ලොව වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—පෝලන්තය
වර්ෂ 1989 ශරත් ඍතුවේ, බෝල්ටික් සහ කළු මුහුද දක්වා කොමියුනිස්ට් ආණ්ඩු කඩාකප්පල් වී යෑමට පටන් ගත්තේය. යකඩ තිරය [සීමා තහංචි] ඉවත් කළායින් පසු, නැගෙනහිර යුරෝපයේ ජාතීහු තමන්ට රිසි සේ ස්වාධීනව ක්‍රියා කරන්ට පටන් ගත්හ. ඒවා අතර, ව්‍යාප්තවුණු උස්බිම්, තැනිතලා සහ රළු කඳුවලින් හෙබි රටකි, පෝලන්තය.a
පෝලන්ත ජනයෝ වෙහෙස වී වැඩ කරන්නෝය, තවද පෝලන්තය ලෝකයේ කැපී පෙනෙන කලාකරුවන් සහ විද්‍යාඥයන් කිහිප දෙනෙකු බිහි කර ඇත. එනමුත්, ඊටත් වඩා, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශකයන්ගේ වැඩිවෙමින් තිබෙන මහත් සේනාවක් එහි සිටිති.
බොරු දේ හෙළිකිරීමේ නිර්භීතකම
බයිබලයෙන් සත්‍යය ඉගෙනගැනීමට කැමති බොහෝ දෙනෙක් පෝලන්තයේ සිටිති. එහෙත්, ඇතැම්හු තම නෑදෑයන් හෝ අසල්වාසීන් නිසා බාධාවට පත්ව සිටිති. නිදසුනක් වශයෙන්, ව්රෝක්ලෝ ප්‍රදේශයේ, උනන්දුව දැක්වූ එක්තරා කාන්තාවක් තම පවුලේ අය සහ මිත්‍රයන් ඈට පීඩන ගෙනා විට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීම නතර කළාය. කෙසේ වෙතත්, ඇගේ නහඹර වියේ දියණිය, බොරු ආගමේ වෙස් මුහුණ ඉවත් කළාවූ මුරටැඹ ලිපි මාලාවක් කියෙව්වාය. මේවා, සත්‍යය කෙරෙහි ඇගේ උනන්දුව දල්වාලූයේය.
මාස හයක බයිබල් පාඩමකින් පසු, මෙම යෞවනිය බොරු ආගම සමඟ තිබූ ඇගේ සියලු සම්බන්ධකම් කපා හැරීමට තීරණය කළාය. ඈ ඇගේ පල්ලියේ පූජක තැනව හමුවී ඇගේ තීරණය ඔහුට දන්වා සිටියාය. පහත සඳහන් දේ ලියන ලෙස ඔහු ඈට පැවසුවේය: “කේ—— පී—— වන මම, කතෝලික විශ්වාසය අත්හරිමි.”
ඊළඟ ඉරිදා, මෙම ප්‍රකාශය පල්ලියේ කියවන ලදි. ඇගේ සීයාට ක්ලාන්තය සෑදුණු අතර, ඇගේ ආච්චි මහ හඬින් හැඬුවාය. කෙසේ වෙතත්, පල්ලියේ වෙනත් දායකයෝ මේ ගැන පුදුමයට පත්ව මෙසේ කීහ: “අපගේ පල්ලියේ හුඟක් බොරු දේවල් තිබෙනවා කියා කීමට ඇති යන්තම් නිර්භීත යමෙක් සිටිනවා.” මෙම ධෛර්යසම්පන්න නහඹර යුවතිය, දැන් බව්තීස්ම ලත් ආත්මික සහෝදරියක් වන අතර, ඈ ඇගේ ගමේ බයිබල් පාඩම් හතක් පවත්වමින් සිටින්නීය.
‘ඔවුන්ගේ ඵලවලින්’
සතිපතා පුවත් පතක් වන කූයේවෙ ඉ පොමෝෂෙ, “ඔවුන්ගේ ඵලවලින් ඔබ ඔවුන් හැඳිනගන්නහුය” යන වාර්තාව පළ කළේය. එහි කොටසක, ලිපිය පැවසුවේ, ක්‍රිස්තියානි ලෝකයේ වන්දනාකරුවන්, “යථාර්ථවාදීව බලන කල, ඔවුන් පිළිගෙන ඇති ආගමික ප්‍රතිපත්ති ඉතා බැරෑරුම් ලෙස සලකන්නේ නැත. තමන් කියන දේ අනුව ක්‍රියාකරන, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වඩා ඔවුන් හාත්පසින් වෙනස්ය, ඇරත් ඔවුන් කියන්නේ බයිබලය අණකරන දෙයයි” කියාය.
නාමික ක්‍රිස්තියානීන් හා සාක්ෂිකරුවන්ගේ ස්වභාවය අතර ඇති වෙනස පෙන්වමින්, වාර්තාව තවදුරටත් කීවේ මෙසේය: “නාමික ක්‍රිස්තියානීහු, තම ඇදහිල්ලේ අත්‍යවශ්‍යය සත්‍යතාවන් හා ප්‍රතිපත්ති බොහෝ දුරට නොදනිති, බොහෝ විට අදාළ නොකරති. . . . යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තම ආකල්පය මගින් තම වචන සහ ක්‍රියා අතර එකඟතාව විදහාපාන අතර, මෙනයින් ඔවුන් ‘බොරු ප්‍රොපේතවරුන්’ නොවන බවත්, ඒ වෙනුවට ඔවුන්ගේ ඵලවලින් ඔවුන්ව හඳුනාගත හැකි බවත් ඔප්පු කරති. ‘මිනිසුන් කිසිවිටෙකත් කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?’ (මතෙව් 7:15-20).”
එක් කාන්තාවක්, ඇගේ පුත්‍රයා කතෝලික සභාව අතහැර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්වී ඇතැයි සඳහන් කරමින් ඉතා කනගාටුවෙන් යුතුව ප්චියාචූකා නම්වූ සතිපතා පුවත්පතට ලිපියක් යැව්වාය. කර්තෘවරියගේ අවවාදය වූයේ කුමක්ද? “ඔබගේ පුත්‍රයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමට පටන් ගත්තා නම්, ඔවුන්ගේ ඇදහිල්ල ඉගෙන ගෙන එය පිළිගත්තා නම්, මුළුමනින්ම එය ඔහුගේ තීරණයක් වන අතර, එය පිළිගෙන එයට ගරු කළ යුතුය. . . . මෙම ආගමික කණ්ඩායම බොහෝ අලංකාර සමාජීය අංගවලින් සමන්විත වෙයි, ඔවුන්ගේ අසාමාන්‍ය සාමුහිකත්වය සහ කණ්ඩායම පිළිබඳ ගැඹුරු හැඟීම, මහත් අවංකකම සහ සමාජීය ජීවිතයේ පිළිගත් නීති ළඟින් අනුගමනය කිරීම සහ අවසාන හැටියට, ප්‍රකාශිත සාරධර්ම පිළිපදිමින් තම ඇදහිල්ලට අනුව ජීවත්වීමට ඇති හැකියාව මේ අතර වෙයි. මේවා ඉතා අනර්ඝ ගුණාංගයන්ය.”
[පාදසටහන්වල]
a අමතර තොරතුරු සඳහා, 1994 කැලැන්ඩර් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් බලන්න.
[9වන පිටුවේ කොටුව]
රට පිළිබඳ ආකෘති සටහනක්
1993 සේවා වසර
සාක්ෂිදරන උපරිම සංඛ්‍යාව: 1,13,551
අනුපාතය: එක් සාක්ෂිකරුවෙකුට 339
සිහිකිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව: 2,35,642
පුරෝගාමි ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 7,961
බයිබල් පාඩම්වල සාමාන්‍යය: 79,131
බව්තීස්ම වූ සංඛ්‍යාව: 8,164
සභා ගණන: 1,397
ශාඛා කාර්යාලය: නාඩාර්සීන්
[9වන පිටුවේ පින්තූරය]
ලූජ්හි පෝලන්ත ශාඛා කාර්යාලය 1948දී
[9වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1948 දී, කලින් නැගෙනහිර පෘසියාවේ දැන්වීම් පත්‍ර සේවය
[9වන පිටුවේ පින්තූරය]
පෝලන්ත බෙතෙල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හැත්තෑදෙදෙනා, 1993 ජනවාරි
[9වන පිටුවේ පින්තූරය]
නාඩාර්සීන්හි නව ශාඛා කාර්යාලය