නට අපට උපකාර ලැබී තිබෙනවා,” යැයි ඉලේන් පවසන්නී ය.
ගැටලු නිරාකරණය කිරීම
සිය පුත්‍රයා වූ ඒසව්ගේ භාර්යාවන් කෙරෙහි ඉවසිය නොහැකි සංවේගයක් රෙබෙකාට දැනුණි. තමාගේ අනෙක් පුත්‍රයා වන යාකොබ් පවා ඒසව්ගේ ආදර්ශය අනුගමනය කරනු ඇතැයි යන භයෙන්, සිය පුරුෂයා වන ඊසාක් අමතා: “හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්‍ය්‍යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමටදැයි” පැවසීමෙන් රෙබෙකා තම කලකිරුණු ස්වභාවය ප්‍රකාශ කළා ය.—උත්පත්ති 27:46.
මෙහිදී රෙබෙකා ස්ථිර ලෙස තමාගේ හැඟීම් ගැන කථා කළ ද, ඇය ඊසාක්ට පුද්ගලික ව ම ප්‍රහාර එල්ල නොකළ බව සැලකිල්ලට ගන්න. “මෙයට වගකිව යුත්තේ ඔබයි!” හෝ “මෙම තත්ත්වය වඩාත් හොඳින් පාලනය කර ගත යුත්තේ ඔබයි!” කියා ඇය කීවේ නැත. ඒ වෙනුවට එම ගැටලුව තමාට බලපෑ ආකාරය විස්තර කරන්නට “මට” යන සර්වනාමය රෙබෙකා පාවිච්චි කළා ය. මෙම අවතීර්ණ වීම ප්‍රබෝධවත් කළේ ඊසාක්ගේ සංවේදනය විනා, තමාගේ ගෞරවය ආරක්ෂා කිරීමට තිබූ ඔහුගේ ආශාව නොවේ ය. පුද්ගලික ව පහර දීමට ලක් නොවූ බව හැඟුන ඊසාක්, රෙබෙකාගේ ආයාචනයට පෙනෙන හැටියට වහා ප්‍රතිචාරය දැක්වූයේ ය.—උත්පත්ති 28:1, 2.
ස්වාමිපුරුෂයන්ටත් භාර්යාවන්ටත් රෙබෙකාගේ ආදර්ශයෙන් ඉගෙන ගත හැකි ය. ගැටුමක් ඇති වන විට, එකිනෙකාට පහර දෙනු වෙනුවට ගැටලුවට පහර දෙන්න. රෙබෙකා මෙන්, එය ඔබට බලපාන ආකාරයේ ස්ථාවරයෙන් ඔබගේ කලකිරුණු ස්වභාවය ප්‍රකාශ කරන්න. “. . . නිසා මට කලකිරුණු ස්වභාවයක් දැනේ” හෝ “. . . නිසා මට වරදවා තේරුම් ගනු ලැබූ බවක් හැඟේ” යනුවෙන් පැවසීම, “ඔබ මට කලකිරුණු ස්වභාවයක් දැනෙන්නට සලස්වනවා!” හෝ “ඔබ කිසිකලෙක මා ව තේරුම් ගත්තේ නැහැ!” යයි පැවසීමට වඩා ඵලදායක ය.
කල් පැවැත්මට වැඩි යමක්
පළමු මනුෂ්‍ය යුවළ වූ ආදම් සහ ඒවගේ විවාහය, පුත්‍රයන්ගෙන් හා දූවරුන්ගෙන් සමන්විත පවුලක් බිහි කරමින්, ශතවර්ෂ ගණනාවකට පැවතුණි. (උත්පත්ති 5:3-5) එහෙත් ඔවුන්ගේ විවාහය අනුකරණය කිරීමට යෝග්‍ය එකක් බව මෙය අදහස් කරන්නේ නැත. සිය යුග දිවිය පටන් ගන්නා කාලයේ, නිදහස් ස්ප්‍රීතුවක් හා මැවුම්කරුවාණන්ගේ ධර්මිෂ්ඨ නීතිවලට නොසැලකිල්ල ඔවුන්ගේ එක්-මාංසයක බැඳීම පලුදු කළේ ය.
සමානාකාරයෙන් ම, අද දවසේ විවාහයක් කල් පැවතිය හැකිමුත්, අදහස් හුවමාරුවේ වැදගත් සංඝටක හීන ව තිබෙන්නට පුළුවන. දැඩි ව කිඳා බැස තිබෙන තර්ක කිරීම් හා යෝග්‍ය නොවන පුද්ගලිකත්වයේ ගති ලක්ෂණ උගුලා දැමීමට සිදු විය හැකි ය. (2 කොරින්ති 10:4, 5 සසඳන්න.) මෙය නොකඩවා සිදුවන අධ්‍යාපන ක්‍රියාවලියකි. එහෙත් දරන උත්සාහය ප්‍රයෝජන සහිත ය. යෙහෝවඃ වහන්සේ විවාහයේ නිර්මාතෘවරයාණන් ව සිටින නිසා, උන් වහන්සේ එම විධිවිධානය ගැන මහත් උනන්දුවක් දක්වන සේක. (මලාකී 2:14-16; හෙබ්‍රෙව් 13:4) එබැවින්, අපි අපගේ කොටස ඉටු කරන්නෙමු නම්, උන් වහන්සේ අපගේ උත්සාහයන් හඳුනා ගෙන විවාහ අදහස් හුවමාරුවේ ඕනෑ ම බිඳ වැටීමක් යළි ගොඩ නැංවීමට අවශ්‍ය ප්‍රඥාව හා ශක්තිය අපට ලබා දෙනු ඇති බවට අපට නිසැක විය හැකි ය.—සසඳන්න ගීතාවලිය 25:4, 5; 119:34.
[පාදසටහන්වල]
a මත්පැනට ඇබ්බැහි වූවන්ගේ පවුල්වලට උපකාරය පිළිබඳ ව 1992 ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාපයේ පිටු 3-7 හි සාකච්ඡා කර ඇත.
b නම් වෙනස් කර ඇත.
c වර්ෂ 1992 මාර්තු 8, 1992 ඔක්තෝබර් 8 පිබිදෙව්! සහ 1992 ජූලි 8 එවේක්! බලන්න.
[6වන පිටුවේ කොටුව]
“කුණු කසළ ඉවත් කිරීමට වැඩි වේලාවක් ලැබුණා!”
විවාහ ගැටලු අත්දකිමින් සිටි ස්වාමිපුරුෂයෙකුගෙන් හා භාර්යාවකගෙන් තමන් සෑම සතියක් පාසා ම කුණු කසළ ඉවත් කිරීමෙහි කොපමණ කාලයක් ගත කළ බවට තක්සේරු කරන්නේ දැයි අසනු ලැබුවා. ඔවුන් පිළිතුරු දුන්නේ සතියකට විනාඩි 35ක් හෝ දිනකට විනාඩි 5ක් පමණ යනුවෙනි. එකට සාකච්ඡා කිරීම පිණිස තමන් කොතරම් කාලයක් ගත කළා දැයි ඔවුන්ගෙන් ඊළඟට අසනු ලැබුවා. පුරුෂයා කම්පනයට පත් විය. “කුණු කසළ ඉවත් කිරීමට වැඩි වේලාවක් ලැබුණා!” යයි සඳහන් කළ ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසී ය: “විවාහයක් පවත්වා ගැනීමට දිනකට විනාඩි පහක් ප්‍රමාණවත් යයි අප කල්පනා කරන්නේ නම් අප අප ව ම රවටවා ගන්නවා. තව ද එම කාලය විවාහයක් වර්ධනය කරවන්නට නිසැක ව ම ප්‍රමාණවත් නොවන්නේ ය.”
[7වන පිටුවේ කොටුව]
ක්‍රියා පිළිවෙළක් පිහිටුවා ගන්න
◻ එක වතාවකට එක විෂයක් ගැන සාකච්ඡා කරන්න (1 කොරින්ති 14:33, 40)
◻ හැඟීම් පළ කරන්න; චෝදනා කරන්න එපා (උත්පත්ති 27:46)
◻ පහරදීම් එපා (එපීස 5:28, 29)
◻ නම් පටබැඳීම එපා (හිතෝපදේශ 26:20)
◻ ජයග්‍රහණය කිරීම නොව, සමගි වීම ඉලක්ක කර ගන්න (උත්පත්ති 13:8, 9)
[4වන පිටුවේ පින්තූරය]
ගැටුමක් ඇති වන විට, එකිනෙකාට පහර දෙනු වෙනුවට ගැටලුවට පහර දෙන්න
[8වන පිටුවේ පින්තූරය]
හැඟීම් ප්‍රකාශ කරන්න; දොස් නගන්න එපා