විශිෂ්ට ක්‍රිස්තියානි උරුමයක්
බ්ලොසම් බ්‍රැන්ට් පැවසූ පරිදි
මා උපත ලද 1923 ජනවාරි 17වන දින, ටෙක්සස්, සැන් ඇන්ටෝනියෝ නගරයේ හිම පතනයක් සිදු විය. පිටත සීතල ව තිබුණත්, මා ව පිළිගනු ලැබුවේ ප්‍රේමනීය ක්‍රිස්තියානි මව්පියන් වන ජජ් හා හෙලන් නොරිස්ගේ උණුසුම් දෑත් තුළටයි. මට මතක තිබෙන කාලයේ පටන්, මගේ මව්පියන් කළ සැමෙකක් ම කේන්ද්‍රගත ව තිබුණේ යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔවුන්ගේ නමස්කාරය මතයි.
වර්ෂ 1910 දී මවට අවුරුදු අටක් ව තිබිය දී, ඇගේ මව්පියන් පෙන්සිල්වේනියාවේ, පිට්ස්බර්ග් අසලින් ටෙක්සස් හි, ඇල්වින් නගරයට පිටතින් තිබූ ගොවිපොළක පදිංචියට පැමිණියා. එහි දී අසල් වැසියෙකුගෙන් බයිබල් සත්‍යය ඉගෙන ගැනීමෙන් ඔවුන් මහත් සේ සතුටු වුණා. ඉන් අනතුරුව අම්මා තමාගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ රාජ්‍යයේ බලාපොරොත්තුව කෙරෙහි ජනයාගේ උනන්දුව වැඩි කිරීම පිණිසයි. පවුලේ අය ටෙක්සස් හි, හ්‍යූස්ටන් නගරයට පදිංචියට පැමිණීමෙන් පසු 1912 දී ඇය බව්තීස්මය ලැබුවා.
මව හා ඇගේ මව්පියන්, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි පළමු සභාපති වූ, චාල්ස් ටී. රසල්, හ්‍යූස්ටන් නගරයේ සභාවට පැමිණි අවස්ථාවේ මුලින් ම ඔහු ව මුණ ගැසුණා. වන්දනාකරුවන් හැටියට එවකට හදුන්වන ලද සමිතියේ සංචාරක නියෝජිතයින් ව එම පවුල නිතර තමන්ගේ නිවසට ප්‍රීතියෙන් පිළිගත්තා. ඉන් වසර කිහිපයකට පසු, අම්මා තමාගේ මව්පියන් සමඟ චිකාගෝ හි, ඉලිනොයි වෙත පදිංචියට ගිය අතර සහෝදර රසල් එහි තිබෙන සභාව බැහැ දකින්නටත් එනවා.
වර්ෂ 1918 දී, ආච්චිට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන අතර එය ඇගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කළ හෙයින්, උණුසුම් දේශගුණයක ඇය වාසය කළ යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කළා. සීයා පුල්මන් දුම්රිය සමාගමේ සේවය කරමින් සිටි නිසා, 1919 දී ඔහු යළිත් ටෙක්සස් වෙතට ස්ථාන මාරුවක් ලබා ගත්තා. එහි දී, එනම් සැන් ඇන්ටෝනියෝ හි දී, අම්මාට එම සභාවේ සිටි ජජ් නොරිස් නම් යෞවන, ක්‍රියාශීලී සාමාජිකයෙක් හමු වුණා. ඔවුන් එකිනෙකා කෙරෙහි ප්‍රේමය වර්ධනය වී කලකට පසු විවාහ වූ අතර ජජ් මගේ පියා බවට පත් වුණා.
පියා බයිබල් සත්‍යය ඉගෙන ගනී
ජජ්ට (විනිසුරුට) තමාගේ අසාමාන්‍ය නාමය දෙනු ලැබුවේ ඔහුගේ උපතේ පටන් ය. ඔහුගේ තාත්තා ඔහු ව පළමු වතාවට දුටු විට, “ඒ දරුවා විනිශ්චකාරයෙක් (ඉංග්‍රීසි බසින් ජජ් කෙනෙක්) තරම් සන්සුන් ය” කියා පැවසූ අතර එය ඔහුගේ නාමය බවට පත් වුණා. වර්ෂ 1917, තාත්තාට අවුරුදු 16ක් වයස් ව තිබූ විට, ඔහුට වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසින් මුද්‍රණය කරන ලද වෙයා ආර් ද ඩෙඩ්? [මළාහු කොතැන ද?] හා වට් ඉස් ද සෝල් [ආත්මය යනු කුමක් ද?] නම් පත්‍රිකා දෙනු ලැබුවා. තාත්තාගේ පියා ඊට වසර දෙකකට පෙර මිය ගොස් තිබූ අතර එම පත්‍රිකාව මළ අයගේ තත්ත්වය පිළිබඳ ව ඔහු සොයමින් සිටි පිළිතුරු ඔහුට සැපයුවා. ඉන් මද කලකට පසු, එවකට බයිබල් ශිෂ්‍යයින් යනුවෙන් හඳුන්වනු ලැබූ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණීමට ඔහු පටන් ගත්තා.
තාත්තාට ඉක්මනින් ම සභාවේ වැඩකටයුතුවල හවුල් වන්නට උවමනා විය. තමාට දේශනා කළ හැකි ක්ෂේත්රයක් ඔහු ලබා ගත් අතර පාසලෙන් පසු පත්‍රිකා බෙදා දීම සඳහා ඔහු එතැනට බයිසිකලයෙන් ගමන් කළා. රාජ්‍යයේ බලාපොරොත්තුව බෙදා ගැනීමෙහි ඔහු සහමුලින් ම නිරත වූ අතර 1918 මාර්තු 24වන දින, යෙහෝවඃ වහන්සේට වූ සිය කැප වීම ඔහු වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා.
ඊළඟ වසරේ අම්මා සැන් ඇන්ටෝනියෝවට ගිය විට, එතෙක් දුටු “මිහිරිතම සිනහව හා නිල්වන් වූ ඇස්” යයි ඔහු පැවසූ දෙයට තාත්තා වහා ම ඇදී ගියා. තමන්ට විවාහ වන්නට උවමනා බව ඔවුන් ඉක්මනින් ම දන්වා සිටිය ද, අම්මාගේ මව්පියන් ව කැමති කරවා ගැනීම ඔවුනට දුෂ්කර දෙයක් විය. එහෙත් 1921 අප්‍රියෙල් 15වන දින විවාහය සිදු වුණි. දෙදෙනා ම තමන්ගේ ඉලක්කය හැටියට පූර්ණ-කාලීන දේව සේවය තබා ගත්තා.
දේව සේවය කලින් ම ඇරඹීම
අම්මත් තාත්තත් 1922 දී ඔහයියෝ, සීඩා පොයින්ට් හි පවත්වන ලද සමුළුවට සහභාගි වන්නට සැලසුම් කරමින් සිටිය දී, අම්මා මා ව ගැබ් ගෙන සිටි බව ඔවුන් සොයා ගත්තා. මගේ උපතෙන් මද කලකට පසු, තාත්තාට අවුරුදු 22ක් ව තිබිය දී, ඔහු ව සභාවේ සේවා අධ්‍යක්ෂක හැටියට පත් කරනු ලැබුවා. ඔහු සම්පූර්ණයෙන් ම ක්ෂේත්‍ර සේවය සඳහා විධිවිධාන පිළියෙළ කළ බව මින් අදහස් කළා. සති කීපයකට පසු, අම්මා මාවත් ගෙයින්-ගෙට සේවයේ රැගෙන ගියා. ඇත්ත වශයෙන් ම, මගේ සීයා හා ආච්චිට ද තමන් සමඟ මා ව දේව සේවයේ රැගෙන යාමට කැමැත්තක් තිබුණි.
මට අවුරුදු දෙකක් වයස් ව තිබිය දී, මගේ මව්පියන් ටෙක්සස් හි, ඩැලස් වෙත පදිංචියට ගිය අතර ඉන් වසර තුනකට පසු ඔවුන් පුරෝගාමින් හැටියට පූර්ණ-කාලීන දේව සේවය පටන් ගත්තා. රාත්‍රියේ ඔවුහු මාර්ගයේ පැත්තක සාදාගත් තොටිල්ලක නිදා ගත් අතර මා ව කාරයේ පසුපස ආසනයේ තැබුවා. ඇත්ත වශයෙන් ම, මෙය විනෝද ජනක යයි මා කල්පනා කළ ද, ඔවුන් පුරෝගාමි ජීවිතය සඳහා තවමත් සූදානම් නැති බව වැඩිකලක් නොගොස් පැහැදිලි විය. එබැවින් තාත්තා ව්‍යාපාරයක් පටන් ගත්තා. කලකට පසු, පුරෝගාමි සේවය යළිත් ආරම්භ කිරීමට සූදානමක් වශයෙන් ඔහු කුඩා ට්‍රේලරයක් තැනුවා.
මා පාසල් යාම ආරම්භ කරන්නට කලින්, කියවන්නට හා ලියන්නට අම්මා මට ඉගැන් වූ අතර හතරවරක් චක්‍රය දක්වා මම දැන සිටියා. නිතර ම ඇය අවධානය යොමු කළේ මගේ ඉගෙනුම දෙසටයි. පිඟන් කෝප්ප පිස දැමීමට හැකිවන පරිද්දෙන් ඇය මා ව තමා ළඟින් පුටුවක් මත සිටුවා තබන අතර ඇය ඒවා සෝදන විට ම ශුද්ධ ලියවිලි පද කට පාඩම් කිරීමටත් රාජ්‍යය ගීත නැතහොත් එවකට ඒවා හඳුන්වනු ලැබූ ආකාරයට ගීතිකා ගැයීමටත් මට උගන්වනවා.
මගේ මව්පියන් සමඟ දෙවියන් වහන්සේට සේවය කිරීම
වර්ෂ 1931 දී ඔහයියෝ, කොලොම්බස් හි පවත්වන ලද විස්මය ජනක සමුළුවට අප සියල්ලන් ම සහභාගි වූ අතර එහි දී අපට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ යන නම ලැබුණා. එවිට මට අවුරුදු අටක් ව සිටිය ද, මා එතෙක් අසා තිබූ ලස්සන ම නාමය ඒ යයි මම කල්පනා කළා. අප හැරී නිවසට පැමිණීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන්, තාත්තාගේ ව්‍යාපාරය ගිනිබත් වූ අතර තාත්තත් අම්මත් එය “ස්වාමීන් වහන්සේගේ කැමැත්ත” හැටියට භාරගෙන යළිත් පුරෝගාමි සේවය ආරම්භ කළා. මෙසේ වර්ෂ 1932 ග්‍රීෂ්ම ඍතුවෙන් පටන් ගෙන, අප අවුරුදු බොහෝ ගණනක පූර්ණ-කාලීන දේව සේවය ප්‍රීතියෙන් භුක්ති වින්ඳා.
තවමත් සැන් ඇන්ටෝනියෝ හි පදිංචි ව සිටි, අම්මගේ මව්පියන් අසල සිටිනු පිණිස, මගේ මව්පියන් මධ්‍යම ටෙක්සස් හි පුරෝගාමි සේවයේ යෙදුණා. එක් පැවරුමක සිට තවත් පැවරුමකට ස්ථාන මාරුවීම නිසා නිතර නිතර මට පාසල් වෙනස් කිරීමට සිදු වුණා. ඇතැම් අවස්ථාවන්හි, මා ව එතරම් හොඳින් රැකබලා නොගන්න බව දක්වන්නාක්මෙන්, කල්පනාවෙන් තොර ව සාක්ෂිකාර මිත්‍රයන් “ඔබ එක් තැනක පදිංචි වී, ඒ දරුවාට නිවසක් නොසාදන්නේ මන්ද” කියා කියනු ලැබුවා. එහෙත් අපගේ ජීවිතය චමත්කාර ජනක බවත්, මම තාත්තටත් අම්මටත් ඔවුන්ගේ දේව සේවයේ දී උපකාර කරමින් සිටි බවත් මම කල්පනා කළා. ඇත්ත වශයෙන් ම, යථා කාලයේ දී මගේ ම ජීවිත ක්‍රමය බවට පත් වන්නට තිබූ දෙය සඳහා මට පුහුණුවකුත් සූදානම් කිරීමකුත් මෙයාකාරයෙන් ලැබුණා.
මට බව්තීස්මය ලැබීමට උවමනා බව මාස ගණනාවකට මම අම්මටත් තාත්තටත් කියමින් සිටි අතර, ඔවුන් නිතර ම ඒ පිළිබඳ ව මා සමඟ කථා කළා. මගේ තීරණය කොතරම් බරපතළ දැයි මා දැන සිටියා ද යන්න ගැන ස්ථිර වීමට ඔවුන්ට උවමනා වුණා. වර්ෂ 1934 දෙසැම්බර් 31වන දින මගේ ජීවිතයේ මෙම බාරදූර සිද්ධිය සඳහා දිනය උදා විය. කෙසේ වෙතත්, ඊට පෙර දින රාත්‍රියේ යෙහෝවඃ වහන්සේට මා යාච්ඤා කළ බවට මගේ තාත්තා වගබලා ගත්තා. අනතුරුව ඔහු ලස්සන දෙයක් කළා. අප සියල්ලන් ම දණින් වැටීමට ඔහු සැලසූ අතර එවිට ඔහු යාච්ඤාවක් ඔප්පු කළා. උන් වහන්සේට තමාගේ ජීවිතය කැප කරන්නට තමාගේ කුඩා දැරිය ගෙන ඇති තීරණය පිළිබඳ ව තමා අතිශයින් සතුටු වන බව ඔහු යෙහෝවඃ වහන්සේට පැවසුවා. මතු පැමිණෙන සියලු ම කාලවල් පුරා ම මම එම රාත්‍රිය අමතක කරන්නේ නැති බව ඔබට සහතික විය හැක.
මගේ ආච්චි හා සීයාගෙන් පුහුණුව
වර්ෂ 1928 හා 1938 අතර කාලයෙන් වැඩි කොටසක් මම සැන් ඇන්ටෝනියෝ හි විසූ මගේ ආච්චි හා සීයා බැහැ දැකීමට යෙදෙව්වා. ඔවුන් සමඟ ගත කරන කාලය මගේ මව්පියන් සමඟ ගත කරන කාලයට බොහෝ දුරට සමානයි. ආච්චි, ඔවුන් පුරෝගාමින් ව හැඳින් වූ ආකාරයට කෝල්පෝටර්වරියක ව සිටි අතර, පසු ව ඇය අර්ධ-කාලීන පුරෝගාමියෙක් වූවා. වර්ෂ 1929 දෙසැම්බර් මාසයේ දී සීයා ව පුරෝගාමියෙක් හැටියට පත් කරන ලද බැවින්, ක්ෂේත්‍ර සේවය විධිමත් දෛනික කටයුත්තක් බවට පත් වුණා.
සීයා රාත්‍රියේ දී මා ව තුරුලු කරගෙන තාරකාවල නම් මට ඉගැන්නුවා. මතකයෙන් ඔහු මට කවි කියනවා. ඔහු දුම්රිය සේවයේ නිරත ව සිටි කාලයේ මම පුල්මන්ස් දුම්රියෙන් ඔහු සමඟ බොහෝ ගමන් ගියා. මට කරදර තිබූ විට ඔහු සහාය පැතිය හැකි කෙනෙක් ව සිටියා; ඔහු මා ව සනසා මගේ කඳුළු පිස දමනවා. එහෙත්, වැරදි හැසිරීමෙන් මා හික්මවීම ලැබූ නිසා, සහනය සොයා මම ඔහු වෙතට ගිය විට, ඔහු සරල ලෙස (ඒ අවස්ථාවේ දී මට නොතේරුණ ද, ඉතා පැහැදිලි ස්වරයක් තිබූ වචනවලින්) කියා සිටියේ: “දුව වැරදි කරන්නාගේ ගමන් මග ඉතා දුෂ්කරයි” යනුවෙනි.
වසර ගණනාවක පීඩා
වර්ෂ 1939 දී, දෙවන ලෝක යුද්ධය පටන් ගත් අතර, යෙහෝවඃ වහන්සේගේ ජනයා පීඩා හා කැරලිකාර කණ්ඩායම්වල සැහැසියාවන්ට මුහුණ දුන්නා. වර්ෂ 1939 අන්තිමය වන විට, අම්මා අතිශයින් රෝගාතුර තත්ත්වයකට පත් වූ අතර අවසානයේ දී ශල්‍යකර්මයක් උවමනා තත්ත්වයකට පත් වූ බැවින්, අපි යළිත් සැන් අන්ටෝනියෝ හි පදිංචියට ගියා.
අප සැන් ඇන්ටෝනියෝ හි මාර්ගවල සඟරා සේවය කරත් ම කැරලිකාර කණ්ඩායම් එක්රැස් වෙනවා. එහෙත් සෑම සතියක ම, පවුලක් හැටියට, අපට පවරා තිබූ මං සන්ධියේ අපි සිටගෙන සිටියා. ඔවුන් තාත්තා ව පොලිස් ස්ථානයට ඇදගෙන යනවා මම බොහෝ විට බලාගෙන සිටියා.
අම්මට පුරෝගාමි සේවය නවත්වන්නට සිදු වුණත්, තාත්තා එහි දිගට ම නිරත වන්නට වෑයම් කළා. කෙසේ වෙතත්, අර්ධ-කාලීන ව වැඩ කිරීමෙන් ඔහුට අවශ්‍ය තරම් මුදල් උපයා ගත නොහැකි වූ නිසා, ඔහුටත් සේවය නතර කරන්නට සිදු වුණා. වර්ෂ 1939 මම පාසල් යාම අවසන් කළ අතර මමත් වැඩට ගියා.
තාත්තගේ නම ජජ් (විනිශ්චකාරයා) වූ නිසා ඒ කාලයේ එය ප්‍රයෝජනවත් වුණා. උදාහරණයක් හැටියට, සාක්ෂිකාර මිත්‍රයන් කණ්ඩායමක් සැන් ඇන්ටෝනියෝවට උතුරෙන් පිහිටි නගරයක සාක්ෂි දැරීමට ගිය අතර එහි සිටි නගර ෂෙරිප්වරයා සියල්ලන් ව ම හිරේ දැම්මා. මගේ සීයා හා ආච්චි ද ඇතුළු ව 35 දෙනෙක් පමණ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් මගේ තාත්තාට පණිවුඩයක් යැවූ අතර ඔහු එහි ගියා. ඔහු එම ෂෙරිප්වරයාගේ කාර්යාලයට ගොස් මෙසේ පැවසුවා: “සැන් ඇන්ටෝනියෝ හි ජජ් නොරිස් මමයි.”
“එහෙමයි විනිශ්චකාර මහත්තයා, ඔබ සඳහා මට කුමක් කළ හැකි ද?” කියා එම ෂෙරිප්වරයා ඇසුවා.
“මම මෙහි ආවේ මේ අය ව හිරගෙදරින් නිදහස් කරන එක ගැන කථා කරන්න,” කියා තාත්තා පිළිතුරු දුන්නා. ඒත් සමඟ—වැඩිදුර ප්‍රශ්න කිරීමකින් තොර ව—ඇපයක්වත් නැති ව එම ෂෙරිප්වරයා ඔවුන් ව නිදහස් කළා!
නගරයේ කාර්යාල ගොඩනැගිලිවල සේවය කරන්නට තාත්තා සතුටින් සිටි අතර ඔහු විශේෂාකාරයෙන් විනිශ්චකරුවන් හා නීතිඥයින් සමඟ කථා කරන්නට කැමැත්තෙන් සිටියා. පිළිගැනීමේ නිලධාරිනියට ඔහු කියන්නේ, “මම ජජ් නොරිස්, මම ආවේ අහවල් ජජ් ව (හෙවත් විනිසුරු ව) හමුවන්න” යනුවෙනි.
අනතුරුව, ඔහුට විනිශ්චකාරයා ව හමු වූ විට, ඔහු නිතර මුලින් ම කියන්නේ මෙයයි: “මම ඔබ ව බලන්නට පැමිණි කාරණය කියන්න කලින්, මම කැමතියි ඔබට තේරුම් කර දෙන්න මම ඔබටත් කලින් ජජ් කෙනෙක් (විනිශ්චකාරයෙක්) ව සිටි බව. මගේ මුළු ජීවිත කාලය පුරා ම මම විනිශ්චකරුවෙක් ව සිටියා.” අනතුරුව තමාට එම නාමය ලැබුණු ආකාරය ඔහු තේරුම් කර දෙනවා. මෙය මිත්‍රශීලී මූලාරම්භයට හේතු වූ අතර ඔහු ඒ කාලයේ විනිශ්චකරුවන් සමඟ බොහෝ සුහද සබඳතාවයන් වර්ධනය කර ගත්තා.
මව්පිය මඟ පෙන්වීමට කෘතඥ පූර්වක වීම
නොසන්සුන් වූ එම නහඹර වියේ මා පසු වූ අතර බොහෝවර තාත්තත් අම්මත් සිත් තැවුලෙන්, මා ඊළඟට කරන්නට යන දෙය පිළිබඳ ව පරීක්ෂාවෙන් හා කල්පනාවෙන් පසු වූ ආකාරය මට මතකයි. සෑම දරුවෙක් ම කරන ආකාරයට, ඔවුන්ගේ පිළිතුර නැත වනු ඇති බව කල්තබා දැන, යමක් කරන ලෙස ඉල්ලමින් නැතහොත් යම් තැනකට යාමට අවසර ඉල්ලමින් මම තාත්තත් අම්මත් බොහෝ වරක් පරීක්ෂාවට ලක් කළා. ඇතැම් අවස්ථාවන්හි කඳුළු සලන්නට සිදු විය. මෙවන් අවස්ථාවන්හි, “ඔබ කැමති ඕනෑ ම දෙයක් කරන්න. අපට කමක් නැහැ” කියා ඔවුන් කිව්වා නම්, ඇත්ත වශයෙන් ම මම මහත් අවුල් තත්ත්වයකට පත් වෙනවා.
ඔවුන්ගේ ප්‍රමිති වෙනස් කිරීමට මා විසින් ඔවුන් ව පෙලඹවිය නොහැකි බව දැනගැනීම මට සුරක්ෂිත භාවයේ හැඟීමක් ලබා දුන්නා. ඇත්ත වශයෙන් ම, වෙනත් යෞවනයින් අඥාන විනෝදාංශ යෝජනා කළ විට, “තාත්තා මට අවසර දෙන එකක් නැහැ” කියා මා විසින් කිව හැකි ව තිබූ බැවින්, මෙය මට පහසු තත්ත්වයක් ලබා දුන්නා. මට අවුරුදු 16ක් වූ විට, තාත්තා රිය පැදවීම මට ඉගැන්වීමටත්, රියදුරු බලපත්‍රයක් ලබා දීමටත් වගබලා ගත්තා. තව ද, මේ වයසේ දී ම වාගේ ඔහු මට නිවසේ යතුරක් භාර දුන්නා. ඔහු මා ව විශ්වාස කළ බව එය මට සෑහෙන තහවුරුවක් ලබා දුන්නා. මා වැඩී සිටින බව මට හැඟුන අතර එය වගකීමේ හැඟීමක් හා ඔවුන්ගේ විශ්වාසය කඩ නොකිරීමට ආශාවක් මට ලබා දුන්නා.
ඒ දවස්වල විවාහය පිළිබඳ ව එතරම් ශුද්ධ ලියවිලිමය උපදෙස් දෙනු ලැබුවේ නැති වුවත්, තාත්තා බයිබලය හා “ස්වාමීන්වහන්සේ තුළ පමණක්” විවාහ වීම පිළිබඳ ව එය පැවසූ දෙය දැන සිටියා. (1 කොරින්ති 7:39) යම් දිනක හෝ මා ලෝකයේ යෞවනයෙක් ව නිවසට කැඳවාගෙන පැමිණියේ නම්, නැතහොත් එවැන්නෙක් දෙස බලාපොරොත්තු සහිත ව බැලුවොත් පවා, ඔහුට දැනෙන ශෝකය දරාගත නොහැකි තරම් එකක් වන බව ඔහු මට පැහැදිලි කර දුන්නා. ඔවුන් “ස්වාමීන්වහන්සේ තුළ” විවාහ වූ නිසා ඔවුන්ගේ විවාහයේ සන්තෝෂය හා එක්සත් භාවය මා දැක තිබූ බැවින්, ඔහු නිවැරදියි කියා මා දැන සිටියා.
වර්ෂ 1941 දී, මට අවුරුදු 18ක් ව තිබිය දී, සභාවේ යෞවනයෙක් සමඟ මා ප්‍රේමයෙන් සිටියේ යයි මා සිතුවා. ඔහු පුරෝගාමියෙක් වූ අතර නීතිඥයෙක් වන්නට ඉගෙන ගනිමින් සිටියා. මා උද්යෝගයෙන් සිටියා. අපට විවාහ වන්නට ඕනෑ බව මගේ මව්පියන්ට අප පැවසූ විට, අනුමත නොකරන බවක් හෝ අධෛර්ය කරන බවක් පෙන්වනවා වෙනුවට, ඔවුන් නිකම් ම මෙසේ කිව්වා: “බ්ලොසම්, අපි කැමතියි ඔබගෙන් එක දෙයක් ඉල්ලන්න. අපට හිතෙනවා ඔබ තවමත් තරුණ වැඩියි කියලා, එනිසා අපි කැමතියි තවත් අවුරුද්දක් බලා ඉන්න කියා ඔබෙන් ඉල්ලන්න. ඔබ සැබවින් ම ප්‍රේමයෙන් සිටිනවා නම්, එක අවුරුද්දක් එතරම් වෙනසක් කරන්න යන්නේ නැහැ.”
එම ඥානවන්ත අවවාදයට සවන් දීම ගැන මා කොතරම් ස්තුතිවන්ත වනවා ද. වසරක් ඇතුළත, මා යම් ප්‍රමාණයක මේරූ තත්ත්වයකට පැමිණි අතර හොඳ විවාහ කලත්‍රයෙක් සතු ගුණාංග එම තරුණයා තුළ නැති බව දකින්නට පටන් ගත්තා. ඔහු අවසානයේ සංවිධානය හැර ගිය අතර මගේ ජීවිතයේ විපත්තියක් වන්නට තිබූ දෙයින් මම බේරුණා. විශ්වාසය තැබිය හැකි විනිශ්චයන් කරන මව්පියන් සිටීම මොනතරම් පුදුම සහගත සෙතක් ද!
විවාහ වීම හා සංචාරක සේවය
මා වසර හයක් පුරෝගාමි සේවයේ නියැලෙමින් අර්ධ-කාලීන ව රැකියාවක් කිරීමෙන් පසු, වර්ෂ 1946 ශීත ඍතුවේ දී, මගේ මුළු ජීවිතයට ම මට හමු වූ අනර්ඝතම මිනිසා අපගේ රාජ්‍යය ශාලාවට ඇතුල් වුණා. එවකට චාරිකා අවේක්ෂක ව හඳුන්වනු ලැබූ ආකාරයට, සහෝදරයින් සඳහා වූ අපගේ සංචාරක සේවකයාට සහායකයෙක් හැටියට ජීන් බ්‍රැන්ට් ව පත් කර තිබුණි. අප එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් ඇදී ගිය අතර 1947 අගෝස්තු 5වන දින අපි විවාහ වුණා.
ඉන් මද කලකට පසු, තාත්තා හා ජීන් ගිණුම් තබන ව්‍යාපාරයක් විවෘත කළා. එහෙත් තාත්තා ජීන්ට කියා සිටියේ, “මෙම කාර්යාලය රැස්වීමකින් හෝ දිව්‍යාණ්ඩුමය කටයුත්තකින් අප ව වළක්වන දවසේ, මම මෙම ව්‍යාපාරය වසා දමනවා” කියායි. යෙහෝවඃ වහන්සේ මෙම ආත්මික දෘෂ්ටියට ආශීර්වාද කළ අතර, එම කාර්යාලය අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් සපයමින් පුරෝගාමි සේවයේ නියැලෙන්නට අපට කාලය ලබා දුණි. තාත්තා හා ජීන් හොඳ ව්‍යාපාරිකයින් වූ අතර අපට පහසුවෙන් ම ධනවත් විය හැකි ව තිබුණත්, මෙය කිසි දවසක ඔවුන්ගේ ඉලක්කය වූයේ නැහැ.
වර්ෂ 1954 දී, ජීන් ව චාරිකා සේවය සඳහා ආරාධනා කරනු ලැබූ අතර මෙය අපගේ ජීවිතවල විශාල වෙනස්කමක් අදහස් කළා. මගේ මව්පියන් ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේ ද? යළිත් වරක් ඔවුන් අවධානය යොමු කළේ තමන් වෙතට නොව, නමුත් දේව රාජ්‍යය කටයුතු හා ඔවුන්ගේ දරුවන්ගේ ආත්මික සමෘද්ධිය වෙතට ය. “ඔබ අපට මුනුබුරන් ලබා නොදෙන්නේ ඇයි?” කියා ඔවුන් කවදාවත් අපට කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නිතර කියා සිටියේ, “ඔබ පූර්ණ-කාලීන සේවයේ නියැලීම පිණිස ඔබට උපකාරයක් හැටියට අපට කළ හැක්කේ කුමක් ද?” යන්නයි.
එබැවින් ඔවුන්ගෙන් ඉවත් වන්නට දිනය උදා වූ විට, ඉදිරිපත් වූයේ අපගේ මහඟු වරප්‍රසාදයට දිරිගන්වන හා ප්‍රීතිය පළවන වදන් පමණි. අප ඔවුන් ව අත්හැර දමන බවක් ඔවුන් කිසිදවසක අපට හැඟීමට සැලැස්වූයේ නැහැ, ඒ වෙනුවට සියයට සියයක් ම අපට අනුබල දුන්නා. අප ඉවත් ව යාමෙන් පසු, ඔවුන් තවත් අවුරුදු දහයක් පුරෝගාමි සේවයේ ක්‍රියාශීලී ව නිරත ව සිටියා. තාත්තා ව සැන් ඇන්ටෝනියෝ හි නගර අවේක්ෂක හැටියට පත් කරනු ලැබූ අතර වසර 30කට ඔහු එම තත්ත්වයේ ම සේවය කළා. එක්දහස් නවසිය විසි ගණන්වල එම නගරයේ එක් සභාවක් පටන්, වර්ෂ 1991 ඔහු මිය යන්නට පෙර සභා 71ක් දක්වා වර්ධනය වීමේ ප්‍රීතිය තාත්තා අත්දැක්කා.
ජීන්ටත් මටත් ජීවිතය ඉතා ප්‍රබෝධවත් කරවන සුලු එකක් විය. ජනපද 31කට වැඩි සංඛ්‍යාවක අපගේ ප්‍රේමනීය සහෝදර සහෝදරියන්ට සේවය කිරීමේ අනර්ඝ ප්‍රීතිය අපට ලැබුණ අතර, මේ සියල්ලට ම වඩා කැපී පෙනෙන වරප්‍රසාදය වූයේ, අපට 1957 දී, වොච් ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් හි 29වන පන්තියට සහභාගි වීමට ලැබූ වරප්රසාදයයි. ඉන් පසු ව අප යළිත් අපගේ සංචාරක සේවය පටන් ගත්තා. වර්ෂ 1984 දී, අපේ මව්පියන් 80 ගණන්වල පසු වූ නිසාත්, සෞඛ්‍යමය වශයෙන් දුබල ව සිටි නිසාත්, චාරිකා හා දිස්ත්‍රික්ක සේවයේ වසර 30ක් ගත කිරීමෙන් පසු, සමිතිය ජීන් හට සැන් ඇන්ටෝනියෝ හි චාරිකා පැවරුමක් කාරුණික ව ලබා දුන්නා.
මව්පියන්ට සාත්තු කිරීම
අප සැන් ඇන්ටොනියෝවට පැමිණීමෙන් වසර එකහාමාරකට පසු අම්මා අඩක් සිහිමුර්ච්ඡා තත්ත්වයට පත් වූ අතර පසු ව මිය ගියා. එය කොතරම් වේගයෙන් සිදු වූයේදයත්, මට කියන්නට ඕනෑ ව තිබූ ඇතැම් දේවල් පවා මට ඇයට කියන්නට නොහැකි විය. මෙනිසා තාත්තා සමඟ බොහෝ සේ කථා කරන්නට මම ඉගෙන ගත්තා. වසර 65ක විවාහයකින් පසු, අම්මාගේ වියෝව ඔහුට මහත් සේ දැනුන ද, ප්‍රේමය හා අනුබලය දීම සඳහා අප ඔහු සමඟ සිටියා.
ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම, අධ්‍යයනය කිරීම හා සේවා කටයුතු පිළිබඳ තාත්තාගේ ජීවිත කාලීන ආදර්ශය ඔහුගේ මරණය දක්වා එසේ ම පැවතුණා. ඔහු කියවන්න හරි ආසයි. අප සේවයේ යන විට ඔහුට තනි ව සිටින්න සිදු වන නිසා, මම ගෙදර ආවා ම “ඔබට තනියක් දැනුන ද” කියලා අහනවා. ඔහු කියවීමේ හා ඉගෙන ගැනීමේ කොතරම් නියැලී සිටියා ද කියතොත්, එම සිතුවිල්ල ඔහු තුළ පහළ වූයේවත් නැහැ.
අප දිගට ම පවත්වා ගත් තවත් යාවජීව පුරුද්දක් තිබුණා. විශේෂයෙන් ම දින පදය සාකච්ඡා කරනු ලබන අවස්ථාවේ දී, එනම් උදය ආහාරය ගන්නා විට මුළු පවුල ම එක් ව සිටින ලෙස තාත්තා උදක් ම ඉල්ලා සිටියා. බාල අවදියේ එය නොකර මට කිසි දවසක ගෙදරින් පිට වෙන්න අවසර ලැබුණේ නැහැ. “අනේ තාත්තේ, මට පාසලට යන්න (නැතහොත් වැඩට යන්න) පරක්කු වෙනවා” කියා ඇතැම් අවස්ථාවන්හි මම කියනවා.
එවන් අවස්ථාවන්හි ඔහු කියන්නේ “ඔබ ව පරක්කු කරන්නේ දින පදය නොවෙයි; ඔබ කලින් අවදි නොවීමයි.” තව ද මට නැවතී එය අහගන්න සිදු වෙනවා. ඔහුගේ ජීවිතයේ අන්තිම දවස් දක්වා මෙම හොඳ ආදර්ශය පැවති බවට ඔහු වගබලා ගත්තා. මෙය ඔහු මට තබා ගිය තවත් උරුමයක්.
තාත්තා ඔහුගේ මරණය දක්වා මානසික වශයෙන් අවදි ව සිටියා. ඔහුට සාත්තු කිරීම වඩාත් පහසු කළේ, ඔහු නිකරුණේ කලබල හෝ චෝදනා නොකිරීමයි. ආහ්, ඇතැම් අවස්ථාවන්හි ඔහු තමාගේ සන්ධිප්රදාහය ගැන සඳහන් කළත්, ඔහුට තිබෙන්නේ “ආදම් ප්‍රදාහය” බව මම ඔහුට සිහි කරවනවා. ජීන් හා මම ඔහු අසල සිටිය දී ම, තාත්තා 1991 නොවැම්බර් 30වන දින නිසල ව මරණයේ නින්දට පත් වුණා.
මට දැන් අවුරුදු 70වත් පසු වී ඇති අතර තවදුරටත් මගේ ප්‍රේමනීය මව්පියන්ගේ හොඳ ආදර්ශයෙන් ප්‍රයෝජන ලබනවා. තව ද මගේ අවංක යාච්ඤාව නම්, මතුවටත් මගේ උරුමය නිසි ලෙස පාවිච්චි කිරීම මගින් ඒ සඳහා වූ මගේ පූර්ණ අගැයීම තහවුරු කිරීමයි.—ගීතාවලිය 71:17-18.
[5වන පිටුවේ පින්තූරය]
අම්මා සමඟ මම
[7වන පිටුවේ පින්තූර]
1. මගේ පළමු සමුළුව: සැන් මාකොස්, ටෙක්සස්, 1923 සැප්තැම්බර්
2. තාත්තගේ අවසාන සමුළුව: ෆෝර්ට් වර්ත්, ටෙක්සස්, 1991 ජූනි (තාත්තා අසුන් ගෙන සිටී)
[9වන පිටුවේ පින්තූරය]
ජීන් හා බ්ලොසම් බ්‍රැන්ට්