“මොළොක් ගුණැති සියල්ලෙනි, යෙහෝවඃ වහන්සේ ව සොයන්න”
“යෙහෝවඃ වහන්සේගේ විනිශ්චයමය තීරණය පවත්වන පොළොවේ මොළොක් ගුණැති සියල්ලෙනි, උන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න, යෙහෝවඃ වහන්සේගේ උදහස් දවසේ දී සමහරවිට ඔබ සඟවනු ලබනවා ඇත.”—ශෙපනියා 2:3, NW.
අනාගතවක්තෘ ශෙපනියා එම වදනින් “පොළොවේ මොළොක් ගුණැති සියල්ලන්ට” ආමන්ත්‍රණය කළ අතර “යෙහෝවඃ වහන්සේගේ උදහස් දවසේ දී” ආරක්ෂා කරනු ලබන පිණිස ‘මොළොක් ගුණය’ සොයන්නට ඔහු ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ ය. ගැලවීම සඳහා මොළොක් ගුණය පූර්ව අවශ්‍යතාවයක් බව ඉන් නොඅනුමාන ව පැහැදිලි වේ. එහෙත් ඒ මන්ද?
මොළොක් ගුණය සෙවිය යුත්තේ මන්ද?
මොළොක් ගුණය වනාහි අහංකාරයෙන් හෝ උද්ධච්චකමෙන් තොර ව මෘදු චරිතයකින් යුක්ත වීමේ ගුණයයි. එය යටහත් පහත්කම හා මෘදුකම වැනි, වෙනත් ගුණාංගවලට සමීප ව සම්බන්ධ ව තිබේ. එය එසේ වන බැවින්, මොළොක් අය ඉගැන්විය හැකි තත්ත්වයක සිටින අතර, හික්මවීමක් ලබන මොහොතේ එය ශෝකයක් මෙන් දැනිය හැකි වුවත්, දෙවියන් වහන්සේගේ හස්තයෙන් හික්මවීම පිළිගන්නට කැමැත්තෙන් සිටින්නාහ.—ගීතාවලිය 25:9; හෙබ්‍රෙව් 12:4-11.
මොළොක්කම නමැති ගුණාංගය තනි ව ගත් කල, යමෙක් ලබා ඇති අධ්‍යාපනයට හෝ ජීවිත තත්ත්වයට එය එතරම් බලපෑමක් නොකරයි. කෙසේ වෙතත්, උසස් අධ්‍යාපනයක් ලබා ඇති නැතහොත් ලෞකික ආකාරයකට සාර්ථක වී ඇති අය, සෑම දෙයක් සම්බන්ධයෙන් ම, නමස්කාරය පිළිබඳ කාරණාවල දී පවා තීරණ ගැනීමට තමන් සුදුසුකම් ලබා සිටින බව කල්පනා කිරීමට නැඹුරු වෙති. මෙය තමන්ට යමක් ඉගැන්වීමට වෙනත් පුද්ගලයෙකුට ඉඩ හැරීමෙන් නැතහොත් උපදෙස් පිළිගෙන තමන්ගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමෙන් ඔවුන් ව වළක්වාලිය හැක. ද්‍රව්‍යමය වශයෙන් ධනවත් ව සිටින තව අය තමන්ගේ සුරක්ෂිත භාවය සිය ද්‍රව්‍යමය සම්පත් මත රැඳී ඇති බවට වූ වැරදි සහගත කල්පනාවට ඇද වැටෙන්නට පුළුවන. එබැවින්, දේව වචනය වන බයිබලයේ ඇති, ආත්මික සම්පත් ලබා ගැනීම සඳහා අවශ්‍යතාවයක් ඔවුන්ට නොදැනේ.—මතෙව් 4:4; 5:3, NW; 1 තිමෝති 6:17.
යේසුස් වහන්සේගේ දවසේ විසූ ලියන්නන්, ඵරිසිවරුන් හා නායක පූජකයන් සලකා බලන්න. එක්තරා අවස්ථාවක යේසුස් වහන්සේ ව අත්අඩංගුවට ගැනීමට ඔවුන් යැවූ නිලධාරීන් උන් වහන්සේ නොමැති ව ආපසු පැමිණි විට, ඵරිසිවරු කියා සිටියේ: “නුඹලාත් මුළාවෙලාද? මුලාදෑනීන්ගෙන්වත් ඵරිසිවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද? නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාප ලද්දෝය” යනුවෙනි. (යොහන් 7:45-49) වෙනත් වචනවලින් කියතොත්, ඵරිසිවරුන් කල්පනා කළේ, අඥාන හා නූගත් අය පමණක් යේසුස් වහන්සේ ව විශ්වාස කරන්නට තරම් බොළඳ වනු ඇති බව ය.
එසේ වුවත්, ඵරිසිවරුන්ගෙන් සමහරෙක් සත්‍යය වෙතට ආකර්ෂණය වූ අතර ඔවුහු යේසුස් වහන්සේ ව හා ක්‍රිස්තියානින් ව ආරක්ෂා කිරීමට පවා කටයුතු කළහ. මොවුන් අතර නිකොදේමුස් හා ගමාලියෙල් සිටියහ. (යොහන් 7:50-52; ක්‍රියා 5:34-40) යේසුස් වහන්සේගේ මරණයෙන් පසු, “පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ලට කීකරුවූවෝය.” (ක්‍රියා 6:7) නිසැක ව ම වඩාත් කැපී පෙනෙන ආදර්ශය වූයේ ප්‍රේරිත පාවුල් ය. ඔහු ගමාලියෙල්ගේ පාමුල අධ්‍යාපනය ලැබූ අතර යුදෙව් ධර්මයට පක්ෂ ව කථා කිරීම පිළිබඳ ව උසස් නිපුණත්වයක් හා ගෞරවයක් ලද තැනැත්තෙක් බවට පත් විය. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් ඔහු ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ඇරයුමට යටහත් පහත් ව ප්‍රතිචාරය දක්වා උන් වහන්සේගේ ඡ්වලිත අනුගාමිකයෙක් බවට පත් වුණේ ය.—ක්‍රියා 22:3, නව අනුවාදය; ක්‍රියා 26:4, 5; ගලාති 1:14-24; 1 තිමෝති 1:12-16.
මේ සියල්ලකින් ම පැහැදිලි කරන්නේ, කෙනෙකුගේ පසුතලය හෝ බයිබලයෙහි පණිවුඩය ගැන දැනට කෙනෙකුට හැඟෙන ආකාරය කෙසේ වුවත්, ශෙපනියාගේ වදන් තවදුරටත් අදාළ වන බව ය. යමෙකුට දෙවියන් වහන්සේගේ අනුමැතිය ලබා උන් වහන්සේගේ වචනයෙන් මඟ පෙන්වීම ලබන්නට වුවමනා නම්, මොළොක්කම අනිවාර්ය ය.
අද දින ‘මොළොක් ගුණය සොයන්නෝ’
ලොව වටා මිලියන සංඛ්‍යාත අය රාජ්‍යයේ ශුභාරංචියට ප්‍රතිචාරය දක්වමින් සිටිති. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ එවන් අයගේ නිවෙස්වල සති පතා බයිබල් පාඩම් මිලියන හතරකට වඩා වැඩි සංඛ්‍යාවක් පවත්වමින් සිටින්නාහ. මේ අය නොයෙක් හා විවිධ පසුතලයන්ගෙන් මෙන් ම, වෙනස් ආර්ථික හා සමාජයීය තත්ත්වයන්ගෙන් පැමිණෙති. එහෙත්, මේ අයට ඇති පොදු ලක්ෂණය වනුයේ, යමෙක් තමාගේ ම නිවසේ දී නැතහොත් වෙනත් යම් තැනක දී ඉදිරිපත් කළ බයිබල් පණිවුඩය පිළිගැනීමට තරම් යටහත් පහත්භාවයක් ඔවුන් තුළ තිබීම ය. මොවුන්ගෙන් වැඩි දෙනෙක් කදිම ප්‍රගතියක් ලබමින් සිටින්නේ, ඔවුන් තමන්ගේ මග අහුරන බාධක මැඩපැවැත්වීමට වෑයම් කිරීමට කැමැත්තෙන් සිටින නිසා ය. එසේ ය, ඔවුන් අද දවසේ “පොළොවේ මොළොක් ගුණැති” අය අතර සිටිති.
උදාහරණයක් හැටියට මැක්සිකෝවේ, මරීයා ගන්න. ඇය විශ්වවිද්‍යාලයේ නීතිය හැදෑරූ අතර තමා උරුම කරගෙන තිබූ වස්තුව නිසා මූල්‍යමය වශයෙන් ද සුරැකි ව සිටියා ය. මේනිසා, ඇය ඉතා නිදහස් සංකල්ප සමහරක් ගොඩනගා ගත් අතර ඇය ම සඳහන් කළ ආකාරයට, මෙය ඇය ව “කැරලිකාර, පරුෂ, උඩඟු හා අදේවවාදී” තැනැත්තියක් බවට වෙනස් කළා ය. “සියල්ල මුදලෙන් විසඳා ගත හැකි යයි ද දෙවියන් වහන්සේ වැදගත් නොවන්නේ යයි ද මා කල්පනා කරන්නට පටන් ගත්තා. ඇත්ත වශයෙන් ම, උන් වහන්සේ නොපවතින බව මට හැඟුනා” යනුවෙන් මරීයා සිහිපත් කරයි. “මට දැනුනේ පල්ලිය හාස්‍ය යමක් මෙන් ම නිකම් සමාජ අවශ්‍යතාවයක් හැටියට” යයි ඇය තවදුරටත් පැවසුවා ය.
අනතුරුව, ඇයගේ ඥාති සහෝදරයා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්වීමෙන් පසු ඔහු තුළ ඇති වූ වෙනස්කම් මරීයාගේ අවධානයට යොමු විය. “ඔහු ඉතා දරුණු කෙනෙක් ව සිටියත්, දැන් ඔහු ඉතා සාමකාමි හා අවංක කෙනෙක්” වූ බව මරීයා පැහැදිලි කළා ය. “ඔහු දේශනා කරන්නෙක් බවත්, බයිබලය කියවන බවත්, එම හේතුව නිසා ම ඔහු මත්පැන් පානය කළේවත්, තවදුරටත් ස්ත්‍රීන් පස්සේ ගියේ නැති බවත් ඥාතීන් කියා සිටියා. එබැවින් පැමිණ මා හට බයිබලයෙන් කියවන්නැයි මා ඔහුගෙන් ඉල්ලා සිටියා. මා එසේ කළේ, මෙයාකාරයෙන් මට මහත්සේ අවශ්‍ය ව තිබූ සාමය හා ශාන්තභාවය මට සොයා ගත හැකි යයි මා කල්පනා කළ නිසයි.” මෙහි ප්‍රතිඵලය වූයේ මරීයා සාක්ෂිකාර යුවළක් සමඟ බයිබල් පාඩමක් කිරීමට පිළිගැනීම ය.
ඇය විසින් පරාජය කළ යුතු බොහෝ දේවල් තිබූ අතර, තමාගේ ම ස්වාමිපුරුෂයාට යටහත් ව සිටිය යුතු බවට වූ, මූලිකත්වය පිළිබඳ බයිබල් ප්‍රතිපත්තිය පිළිගැනීම ද ඇයට ඉතා අපහසු විය. එහෙත් ඇය තමාගේ ජීවිතයේ හා ආකල්පයේ ප්‍රබල වෙනස්කම් සිදු කළා ය. “මා හිතන හැටියට, සහෝදරයන් මගේ නිවසට ඇතුල් වී, ඔවුන් සමඟ යෙහෝවඃ වහන්සේගේ උපකාරය රැගෙන පැමිණි මොහොතේ පටන්, සන්තෝෂය, ශාන්තභාවය හා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය මගේ නිවසේ පැවත ඇත” යනුවෙන් ඇය අවංක ව පිළිගත්තා ය. අද දින, මරීයා යෙහෝවඃ වහන්සේගේ කැප වූ, බව්තීස්ම ලත් සාක්ෂිකාරියක වන්නී ය.
සැබෑ නමස්කාරය සොයා යද්දී, මොළොක් ගුණය තිබීම හෝ නොතිබීම, වැදගත් කාර්ය භාරයක් ඉටු කරන තවත් ක්ෂේත්රයක් ඇත. බොහෝ විට, පවුලක භාර්යාවක් සත්‍යය පිළිගෙන දෙවියන් වහන්සේට සේවය කිරීමට වුමනා වුව ද, ස්වාමිපුරුෂයා ඊට පසුබට වෙයි. තමාගේ භාර්යාව දැන් යටත් විය යුතු වෙනත් යමෙක්—එනම් යෙහෝවඃ දෙවියන් වහන්සේ—සිටින බවට වූ සංකල්පය පිළිගැනීම ඇතැම් ස්වාමිපුරුෂයන්ට සමහර විට අසීරු දෙයකි. (1 කොරින්ති 11:3) මැක්සිකෝවේ, චිහුවාහුවා නගරයේ එක් කාන්තාවක්, බයිබල් පාඩමක් ඉල්ලා සිටි අතර කාලයාගේ ඇවෑමෙන් ඇයත්, ඇගේ දරුවන් හත්දෙනාත් සත්‍යයට පැමිණියහ. මුල දී ඇගේ ස්වාමිපුරුෂයා ඊට විරුද්ධ ව සිටියේ ය. ඒ මන්ද? මන්දයත් බයිබල් ප්‍රකාශන ඉදිරිපත් කරමින් තමාගේ පවුල ගෙයින් ගෙට දේශනාවේ සහභාගි වීමට ඔහු අකැමැති වූ නිසා ය. මෙය තමාගේ ගෞරවයට මදිකමක් යයි ඔහුට හැඟුණු බව පෙනෙන්ට තිබිණි. කෙසේ වෙතත්, ඔහුගේ පවුල, දෙවියන් වහන්සේට සේවය කිරීමට තමන් ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් ස්ථීර ව සිටියේ ය. කාලයාගේ ඇවෑමෙන්, දෙවියන් වහන්සේගේ විධිවිධානය පිළිගැනීමේ වටිනාකම එම ස්වාමිපුරුෂයා දකින්නට පටන් ගත්තේ ය. එහෙත් ඔහු තමා ව යෙහෝවඃ වහන්සේට කැප කරන්නට පෙර වසර 15ක් ගත වුණි.
මැක්සිකෝව පුරා, තවමත් හුදකලාව වාසය කරන ප්‍රජාවන් දැකිය හැකි අතර, එහි වාසය කරන්නෝ තමන්ගේ ස්වදේශී ඉන්දීය භාෂාවන් හා චාරිත්‍ර පවත්වමින් සිටිති. බයිබලයේ පණිවුඩය මේ අය වෙතට යමින් පවතින අතර ඔවුන් සත්‍යය ඉගෙන ගනිත් ම, සමහරෙක් කියවන්නට හා ලියන්නට ද ඉගෙන ගන්නා බැවින්, එය ඔවුන්ගේ සංස්කෘතික මට්ටම වැඩි වර්ධනය කිරීමට ද උපකාරී වේ. කෙසේ වෙතත්, අඩු අධ්‍යාපනයක් හෝ ද්‍රව්‍යමය සම්පත් ස්වල්පයක් තිබීම, ඔවුන් වඩාත් පහසුවෙන් පිළිගන්නට යන බව අනිවාර්යයෙන් ම අදහස් නොකරයි. ජාතික උඩඟුකම මෙන් ම පාරම්පරික චාරිත්‍රවලට දැඩි ඇල්ම ඇතැම් අවස්ථාවල ඇතැමෙකුට සත්‍යය පිළිගැනීම දුෂ්කර කරවයි. සමහරක් ඉන්දියානු ගම්මානවල සත්‍යය පිළිගන්නා අයට වෙනත් ගම්වාසීන් විසින් බොහෝ විට හිරිහැර කරීමට හේතුව ද මෙය පැහැදිලි කරයි. එබැවින් මොළොක් ගුණය ආකාර බොහොමයක් ගනී.
මොළොක් ගුණයෙන් ප්‍රතිචාරය දක්වන්න
පෞද්ගලික ව ඔබ ගැන කුමක් කිව හැකි ද? ඔබ දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යයට ප්‍රතිචාරය දක්වනවා ද? නොඑසේ නම්, ඇතැම් බයිබල් සත්‍යයන් පිළිගැනීම ඔබට දුෂ්කර ද? ඔබට බාධා කරමින් තිබෙන්නේ කුමක් දැයි බැලීමට ඔබ ව ම පරීක්ෂා කිරීමට ඇතැම් විට ඔබට ඕනෑ වනු ඇත. සත්‍යයට ඇදී යන වැඩි පිරිසක් යටහත් පහත්භාවයකින් යුක්ත වීම ගැන ඔබ අවුල් සහගත ව සිටින්නෙහි ද? ඔබගේ සිතිවිලි සමඟ පුද්ගලික උඩඟුකම මුසුවී තිබෙනවා විය හැකි ද? ප්‍රේරිත පාවුල්ගේ මතු සඳහන් වදන් මෙනෙහි කිරීම වටී: “දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලඡ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලඡ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක; ඇත්තාවූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල්ද සුළුකොට සිතනු ලබන දේවල්ද දෙවියන්වහන්සේ තෝරාගත්සේක. එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය.”—1 කොරින්ති 1:27-29.
දුර්වල මැටි භාජනයක තිබෙන නිධානයක් ඔබ සොයා ගතහොත්, එය එවන් භාජනයක තිබෙන නිසා ඔබ එය ප්‍රතික්ෂේප කරන්නට යනවා ද? ඇත්ත වශයෙන් ම නැත! එහෙත්, ප්‍රේරිත පාවුල් පැහැදිලි කරන ආකාරයට, ස්වකීය ජීවිතය ගලවන සත්‍යයේ වචනය ඉදිරිපත් කරන්නට දෙවියන් වහන්සේ තෝරා ගන්නා මාර්ගය එයයි: “ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.” (2 කොරින්ති 4:7) එම නිධානයේ සැබෑ අගය දැකීමට අපට හැකියාව ලබා දෙන්නට යන්නේ, එය අප වෙතට පමුණුවන්නා වූ හුදෙක් “මැටි භාජන” හෝ මනුෂ්‍ය නියොජිතයන් නොව මොළොක් ගුණය හා යටහත් පහත්කමයි. එසේ කිරීමෙන්, “යෙහෝවඃ වහන්සේගේ උදහස් දවසේ දී සඟවනු” ලැබීමටත්, “පොළොව උරුමකර” ගන්නා මොළොක් අය අතර සිටින්නටත් ඇති හැකියාව අප වැඩි කර ගන්නවා ඇත.—ශෙපනියා 2:3; මතෙව් 5:5.