රුවන්ඩාවේ ඛේදවාචකය—වගකිව යුත්තෝ කවරහුද?
“විසිතුන් හැවිරිදි කාර්මික ශිල්පියාගේ හිස් කබල දෙබෑ කිරීමට මොහොතකට පෙර, එක් ප්‍රහාරකයෙක් හිටියිසෙට මෙසේ කීවේය, ‘නුඹ ටූට්සියෙක් නිසා නුඹට මැරෙන්නට වේවි.’ ” යයි යූ. එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් පැවසුවේය.
පසුගිය අප්‍රියෙල් සහ මැයි මාසවල, මධ්‍යම අප්‍රිකාවේ කුඩා රට වන රුවන්ඩාවේ එවන් දර්ශන කොතරම් වාර ගණනක් බොහෝ විට නැවත නැවත දකින්ට සිදුවුණාද! ඒ සමයේ, රුවන්ඩාවේ අගනුවර වන කිගාලි සහ ඒ අවට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 15ක් තිබිණි. නගර අවේක්ෂක න්ටාබානා ඕජැන් ටූට්සි ගෝත්‍රිකයෙකු විය. මෙම ප්රචණ්ඩත්වයේ වියරුව පුපුරාගිය අවස්ථාවේ ඝාතනය කරනු ලැබූ පළමු පුද්ගලයන් අතර ඔහු, ඔහුගේ භාර්යාව, ඔහුගේ පුත්‍රයා සහ ඔහුගේ නව හැවිරිදි දියණිය ෂාමිද වූහ.
රුවන්ඩා ජාතිකයෝ දහස් ගණනක් සතියක් පාසා සතියක්—එනම් දිනපතා මරා දමනු ලැබූහ. ඉහත සඳහන් ප්රවෘත්ති සඟරාව මැයි මාසයේ මැද මෙසේ වාර්තා කළේය: “එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මැද භාගයේ කාම්බෝජියාවේ ක්මෙර් රූජ් අතින් සිදුවූ ලේ පිපාසිත සංහාරයට සමාන වූ මරාගැනීමේ හා පළිගැනීමේ ව්‍යාපාරයෙන් පසුගිය සති හය තුළදී, 2,50,000ක් පමණ ජනයෝ මිය ගියහ.”
ටයිම් සඟරාව මෙසේ පැවසුවේය: “නාට්සි ජර්මනියේ අතීත සිදුවීම සිහිපත් කරවමින්, 500ක පමණ කණ්ඩායමකින් ළමුන්ව ඩැහැගනු ලැබුවේ ඔවුන් ටූට්සි ගෝත්‍රිකයන්ට සමාන පෙනුමකින් සිටි හෙයිනි. . . . ටූට්සි ගෝත්‍රික කාන්තාවක් හා විවාහ වී සිටි, බූටාරේ නමැති දකුණුදිග නගරයේ නගරාධිපතිට හූටූ ගැමියන් විසින් තේරීමක් ඉදිරිපත් කෙරිණි: ඔහු තම භාර්යාවගේ පවුල—එනම්, ඇගේ දෙමාපියන් සහ ඇගේ නංගීව—මරණයට පත් කරන්නට ඉඩ දුන්නොත්, ඔහුට තම භාර්යාව සහ දරුවන්ව බේරාගත හැකි බවය. ඔහු ඊට එකඟ විය.”
කිගාලිහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පරිවර්තන කාර්යාලයේ වැඩ කරන පුද්ගලයන් හයදෙනාගෙන්, හතරදෙනෙක් හූටූ ගෝත්‍රයට අයත් අයය, දෙදෙනෙක් ටූට්සි ගෝත්‍රයේය. ටූට්සි ගෝත්‍රයට අයත් වූයේ ආනානි ම්බාන්ඩා සහ මූකාගිසාගාරා ඩෙනිස්ය. හමුදා භටයන් කොල්ලකරුවන් සමඟ ඔවුන් සොයා මෙම නිවසට පැමිණි අවස්ථාවේ, හූටූ සහ ටූට්සි ගෝත්‍රිකයන් එකට ජීවත් වෙමින් සිටිනවා දුටු විට ඔවුහු කෝපාවිෂ්ට වූහ. ම්බාන්ඩා සහ ඩෙනිස් මරා දැමීමට ඔවුන්ට වුවමනා විය.
හූටූ සහෝදරයෙකු වූ එමන්වියෙල් න්ගිරෙන්ටේ මෙසේ පැවසීය: “තම ග්‍රෙනේඩ්වලින් [කුඩා බෝම්බ] තුඩසහිත ඇණ පිටතට ඇදගැනීමට පටන්ගත් ඔවුන්, අපට තර්ජනය කළා, ඔවුන්ගේ සතුරන් අප අතර සිටින නිසා අපව මරණවා කියා. . . . ඔවුන්ට විශාල මුදල් ප්‍රමාණයක් වුවමනා වුණා. අප ළඟ තිබූ මුදල් සියල්ල අපි ඔවුන්ට දුන්නා. නමුත් ඔවුන් ඉන් සෑහීමකට පත් වුණේ නැහැ. ඊට වන්දි වශයෙන්, අපගේ පරිවර්තන කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණකයක්, අපගේ ඡායා පිටපත් යන්ත්‍රය, අපගේ ගුවන් විදුලි යන්ත්‍ර, අපගේ පාවහන්, යනාදිය ඇතුළු ඔවුන්ට භාවිත කළ හැකි සියලු දේවල් රැගෙන යෑමට ඔවුන් තීරණය කළා. සැණකින් අපගෙන් කිසිවෙකුව නොමරා පිටව යෑමට ඔවුන් පිටව ගියත්, පසුව නැවත එන බව ඔවුන් පැවසුවා.”
ඉන්පසු ගතවූ දින කිහිපයේදී, කොල්ලකරුවන් කිහිප විටක් නැවත නැවත පැමිණි අතර, මේ සෑම වතාවකදීම හූටූ සාක්ෂිකරුවෝ තම ටූට්සි මිත්‍රයන්ගේ ජීවිතවලට හානි නොකරන මෙන් ආයාචනා කළෝය. අවසානයේදී, ම්බාන්ඩා සහ ඩෙනිස් තවදුරටත් එහි රැඳී සිටීම අන්තරාදායක බව පෙනෙන්ට තිබූ විට, අනෙකුත් ටූට්සි ගෝත්‍රිකයන් සමඟ අසල වූ පාසැලකට යෑමට ඔවුන්ට කටයුතු පිළියෙළ කරන ලදි. පාසැලට පහර එල්ල කරනු ලැබූ විට, ම්බාන්ඩා සහ ඩෙනිස් ඉන් පළා ගියහ. ඔවුන් සාර්ථක ලෙස මාර්ග බාධක කිහිපයක් පසුකර ගියද, නමුත් අවසානයේදී එක් බාධකයකදී, සියලු ටූට්සි ගෝත්‍රිකයන් පසෙකට ගෙන ගිය අතර, ම්බාන්ඩා සහ ඩෙනිස්ද මරා දමන ලදි.
පරිවර්තන කාර්යාලයට නැවත පැමිණි සොල්දාදුවන් එහි සිටි ටූට්සි සාක්ෂිකරුවන් පිටව ගොස් ඇති බව සොයාගත් විට, සොල්දාදුවෝ හූටූ සහෝදරයන්ට ඉතා තදින් තලන්ට වූහ. අසල මෝටාර් බෝම්බයක් පුපුරාගියෙන්, තම ජීවිත බේරාගෙන එතැනින් පලා යෑමට සහෝදරයන්ට හැකි විණි.
රට පුරා දිගින් දිගටම ඝාතන සිදුවෙත්ම, මිය ගියවුන්ගේ සංඛ්‍යාව මිලියන භාගයක් දක්වා ළඟා විය. අවසානයේදී, මිලියන අටක් පමණ වූ රුවන්ඩා වැසියන්ගෙන් මිලියන දෙකකට හා තුනකට අතර සංඛ්‍යාවක්, නැතහොත් ඊට වැඩි ගණනක්, තම නිවාස අත්හැර යන්ට වූහ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක්, අසල වූ ෂයරේ සහ ටන්සානියාවේ සරණ සෙව්වෝය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියගණනක් පමණ මරා දමනු ලැබූ අතර, ඔවුන් අතර සිටි තවත් අය සිය ගණනක් රටෙන් පිට කඳවුරුවලට පළා ගියහ.
පෙර නොවූවිරූ එවන් ඝාතනයක් හා පලායෑමකට ගිනි ඇවිලූයේ කුමක්ද? එය වළක්වාගත හැකිව තිබුණේද? ප්‍රචණ්ඩකාරි ක්‍රියා පැනනැඟීමට පෙර එහි තත්ත්වය කුමක් වීද?
හූටූ සහ ටූට්සි ගෝත්‍රිකයෝ
රුවන්ඩා සහ අසල්වැසි රටක් වූ බුරුන්ඩි යන රටවල් දෙකම ජනාවාස වී ඇත්තේ, සාමාන්‍යයෙන් මිටි, තරබාරු ශක්තිමත් බන්ටු ජාතිකයන්ගෙන් සහ සාමාන්‍යයෙන් උසින් වැඩි වඩාත් ළා පැහැති සමක් ඇති වටුසි යන නමින්ද හැඳින්වෙන ටූට්සි ගෝත්‍රිකයන් විසිනි. රටවල් දෙකේම හූටූ ගෝත්‍රිකයන් ජනගහනයෙන් සියයට 85ක් පමණ වන අතර, ටූට්සි ගෝත්‍රිකයන් සියයට 14කි. මෙම වාර්ගික කණ්ඩායම් දෙක අතර ඇති ගැටුම්වල වාර්තා වී ඇති ඉතිහාසය 15වෙනි සියවස දක්වා දිවයයි. එහෙත්, මින් වැඩි කලක් මුළුල්ලේ, ඔවුන් සාමාදානයෙන් එකට ජීවත් වී තිබේ.
“අපි සමාදානයෙන් එකට ජීවත් වීමට පුරුදුව සිටියා” යනුවෙන් ෂයරේ නැගෙනහිරින් සැතපුම් කිහිපයක දුරින් පිහිටි රූගාන්ඩා නම් ගමේ ජීවත්වන හූටූ සහ ටූට්සි ගෝත්‍රිකයන් 3,000 ගැන විසිනව හැවිරිදි කාන්තාවක් පැවසුවාය. කෙසේවෙතත්, හූටූ කල්ලි විසින් අප්‍රියෙල් මාසයේදී ආරම්භ කරනු ලැබූ සංහාරවලින් එම ගමේ විසූ ටූට්සි ගෝත්‍රිකයන් මුළුමනින්ම පාහේ සමූලඝාතනය කර දමන ලදි. ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ පැහැදිලි කළේය:
“මෙම ගමේ කථාව මුළු රුවන්ඩාවේම කථාවයි: හූටූ සහ ටූට්සි ගෝත්‍රිකයන් එකට ජීවත් වෙමින් සිටියා, හූටූ ගෝත්‍රිකයා කවුද ටූට්සි ගෝත්‍රිකයා කවුද යන්න පවා නොසලකා, නොදැන අන්‍යොන්‍ය අවාහ විවාහ සිදු කරගනිමින් සිටියා.
“ඊළඟට යම් දෙයක් හදිසියේ කඩාපාත්වුණා. අප්‍රියෙල් මාසයේදී, හූටූ මැර කල්ලි වියරුවෙන් රට පුරා ගොස්, තමන්ට ටූට්සි ගෝත්‍රිකයන් කොහේදී හෝ හමුවුණද, ඔවුන්ව මරා දැමුවා. මරා දැමීම ආරම්භ වූ විට, ටූට්සි ගෝත්‍රිකයන් ආරක්ෂාව පතා පල්ලි කරා ගියා. මෙවන් රක්ෂස්ථාන ලේ විසිරුණු මිනී සොහොන් බවට පත් කරමින් මැරකල්ලි තම කටයුතු දිගටම කරගෙන ගියා.”
මෙම මරාදැමීම්වලට ගිනි ඇවිලුවේ කුමක්ද? ඊට හේතුව වූයේ, හූටූ ගෝත්‍රයට අයත්, රුවන්ඩාවේ සහ බුරුන්ඩිහි ජනාධිපතිවරුන් අප්‍රියෙල් 6දා කිගාලිහි ගුවන් අනතුරකින් මියයෑමයි. මෙම සිද්ධිය, කෙසේ හෝ ටූට්සි ගෝත්‍රිකයන් මත පමණක් නොව, නමුත් ඔවුන්ට අනුකම්පා කළ බවට සැක කරනු ලැබූ ඕනෑම හූටූ ගෝත්රිකයෙකුව පවා ඝාතනය කිරීමකට මඟ පෑදීය.
මේ අතරතුර, ටූට්සි පාලනයේ තිබූ ආර්. පී. එෆ්. (රුවන්ඩා දේශානුරාගී පෙරමුණ) නමැති කැරලි හමුදා සහ හූටූ පාලන ආණ්ඩුවේ හමුදා අතර සටන් ඇවිළෙන්ට විය. ජූලි මාසය වන විට, ආර්. පී. එෆ්. හමුදා, රජයේ හමුදා පරාජය කොට තිබූ අතර, කිගාලි සහ රුවන්ඩා වැඩි හරියක පාලනය සියතට ගෙන තිබුණි. පළිගැනීමට ලක්වේය යන බියෙන්, හූටූ ගෝත්‍රිකයන් සිය දහස් ගණනක් ජූලි මාසය මුල් භාගයේදී රටින් පලා ගියෝය.
වගකිව යුත්තේ කවුරුන්ද?
අප්‍රියෙල් මාසයේදී, මෙම ප්‍රචණ්ඩකාරි ක්‍රියා සැණකින් මතුවීමට හේතුව කුමක්දැයි අසනු ලැබූ විට, එක් ටූට්සි ගෝත්‍රික ගොවියෙක් පිළිතුරු දුන්නේ මෙසේයි: “ඒ නරක පාලකයන් නිසයි.”
ඇත්තවශයෙන්ම, සියවස් ගණනාවක් පුරා, දේශපාලන නායකයන් තමන්ගේ සතුරන් ගැන බොරු පතුරුවා තිබේ. “මේ ලෝකයේ පාලකයා” වන සාතන් නමැති යක්ෂයාගේ මෙහෙයවීම යටතේ, ලෞකික දේශපාලකයන්, තමන්ගේම ජනයාට ඒත්තුගන්වා ඇත්තේ, වෙනත් වර්ගයක, ගෝත්‍රයක හෝ ජාතියක මිනිසුන්ට එරෙහිව සටන් කර ඔවුන්ව මරා දැමීමටයි. (යොහන් 12:31; 2 කොරින්ති 4:4; 1 යොහන් 5:19) රුවන්ඩාවේ තත්ත්වයේද කිසිදු වෙනසක් තිබී නැත. ද නිව්යෝර්ක් ටයිම්ස් මෙසේ පැවසුවේය: “දේශපාලනඥයන් නිරතුරුව වෑයම් කර ඇත්තේ වාර්ගික පක්ෂපාතකමට හා වාර්ගික බියට අනුබල දීමටයි—හූටුවරුන් මෙසේ කර තිබෙන්නේ ආණ්ඩුව තම පාලනය යටතේ තබාගැනීමටයි; ටූට්සිවරුන් එසේ කර තිබෙන්නේ කැරලිකාර පෙරමුණට අනුබල ලබාගැනීමටයි.”
රුවන්ඩාවේ ජනතාව බොහෝ ආකාරවලින් එක සමාන වන හෙයින්, ඔවුන් එකිනෙකාට වෛර කරාවිය හෝ එකිනෙකාව මරා ගනීවිය කියා කිසිවෙකු අපේක්ෂා නොකරයි. “හූටූ හා ටූට්සි ගෝත්‍රිකයෝ එකම භාෂාව කථා කරන අතර, සාමාන්‍යයෙන් එකම සම්ප්‍රදායන් හවුලේ අනුගමනය කරති,” යයි රේමන්ඩ් බොනර් නමැති වාර්තාකරු ලීවේය. “පරම්පරා ගණනාවක් තිස්සේ අන්තර් අවාහ විවාහ සිදුවීමෙන් පසු, කායික වෙනස්කම්—එනම්, ටූට්සිවරුන් උසය, සිහින්ය, හූටූවරුන් මිටිය තරබාරුය යන්න—කොතරම් ප්‍රමාණයකට අතුරුදහන් වී ඇතිදැයි කියතොත්, යමෙක් හූටූවරයෙක්ද නැතහොත් ටූට්සිවරයෙක්ද යන්න පවා බොහෝ විට රුවන්ඩා ජාතිකයන්ට ස්ථිර නැත.”
එහෙත්, මෑතකදී ඇති වූ ප්රවෘත්ති ආක්‍රමණය විශ්වාස කළ නොහැකි බලපෑමක් ඇති කර තිබුණි. මෙම කාරණය උපහැරණය කරමින්, අප්‍රිකානු අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායමක අධ්‍යක්ෂක ඇලෙක්ස් ඩ වල් මෙසේ පැවසුවේය: “වාර්තා වෙන හැටියට, ආර්.පී.එෆ්. ප්‍රහාරවලට ගොදුරු වී තිබෙන ගැමියෝ, ටූට්සි සොල්දාදුවන්ට අං, වලිග සහ අඳුරේ දිදුලන ඇස් නොමැති වීම ගැන පුදුම වෙති—ඔවුන් සවන් දෙන ගුවන් විදුලි ප්රවෘත්තිවල ඔවුන්ට අසන්ට ලැබෙන දේ එයයි.”
දේශපාලන නායකයන් ජනයාගේ සිතිවිලි අච්චුවකට දමා අඹනවා පමණක් නොව, නමුත් ආගමද එසේ කරයි. රුවන්ඩාවේ ප්‍රධාන ආගම්වලින් සමහරක් මොනවාද? ඒවාත් ඛේදවාචකයට වගකිව යුතුව සිට තිබේද?
ආගම රඟපාන භූමිකාව
ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා, (1994) රුවන්ඩාව ගැන මෙසේ කියයි: “ජනයාගෙන් බොහොමයක් රෝමානු කතෝලිකයන්ය. . . . රෝමානු කතෝලික සභාව සහ වෙනත් ක්‍රිස්තියානි සභා ප්‍රාථමික හා උසස් පාසැල්වලින් වැඩිහරියක් පවත්වාගෙන යයි.” ඇත්තෙන්ම, නැෂනල් කැතොලික් රිපෝටර්, රුවන්ඩාව “සියයට 70කම කතෝලික ජනයා” සමන්විත රටක් යයි හැඳින්වීය.
මහා බ්‍රිතාන්‍යයේ දි ඔබ්සර්වර් ප්රකාශනය, රුවන්ඩාවේ ආගමික තත්ත්වයේ පසුබිම ගැන මෙසේ පැහැදිලි කරයි: “අධ්‍යාපන ක්‍රමය පාලනය කිරීමට පල්ලි විසින් පොරබැදීමක නියැලී සිටි 1930 ගණන් අතරතුරේදී, කතෝලිකයන් ටූට්සි රදළවරුන්ගේ ආණ්ඩුපාලනයට සහයෝගය දුන් අතර, රෙපරමාදුවරු පීඩාවට ලක්වී සිටි හූටූ බහුතරය සමඟ හවුල් වූහ. වර්ෂ 1959දී, හූටූවරු බලය අල්ලාගෙන, ඉතා ශීඝ්‍රයෙන් කතෝලිකයන්ගේ සහ රෙපරමාදුවරුන්ගේ අනුග්‍රහය භුක්ති විඳීමට පැමිණියෝය. හූටූ බහුතරයට ලැබෙන රෙපරමාදු අනුබලය ඉතා ශක්තිමත්ව පවතී.”
නිදසුනක් වශයෙන්, රෙපරමාදු පල්ලි නායකයන්, මෙම ඝාතනය හෙළාදැක තිබේද? දි ඔබ්සර්වර් මෙසේ පිළිතුරු දෙයි: “රුවන්ඩාවේ පල්ලිවල ආසන අතර මැද හිඩැස, හිසගසා දමා තිබූ දරුවන්ගේ සිරුරුවලින් පුරවා තිබූ මිනීමරුවන්ව හෙළාදකින්නේදැයි පූජකයන් [එංගලන්ත සභාවේ] දෙදෙනෙකුගෙන් අසන ලදි.
“ඔවුහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු එම ප්‍රශ්න මඟහැරියෝය, කලබල වූහ, ඔවුන්ගේ කටහඬවල් වියවුල් වූ උස් හඬක් ගත්තේය, තවද රුවන්ඩාවේ අර්බුදවල ගැඹුරු මුල එළියට ආවේය—එනම්, මිනීමැරුම දේශනාකර, ලේවලින් ගංගාවල් පුරවා ඇති දේශපාලන නායකයන්ගේ ප්‍රධාන ඉත්තන් ලෙස එංගලන්ත සභාවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් වැඩිදෙනෙකු ක්‍රියා කර තිබේ.”
ඇත්තවශයෙන්ම, රුවන්ඩාවේ ක්‍රිස්තියානි ලෝකයට අයත් පල්ලි, වෙනත් තැන්වල තිබෙන පල්ලිවලට වඩා කිසිදු වෙනසක් නැත. නිදසුනක් වශයෙන්, 1වන ලෝක යුද්ධයේදී දේශපාලන නායකයන්ට ඔවුන් දැක්වූ අනුබලය සම්බන්ධව බ්‍රිතාන්‍ය බ්‍රිගේඩියර් ජනරාල් මෙසේ පැවසීය: “ලේ වැගිරවීමේ ආශාව පොලඹවන දක්ෂතම අය වන්නේ ක්‍රිස්තියානි පල්ලිය, ඇරත් අපි ඔවුන්ගෙන් හොඳට ප්‍රයෝජන ගෙන ඇත්තෙමු.”
එසේය, සිදුවූ දෙයට විශාල වශයෙන් වගකිව යුත්තෝ ආගමික නායකයෝය! වර්ෂ 1994 ජූනි 3දා නැෂනල් කැතොලික් රිපෝටර් මෙසේ වාර්තා කළේය: “අප්‍රිකානු ජාතීන් කරන සටන්වලට, ‘අභාග්‍යසම්පන්න ලෙස කතෝලිකයන් පවා වගකිව යුතු නියම හා සැබෑ ජාති ඝාතනයක් ඇතුළත්’ බව පාප් පැවසුවේය.”
පැහැදිලිවම, යෙසායා 2:4 සහ මතෙව් 26:52 වැනි ශුද්ධ ලියවිලි මත පදනම් වූ සැබෑ ක්‍රිස්තියානි ධර්මය ඉගැන්වීමට පල්ලි අසමත් වී තිබේ. ප්‍රංශ පුවත්පතක් වන ල මොන්ඩ් අනුව, එක් පූජකයෙක් සංවේගයෙන් මෙසේ පළ කර සිටියේය: “තමන් සහෝදරයන් බව මුළුමනින්ම අමතක කරමින්, ඔවුහු එකිනෙකාව මරා ගනිති.” තවත් රුවන්ඩානු පූජකයෙක් ඇත්තවශයෙන්ම මෙසේ පිළිගත්තේය: “සියවසක් මුළුල්ලේ ප්‍රේමය හා සමාව දීම ගැන දේශනා ඇසීමෙන් පසු ක්‍රිස්තියානීහු තවත් ක්‍රිස්තියානීන් විසින් මරාදමනු ලැබ සිටිති. සියල්ල අසාර්ථක වී තිබේ.” ල මොන්ඩ් මෙසේ ඇසීය: “බුරුන්ඩි සහ රුවන්ඩාහි යුද්ධයට පටලැවී සිටින ටූට්සි හා හූටූ ගෝත්‍රිකයන් එකම ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් පුහුණු කරනු ලැබූ බවත්, එකම පල්ලිවලට ගිය බවත් සිතීමෙන් වැළකී සිටීමට යමෙකුට හැක්කේ කෙසේද?”
සැබෑ ක්‍රිස්තියානීන් වෙනස්ය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෝ “එකිනෙකාට ප්‍රේමකරපල්ලා” යයි උන්වහන්සේ දුන් නියෝගයට ඇලී සිටිති. (යොහන් 13:34) යේසුස්වහන්සේ හෝ උන්වහන්සේගේ ප්‍රේරිතයෙක් දැළි පිහියක් රැගෙන යමෙකුගේ බෙල්ල කපා දමනවා ඔබට සිතාගන්ට පුළුවන්ද? එවන් නීතිවිරෝධි මිනීමැරුම් කරන අයව හඳුන්වන්නේ, “යක්ෂයාගේ දරුවෝ” කියාය.—1 යොහන් 3:10-12.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, සාතන් නමැති යක්ෂයාගේ පාලනය යටතේ සිටින ලෝකයේ දේශපාලකයන් විසින් උල්පන්දම් දෙනු ලබන යුද්ධවල, විප්ලවවල හෝ වෙනයම් ගැටුම්වල මොනම අන්දමකින්වත් සහභාගි නොවෙති. (යොහන් 17:14, 16; 18:36; එළිදරව් 12:9) ඒ වෙනුවට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එකිනෙකා සඳහා අව්‍යාජ ප්‍රේමය නිරූපනය කරති. මෙසේ, මෙම ඝාතන සිදුවන අතරතුරේදී, හූටූ සාක්ෂිකරුවෝ තම ටූට්සි සහෝදරයන්ගේ ආරක්ෂා සඳහා ගන්නා ලද ප්‍රයත්නවලදී තම ජීවිතය පරදුවට තබා කටයුතු කළෝය.
එහෙත්, එවන් ඛේදවාචක ගැන පුදුම නොවිය යුතුය. “මේ දේවල පිළිවෙළේ සමාප්තිය” ගැන යේසුස්වහන්සේගේ අනාවැකියේදී, උන්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “එවිට මිනිසුන් . . . නුඹලා මරන්නෝය.” (මතෙව් 24:3, 9, NW) ඇදහිලිවන්තයන්ව, මළවුන්ගේ නැවත නැගිටීමේදී සිහිකරනු ඇති බවට යේසුස්වහන්සේ පොරොන්දු වීම සන්තෝෂයට හේතුවකි.—යොහන් 5:28, 29.
මේ අතරතුර, රුවන්ඩාවේ සහ සෑම තැනකම සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, එකිනෙකාට ප්‍රේම කිරීම මගින් තමන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බව ඔප්පු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. (යොහන් 13:35) ඔවුන්ගේ ප්‍රේමය වන්නේ, මේ සමඟ පළවෙන “අනාථ කඳවුරුවල සිටින සාක්ෂිකරුවෝ” නම් වාර්තාවේ හෙළි කරන්නාක් මෙන්, මෙම වත්මන් දුෂ්කරතා මැද සාක්ෂියක් දීමයි. යේසුස්වහන්සේ සිය අනාවැකියේ මෙසේ පැවසූ බව මතක තබාගැනීමට අප සියල්ලන්ටම අවශ්‍යය: “අන්තිමය දක්වා විඳදරාගෙන සිටින්නා ගළවනු ලබනවා ඇත.”—මතෙව් 24:13, NW.
[29වන පිටුවේ කොටුව]
අනාථ කඳවුරුවල සිටින සාක්ෂිකරුවෝ
මේ වසරේ ජූනි මාසය වන විට, සාක්ෂිකරුවෝ සහ ඔවුන්ගේ මිත්‍රයෝ 4,700කට වැඩි සංඛ්‍යාවක් අනාථ කඳවුරුවල සිටියහ. ෂයරේ රටේ, ගෝමාහි 2,376ක්ද බුකාවුහි 454ක්ද, යූවිරාහි 1,592ක්ද සිටියහ. මීට අමතරව, ටැන්සානියාවේ බෙනාකෝ නමැති ගමේ 230ක්ද වූහ.
අනාථ මධ්‍යස්ථාන කරා යෑම නිකම්ම පහසු දෙයක් වූවා නොවේ. සාක්ෂිකරුවන් 60කින් යුත් එක් සභාවක්, ටැන්සානියාවේ අනාථ කඳවුරුවලට යෑමට තිබූ එකම මඟ වන රූසූමෝ පාලම හරහා යෑමට උත්සාහ කළෙය. ඒ හරහා ඔවුන් යෑමට ඉඩ නොදෙනු ලැබූ විට, ඔවුහු එම ගඟේ ඉවුරු දිගේ සතියක් පමණ ගමන් කළෝය. අනතුරුව ඔරුවලින් ගඟ හරහා යෑමට තීරණය කළහ. ඉන් සාර්ථක වූ ඔවුහු, දවස් ස්වල්පයකට පසුව, ටැන්සානියාවේ කඳවුරුවලට ආරක්ෂා සහිතව ළඟාවූහ.
වෙනත් රටවල සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ විශාල සහනාධාර සංවිධානය කළහ. ප්‍රංශයේ සාක්ෂිකරුවෝ රෙදි ටොන් සිය ගණනකට වඩා වැඩියෙන්ද, සපත්තු ටොන් නවයක්ද එකතු කළ අතර, එවන් සැපයුම් සමඟ පෝෂ්‍යදායක ආහාර වර්ග හා බෙහෙත්හේත්ද අවශ්‍ය ප්‍රදේශවලට යවන ලදි. කෙසේවෙතත්, බොහෝ විට, අනාථ කඳවුරුවල සහෝදරයන් ඇසූ පළමු දෙය වූයේ බයිබලයක්, මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවක්ය.
තම අස්ථානගත වූ සහෝදරයන්ව බැලීමට හා ඔවුන්ට උපකාර කිරීමට, ෂයරේ සහ ටැන්සානියාවේ සිට පැමිණි සාක්ෂිකරුවන් විසින් පෙන්වන ලද ප්‍රේමය බොහෝ නිරීක්ෂණකයන්ගේ හද බැඳගත්තේය. “ඔබගේ ආගමේ අය නම් ඔබව බලන්ට ආවා, නමුත් අපගේ පූජකයන්ගෙන් එක්කෙනෙක්වත් අපව බලන්ට ආවේ නැහැ” අනාථයෝ කියති.
සාක්ෂිකරුවන් කඳවුරුවල හොඳින් ප්‍රසිද්ධ වූයේ, බොහෝකොටම, ඔවුන්ගේ එක්සත්කම, පිළිවෙළ සහ ප්‍රේමනීය ස්වභාවය නිසාය. (යොහන් 13:35) ටැන්සානියාවේ බෙනාකෝහි සාක්ෂිකරුවන්ට, 2,50,000ගෙන් පමණ සමන්විත අනාථ කඳවුරේ සිටින තම සෙසු සාක්ෂිකරුවන්ව සොයාගැනීමට ගත වූයේ විනාඩි 15ක් පමණක් බව මෙහිලා සටහන් කිරීම වටී.