මිනිස් දුක් වේදනා—දෙවියන්වහන්සේ ඒවාට ඉඩ හරින්නේ මන්ද?
මිනිස් ඉතිහාසයේ මූලාරම්භයේදී, දොම්නසේ හෝ වේදනාවේ කඳුළු සහමුලින්ම තිබුණේ නැත. මිනිස් දුක් වේදනා නොතිබුණි. මනුෂ්‍යවර්ගයාට දෙනු ලැබුවේ පරිපූර්ණ ආරම්භයකි. “දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.”—උත්පත්ති 1:31.
එහෙත් ඇතැමෙක් විරුද්ධත්වය පළ කරමින්, ‘ඒදන් උයනේ ආදම් සහ ඒවගේ කථාව නිකම් උපමා කථාවක්’ යයි පවසති. කනගාටුවට කරුණක් වනුයේ, ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ පූජකයන් මෙය පැවසීමය. කෙසේ වෙතත්, ඒදන්හි සිදුවීම් ඓතිහාසික බව යේසුස්වහන්සේ තරම් තහවුරු කළ අධිකාරයක් තවත් නැත. (මතෙව් 19:4-6) ඇරත්, මිනිස් දුක් වේදනාවන්ට දෙවියන්වහන්සේ ඉඩ හැර තිබෙන්නේ මන්දැයි තේරුම් ගැනීමට ඇති එකම ක්‍රමය මනුෂ්‍යයාගේ මුල් ඉතිහාසයේ මෙම සිද්ධීන් පරීක්ෂා කර බැලීමය.
පළමු මනුෂ්‍යයා වූ, ආදම්ට, ඒදන් උයන රැකබලා ගැනීමේ තෘප්තිය ගෙනදෙන කාර්යය පවරනු ලැබීය. තවද, තමාගේ නිවස වූ ඒදන් උයන සොම්නසේ සමස්ත ලෝක උයනක් බවට ව්‍යාප්ත කිරීමේ ඉලක්කයද දෙවියන්වහන්සේ ඔහු ඉදිරියේ තැබූසේක. (උත්පත්ති 1:28; 2:15) මෙම ශ්‍රේෂ්ඨ කාර්ය භාරය ඉටු කිරීමට ආදම්ට උපකාර කරනු පිණිස, විවාහක කලත්‍රයෙකු වන, ඒව, දෙවියන්වහන්සේ ඔහුට සපයා දුන් අතර, බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්නා හැටියට ඔවුන්ට වදාළසේක. කෙසේවෙතත්, පොළොව සහ මනුෂ්‍යවර්ගයා සඳහා වූ දෙවියන්වහන්සේගේ අරමුණ සහතික කිරීමට වෙනත් යමක් අවශ්‍ය කෙරිණ. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සාදනු ලැබූ නිසා, නිදහස් කැමැත්ත මනුෂ්‍යයා සතුව තිබුණි; එබැවින්, මනුෂ්‍යයාගේ එම කැමැත්ත අනිවාර්යයෙන්ම දෙවියන්වහන්සේගේ කැමැත්තත් සමඟ නොගැටෙන තත්ත්වයක තිබිය යුතු විය. එසේ නොවන්නට, විශ්වයේ අවුල්සහගත තත්ත්වයක් තිබෙනු ඇති අතර සාමකාමී මනුෂ්‍ය පවුලකින් පොළොව පුරවන්නට වූ දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු නොවනු ඇත.
දෙවියන්වහන්සේගේ පාලනයට යටත් වීමක් ඉබේටම සිදුවන යමක් නොවීය. එය මනුෂ්‍යයාගේ නිදහස් කැමැත්තේ ප්‍රේමනීය ප්‍රකාශයක් වන්නට තිබුණි. උදාහරණයක් වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැඩි පරීක්ෂාවකට මුහුණ දුන් විට, “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා” කියා උන්වහන්සේ යාච්ඤා කළ බව අපි කියවමු.—ලූක් 22:42.
සමානාකාරයෙන්, තමන් දෙවියන්වහන්සේගේ පාලනයට යටත් වන්නට කැමැත්තේදැයි ඔප්පු කිරීම රඳා පැවතුණේ ආදම් සහ ඒව මතය. මේ සඳහා, යෙහෝවඃ දෙවියන්වහන්සේ සරල පරීක්ෂණයකට විධිවිධාන යෙදූසේක. එම උයනේ ගස්වලින් එකක් හඳුන්වනු ලැබුවේ “යහපත හා නපුර දැනගැනීමේ ගහ” යනුවෙනි. එය නියෝජනය කළේ නිවැරදි හැසිරීම පිළිබඳ ප්‍රමිති තීරණය කරන්නට දෙවියන්වහන්සේ සතුව තිබූ අයිතිවාසිකමයි. පැහැදිලි භාෂාවෙන්, මෙම ගහේ ගෙඩි කෑම දෙවියන්වහන්සේ තහනම් කළසේක. ආදම් සහ ඒව ඊට අකීකරු වුවහොත්, එහි විපාකය ඔවුන් සඳහා මරණය වනු ඇත.—උත්පත්ති 2:9, 16, 17.
මිනිස් දුක් වේදනාවන්හි ආරම්භය
දිනක් දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයෙක් දෙවියන්වහන්සේගේ පාලන ක්‍රමය ප්‍රශ්න කරන්නට කල්පනා කළේය. තමා වෙනුවෙන් කථා කරන්නා හැටියට සර්පයෙක් යොදා ගනිමින්, “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාද?” කියා ඔහු ඒවගෙන් විමසුවේය. (උත්පත්ති 3:1) මෙපරිද්දෙන් දෙවියන්වහන්සේගේ පාලන ක්‍රමය යුක්තිසහගතද යනවගට සැකයේ බීජයක් ඒවගේ මනසේ රෝපණය කරනු ලැබීය.a මීට පිළිතුරු වශයෙන්, ඒව සිය සැමියාගෙන් ඉගෙන තිබූ නිවැරදි පිළිතුර ඉදිරිපත් කළාය. කෙසේ වෙතත්, එම ආත්ම මැවිල්ල, එවිට දෙවියන්වහන්සේට විරුද්ධව කථා කරමින්, “නුඹලා ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේක” යන්න පැවසීමෙන් ඊට අකීකරු වීමේ විපාකය ගැන බොරුවක් කිව්වේය.—උත්පත්ති 3:4, 5.
කනගාටුදායක ලෙසින්, මෙහිදී ඒව රවටනු ලැබුවේ, අකීකරුවීම මිනිසාගේ දුක් වේදනාවන්ගෙන් නොව එහෙත් වඩාත් හොඳ ජීවිතයකින් කෙළවර වනු ඇතැයි කල්පනා කිරීමටය. ඇය එම ඵලය දෙස වැඩි වැඩියෙන් බැලූ තරමට, එතරමටම එය සිත්ගන්නා සුලු යමක් හැටියට දිස්වූ අතර, ඈ එය කන්නට පටන් ගත්තාය. පසුව, එය කන්නට ඈ ආදම්වත් පොලඹවා ගත්තාය. ඉතා දුක්ඛදායක දෙය වූයේ, ආදම් තෝරා ගත්තේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය වෙනුවට සිය භාර්යාවගේ අනුග්‍රහය දිගටම පවත්වා ගන්නටයි.—උත්පත්ති 3:6; 1 තිමෝති 2:13, 14.
මෙම කැරැල්ල පෙලඹවීමෙන්, එම ආත්ම මැවිල්ල තමාව පත්කරගෙන තිබුණේ දෙවියන්වහන්සේගේ විරුද්ධකාරයෙකුගේ තත්ත්වයටයි. මෙසේ ඔහු, හෙබ්‍රෙව් බසින් “විරුද්ධකරුවා” යන්න අදහස් කරන වදනක් වන, සාතන් යනුවෙන් හඳුන්වන්නට යෙදුණි. තමාව අපහාස කරන්නෙකු බවට පත් කරගනිමින්, ඔහු දෙවියන්වහන්සේ ගැන බොරු කීමක්ද කර තිබුණි. එබැවින්, ග්‍රීක් බසින් “අපහාස කරන්නා” අදහස් කරන වදනක් වන, යක්ෂයා යනුවෙන්ද ඔහුව හදුන්වනු ලැබේ.—එළිදරව් 12:9.
මිනිසාගේ දුක් වේදනා ආරම්භ වූයේ මෙලෙසය. දෙවියන්වහන්සේගේ මැවිලිවලින් තුනක් සිය නිදහස් කැමැත්තේ දීමනාව, තමන්ගේ මැවුම්කරුවාණන්ට විරුද්ධව ආත්මාර්ථකාමී ජීවිත ක්‍රමයක් තෝරා ගැනීමෙන්, වැරදි ලෙස යොදාගෙන තිබුණි. මෙහිදී පැන නැගුණ ප්රශ්නය වූයේ, ස්වර්ගයේ විශ්වාසවන්ත දේවදූතයන් මෙන්ම ආදම් සහ ඒවගේ අනාගත ජනිතයන්ද ඇතුළුව උන්වහන්සේගේ ඉතිරි බුද්ධිමත් මැවිලිවලට යළි සහතිකයක් පිරිනමන යුක්තිසහගත අයුරින් දෙවියන්වහන්සේ මෙම කැරැල්ල සමඟ ක්‍රියා කරනු ඇත්තේ කෙසේද? යනවගයි.
දෙවියන්වහන්සේගේ ඥානවන්ත ප්‍රතිචාරය
දෙවියන්වහන්සේ ඒ අවස්ථාවේදීම සාතන්, ආදම් සහ ඒව විනාශ කළේ නම් එය වඩාත් යහපත් වන්නට තිබුණේ යයි ඇතැමෙක් තර්ක කරන්නට පුළුවන. එහෙත් එය කැරලි ගැසීමෙන් මතුවූ ප්‍රශ්නවලට විසඳුමක් ලබා නොදෙනු ඇත. දෙවියන්වහන්සේගේ පාලනයෙන් නිදහස්ව මනුෂ්‍යයන්ට වඩාත් හොඳ තත්ත්වයක් තිබිය හැකි බව අඟවමින්, සාතන් ප්‍රශ්න කර තිබුණේ දෙවියන්වහන්සේගේ පාලන ක්‍රමයයි. තවද, දෙවියන්වහන්සේගේ පාලනයට එරෙහිව පළමු මනුෂ්‍යයන් දෙදෙනාව හැරවීමෙහිලා ඔහු ලැබූ සාර්ථකත්වය, වෙනත් ප්‍රශ්නද මතු කළේය. ආදම් සහ ඒව පව් කළ නිසා, මෙය අදහස් කළේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව මවා තිබූ ආකාරයෙහි යම් දෝෂයක් ඇති බවද? තමන්වහන්සේට විශ්වාසවන්තව සිටින එක් කෙනෙකුවත් පොළොව මත දෙවියන්වහන්සේට සිටිය හැකිද? එමෙන්ම සාතන්ගේ කැරැල්ල සියැසින් දුටු යෙහෝවඃවහන්සේගේ ආත්මික පුත්‍රයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් උන්වහන්සේගේ පරමාධිපත්‍යයේ ධර්මිෂ්ඨකම තහවුරු කරනු ඇද්ද? පැහැදිලිවම, මෙම ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යව තිබුණි. අපගේ දවස දක්වා සාතන්ට පවතින්නට දෙවියන්වහන්සේ ඉඩහැර ඇත්තේ එනිසාය.
ආදම් සහ ඒව ගත්කල, ඔවුන්ගේ අකීකරු වීමේ දවසේම, දෙවියන්වහන්සේ ඔවුන්ව මරණයට තීන්දු කළසේක. එසේ මරණයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ වුණි. ආදම් සහ ඒව පව් කිරීමෙන් පසු, ගැබ්ගත් ඔවුන්ගෙන් පැවතෙන්නන්, පාපයත් මරණයත් උරුම කර ගත්තේ සිය අසම්පූර්ණ මව්පියන්ගෙනි.—රෝම 5:14.
එම ප්රශ්නය සම්බන්ධයෙන් ගත්කල, සාතන් මුලපිරුවේ පළමු මනුෂ්‍යයන් දෙදෙනා තමාගේ පැත්තේ තබා ගනිමිනි. තමාට ඉඩහැර ඇති කාලය ඔහු පාවිච්චි කර ඇත්තේ ආදම්ගේ පැවතෙන්නන් සියල්ලන්ම තමාගේ පාලනය යටතේ තබා ගැනීමට වෑයම් දැරීමටය. දේවදූතයන් ගණනාවක්ද ඔහුගේ කැරලිගැසීමෙහි ඔහු හා එක් කර ගැනීමට ඔහු සමත් වී ඇත. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන්ගෙන් බහුතරයක් පක්ෂපාතකමින් යුක්තව තහවුරු කර ඇත්තේ යෙහෝවඃවහන්සේගේ පාලකත්වයේ ධර්මිෂ්ඨකමයි.—උත්පත්ති 6:1, 2; යූද් 6; එළිදරව් 12:3, 9.
මෙහිදී අවධානයට භාජන වූ ප්රශ්නයව තිබුණේ දෙවියන්වහන්සේගේ පාලනයට එරෙහිව සාතන්ගේ පාලනයයි. තවද යෝබ් විසූ කාලයේ පවා එය පැවතියේ උණුසුම් තත්ත්වයකය. ඒවන විටත් ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් හා යෝසෙප් වැනි දේව භයැති පුරුෂයන් තහවුරු කර තිබූ ආකාරයට මෙම විශ්වාසවන්ත තැනැත්තාද සිය හැසිරීමෙන් තහවුරු කළේ, සාතන්ගෙන් ලැබෙන නිදහසට වඩා දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනයට තමා වැඩි කැමැත්තක් දක්වන බවය. ස්වර්ගයේ විශ්වාසවන්ත දේව දූතයන් ඉදිරිපිට සිදුවූ සාකච්ඡාවක යෝබ් විෂය මාත්‍රය බවට පත් විය. ධර්මිෂ්ඨ පාලනයට ඔහුගේ අනුග්‍රහය සම්බන්ධයෙන්, දෙවියන්වහන්සේ සාතන්ට පැවසුවේ, “නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත” යනුවෙනි.—යෝබ් 1:6-8.
සිය පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, සාතන් තරයේ කියා සිටියේ ද්‍රව්‍යමය සමෘද්ධීන්ගෙන් දෙවියන්වහන්සේ යෝබ්ට අපරිමිත ලෙස ආශීර්වාද කර තිබූ නිසා, ආත්මාර්ථකාමී හේතු සඳහා පමණක් යෝබ් දෙවියන්වහන්සේට සේවය කළ බවය. එබැවින් සාතන් අභියෝග කළේ “නුමුත් ඔබගේ අත දිඟුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇත” යනුවෙනි. (යෝබ් 1:11) එහිදී සාතන් ඉන් ඔබ්බටද යමින්, දෙවියන්වහන්සේගේ සියලු මැවිලිවල අඛණ්ඩතාව ප්‍රශ්න කළේය. “තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය” යයිද ඔහු අභියෝග කළේය. (යෝබ් 2:4) මෙම අපවාදාත්මක ප්‍රහාරය අදාළ වූයේ යෝබ්ට පමණක් නොව ස්වර්ගයෙහිත් පොළොව මතත් සිටින දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත නමස්කාරකයන් සියලු දෙනාටත්ය. සාතන් අදහස් කළේ තමන්ගේ ජීවිත අවදානමට ගොදුරු වූයේ නම්, ඔවුන් යෙහෝවඃවහන්සේ සමඟ තිබෙන තමන්ගේ සම්බන්ධතාව අත්හරින බවය.
යෝබ්ගේ අඛණ්ඩතාව සම්බන්ධයෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේට පූර්ණ නිසැකකමක් තිබුණි. ඊට සාක්ෂියක් වශයෙන්, යෝබ් කෙරෙහි මිනිස් දුක් වේදනාවන් ගෙන එන්නට උන්වහන්සේ සාතන්ට ඉඩ හැරියසේක. තමාගේ විශ්වාසවන්තකමින්, ඔහු තමාගේ නාමය නිදොස් කර ගත්තා පමණක් නොව, වඩාත් වැදගත් ලෙස, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයේ ධර්මිෂ්ඨකම තහවුරු කළේය. යක්ෂයා බොරුකාරයෙකු බවට ඔප්පු විය.—යෝබ් 2:10; 42:7.
කෙසේ වෙතත්, පරීක්ෂාවන් යටතේ හොඳම ආදර්ශය තැබූ තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. දෙවියන්වහන්සේ මෙම දේව පුත්‍රයාගේ ජීවිතය ස්වර්ගයේ සිට කන්‍යාවකගේ ගර්භාශයට මාරු කර තිබුණි. එබැවින් යේසුස්වහන්සේ පාපය හා අසම්පූර්ණත්වය උරුම කර ගත්තේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ පරිපූර්ණ මනුෂ්‍යයෙක් ලෙස හැදී වැඩුණුසේක, එය හරියටම පළමු මිනිසා තමාගේ පරිපූර්ණත්වය නැති කර ගැනීමට පෙර තිබූ තත්ත්වයට සමානවය. අවමන්සහගත මරණයක් අද්දැකීමට සිදුවීම උච්චවස්ථාව වශයෙන්ද, පෙලඹීම් හා පරීක්ෂාවන් බොහොමයක් සමඟින් සාතන් යේසුස්වහන්සේව විශේෂ ඉලක්කයක් කර ගත්තේය. එහෙත් යේසුස්වහන්සේගේ අඛණ්ඩතාව නැති කිරීමට සාතන් අසමත් විය. පූර්ණ ආකාරයකට, යේසුස්වහන්සේ ස්වකීය පියාණන්ගේ පාලනයේ ධර්මිෂ්ඨකම තහවුරු කළසේක. උන්වහන්සේ වැඩිදුරටත් සනාථ කළේ සාතන්ගේ කැරැල්ලට එක්වීම වෙනුවෙන් පරිපූර්ණ මනුෂ්‍යයෙක්වූ ආදම්ට නිදහසට හේතුවක් නොමැති බවය. තමා මුහුණ දුන් වඩාත් සුළු පරිමාණයේ පරීක්ෂාව හමුවේ විශ්වාසවන්තව සිටින්නට ආදම්ට හැකියාව තිබුණි.
ඔප්පු කර තිබෙන්නේ වෙනත් කුමක්ද?
ආදම් සහ ඒවගේ කැරලි ගැසීමෙන් පසු මනුෂ්‍යයාගේ දුක් වේදනාවන්හි වසර 6,000ක් පමණ ගෙවී ගොස් ඇත. මෙම කාලය තුළ විවිධාකාර ආණ්ඩු බොහොමයක් සමඟින් අද්දැකීම් ලබන්නට දෙවියන්වහන්සේ මනුෂ්‍යවර්ගයාට ඉඩ හැර ඇත. මනුෂ්‍යයාගේ දුක් වේදනාවන්හි භයානක වාර්තාව තහවුරු කරන්නේ තමාව පාලනය කිරීමට මිනිසා සමත්ව නොසිටින බවය. ඇත්ත වශයෙන්ම, පවතින ආණ්ඩුවට විරුද්ධව කැරලිගැසීම දැන් පොළොවේ බොහෝ ස්ථානවල සිදුවෙමින් පවතී. සාතන් විසින් අනුබල දෙන ලද, දෙවියන්වහන්සේගෙන්වූ නිදහස, විපත්තිදායකය.
තමන්වහන්සේටම යමක් සනාථ කර ගැනීමට යෙහෝවඃවහන්සේට අවශ්‍ය වී නැත. තමාගේ පාලන ක්‍රමය ධර්මිෂ්ඨ බවත්, ස්වකීය මැවිලිවල අභිවෘද්ධියට හේතුවන බවත් උන්වහන්සේ දන්නාසේක. කෙසේ වෙතත්, සාතන්ගේ කැරලි ගැසීමෙන් මතු කරන ලද සියලු ප්‍රශ්නවලට සතුටුදායක ලෙස පිළිතුරු දෙනු පිණිස, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනයට තම පක්ෂපාතභාවය පෙන්වීමට උන්වහන්සේ තමන්ගේ බුද්ධිමත් මැවිලිවලට ප්‍රස්තාව සලසා ඇත.
දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම හා උන්වහන්සේට විශ්වාසවන්තව සිටීම වෙනුවෙන් විපාකය, යක්ෂයා යටතේ දුක් වේදනා විඳින තාවකාලික කාලපරිච්ඡේදයට වඩා අතිශයින් වටිනා යමක් වනු ඇත. යෝබ් සම්බන්ධයෙන් සිදුවූ දෙය මෙය පැහැදිලි කරයි. යක්ෂයා යෝබ් කෙරෙහි පැමිණෙවූ රෝගයෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේ ඔහුව සුව කළසේක. එපමණක්ද නොව, දෙවියන්වහන්සේ “යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාද කළසේක.” අවසානයේ, තවත් වසර 140ක් ආයු වළඳා, “යෝබ් මහලුව වයසින් පූර්ණව මෙළේය.”—යෝබ් 42:10-17.
ක්‍රිස්තියානි බයිබල් ලේඛක යාකොබ් මෙයට අවධානය යොමු කරවමින් මෙසේ පවසයි: “යෝබ්ගේ ඉවසීම [විඳදරාගැනීම, NW] ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ [දයානුකම්පිතවූ, NW පාද සටහන] කෙනෙක්ය.”—යාකොබ් 5:11.
දැන් සාතන් හා ඔහුගේ ලෝකය අවසන් වීම සඳහා කාලය පැමිණ ඇත. සාතන්ගේ කැරලි ගැසීම මනුෂ්‍යවර්ගයා කෙරෙහි පමුණුවා ඇති සියලුම දුක් වේදනාවන් ඉක්මනින්ම දෙවියන්වහන්සේ නැති කරනු ඇත. මළවුන් පවා නැවත නැගිටුවනු ලබනවා ඇත. (යොහන් 11:25) එවිට, යෝබ් වැනි විශ්වාසවන්ත පුරුෂයන්ට පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතයක් භුක්ති විඳීමට ප්‍රස්තාවක් ලැබෙනවා ඇත. දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන් මතට වගුරුවනු ඇති මෙම අනාගත ආශීර්වාද, ඇත්තවශයෙන්ම “බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයානුකම්පිත කෙනෙකු” වන උන්වහන්සේ ධර්මිෂ්ඨ පරමාධිපතියාණන් බවට මින් මත්තට සදාකාලයටම තහවුරු කරනවා ඇත.
[පාදසටහන්වල]
a “නපුරේ මූලාරම්භය” නම් සිය සාකච්ඡාවේදී මෙම පැනය විභාග කළ, 20වන සියවසේ නීතිවේදියෙක් හා කර්තෘවරයෙක් වන, ෆිලිප් මවුරෝ, නිගමනය කළේ “මනුෂ්‍යවර්ගයාගේ සියලු කරදරවලට හේතුව” මෙය බවයි.
[8වන පිටුවේ කොටුව⁄පින්තූර]
ජනයාගේ කෲර දෙවිවරුන්
පුරාතන දෙවිවරුන්ව බොහෝවිට වචනයෙන් හා චිත්රයෙන් විස්තර කොට දක්වා ඇත්තේ ලේ පිපාසාවෙන් හා කාමුකව සිටින අය හැටියටය. ඔවුන්ව සතුටු කිරීමට, මව්පියෝ සිය දරුවන්ව පණපිටින් පවා පිලිස්සූහ. (ද්විතීය කථාව 12:31) අනෙක් අතට, මිථ්‍යා දෘෂ්ටික දර්ශනවාදීන් ඉගැන්වූයේ දෙවියන්වහන්සේ කෝපය හෝ අනුකම්පාව වැනි හැඟීම්වලින් තොරව සිටි බවය.
මෙම දර්ශනවාදීන්ගේ භූතයන්ගේ ආනුභාවය ලත් දෘෂ්ටීන් දෙවියන්වහන්සේගේ යයි කියා සිටි ජනතාව වන, යුදෙව්වන් කෙරෙහි බලපෑවේය. යේසුස්වහන්සේගේ සමකාලිකයෙක්වූ, ෆිලෝ නම් යුදෙව් දර්ශනවාදියා, ස්ථිර ලෙස කියා සිටියේ දෙවියන්වහන්සේ “කිසිම හැඟීමකට යටත් නොවන” බවය.
දැඩි යුදෙව් නිකායක් වන ඵරිසිවරුන් පවා ග්‍රීක් දර්ශනයන්හි බලපෑමෙන් ගැළවුණේ නැත. මනුෂ්‍ය ශරීරයක හිරවී සිටින අමරණීය ආත්මයකින් මිනිසා නිර්මාණය වී සිටින බවට වූ ප්ලේටෝගේ ඉගැන්වීම් ඔවුහු පිළිගත්හ. එපමණක්ද නොව, පළමු ශතවර්ෂයේ ඉතිහාසඥ ජෝසිෆස්ට අනුව, දුෂ්ටයන්ගේ ආත්ම “සදාකාලික දඬුවමට ලක්වන” බව ඵරිසිවරු විශ්වාස කළහ. කෙසේ වෙතත්, බයිබලය එවන් දෘෂ්ටියක් සඳහා පදනමක් ඉදිරිපත් කරන්නේ නැත.—උත්පත්ති 2:7; 3:19; දේශනාකාරයා 9:5; එසකියෙල් 18:4.
යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ගැන කුමක් කිව හැකිද? මිථ්‍යා දර්ශනයන්ගෙන් බලපෑම් ලබන්නට ඔවුන් තමන්ට ඉඩ හැරියේද? මෙම අන්තරාව වටහා ගනිමින්, ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවූයේ මෙසේය: “ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගනිල්ලා.”—කොලොස්සි 2:8; තවද 1 තිමෝති 6:20,ද බලන්න.
කනගාටුදායක ලෙසින්, දෙවන හා තෙවන සියවස්වල සිටි ක්‍රිස්තියානි යයි කියාගත් අවේක්ෂකයෝ සමහරෙක් එම අනතුරු ඇඟවීම නොසලකා දෙවියන්වහන්සේට එවන් හැඟීම් නොමැති බව ඉගැන්වූහ. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් මෙසේ පවසයි: “සමස්තයක් වශයෙන්, දෙවියන්වහන්සේගේ ගුණාංග තේරුම් ගනු ලැබුවේ බොහෝ දුරට එවකට යුදෙව් හා දර්ශනවාදී චින්තනයන්හි සහතික කරනු ලැබූ ආකාරයටය . . . දෙවි පියාණන්වහන්සේට අනුකම්පාව වැනි හැඟීම් තිබිය හැකි බවට වූ අදහස . . . අඩුතරමින් විසිවන සියවස දක්වාවත් සාමාන්‍යයෙන් සලකනු ලැබුවේ පිළිගත නොහැකි යමක් ලෙසින්ය.”
මෙසේ, සදාකාලයටම තමන්ට දැනෙන ආකාරයෙන් පව්කාරයන්ට වද විඳීමට සැලැස්වීමෙන් ඔවුන්ට දඬුවම් පමුණුවන කෲර දෙවි කෙනෙක් පිළිබඳ බොරු ඉගැන්වීම ක්‍රිස්තියානි ලෝකය තමුන්ටම ඈඳා ගත්තේය. අනෙක් අතට යෙහෝවඃවහන්සේගේ වචන වන, බයිබලයෙහි පැහැදිලිව පවසනුයේ “පාපයේ කුලී නම්” සදාකාලිකව සිහිසන් ඇතිව වද විඳීම නොව, “මරණය” බවය.—රෝම 6:23.
[හිමිකම් විස්තර]
Above: Acropolis Museum, Greece
Courtesy of The British Museum
[7වන පිටුවේ පින්තූරය]
ඒදන් උයන බඳු පාරාදීසයක් බවට මෙම පොළොව පරිවර්තනය කරන්නට වූ දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු විය යුතුමයි!