යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මිථ්‍යා ලබ්ධියක්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බේබද්දෙක්, කෑදරයෙක්, සබත කඩ කරන්නෙක්, බොරු සාක්ෂිකරුවෙක්, දෙවියන්වහන්සේට අපහාස කරන්නෙක්, මෙන්ම සාතන්ගේ දූතයෙක්ව සිටියේ යයි චෝදනා ලැබූ සේක. උන්වහන්සේ විප්ලවකාරී වූ බවටද චෝදනා ලැබූ සේක.—මතෙව් 9:34; 11:19; 12:24; 26:65; යොහන් 8:13; 9:16; 19:12.
යේසුස්වහන්සේගේ මරණයෙන් හා නැවත නැගිටීමෙන් පසු, උන්වහන්සේගේ ගෝලයෝද සමානාකාරයෙන් දැඩි චෝදනාවල ඉලක්කය බවට පත් වූහ. ‘මේ අය ලෝකය පෙරළා ඇත’ යනුවෙන් මොර ගැසූ ජන පිරිසක් විසින් පළමු-ශතවර්ෂයේ එක් ක්‍රිස්තියානි කණ්ඩායමක් නුවර මුලාදෑනීන් වෙතට ඇදගන යනු ලැබූහ. (ක්‍රියා 17:6) තවත් අවස්ථාවක මුලාදෑනීන් වෙතට ගෙනයන ලද ප්‍රේරිත පාවුල් හා ඔහුගේ සහායක සීලස් චෝදනා ලැබුවේ පිලිප්පි නගරය අතිශයින් කලඹන බවටයි.—ක්‍රියා 16:20.
පසුව, පාවුල් “දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද,” “දේවමාළිගාව අපවිත්‍ර කරන්ට” මාන බැලුවේ යයිද චෝදනා ලැබීය. (ක්‍රියා 24:5, 6) “මේ ලබ්ධිය [නිකාය, NW] ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමුව” යයි රෝමයේ සිටි යුදෙව්වරුන්ගේ ප්‍රධානින් පිළිගත් විට, ඔවුහු යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ගේ තත්ත්වය නිවැරදිව විස්තර කළහ.—ක්‍රියා 28:22.
ප්රත්යක්ෂ ලෙසින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් පිහිටුවන ලද මෙම අලුත් කණ්ඩායම ඇතැමෙක් විසින් සලකනු ලැබුවේ, සාමාන්‍ය සමාජ හැසිරීමේ හැටියට ඒ දවස්වල පිළිගත් තත්ත්වය සමඟ ගැටුණු විප්ලවවාදී දෘෂ්ටීන් හා පිළිවෙත් තිබූ ආගමික කණ්ඩායමක් හැටියටයි. නිසැකවම, අද දවසේ බොහෝ දෙනෙක්ද ක්‍රිස්තියානින්ව සලකන්නට ඇත්තේ විනාශකාරී ලබ්ධියක් හැටියටය. චෝදනා කළ අය බොහෝවිට සමාජයේ ප්රමුඛ හා ගෞරවය ලද සාමාජිකයන්ව සිටි අතර, මෙය ඔප්පු නොකළ චෝදනා වඩාත් පහසුවෙන් විශ්වාස කිරීමට දායක වූ බව පෙනෙන්නට ඇත. බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව නගන ලද චෝදනා විශ්වාස කළහ. එහෙත්, ඔබ ඇතැම්විට දන්නා පරිදි, මෙම චෝදනා සැමෙකක්ම බොරු ඒවා විය! ජනයා මේ දේවල් පැවසූ නිසාම, ඒවා සැබෑවක් බවට පත් කළේ නැත.
අද දවස ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සාමාන්‍ය සමාජ හැසිරීම හැටියට පිළිගත් දෑ සමඟ ගැටෙන විප්ලවවාදී දෘෂ්ටීන් හා පිළිවෙත් ඇති ආගමික කණ්ඩායමක් හැටියට හැඳින්වීම හරිද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලබ්ධියක්ද?
සාක්ෂි පෙන්වන දේ
රුසියාවේ, සේන්ට් පීටර්ස්බර්ග් නගරයේ රජයේ නිලධාරියෙක් මෙවන් පැහැදිලි කිරීමක් කළේය: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන අපට කරුණු ඉදිරිපත් කර තිබුණේ, රහසේ කටයුතු කරමින් දරුවන්ව ඝාතනය කරන හා තමන්ව මරා ගන්නා රහස්‍ය නිකායක් හැටියටයි.” කෙසේවෙතත්, රුසියාවේ ජනයා මෑතක සිට සාක්ෂිකරුවන්ගේ සැබෑ ස්වභාවය වඩා හොඳින් හඳුනාගෙන ඇත්තාහ. ජාත්‍යන්තර සමුළුවක් හා සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කටයුතු කිරීමෙන් පසු, එම නිලධාරියාම මෙසේ නිරීක්ෂණය කළේය: “දැන් මා දකින්නේ සාමාන්‍ය, සිනා මුසු මුහුණෙන් යුත් ජන පිරිසකි. ඔවුහු මා දන්නා බොහෝ දෙනෙකුටත් වඩා හොඳ තත්ත්වයක පවා සිටින්නාහ. ඔවුහු සාමකාමි හා සන්සුන්ව සිටින අතර එකිනෙකාට අතිශයින් ප්‍රේම කරති.” “ජනයා ඔවුන් ගැන මෙතරම් බොරු කියන්නේ මන්දැයි මට ඇත්තටම තේරුම් ගන්නට බැහැ” යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වත් පිළිවෙත්වලින් යුත් රැස්වීම් නොපවත්වන අතර ඔවුන්ගේ නමස්කාරයද රහසිගත තත්ත්වයක නොපවතී. සාක්ෂිකරුවෙක් නොවන ලේඛිකාවක වන ජූලියා මිචෙල් කොර්බෙට් මෙසේ පවසන්නීය: “ඔවුන් සාමාන්‍යයෙන් සතියකට එක්වතාවකට වඩා වැඩි වාර ගණනාවක් රාජ්‍යය ශාලාවේ රැස් වන විට, (ඔවුන් රැස්වීම් පවත්වන ස්ථාන පල්ලි හැටියට හඳුන්වනු නොලැබේ) ඔවුන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කරනු ලබන්නේ බයිබලය ඉගෙන ගැනීමටත් එය සාකච්ඡා කිරීමටත්ය.” ඔවුන් රැස්වන ස්ථාන දැන්වීම් පුවරුවකින් පැහැදිලිව සලකුණු කර ඇත. රැස්වීම් විවෘතව පවත්වනු ලබන අතර පොදු ජනයාට පැමිණෙන ලෙසට ආරාධනා කෙරේ. දැනුම් දීමකින් තොරව පැමිණෙන ආගන්තුකයන්ව මහත් සාදරයෙන් පිළිගනු ලැබේ.
“සාක්ෂිකරුවෝ අවංක, ආචාර සම්පන්න හා කඩිසරව සිටීම වෙනුවෙන් කීර්තියක් දිනා ඇත්තාහ” යයි කොර්බෙට්, රිලිජන් ඉන් අමෙරිකා නම් සිය පොතේ තවදුරටත් පවසන්නීය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳ අද්භූත හෝ අරුම පුදුම කිසිත් නැති බව සාක්ෂිකරුවන් නොවන බොහෝ දෙනෙක් එකහෙළා පිළිගනිති. ඔවුන්ගේ හැසිරීම සාමාන්‍ය සමාජ චර්යාව හැටියට පිළිගත් දෙය සමඟ ගැටෙන්නේ නැත. “පෞද්ගලික හැසිරීම සම්බන්ධව උසස් සදාචාර නීති සංග්‍රහයක් පැවැත්වීම” සාක්ෂිකරුවන් “අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්තේ” යයි ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසයි.
සික්ස්ටි මිනිට්ස් (විනාඩි 60ක්) නම් රූපවාහිනි ප්රවෘත්ති වැඩසටහනකදී සාක්ෂිකරුවන් පිළිබඳ ඉදිරිපත් කරන ලද අගතිගාමි වාර්තාවකට ප්‍රතිචාරය දක්වමින්, එක්සත් ජනපදයේ රූපවාහිනි මධ්‍යස්ථානයක ප්රවෘත්ති හා සමාජ ව්‍යාපෘති පිළිබඳ අධ්‍යක්ෂකවරයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ලිපියක් යැව්වේය. එහි ඔහු මෙසේ පැවසීය: “ඔබගේ ඇදහිල්ලේ සිටින අය ජීවත් වන ආකාරයට වැඩි දෙනෙක් ජීවත් වූයේ නම්, මේ රට එය පවතින තත්ත්වයේ නොතිබෙනු ඇත. මම, ඔබගේ සංවිධානය ප්‍රේමය මෙන්ම මැවුම්කරුවාණන් කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් මත පිහිටා ඇති බව දන්නා, එක් ප්රවෘත්තිකරුවෙක් වන්නෙමි. ප්රවෘත්ති වාර්තාකරුවන් සියල්ලන්ම එයාකාර අගතිගාමි හැඟීමක් නොදරන බව ඔබ විසින් දැනගන්නවාට මම කැමැත්තෙමි.”
සුප්‍රකට ආගමකි
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අන්තවාදී දෘෂ්ටීන් දරන කුඩා ආගමික කණ්ඩායමක් බව පැවසීම සාධාරණද? එක අතකට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඇතැම් ආගම් සමඟ සසඳන කල සංඛ්‍යාවෙන් අඩු බව සැබෑවකි. කෙසේවෙතත්, “ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය” යනුවෙන් යේසුස්වහන්සේ පැවසූ දෙය සිහිපත් කරන්න.—මතෙව් 7:13, 14.
කෙසේනමුත්, සාක්ෂිකරුවෝ කුඩා අන්තවාදී කණ්ඩායමකට වඩා බෙහෙවින් වැඩි යමක් වන්නාහ. වර්ෂ 1993 වසන්තයේ මිලියන 11කට වැඩි ජන පිරිසක්, සාක්ෂිකරුවන් විසින් පවත්වන ලද ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණියෝය. එහෙත් ඔවුන්ගේ සංඛ්‍යාවට වඩා වැදගත් වන්නේ, ඔවුන්ට ලෝක ව්‍යාප්ත ප්‍රශංසාව ගෙනදී තිබෙන, ඔවුන්ගේ සදාචාර ස්වරූපය හා ආදර්ශවත් හැසිරීමයි. ප්‍රකට, අව්‍යාජ ආගමක් හැටියට ඔවුන්ව නිල වශයෙන් පිළිගෙන ඇති රටවල, නිසැකවම, මෙය ඊට දායක වූ සාධකයක් වී ඇත.
මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය කොමිසම විසින් දෙන ලද තීන්දුව මෙහිලා කැපී පෙනෙන්නකි. සාක්ෂිකරුවන් සිතිවිලිවල, හෘදය සාක්ෂියේ හා ආගමික නිදහස භුක්ති විඳිය යුතු බවත්, ඔවුන්ට තමන්ගේ ඇදහිල්ල ගැන කථා කිරීමට මෙන්ම එය අන්‍යයන්ට ඉගැන්වීමටද අයිතියක් ඇති බවත් එය ප්‍රකාශ කළේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සාමාජිකයන් බඳවා ගැනීමට කපටි හා මානව ගති සිරිත්වලට පටහැනි උපක්‍රම භාවිතා කරන බවට ප්රකටව සිටින්නේ නම් නැතහොත් සිය අනුගාමිකයන්ගේ මනස් පාලනය කිරීමට ප්‍රයෝගයෙන් බලපෑම් කිරීමේ ක්‍රම යොදාගෙන තිබුණේ නම් තත්ත්වය මෙසේ නොවනු ඇත.
ලොව වටා මහත් ජනසමූහයක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හොඳින් හඳුනති. සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගන්නා නැතහොත් යම් කලෙක ඉගෙනගෙන ඇති සාක්ෂිකරුවන් නොවන මිලියන සංඛ්‍යාවෙන්, අප අසන්නේ, ඔබව බුද්ධිශෝධනය කිරීමට යම් ප්රයත්නයක් ගනු ලැබුවේද? සාක්ෂිකරුවෝ මනස-පාලනය කරන උපක්‍රම ඔබ සම්බන්ධයෙන් ක්‍රියාවට නැගුවෝද? නිසැකවම ඔබේ අවංක පිළිතුර වනු ඇත්තේ “නැත” යන්නය. මෙවන් ක්‍රම යොදා ගනු ලැබුවේ නම්, ඒවාට ගොදුරු වූ අතිවිශාල සංඛ්‍යාවක් සිටිනු ඇති අතර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට අනුග්‍රහ දක්වන ඕනැම තර්කයකට ඔවුන් එරෙහිව සිටිනවා නිසැකය.
“මානව දයාවෙහි නියැලී සිටිත්”
ලබ්ධි සාමාජිකයෝ බොහෝවිට පවුලෙන්, මිත්‍රයන්ගෙන් හා සමාජයෙන් පවා පොදුවේ තමන්ව වෙන් කර ගනිත්. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් තත්ත්වය එයද? “මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට අයත් නොවෙමි” යයි චෙක් සමූහාණ්ඩුවේ ප්රවෘත්ති වාර්තාකරුවෙක් ලිව්වේය. එහෙත් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය: “ඔවුන්ට [ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට] අතිමහත් සදාචාර ශක්තියක් ඇති බව පැහැදිලිය. . . . ඔවුහු රජයේ බලධාරින් පිළිගන්නාමුත්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට පමණක් මනුෂ්‍ය ගැටලු සියල්ල විසඳිය හැකි බව විශ්වාස කරති. එහෙත් සැලකිලිමත්වන්න—ඔවුහු උන්මත්තකයන් නොවේ. ඔවුහු මානව දයාවෙහි නියැලී සිටින ජන පිරිසකි.”
තවද ඔවුන් ඥාතීන් ගෙන් මෙන්ම වෙනත් අයගෙන් තමන්ව වෙන්කර ගනිමින්, ප්‍රජාවන් වශයෙන් ජීවත් වන්නේද නැත. තමන්ගේ පවුල්වලට ප්‍රේමය හා සැලකිල්ල දැක්වීම ශුද්ධ ලියවිල්ල මත පදනම් තමන්ගේ වගකීම වන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පිළිගනිති. ඔවුන් ජීවත් වන්නේ හා වැඩකටයුතු කරන්නේ සියලුම ජාතීන් හා ආගම්වලට අයත් ජනයා සමඟය. විපත් සිදුවන විට, ඔවුහු සහනාධාර මෙන්ම වෙනත් මානව හිතවාදී සහාය සමඟින් ප්‍රතිචාරය දැක්වීමට යුහුසුලු වෙති.
වඩාත් වැදගත් ලෙසින්, ඔවුහු අසහාය අධ්‍යාපනික වැඩසටහනක නියැලී සිටින්නාහ. තමන්ගේ ප්‍රජාවේ වසන සෑම පුද්ගලයෙක්ම පෞද්ගලිකව බැහැ දැකීමට සංවිධානය කරන ලද වැඩ පිළිවෙළක් ඇත්තේ ආගම් කීයකටද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් රටවල් 200කට වැඩි ප්‍රමාණයක, භාෂා 200කට වැඩි ගණනකින් මෙය කරමින් සිටිත්! පැහැදිලිවම, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ “මානව දයාවෙහි නියැලී සිටිත්.”
බයිබලයට දැඩි සේ ඇලීසිටීම
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් පල්ලිවලින් සපයනු ලබන ඉගැන්වීම්වලට වඩා වෙනස් බව පිළිගත යුත්තකි. යෙහෝවඃවහන්සේ සර්වබලධාරී දෙවියන්වහන්සේ බවත්, යේසුස්වහන්සේ ත්‍රිත්ව දේවත්වයක කොටසක් නොව උන්වහන්සේගේ පුත්‍රයාණන් බවත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. ඔවුන්ගේ ඇදහිල්ල කේන්ද්‍රගත කොට තිබෙන්නේ, මනුෂ්‍ය වර්ගයාගේ වේදනාවන්ට සහනය ලබා දිය හැක්කේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට පමණක් බවට වූ විශ්වාසය මතය. ඔවුන් ජනයාට අනතුරු අඟවන්නේ මෙම දූෂිත දේවල පිළිවෙළේ පෙනෙන්නට තිබෙන තදාසන්න විනාශය ගැනයි. ඔවුන් දේශනා කරන්නේ කීකරු මනුෂ්‍ය වර්ගයා සඳහා භූමික පාරාදීසයක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැනයි. ඔවුන් කුරුසය මහත් ගෞරවයෙන් සලකන්නේ නැත. ඔවුන් නත්තල උත්සවශ්‍රීයෙන් පවත්වන්නේද නැත. ආත්මය මැරෙනසුලු බවත් ගිනිමය නිරයක් නොමැති බවත් ඔවුහු විශ්වාස කරති. ඔවුන් රුධිරය අනුභව නොකරන අතර, රුධිර ප්‍රවේශන පිළිගන්නේද නැත. ඔවුන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් වැළකී සිටින අතර යුද්ධවලටද හවුල් වන්නේ නැත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් මෙතරම් වෙනස් වන්නේ මන්දැයි ඔබ කවදා නමුත් ඔබගෙන්ම අසා තිබෙනවාද?
ඩේලි හැම්ප්ෂර් ගැසට් නම් මැසචූසෙට්ස් ජනපදයේ පුවත්පතක් පැහැදිලි කරමින් කියා සිටින්නේ “බයිබලය පිළිබඳ” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “දැඩි අර්ථ දැක්වීම් අන්‍යයන් සුළුකොට යයි සලකන බොහෝ ක්‍රියාකාරකම් තහනම් කරයි . . . , සමස්තයක් වශයෙන් මෙසේ වන්නේ පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානින්ගේ ආදර්ශයත් බයිබලයේ වචනයත් අනුගමනය කිරීමට ඔවුන් වෙර දරන හෙයිනි.” “ඔවුන් විශ්වාස කරන සියල්ලක්ම බයිබලය මත පදනම් වේ” යයි පිළිගන්නා ද එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන්, වැඩිදුරටත් මෙසේ පවසයි: “සම්ප්රදාය සහමුලින්ම අනුයුක්ත කරන්ට ඇති බයිබලයේ බලය පිළිගනිමින්, ඇදහිල්ල පිළිබඳ සෑම ප්‍රකාශයක්ම වාගේ තහවුරු කිරීමට, ඔවුහු ඔප්පු සහිත පාඨ (එනම් අනුබල දීම සඳහා බයිබලයෙන් උපුටා දැක්වීමක්) ගෙනහැර දක්වති.” රිලිජන් ඉන් අමෙරිකා නම් පොත මෙසේ පවසයි: “මෙම කණ්ඩායම බයිබලය ඉගෙන ගැනීම කෙරෙහි ඇති සිය මූලික අවධානයෙන් කිසිකලෙක ඉවත්ව ගොස් නැති අතර, සිය ඉගැන්වීම්වලට අනුබල ලබා ඇත්තේ මහත් ආයාසයකින් සම්පූර්ණ කළ ශුද්ධ ලියවිල්ලට යොමු දක්වන පද්ධතියක් මගිනි.”
ඔවුන්ගේ නායකයා කවුද?
අද දවසේ ලබ්ධිවල පුළුල් ලක්ෂණයක් වන මනුෂ්‍ය නායකයන් කෙරෙහි භක්තියත්, දේවත්වයෙහිලා සැලකීමත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර දක්නට නොලැබෙන්නේ හරියටම බයිබලයේ ඉගැන්වීම්වලට ඇති මෙම සමීප අනුකූලතාවය නිසාය. පූජක-ගිහි වෙනසක් පිළිබඳ සංකල්පය ඔවුහු ප්‍රතික්ෂේප කරති. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන ද එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් සුදුසු ලෙස පවසනුයේ, “පූජක පන්තියක් මෙන්ම විශේෂිත පදවිනාම තහනම් කර ඇත” යනුවෙනි.
ඔවුහු තමුන්ගේ නායකයා මෙන්ම ක්‍රිස්තියානි සභාවේ හිස හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරති. මේ පිළිබඳව යේසුස්වහන්සේම මෙසේ වදාළ සේක: “නුඹලා රබ්බියි කියවා නොගනිල්ලා. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියල්ලා. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය. නුඹලා නායකයෝයයි කියවා නොගනිල්ලා. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය, එනම් ක්‍රිස්තුස්වහන්සේය.”—මතෙව් 23:8-12.
යේසුස්වහන්සේ බේබද්දෙක් හා කෑදරයෙක් නොවූවාක් මෙන්ම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ද ලබ්ධියක් නොවන බව පැහැදිලිය. යේසුස්වහන්සේ මෙන්ම සිය ගෝලයන් පිළිබඳ බොරු වාර්තාවෙන් බලපෑම් ලැබූ සෑම කෙනෙක්ම උන්වහන්සේට අපහාස කිරීමේ මලපතට හසුනොවූ බව පිළිගත යුත්තකි. ඇතැමෙකුට හුදෙක් වැරදි ආකාරයේ තොරතුරු සැපයුමක් සිදුවන්නට ඇත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ විශ්වාසයන් පිළිබඳව ඔබට ප්‍රශ්න තිබෙනවා නම්, ඔවුන්ව වඩාත් හොඳින් හඳුනා ගැනීමට වෑයම් නොකරන්නේ මන්ද? සත්‍යය සොයන සියල්ලන්ට ඔවුන්ගේ රාජ්‍යය ශාලාවල දොරටු විවෘතව පවතී.
ඒකාන්ත බයිබල් දැනුම සඳහා ඔවුන්ගේ සාවධානී සෙවිල්ලෙන් ඔබටත් ප්‍රයෝජන අත්කරගෙන යේසුස්වහන්සේගේ මතු වදන්වලට එකඟව දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු ආකාරය ඉගෙන ගත හැකිවේ: “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.”—යොහන් 4:23.