සැබෑ දෙවියන්වහන්සේට භයවීමේ ප්‍රයෝජන
“ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වන මමය.”—යෙසායා 48:17.
1. දේව භය මගින් කිනම් විපත්ති වළකාලිය හැකිව තිබුණිද?
ආදම් දේව භය වගා කොට තිබුණා නම්, ඔහුගේ සදාකාල මරණයටද, ඔහුගෙන් පැවතෙන්නන් සඳහා තිබූ වසර දහස් ගණනක ශෝකයටද, තුඩු දුන් පාපයෙන් ඔහුව වළක්වාලීමට එයට හැකිකම තිබිණ. ඉපැරණි ඉශ්රායෙල් ජාතිය යෙහෝවඃවහන්සේට භයවීමට හා ප්‍රේම කිරීමට වූ උන්වහන්සේගේ උපදෙසට අවනත වී තිබුණි නම්, එම ජාතියව බබිලෝනියේ වහල්භාවයට ගෙන යෑමටවත්, ඔවුන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාව එපා කිරීමෙන් උන්වහන්සේගේ රුධිරය වැගිරවීමෙන් වැරදිකරුවන් වීමටවත් නොතිබිණ. අදදින ලෝකය දෙවියන්වහන්සේට භයවී නම්, ආණ්ඩුවල හෝ ව්‍යාපාර තුළ දූෂණය නොතිබෙනු ඇත, අපරාධ නොතිබෙනු ඇත, යුද්ධ නොතිබෙනු ඇත.—හිතෝපදේශ 3:7.
2. අප අවට තිබෙන ලෝකයේ තත්වය කුමක් වුවත්, අප යෙහෝවඃවහන්සේ කෙරෙහි භය වගා කළ යුත්තේ මන්ද?
2 කෙසේවුවද, අප අවට ලෝකය කුමක් කළත්, පුද්ගලයන් වශයෙන්, පවුල් වශයෙන් හා යෙහෝවඃවහන්සේගේ සේවකයන්ගේ සභාවන් වශයෙන්, අපට සැබෑ දෙවියන්වහන්සේ කෙරෙහි භය වගා කිරීමෙන් ප්‍රයෝජන ලැබිය හැක. මෙය, මෝසෙස් ඉශ්රායෙල් ජාතියට දුන් මෙම සිහිගැන්වීමට අනුකූලය: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත් නුඹේ යහපත පිණිස . . . ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (ද්විතීය කථාව 10:12, 13) අප සැබෑ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට භය වන විට, අපට පැමිණෙන ප්රයෝජනවලින් සමහරක් මොනවාද?
ප්‍රඥාව—රන්වලටත් වඩා අනර්ඝය
3. (අ) අප ලබාගත හැකි ප්‍රධානතම ප්‍රයෝජනය කුමක්ද? (ආ) ගීතාවලිය 111:10හි අර්ථය කුමක්ද?
3 ප්‍රධානතම ප්‍රයෝජනය නම් සැබෑ ප්‍රඥාවය. ගීතාවලිය 111:10 මෙසේ ප්‍රකාශ කරයි: “ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය.” මින් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රඥාව වනාහි, ගැටලු විසඳාගැනීමට, අන්තරාවලින් වැළකී සිටීමට, එමෙන්ම එක්තරා ඉලක්කයන් අත්කරගැනීමට දැනුම සාර්ථකව යොදාගැනීමට ඇති හැකියාවය. හොඳ විනිශ්චයක් ඊට ඇතුළත් වෙයි. මෙහි ආරම්භය, පළමු කොටස, එනම් එවැනි ප්‍රඥාවේ අත්තිවාරම, යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීමය. ඒ මන්ද? සියලු මැවිලි උන්වහන්සේගේ හස්තයේ ක්‍රියාව නිසාය. ඒවා රඳාපවතින්නේ උන්වහන්සේ මතය. උන්වහන්සේ මිනිස්වර්ගයාට නිදහස් කැමැත්ත දානය කළ නමුත්, ඒ තමන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් තොරව සාර්ථකව ඔවුන්ගේම පියවර මෙහෙයවීමේ හැකියාව ඇතුව නොවේ. (යෝෂුවා 24:15; යෙරෙමියා 10:23) අපට දිගුකාලීන සාර්ථකත්වය ලබාගත හැක්කේ අප ජීවිතය පිළිබඳ මෙම මූලික සත්‍යයන් අගය කර, ඊට අනුකූලව ජීවත් වුවහොත් පමණි. දෙවියන්වහන්සේගේ කැමැත්ත සහතිකවම සාර්ථක වන බවටත්, ඇදහිලිවන්තව සිටින්නන්ට විපාක දීමට උන්වහන්සේ කළ පොරොන්දු සහ ඒ සඳහා උන්වහන්සේට ඇති හැකියාව ස්ථිර බවටත්, අචල නිසැකකමක් යෙහෝවඃවහන්සේ පිළිබඳ දැනුමෙන් අපට ලබාදෙයි නම්, ඥානවන්තව ක්‍රියා කිරීම සඳහා දේව භය අපව පොලඹවනවා ඇත.—හිතෝපදේශ 3:21-26; හෙබ්‍රෙව් 11:6.
4, 5. (අ) එක් යෞවන මිනිසෙකුගේ සරසවි අධ්‍යාපනයෙන් ඔහුට සැබෑ ප්‍රඥාව ලබාගත නොහැකි වූයේ මන්ද? (ආ) මෙම මිනිසා සහ ඔහුගේ භාර්යාව පසුව නියම ප්‍රඥාව අත්කරගත්තේ කෙසේද, මෙය ඔවුන්ගේ ජීවිත වෙනස් කළේ කිනම් ආකාරයෙන්ද?
4 උදාහරණයක් සලකා බලන්න. මීට දශක කිහිපයකට පෙර, එක් යෞවනයෙක් කැනඩාවේ සස්කච්චාන් සරසවියට යමින් සිටියේය. ජීව විද්‍යාව ඔහුගේ විෂය මාලාවට ඇතුළත් වූ අතර, ඔහුට පරිණාමවාදය උගන්වනු ලැබීය. තම උපාධියෙන් පසු, හේ පරමාණුක භෞතික විද්‍යාව විශේෂයෙන් හැදෑරූ අතර, ටොරොන්ටෝ සරසවියේ තම අධ්‍යයන කටයුතු දිගටම කරගෙන යෑම සඳහා ශිෂ්‍යත්වයක් ලැබීය. ඔහු තම අධ්‍යයන කටයුතු කරගෙන යනවාත් සමඟම, පරමාණුක ව්‍යූහයන්හි පිළිවෙළ හා නිර්මාණය පිළිබඳ පුදුමාකාර සාක්ෂි දුටුවේය. එහෙත්, මේ සියල්ල නිර්මාණය කළේ කවුද? කවදාද? මන්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට ලබා දී නොතිබිණ. මෙම ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිව, එවකට යුද්ධය මැද පැවති ලෝකයේ තම දැනුම ඥානවන්තව යොදාගැනීමට ඔහුට හැක්කේ කෙසේද? ඔහුට මඟ පෙන්වන්ට යන්නේ කුමක්ද? ජාතිවාදයද? ද්‍රව්‍යමය විපාක සඳහා වූ ආශාවද? ඇත්තටම, ඔහු සැබෑ ප්‍රඥාව අත්කරගෙන තිබුණාද?
5 සිය උපාධිය ලැබීමෙන් වැඩි කල්යෑමට පෙර, එම යෞවන මිනිසා හා ඔහුගේ භාර්යාව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්ට පටන්ගත්හ. මීට පෙර තමන්ට ලබාගත නොහැකිව තිබූ පිළිතුරු ඔවුහු දෙවියන්වහන්සේගේ වචනයෙන් ලබාගැනීමට පටන්ගත්තෝය. ඔවුහු මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේව දැනගැනීමට පැමිණියෝය. රතු මුහුද අසල මෝසෙස් ගැන හා බබිලෝනියාවේ දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තිදෙනා ගැන ඔවුන් උගනිත්ම, මිනිසුන්ට නොව, නමුත් දෙවියන්වහන්සේට භයවීමේ වැදගත්කම ඔවුහු ඉගෙනගත්හ. (නික්මයාම 14:10-31; දානියෙල් 3:8-30) යෙහෝවඃවහන්සේ කෙරෙහි සැබෑ ප්‍රේමය හා මුසුවූ එවැනි දේව භයක් ඔවුන්ව පොලඹවන්ට පටන්ගත්තේය. වැඩිකල් යෑමට මත්තෙන්, ඔවුන්ගේ මුළු ජීවිත මාර්ගය වෙනස් විණ. මෙම යෞවන මිනිසා, අවසානයේදී තමා ජීව විද්‍යාව හදාරන විට ඉගෙනගෙන තිබූ හස්තකර්මාන්ත කාගේදැයි දැනගත්තේය. හේ තමා භෞතික විද්‍යාව හදාරන විට දැක තිබූ ප්‍රඥාව අයිති තැනැත්තාගේ අරමුණ වටහාගන්ට පටන්ගත්තේය. තම සෙසු මිනිසුන්ව විනාශ කරන උපකරණ නිපදවීම සඳහා, තම දැනුම භාවිත කරනවා වෙනුවට, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට සහ තම අසල්වාසීන්ට ප්‍රේම කිරීමට අන්‍යයන්ට උපකාර කිරීමට ඔහුට මෙන්ම ඔහුගේ භාර්යාවටද වුවමනා විය. ඔවුහු දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රකාශකයන් වශයෙන් පූර්ණ-කාලීන සේවයට බැඳුණාහ. පසුව, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්ට පැමිණ, මිෂනාරිවරුන් ලෙස සේවය කරා යවනු ලැබූහ.
6. යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තුළ මුල් බැසගත් ප්‍රඥාව අපට තිබේ නම්, කිනම් අදූරදර්ශී ලුහුබැඳීම්වලින් අප වළකිනු ඇත්ද, තවද ඒ වෙනුවට අප කුමක් කරමින් සිටිනු ඇත්ද?
6 ඇත්තවශයෙන්ම, සෑම කෙනෙකුටම මිෂනාරිවරයෙකු විය නොහැක. එහෙත්, යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තුළ මුල් බැස ඇති ප්‍රඥාව භුක්ති විඳීමට අප සියල්ලන්ටම හැකිය. අප එම ප්‍රඥාව වගා කරන්නේ නම්, ජීවිතයේ සියල්ල ගැන නිකම්ම සැක කරන මිනිසුන්ගේ දර්ශනවාදයන් අප ඉතා උනන්දුවෙන් උරාගන්ට යන්නේ නැත. අපට සදාකාල ජීවනය දිය හැකි එකම තැනැන්වහන්සේද ජීවනයේ උල්පතද වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආනුභාවය ලැබූ බයිබලය අධ්‍යයනය කිරීමට අප අපවම යොදාගන්නවා ඇත. (ගීතාවලිය 36:9; කොලොස්සි 2:8) දැනටමත් විනාශයේ අද්දර වැනෙමින් පවතින වාණිජ ක්රමයේ වහලුන් බවට පත්වෙනවා වෙනුවට, අපේ ජීවිතයේ ප්‍රධානතම වැදගත් දෙය දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ සබඳතාව බවට පත් කරගනිමින්, ආහාර හා ඇඳුම් සමඟින් සෑහීමට පත්වෙන ලෙසට යෙහෝවඃවහන්සේ දී ඇති උපදෙසට අපි අවනත වන්නෙමු. (1 තිමෝති 6:8-12) අපගේ අනාගතය, මේ ලෝකයේ සැපපහසු ධනවත්කම මත රඳා තිබෙනවා යයි සිතා, ක්‍රියා කරනවා වෙනුවට, මේ ලෝකයත් එහි තෘෂ්ණාවත් පහව යන බවත්, නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදහටම පවතින බවත්, යෙහෝවඃ වහන්සේගේ වචනය පවසන විට, අපි එය විශ්වාස කරන්නෙමු.—1 යොහන් 2:17.
7. (අ) සාරධර්ම පිළිබඳව සමබර හැඟීමක් ඇතිව සිටීමට අපට හිතෝපදේශ 16:16 උපකාර කරන්නේ කෙසේද? (ආ) දේව කැමැත්ත කිරීම අපගේ ජීවිතවල ප්‍රධානතම දෙය කරගැනීමෙන් ලැබෙන විපාක කවරේද?
7 හිතෝපදේශ 16:16 මෙය සත්‍යය ලෙස ප්‍රකාශ කරමින් අපව මෙසේ දිරිගන්වයි: “ප්‍රඥාව [යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීමත් සමඟ ආරම්භ වන ප්‍රඥාව] ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.” එවැනි ප්‍රඥාව සහ අවබෝධය, දේව කැමැත්ත කිරීම අපගේ ජීවිතවල ප්‍රධානතම දෙය බවට පත් කරගැනීමට අපව පොලඹවයි. තවද මිනිස් ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදයේදී යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්හට වගකීමෙන් යුතුව භාරකර ඇති වැඩය කුමක්ද? ස්වකීය රාජ්‍යය ගැන දේශනා කිරීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අව්‍යාජ ගෝලයන් බවට පත්වීමට අවංක හෘද ඇති අයට උපකාර කිරීමය. (මතෙව් 24:14; 28:19, 20) සැබෑ තෘප්තිය සහ බොහෝ සන්තෝෂය විපාක හැටියට ලබාදෙන වැඩය මෙයයි. එසේනම්, “ප්‍රඥාව සොයාගෙන ඇති මනුෂ්‍යයා සන්තෝෂවත්ය” කියා බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතුවය.—හිතෝපදේශ 3:13, NW.
වැරදි කිරීමට එරෙහිව ආරක්ෂාවක්
8. (අ) දෙවියන්වහන්සේට භයවීමෙන් ලැබෙන දෙවන ප්‍රයෝජනය නම් කරන්න. (ආ) අප ආරක්ෂාවන්නේ කිනම් නපුරකට එරෙහිවද? (ඇ) දේව භය පෙලඹවීමේ ප්‍රබල බලවේගයක් බවට පත්වන්නේ කෙසේද?
8 දෙවියන්වහන්සේට භයවීමෙන් ලැබෙන දෙවන ප්‍රයෝජනය නම්, මෙනයින් අප නරක දේ කිරීමට එරෙහිව ආරක්ෂා වීමය. දෙවියන්වහන්සේට ගැඹුරු ලෙස ගෞරව කරන අය, හරි දේ සහ වැරදි දේ කුමක්ද කියා තමුන් විසින්ම තීරණය කරන්නේ නැත. දෙවියන්වහන්සේ යහපත කියා පවසන දේ නරක ලෙසට ඔවුන් දකින්නේවත්, දෙවියන්වහන්සේ නරක යයි පවසන දේ ඔවුන් යහපත හැටියට සලකන්නේවත් නැත. (ගීතාවලිය 37:1, 27; යෙසායා 5:20, 21) එපමණක්ද නොව, දේව භයින් පොලඹවනු ලබන පුද්ගලයෙක්, යහපත යයි යෙහෝවඃවහන්සේ පවසන දෙය සහ නරක යයි උන්වහන්සේ පවසන දෙය නිකම්ම දැනගැනීමෙන් නොනවතී. එවන් පුද්ගලයෙක් යෙහෝවඃවහන්සේ ප්‍රේම කරන දෙයට ප්‍රේම කරයි එමෙන්ම යෙහෝවඃවහන්සේ වෛර කරන දෙයට වෛර කරයි. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට එකඟවය. මෙසේ, හිතෝපදේශ 16:6හි ප්‍රකාශ කර ඇති පරිදි, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.” යම් පුද්ගලයෙකුට තමාගේම ශක්තියෙන් කරගැනීමට නොහැකි දෙයක් ඉටුකරගැනීම පිණිස, එවැනි දේව භයක් ඔහු තුළ පොලඹවනසුලු ප්‍රබල බලවේගයක් බවට පත්වේ.
9. දෙවියන්වහන්සේව අසතුටු කිරීමට මෙක්සිකෝවේ එක් කාන්තාවක් තුළ වූ ආශාව ඇගේ තීරණයකට බලපෑවේ කෙසේද, තවද කිනම් ප්‍රතිඵලයක් සමඟද?
9 යම් පුද්ගලයෙකු තුළ දේව භය ගොඩනැඟීමට පටන්ගන්නවා විය හැකි වුවත්, තම ඉතිරි ජීවිතය මුළුල්ලේම පසුතැවිලිවීමට හේතුකරවිය හැකි යමක් කිරීමෙන් ඔහුව ආරක්ෂා කරන්ට එයට පිළිවන. නිදසුනක් වශයෙන්, මෙක්සිකෝවේ එක් ගර්භිණී කාන්තාවක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියකගෙන් ගබ්සාව පිළිබඳව විමසුවාය. ශුද්ධ ලියවිලි පද කිහිපයක් කියවූ සාක්ෂිකාරිය මෙම කාන්තාවට මෙසේ කරුණු පැහැදිලි කර දුන්නාය: “මැවුම්කරුවාණන්ට ජීවිතය ඉතා වැදගත්, තවමත් ඉපදී නැති අයගේ ජීවිතය පවා උන්වහන්සේට වැදගත්.” (නික්මයාම 21:22, 23; ගීතාවලිය 139:13-16) ඇයට ඉපදෙන්ට සිටින දරුවා අසාමාන්‍ය දරුවෙකු වනු ඇති බව සායන පරීක්ෂාවලින් අඟවා තිබිණ. එහෙත්, දැන් දෙවියන්වහන්සේගේ වචනයෙන් දුටු දෙයින් පොලඹවනු ලැබ සිටි මෙම කාන්තාව, තම දරුවාව ලබාගැනීමට තීරණය කළාය. ඇගේ වෛද්‍යවරයා ඇයව යළිත් දැකීම ප්‍රතික්ෂේප කළේය, ඇගේ ස්වාමි පුරුෂයා ඇයව අත්හරින බවට තර්ජනය කළේය, නමුත් ඈ ස්ථිරව සිටියාය. කල්යත්ම, ඈ සාමාන්‍ය, සෞඛ්‍යසම්පන්න ලස්සන දැරියක් ප්‍රසූත කළාය. කෘතඥතාවෙන් පෙලඹුණු ඈ, සාක්ෂිකරුවන් සොයා ගිය අතර, ඔවුහු ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්හ. අවුරුද්දක් ඇතුළත ඈ සහ ඇගේ ස්වාමි පුරුෂයා බව්තීස්ම ලැබුවෝය. වසර කිහිපයකට පසුව දිස්ත්‍රික් සමුළුවකදී, පළමු සාක්ෂිකාරියව ඔවුන්ට හමුවූයෙන්, ඔවුහු ඉතා ප්‍රීතියෙන් තම සිවු වියැති දියණියව ඇයට හඳුන්වා දුන්හ. දෙවියන්වහන්සේ කෙරෙහි නිසි ගෞරවය හා උන්වහන්සේ අසතුටු කිරීමට ඇති, දැඩි ආශාව යමෙකුගේ ජීවිතය තුළ ප්‍රබල බලපෑමක් කරනවා සහතිකය.
10. කිනම් ආකාර වැරදිවලින් ගැළවී යෑමට ජනයාව ශක්තිමත් කිරීමට දේව භයට හැකිද?
10 දේව භය අපව පුළුල් පරාසයක වැරදි කිරීමට එරෙහිව ආරක්ෂා කරයි. (2 කොරින්ති 7:1) නිසි ලෙස වගා කරනු ලැබූ විට, එය පුද්ගලයෙකුට, තමා සහ යෙහෝවඃවහන්සේ පමණක් දන්නාවූ රහස් පව් කිරීම නැවැත්වීමට උපකාර කළ හැක. මත්පැන් අනිසි භාවිතයට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට වහල්වීමෙන් ගැළවී යෑමට ඔහුට උපකාර කිරීමට එයට හැක. දකුණු අප්‍රිකාවේ කලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි තැනැත්තෙක් මෙසේ පැහැදිලි කළේය: “මා දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම ලබනවාත් සමඟම, උන්වහන්සේගේ සිත රිදවීමේ නැතහොත් උන්වහන්සේව අප්‍රසන්න කිරීමේ භයක්ද මා තුළ වර්ධනය කරගත්තා. මා දැන සිටියා උන්වහන්සේ බලාසිටින බව, ඒ වගේම උන්වහන්සේගේ ඇස් ඉදිරියේ අනුමැතිය ලැබීමට මා තුළ දැඩි ආශාවක් තිබුණා. මා ළඟ තිබූ මත්ද්‍රව්‍ය වැසිකිළියට දමා ඉවත් කිරීමට එය මාව පෙලඹෙව්වා.” දේව භය, මේ හා සමාන ආකාරවලින් දහස් ගණනකට උපකාර කොට තිබේ.—හිතෝපදේශ 5:21; 15:3.
මනුෂ්‍යයන්ට භයවීමට එරෙහිව ආරක්ෂාව
11. යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇති සුවදායක භයෙන් අපව ආරක්ෂා කළ හැක්කේ කිනම් පොදු මළපතට එරෙහිවද?
11 දෙවියන්වහන්සේ කෙරෙහි වූ සනීපදායක භය මනුෂ්‍යයන්ට භයවීමට එරෙහිවද අපව ආරක්ෂා කරයි. බොහෝදෙනෙකුට වැඩි හෝ අඩු තරමකට මනුෂ්‍යයන් කෙරෙහි ඇති භය බලපා තිබේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෝ පවා, ගෙත්සෙමනේ උයනේදී හේවායන් විසින් උන්වහන්සේව අල්ලාගත් විට, උන්වහන්සේව අතහැර පලාගියෝය. පසුව, උත්තම පූජකයාගේ මළුවේදී භීතියේ ග්‍රහණයට හසුවී මානසික සමබරතාව නැති කරගත් පේතෘස්, තමා යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙකු බව ප්‍රතික්ෂේප කර, තමා උන්වහන්සේව දන්නේවත් නැතැයි කියා සිටියේය. (මාර්ක් 14:48-50, 66-72; යොහන් 18:15-27) එහෙත්, ආත්මික සමබරතාව යළිත් ලබාගැනීමට ප්‍රේරිතයන්ට උපකාර ලැබිණ. අනික් අතට, යෙහෝයාකීම් රජුගේ දවස්වලදී, ෂෙමායාගේ පුත්‍ර වූ උරියා භයෙන් කොතරම් යටපත්වී ගියාද කිවහොත්, යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරයෙකු ලෙස ඔහු සිය සේවය අතහැර රටින් පලා ගියද, සිදුවූයේ ඔහුව අල්ලාගනු ලැබ මරාදමනු ලැබීමයි.—යෙරෙමියා 26:20-23.
12. (අ) මනුෂ්‍යයන්ට ඇති භයට එරෙහිව කිනම් ආරක්ෂාවකට හිතෝපදේශ 29:25 යොමු දක්වන්නේද? (ආ) දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය වර්ධනය වන්නේ කෙසේද?
12 මනුෂ්‍යයන්ට ඇති භයෙන් ජයගැනීමට යම් පුද්ගලයෙකුට උපකාර කළ හැක්කේ කුමකටද? “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය” අනතුරු ඇඟවීමෙන් පසු, හිතෝපදේශ 29:25 මෙසේද පවසයි: “එහෙත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.” යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීම මෙහි රහසය. එවන් දැඩි විශ්වාසයක් පදනම් වී ඇත්තේ දැනුම හා අද්දැකීම මතය. යෙහෝවඃවහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන් අපි උන්වහන්සේගේ මාර්ගවල නිවැරදිභාවය පිළිබඳ සාක්ෂි දකින්නෙමු. උන්වහන්සේ කෙරෙහි රඳා සිටිය හැකි බව, උන්වහන්සේගේ පොරොන්දුවල (නැවත නැගිටීමේ පොරොන්දුවද ඇතුළත්) ස්ථිරත්වය හා උන්වහන්සේගේ ප්‍රේමය හා සර්වබලධාරි බලය නිරූපනය කරන සිද්ධීන්වලට අපි හොඳින් හුරුපුරුදු වන්නෙමු. එවිට අප ඒ දැනුම මත ක්‍රියා කර, යෙහෝවඃවහන්සේ මඟ පෙන්වන දෙය කරමින්, උන්වහන්සේ අපට අනතුරු අඟවන දෙය ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටින විට, උන්වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල හා රඳාපැවතිය හැකි බව අපි කෙළින්ම අද්දැකීමට පටන්ගන්නෙමු. උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම පිණිස ස්වකීය බලය ක්‍රියාත්මක වන බවට සාක්ෂි අපි දකින්නෙමු. උන්වහන්සේ කෙරෙහි අපේ නිසැකකම වර්ධනය වන අතර, උන්වහන්සේ උදෙසා අපේ ප්‍රේමයත්, උන්වහන්සේ අසතුටු කිරීමෙන් වැළකීමට ඇති අපගේ උනන්දුමය ආශාවත්, ඒ සමඟම වර්ධනය වේ. එවැනි දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබෙන්නේ ස්ථිරසාර පදනමක් මතය. එය මනුෂ්‍යයන්ට භයවීමට එරෙහිව ප්රාකාරයක් සේ ක්‍රියා කරයි.
13. අපගේ ලෞකික රැකියාවේදී, අපගේ නිවසේදී සහ අපගේ පාසැලේදී දේව භය අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?
13 රැකියා ස්ථානයේදී වංචනික ව්‍යාපාර කටයුතුවලට හවුල්වීම අප ප්‍රතික්ෂේප කරන විට, එම රැකියා ස්ථානයේ ස්වාමියා අපව රැකියාවෙන් පහකරන බවට තර්ජනය කරයි නම්, යෙහෝවඃවහන්සේ කෙරෙහි අප තබන දැඩි විශ්වාසය දේව භය සමඟින් මුසුවී, හරි දේ කිරීම සඳහා අපව ස්ථිර කරයි. (මීකා 6:11, 12 සසඳන්න.) නොඇදහිලිකාර පවුල් සාමාජිකයන්ගෙන් පැමිණෙන විරෝධතා හමුවේ, සැබෑ නමස්කාරය තුළ අත්නෑර නියැලී සිටීමට එවන් දේව භයක් ක්‍රිස්තියානීන් දහස් ගණනකට හැකිකම ලබාදෙයි. එය පාසැල් යන යෞවනයන්ට පාසැලේදී තමන්ව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වා දීමට ධෛර්යය දෙන අතර, බයිබල් ප්‍රමිතිවලට සරදම් කරන පංතියේ ළමුන්ගෙන් පැමිණෙන හිරිහැර සමඟ සාර්ථකව කටයුතු කිරීමට එය ඔවුන්ව ශක්තිමත් කරයි. මෙසේ, නහඹර වියේ එක්තරා සාක්ෂිකාරියක් මෙසේ පැවසුවාය: “ඔවුන් සිතන දේ ඇත්තටම වැදගත් නැහැ. වැදගත් වන්නේ යෙහෝවඃවහන්සේ සිතන දෙයයි.”
14. යෙහෝවඃවහන්සේගේ ජනයාගේ ජීවිතවලට තර්ජන එල්ල කරනු ලබන විට පවා, උන්වහන්සේගේ ජනයාට ඒවායින් ජයගත හැක්කේ කෙසේද?
14 තම ජීවිතවලට තර්ජන එල්ල වී ඇති අවස්ථාවන්හි පවා යෙහෝවඃවහන්සේගේ මාර්ගවලට ස්ථිර ලෙස ඇලී සිටීමට, එම නිසැකකම සැබෑ ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කරයි. තමන් ලෝකයෙන් පීඩා අපේක්ෂා කළ යුතු බව ඔවුහු දනිති. ප්‍රේරිතයන්ට තලනු ලැබූ බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පහර දෙනු ලැබ, දුෂ්ට මිනිසුන් විසින් මරනු ලැබූ බවත්, ඔවුහු වටහාගනිති. (මාර්ක් 14:65; 15:15-39; ක්‍රියා 5:40; සසඳන්න දානියෙල් 3:16-18) එහෙත්, විඳදරාගැනීම සඳහා තමන්ව ශක්තිමත් කිරීමට යෙහෝවඃවහන්සේට හැකි බවටත්, දෙවියන්වහන්සේගේ උපකාරය සමඟින් තමන්ට ජයගත හැකි බවටත්, කිසිම සැකයක් නොමැතිව යෙහෝවඃවහන්සේ ඇදහිලිවන්තයන්ට—අවශ්‍ය නම් ස්වකීය නව ලෝකය තුළ නැවත නැගිටීමකින් හෝ විපාක දෙනු ඇති බවටත්, යෙහෝවඃවහන්සේගේ සේවකයන් තුළ පූර්ණ නිසැකකමක් තිබේ. දේව භය හා මුසුවූ, දෙවියන්වහන්සේ සඳහා වූ ඔවුන්ගේ ප්‍රේමය, උන්වහන්සේව අසතුටු කරන ඕනෑම දෙයක් කිරීමෙන් වැළකීමට ප්‍රබල ලෙස ඔවුන්ව පොලඹවයි.
15. නාට්සි වධකාගාර කඳවුරුවලදී තම අඛණ්ඩතාව පවත්වාගැනීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැකි කරවූයේ කුමක්ද?
15 එක්දහස් නවසිය තිස් ගණන්වල සහ 1940 ගණන්වල නාට්සි වධකාගාර කඳවුරුවල භීෂණයන්ට මුහුණදීමට මෙම පෙලඹීම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැකිකම ලබා දුන්නේය. ඔවුහු ලූක් 12:4, 5හි සඳහන් යේසුස්වහන්සේගේ උපදෙස් සිතට ගත්තෝය: “මාගේ මිත්‍රයෙනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවෙල්ලායයි නුඹලාට කියමි. නුමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි. නැසුවායින් පසු නිරයෙහි [ගෙහෙන්නාවෙහි, NW] හෙළන්ට බලය ඇත්තාවූ තැනැන්වහන්සේට භයවෙයල්ලා; එසේය, උන්වහන්සේටම භයවෙයල්ලා.” මේ අනුව, සාච්සන්හව්සන් කඳවුරේ සාක්ෂිකරුවෙකුව සිටි ගස්ටාව් ඖෂ්නර් පසුව මෙසේ ලීවේය: “එස්එස් නිලධාරීන් ඖගුස්ට් ඩික්මාන්ව වෙඩිතබා මරා, අප අපගේ ඇදහිල්ල අත්හරින බවට කඩදාසියක අත්සන් කළේ නැත්නම්, ඉතිරි වූ අප සියල්ලන්වම මරා දමන බවට තර්ජනය කළා. අපගෙන් කිසිවෙක් අත්සන් කළේ නැහැ. ඔවුන්ගේ උණ්ඩවලට වඩා, වැඩි භයක් අප තුළ තිබුණේ යෙහෝවඃවහන්සේව අසතුටු කිරීමටයි.” මනුෂ්‍යයන්ට භයවීම ඇදහිල්ල පාවාදීමට මඟපාදයි, නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි භයවීම යමෙකුව හරි දේ කිරීම සඳහා ශක්තිමත් කරයි.
ජීවිතය ආරක්ෂා කිරීම
16. ජලගැල්ම දක්වා දශකයක් පාසා දශකයක් හරි මාර්ගයේ රැඳී සිටීමට නෝවාට හැකිකම ලබා දුන්නේ කුමක්ද, තවද ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ලැබුණු විපාකය කුමක් වීද?
16 ජලගැල්මට පෙරවූ ලෝකයේ අන්තිම දවස්වලින් නෝවා බේරී ජීවත් වූයේය. එම අවදියේ තිබූ දුෂ්ට ලෝකය විනාශ කිරීමට යෙහෝවඃවහන්සේ තීරණය කොට තිබුණේ, මිනිසාගේ නපුරුකම නිසාය. කෙසේවෙතත්, මේ අතරතුර, නෝවා සිටියේ ප්‍රචණ්ඩත්වයෙන්, බහුල දුරාචාරයෙන් පිරි, එමෙන්ම දිව්‍ය කැමැත්තට උදාසීනබවක් දැක්වූ ලෝකයක් තුළය. නෝවාගේ ධර්මිෂ්ඨකමේ දේශනාව මධ්‍යයෙහි පවා, ‘ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් ගසාගෙන යන තුරු ඔවුහු එය ගණනකට නොගත්හ.’ (මතෙව් 24:39, NW) එහෙත්, නෝවා, තමා ඉදිරියේ දෙවියන්වහන්සේ තබා තිබූ වැඩය කිරීමෙන් පසුබට වූයේ නැත. ඔහු “එසේ කළේය; දෙවියන්වහන්සේ ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.” (උත්පත්ති 6:22) වසරක් වසරක් පාසා ජලගැල්ම දක්වා නෝවාව සිය ගමන් මඟෙහි තැබුවේ කුමක්ද? හෙබ්‍රෙව් 11:7 මෙසේ පිළිතුරු දෙයි: “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙල[ඹුණේය].” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුද, ඔහුගේ භාර්යාවද, ඔහුගේ පුත්‍රයෝද, ඔවුන්ගේ භාර්යාවෝද එම ජලගැල්ම තුළින් ආරක්ෂා කරනු ලැබූහ.
17. (අ) වෙනත් අය කුමක් කළත්, අප කළ යුත්තේ කුමක්ද? (ආ) යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන්නෝ සැබවින්ම සන්තෝෂවත් ජනතාවක් වන්නේ මන්ද?
17 අප ජීවත්වන්නේ බොහෝ ආකාරවලින් නෝවාගේ දවස්වලට සමාන කාලපරිච්ඡේදයකය. (ලූක් 17:26, 27) අනතුරු ඇඟවීමේ හඬක් යළිත් නද දෙයි. ‘දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේට ගෞරව කරන’ ලෙස සියලු ජාතීන්ට, ගෝත්‍රවලට හා භාෂාවන්ට අයත් ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටින, අහස මැද පියාසර කරන දේව දූතයෙකු ගැන එළිදරව් 14:6, 7හි පැවසේ. ඔබ අවට ලෝකය කුමක් කළත්, මෙම වචනවලට අවනත වී, අනතුරුව මෙම ආරාධනය අන්‍යයන්ටද විහිදුවන්න. නෝවා මෙන්, ඇදහිල්ලෙන් ක්‍රියා කොට, දේව භය පෙන්වන්න. ඔබ එසේ කිරීමෙන්, ඔබගේ ජීවිතයත්, තවත් බොහෝදෙනෙකුගේ ජීවිතත්, ආරක්ෂා කරගැනීමට එය හේතුකරවිය හැක. සැබෑ දෙවියන්වහන්සේට භයවෙන්නන් විසින් භුක්තිවිඳිය හැකි ප්‍රයෝජන ගැන අප සිතා බලත්ම, මෙසේ ගායනා කළ අනුභාව ලත් ගීතිකාකරු සමඟ එකඟ වෙනවා හැර, වෙන දෙයක් අපට කළ නොහැක: “ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය [සන්තෝෂවත්ය, NW].”—ගීතාවලිය 112:1.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ සැබෑ දෙවියන්වහන්සේට භයවීමෙන් ලැබෙන කැපීපෙනෙන ප්‍රයෝජන සමහරක් මොනවාද?
◻ දේව භය තුළ මුල් බැසගෙන ඇති ප්‍රඥාවට අපව ආරක්ෂා කළ හැක්කේ කෙසේද?
◻ දේව භය අපව මනුෂ්‍යයන්ට ඇති භයෙන් ආරක්ෂා කරන්නේ කෙසේද?
◻ අපගේ අනාගත ජීවන අපේක්ෂාවන්ට දේව භය සම්බන්ධ වන්නේ කෙසේද?
[16, 17වන පිටුවේ පින්තූර]
“ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය [සන්තෝෂවත්ය, NW].”—ගීතාවලිය 112:1