ස්පාඤ්ඤයේ ගමින් ගමට දේශනා කිරීම
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ “යෙරුසලමට ගමන්කරද්දී උගන්වමින් නුවරවල් සහ ගම් මැදින් ගියසේක.” (ලූක් 13:22) සේවය සම්පූර්ණ කිරීමට, යේසුස් වහන්සේ හා ගෝලයෝ “නුවරවල්” තුළ පමණක් නොව “ගම් මැදින්” ද දේශනා කළහ. නුවරවල් කෙරෙහි යොමු ව සිටීම වඩාත් පහසු දෙයක් වුවත්, ඔවුන් පිටිසරබද පළාත්වල තිබූ බොහෝ ගම් මඟ හැරියේ නැත.a
යේසුස් වහන්සේට මුහුණ දෙන්නට සිදු වූ ආකාරයේ අභියෝගයකට මුහුණ දෙන්නට ස්පාඤ්ඤයේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට සිදු විය. වර්ෂ 1970 තරම් මෑතක, ගොයම් කැපීමට සූදානම් ව තිබූ, අත නොගසන ලද අතිවිශාල ග්‍රාමීය ප්‍රදේශයන් එහි තිබුණි. (මතෙව් 9:37, 38) උතුරේ වැසි බර කඳුකර ප්‍රදේශවලත්, ශුෂ්ක වූ මධ්‍යම තැනිතලාවලත් වෙරළබඩ ප්‍රදේශවලත් රාජ්‍යයේ පණිවුඩය දේශනා කොට නොතිබූ ගම් සිය ගණනක් තිබුණි.
මෙම ප්‍රදේශයන්ට ශුභාරංචිය ගෙන යාමෙහි මහත් පරිශ්‍රමයක් දරන්නට යෙහෝවඃ වහන්සේගේ ස්පාඤ්ඤ සාක්ෂිකරුවෝ අධිෂ්ඨාන පූර්වක ව සිටියහ. එහෙත් මෙම ප්‍රදේශයේ ජීවත් වන අයට රාජ්‍යය පණිවුඩය අසන්නට මෙතරම් කාලයක් බලා සිටීමට සිදු වූයේ මන්ද? එමෙන් ම ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද?
නීත්‍යානුකූල පිළිගැන්ම ග්‍රාමීය ප්‍රදේශවල සාක්ෂි දැරීමට අනුබල දෙයි
ස්පාඤ්ඤයේ වසන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු 1939 සිවිල් යුද්ධය අවසානයේ පටන් තහනමට ලක් කර තිබුණි. එක්දහස් නවසිය පනස් ගණන් හා 1960 ගණන්වල ජ්වලිත සාක්ෂිකරුවෝ තමන්ගේ පැමිණ සිටීම එතරම් ගණනකට නොගත් නගරවල ප්‍රවේසමෙන් දේශනා කළහ. ඔවුන්ගේ වැඩය අවසානයේ, එනම් 1970 දී නීතියෙන් පිළිගනු ලැබූ විට, ස්පාඤ්ඤයේ රාජ්‍යය ප්‍රකාශකයන් 10,000ක් පමණ සිටියහ. ඔවුන්ගෙන් සියල්ලන් ම වාගේ නුවරවල හා විශාල නගරවල ජීවත් ව සිටිය ද, ස්පාඤ්ඤයේ ගම්වලටත් රාජ්‍යයේ පණිවුඩය යා යුතු ව තිබිණි. එම අභියෝගයට මුහුණ දෙනු ඇත්තේ කවරෙක් ද?
එම අර්ධද්වීපයේ සියලු ප්‍රදේශයන්ට ශුභාරංචිය ගෙන යාමට 1970 ගණන්වල ව්‍යාපාරයක් දියත් කරනු ලැබී ය. වර්ෂ 1973 සිට 1979 දක්වා සෑම මාසයක ම වාගේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්හි මාසික සේවා ප්රකාශනය වූ අපගේ රාජ්‍යය සේවාව පත්‍රිකාවේ රටේ විවිධ ප්‍රදේශයන්හි අවශ්‍යතා හුවා දක්වන විශේෂ දැන්වීම් පළ කරනු ලැබී ය. කැමැත්තෙන් සිටි හා ප්‍රතිචාරය දක්වන සුලු පවුල් බොහොමයක් එම ඇරයුමට ප්‍රත්‍යුත්තර දෙමින්, වැඩි අවශ්‍යතාවයන් පැවති තැන්වල සේවය කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
රොසෙන්ඩෝ හා ඔහුගේ භාර්යාව වන, ලූසී කදිම ආදර්ශයක් කොට දක්වන්නට පුළුවන. විශේෂ පුරෝගාමින් (පූර්ණ-කාලීන රාජ්‍යය දේශනාකරුවන්) හැටියට ඔවුන් ව වයඹදිග ස්පාඤ්ඤයේ ධීවර ගම්මානයකට යවනු ලැබූ අතර ඔවුන් මව්පියන් බවට පත් වූ විට එම ප්‍රදේශයේ දිගට ම පදිංචි වන්නට තීරණය කළහ. “අපට ඉතා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වූ බව මා පිළිගත යුතු” යයි රොසෙන්ඩෝ ප්‍රකාශ කරයි. “ලෞකික රැකියාවක් සොයා ගැනීම දුෂ්කර වුවත්, අප යෙහෝවඃ වහන්සේගේ උපකාරය මත රැඳී සිටි අතර කිසිවිටෙක සාගින්නෙන් හෝ ජීවත් වන්නට නිවසක් නැති ව සිටියේ නැහැ. එය ඇත්තෙන් ම වටිනා අත්දැකීමක්.” එම කාලය පුරා, ස්පාඤ්ඤයේ එම ප්‍රදේශයේ සභාවන් හතරක් පිහිටු වීමට උපකාර කරන්නට ඔවුනට හැකි වී තිබෙනවා.
‘සුදුසු තැනැත්තා විභාග කරන්න’
සෑම නුවරක ම නැතහොත් ගමක ම සුදුසු අය කවුදැයි “විභාග කොට” බලන හැටියට යේසුස් වහන්සේ සිය ගෝලයන්ට වදාළ සේක. (මතෙව් 10:11) ආල්කොයි (ඇලකැන්ටී) නම් ස්ථානයෙන් පැමිණි සහෝදරයෙක් වන ඇන්චෙල් විසින් සොයා ගන්නා ලද ආකාරයට, ස්පාඤ්ඤයේ ග්‍රාමීය ප්‍රදේශවල මෙම සෙවීම සඳහා උත්සාහවන්තකම හා මුල පිරීම අවශ්‍ය කරවයි. ඔහු මාසියස් නම් ගමේ සමහරක් නිවාසවලට යාම නිම කළා පමණි, එවිට කුකුළෙක් හඬලන ශබ්දය ඔහුට ඇසිණ. ඔහු මෙසේ කල්පනා කළේ ය: “කුකුළෙක් සිටිනවා නම්, කොහේ හරි තැනක නිවසක්—අපට මඟ හැරුණු නිවසක්—තිබෙන්නට ඕනෑ.” අවට පරීක්ෂා කර බැලීමෙන් පසු, කන්දක පසෙකින් වූ වැටියක් මතින් ඇදී ගියා වූ ද, අවසානයේ හුදකලා වූ නිවසක් වෙතට යොමු වුණා වූ ද අඩිපාරක් ඇන්චෙල්ට හමු විය.
මෙම ගොවිපොළේ තමන්ගේ 60 ගණන්වල පසු වූ, මාංසික සහෝදරයෙක් හා සහෝදරියක් වන චෝසේ හා ඩොලෝරෙස් වාසය කළහ. ඔවුහු සාවධාන ව සවන් දුන් අතර ඉදිරිපත් කරන ලද බයිබල් පාඩම වහා පිළිගත්හ. කෙසේ වෙතත්, මෙම යටහත් පහත් අය සමඟ පාඩම් කිරීම එතරම් පහසු වූයේ නැත. ඊට හේතුව, ඔවුන්ට කියවන්නට හෝ ලියන්නට නොහැකි වීමත්, ඔවුන්ට තේරුණු එක ම භාෂාව වන වැලෙන්සියානු භාෂාවට සියල්ල ස්පාඤ්ඤ භාෂාවෙන් පරිවර්තනය කරන්නට සිදු වීමත් ය. මීට අමතර ව, ඔවුන් සිය අසල් වැසියන්ගෙන් සෑහෙන විරුද්ධ වාදිකම්වලට ද මුහුණ දුන්හ. මෙම බාධක තිබුණ ද, චෝසේ සහ ඩොලෝරෙස් යන දෙදෙනා ම රැස්වීම්වලට යාම සඳහා කඳු තරණය කරමින් දිගු ගමනක යෙදීමට සිදු වුවද සත්‍යයේ ප්‍රගතියක් ලැබූහ. අවසානයේ, ඔවුන් බව්තීස්මය සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ දෙදෙනා ම තවමත් යෙහෝවඃ වහන්සේට ඇදහිල්ලෙන් සේවය කරති.
වයඹදිග ස්පාඤ්ඤයේ මෝආන්යා අසල තනි වූ නිවසක වාසය කළ අංශභාග රෝගී තැනැත්තියක් සත්‍යය පිළිගත් ආකාරය, කලින් සඳහන් කළ රොසෙන්ඩෝ හා ලූසී සිහිපත් කරත්. ඇයගේ නම මාරීයා ය. ඇය මුලින් ම සාක්ෂිකරුවන්ට කථා කළ අවස්ථාවේ දී, ඇය කියවන්නට හෝ ලියන්නට නොහැකි තත්ත්වයක සිටි අතර, දරුවෙක් ව සිටිය දී වැළඳුණු පෝලියෝ රෝගයෙන් වසර ගණනාවක් ඔත්පළ ව සිට තිබුණි. ඇයගේ නිවස පිහිටා තිබුණේ ළඟ ම පාරේ සිට සැතපුමකටත් වඩා දුරින් ය. කෙසේ වෙතත්, බයිබලය ඉගෙන ගැනීමට ඇය මහත් ආශාවක් පෙන්වූ අතර යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට වූ ඇයගේ අධිෂ්ඨානය ඉක්මනින් පෙනෙන්නට තිබුණි. සභාවේ, කැප වීමකින් යුත් වෑයම්වලට ස්තුති වන්නට, මාරීයා කියවන්නටත් ලියන්නටත් ඉගෙන ගත් අතර රැස්වීම්වලට යාමට පටන් ගත්තා ය. සහෝදරයන් ඇය ව සිය නිවසේ සිට ගල් අතුරා නැති පාරක් දක්වා යාර දෙසීයක් පමණ උසුලාගෙන ගොස් එතැන්හි දී ඔවුන් ඇය ව ප්‍රවේසමින් මෝටර් රථයක් තුළ තබනු ඇත. ඇයගේ පවුලෙන් මුල දී විරෝධය පළ වුවත්, ඇය බව්තීස්මය දක්වා ප්‍රගතිය ලැබුවා ය. තමාගේ ආත්මික වර්ධනය ඇයට ලබා දුන් නිසැක භාවය නිසා, ඇය දැන් විශේෂිත ආකාරයකට සකසන ලද රථයක් පැදවීමට ඉගෙන ගෙන ඇති අතර මූලික අධ්‍යාපන පාඩම් මාලාවක් ද සම්පූර්ණ කර ඇත්තී ය. “මාරීයා වැනි අයට උපකාර කිරීමට හැකියාවක් ලැබීම ඒ වෙනුවෙන් කරන්නා වූ ඕනෑ ම පරිත්‍යාගයක් වටිනා එකක් කරයි” යයි රොසෙන්ඩෝ පැහැදිලි කරයි.
බයිබල් පාඨකයෝ එකහෙළා ප්‍රතිචාරය දක්වති
ස්පාඤ්ඤයේ පොදු ජනයාට මුල් වතාවට බයිබලයක් ලබා ගත හැකි තත්ත්වයක් ඇති වූයේ 1970 ගණන්වල ය. ස්පාඤ්ඤ ජාතිකයන් බොහෝ දෙනෙක් එහි පිටපතක් මිල දී ගත් අතර ඇතැමෙක් ශුද්ධ ලියවිල්ල කියවන්නට ද පටන් ගත්හ. 1973 දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පළමු වතාවට මෙදීනා දෙල් කාම්පො (වැල්ලෙඩ්ඩෙලිඩ්) නම් ස්ථානයේ වාසය කරන පීලාර්ගේ, නගරයට පැමිණි අවස්ථාවේ දී, ඒ වන විටත් ඇය බයිබලය කියවමින් සිටියා ය. කතෝලිකයෙක් ව සිටි ඇය, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශන ලබා ගැනීමට ප්‍රවේසම් සහිත වුවත්, ඇයට බයිබලය තේරුම් ගැනීමට උවමනාවක් තිබුණි. එනිසා, තමාගේ බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සඳහා සති පතා සාකච්ඡාවක් පැවැත්වීමට ඇය එකඟ වූවා ය.
වොච් ටවර් සමිතියෙන් බෙදා හරින ලද ප්‍රකාශන හොඳින් භාවිතා කරමින්, පීලාර් බැහැ දුටු පුරෝගාමි සහෝදරියට ඇයට තිබූ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දිය හැකි විය. තමා ඉගෙන ගනිමින් සිටි දෙය ඇයගේ සිත් ගත් බැවින්, සති කිහිපයකට පසු සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය නම් පොත භාවිතා කරමින් බයිබලය ඉගෙන ගැනීමට පීලාර් එකඟ වූවා ය. ඇය ඉගෙන ගනිමින් සිටි සත්‍යය පොත අවසන් කරන්නටත් පෙර, ඇය මුළු බයිබලය ම කියවා අවසන් කළ අතර, තමා සත්‍යය සොයාගෙන තිබූ බව ඒත්තු ගත්තා ය. ඇය මෙදීනා දෙල් කම්පෝ නම් ස්ථානයේ පළමුවන සාක්ෂිකාරිය වූ අතර, දැන් එහි ලස්සන රාජ්‍යය ශාලාවකුත් ප්‍රචාරකයන් 63 දෙනෙකුගෙන් සමන්විත සභාවකුත් ඇත.
ස්පාඤ්ඤ සාක්ෂිකරුවන්ට, “තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත්” වන්නා වූ ද, දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගැනීමට දරන වෑයමක් වශයෙන් නිති පතා බයිබලය කියවන්නා වූ ද අය තවමත් හමුවේ. (මතෙව් 5:3, NW) කලින් කතෝලිකයෙකු ව සිටියා වූ ද, සූමායා (උතුරු ස්පාඤ්ඤයේ) නම් පෙදෙසේ මීසමේ කතෝලික ධර්මය ඉගැන්වූවා වූ ද පෙපී, ළඟපාත ගමක දේශනා කරමින් සිටිය දී ඈට මීසමේ පූජකයා හමුවිය.
“පෙපී, ඔබ ඔබගේ කාලය නාස්තිකරමින් සිටිනවා” යයි එම පූජකයා ඇයට කීවේ ය. “ඊට්සියාර් නම් මෙම ගමේ, ආත්මික කාරණා කෙරෙහි උනන්දුව දක්වන්නේ දෙදෙනෙක්—විවාහක යුවළක්—පමණයි. ඉතිරි අය පල්ලියට යන්නේ පුරුද්දට.”
“හොඳයි, ආත්මික කාරණා කෙරෙහි උනන්දුව දක්වන දෙදෙනෙක් සිටිනවා නම්, ඔවුන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වේවි” කියා පෙපී පිළිතුරු දුන්නා ය.
මුළු ගම ම සම්පූර්ණ වනතෙක්, වෙනත් සාක්ෂිකරුවන් සමඟ පෙපී දිගට ම ඇයගේ ගෙයින්-ගෙට දේශනා වැඩය කරගෙන ගියා ය. තව ද බලාපොරොත්තු වූ ආකාරයට, හුදකලාවේ පිහිටා තිබුණු නිවසක, සහෝදරයන්ට එම පූජකයා සඳහන් කළ යුවළ සොයා ගත හැකි විය. ඔවුන් බයිබලය කියවමින් සිටියත් ඔවුන්ට එය තේරුම් ගත නොහැකි විය. ඔවුහු උනන්දුවෙන් බයිබල් පාඩමක් පිළිගෙන, වේගයෙන් ප්‍රගතියක් ලබා, 1991 අප්‍රියෙල් මාසයේ දී බව්තීස්මය ලැබූහ.
අවංක හෘදයක් ඇති ඇතැම් අය වොච් ටවර් සමිතියෙන් ප්‍රකාශයට පත් කරන ලද බයිබලය මත පදනම් ප්‍රකාශන කියවීමෙන් පමණක් සත්‍යය ඉගෙන ගෙන ඇත්තාහ. උදාහරණයක් වශයෙන්, ආල්මඩෙන් (සියුචා රෙයාල්) වෙතින් පැමිණි සාක්ෂිකරුවන් සිරූලාස් (බාචහෝස්) නම් කුඩා නගරයේ දේශනාකරමින් සිටිය දී, තමන්ගේ පණිවුඩයට උනන්දුවෙන් සවන් දුන් කාන්තාවක් ඔවුන්ට හමු විය. ඇය පෙන්වූ පැහැදිලි උනන්දුව නිසා, ඔවුහු ඇයට නිවාස බයිබල් පාඩමක් ඉදිරිපත් කළහ. කෙසේ වෙතත්, වයස්ගත පුද්ගලයෙක් ඒ වන විටත් තමාට බයිබල් පාඩම් දෙමින් සිටි බව පවසමින්, ඇය පසුබට වුණා ය. එම ප්‍රදේශයේ ජීවත් වූ තවත් කීපදෙනෙක් ද එය ම කියා සිටියහ. තමන්ගේ කුතුහලය ඇවිස්සී තිබූ නිසා, එම වයස්ගත පුද්ගලයා ගැන එම සහෝදරයෝ විමසූහ. ඔවුහු ඔහුගේ ලිපිනය ලබා ගෙන ඔහු ව බලන්නට ගියහ.
ෆෙලීපේ නම් මෙම මනුෂ්‍යයා පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොත මැඩ්රිඩ් හි සිටි විට ලබා ගෙන තිබූ බව සොයා ගැනීමෙන් ඔවුහු පුදුමයට පත් වූහ. එය හොඳින් කියවීමෙන් පසු, තමාගේ අසල් වැසියන් සමඟ ශුභාරංචිය බෙදා ගැනීම තමාගේ වගකීම බව ඔහු තේරුම් ගත්තේ ය. එනිසා ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්වීමට ඔහු එම පොත පාවිච්චි කර තිබුණි. ඔහු සමඟ පාඩමක් පැවැත්වීමට සහෝදරයෝ කටයුතු සූදානම් කළහ. ඔහු සමඟ බයිබලය පාඩම් කළ කාන්තාවක් ද පාඩමක් පිළිගත්තා ය. වයස අවුරුදු 80ක් ව සිටිය දී, තව ද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටිය ද, ෆෙලීපෙ සත්‍යයේ හොඳ ප්‍රගතියක් ලබමින් සිටියි.
අගති සහගත හැඟීම් පැරදවීම
ග්‍රාමීය ප්‍රදේශවල දී ඇතැම් අද්විතීය ගැටලු ඉදිරිපත් වේ. ආගමික චාරිත්‍ර හා මිථ්‍යා විශ්වාසයන් සාමාන්‍යයෙන් එවන් ප්‍රදේශවල ස්ථිර පිළිගැන්මට ලක් ව තිබෙන අතර ගම්බද ප්‍රදේශවල ජීවත් වන බොහෝ දෙනෙක් තුළ “නව ආගමක්” පිළිබඳ ව තදින් කාවැදුණු සැකයක් ඇත. ඇතැම් ගැමියන් සිය ආගම වෙනස් කළේ නම් තමන්ගේ අසල් වැසියන් සහ ඥාතීන් කෙසේ කල්පනා කරාවි ද යන්න ගැන සුවිශේෂිත ආකාරයකට සංවේදී ව සිටිත්. එහෙත් දේව වචනයේ බලයට එවන් ගැටලු යටපත් කරන්නටත් පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කරන්නටත් පුළුවන. වයඹදිග ස්පාඤ්ඤයේ ධීවර ගමක් වූ කාන්ගාස් ඩෙ මොරාසො හි සිදු වූයේ මෙයයි.
මෙම ගමේ වැසියෙක් වන රොබෙර්ටෝ, ස්වාධීන ව සිටින්නට මහත් ආශාවක් දැක් වූ නිසා අවුරුදු 14ක් වයස් ව සිටින විට, නාවිකයෙක් බවට පත් විය. වෙළෙඳ නැව්වල සේවය කරන්නෙක් හැටියට ඔහු ගත කළ ජීවිතය, මුහුදේ ගත කළ හුදකලා කාලය මකා දැමීමට බොහෝ මත්පැන් හා මත් ද්‍රව්‍ය පාවිච්චි කළ වෙනත් යෞවන නාවිකයන්ගේ ඇසුරට ඔහු ව පත් කළේ ය. වැඩි කාලයක් යන්නට මත්තෙන්, රොබෙර්ටෝ ද බොහෝ මත්පැන් පානය කරන්නෙක් හා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට පත් විය.
කලකට පසු රොබෙර්ටෝ හැරී ගෙදර පැමිණිය ද, තමාගේ නරක පුරුදු අත්හැරීමට ඔහුට නොහැකි වූ අතර එසේ අත්හැරීමට ද ඔහු කැමති නොවී ය. තමාගේ මත් ද්‍රව්‍ය ඇබ්බැහියට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු සොරෙක් බවට පත් වී, වෙනස් අවස්ථාවන් හයක දී සිරගත විය. ඔහුට අවුරුදු 18ක් වයස් ව සිටිය දී, ඔහු ශාන්තිකාරක හා වයින්වල සම්පූර්ණයෙන් ම වාගේ මාරාන්තික මිශ්‍රණයක් බිව්වේ ය. වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගත්තත්, ඔහුට තමාගේ අත් පා පාවිච්චි කළ නොහැකි විය. ඔහු රෝහලෙන් ඉවත් වූයේ අංශභාග රෝගියෙකු හැටියට ය. රෝද පුටුවකට සීමා වී සිටියත්, එය පවා ඔහුගේ මත් ද්‍රව්‍ය පුරුද්ද නැවැත්වූයේ නැත. ඉන් වසර තුනකට පසු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් ඔහු ව බලන්නට එනතෙක්—ඔහු ආගම සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන් තත්ත්වයක සිටි අතර, ජීවත්වීමට ඔහුට රුකුල් දුන් එක ම ආධාරකය වූයේ මත් ද්‍රව්‍ය පමණකි.
ඉෂ්ට වී ඇති බයිබල් අනාවැකි ගැන ඉගෙනීම, තමාගේ සෑම දෙයක් සැක කිරීමේ ස්වභාවය යටපත් කිරීමට රොබර්ටෝට උපකාරවත් විය. රාජ්‍යය ශාලාවේ ඔහු ලැබූ උණුසුම් පිළිගැන්ම සැබෑ ආගම ජනයාගේ ජීවිත වඩාත් අර්ථවත් කරන බවට තහවුරුවක් ඔහුට ලබා දුණි. මාස නවයක් ඇතුළත රොබෙර්ටෝ තමාගේ මත් ද්‍රව්‍ය ඇබ්බැහිය අත්හැරිය අතර බව්තීස්මය ලැබී ය. ඔහුට කායික වශයෙන් බරපතළ දුබලත්වයන්ට මුහුණ දෙන්නට සිදු ව තිබුණත්, ඔහු වසර අටකට පුරෝගාමියෙක් ලෙස සේවය කර ඇත. ඔහු පසුගිය වසර දෙක තුළ සභාවේ වැඩිමහල්ලෙක් හැටියට ද සේවය කර ඇත. රොබෙර්ටෝගේ ජීවිතයේ ඔහු කර ඇති වෙනස්කම් කලින් ඔහුගේ මිත්‍රයෙක් ව සිටි, ෆ්රාන්තිස්කෝගේ සිතට කොතරම් කාවැදුණේ ද කීවොත්, ඔහුත් සාක්ෂිකරුවෙක් වූ අතර දැන් උපස්ථායක සේවකයෙක් ව සිටියි. සුව කළ නොහැකි යයි කල්පනා කරන ලද මෙම ඇබ්බැහි වූ තැනැත්තා තුළ සිදු වූ අපූර්ව වෙනස්කම්, අපගේ සේවයේ ස්වභාවය වඩාත් අගය කිරීමට එම ප්‍රදේශයේ අයට හැකියාව ලබා දුණි. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි තමාගේ යෞවන පුත්‍රයා ව සාක්ෂිකරුවන්ට සුව කළ හැකි දැයි බැලීමට එක්තරා කාන්තාවක් ඔහු ව රාජ්‍යය ශාලාවට පවා ගෙනාවේ ය.
සත්‍යය සඳහා බයිබලයෙන් සෙවීම
සාමාන්‍යයෙන්, ගැමි ජනයා සත්‍යය කොතරම් අගය කරන්නේ ද කීවොත් එය බොහෝ විට ලෞකික වශයෙන් ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක් ව ලජ්ජාවට පත් කරයි. (1 කොරින්ති 1:26, 27) ලජ්ජාශීලී මැදි වියේ කාන්තාවක් වන, ආඩෙලීනා, මෙසේ අගය කළ එක් තැනැත්තියක් වන්නී ය. ඇය තමාගේ කතෝලික ඇදහිල්ල බරපතළ ලෙස සැලකූ කෙනෙක් ව සිටියා ය. සෑම උදෑසනක ම ඇය නොවරදවා ම යාච්ඤා කිරීම පිණිස දණින් වැටී පරමණ්ඩල හා නමෝ මරිය යාච්ඤා කීප වතාවක් කියන්නට පුරුදු ව සිටියා ය. සතියේ එක් එක් දවසේ ඇය තමාගේ යාච්ඤා වෙනස් “ශාන්තුවරයෙකුට” යොමු කළා ය. ඇය මෙසේ කළේ යාච්ඤා සමහරක්වත් අසනු ලබන බව සහතික වීමට ය.
ආඩෙලීනා බයිබලය ඉගෙන ගන්නට පටන් ගත් විට, ඇය එම ආගමික ජ්වලිතය ම අලුත සොයා ගත් ඇදහිල්ලට ද යොමු කළා ය. ඇයගේ ලජ්ජාව පවා ඇය ව පසුබෑමට ලක් නොකළත්, ඇය හා ඇයගේ ස්වාමිපුරුෂයා රාජ්‍යය ශාලාවට ගිය පළමුවන අවස්ථාවේ දී, ඊට ඇතුල්වීමට අවශ්‍ය ධෛර්යය ලබා ගැනීමට ඔවුන්ට විනාඩි දහයක් පමණ ගත විය. කෙසේ වෙතත්, ඇතුල්වීමෙන් පසු, ඇය මහත් ඕනෑකමින් සවන් දුන්නා ය. එක් අවස්ථාවක, ඇය ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනය ගැන ඉගෙන ගත්තා ය. මෙම විෂය ඇයගේ සිත් ගත් අතර ඇය නිවසට හැරී ගිය පසු, තමාගේ බයිබලයෙන් ඇයට ඒ පිළිබඳ ව වැඩි තොරතුරු කියවා බැලීමට උවමනා විය. එය එළිදරව් පොතේ කොතැනක හෝ සඳහන් ව ඇතැයි ඔවුන් කල්පනා කළත්, ඇය හෝ ඇයගේ ස්වාමිපුරුෂයා එම තොරතුරු සොයා ගත හැකි ස්ථානය නොදැන සිටියහ. එබැවින් ආඩෙලීනා එම රාත්‍රියේ එළිදරව් පොත කියවන්නට පටන් ගත්තා ය. ඊළඟ දිනයේ අලුයම් කාලයේ ඇය එහි 20වන පරිච්ඡේදය කරා පැමිණෙන තෙක් ඇය එය කියෙව්වා ය.
යාච්ඤාවෙහි තමාගේ භාර්යාව නියෝජනය කරන්නට පුරුෂයෙකුට යෝග්‍ය බව, තවත් අවස්ථාවක ආඩෙලීනා ඉගෙන ගත්තා ය. ඔහු යාච්ඤා කරන්නට කැමැත්තෙන් සිටියත්, යාච්ඤාවෙහි දී කුමක් පැවසිය යුතුදැයි ඇයගේ ස්වාමිපුරුෂයා දැන සිටියේ නැත. එම රාත්‍රියේ ම බයිබලයෙන් උපදෙස් සොයා ගැනීමට ආඩෙලීනා තීරණය කළා ය. යාච්ඤාව පිළිබඳ විස්තරාත්මක ලෙස සඳහන් කර ඇති මතෙව් 6වන පරිච්ඡේදය තමා සොයා ගත් බව පැවසීමට, උදෑසන දෙකට, ඇය තමාගේ ස්වාමිපුරුෂයා ව අවදි කළා ය. යේසුස් වහන්සේගේ උපදෙස් කියවීමෙන් පසු, ඇයගේ පුරුෂයා අවසානයේ ඔවුන් දෙදෙනා සඳහා යාච්ඤාවක් කළේ ය. දැන් ආඩෙලීනා හා ඇයගේ ස්වාමිපුරුෂයා යන දෙදෙනා ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ය.
කදිම අස්වැන්නක්
යෙහෝවඃ වහන්සේගේ ජ්වලිත සේවකයන් විසින් වසර 25ක් පමණ ගම්බද ප්‍රදේශයේ සාක්ෂි දැරීමෙන් පසු, ස්පාඤ්ඤයේ සියලු කොටස් දැන් ශුභාරංචියට සවන් දී ඇත. පළමුවන සියවසේ සුළු ආසියාවේ සැබවින් ම සිදු වූ ආකාරයට, ‘යෙහෝවඃ වහන්සේගේ වචනය එම රට මුළුල්ලෙහි පතළ ව ගියේ ය.’ (ක්‍රියා 13:49) එබැවින්, දහස් සංඛ්‍යාත ගම්බද වැසියෝ හිතකර ලෙස ප්‍රතිචාරය දක්වා ඇත්තාහ.
ස්පාඤ්ඤයේ මෙන් ම වෙනත් තැන්වල, ග්‍රාමීය පෙදෙස්වල නොපිරිහෙළා දේශනා කිරීම සඳහා ඉවසීම හා ආත්ම-පරිත්‍යාගය අවශ්‍ය කරවයි. එහෙත් ‘සියලු ආකාර මිනිසුන් ගැලවීම’ දෙවියන් වහන්සේගේ කැමැත්ත වන බැවින්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අගය දක්වන අය ව සෙවීමට සතුටු වෙති. (1 තිමෝති 2:4) තව ද ඉහත අත්දැකීම් නිරූපනය කරන ආකාරයට, ස්පාඤ්ඤයේ ගමින් ගමට දේශනා කිරීමට යොදන ලද වෑයමට යෙහෝවඃ වහන්සේ අතිශයින් විපාක දී ඇත.
[පාදසටහන්වල]
a ගලීලයේ “නුවරවල් හා ගම්” 204ක එකතුවක් තිබූ බව ජොසේෆස් ගණනය කරන අතර එම ප්‍රදේශයේ “ගම් ඉතා විශාල සංඛ්‍යාවක්” තිබුණේ යයි ඔහු විස්තර කරයි.
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ප්‍රංශය
පෘතුගාලය
ස්පාඤ්ඤය
බැලියැරික් දූපත්
කැනරි දූපත්
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
විලාක්, ලෙරීඩා
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ප්යුබ්ලා ඩි සැනබ්රිආ, සාමෝරා
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කැසාරොබොනෙල්ලා, මැලාගා
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සිනුයස්, හුඑස්කා
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ලෙකීතියෝ, විස්කාය